Saturday, February 16, 2013

යතුරුපැදි චාරිකා අංක හතර: හෝර්ටන් තැන්න


මේ චාරිකා සටහනේ සෙසු කොටස් මෙතනින් බලන්න.
1 කොටස 
2 කොටස 
3 කොටස 
හෝර්ටන් තැන්නට ඇතුළු වෙනකොටම අපි දැක්කේ සුබදායක දර්ශන නම් නෙවෙයි. බැලු බැලූ හැම තැනම ආක්‍රමණික ශාක වර්ග පිරිලා. කලින් පෝස්ට් එකේ මම ඒවගේ ශාක වර්ග දෙකක් සඳහන් කළා. මේ තියෙන්නෙත් ඒ වගේ ආක්‍රමණික ශාකයක්.
වරල්ල - Pteridium
මේ ශාකය හැඳින්වෙන්නේ 'වරල්ල' (Pteridium) යන නමින්. අපිට හුරුපුරුදු මීවන ශාකයක් වගේ පෙනුණත් මේක ඊට වඩා හුඟක් ඉක්මණට පැතිරී යන පර්ණාංග විශේෂයක්. වනෝද්‍යානයේ ටිකට් පරීක්ෂා කරන ස්ථානය අවට මේ ශාක විශාල පැතිරීමක් දකින්න තිබුණා. 
මේ අසුබ දර්ශන මැදින් වුණත් හෝර්ටන් තැන්න තමන්ගේ සුන්දර රූපකාය ඇතැම් විට මීදුම් සළුවෙන් වසා ගනිමින්ද ඇතැම් විට යන්තම් නිරාවරණය කරමින්ද අපිට පෙන්නුවා. අඩිපාර දිගේ හෙමින් ඇවිද ගිය අපි රතු පාලම ළඟ මදක් නතර වුණා.
මිරිදිය කකුළු විශේෂයක් 
මේ පුංචි මිරිදිය කකුළු විශේෂය අපිට දකින්න ලැබුනේ රතුපාලම අසල කුඩා දියදහර දෙස විමසිලිමත්ව බැලූ නිසයි.
HSBC බැංකුව විසින් හෝර්ටන් තැන්න පුරාම දැනුවත් කිරීමේ පුවරු සවි කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඒවායේ සඳහන් කරුණු ඉතාමත් ප්‍රයෝජනවත්. හෝර්ටන් තැන්නේ දියදහරා වලට හඳුන්වා දෙනු ලැබූ රේන්බෝ ට්‍රවුට් මත්ස්‍යයා ගැන මා දැන ගත්තේ එවන් පුවරුවකට පින් සිද්ද වෙන්නටයි. ඊට අනුව මේ දියදහරා වලට එම මත්ස්‍යයා හඳුන්වාදෙනු ලැබ ඇත්තේ Ceylon Fishing Club නමැති සංගමය විසින් විනෝදයට මාළු බෑම සඳහායි. නමුත් අද වන විට හෝර්ටන් තැන්නේ දියදහරා පුරා විසිර ගිය ට්‍රවුට් මාළුවා දේශීය කූනිස්සන් විශේෂ හෝර්ටන් තැන්නෙන් අතුගා දමන්නට සමත් වී සිටිනවා. 
ට්‍රවුට් මත්ස්‍යයාගේ විස්තර...
මෙවන් පරිසරයක චාරිකාවක් සිදුකරද්දී ඉතා විමසිලිමත්ව ගමන් කිරීම අත්‍යවශ්‍යයි. නැත්නම් බොහෝ වැදගත් කුඩා දේවල් ඔබ අතින් මග හැරෙන්නට පුළුවනි. මේ බලන්න මේ පින්තූරය...
ලයිකන...
මේ තියෙන්නේ ගලක් මත වැවුණු ලයිකනයක්. ඇල්ගී හා දිලීරයක සහජීවී සංගමයක් ලයිකනයක් ලෙසින් හැඳින්වෙනවා. ලයිකන වල ඇති තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ඒවා පාරිසරික තත්ත්වය මැනීමේ දර්ශකයක් ලෙස යොදා ගැනීමයි.  එනම් යම් පරිසරයක ලයිකන වැඩී නැතිනම් එම පරිසරයේ වායු දූෂණය ඉහළ බවයි සැලකෙන්නේ.
මෙහෙම මදක් ඉදිරියට යද්දී අපි තවත් සුවිශේෂ සත්ත්වයෙක් දැක ගත්තා.
කළු කොපුල් කටුස්සා - Calotes nigrilabris
කළු කොපුල් කටුස්සා - Black-cheek Lizard (Calotes nigrilabris Peters) නමින් හැඳින්වෙන මෙයා අපිටම ආවේණික කටුසු විශේෂයක්. ඉහළ කඳුකරයේ ජීවත් වෙන මෙයා හෝර්ටන් තැන්නේ සුලබව දැකබලා ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවට ආවේනික ශාක වර්ග රාශියක් විමසිල්ලෙන් බැලුවොත් ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නෙත් අපිටම ආවේනික ශාකයක්...
කුරු උණ - Chimonobambusa densifolia
මේ ශාකය හැඳින්වෙන්නේ කුරු උණ-Dwarf bamboo (Chimonobambusa densifolia) යන නමින්. ඉහළ කඳුකර ප්‍රදේශ වල ව්‍යාප්ත වී ඇති මේ ශාකයේ හොඳ ගහනයක් චිමිනි පොකුණ ආශ්‍රිතව අපි නිරීක්ෂණය කළා.
චිමිනි පොකුණ 
මේ තියෙන්නේ චිමිනි පොකුණ. මේක වටේම කුරු උණ ශාක පිරිලා තිබුණා. ඔය ඉදිරිපසින් පෙනෙන්නේ මහා රත්මල් ශාකයක්. මෙන්න මහරත්මල් වල සමීප රූපයක්.
මහරත්මල්-Rhodrodendron arboreum
මධ්‍යම පළාත් පුෂ්පය ලෙසද නම් කර ඇති මහරත්මල (Rhodrodendron arboreum) ඒක දේශීය ශාකයක්. ඉහළ කඳුකර ප්‍රදේශ වල පමණක් දැකගත හැකි මෙම ශාකය මලින් බරවූ විට ඉතාම මනස්කාන්ත දර්ශනයක් මවනවා. 
කුඩා තණ පඳුරු අතර සැඟවී තිබුණු හුරුපුරුදු සුන්දර ශාකයක් දැකලා අපි ටිකක් නතර වුණා. මෙයා මීට කලින් සිංහරාජ අඩවියේ ලංකාගම පාර අයිනක ඉඳලත් මට හම්බ වුණු කෙනෙක්. මේ ඉන්නේ එයා...
නිල්බිනර - Exacum trinervium
මේ නිල්බිනර (Exacum trinervium) ශාකයක්. මල නම් ටිකක් පරවෙලා. ලංකාවට ආවේනික අතිශය සුන්දර පැලෑටියක්. බොහෝ විදේශිකයන්ගේ කෑදර බැල්මට ලක්වුණු මෙම ශාකය ජාන හොරුන්ගෙන් බේරා ගැනීම විශාල අභියෝගයක්.
සුප්‍රකට ලෝකාන්තය දක්වා දිවෙන ඛාදනය වුණු අඩිපාරේදී තමයි මට මේ ඒකදේශීය සමනලයා මුණ ගැහුනේ.
ලංකා කොටිතියා - Ceylon tiger
තරමක් දුර්ලභ විශේෂයක් වන මෙයා ලංකා කොටිතියා - Ceylon tiger (Parantica taprobana) නමින් හැඳින්වෙනවා. මෙයා ගැන මම මීට කලින් ලියූ සටහන මෙතනින් බලන්න. 
මේ විදිහට ඉතා සෙමින් අවට බල බලා ගිය අපි ලෝකාන්තයත් දැක බලා ගත්තා.
මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ වටිනා පරිසර පද්ධතියට එල්ල වුණු තර්ජන ගණනාවක් අපි මේ චාරිකාවේදී නිරීක්ෂණය කළා. ආක්‍රමණික ශාක වලින් හා සත්ත්ව විශේෂ වලින් එල්ල වුණු තර්ජනය ඉන් ප්‍රධානයි. ඒවගේම සංචාරකයන් සිදුකරන නොමනා ක්‍රියා නිසා ඇති වන පාරිසරික ගැටලුත් සුළුපටු නැහැ. තමන්ට නියමිත වනමං(Trails) වල පමණක් ගමන් කරන්න කියලා කොයිතරම් අවවාද කලත් බොහෝ  අය නියමිත මගින් පිට පැන තැන්න හරහා ගමන් කරනවා. මේ බලන්න...
හරිමග...
ඔය පින්තූරේ කහපාටින් පෙනෙන්නේ නියමිත මාර්ගය (ඔය පොඩි දරුවා යනමග නිවැරදියි.) ඊට ඉහළින් දුඹුරු පාටින් පෙනෙන්නේ සංචාරකයන් විසින් බොහෝ වාරයක් තිස්සේ ගමන් කිරීමෙන් සැදුණු පාරවල් තුනක්. ඉතිං අර නිල්බිනර වගේ පුංචි පැළෑටි ඉතිරි වෙයිද?
හෝර්ටන් තැන්නේ සුවිශේෂත්වයත්, එම පරිසර පද්ධතිය තුළ හැසිරිය යුතු ආකාරයත් පුන පුනා කීම අනවශ්‍ය දෙයක්. වගකීමෙන් හා වගවීමෙන් හැසිරීම ඔබට බාරයි.....
මෝටර් සයිකල් චාරිකාවේ අවසාන කොටසින් රක්වාන සූරියකන්ද වංගු දහය පාරේ සුන්දරත්වය බලාපොරොත්තු වන්න.

කාරුණික නිවේදනයයි: මේ සමග පලවන සියලු ඡායාරූප මා හා මගේ බිරිඳ විසින් ගන්නා ලද ඒවාය. කොහෙන්වත් උපුටා ගත් එකදු ඡායාරූපයක් මගේ බ්ලොග් එකේ කිසිදු තැනක නැත. යම් අයෙකු කිසියම් උවමනාවකට ඡායාරූපයක් උපුටා ගත්තාට මගේ කිසිම අමනාපයක්  නැත. ඇත්ත වශයෙන්ම එය මගේ මහත් සතුටටද හේතු වෙයි. නමුත් මේ ඡායාරූප වල මා ගසා ඇති හංවඩුව ඉවත් කිරීමෙන් වලකින්න.

Thursday, February 7, 2013

යතුරුපැදි චාරිකා - නුවරඑළිය අංක 3

මේ ලිපි මාලාවේ පළමු කොටස මෙතනිනුත්,
දෙවැනි කොටස මෙතනිනුත් බලන්න.
පසුදා උදෑසනින්ම අවදි වුණු අපි දෙන්නා මුලින්ම ගියේ නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි අපේ ප්‍රියතම වෙජිටේරියන් හෝටලය වන ශ්‍රී අම්බාල්ස් එකට. බඩ පිරෙන්න තෝසේ, වඩේ වලින් සප්පායම් වුණු අපි  වඩේ කීපයක් පාර්සල් කරගත්තා. අපි ළඟ තිබුණු පුංචි උණුවතුර බෝතලේ වේටර්ට දුන්නු මම "මල්ලි තේ හතරක් දාන්න හැබැයි අඩු සීනි" කියලා කිව්වා. මේකා කැඩිච්ච සිංහලෙන් මගෙන් අහනවා "අයියේ තේ හතරම අඩු සීනිද කියලා" හයියෝ සල්ලි..
මහගස්තොට, බ්ලැක්පූල්, මීපිලිමාන හරහා අපි කන්දේ ඇලට ලඟා වුණා. කන්දේ ඇල ජලාශයේ ඒ වන විට ඉතිරි වෙලා තිබුණේ බොහොම අඩු ජල ප්‍රමාණයක්. ඒ වන විට මාස ගණනකින් නුවරඑළියට වැහි පොදක් වැටිල තිබුනේ නෑ.
දිය සිඳුණු ජලාශය 
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය අපේ ප්‍රමුඛ අරමුණ වෙලා තිබුණු නිසා අපි කන්දේ ඇල නවතින්න අදහස් කලේ නෑ. එනගමන් කාලවේලාව ඉතිරි වෙලා තිබුනොත් එමු කියලා හිතා ගෙන අපි දිගටම ගමන් කළා. මේ විදිහට කිලෝමීටර් කීපයක් ආපු අපි මද විවේකයක් සඳහා අඹේවෙල ප්‍රදේශයේ මදකට නතර වුණා.
සුන්දර අඹේවෙල.....
මේත් අඹේවෙලමයි...
අඹේවෙල පසුකරගෙන පට්ටිපොළ හරහා අපි හෝර්ටන් තැන්නට ඇතුළු වුණා. ඒ යන අතරමග මාර්ගයේ සුන්දරත්වය තමයි මේ.
ස්වර්ගයට යන මාර්ගය...
මේ සුන්දරත්වය විඳිමින් අපි ගමන් කලේ ඉතාම අඩු වේගයකින්. (බලන්න මගේ මීටරේ දිහා...) මේ මාර්ගයේ ගමන් කරද්දී අපි බොහොම සිත් කම්පා කරවන දසුනක් දැක්කා. එනම්, Blue star (Aristea acklonii) නමින් හැඳින්වෙන ඉතා ඉක්මනින් පැතිරී යන ආක්‍රමණික ශාකයක් මේ ප්‍රදේශයේ ව්‍යාප්තව තිබෙනු දැකීමයි. අඹේවෙල ප්‍රදේශයේ සිට හෝර්ටන් තැන්න දක්වාම මග දෙපස දිගටම මෙම ශාකය අප විසින් නිරීක්ෂණය කළා.
Blue star - විනාශකාරී සුන්දරත්වය  
දීප්තිමත් සුන්දර මල් වලින් ගැවසුණු මෙම ශාකය විසිතුරු ශාකයක් ලෙසට ගෙවතු සඳහා හඳුන්වාදුන් එකක්. ස්වභාවික පරිසරයට නිදහස් වූ මේ ශාකය දැන් ඉහළ කඳුකරයේ ඉතා විනාශකාරී ලෙස පැතිරෙමින් පවතිනවා. මෙය දකුණු හා නැගෙනහිර අප්‍රිකානු රටවලින් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ශාකයක් බව පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා එතුමාගේ ෆේස්බුක් අඩවියේ සටහන් කොට තිබුණා.
මේ විදිහට අවට පරිසරය ගැන විමසිලිමත් වෙමින් හෙමින් හෙමින් අපි හෝර්ටන් තැන්නට ළඟා වුණා.
තව ටිකයි.....
වනෝද්‍යානයට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ගයේ මද දුරක් යද්දී ඈතින් සමනළ කන්ද දැක ගැනීමට අපි පිං කර තිබුණා.
සිරිපාදේ සමනොළ කන්ද පෙනේ...
වනෝද්‍යාන පිවිසුම් මාර්ගයේ තවත් සුන්දර දර්ශනයක්...
 අනන්තයට යන පාර දිගේ...
හෝර්ටන් තැන්නට ඇතුළු වුණු හැටියෙමත් අපි දුටුවේ සුබදායක දසුනක් නම් නෙවෙයි. යුලෙක්ස් හෙවත් යුරෝපීය කටුපඳුරු (Ulex europeous)ලෙස හැඳින්වෙන ආක්‍රමණික ශාකයක් මේ වටිනා ජෛව සම්පත ගිලගනිමින් සිටිනා ආකාරයයි. අඩිපාර දෙපස ඝනව වැඩුණු යුලෙක්ස් පඳුරු...
ඝනව වැඩුණු ulex පඳුරු  
කහ පැහැ මලින් පිරුණු මෙම ශාකයත් විසිතුරු ශාකයක් ලෙස මෙරටට ගෙන්වූවක් ලෙසටයි සැලකෙන්නේ. හෝර්ටන් තැන්නේදී අපි විඳපු සුන්දරත්වයත් ලබාගත් සුවිශේෂ ඡායාරූපත් ඊළඟ ලිපියෙන් ගෙන එන්නම්. 

Friday, February 1, 2013

යතුරුපැදි චාරිකා: නුවරඑළිය - අංක 2


ගියවර මම සටහන අවසාන කලේ නොර්ටන් බ්‍රිජ් නගරයෙන්. ඒ සටහන් කියවන්න බැරි වුණා නම් මෙතනින් ගිහින් ඒක බලලා එන්න.
නොර්ටන් බ්‍රිජ්හි සුප්‍රකට මං සලකුණ - සප්ත කන්‍යා කඳුවැටියේ හැපී විනාශ වුණු මාර්ටින් එයාර් ගුවන් යානයේ ටයරය 
නොර්ටන් බ්‍රිජ් නගරයේ මදක් නතර වුණු අපි අසල තිබුණු තේ කඩයකට ගොඩ වුණේ ඒ වන විට අපට තරමක් වෙහෙස දැනුණ නිසාවෙන්. අතින් කටින් බඩු එල්ලගෙන, කන්නාඩි, ජැකට් දාගෙන අඟහරු ලෝකෙන් ආපු අමුතු ජීවීන් දෙන්නෙක් වගේ අපි දෙන්නව කඩේ හිටපු උදවියට පේන්න ඇති. ඔයගොල්ලෝ කොහේ ඉඳන්ද? කියලා අහපු වයසක මනුස්සයෙකුට "හික්කඩුවේ ඉඳන්" කියලා මම උත්තර දුන්නම ඒ මනුස්සයාගේ ඇස් දෙක නළලට ගියා. 
උණුසුම් තේ කෝප්පයකින් සප්පායම් වූ අපි නැවත ගමන් අරඹා හැටන් නගරයට පිවිසුණා. හැටන් නුවරඑළිය මාර්ගය ඒ වන විට පිළිසකර කෙරෙමින් පැවතුණ නිසා අවට පැවතුණේ අධික දුහුවිල්ලක්. මෙසේ මද දුරක් පැමිණි අපි ශ්‍රී ලංකාවේ පිහිටි අතිශය සොඳුරු දිය ඇල්ලක් වන "ඩෙවොන් ඇල්ල" සමීපයට එළඹියා. 
ඩෙවොන් ඇල්ල
 මහා මාර්ගයේ සිට හොඳින් නැරඹිය හැකි මේ දිය ඇල්ල උසින් අඩි 281ක්.
ඩෙවොන් ඇල්ල වඩා සමීපව
ඩෙවොන් ඇල්ල පසුකර මීටර කිහිපයක් ඉදිරියට ගමන් කරන විට "ලංකාවේ නයගරාව" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන "ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල මුණ ගැහෙනවා.  
"ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල
ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නිසා දැන් නම් මේ ඇල්ල මෙතරම් සුන්දරව දකින්නට ලැබෙන්නේ නෑ.
"ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල සහ පහත නිම්නය
මේ තියෙන්නේ එන අතරමග දැකපු තවත් කුඩා දියපහරක්. මේක ඇත්තටම දිය ඇල්ලක් නෙවෙයි. මේ දියපහරට ඉහළින් ඇති මාර්ගය හරහා දාපු බටයක් තුළින් තමයි මේ දියපහර මතුවෙන්නේ. ඒ නිසා මම ඒකට නම දැම්මා "බට ඇල්ල" කියලා..... 
"බට ඇල්ල"
මේ විදිහට පරිසරයේ සුන්දරත්වය උපරිමයෙන් විඳිමින් අපි නුවරඑළිය නගරයට ළඟා වුණා. අපේ නවාතැන්පොළ වුණේ රජයේ සංචාරක බංගලාව. දුප්පත් රාජ්‍ය සේවකයන් වන අපිට ඒකෙ තියෙන පහසුකම් ඉහටත් උඩින්.
මේ තියෙන්නේ නුවරඑළියේ රජයේ සංචාරක බංගලාව
එදා හවස අපි ගත කලේ ග්‍රෙගරි වැව් ඉවුරේ ඇවිදිමින් සහ බයිසිකල් පදිමින්. මේ තියෙන්නේ ග්‍රෙගරි වැව් ඉස්මත්තේ සොඳුරු දසුන් කීපයක්. 
ග්‍රෙගරි වැව
ග්‍රෙගරි වැව
ග්‍රෙගරි වැවට ඉහළින් හිරු බැසයන අයුරු...
හෝටන් තැන්නේ හා අඹේවෙල තොරතුරු ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.
තවත් අපූරු බයිසිකල් චාරිකාවක විස්තර මෙතනින් බලන්න. http://ekicks.blogspot.com/2013/02/01.html