Monday, December 17, 2012

ඒකදන්තයා....

මින්නේරියේ තනි දළයා....
බොහොම කාලෙකින් තමයි බ්ලොග් අඩවිය පැත්තට එන්න වෙලාවක් ලැබුනේ. මේ දවස් වල තියෙන රාජකාරි වල ස්වභාවය අනුව ලිපියක් ලියන්න කාලය හොයා ගන්න එක බොහොම අමාරු වැඩක්. කොහොම නමුත් පසුගිය සෙනසුරාදා රාජකාරි ගමනක් යන අතරතුරදී දුටුව සුන්දර දර්ශනයක් මට මේ ලිපියට නිමිත්ත සැපයුවා. 
කාර්යාලයේ සගයන් කීප දෙනෙක් එක්ක පසුගිය සෙනසුරාදා පාන්දර 2.00ට පමණ මම කොළඹින් පිටත් වුනේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තකට පොළොන්නරුවට යාමටයි. උදෑසන 6.30ට පමණ මින්නේරියට ළඟා වූ අපි මද ඉසිඹුවක් ලබනු සඳහා මින්නේරි වැව් ඉස්මත්තේ මදකට නතර වුනා.
සොඳුරු මින්නේරි වැව...
ඒ මොහොතේ තමයි මේ එක දළයක් සහිත තේජාන්විත ඇතා තවත් පරිවාර අලින් දෙදෙනෙකුත් සමග වැව් පිටියේ පාතරාසය භුක්ති විඳිනු අපිට දැකගන්නට හැකි වුනේ. දළ සහිත ඇතුන් අපට අරුමයක් නොවුනත් එක දළයක්  පමණක් ඇති ඇතෙකු  දක්නට ලැබෙන්නේ කලාතුරකින්...
මින්නේරියේ තනි දළයා....
මේ සොඳුරු රුව මගේ බ්ලොග් පාඨකයන් වෙනුවෙන් සටහන් කර ගන්නට මට හැකි වුනේ ඒ මොහොතේ මගේ අතේ කැමරාව රැදී තිබුණු නිසයි. (රාජකාරි ගමනක් ගියත් මගේ අතේ කැමරාව නම් වරදින්නේ නෑ) මම මේ ඇතා ගැන ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගාමිණී විජිත් සමරකෝන් මහතාගෙන් විමසීමක් කළා. (මට මේ බ්ලොග් අවකාශේ හම්බවෙච්ච වටිනාම මිනිස්සු දෙන්නගෙන් එකෙක් ගාමිණි අය්යා. අනිකා සඳරු) එතුමා කිව්ව විදිහට මින්නේරියේ තනිදල ඇතුන් දෙදෙනෙක් දකින්න ලැබී තිබෙනවා. වනජීවී නිලධාරින් මේ ඇතා හඳුන්වන්නේ තනිදලයා කියලලු. අනිත් දලයාට තිබිලා තියෙන්නේ වම් දළය විතරයි. (මෙයාට තියෙන්නේ දකුණු දළය) මේක ජාන විකෘතියක ප්‍රතිඵලයක් වියහැකි බවයි එතුමාගේ අදහස. මට හිතෙන්නේ ඒ විකෘති ජානය මින්නේරිය ආශ්‍රිත අලි රංචුවල දකින්න ලැබෙන බවයි. (හරියට දල පූට්ටු ජානය යාල ආශ්‍රිතව තියෙනවා වගේ.) මොකද මේ වගේ තනි දල අලි දෙන්නෙක්ම මෙහෙන් වාර්තා වෙන නිසා. මේ ඇතා වැඩිපුරම කවුඩුල්ල වනෝද්‍යානයේ දකින්න ලැබෙන බවත් ගාමිණි මහත්තයා කිව්වා.
කොහොම නමුත් මේ දුලබ සත්ත්වයා රැක ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව ඉතා පැහැදිලියි. දැනටමත් උගේ ඉදිරි වම් පාදයේ වෙඩි උණ්ඩයක සලකුණක් දකින්නට  ලැබෙනවා.
වෙඩි සලකුණ 

වෙඩි සලකුණ 
මේ ඇතා ගැන තව විස්තර දන්නා අය ඉන්නවා නම් ඒ තොරතුරු අපි එක්ක බෙදා ගන්න.
මින්නේරි වැවේ තවත් සොඳුරු දසුනක්...

Sunday, September 2, 2012

සරා සොඳුරු වන රැජිණිය - කන්නෙලිය part 2

කන්නෙලිය රක්ෂිතයේ පිහිටි අලංකාර දිය ඇල්ලක් වන අනගිමල ඇල්ල මංපෙත ඔස්සේ  සංචරණය කරද්දී දුටු සුන්දර දසුන් තමයි මම මීට පෙර ලිපියෙන් ඔබ වෙත ගෙන ආවේ. ඒ ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් බලන්න. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ නාරන්ගස් ඇල්ල මංපෙත ඔස්සේ ගමන් කරද්දී දුටු දසුන් කීපයක්. පසුගිය දා අපි ගමන් කරපු අනගිමල ඇල්ල මංපෙතට වඩා නාරන්ගස් ඇල්ල මංපෙත දුෂ්කරයි. තාර පාරෙන් බැහැරව ගස් ගල් උඩින් කිලෝමීටර පහක පමණ දුරක් ගමන් කිරීමෙන් පසුව තමයි නාරන්ගස් ඇල්ලට ළඟාවෙන්න පුළුවන් වෙන්නේ.  
මේ වගේ ලස්සන දියපාරවල් රාශියක් මේ මංපෙත ඔස්සේ සංචාරය කරන උදවියට දකින්නට ලැබෙනවා. මේ නොඉඳුල් දියදහරා වල ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ රාශියක් දැක ගන්නට පිළිවන්. රතු පැහැ වල්ගයක් සහිත තල්කොස්සා (Belontia signata), හල්මල් දණ්ඩියා (Rasboraides veterifloris), කොළ කනයා (Channa orientalis), හීතමස්සා (Puntius oleurotaenia), බුලත් හපයා (Puntius nigrofasciatus) ආදී දුර්ලභ එමෙන්ම ආවේනික මත්සයන් මේ දියදහරා වල ඉතාම සුලබව වාර්තා වෙනවා. ගල් තලා මතින් ගලා බසින මෙම දියදහරා වල සුලබම මත්ස්‍යයා වන්නේ ගල් පාඩියාය (Garra ceylonensis).
Ahatulla nasutus
මේ ඉන්නේ ලංකාවේ බොහෝ පරිසර පද්ධති වල ඉතා සුලබව හමුවන සුලුවිෂ සර්ප විශේෂයක් වන ඇහැටුල්ලා (Ahatulla nasutus). රුක්වාසී සර්ප විශේෂයක් වන නිසාම ඊට ගැලපෙන වේශන්තරණයකින් යුතු මෙයා ස්වභාවික පරිසර පද්ධතියකදී හඳුනා ගැනීම ඉතා දුෂ්කරයි. මේ ඡායාරූපය ගැනත් යමක් කිව යුතුයි. මේ සර්පයා අතේ තබාගෙන ඉන්නේ අපිත් එක්ක ගිය මග පෙන්වන්නා. මෙය කිසිසේත් නොකළ යුතු ක්‍රියාවක් බවයි මගේ අදහස. මන්ද යත් මේ සතා සීපාවන්ට අපිට වගේ තුන්වේලට කෑම ලැබෙන්නේ නෑ. බොහෝවිට සර්පයෙකුට ගොදුරක් ලැබෙන්නේ දින ගණනාවකට එකවරක්. ඇතැම් විට අපි මේ බාධා කලේ දින ගණනාවක් බඩගින්නේ සිට ගොදුරකට කුරුමානම් ඇල්ලු සතෙකුට විය හැකියි. අපේ මේ බාධාව නිසා ඌට තව දින ගණනක් බඩගින්නේ ඉන්නට වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ගොන් පාට් වලට දුටු තැන විරුද්ධ වෙන්න.
Ahatulla nasutus
මේ ඉන්නෙත් එයාමයි. ඇහැටුල්ලගේ සිරුරේ මේ වගේ වෛරම් පේන්නේ සතා කලබල වුනාම බවයි මගපෙන්වන්නා කිව්වේ. ඉතින් එයා තවත් කලබල නොකර අපි එතනින් පිටත් වුනා.
Adenomus kelaartii
මේ ඉන්නේ තවත් ලංකාවට ආවේනික ගෙඹි විශේෂයක්. මෙයා හැඳින්වෙන්නේ කෙලාර්ට්ගේ කුරු ගෙම්බා (Adenomus kelaartii) යන නමින්.
යෝධ පුස් වැල
කන්නෙලියට එනේ බොහෝ දෙනා අනිවාර්යයෙන්ම නරඹන තැනක් තමයි මේ යෝධ පුස් වැල. වනය පුරා බොහෝ ප්‍රදේශයක විහිදී ඇති මෙය වනයට ගෙන දෙන්නේ අපූරු සුන්දරත්වයක්.
යෝධ පුස් වැල
මේ තියෙන්නෙත් ඒ යෝධ පුස් වැලේ කොටසක්.
නාරන්ගස් ඇල්ල 
මේ තියෙන්නේ අපි සොයාගෙන ආපු නාරන්ගස් ඇල්ල. අවාසනාවකට අපි ආවේ වැස්ස අඩු සමයක. ඒ නිසා මෙහි දිය මදක් අඩුයි.
නාරන්ගස් ඇල්ල 
මේ තියෙන්නේ එහිම තවත් දර්ශනයක්. මගේ ඊළඟ බලාපොරොත්තුව කබ්බලේ කන්ද තරණය කිරීම. එහි ගිය වහාම තොරතුරු ඔබට කියන්නම්.

Sunday, August 19, 2012

සරා සොඳුරු වන රැජිණිය - කන්නෙලිය රක්ෂිත වනාන්තරය

ටික දවසක නිහැඬියාවකට පස්සේ ඔන්න මම අලුත් චාරිකා සටහනක් සමග ආවා. අද මගේ ගමනාන්තය ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාම සුන්දර මෙන්ම විශාල ජෛවීය වටිනාකමකින් යුත් පරිසර පද්ධතියක් වෙතයි. උඩුගම නගරයට ආසන්නව පිහිටා ඇති කන්නෙලිය රක්ෂිත වනාන්තරය ගැනයි අද මගේ ලිපිය. මීට පෙර මේ වනාන්තරයේ චාරිකා කල සොඳුරු ගවේශකයා විසින් මෙහි පිහිටීම හා චාරිකා කරන්නන් විසින් දැනගත යුතු කරුණු රාශියකින් යුතු වටිනා ලිපියක් පළකර තිබුනා. ඒ නිසා මම ඒ විස්තර මෙහි ලියන්න යන්නේ නෑ. ඒ ලිපිය මෙතනින් බලන්න. 
කන්නෙලිය රක්ෂිතය සැලකෙන්නේ Bio diversity hot spot එකක් හැටියටයි. (මීට අදාළ නිවැරදි සිංහල නම කිසිවෙක් දන්නවානම් කරුණාකර සටහන් කරන්න.) එසේ සැලකෙන්නේ මේ වනාන්තරයේ ඇති අසීමිත ජෛව විද්‍යාත්මක වටිනාකම නිසයි. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ කන්නේලියෙන් බවයි සැලකෙන්නේ. මෙහි ඇති වටිනාකම ඒ අනුව ඔබට සිතා ගත හැකියි. ඒ වටිනාකම් කොයිහැටි වෙතත් අපේ මවුබිමේ එක්තරා අඳුරු යුගයකදී මේ වැසි වනාන්තරය තුනී ලෑලි සඳහා බදු දී තිබුනා. ඒ කාලයේ භාවිත කල තාර යෙදු මාර්ග අදත් වනාන්තරය තුළ දක්නට තිබෙනවා. මේ හේතුව නිසාම කන්නෙලියේ ප්‍රාථමික වනාන්තරය (primary forest) දක්නට ලැබෙන්නේ අඩුවෙන්. වනාන්තරය පුරා පැතිර පවතින්නේ ද්විතියික වනාන්තරයයි (secondary forest). 
වනය තුළින් විහිද යන තාර යෙදු මාර්ගය 
මෙසේ බොහෝ දුරක් දක්වා වනය තුලින් විහිද යන මාර්ගය නිසාම සෙසු වනගත චාරිකා වලට වඩා මෙම සංචරණය පහසුවක් ගෙන දෙනවා. ඉතින් මේ සොඳුරු වනසැරියේදී මගේ තෙවැනි ඇස දුටු සොබා රූ තමයි මේ මම ඔබට ගෙන එන්නේ.
මේ තියෙන්නේ පොගනාටුම් (pogonatum) ශාකය. මූලික ශාක දර්ශයක් ලෙස ජීව විද්‍යා පන්තියේදී අපි ඉගෙන ගත්තේ මෙයා ගැන තමයි. ඔය සුදුපාටට දකින්න තියෙන්නේ මෙයාගේ බීජාණුධානි. මග අසබඩ කණ්ඩියක් මතදී තමයි මම මෙයාව ඡායාරූපයට නැගුවේ. 
කැකිරිවරා Schumacheria castaneifolia
මේ තියෙන්නේ කැකිරිවරා (Schumacheria castaneifolia) ශාකයක්. ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් වන මෙය සිංහල වෙදකමේ අත්‍යාවශ්‍ය ඖෂධයක් ලෙස සැලකෙනවා. 
Sri Lanka kangaroo lizard -Octocryptis wiegmanni 
මේ ඉන්නේ ශ්‍රීලංකා පිනුම් කටුස්සා Sri lanka kangaroo lizard. Octocryptis wiegmanni එයාගේ පිරිමි සතා තමයි ඔය දකින්නට ඉන්නේ. මෙයාත් අපේ රටට ආවේනික සත්ත්වයෙක්. ඔන්න බලන්න එයාගේ ගැහැනු සතාගේ හැටි. 
Sri Lanka kangaroo lizard -Octocryptis wiegmanni 

Sri Lanka Hump-nosed Lizard - Lyriocephalus scutatus
මේ සත්ත්වයා හැඳින්වෙන්නේ Sri Lanka Hump-nosed Lizard Lyriocephalus scutatusනමින්. පොදු වහරේ බෝදිලිමා නමිනුත් මෙයා හැඳින්වෙනවා. සෙමින් සංචරණය කරන සතෙක් වන බෝදිලිමා අයත් වන්නේ Agamid කුලයටයි. එම කුලයට අයත් ලංකාවේ හමුවන විශාලම සත්ත්වයා වන්නේත් මෙයාම තමයි. මේ ඡායාරූපය ගන්නට තරමක් සමීප වුනත් තමන් සිටි ගහ වටේම කැරකුනා මිසක් එතනින් බැස පලා යන්නට උත්සාහයක් දැරුවේ නෑ. 
Beddomeia species 
එතරම් නොවැදගත් සතෙක් විදිහට පෙනුනත් මේ පුංචි ගොලුබෙල්ලා ලංකාවේ ආවේනික සත්ත්ව විශේෂයක්. Beddomeia ගණයට අයත් ඉතා කුඩා මිරිදිය ගොලුබෙලි විශේෂයක් වන මෙයා පොදුවේ කොළ ගොලුබෙල්ලා යනුවෙන් හැඳින්වෙනවා. නැවතත් මතක් කල යුතු කාරණයක් වන්නේ මෙවන් පරිසර පද්ධතියක ඇවිදිද්දී ඉතා විමසිල්ලෙන් ගමන් කල යුතු බවයි. නැතිනම් මෙවන් කුඩා නමුත් වැදගත් තොරතුරු ඔබෙන් වසන් වන්නට පුළුවන්.
අනගිමල ඇල්ල
කන්නෙලිය වනයේ පිහිටි සුන්දරතම ස්ථානයක් වන්නේ අනගිමල ඇල්ලයි. මීට ළඟාවීම ඉතා පහසු නිසාම කන්නෙලියට එන බොහෝ සංචාරකයන් මෙම දිය ඇල්ල අනිවාර්යයෙන්ම නරඹනවා. මෙය පහසුවෙන් නැරඹීම සඳහා නැරඹුම් පීඨිකාවක් තනා තිබෙනවා. එයින් බැහැරව ඇල්ලට බැසීමට උත්සාහ කිරීම නුවණට හුරු නෑ.
මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකමත් එහිදී ඔබ හැසිරිය යුතු අන්දමත් නැවත නැවත කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මගේ බ්ලොග් එක වටා එකතුවෙලා ඉන්නේ පරිසරයට ගහකොළට  සතාසීපාවට  ආදරය කරන සංවේදී මිනිස්සු. ඔවුන් අතින් මේ පරිසරයට කිසිම හානියක් නොවන බවට මට සීයට සීයක්ම විශ්වාසයි. 

මම අද ඉදිරිපත් කලේ අනගිමල ඇල්ලට යන අතරතුර මා ග්‍රහණය කරගත් සොඳුරු දර්ශන කීපයකුයි. නාරන්ගස් ඇල්ල මංපෙතේ සේයා ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.
ලක්දසුන් වෙබ් අඩවියේ පලකල ඉංග්‍රීසි ලිපිය මෙතනින් බලන්න.

Thursday, July 19, 2012

දුටු නුදුටු සමනළ ලෝකය... 2 කොටස


සමනළ ලෝකයේ සොඳුරු පැතිකඩ ගැන මා ලියු පෙර ලිපිය මෙතනින් බලන්න... 
අපේ වත්ත පිටිය අවට සැරිසරන සමනළ විශේෂ කිහිපයක් ගැන පසුගිය ලිපියෙන් මම සාකච්ඡා කළා. අද මම ඉදිරිපත් කරන්නේත් එදිනෙදා අපට සුලබව හමුවෙන සමනළ විශේෂ කිහිපයක් සහ වනාන්තර ගතව හමුවෙන තරමක් දුර්ලභ සුවිශේෂ සමනළ විශේෂ කිහිපයක්. 
එහෙනම් මෙන්න අද පළවෙනියා....
4. White Four Ring - Ypthima ceylonica 
White Four-Ring (Ypthima ceylonica
මේ සමනළයාත් රටේ බොහෝ කලාපවල  බහුලව වාර්තා වන විශේෂයක්. කලින් දැකපු විශේෂ වගේම මෙයත් පහතින් පියාඹන (low flyer)කෙනෙක්. මේ සමනළයා තමන්ගේ පියාපත් වල ඇති සුවිශේෂ ඇස් වැනි ව්‍යුහ නිසා ඉතා පහසුවෙන් හඳුනා ගත හැකියි. ඔහු මේ බොරු ඇස් භාවිත කරන්නේ විලොපියකන්(predators) බියකර ඔවුන්ගෙන් ගැලවී සිටීම සඳහායි.
White Four-Ring (Ypthima ceylonica)
මේ කුඩා නමුත් සුන්දර සමනළයා අයත් වන්නේ Nymphalidae කුලයටයි.


5. Plain Tiger - Danaus chrysippus
මේ ඉන්නේ තවත් සුලබ සමනළ විශේෂයක්. මෙයා ආසියාවෙන් විතරක් නෙවෙයි අප්‍රිකාවෙනුත් වාර්තා වෙන කෙනෙක්.  සුපුරුදු ලෙස අයත් වන්නේ Nymphalidae කුලයටමයි. නමුත් මෙයා Danainae කියලා උප කුලයකට  අයත්  බවක් මට යාන්තමින් මතකයි. මම ඒ ගැන හරියටම දන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ට් එකක් දාන්න. අත්තටු අතර දිග සෙන්ටිමීටර අටක් පමණ වෙන මෙයා සාමාන්‍ය ප්‍රමාණයේ සමනළයෙක්. මෙයාගේ පිරිමි සතා ගැහැණු සතාට වඩා දීප්තියෙන් වැඩියි. අවාසනාවට මා සතුව තිබෙන්නේ මෙයාගේ මෙම ඡායාරූපය පමණයි. 


6. Ceylon tiger - Parantica taprobana
ඔව් නෝනාවරුනි මහත්වරුනි, මා දැන් ඉදිරිපත් කරන්නේ මෙතෙක් ඉදිරිපත් කල සමනළුනට වඩා සුවිශේෂ සමනළ විශේෂයක්. සාමාන්‍ය ගෙවත්තක දකින්නට ටිකක් අමාරු මේ සමනළයා ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ විශේෂයක්. මෙයා හඳුන්වන්නේ Ceylon tiger කියලා. මෙයා අයත් වන්නේ Nymphalidae කුලයේ Danainae උපකුලයටයි. මම මේ ඡායාරූපය ගත්තේ හෝර්ටන් තැන්නේ කුඩා අඩිපාරක වසා සිටියදීයි. සමනලුන් සාමාන්‍යයෙන් තම ඛනිජ අවශ්‍යතාවය සපුරා ගන්නේ මෙසේ තෙත් පසේ ඇති ලවණ උරා බීම මගිනුයි.
තවත් ඉදිරිපත් කල යුතු සමනළ විශේෂ රාශියක ඡායාරූප මා සතුව තිබෙනවා. නමුත් ලිපියක් ඕනවට වඩා දිග්ගැස්සීමට මා අකමැති නිසා සෙස්ස පස්සට කල් තබනවා. හැකි ඉක්මනින්ම ඒ ඡායාරූපත් රැගෙන ඔබ හමුවෙන්නම්.

Monday, July 16, 2012

දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස

සමනළයා යනු අපූර්වතම ජීවියෙක්. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ සමනළයා සුවිශේෂ චරිතයක්.බොහෝ කවීන්ට වස්තු බීජ සැපයූ අපූර්වතම විචිත්‍ර ජීවියා වන්නේත් සමනළයායි. දිවාචර සත්ත්ව විශේෂයක් වන සමනලුන් අයත් වන්නේ සියලු කෘමීන් අයත්වන ඉන්සෙක්ටා (Class: Insecta) වර්ගයයේ ලෙපිඩෝප්ටෙරා (Order: Lepidoptera)ගෝත්‍රයටයි. ශ්‍රීලංකාව නිවහන කරගත් සමනළ විශේෂ ගණන 245 ක්. ඒ අතරින් විශේෂ 23 ක් අපේ රටට ආවේනිකයි. මේ සමනළ විශේෂ අතරින් 76 ක්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. මා මෙහිලා පළ කරන බොහෝ ඡායාරූප (සියයට අසූවක් පමණ) අපේ වත්ත පිටිය අවට සැරිසරන සමනළ විශේෂයන්. කැමරාව සමග වත්තේ කරන ලද චාරිකා වලදී තමයි මම මේ පල නෙලා ගත්තේ. (වෙනත් වනගත ප්‍රදේශවලදී ගත් ඡායාරූප කීපයකුත් තියෙනවා) බොහෝ සමනළ විශේෂ හඳුන්වන නිශ්චිත සිංහල නම් නැහැ. අපි ඕනෑම සමනයෙක් හඳුන්වන්නේ නිකම්ම සමනළයා නමින්. ඒ නිසා මම මේ සමනලුන් හඳුන්වන විද්‍යාත්මක නම් සහ ඉංග්‍රීසි නම් පමණක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. එහෙනම් බලමු ෆොටෝ ටික...


1. Gray Pansy - (Junonia atlites)
Gray Pansy - Junonia atlites
Nymphalidae කුලයට අයත් මෙම සමනළයා දකුණු ආසියානු රටවල දක්නට ලැබෙන සුලබ සමනයෙක්. විශේෂයෙන්ම පහතරට තෙත් කලාපයේ ගෙවතු ආශ්‍රිතව නිතර දක්නට ලැබෙනවා. මේ සුන්දර සමනළයා මගේ කැමරාවට හසු වුනේ අපේ ගෙවත්තෙදියි. මේ එයාගේ තවත් ඡායාරූපයක්.
Gray Pansy - Junonia atlites
මේ ඉන්නෙත් Gray Pansyමයි.
Gray Pansy - Junonia atlites

2. Psyche - (Leptosia nina)
Psyche - Leptosia nina
 තරමක් කුඩා සමනලයෙකු වන Psyche බොහෝ ගෙවතුවල දක්නට ලැබෙන සුලබම සමනළ සාමාජිකයෙක්. මෙයා අයත් වන්නේ Pieridae කුලයටයි. ගිනිකොන දිග ආසියානු රටවල් හා ඉන්දියානු උපමහද්වීපයේත් මෙයා සුලබව හමුවෙනවා. නිතර තණකොළ ආශ්‍රිතව බිම්ස්තරයට සමීපව හැසිරෙන සමනළයෙක්. 

තරමක් අසංවිධිත පියාසර රටාවකින් යුක්ත නිසා එකවර ඡායාරූපයකට ග්‍රහණය කරගැනීම අසීරුයි. බොහෝවේලා ඉවසිල්ලෙන් බලාසිටීමෙන් ලද ප්‍රතිඵලය තමයි මේ.
Psyche - Leptosia nina


3. Grass yellow - Eurema blanda
Grass Yellow - Eurema blanda
Pieridae කුලයටම අයත් තවත් කුඩා සමනල් විශේෂයක්. ඉන්දියාව හා ලංකාව ආශ්‍රිතව හමුවන සුලබ සමනළ විශේෂයක්. විශේෂයෙන්ම තෙත් කලාපයේ රේල් පාරවල් අද්දර වැවුණු කුඩා කහපාට tridax මල් යායවල් අතරේ මේ සමනළයා ඉතාම සුලබව දකින්නට පුළුවනි. මේ ඡායාරූපය ගත්තෙත් එසේ මලක වසා සිටියදීයි.
Grass Yellow - Eurema blanda
තවත් සමනළ ඡායාරූප රාශියක් මා සතුව පවතිනවා. ඉදිරි ලිපි වලින් සෙසු ඡායාරූපත් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. සමනළයෙකු ඡායාරූප ගත කිරීම තරමක් අසීරු කටයුත්තක්. ඒ සඳහා හොඳ ඉවසීමක් අවශ්‍ය කරනවා. ඒ වගේම යහපත් කැමරා උපකරණ (මැක්‍රෝ ලෙන්ස් ආදී) තිබීමත් අවශ්‍යයි. නමුත් මම මේ සියලු ඡායාරූප ගත්තේ Nikon P60 සහ Canon SX10IS යන සංයුක්ත කැමරා දෙකෙන්. සමනලුන්ට අවශ්‍ය පරිසරය ඔබේ ගෙවත්තේ ඇති කරන්නට පුලුවන්නම් ඔවුන් ආකර්ෂණය කර ගන්නට පුළුවන්. බොහෝ සමනලුන් තරමක් සෙවන සහිත තෙත් පරිසරයන් ප්‍රිය කරනවා. ඒ වගේම වරා, බලුනකුට, සප්සඳ ආදී ශාක වලට ඔවුන් ආකර්ෂණය වන බව මා අත්දැකීමෙන් දන්නා කාරණයක්. ඉතින් ඔබත් අත්හදා බලන්න. වඩා සමීපව බැලු විට සමනළ ලෝකය කොයිතරම් විචිත්‍ර දැයි ඔබට දැනේවි. හමුවෙමු නැවතත් තවත් සමනළ ඡායාරූප පෙළක් සමග... 

Wednesday, June 20, 2012

ආබාධිත කැස්බෑ සුමිතුර....

Hawks bill Turtle
ජෛව විවිධත්වයෙන් අනූන රටක් වන ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයද ජෛව සම්පතින් පොහොසත්. එවන් සජීවී වෙරළ තීරයක් ගැන මම මීට කලින් පළකරපු ලිපිය මෙතනින් බලන්න. 
සාගර ජෛව විවිධත්වය ඔප කරන ජීවියෙක් හැටියට කැස්බෑවා හඳුන්වා දෙන්නට පුළුවනි. වසර ලක්ෂ ගණනක පටන් මිහිමත වෙසෙන සත්ත්ව කොට්ඨාසයක් ලෙසයි කැස්බෑවුන් සැලකෙන්නේ. පෙනහළු මගින් ශ්වසනය කරන ජීවින් නිසා මොවුන්ට බොහෝ වෙලාවක් දිය යට ගත කරන්නට බෑ. එමෙන්ම චලතාපි (පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස්වන) ජීවින් නිසා මොවුන් වරින් වර ජල පෘෂ්ඨය මතට පැමිණෙනවා. 

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ කැස්බෑ විශේෂ පහක් වාර්තා වෙනවා. ඔවුන් නම්,
1. ඔලුගෙඩි කැස්බෑවා (Logger Head Turtle - Cretta craetta)

2.ගල් කැස්බෑවා (Green Turtle - Chelonia mydas)

3.දාර කැස්බෑවා (Leathery Turtle - Dermochelys coriacea)

4.බටු කැස්බෑවා (Kemp's Ridley Turtle - Lepidochelys kempi )

5.පොතු/ ලෙ‍ලි කැස්බෑවා (Hawksbill Turtle - Eretmochelys imbricata)

මේ අතරින් වඩාත් විසිතුරු සත්ත්වයා වන්නේ පොතු/ලෙලි කැස්බෑවායි. මම ඉහත දක්වා ඇත්තේ පොතු කැස්බෑවගේ රූපයක්. විසිතුරු භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් මේ සතාගේ කටුවට ඇත්තේ විශාල ඉල්ලුමක්. ඒ හේතුවෙන්ම අද මෙයා බොහෝ දුර්ලභ දර්ශනයක් බවට පත්ව තිබෙනවා.
කැස්බෑවාට ප්‍රධානතම තර්ජනය එල්ල වී ඇත්තේ මිනිසාගෙන්. මසට මැරීම, බිත්තර එකතු කිරීම  විසිතුරු භාණ්ඩ සැදීම සඳහා මරා දැමීම නිසා මේවන විට ලංකාවෙන් කැස්බෑවා වඳවී යාමට ඉතාම ආසන්නයි.
කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන කියන සංකල්පය කරළියට එන්නේ මෙවන් සන්දර්භයක් තුළයි. මේවන විට දකුණු මුහුදු තීරය පුරා එවන් සංරක්ෂණ මධ්‍යස්ථාන බොහොමයක් දක්නට ලැබෙනවා. නමුත් ඒවායින් සාධනීය කාර්යභාරයක් ඉටුවෙනවාද යන්න වෙනම සාකච්ඡා කල යුතු මාතෘකාවක්. ඒ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී පළකරන්නට මම බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් මම අද මගේ සොබාදම් මිතුරන්ට ඉදිරිපත් කරන්නේ එවන් එක් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකදී මා දුටු සංවේදී දර්ශනයක්.  බලන්න මේ ගල් කැස්බෑවා දිහා. 
Green Turtle
ඔබ දුටුවාද ඔහුගේ යම් වෙනසක්. ඔහු සමබරව නෑ වගේ දුටුවා නම් ඔබ හරි. ඔහුගේ එක් අවල පතක් ඔහුට අහිමි වෙලා. ධීවරයෙකුගේ දැලකට හසුවීම නිසා තමයි ඔහුට මේ ඉරණම අත්වුනේ. 
Green Turtle
අවල්පත් තුනකින් පිහිනන්නට මේ සත්ත්වයා දරන උත්සාහය ඇත්තටම අනුවේදනීය දර්ශනයක්. 
මේ වීඩියෝ දසුන නරඹා ඒ බව හොඳින් අවබෝධ කරගත හැකියි.

මේ දසුන් නරඹා ඔබ තුළ අසරණ ජීවින් කෙරෙහි සංවේදනාවක් ඇති වූවා යයි මම විශ්වාස කරනවා. අපි මේ මිහිතලයේ කොටසක් විනා එහි අයිතිකරුවන් නොවන බව මිනිසා අවබෝධ කරගත්දාට මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් වේවි. 

Sunday, June 17, 2012

සිංහරාජය රස වින්දෙමි (අවසන් කොටස)



පසුගිය ලිපි පෙළින් මම කිව්වේ පිටදෙනිය හරහා සිංහරාජයට ගිය චාරිකාවක තොරතුරු. අද කියන්න යන්නේ සිංහරාජ වනාන්තරයේ සැඟවුණු දියඇලි පහක් සොයා ගිය ගමනේ විස්තර. පහුගිය ලිපි බැලුවේ නැත්නම් මෙතනින් බලලා ඉන්න. 
සිංහරාජය රස වින්දෙමි Part I
සිංහරාජය රස වින්දෙමි Part ii
අපි පහුවෙනිදා ඇහැරුනේ හතරවටින්ම ඇහුනු කුරුළු කූජනයන් රසවිඳිමින්. මීට කලින් කවදාවත් අහපු නැති තරම් කුරුළු හඬවල් රාශියක් අවටින් ඇසුනා. නැගිට්ට හැටියේම මම කලේ ගිං ගඟ ළඟට දුවපු එක. උදේ පාන්දර මීදුමත් එක්ක බොරපාට ගං දිය පෙනුනේ බොඳ වෙලා වගේ. ගඟ ළඟ ඉඳන් කුරුල්ලන්ගේ මිහිරි නාද වලට කන් දුන්නත් එකෙකුගේවත් ෆොටෝ එකක් නම් ගන්න බැරි උනා. මොකද ඒ වෙනකොටත් හරිහැටි එළිය වැටිලා තිබුනේ නෑ. කෝකියා සකස් කරපු බොහොම රස (මතක් වෙනකොටත්  ඇඩෙනවා) උදේ ආහාරය යන්තම් ගිලදාපු අපි අපේ මගපෙන්වන්නාත් එක්ක වනගත වුනා.


දියඇලි අංක එක - ඌරන්වැටුණු ඇල්ල
අපේ දවසේ මුල්ම ඉලක්කය වුනේ ඌරන්වැටුණු ඇල්ල සොයා යාම. ලංකාගම හරහා ගොස් හැරියාව දොළ අසල පාලමෙන් ඉහලට නැගුනු මාර්ගය ඔස්සේ අපි කිලෝමීටර් හතරක් විතර ගමන් කළා. මම හිතන්නේ මේ දියඇලි සංකීර්ණයේ දුෂ්කරම ගමන් මාර්ගය වැටී තිබෙන්නේ ඌරන් වැටුණු ඇල්ලට. (මල්මොර ඇල්ල හැරුණු කොට - අපට මල්මොර ඇල්ල නැරඹීමේ අවස්ථාව ලැබුනේ නෑ) කූඩැල්ලන්ගේ අනෙක අතවර විඳිමින් ගල්මුල් වල එල්ලෙමින් ගිය මේ ගමන කොයිතරම් දුෂ්කර වුනත් හරිම සුන්දර එකක්. 

ඌරන්වැටුණු ඇල්ල

දිය ඇලි අංක දෙක - ගල්දොරුව/ගල්ඔරුව ඇල්ල
ගල්ඔරුව ඇල්ල 
ඌරන්වැටුණු ඇල්ලෙන් නික්මුණු අපි ඊළඟට ගමන් කලේ තරමක් සුවිශේෂී දිය ඇල්ලක් සොයාගෙන.  ඌරන්වැටුණු ඇල්ලට මදක් පහලින් පිහිටි ආදී 30ක් පමණ උස මේ ඇල්ල හැඳින්වෙන්නේ ගල්දොරුව/ගල්ඔරුව ඇල්ල නමින්. මෙහි විශේෂත්වය වන්නේ ඉහලින් පිහිටි ඌරන් වැටුණු ඇල්ලෙන් ගලා එන අතිවිශාල දියකඳ අඩි දෙකක් පමණ පළලින් යුතු ඉතා ගැඹුරු ගල් පැල්මක් ඔස්සේ අධික වේගයෙන් ගලා ගෙන යාමයි.
ආරක්ෂිතව මෙම දියදහර නැරඹීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂක වැටක් ඉදිකර තිබෙනවා. එම වැටට මෙපිටින් හිඳ මෙය නැරඹීම කලයුතුයි. වෙනත් දිය ඇලිවල මෙන් පහතට බැසීමට උත්සාහ කිරීම අතිශයින් භයානක කටයුත්තක් බවත් සිහිතබා ගන්න. මෙම ඇල්ලේ චමත්කාරය මේ වීඩියෝ දසුනෙන් නරඹන්න.

දිය ඇලි අංක තුන - තට්ටු ඇල්ල 
තට්ටු ඇල්ල 
 ගල් ඔරුව ඇල්ලෙන් නික්මුණු අපි ඊළඟට ගමන් කලේ තවත් සුන්දර දිය ඇල්ලක් සොයාගෙන. මේ ඇල්ලට යාම සඳහා නිශ්චිත ගමන් මාර්ගයක් තිබුනේ නෑ. සුපුරුදු පරිදි ගස් ගල්වල එල්ලෙමින් ගමන් කල අපිට මෙන්න මේ දියපාරෙනුත් එගොඩ වෙන්න සිද්ද වුනා.
තරමක් සැඩ දිය දහරක් වූ නිසා ආරක්ෂිතව එයින් එගොඩ වීමට තරමක් දියදහරේ ඉහලට ගමන් කරන්නට අපිට සිද්ද වුනා. වැසි අධික සමයක නම් මෙය තරණය කිරීම තරමක් අපහසු කාරණයක් වනවා නොඅනුමානයි. මාල හෙවත් තට්ටු තුනකට ඇදහැලෙන තට්ටු ඇල්ල අතියශයින්ම සුන්දර දිය ඇල්ලක්.
තට්ටු ඇල්ල 
දිය ඇලි අංක හතර - දූවිලි ඇල්ල 
දූවිලි ඇල්ල 
තට්ටු ඇල්ලේ දිය පහර තරමක් අසීරුවෙන් තරණය කර එගොඩට ගිය විට තවත් සුන්දර දිය ඇල්ලකට ගමන් කල හැකියි. අඩි හතළිහක් පමණ උසින් යුතු මෙම දිය ඇල්ල හැඳින්වෙන්නේ දූවිලි ඇල්ල නමින්. සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව දූවිලි ඇලි තුනක් දකින්නට ලැබෙනවා. එකක් කුඩව ගමේ පිහිටි දූවිලි ඇල්ල,  අනික වඩාත් ප්‍රකට නෙළුව කොස්මුල්ල ගමේ පිහිටි ඇල්ල. මේ දූවිලි ඇල්ල ඒ තරම් ප්‍රකට එකක් නොවුනත් සුන්දරත්වයෙන් නම් අනික් ඇලි දෙකටම වඩා ඉදිරියෙන් සිටිනවා.
දූවිලි ඇල්ලේ ඉහල කොටස 
දිය ඇලි අංක පහ - බ්‍රාහ්මණ ඇල්ල 

සාපේක්ෂව නැරඹීම පහසු දිය ඇල්ලක්. මෙය පිහිටා තිබෙන්නේ ලංකාගම ගමේ හැරියාව දොළ මතින් වැටුණු පාලම අසලමයි. මාර්ගයේ සිටම නැරඹිය හැකි දිය ඇල්ලක්. වනගත දිය ඇලි නරඹා එන ගමනුයි අපි මෙම දිය ඇල්ල අසල නතර වුනේ.
එක්දිනක් තුල දිය ඇලි පහක් නැරඹු අපි නැවත අපේ නවාතැන වෙත ආවේ ඉතාම තෘප්තියෙන්. ඒ එන අතරේ අඩි පාර අසල දුටු බිනර මලක් තමයි මේ. 
Exacum pallidum යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙම කුඩා ශාකය ශ්‍රී ලංකාවට ආවේනික එකක්. තෙත් කලාපයේ දක්නට ලැබෙන තරමක් දුර්ලභ ශාකයක් වන බිනර, මම මීට පෙර වතාවකදී හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේදීත් ඡායාරූපයට නැගුවා. 
මෙසේ අමතක නොවෙන චාරිකාවක සුන්දරත්වය විඳගත් අපි නැවතත් අපේ බඩුමලු ඔසවා ගෙන ආපසු එන්නට ආවා.  ඒ එන අතරමග කුඩා දියවලක තමයි මේ දියබරියාව (Xenochrophis asperrimus) දැක්කේ.

දියබරියා
දින දෙකක චාරිකාවදී නැරඹිය හැකි උපරිම දිය ඇලි සංඛ්‍යාව අපි මෙම චාරිකාවේදී නැරඹුවා. ගණනින් බැලුවොත් නවයක්. 
1. ඇතාමල ඇල්ල
2. හත්මාලේ ඇල්ල
3. පතන්ඔය ඇල්ල 
4. කැකුණ ඇල්ල
5. ඌරන් වැටුණු ඇල්ල
6. ගල් ඔරුව ඇල්ල
7. තට්ටු ඇල්ල
8. දූවිලි ඇල්ල
9. බ්‍රාහ්මණ ඇල්ල 
කාලය හරස් නොවුනා නම් අපිට මල්මොර ඇල්ලත් නරඹන්න තිබුනා. එහෙනම් අපේ දිය ඇලි සංඛ්‍යාව දහය දක්වා ඉහල යනවා. මම හිතන්නේ ලංකාව තුල කෙටි කාලයකින් නැරඹිය හැකි වැඩිම දිය ඇලි සංඛ්‍යාව පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ. මෙම දිය ඇලි නරඹන්නට යන ඔබට කිව යුතු කරුණු කීපයක් තිබෙනවා. සිහි තබා ගත යුතු ප්‍රධානම කාරණය වන්නේ මෙම ප්‍රදේශය අතිශයින් සංවේදී පරිසර කලාපයක් බවයි. ඔබේ නොසැලකිල්ල නිසා ඇතැම් විට අතිශයින් දුර්ලභ ජීවියෙකුට හානියක් වියහැකියි. එමනිසා මෙම ප්‍රදේශයට චාරිකාවකට යන ඔබ ගෙනයන හැමදෙයක්ම අමතක නොකර රැගෙන ආ යුතුමයි. අඩුම වශයෙන් කොළ කැබැල්ලක්වත්  දමා එන්නට එපා. දිය දහරා වලින් නානවා නම් සබන්, ෂැම්පු ආදිය භාවිතා කරන්නට එපා. කෑකෝ ගැසීම්, ගීත ගායනා කිරීම් ආදිය මෙවන් චාරිකාවකට ගැලපෙන්නේ නෑ. ඒ වගේම බහුතරයක් දිය ඇලි ඉතාම සැඩ පරුෂයි. ඒවා අසලට ලංවෙන්න, දියට බහින්න එහෙම උත්සාහ කරන්න එපා. ඒවා සැබෑ වීරකම් නොවෙයි. මේ සුන්දරත්වය දෑස පුරා හිත පුරා විඳින්න. අපි නොදන්නවාට අපේ මේ පුංචි රට කොයිතරම් නම් ලස්සනද?