Thursday, February 7, 2013

යතුරුපැදි චාරිකා - නුවරඑළිය අංක 3

මේ ලිපි මාලාවේ පළමු කොටස මෙතනිනුත්,
දෙවැනි කොටස මෙතනිනුත් බලන්න.
පසුදා උදෑසනින්ම අවදි වුණු අපි දෙන්නා මුලින්ම ගියේ නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි අපේ ප්‍රියතම වෙජිටේරියන් හෝටලය වන ශ්‍රී අම්බාල්ස් එකට. බඩ පිරෙන්න තෝසේ, වඩේ වලින් සප්පායම් වුණු අපි  වඩේ කීපයක් පාර්සල් කරගත්තා. අපි ළඟ තිබුණු පුංචි උණුවතුර බෝතලේ වේටර්ට දුන්නු මම "මල්ලි තේ හතරක් දාන්න හැබැයි අඩු සීනි" කියලා කිව්වා. මේකා කැඩිච්ච සිංහලෙන් මගෙන් අහනවා "අයියේ තේ හතරම අඩු සීනිද කියලා" හයියෝ සල්ලි..
මහගස්තොට, බ්ලැක්පූල්, මීපිලිමාන හරහා අපි කන්දේ ඇලට ලඟා වුණා. කන්දේ ඇල ජලාශයේ ඒ වන විට ඉතිරි වෙලා තිබුණේ බොහොම අඩු ජල ප්‍රමාණයක්. ඒ වන විට මාස ගණනකින් නුවරඑළියට වැහි පොදක් වැටිල තිබුනේ නෑ.
දිය සිඳුණු ජලාශය 
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය අපේ ප්‍රමුඛ අරමුණ වෙලා තිබුණු නිසා අපි කන්දේ ඇල නවතින්න අදහස් කලේ නෑ. එනගමන් කාලවේලාව ඉතිරි වෙලා තිබුනොත් එමු කියලා හිතා ගෙන අපි දිගටම ගමන් කළා. මේ විදිහට කිලෝමීටර් කීපයක් ආපු අපි මද විවේකයක් සඳහා අඹේවෙල ප්‍රදේශයේ මදකට නතර වුණා.
සුන්දර අඹේවෙල.....
මේත් අඹේවෙලමයි...
අඹේවෙල පසුකරගෙන පට්ටිපොළ හරහා අපි හෝර්ටන් තැන්නට ඇතුළු වුණා. ඒ යන අතරමග මාර්ගයේ සුන්දරත්වය තමයි මේ.
ස්වර්ගයට යන මාර්ගය...
මේ සුන්දරත්වය විඳිමින් අපි ගමන් කලේ ඉතාම අඩු වේගයකින්. (බලන්න මගේ මීටරේ දිහා...) මේ මාර්ගයේ ගමන් කරද්දී අපි බොහොම සිත් කම්පා කරවන දසුනක් දැක්කා. එනම්, Blue star (Aristea acklonii) නමින් හැඳින්වෙන ඉතා ඉක්මනින් පැතිරී යන ආක්‍රමණික ශාකයක් මේ ප්‍රදේශයේ ව්‍යාප්තව තිබෙනු දැකීමයි. අඹේවෙල ප්‍රදේශයේ සිට හෝර්ටන් තැන්න දක්වාම මග දෙපස දිගටම මෙම ශාකය අප විසින් නිරීක්ෂණය කළා.
Blue star - විනාශකාරී සුන්දරත්වය  
දීප්තිමත් සුන්දර මල් වලින් ගැවසුණු මෙම ශාකය විසිතුරු ශාකයක් ලෙසට ගෙවතු සඳහා හඳුන්වාදුන් එකක්. ස්වභාවික පරිසරයට නිදහස් වූ මේ ශාකය දැන් ඉහළ කඳුකරයේ ඉතා විනාශකාරී ලෙස පැතිරෙමින් පවතිනවා. මෙය දකුණු හා නැගෙනහිර අප්‍රිකානු රටවලින් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ශාකයක් බව පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා එතුමාගේ ෆේස්බුක් අඩවියේ සටහන් කොට තිබුණා.
මේ විදිහට අවට පරිසරය ගැන විමසිලිමත් වෙමින් හෙමින් හෙමින් අපි හෝර්ටන් තැන්නට ළඟා වුණා.
තව ටිකයි.....
වනෝද්‍යානයට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ගයේ මද දුරක් යද්දී ඈතින් සමනළ කන්ද දැක ගැනීමට අපි පිං කර තිබුණා.
සිරිපාදේ සමනොළ කන්ද පෙනේ...
වනෝද්‍යාන පිවිසුම් මාර්ගයේ තවත් සුන්දර දර්ශනයක්...
 අනන්තයට යන පාර දිගේ...
හෝර්ටන් තැන්නට ඇතුළු වුණු හැටියෙමත් අපි දුටුවේ සුබදායක දසුනක් නම් නෙවෙයි. යුලෙක්ස් හෙවත් යුරෝපීය කටුපඳුරු (Ulex europeous)ලෙස හැඳින්වෙන ආක්‍රමණික ශාකයක් මේ වටිනා ජෛව සම්පත ගිලගනිමින් සිටිනා ආකාරයයි. අඩිපාර දෙපස ඝනව වැඩුණු යුලෙක්ස් පඳුරු...
ඝනව වැඩුණු ulex පඳුරු  
කහ පැහැ මලින් පිරුණු මෙම ශාකයත් විසිතුරු ශාකයක් ලෙස මෙරටට ගෙන්වූවක් ලෙසටයි සැලකෙන්නේ. හෝර්ටන් තැන්නේදී අපි විඳපු සුන්දරත්වයත් ලබාගත් සුවිශේෂ ඡායාරූපත් ඊළඟ ලිපියෙන් ගෙන එන්නම්. 

20 comments:

  1. මේ ආක්‍රමණික ශාක ඉක්මනට මර්ධනය කරන්න ඕනේ.

    Thank you for the story

    ReplyDelete
    Replies
    1. මේ ආක්‍රමණික ශාක මර්ධනය කරන්න වනජීවී නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධාන අවස්ථා කීපයකදීම උත්සාහ කළා. ඔය යුලෙක්ස් ශාකය මර්ධනය කරන්න තියෙන එකම ක්‍රමය උගුල්ලලා දාල ගිනි තියන එක. කොයිතරම් උත්සාහ කළත් තාමත් හෝර්ටන් තැන්නේ යුලෙක්ස් බොහොම සරුවට දකින්න තියෙනවා. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  2. ලෝකෙම ZIP කරල හදපු පුංචි රට. මීදුම නැති දවසක ගිහ එක ගොඩක් වටිනවා. මම හොර්ටන් තැන්නේ 5 පාරක් ගිහින් තියනවා 4 පාරක් කූඩාරම් වල. 1 පාරක් ඔහිට ස්ටේෂමේ නිදියගත්ත දවස් 2 ට්‍රිප් එකකදි. කිව්වත් වගේ ඡායාරූප ලස්සනයි. ඒකාලේ මතක් කරනවා. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හෝර්ටන් තැන්නේ කූඩාරමක රැයක් ඉන්න එක මගෙත් හීනයක්. ඔයාගේ ඒ අත්දැකීම බ්ලොග් එකේ ලියන්න.

      Delete
  3. මම හෝර්ටන් තැන්නට ගිය දවසේ පුදුම මීදුමක් තිබුනේ. ආදී කීපයකට වැඩ ඇත පෙනුනේ නැහැ.

    ෆොටෝ ටික ගොඩක් ලස්සනයි. මල්ලි ඔයා පාවිච්චි කරන්නේ Canon PowerShot SX10 IS කැමරා එකක්නේ, ඉතින් landscape ෆොටෝස් ගන්නකොට wide angle පැත්තට zoom out කරන්න.

    අර තනි ගහ තියන ෆොටෝ එක wide angle lens එකකින්, high angle ෂොට් එකක් විදිහට ගත්තනම් මරු කියලා හිතෙනවා.

    මෙහෙම කීවට තරහ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ. (මම කොහෙවත් ෆොටෝග්‍රෆි කෝස් එකක් කරලා නැති නිසා මෙහෙම උපදෙස් මට සෑහෙන වටිනවා.) මේ ට්‍රිප් එක යනකොට මට කැනන් කැමරාව තිබ්බේ නෑ. යාලුවෙකුගේ සෝනි කැමරාවක් ඉල්ලගෙන ගියේ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ගොඩක් සුන්දරයි. ඒ වගේම මේ වගේ ආක්‍රමණික ශාක ගැන දැනුවත් කිරීමත් ගොඩක් අගය කරනවා... ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයිනෙ. මොකද හැම අයටම ඒ ගැන දැනුමක් නැහැනෙ. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතිරි ටිකත් ඉක්මණින්ම කියවන්න ලැබුණා නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අගය කළාට. නිකම්ම පරිසරයේ සුන්දරත්වය වනනවාට වඩා ඒ අවට තියෙන වැදගත් දේවල්, ඒවගේම පරිසරයට තර්ජනයක් වන දේවල් ගැනත් ලියන එක සුදුසුයි කියලයි මගේ හැගීම. නොදැනුවත්කම නිසා අපි කොයිතරම් හානිකර ශාක වර්ග ගෙවත්තට වැද්ද ගන්නවද කියලා ඉස්සරහට ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා. මේ චාරිකාවේ ඉතිරි ටිකත් ඉක්මනටම දාන්නම්.

      Delete
  6. මහඑලිය, එහෙම නැත්නම් හෝටන් තැන්න කියන්නේ මමත් හරිම ආසකරන පැත්තක්. අපි එකපාරක් ඔහිය පාරේ පයින් ගියා far-inn එන්ට්‍රන්ස් එක ලඟට යනකම්ම. මට දැනෙන විදිහටනම් පට්ටිපොළ පාරට සාපේක්ෂව ඔහිය පාර ලස්සනයි. ඔහේ යන අයට මග ඇරෙන දේවල් තම කිරිගල්පොත්ත සහ තොටුපල කඳු දෙක. දවස් දෙකක් විතර කැම්ප් ගහල ඔය දෙකේත් නැගල එන්න තියේනම් ගොඩක් වටිනා අත්දැකීමක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔහිය පාරෙන් මම එකපාරක් ගියා. ඇත්ත ඔහිය පාර හරිම ලස්සනයි. කිරිගල්පොත්ත සහ තොටුපොල කන්ද නගින එක මගෙත් හීනයක්. බලමු කවදාහරි හැබෑ වේද කියලා. එදාට ආරාධනා කලොත් එනවද යන්න?

      Delete
  7. හෝටන් තැන්න ට කොච්චර ගිහින් තිබුනත්, කියවලා තිබුනත්, දකින කියවන හැම වතාවකම නැවුම් බවක් දැනෙනවා. අපූරු විස්තරේ මලේ. දෙපාර්තමේන්තුව යුලෙක්ස් ඉවරකරන්න කොච්චර උත්සාහ කළත් තවම බැරි උනා. හැම ආක්‍රමණික ශාකයක්ම ඒ වගේ. ඉතාම වේගයෙන් පැතිරෙනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ගාමිණි අයියේ. මාත් කීපවතාවක්ම හෝර්ටන් තැන්නේ ගිහින් තියෙනවා. ඒත් ආයේ යන්න තියෙනවානම් කොයිතරම් හොඳද කියලා නිතරම හිතෙනවා. යුලෙක්ස් නම් වඳ කරන එක ලේසි නෑ. ඒත් දිගටම උත්සාහ කරොත් බැරි වෙන එකකුත් නෑ. හෝර්ටන් තැන්න නරඹන්න එන අයත් ඔය වැඩේට හවුල් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න පුලුවන්නම් හොඳයි.

      Delete
  8. හෝර්ටන් තැන්නේ දෙසරයකට වඩා යන එක මටනම් හිතෙන්නේ බොරු වැඩක් වගේ.හරියට සිරිපාදේ දස වතාවක් යනවා වගේ..

    ReplyDelete
    Replies
    1. හෝර්ටන් තැන්නේ සියපාරක් ගියත් මටනම් මදි කියලයි හිතෙන්නේ. දෙයියනේ කොයිතරම්නම් දේවල් තියෙනවද බලන්න. මේ පාර මම නිල්බිනර මලකුත් දැකගත්තා. ඒක ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්. සිරිපාදෙත් එහෙම තමයි. ලක්ෂ වාරයක් ගියත් අලුතෙන් බලන්න දේවල් සැහෙන්න තියෙනවා.

      Delete
  9. මම නම් මෙ විස්තර අදමයි දන්නේ.ස්තුතියි දැනුවත් කිරීමට.ඔබගේ තුන්වන ඇසට අසුවු සුන්දරත්ව කදිමය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට. තව හොඳ හොඳ දේවල් ඉස්සරහට දානවා.

      Delete
  10. මේ ආක්‍රමණකාරී ශාක පැතිරෙන්න අපේ අයගේ තියන දැනුවත් වීමේ මදි කමත් හේතුවක් කියල මට හිතෙනවා. මල් කිව්වම අපි ඕන එකක් ගෙනල්ල හිටව ගන්නවා නේ.
    දැනට ලංකාවේ තියන ඇකේසියා ගස් වල මල් නිසා මී මැස්සෝ අඩු වෙනවා කියල මං අහල තියනවා. එහෙම එකක් තියනව ද..?

    ReplyDelete
    Replies
    1. ඇකේසියා විතරක් නෙවෙයි චන්දන පිහිඹියා, ඒවගේම ගොඩක් ක්‍රෝටන් වර්ග නිසාත් දේශීය සමනල හා මීමැසි විශේෂවලට සෑහෙන බලපෑමක් වෙලා තියෙනවා. මම තාම මේ ගැන විස්තර හොයනවා. ඉස්සරහට ලිපියක් ලියන්නම්.

      Delete