Friday, January 25, 2013

යතුරුපැදි චාරිකා.. අංක 1: නුවරඑළිය

අද මම ලියන්නේ මීට අවුරුද්දකට පමණ පෙර ගිහිපු මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන විදිහේ සොඳුරු චාරිකාවක් ගැන. මම මගේ බොහෝ  බිමන් වලට යොදා ගන්නේ මෝටර් බයිසිකලය. එකෙන් ගමන් බිමන් යද්දී දැනෙන අපූරු නිදහස වෙන කිසිම වාහනයකින් ලබන්න බෑ. හැමදාම  ළඟ පාත ගමන් බිමන් යන එකේ මට හිතුනා දවසක බයිසිකලෙන් දුර ගමනක් යන්න. ඉතින් අපි ගමනාන්තය හැටියට තෝර ගත්තේ නුවරඑළිය. හැමදාමත් මගේ ජීවන ගමනේ සහකාරිය වෙච්චි මගේ ආදරණීය බිරින්දෑත් මාත් එක්ක මේ ගමනට එකතු වුණා. අපි හික්කඩුවෙන් ගමන පටන් ගත්තේ හවස දෙකට විතර. හවස පහමාරට විතර කඩුවෙල අපේ ඥාතියෙකුගේ නිවසට ළඟා වූ අපි එදින රාත්‍රිය එහි ගතකලේ පසුදා උදෑසනින්ම ගමන පිටත් වීමට අදිටන් කරගෙනයි.
සැලසුම පරිදිම එදින උදෑසන 4.30ට පමණ කඩුවෙලින් පිටත් වුනු අපි අවිස්සාවේල්ල හරහා කිතුල්ගලට ළඟා වුණා.
කිතුල්ගලට ඉහළින් හිරු උදාව.
කිතුල්ගලට ඉහළින් හිරු උදාවන දර්ශනය නම් අමතක නොවන තරම් සුන්දර දර්ශනයක්. ඒ මිහිරියාව විඳිමින් කැළණි ගං ඉවුරේ ඉදිවුණු පුංචි හෝටලයකින් අපි උදෑසන ආහාරය ලබා ගත්තා.
උදේ කෑම හරී වැදගත්!
ඊට පස්සේ බයිසිකලේ එහෙමම තියෙද්දී ගං ඉවුරට ගිහින් පොඩ්ඩක් ඒ සුන්දරත්වය විඳ ගන්නත් අපි අමතක කලේ නෑ.
කැළණි ගං කොමළිය 
මේ අපූරු සලබයා මුණගැහුනේ ගං ඉවුරේ පොඩි ගහක වහලා ඉන්දැද්දි. එයාගේ තටුවකට යම් විලොපිතයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන බව පේන්න තිබුණා.
තටු බිඳුණු සලබයා...
එතනින් පිටත් වුනු අපි නැවතත් අපේ චාරිකාව පටන් ගත්තා. අපිට ඇත්තටම කිසිම හදිස්සියක් තිබුනේ නෑ. ඒකනිසා අවට සුන්දරත්වය නරඹමින් අපි හෙමින් හැටන් පාර දිගේ ඉදිරියට ආවා. කිතුල්ගල පහුකරලා කිලෝමීටර් හතරක් විතර එනකොට හඟරාපිටිය හරහා නොර්ටන් බ්‍රිජ් වලට යාහැකි අතුරු පාරක් අපිට හමුවුණා. මේ හන්දිය හැඳින්වෙන්නේ කළුගල හන්දිය කියලා.(තොරතුරු සැපයූ චම්ලි කරුණාසේකර සහෝදරයාට ස්තූතියි.) මම වහාම සිතියම ඇදලා බැලුවා. මේ පාර තරමක් දුෂ්කර දිගු මාර්ගයක් වුණත් අතිශය සොඳුරු සප්තකන්‍යා කඳු පාමුල හරහා දිවෙන්නක් නිසා දෙවරක් නොසිතාම අපි ඒ පාරට හැරුණා.
දුෂ්කර නමුත් මා මෙතෙක් ධාවනය කළ සොඳුරුම මාර්ගය  
මම කලිනුත් කිව්වා වගේ මේ පාර දිවෙන්නේ සප්ත කන්‍යා කඳු පාමුලින්. මේ තියෙන්නේ කොත්තැල්ලෙන කියන සුන්දර ගම. 
කොත්තැල්ලෙන ගමේදී. පසුබිමින් පෙනෙන්නේ සප්තකන්‍යා කඳු වැටියේ කොටසක්.
මේත් කොත්තැල්ලෙන ප්‍රදෙශයමයි. 
මේ විදිහට වටරවුම් ගහමින් හිතූ හිතූ තැන් වල නතර වෙමින් ආපු අපි අන්තිමට නොර්ටන් බ්‍රිජ් නගරයට ආවා. සෙස්ස ඊළඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න.

දෙවැනි කොටස මෙතනින්.

Saturday, January 19, 2013

හොඳටම වැඩිවුණ ලේනා....

ලේනා..Indian Palm Squirrel (Funambulus palmarum)

අපේ මිදුලේ කුරුල්ලන් වෙනුවෙන් කෑම, වතුර සපයන ලැල්ලක් සවි කරලා තියෙන බව මම කලින් පෝස්ට් එකක කියලා ඇති. මෙතනින් බලන්න ඒක. අපි පසුගියදා කුරුලු ලෑල්ලට පොඩි ස්ථාන මාරුවක් දුන්නා. කලින් තිබ්බ තැන චුට්ටක් පාත වැඩියි. ඉතින් පූසෝ වගේ විලෝපිතයන්ගෙන් කුරුල්ලන්ට ඇතිවන අවදානම සලකලා අපි කුරුලු ලෑල්ල ඇඹරැල්ල ගහේ ටිකක් උඩින් හයි කළා.
මේ වෙනස කල දවසේ වෙනදා එන කුරුල්ලෝ වැඩිය ආවේ නෑ. උන්ට තැන නුහුරු නිසා වෙන්න ඇති. හෙට අනිද්දා වෙනකොට ඒක හරියයි. එදා මුලින්ම කෑමට ආපු මේ තුන් ඉරි අප්පු මූණ දීපු අබග්ගය තමයි මේ.

ආ... මේ තියෙන්නේ රස කෑමක්.... කිට්ටු කරලා බලමු....

ලෝකෙ තියෙන අන්තිම කෑම මේක වෙන්න බැරි නෑ ඒක හින්දා හොඳට කන්න ඕන.  
තවත් කාගන්නත් බෑ ඒත් බෑ කියලත් බෑ.....
අන්තිමේදී....
කන්න දීපු එවුන් මාව නැගිට්ටවපල්ලා....

Thursday, January 17, 2013

නෑසූ නුදුටු සුන්දරත්වය - හක්ගෙඩි ඇල්ල, ගාල්ල



දියඇල්ලක සුන්දරත්වය නොවිඳි කෙනෙක් හෝ එහි විචිත්‍රත්වය විඳින්න අකමැති කෙනෙක් අප අතර නැතුව ඇති මම හිතන්නේ. දියදහරක් යනු එතරම්ම සිත නිවන සොඳුරු ආරම්මණයක් වීම ඊට හේතුවයි. අපේ වාසනාවට අප දිනු දේශය එවන් අපූරු දියඇලි වලින් ගහණ අතිශය මනරම් දිවයිනක්. නමුත් ශ්‍රී ලංකාවේ දියඇලි ගැන කියද්දී හැමෝටම මතක් වෙන්නේ දුන්හිඳ, දියලුම, රාවණා, බඹරකන්ද වැනි ප්‍රචලිත ඇලි කිහිපයක් පමණයි. ඒ නමුත් සංචාරකයන්ගේ ඇසෙන් වසන් වුනු සරා සොඳුරු දියඇලි කීයක් නම් මේ පුංචි රටේ තියෙනවද? අද මම ඔබ කැටුව යන්නේ එවන් සැඟවුණු ඉතා සොඳුරු කුඩා දියඇල්ලක් වෙතටයි. බොහෝවිට ඔබ මේ ඇල්ල ගැන මේ අසන්නේත් පළමු වතාවට වෙන්නට ඇති.
මෙම ඇල්ල පිහිටා තිබෙන්නේ ගාල්ල නගරයේ සිට කිලෝමීටර් විසිපහක් පමණ දුරින් පිහිටි කනංකේ නම් කුඩා ග්‍රාමයේයි. ගාල්ල සිට අකුරැස්ස හරහා දෙනියාය - මාදම්පේ තෙක් දිවෙන A17 ප්‍රධාන මාර්ගයේ පිහිටි නිසංසල කුඩා ගම් පියසක් වන කනංකේ හන්දිය පසුකර කිලෝමීටරයක් පමණ අකුරැස්ස දෙසට පැමිණෙන විට මාර්ගයේ වම්පස හක්ගෙඩි ඇල්ල වෙත දිවෙන මග සඳහන් නාම පුවරුව දකින්නට පුළුවන්. එම දුෂ්කර මාර්ගයේ කිලෝමීටරයක් පමණ මග ගෙවා මේ අපූරු සුන්දර දියදහර වෙත ළඟා විය හැකියි. 

අතරමග නැරඹිය යුතු තැනක් - පිලාන රජමහා විහාරය.


මා මුලදීම පැවසූ ආකාරයට මෙය විශාල දියඇල්ලක් නම් නෙවෙයි. හක්ගෙඩි දොළෙන් උපත ලබන මේ ඇල්ල උසින් අඩි දහයකට වැඩි නෑ

හක්ගෙඩි ඇල්ල 

හක්ගෙඩි ඇල්ල පහළ කොටස

හක්ගෙඩි දොළ අවට පිහිටි නොඉඳුල් වනාන්තරය රටට ආවේනික ජීව විශේෂයන්ට නිවහන සපයනවාසමනල් විශේෂ  අතරින්  ප්‍රධානයිවිවේකශීලීව අවට පරිසරයට නෙත් යොමන්නෙකුට මේ සුවිශේෂතා හඳුනා ගැනීම මහදෙයක් නෙවෙයි.

ඇල්ල අවට නොඉඳුල් වනය...
පුංචි දියකාවා....Little Cormorant - (Microcarbo niger)


බොහෝ සංචාරකයන්ගෙන් සැඟවී  තිබීම නිසාම මේ ඇල්ල අවට පරිසරය තාමත් නොඉඳුල්ව පවතිනවා. ඉතින් මේ ඇල්ල නරඹන්නට යම් දිනක ඔබත් යනවානම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න. ප්රධාන වශයෙන්ම මෙය ඉතා සංවේදී පරිසර පද්ධතියක් බව සිහිතබා ගන්න. මේ පරිසරයට ආගන්තුක කිසිවක් එහි තබා නොඑන්නටත් එම පරිසරයට අයත් කිසිවක් රැගෙන නොඑන්නටත් තරයේම වග බලා ගන්න. එසේ වුවහොත් පමණක් ඔබේ අනාගත පරම්පරාවටත් මේ සුන්දරත්වය මෙලෙසින්ම ඉතිරිවී පවතීවි.

Wednesday, January 16, 2013

ශෝකයෙන්, ක්‍රෝධයෙන් හා වෛරයෙන් දැනුම් දෙමි.....

තනි දළයා මරා දමා තිබේ. ඒ දළයා මේ දළයාමදැයි තවමත් හරිහැටි නිච්චි නැති නමුත් පසුගියදා හබරණදී දුර්ලභ තනි දළ හස්තියෙකු වෙඩි තබා මරා දමා තිබේ. තොපට ශාප වේවා!