Sunday, September 2, 2012

සරා සොඳුරු වන රැජිණිය - කන්නෙලිය part 2

කන්නෙලිය රක්ෂිතයේ පිහිටි අලංකාර දිය ඇල්ලක් වන අනගිමල ඇල්ල මංපෙත ඔස්සේ  සංචරණය කරද්දී දුටු සුන්දර දසුන් තමයි මම මීට පෙර ලිපියෙන් ඔබ වෙත ගෙන ආවේ. ඒ ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් බලන්න. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ නාරන්ගස් ඇල්ල මංපෙත ඔස්සේ ගමන් කරද්දී දුටු දසුන් කීපයක්. පසුගිය දා අපි ගමන් කරපු අනගිමල ඇල්ල මංපෙතට වඩා නාරන්ගස් ඇල්ල මංපෙත දුෂ්කරයි. තාර පාරෙන් බැහැරව ගස් ගල් උඩින් කිලෝමීටර පහක පමණ දුරක් ගමන් කිරීමෙන් පසුව තමයි නාරන්ගස් ඇල්ලට ළඟාවෙන්න පුළුවන් වෙන්නේ.  
මේ වගේ ලස්සන දියපාරවල් රාශියක් මේ මංපෙත ඔස්සේ සංචාරය කරන උදවියට දකින්නට ලැබෙනවා. මේ නොඉඳුල් දියදහරා වල ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ රාශියක් දැක ගන්නට පිළිවන්. රතු පැහැ වල්ගයක් සහිත තල්කොස්සා (Belontia signata), හල්මල් දණ්ඩියා (Rasboraides veterifloris), කොළ කනයා (Channa orientalis), හීතමස්සා (Puntius oleurotaenia), බුලත් හපයා (Puntius nigrofasciatus) ආදී දුර්ලභ එමෙන්ම ආවේනික මත්සයන් මේ දියදහරා වල ඉතාම සුලබව වාර්තා වෙනවා. ගල් තලා මතින් ගලා බසින මෙම දියදහරා වල සුලබම මත්ස්‍යයා වන්නේ ගල් පාඩියාය (Garra ceylonensis).
Ahatulla nasutus
මේ ඉන්නේ ලංකාවේ බොහෝ පරිසර පද්ධති වල ඉතා සුලබව හමුවන සුලුවිෂ සර්ප විශේෂයක් වන ඇහැටුල්ලා (Ahatulla nasutus). රුක්වාසී සර්ප විශේෂයක් වන නිසාම ඊට ගැලපෙන වේශන්තරණයකින් යුතු මෙයා ස්වභාවික පරිසර පද්ධතියකදී හඳුනා ගැනීම ඉතා දුෂ්කරයි. මේ ඡායාරූපය ගැනත් යමක් කිව යුතුයි. මේ සර්පයා අතේ තබාගෙන ඉන්නේ අපිත් එක්ක ගිය මග පෙන්වන්නා. මෙය කිසිසේත් නොකළ යුතු ක්‍රියාවක් බවයි මගේ අදහස. මන්ද යත් මේ සතා සීපාවන්ට අපිට වගේ තුන්වේලට කෑම ලැබෙන්නේ නෑ. බොහෝවිට සර්පයෙකුට ගොදුරක් ලැබෙන්නේ දින ගණනාවකට එකවරක්. ඇතැම් විට අපි මේ බාධා කලේ දින ගණනාවක් බඩගින්නේ සිට ගොදුරකට කුරුමානම් ඇල්ලු සතෙකුට විය හැකියි. අපේ මේ බාධාව නිසා ඌට තව දින ගණනක් බඩගින්නේ ඉන්නට වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ගොන් පාට් වලට දුටු තැන විරුද්ධ වෙන්න.
Ahatulla nasutus
මේ ඉන්නෙත් එයාමයි. ඇහැටුල්ලගේ සිරුරේ මේ වගේ වෛරම් පේන්නේ සතා කලබල වුනාම බවයි මගපෙන්වන්නා කිව්වේ. ඉතින් එයා තවත් කලබල නොකර අපි එතනින් පිටත් වුනා.
Adenomus kelaartii
මේ ඉන්නේ තවත් ලංකාවට ආවේනික ගෙඹි විශේෂයක්. මෙයා හැඳින්වෙන්නේ කෙලාර්ට්ගේ කුරු ගෙම්බා (Adenomus kelaartii) යන නමින්.
යෝධ පුස් වැල
කන්නෙලියට එනේ බොහෝ දෙනා අනිවාර්යයෙන්ම නරඹන තැනක් තමයි මේ යෝධ පුස් වැල. වනය පුරා බොහෝ ප්‍රදේශයක විහිදී ඇති මෙය වනයට ගෙන දෙන්නේ අපූරු සුන්දරත්වයක්.
යෝධ පුස් වැල
මේ තියෙන්නෙත් ඒ යෝධ පුස් වැලේ කොටසක්.
නාරන්ගස් ඇල්ල 
මේ තියෙන්නේ අපි සොයාගෙන ආපු නාරන්ගස් ඇල්ල. අවාසනාවකට අපි ආවේ වැස්ස අඩු සමයක. ඒ නිසා මෙහි දිය මදක් අඩුයි.
නාරන්ගස් ඇල්ල 
මේ තියෙන්නේ එහිම තවත් දර්ශනයක්. මගේ ඊළඟ බලාපොරොත්තුව කබ්බලේ කන්ද තරණය කිරීම. එහි ගිය වහාම තොරතුරු ඔබට කියන්නම්.