Sunday, September 1, 2013

අකුරළ-ගල්දූව තෙත්බිම (යෝජිත අභයභූමිය)

සංවේදී පරිසර පද්ධතියක් වෙත ඔබව කැන්දාගෙන යන්නටයි සොබාරූ අද සූදානම් වන්නේ. බොහෝදෙනෙක් අසා නැති, ප්‍රදේශවාසීන් පවා බොහෝවිට එතරම් අවධානයක් යොමු නොකරන මේ සුවිශේෂ ජෛව පද්ධතිය ගැන ලියවුනු ලිපියක් පවා ප්‍රසිද්ධ ජනමාධ්‍යයකින් කියවීමට මටනම් අවස්ථාවක් ලැබී නැහැ.
ගාල්ල කොළඹ A2 ප්‍රධාන මාර්ගයේ 89 වැනි කිලෝමීටර් කණුව අසළ, අකුරළ හා ගල්දුව ප්‍රදේශයට මායිම්ව මේ අපූරු තෙත්බිම පිහිටා තිබෙනවා.
කැටපත....

දුම්රිය මාර්ගය හා සමාන්තරව පැතිරී තිබෙන මෙම තෙත්බිමේ මුළු වර්ග ප්‍රමාණය හෙක්ටයාර 72ක්. මාදම්පා ගඟටත්, තෙල්වත්ත ගඟටත් යාබදව ඒවායින් පෝෂණය ලබන මේ තෙත්බිම ජීව විශේෂ රාශියකට නිවස්නක් සපයා තියෙනවා.
රටාව....
70 සිට 90 දක්වා දශකයන්වල මේ තෙත්බිම හුණුගල් කනින්නන්ගේ දැඩි ග්‍රහණයට ලක්ව තිබුණා. පහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ දූ කුට්ටි සකස් වීමට බලපෑවේ මේ සිදුවුණු හිරිගල් කැණීම.
හිරිගල් කැණීමේ ප්‍රතිඵල...
කෙසේ නමුත් මේ වනවිට හිරිගල් කැණීම සම්පූර්ණයෙන්ම නතර වී තිබෙන අතර හිරිගල් කැණීම නිසා ඇති වුණු වලවල් මේ වනවිට කඩොලාන වලින් වැසී සම්පූර්ණයෙන්ම සජීවී තත්ත්වයට පත්ව තිබෙනවා.
Fatal beauty.....
මෙම තෙත්බිම පිළිබඳව තවමත් හරිහැටි විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකෙරී නැහැ. තෙත්බිම් උරුමය සංවිධානය විසින් කරන ලද නිරීක්ෂණයන්ට අනුව මෙහි ශාක විශේෂ 131ක් වාර්තා වෙනවා. හෙක්ටයාර 72ක් වැනි කුඩා බිම් ප්‍රදේශයක මේ තරම් විශාල ශාක විවිධත්වයක් දක්නට ලැබීම ඉතාම සුවිශේෂ සිද්ධියක්. මේ වැදගත්කම නිසාම මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම ප්‍රදේශය පාරිසරික සංවේදී කලාපයක් ලෙස නම්කර තිබෙනවා.
පුංචි දියකාවා - Little Cormorant - Phalacrocorax niger 
කුරුල්ලන් නැරඹීමටනම් මේ ප්‍රදේශයේ මීට වඩා තැනක් නෑ කියලයි මට හිතෙන්නේ. කුරුලු විශේෂ රාශියක්ම මෙම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ අතර ආවේණික විශේෂ කිහිපයකුත් සිටිනවා. මේ පහත ඡායාරූපයේ සිටින්නේ මල් පිළිහුඩුවා. (Common kingfisher - Alcedo attihis)
මල් පිළිහුඩුවා...
අපි නිතර දැක පුරුදු පිළිහුඩුවාට වඩා තරමින් ඉතා කුඩා මෙයාව ඡායාරූපයට නගන්න මට මාර කට්ටක් කන්න වුණා. ඉතා සංවේදී හා කුලෑටි සතෙක් වන මූ යන්තම් ශබ්දයකින් පවා කලබල වී තියුණු හඬක් නගාගෙන පියාසර කරනවා.
මේ තරම් වටින ජෛව පද්ධතියක් වුණත් මීට එල්ල වී ඇති තර්ජනත් සුළුපටු නැහැ. මෙම හෙක්ටයාර 72ම යොදාගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් ඉදි වන්නට ගිය තරු පන්තියේ හෝටල් සංකීර්ණය නතර වුණේ තෙත්බිම් උරුමය සංවිධානයට පින් සිද්ධ වෙන්නටයි.
මෙම තෙත්බිම පිළිබඳව තවදුරටත් අධ්‍යයන කටයුතු කෙරෙමින් පවතිනවා. එමෙන්ම මෙය අභය භූමියක් බවට ප්‍රකාශ කිරීම සඳහා මූලික කටයුතු කෙරෙමින් පවතින බවද සඳහන්.
මෙම බිමේ තවත් ඡායාරූප ඉදිරි ලිපිවලින් ඉදිරිපත් කරන්නම්.
(මෙම සටහන මිහිතුරු සඟරාවට යැවීම සඳහා මුලදී සකස් කළත් ඊට වඩා පාඨක සමූහයක් වෙත ගෙනයන්නට බ්ලොග් අඩවියට හැකි නිසා මෙහි පළ කෙරුණා.)

Tuesday, August 13, 2013

වන සතුනට සුව සදන හියාරේ සුව පියස...

ගිලන් වූ මිනිස් අපටත්, සුරතල් සතුන්ටත් ප්‍රතිකාර කෙරෙන වෛද්‍ය මධ්‍යස්ථාන අප ඕනෑතරම් දැක ඇත. එහෙත් හදිසි අනතුරු වලට භාජන වූ, රෝගීවූ, මව්ගෙන් මගහැරී අතරමං වූ අසරණ වනජීවීන්ට ප්‍රතිකාර කොට සුවපත් වූ පසු නැවත උන්ගේ සුපුරුදු වාසස්ථාන වෙත මුදාහරින "වනසත්ත්ව රෝහලක්" ගැන ඔබ අසා  තිබේද? මේ අපූරු රෝහල පිහිටා ඇත්තේ ගාල්ල, හියාරේ "කොට්ටව කෝඹල" වන රක්ෂිතය ආශ්‍රිතවය. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මගින් පාලනය කෙරෙන මෙය ලංකාවේ ඇති ප්‍රථම හා එකම වනජීවී රෝහලයි. මෙම අපූරු රෝහල ගැන මගේ පළමු ලිපිය මෙතනින්.
ගාලු වනජීවී සංරක්ෂණ සංගම් මුලස්ථානය

සර්පයන්, උකුස්සන්, බකමූණන්, විල්මුවන්, ඉත්තෑවන් ආදී සත්ත්ව විශේෂ ගණනාවක් මේ වන විට මෙම රෝහලින් ප්‍රතිකාර ලබන අතර මෙහි ප්‍රතිකාර ලබා සුවපත් වී ස්වභාවික පරිසරයට මුදාහැරුණු සත්ත්ව සංඛ්‍යාව ඉතා විශාලය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පූර්ණ මූල්‍ය සහයෝගය මත පවත්වා  ගෙන යන මෙම රෝහල ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මුලිකත්වයෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.
ආදරය...රැකවරණය...
"Back to wild" හෙවත් නැවත වනයට මුදාහැරිම මුලික පරමාර්ථ කොට ගෙන මෙහි වන සතුනට ප්‍රතිකාර කෙරේ. බල්ලන්ගේ ප්‍රහාරයන්ට ලක්වුණු විල්මුවන්, විදුලිසැර වැදුණු සර්ප උකුස්සන්, රිය අනතුරු වලට ලක්වුණු කොළ දිවියන් හා හඳුන් දිවියන්, නිවෙස් අසළ හමුවන පිඹුරන් හා වෙනත් සර්ප විශේෂ මෙම රෝහල වෙත බහුලව යොමුකෙරේ.
බ්‍රාහ්මණ උකුසු පැටියෙක්...
වනජීවී රෝහල වෙත රෝගීන් ලැබෙන ප්‍රධාන ක්‍රම තුනකි. බෙහෙවින්ම හික්කඩුව වනජීවී කාර්යාලය හරහා මෙම රෝහලට සතුන් යොමුකෙරේ. ඇතැම් විට මහජනයා විසින් ලබාදෙන තොරතුරු අනුව වනජීවී සංරක්ෂණ සංගමයේ ස්වේච්ඡා නිලධාරීන් අදාළ ක්ෂේත්‍රයට ගොස් සතුන් රැගෙන එති. ඇතැම් විට මහජනයා විසින් සෘජුවම රෝහල වෙත සතුන් ලබාදෙති.
ප්‍රතිකාර ලබා සුවය ලබන සත්ත්වයෝ උන් අල්ලාගත් ප්‍රදේශයට වඩාත්ම ආසන්න ආරක්ෂිතම ප්‍රදේශයට (Closest and Safest)නැවත මුදා හැරෙති. ඉතා කුඩා පැටවුන් වශයෙන් ලැබෙන රෝගීන් එක්වරම මුදා නොහැරේ. මන්ද යත්, ළඟට ලැබෙන ආහාර පරිභෝජනයට විනා ආහාර සොයාගෙන කෑමට උන් හුරුවී නැති බැවිනි. එවිට උන් මුදාහැරීමට පෙර විශේෂ පුහුණුවක් ලබාදීම සිදුවේ.  
පුහුණුව ලබන බ්‍රාහ්මණ උකුස්සෙක්...
උදාහරණයක් ලෙස මුදාහැරීමට නියමිත ඉත්තෑවෙකු පළමුව විශාල කොටුවක් තුළ දමා ඌ කෑමට ප්‍රියකරන අල වර්ගයක් එහි කෙළවරක සඟවා තබනු ලැබේ. මෙසේ ක්‍රමයෙන් සඟවා ඇති ආහාර සොයාගෙන කෑහැකි ලෙස පුහුණුව ලද ඉත්තෑවා ඉන්පසු වඩාත් විශාල ප්‍රදේශයක කොටුකර එහි ඇති ස්වභාවික ආහාර සොයාගෙන ආහාරයට ගන්නා අයුරු නිරීක්ෂණය කෙරේ. මෙසේ පශු වෛද්‍යවරුන්ගේ හා සංගමයේ ස්වේච්ඡා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබන සත්ත්වයා ඉන්පසු පෙර සඳහන් පරිදි ආරක්‍ෂිත පරිසරයකට මුදා හැරේ.
ප්‍රවීණ පශු වෛද්‍යවරුන්ගේ සේවය...
 මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන දත් නැති රිළවාගේ කතාව සුවිශේෂ එකකි. කාගේ හෝ නිවසක හැදී වැඩුණු ඌ ක්‍රමයෙන් වැඩෙත්ම ප්‍රචණ්ඩකාරී වුයෙන් කොට්ටව ආශ්‍රිත කැලයට මුදාහැර තිබිණ. මිනිස් ඇසුරේ හැදී වැඩුණු එකෙකු වූ බැවින් මිනිසුන්ට කිසිදු බියක් නොදැක්වූ ඌ නිවාස වලට පනිමින්, මිනිසුන් සපාකමින් ඉතා ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත. වනජීවී සංරක්ෂණ සංගමයේ නිලධාරීන් විසින් අල්ලාගෙන එනවිටත් මැහුම් හතරක් දැමිය යුතු තුවාලයක් උගේ හිසේ තිබිණ. ඉදිරිපස දත්ද අහිමිව තිබුණේ මිනිස් ප්‍රහාරයක් නිසා වියයුතුය. 
නොදනිමි කාගේ දෝසා...?
මේ වනවිට තුවාල සුවපත්ව ඇතත් ප්‍රචණ්ඩකාරී හැසිරීමත්, ඉදිරිපස දත් නොමැතිව ආහාර ගැනීමේ අපහසුතා නිසාත් ඌ මුදාහැරීම කළ නොහැක්කකි. කාගේ හෝ වරදකින් අවසානයේ ඌට උරුමව ඇත්තේ සෙසු ජීවිත කාලය කූඩුවකට වී සිටින්නටය.
අම්මා නැති වුණාට අඩුවක් නෑ...
වනජීවී රෝහලට ලැබෙන බොහෝ සතුන් ලැබෙන්නේ ඉතා අසාධ්‍ය තත්වයෙනි. බොහෝවිට රිය අනතුරු වලට භාජනය වුණු, විදුලි සැර වැදුණු සතුන් බේරාගැනීම ඉතා අසීරුය. කෙසේ නමුත් සත්ත්ව මරණ සංඛ්‍යාව අවම කරගනිමින් උන් බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දැරීමට මෙහි නිලධාරීහු වෙහෙසෙති.
තුවාල ලත් බකමූණෙක්...
1993 වසරේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු එක්වී ඇරඹු ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මේවන විට වසර විස්සක් පුරා වනජීවී ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටුකොට ඇත. මෙම වනජීවී රෝහලට අමතරව ඔවුන් විසින් ඉටුකරනු ලබන සේවාවන් රාශියකි. නවීන පහසුකම් හා පුහුණු නිලධාරීන් සහිත ඔවුන්ගේ පර්යේෂණාගාරය මෙම ක්ෂේත්‍රය පිළිබඳව හදාරන ඕනෑම අයෙකු වෙනුවෙන් විවරව ඇත. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හා පර්යේෂකයන්ට අවශ්‍ය සියලු පහසුකම් මෙම සංගමය විසින් නොමිලේ සපයනු ලබයි. වනජීවී ක්ෂේත්‍රයට අදාළ වටිනා පොතපත සහිත ඉතා අනර්ඝ පුස්තකාලයක්ද ඔවුන් සතුව ඇත. එසේම පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට තම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ඉතා වටිනා අවස්ථාවක් මෙම සංගමය විසින් සපයා දී ඇත.
සැත්කමක් කරමින්....
රටේ ජෛවීය පද්ධතියේ අනාගතය වෙනුවෙන් දිවා රෑ නොබලා සතුන්ගේ කැත කුණු අතගාමින්, ඇතැම් විට උන්ගේ ප්‍රහාරයන්ට පවා ලක්වෙමින් අතිශය කැපවීමෙන් කටයුතු කරන ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ නිලධාරීන් වෙත ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය. 
දිල්ශාන් දිසානායක 
ඡායාරූප: ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය

මිහිතුරු පාරිසරික සඟරාවේ 2013 අගෝස්තු කලාපයට මවිසින් යොමුකළ ලිපියක් ඇසුරෙනි.

Thursday, August 8, 2013

උඩරට මැණිකේ....මනහර කඳුරට තිලකේ...

තොටුපොළ කන්ද චාරිකා සටහනේ අවසන් අදියරයටයි දැන් අපි එළඹිලා සිටින්නේ. පසුදා උදේ පාන්දර මර හීතලේ අවදි වුණු අපි ආපසු ගමනට සූදානම් වුණා. උදේ ආහාරයෙන් පස්සේ නවාතැන් පොළ භාරකරු කිරිබණ්ඩා මාමාගෙන් සමුගත් අපි බඩුමලුත් උස්සගෙන පට්ටිපොළ දුම්රිය ස්ථානයට පැමිණියා. ඒ වන විටත් දුම්රියට තව බොහෝ වෙලා ඉතිරිව තිබුණු නිසා අපේ ගමන්මලු බංකුවක් උඩ තියපු අපි දුම්රිය මාර්ගය දිගේ හෙමිහිට ඉදිරියට ඇවිදගෙන ගියා.
හිමිදිරි උදෑසන දුම්රිය මග දෙපස පඳුරු අතර සිටි මේ සුන්දර පක්ෂීන් අපට මහත් ප්‍රීතියක් ජනිත කළා.
කහකන් කොණ්ඩයා 
මේ ඉන්නේ ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා (Yellow-Eared BulBul -Pycnonotus penicillatus). මෙයා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙක්.
පෙරදිගු සිතැසියා 
මෙයා නම් හුරුපුරුදු කෙනෙක්. මේ ඉන්නේ පෙරදිගු සිතැසියා...Oriental White-Eye (Zosterops palpebrosus) මෙයා ගැන මම කලින් ලියපු ලිපියක් මෙතනින් බලන්න.
අඳුරු නිල් මැසිමාරා 
මෙයා ගැන හරියටම මට විස්තරයක් කියන්න අමාරුයි. ලක්දසුන් වෙබ් අඩවිය මට පැවසූ ආකාරයට මෙයා අඳුරු නිල් මැසිමාරා (Sri Lanka Dull Blue Flycatcher-Eumyias sordida) ගේ නොමේරූ (juvenile) එකෙක්. මෙයා ලංකාවට ආවේණික පක්ෂියෙක්....
මහ ටිකිරිත්තා...
මේ ඉන්නේ මහ ටිකිරිත්තා(Great tit -Parus major) ආවේනික නැති නමුත් ලංකාවේ නේවාසික පක්ෂියෙක්.
මේ අතරේ අපේ දුම්රිය හෙමින් හෙමින් වේදිකාවට ලඟා වුණා.
උඩරට මැණිකේ....
අප විසින් කල් ඇතුවම පළමු පන්තියේ ආසන වෙන් කරගෙන තිබුණා. නමුත් ටිකක් දුර යනකොට තමයි කරගත්තු මෝඩකම තේරුණේ. පළමු පන්තියේ මැදිරියේ ජනේල සියල්ලම මුද්‍රා තබා තිබුණේ කැමරා ශිල්පීන්ට හූල්ලවමින්. කොහොම වුණත් ටිකක් අමාරුවෙන් වුණත් පාපුවරුවේ රැඳෙමින් ඡායාරූප ගැනීමට අපි සමත් වුණා. එහෙනම් කතා ඇති... බලන්න ඒ ෆොටෝ ටික...
ටිකට්ස් ප්ලීස්...

අඹේවෙල.....(through the sealed window)
එල්ජින් ඇල්ල...
නානුඔය ඇල්ල දුර රූපයකින්...
නානුඔය ඇල්ලේ ඉහළ කොටස දුම්රිය ස්ථානයේ සිට...
සිරිසාර බුලත් විට...
අහෝ...ලංකාවේ නයගරාව...
අපේ චාරිකාව නිමා වුණේ ඔන්න ඔහොමයි. ඇත්තටම මේ චාරිකාවට අපිට වැය වුණේ බොහොම සුළු මුදලක්. කොහොමත් අපි යන්නේ බජට් ට්‍රිප් තමයි. අපි සියලුදෙනා රජයේ සේවකයන් වීම අපිට මහත් සහනයක් වුණා. (ප්‍රවාහන වියදම් ඇත්තෙම නෑ.)
අවසාන වශයෙන් කිවයුතුම දෙයක් තියෙනවා... මතක තියාගන්න. අපි පරිසරයට අයත් මිසක් පරිසරය අපට අයිති නෑ.

Monday, August 5, 2013

තොටුපොළ කඳු තරණය දෙවන කොටස...

ගිය පාර මම සටහන අවසන් කලේ හෝර්ටන් තැන්නේ පට්ටිපොළ පිවිසුම් දොරටුව ලඟින්. ඒ සටහන බලාගන්න බැරිවුණු උදවිය මෙතනින් ඒක බලාගන්න.
පිවිසුම් දොරටුවෙන් එපිට තියෙන්නේ මොනවද කියලා පේන්නෙත් නැති තරමට මීදුම ගනව තිබුනා. ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් අදාළ අවසරපත් ලබාගත් අපි තෙරක් නොපෙනෙන මිහිදුම් ප්‍රවාහයේ ගිලී ගියා.
ප්‍රවේශපත්‍ර කවුළුවෙන් එහා ලෝකය...
ප්‍රවේශපත්‍ර කවුළුව පසුකර මීටර කීපයක් ගමන්කළ විට පාරේ වම් පැත්තේ තොටුපොළ කන්ද මංපෙත මුණගැහුණා. මේ වනවිටත් ඉතාම විචල්‍ය කාලගුණික තත්ත්වයකුයි අපි අත්විඳිමින් හිටියේ. විටෙක ඉතා පැහැදිලි වන පරිසරය ඒ ක්ෂණයෙන්ම මීදුමේ ගිලී ගියේ ඡායාරූප සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින්.
නාම පුවරුව...
නාම පුවරුවේ සඳහන් අන්දමට තොටුපොළ කන්දත් රාවණා පුරාවෘතය හා බැඳුණු තැනක්. රාවණාගේ දඬුමොණරය ගොඩබාන ලද තොටුපොළක් වීම නිසා මෙය තොටුපොල කන්ද වූ බව එහි දැක්වෙනවා. නමුත් කඳු මුදුනට ගොස් එහි සැඩ සුළං ප්‍රවාහයේ මහිමය මනාව අත්දුටු අපට නම් එය පට්ට කෙප්පයක් බව මනාව තේරුම් ගියා. මේ තරම් වැදගත් පරිසර පද්ධතිය ගැන වචනයක් වත් සඳහන් නොකර පුරාණ කෙප්ප කතා හයිලයිට් කරන මේ පුවරුව ගැන අපට ඇතිවුණේ කණගාටුවක්.
මංපෙත ඇරඹුම...
කඳු මුදුන තෙක් වනගහනය අතරින් වැටී තිබුණු අඩි පාරේ දිගටම අපි ගමන් කළා. බොහෝ සංචාරකයන් පිරිසක් හෝර්ටන් තැන්න නරඹන්න ආවත් එයින් බහුතර පිරිසක් තොටුපොළ කන්ද ගැන අසාවත් නැති බව අපට හැඟුණේ සෑහෙන දවසකින් මේ පාරේ සංචාරකයෙක් ගමන් කර නැති බව වැටහුණු නිසා.
වන වදුලේ සුන්දරත්වය...
අතරමග හමුවන බොහෝ සුන්දර දසුන් කැමරාවේ සටහන් කරගනිමින් ඉදිරියට ගිය අපි කුඩා හැඩයා ශාකයක් දැක මදකට නතර වුණා.
අධික මීදුම නිසා තරමක් හොඳ ඡායාරූපයක් ලබා ගැනීම මහා අභියෝගයක් වුණා. Huperzia pulcherrima යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන කුඩා අපිශාකයක් වන මෙය තරමක් දුර්ලභ, ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක්. කලබලයෙන් තොරව අවට පරිසරය ගැන විමසිල්ලෙන් පසුවන සංචාරකයෙකුටනම් මේ වගේ පුංචි නමුත් වැදගත් දේවල් මගහැරෙන්නේ නෑ. ක්‍රමයෙන් ඉහළට ගමන් කරන අපට ශාක පද්ධතියේ පැහැදිලි වෙනසක් දකින්න ලැබුණා.
කුරු ශාක...
ඉහළ පවතින අධික සුළං තත්ත්වය නිසා ශාක කුරු බවට පත්වී තිබීම එම කැපී පෙනෙන වෙනසයි. 
වැඩි වෙහෙස මහන්සියකින් තොරවම ලංකාවේ උසින් තෙවන ස්ථානය ගන්නා මුදුනට ලං වෙන්න අපිට හැකි වුණා.
කඳු මුදුනේ සිට....
නමුත් පැවතුණු අධික මීදුම නිසා පහළ මෙලෝ දෙයක් බලාගැනීමේ වාසනාව නම් අපිට තිබුණේ නෑ.
ඒ මදිවාට දැඩි සුළං සමග ඇදහැළුණු මුරුගසන් වරුසාව ඡායාරූප ශිල්පීන් හඬවන්නට සමත් වුණා. කඳු මුදුනේදී කැමරාව එළියට ගන්නටවත් අවස්ථාවක් නොලද අපි මද වෙලාවකින් ආපසු ගමන ආරම්භ කළා. මේ වලිකුකුළා දැක්කේ එන ගමනේදී...
වලිකුකුළා...
සවස් වෙද්දී අපේ නවාතැනට ආ අපි එදා රාත්‍රිය සීතලෙන් ගැහෙමින් පහන් කළා. පර සුද්දෙකුගේ විනෝදාස්වාදය සඳහා දිවිදුන් මේ කඳුකර ගෝනාගේ හිස අප දුටුවේ අපේ නවාතැනේ බිත්තියක සවිකර තිබියදී...
ෆන් එක වෙනුවෙන් බෙල්ල දීම...
පසුවදා උදෑසන උඩරට මැණිකේ දුම්රියෙන් ආපසු කොළඹ පැමිණි අපි අපේ අතිසුන්දර මතකයන් පිරි චාරිකාව නිමා කළා. උඩරට මැණිකේගේ ලස්සන පින්තූර ඊළඟ ලිපියෙන්...

Monday, July 29, 2013

තොටුපොළ කඳු තරණය....


සෑහෙන කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන ඉඳපු ගමනක් යන්න පහුගිය සතියේ අවස්ථාව උදා වුණා. ලංකාවේ තුන්වෙනියට උසම කන්ද වන තොටුපොළ කන්ද තරණය කරන්න අපට හැකි වුණා. මේ ඒ පිළිබඳව ඔබට ගෙන එන සටහනයි.
තොටුපොළ කන්ද පිහිටා තිබෙන්නේ පට්ටිපොළ සිට හෝර්ටන් තැන්නට පිවිසෙන මාර්ගයේ. හෝර්ටන් තැන්නේ පට්ටිපොළ අන්තයේ ප්‍රවේශපත්‍ර කවුළුව පසුකර මීටර් කීපයක් ඉදිරියට යනවිට මාර්ගයේ වම් අත පැත්තේ තොටුපොළ කන්දට පිවිසෙන මංපෙත මුණගැහෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 2360ක් පමණ උසින් පිහිටා ඇති තොටුපොළ කන්ද ඊටම ආවේණික ජෛවීය හා භූගෝලීය ලක්ෂණ වලින් හෙබි ඉතාම අපූර්ව පාරිසරික පද්ධතියක්.
මා සමග මේ ගමන යන්නට මගේ කාර්යාලීය මිතුරන් තිදෙනෙකුත් එකතු වුණා. ජුලි මස 25 වැනිදා රාත්‍රී 8ට කොළඹ කොටුවෙන් පිටත් වන තැපැල් දුම්රියේ නිදන මැදිරිය වෙන් කරගත් අපි 26වනදා උදේ පාන්දර 4.30ට පමණ ලේ කැටි ගැස්වෙන තරම් සීතලකුත් තුරුළු කරගෙන පට්ටිපොළට ගොඩ බැස්සා. 
සීතල උදෑසන පට්ටිපොළ දුම්රිය පොළ...
දැඩි සුළඟ හා අධික සීතල නිසා මදක් එළිය වැටෙන තුරු දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ රැඳෙන්නට අපි තීරණය කළා. මා දුටු ඉතාම පිරිසිදු විවේක කාමරය ලෙස පට්ටිපොළ දුම්රිය ස්ථානයේ විවේක කාමරය හඳුන්වන්නට පුළුවන්. ඒ පිළිබඳව දුම්රිය ස්ථාන බලධාරීන්ට පින් දෙමින් පැය දෙකක් පමණ එහි ගතකල අපි ඉන්පසු නගරය වෙත ගමන් කළේ උදෑසන ආහාරය ලබාගැනීම සඳහායි.
රොටී....
 සරල උදේ ආහාරයෙන් පසු අපි ගමන් කළේ අප විසින් කල් වේලා ඇතුව වෙන් කරගෙන තිබුණු අපගේ නවාතැන් පොළ වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිවාඩු නිකේතනය වෙතටයි. සරල සාමාන්‍ය පහසුකම් වලින් හෙබි පැරණි ගොඩනැගිල්ලක් වන එය අපගේ අවශ්‍යතාව වෙනුවෙන් මනාව ගැලපුනා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පට්ටිපොළ සංචාරක බංගලාව...
 අප ගෙන ආ බඩුමුට්ටු එහි තැබූ අප සංචාරයට සුදුසු ඇඳුමින් සැරසුණා. ඒවන විටත් සුළං ධාරා සමග සිහින් වැසි ඇද හැලෙමින් තිබුණු නිසා අපගේ කැමරා උපකරණවල ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට අපට සිදු වුණා. ඉතින් එතැන් පටන් හෝර්ටන් තැන්න පිවිසුම තෙක් අපට ගමන් කරන්නට සිද්ද වුණේ මීදුම හා සිහින් වර්ෂාව මධ්‍යයේයි. ඒ පිළිබඳව පුන පුනා නොකියා මෙතැන් සිට ඡායාරූප වලට කතා කරන්නට ඉඩ හරින්නම්.

පටන් ගැන්ම.....
මග දිගට.....
අහෝ..! අපේ වගකිවයුතු සංචරණය.....(අඹේවෙල යෝගට් කෝප්ප)
මීදුම මැදින්....
අනන්තයට යන පාර දිගේ.....
වනමලක සුන්දරත්වය... 
ගල මත ජීවය....
බෝවිටියා...
මේ විදිහට මග දිගට සුන්දරත්වය විඳිමින් සීතල සුළඟට වෙවුලමින්, මද වැස්සට තෙමෙමින් අපි හෝර්ටන් තැන්නේ පට්ටිපොළ පිවිසුමට ලං වුනා. ඒ වෙනකොට මීදුම කොයිතරම්ද කියලා මේ ඡායාරූපයෙන් බලාගන්න.
එතැන් පටන් මීදුම මැද්දෙන් තොටුපොළ කන්ද නැගපු හැටි හැකි ඉක්මණින් ලියන්නම්.