Thursday, July 19, 2012

දුටු නුදුටු සමනළ ලෝකය... 2 කොටස


සමනළ ලෝකයේ සොඳුරු පැතිකඩ ගැන මා ලියු පෙර ලිපිය මෙතනින් බලන්න... 
අපේ වත්ත පිටිය අවට සැරිසරන සමනළ විශේෂ කිහිපයක් ගැන පසුගිය ලිපියෙන් මම සාකච්ඡා කළා. අද මම ඉදිරිපත් කරන්නේත් එදිනෙදා අපට සුලබව හමුවෙන සමනළ විශේෂ කිහිපයක් සහ වනාන්තර ගතව හමුවෙන තරමක් දුර්ලභ සුවිශේෂ සමනළ විශේෂ කිහිපයක්. 
එහෙනම් මෙන්න අද පළවෙනියා....
4. White Four Ring - Ypthima ceylonica 
White Four-Ring (Ypthima ceylonica
මේ සමනළයාත් රටේ බොහෝ කලාපවල  බහුලව වාර්තා වන විශේෂයක්. කලින් දැකපු විශේෂ වගේම මෙයත් පහතින් පියාඹන (low flyer)කෙනෙක්. මේ සමනළයා තමන්ගේ පියාපත් වල ඇති සුවිශේෂ ඇස් වැනි ව්‍යුහ නිසා ඉතා පහසුවෙන් හඳුනා ගත හැකියි. ඔහු මේ බොරු ඇස් භාවිත කරන්නේ විලොපියකන්(predators) බියකර ඔවුන්ගෙන් ගැලවී සිටීම සඳහායි.
White Four-Ring (Ypthima ceylonica)
මේ කුඩා නමුත් සුන්දර සමනළයා අයත් වන්නේ Nymphalidae කුලයටයි.


5. Plain Tiger - Danaus chrysippus
මේ ඉන්නේ තවත් සුලබ සමනළ විශේෂයක්. මෙයා ආසියාවෙන් විතරක් නෙවෙයි අප්‍රිකාවෙනුත් වාර්තා වෙන කෙනෙක්.  සුපුරුදු ලෙස අයත් වන්නේ Nymphalidae කුලයටමයි. නමුත් මෙයා Danainae කියලා උප කුලයකට  අයත්  බවක් මට යාන්තමින් මතකයි. මම ඒ ගැන හරියටම දන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ට් එකක් දාන්න. අත්තටු අතර දිග සෙන්ටිමීටර අටක් පමණ වෙන මෙයා සාමාන්‍ය ප්‍රමාණයේ සමනළයෙක්. මෙයාගේ පිරිමි සතා ගැහැණු සතාට වඩා දීප්තියෙන් වැඩියි. අවාසනාවට මා සතුව තිබෙන්නේ මෙයාගේ මෙම ඡායාරූපය පමණයි. 


6. Ceylon tiger - Parantica taprobana
ඔව් නෝනාවරුනි මහත්වරුනි, මා දැන් ඉදිරිපත් කරන්නේ මෙතෙක් ඉදිරිපත් කල සමනළුනට වඩා සුවිශේෂ සමනළ විශේෂයක්. සාමාන්‍ය ගෙවත්තක දකින්නට ටිකක් අමාරු මේ සමනළයා ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ විශේෂයක්. මෙයා හඳුන්වන්නේ Ceylon tiger කියලා. මෙයා අයත් වන්නේ Nymphalidae කුලයේ Danainae උපකුලයටයි. මම මේ ඡායාරූපය ගත්තේ හෝර්ටන් තැන්නේ කුඩා අඩිපාරක වසා සිටියදීයි. සමනලුන් සාමාන්‍යයෙන් තම ඛනිජ අවශ්‍යතාවය සපුරා ගන්නේ මෙසේ තෙත් පසේ ඇති ලවණ උරා බීම මගිනුයි.
තවත් ඉදිරිපත් කල යුතු සමනළ විශේෂ රාශියක ඡායාරූප මා සතුව තිබෙනවා. නමුත් ලිපියක් ඕනවට වඩා දිග්ගැස්සීමට මා අකමැති නිසා සෙස්ස පස්සට කල් තබනවා. හැකි ඉක්මනින්ම ඒ ඡායාරූපත් රැගෙන ඔබ හමුවෙන්නම්.

Monday, July 16, 2012

දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස

සමනළයා යනු අපූර්වතම ජීවියෙක්. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ සමනළයා සුවිශේෂ චරිතයක්.බොහෝ කවීන්ට වස්තු බීජ සැපයූ අපූර්වතම විචිත්‍ර ජීවියා වන්නේත් සමනළයායි. දිවාචර සත්ත්ව විශේෂයක් වන සමනලුන් අයත් වන්නේ සියලු කෘමීන් අයත්වන ඉන්සෙක්ටා (Class: Insecta) වර්ගයයේ ලෙපිඩෝප්ටෙරා (Order: Lepidoptera)ගෝත්‍රයටයි. ශ්‍රීලංකාව නිවහන කරගත් සමනළ විශේෂ ගණන 245 ක්. ඒ අතරින් විශේෂ 23 ක් අපේ රටට ආවේනිකයි. මේ සමනළ විශේෂ අතරින් 76 ක්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. මා මෙහිලා පළ කරන බොහෝ ඡායාරූප (සියයට අසූවක් පමණ) අපේ වත්ත පිටිය අවට සැරිසරන සමනළ විශේෂයන්. කැමරාව සමග වත්තේ කරන ලද චාරිකා වලදී තමයි මම මේ පල නෙලා ගත්තේ. (වෙනත් වනගත ප්‍රදේශවලදී ගත් ඡායාරූප කීපයකුත් තියෙනවා) බොහෝ සමනළ විශේෂ හඳුන්වන නිශ්චිත සිංහල නම් නැහැ. අපි ඕනෑම සමනයෙක් හඳුන්වන්නේ නිකම්ම සමනළයා නමින්. ඒ නිසා මම මේ සමනලුන් හඳුන්වන විද්‍යාත්මක නම් සහ ඉංග්‍රීසි නම් පමණක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. එහෙනම් බලමු ෆොටෝ ටික...


1. Gray Pansy - (Junonia atlites)
Gray Pansy - Junonia atlites
Nymphalidae කුලයට අයත් මෙම සමනළයා දකුණු ආසියානු රටවල දක්නට ලැබෙන සුලබ සමනයෙක්. විශේෂයෙන්ම පහතරට තෙත් කලාපයේ ගෙවතු ආශ්‍රිතව නිතර දක්නට ලැබෙනවා. මේ සුන්දර සමනළයා මගේ කැමරාවට හසු වුනේ අපේ ගෙවත්තෙදියි. මේ එයාගේ තවත් ඡායාරූපයක්.
Gray Pansy - Junonia atlites
මේ ඉන්නෙත් Gray Pansyමයි.
Gray Pansy - Junonia atlites

2. Psyche - (Leptosia nina)
Psyche - Leptosia nina
 තරමක් කුඩා සමනලයෙකු වන Psyche බොහෝ ගෙවතුවල දක්නට ලැබෙන සුලබම සමනළ සාමාජිකයෙක්. මෙයා අයත් වන්නේ Pieridae කුලයටයි. ගිනිකොන දිග ආසියානු රටවල් හා ඉන්දියානු උපමහද්වීපයේත් මෙයා සුලබව හමුවෙනවා. නිතර තණකොළ ආශ්‍රිතව බිම්ස්තරයට සමීපව හැසිරෙන සමනළයෙක්. 

තරමක් අසංවිධිත පියාසර රටාවකින් යුක්ත නිසා එකවර ඡායාරූපයකට ග්‍රහණය කරගැනීම අසීරුයි. බොහෝවේලා ඉවසිල්ලෙන් බලාසිටීමෙන් ලද ප්‍රතිඵලය තමයි මේ.
Psyche - Leptosia nina


3. Grass yellow - Eurema blanda
Grass Yellow - Eurema blanda
Pieridae කුලයටම අයත් තවත් කුඩා සමනල් විශේෂයක්. ඉන්දියාව හා ලංකාව ආශ්‍රිතව හමුවන සුලබ සමනළ විශේෂයක්. විශේෂයෙන්ම තෙත් කලාපයේ රේල් පාරවල් අද්දර වැවුණු කුඩා කහපාට tridax මල් යායවල් අතරේ මේ සමනළයා ඉතාම සුලබව දකින්නට පුළුවනි. මේ ඡායාරූපය ගත්තෙත් එසේ මලක වසා සිටියදීයි.
Grass Yellow - Eurema blanda
තවත් සමනළ ඡායාරූප රාශියක් මා සතුව පවතිනවා. ඉදිරි ලිපි වලින් සෙසු ඡායාරූපත් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. සමනළයෙකු ඡායාරූප ගත කිරීම තරමක් අසීරු කටයුත්තක්. ඒ සඳහා හොඳ ඉවසීමක් අවශ්‍ය කරනවා. ඒ වගේම යහපත් කැමරා උපකරණ (මැක්‍රෝ ලෙන්ස් ආදී) තිබීමත් අවශ්‍යයි. නමුත් මම මේ සියලු ඡායාරූප ගත්තේ Nikon P60 සහ Canon SX10IS යන සංයුක්ත කැමරා දෙකෙන්. සමනලුන්ට අවශ්‍ය පරිසරය ඔබේ ගෙවත්තේ ඇති කරන්නට පුලුවන්නම් ඔවුන් ආකර්ෂණය කර ගන්නට පුළුවන්. බොහෝ සමනලුන් තරමක් සෙවන සහිත තෙත් පරිසරයන් ප්‍රිය කරනවා. ඒ වගේම වරා, බලුනකුට, සප්සඳ ආදී ශාක වලට ඔවුන් ආකර්ෂණය වන බව මා අත්දැකීමෙන් දන්නා කාරණයක්. ඉතින් ඔබත් අත්හදා බලන්න. වඩා සමීපව බැලු විට සමනළ ලෝකය කොයිතරම් විචිත්‍ර දැයි ඔබට දැනේවි. හමුවෙමු නැවතත් තවත් සමනළ ඡායාරූප පෙළක් සමග...