Friday, May 18, 2012

අපේ වත්තට එන කුරුලු අමුත්තෝ...



මම ජීවත් වෙන්නේ නගරයට තරමක් සමීපව. කොයිතරම්  ඝෝෂාකාරී පරිසරයක් වුනත් වත්තේ ඉඩ තියෙන ඩිංගේ ගහක් කොලක් වවා ගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒක කොයිතරම් ආශිර්වාදයක්ද කියලා දැනෙන්නේ ඒ ගහකොළ අතරේ සැරිසරන පුංචි පුංචි කුරුළු වර්ග, සමනල් වර්ග දැක්කමයි. ඉතින් අද මම post කරන්නේ අපේ වත්තේ මම නිතර දකින කුරුළු විශේෂ කීපයක  පින්තූර  ටිකක්.  ආපෝ මේ පින්තූර ටික ගන්න  මම කාපු කට්ටක්. 
ආ.. ෆොටෝ ටික දාන්න කලින් වත්තට කුරුල්ලන් ගෙන්වා ගන්න කරන්න පුළුවන් පොඩි උපක්‍රම කීපයකුත් කියන්නම්. මේවා මම අත්හදා බලලා ටක්කෙටම හරිගිහිපුවා. ප්‍රධාන දේ තමයි කුරුල්ලන්ට වතුර බොන්න, නාන්න පොඩි වතුර භාජනයක් තියන්න. පූසෝ වගේ සත්තුන්ට ලං වෙන්න බැරි තරම් උඩකින් තියන්න මතක තියාගන්න. අපේ ගෙදර තියෙන වතුර භාජනේ නිසා මට ලැබිච්ච ප්‍රයෝජන අනන්තයි. මේ ඉන්නේ ඒ වතුර එකේ නාන කුරුල්ලෙක්.




ඒ වගේම වත්තේ පලතුරු ගහක් දෙකක් වවා ගන්න පුළුවන් නම් සැහෙන වටිනවා. මේ දවස් වල අපේ අඹ ගහේ කුරුල්ලෝ පිරිලා. ගිරව්, ගිරා මලිත්තෝ, කොන්ඩ කුරුල්ලෝ සහ තව නම නොදන්නා කුරුල්ලෝ හරියට ඉන්නවා. අපේ පළාත සුනාමියට අහුවුනා. ඉතින් කාලයක් යනකම් ඒ පැත්තේ බෝවිටියා ගහක් දකින්නවත් තිබුනේ නෑ. මම ටිකක් ඈත පළාතකින් පැළයක් ගෙනෙල්ලා බොහොම අමාරුවෙන් පැල කර ගත්තා. දැන් ඒකෙ ගෙඩි කන්නත් හරියට කුරුල්ලෝ එනවා. එහෙනම් බලමු පින්තූර ටික.


මේ ඉන්නේ දම් සූටික්කාගේ ගෑනු සතා. (දම් සූටික්කි).  (Purple Sunbird)
Purple sunbird - (female) Nectarinia asiatica
මෙයාගේ පිරිමි සතා දිලිසෙන දම් පාටකින් යුක්තයි. කෙමිය සහිත මල් වලින් පැණි උරා බොන්න පුළුවන් විදිහේ හොටක් මෙයාට තියෙනවා. මේ ගොල්ලෝ ප්‍රධාන වශයෙන් යැපෙන්නේ මල්පැණි මත. නමුත් කෘමි සත්තුත් ආහාරයට නොගන්නවාම නෙවෙයි. විශේෂයෙන්ම පුංචි පැටවුන්ට කවන්නේ කෘමීන්. 


මේ ඉන්නේ ලෝටෙන්ගේ සූටික්කා. (Loten's Sunbird)
Loten's Subbird - Nectarina lotenia
(මේ ඉන්නේ පිරිමි සතෙක්) මෙයා දකින්නට ලැබෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි. දම් සූටික්කාගෙන් මෙයා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් හොටෙන්. මේ සූටික්කගේ හොට දම් සූටික්කාට වඩා ටිකක් දිගයි. ලන්දේසි කාලේ ලංකාවේ ආණ්ඩුකාරයෙක් වෙච්ච  Joan Gideon Loten ගේ නමිනුයි මෙයාව නම් කරලා තියෙන්නේ.


මේ ඉන්නේ අවිච්චියා. (Indian Pitta)
Indian pitta - Pitta brachyura
 මෙයා ගැන මම කලින් post එකක් දාල තියෙනවා. මෙතන කොටලා ඒ විස්තරේ බලන්න.



මෙයා තමයි පෙරදිගු සිතැසියා (Oriental White-Eye)
Oriental White-Eye (Zosterops palpebrosus)
පුංචි කණ්ඩායම් හැටියට හැසිරෙන සුන්දර කුඩා කුරුල්ලෙක්. මෙයා ලංකාවට ආවේනික නම් නැහැ. නමුත් ලංකා සිතැසියා - Sri Lanka White-Eye - Zosterops ceylonensis (කඳුකර සිතැසියා) කියන කුරුල්ලා නම් ආවේනිකයි. එයා මෙයාට වඩා ටිකක් ලොකුයි. කහපාට මීට වඩා අඩුයි. ටිකක් ගොම පාටක් වගේ. මෙයාගේ ඇහැ වටේ තියෙන සුදු පාට රවුම නිසාත් ලස්සන කහපාට නිසාත් වහාම හඳුනාගන්න පුළුවන්. 

ඔන්න එයාගේ තව එකක් දැම්මා.


මේ ඉන්නේ ජෙර්දන්ගේ කොළ රිසියා - Jerdon's LeafBird (Female)
Jerdon's LeafBird - Chloropsis jerdoni
මෙයා නම් අපේ වත්තේ මම මීට කලින් වැඩිය දැකලා නෑ. ඊයේ පෙරේදා ඉඳලා තමයි මෙයා අඹ ගහේ කොළ අස්සේ ඉඳල මම දැක්කේ. කොළ වල පාටම නිසා එකපාරට අඳුන ගන්න අමාරුයි. මේ ඉන්නේ ගෑනු සතෙක්. පිරිමි සතාගේ බෙල්ල යට කලුපාටක් දකින්න ලැබෙනවා. මෙයා නිල්පිය කොලරිසියගේ (Blue-Winged LeafBird) Chloropsis cochinensis උපවිශේෂයක් විදියට සලකන්න පුළුවන්. ලංකාවේ කුරුළු නාමවලියේත් මෙයාව නම් දැක්කේ නෑ. නිල්පිය කොලරිසියා විතරයි දැක්කේ. ඉන්දියාවේ පක්ෂි විද්‍යාවට විශාල සේවයක් කල බ්‍රිතාන්‍ය ජාතික Thomas C. Jerdonගේ නමින් තමයි මේ කුරුල්ලව නම් කරලා තියෙන්නේ. මෙයාගේ ශරීර වර්ණය නිසා අනිත් කුරුළු රංචු (විශේෂයෙන්ම ගිරව්) අතරෙත් සැඟවී සිටින්නට මෙයාට පුළුවනි. 


වත්තේ දකින්න ලැබෙන අනිත් කුරුළු විශේෂ වලත් පින්තූර ඉස්සරහට දාන්නම්. මේ පින්තූර ටික ගන්නත් සෑහෙන ඉවසීමකින් බලා ඉන්න සිද්ධ වුණා. මොකද මෙහෙම හිටියට මේ කුරුල්ලෝ හරිම ආඩම්බරයි. අපේ වත්තේ ඉන්න සමනල් විශේෂ ගැන ඊළඟ ලිපිය ලියන්නත් අදහසක් තියනවා. එහෙනම් ඊළග ලිපියෙන් හමුවෙමු. 

Saturday, May 12, 2012

සොඳුරු කොග්ගල නුදුටු ලස්සන...



කොග්ගල ප්‍රධාන වශයෙන්ම ධීවර හා සංචාරක ව්‍යාපාර මත යැපෙන ආර්ථිකයකින් සමන්විත නගරයක්. ඛාදනය වුනු ගල්පර සහිත නොගැඹුරු මුහුදු තීරයෙන් යුතු වෙරළ අතිශයින් සජීවීයි. නමුත් මෙම සජීවිත්වය අත්දකින්න නම් සංචාරකයා ඉතා ඉවසිලිමත් හා සංවේදී අයෙකු වීම ඉතා වැදගත්.
ඔබ විමසිල්ලෙන් වෙරළට ලං වෙලා බැලුවොත් වෙරළේ තියෙන පුංචි පුංචි බෙලිකටු එහෙ මෙහෙ දුවන ආකාරයක් දකින්න පුළුවන් වේවි. ඊට හේතුව කුමක්ද? හේතුව ඉතා සිත් ගන්නා සුළුයි. වෙරළේ දක්නට ලැබෙන මියගිය මුහුදු ගොළුබෙල්ලන් හා අනෙකුත් කවචධාරි මොලස්කාවන්ගේ හිස් කටු තුලට රිංගා ගත් තාපස  කකුළුවා (Hermit Crab) තමයි මේ විදිහට වෙරළ පුරා දුවන්නේ. 


අනුන්ගේ කටුවක් තුලට රිංගා ගත් තාපස කකුළුවෙක් 


තමන්ගේ ආරක්ෂාව සඳහා අනුන්ගේ කටුවක් ඇතුලට රිංගන මේ කකුළුවා ක්‍රමයෙන් වැඩෙන කොට පරණ කටුව ඉවතලා අලුත් එකක් හොයා ගන්නවා. 


තාපස කකුළුවා මගේ අතේ


කොග්ගල වෙරල තීරය ඛාදනය වුනු ගල්පර වලින් පිරිලයි තියෙන්නේ. මෙම ගල් වසා ගෙන රතු, දුඹුරු, සහ කොළ පාට ඇල්ගී වර්ග වැඩී තිබෙනු දකින්නට පුළුවන්. 


ඇල්ගී ගහන ඛාදනය වුනු ගල්පර 


මෙම ගල්කුහර අතර ජීවත් වන ජීවීන් ගණන අති විශාලයි.  මුහුදු ඇනමෝන (Sea Anemone), විවිධ වර්ග වල කකුළු විශේෂ, ඉකිරි වර්ග හා කුඩා විසිතුරු වර්ණ සහිත මත්ස්‍ය විශේෂ ඒ අතර බහුලව දකින්නට පුළුවන්.  


ගල්පර නිවහන කරගත් කකුළු විශේෂයක් 


රිටි පන්න ධීවර කර්මාන්තය මෙම ප්‍රදේශයට ආවේනික කර්මාන්තයක්. නොගැඹුරු මුහුදු තීරයේ සිටවූ රිටක් මත නැගී කරන මෙම රස්සාව ඉතා ඉවසීමෙන් කලයුතු එකක්. මම මේ ප්‍රදේශයට ගිය වෙලාවේ නම් ඔවුන් දක්නට සිටියේ නෑ.


තනිවුනු රිටිපන්නය 


අවධාරණයෙන්ම ලියා තැබිය යුතු කරුණක් තියෙනවා.  එනම් මේ පරිසර පද්ධතිය ඉතාම සංවේදී එකක් බව. මත්පැන් බී කැලිකසල දමා පිස්සු කෙලීමේ පරමාර්ථයෙන් නම් කවදාවත් මේ වගේ පරිසර පද්ධතියකට යන්න එපා. මේ වගේ තැනක පය තියනකොට පවා කල්පනාකාරී විය යුතුයි. මොකද සමහරවිට ඔබේ පයට පෑගිලා මිය යන්නේ ඉතා දුර්ලභ ජීව විශේෂයක් වෙන්නට පුළුවන් නිසයි.

Thursday, May 10, 2012

වීසා නැතුවම ලංකාවට ආ ඉන්දියන් අමුත්තා - Indian Pitta - The uninvited guest




අවුරුද්දකට මාස කීපයක් පමණක් අපේ වත්තේ දක්නට ලැබෙන සුන්දර පක්ෂියෙක් ගැනයි අද මම ලියන්නේ. Pitta brachyura යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ අපූරු කුරුල්ලා සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ අවිච්චියා යන නමින්. ඉන්දියාව නිවහන කරගත් මේ අපූරු කුරුල්ලා හිමාලය ආශ්‍රිත ප්‍රදේශ වල බහුලව වාර්තා වෙනවා. ඒ වගේම නේපාලය, පාකිස්ථානය වැනි රට වලිනුත් අවිච්චියා වාර්තා වෙනවා. හිමාලය ආශ්‍රිත ප්‍රදේශ වලට ශීත ඍතුව උදා වන විට මොහු ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ දකුණු ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයෙන් අවිච්චියා වාර්තා වන අතර වියළි කලාපයෙන් වාර්තා වී නැහැ.


අවිච්චියාගේ අභිජනන සමය උදා වන්නේ ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළයි. ශ්‍රී ලංකාව තුළ අභිජනනයේ යෙදෙන බවක් නම් මෙතෙක් වාර්තා වී නෑ.



කෙසේ නමුත් අවිච්චියා පිළිබඳව අපූරු ජනකතාවක් ලක්වාසීන් අතර තිබෙනවා. මම ඒකත් කියල ඉන්නම්. ඔන්න ඉස්සර කාලෙ මොණරාට දැන් තරම් ලස්සන පිල් කළඹක් තිබුනේ නැතිලු. එක තිබිල තියෙන්නේ අවිච්චියාට. ඉතින් දවසක් මොණරා ඇවිල්ලා මගුල් ගෙදරක යන්න තියෙනවා කියලා අවිච්චියාගෙන් ඇඳුම ටිකකට ඉල්ලුවලු. අවිච්චියත් ඉතින් ඔන්න ඔහේ කමක් නෑ කියලා අරූට කිට් එක දුන්නලු. මුගේ තියන බලුකම කියන්නේ මූ මගුල් ගෙදර ගිහින් ඇවිත් කිට් එක ආපහු නොදී මග ඇරියාලු. ඉතින් එදා ඉඳල අවිච්චියා "ආයෙත් දියාන්-ආයෙත් දියාන්" කියා කියා කෑගහනවලු. ඇත්තටම උගේ සද්දේ නම් ඒ වගේ තමයි ටිකක්. මූට අවිච්චියා කියලා නම වැටුනෙත් මේ සීන් එකෙන් පස්සේ කියලයි මම අහල තියෙන්නේ. දැනටත් මෙයා ඉගිල්ලෙන කොට පියාපත් අස්සෙන් ලස්සන මොනර නිල් පාටක් දකින්න ලැබෙනවා. මෙයා පියාඹන පින්තූරයක් නම් මට ගන්න බැරි උණා.


මෙයා වැඩිපුරම හැසිරෙන්නේ බිම කොලරොඩු අවුස්සමින් කෑම සොයමින්. බිම් ස්ථරයට ගොඩක් සමීපව හැසිරෙන නිසා මෙයා පූසන් වැනි විලෝපිකයන්ට හසුවීමේ අවදානම ටිකක් වැඩියි. කොහොම උනත් මූ බොහොම විමසිලිමත් සතෙක්. ලඟට කිට්ටු කරන එක ලේසි නෑ. ඔය මම දාල තියෙන ෆොටෝ දෙක ගත්තෙත් සෑහෙන අමාරුවෙන්.
   

Tuesday, May 1, 2012

විල්මුව සරණ - Injured Hog Deer rescued at Hiyare Conservation Centre



විල්මුවා (Hog Deer - Hyelaphus porcinus) යනු ශ්‍රී ලංකාවේ පහතරට තෙත්බිම් ආශ්‍රිතව කලාතුරකින් දක්නට ලැබෙන කුඩා මුව වර්ගයක්. විශේෂයෙන් බලපිටිය මාදු ග ආශ්‍රිත තෙත්බිමෙන් හා අම්බලන්ගොඩ මාදම්පාග තෙත්බිමෙන් විල්මුවන් බහුලව වාර්තා වෙනවා. බල්ලෙකුට වඩා මදක් විශාල මේ පුංචි මුවා දකුණු ආසියාවේ රටවල් කීපයකින්ම වාර්තා වෙනවා.


The Hog Deer - Hyelaphus porcinus is a small deer who is recorded in the lowland wetlands in Sri Lanka. This one is specially recorded in Balapitiya Maduganga and Ambalangoda Madampaganga swamps. This one is also found in some other South Asian countries such as Pakistan, India, Nepal and Bangladesh. 


ශ්‍රීලංකාවේදී දුර්ලභව දකින්නට ලැබෙන මේ වර්ගයේ සතුන් කිහිප දෙනෙක්ම එකවර දැක ගැනීමේ වාසනාව පසුගිය දොහක මට ලැබුණා. ඒ ගාල්ල - හියාරේ ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේදීයි. බල්ලන්ගේ සපාකෑම් වලට ලක්ව අසරණව සිටි මොවුන් හික්කඩුව වනජීවී කාර්යාලය මගින් ප්‍රතිකාර සහා මෙම මධ්‍යස්ථානයට එවා තිබුණා. 


This one is little bit rare to see in Sri Lanka. However I was fortunate enough to see these chaps at Hiyare Wildlife Conservation Centre. They were bitten by dogs and handed over to this rescue centre by the wildlife office of Hikkaduwa.


හියාරේ සුන්දරත්වය...

හියාරේ ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානය ගැන යමක් කියලාම හිටින්නම්.  මෙම ස්ථානය පාලනය වන්නේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මගින්. තුවාල ලත් වනසතුන්ට ප්‍රතිකාර කර ඔවුන් නැවත වාසස්ථාන කරා යොමු කෙරෙන ලංකාවේ පිහිටි එකම තැන මෙතැනයි. මේ වන විටත් එම ස්ථානයේ රෝගී ක්ෂීරපායීන්, උරගයන්, පක්ෂීන් ආදී සතුන් ප්‍රතිකාර ලබනවා.


Hiyare wildlife conservation centre is controlled by Wildlife Conservation Society-Galle. This is the only place where the injured wild animals are being treated and released to their natural habitats. So many mammals, reptiles and birds are being treated even now.
තුවාලවුණු අං...


මේ අහිංසකයාට වැඩිම තර්ජන එල්ල වෙන්නේ ගෘහාශ්‍රිත බල්ලන්ගෙන්. මසට ලොල් අධම මිනිස්සුන්ගෙන් ගැලවිලා ඉන්න එකත් සෑහෙන අභියෝගයක් මං හිතන්නේ...


බෙදාගෙන කෑම....


අපිට වගේම මේ අහිංසකයන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය රැකදුන් ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ ස්වේච්ඡා නිලධාරීන්ට පිං!


Looking at infinity...


ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ නිල වෙබ් අඩවිය : මෙතැන කොටන්න.


CLICK HERE : For the official website of Wildlife Conservation Society-Galle.


විශේෂ ස්තූතිය: ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා සහෝදරයාට