Saturday, December 20, 2014

ග්‍රේට් වෙස්ටර්න්... අවසාන කොටස

කන්දේ දෙවන නැග්ම පළමු කොටසට වඩා සෑහෙන අභියෝගයක් වුණා. ගස්, පඳුරු, මුල් ආදියේ එල්ලී ගෙන, ඇතැම් විට බඩ ගා ගෙන හෙමින් සීරුවේ ඉහළ නැගපු අපි ගමනේ පළමු View Point එකට ආවා.
පළමු View Point එකේ සිට... ඊතලයෙන් දැක්වෙන්නේ දුම්රිය මාර්ගයයි..


පළමු View Point එකේ සිට..
ඳුමුදුනට ළං වෙන්නට අපට යායුතුව තිබුණේ තවත් කෙටි දුරක් විතරයි. කඳුමුදුනට අප ළං වෙත්ම දැඩි මීදුම් ප්‍රවාහයකින් අවට වැසී ගියා..
මීදුමෙන් වැසී....
 
මීදුමෙන් වැසෙමින්...
මේ වන විට ලංක‍ාවේ හයවෙනියට උසින් හිට ගෙන හිටි අපිට බැලූ බැලූ අතින් පෙනු‍නේ ගන මීදුම් සේලය පමණයි. ඉ
ඳහිට යාන්තම් මීදුම් සේලය මෑත් වන අවස්ථාවන් වලදී අපි අවට සුන්දරත්වය විඳ ගත්තා.


ආපසු බැස්ම ඉහළ නගිනවාට වඩා අමාරු වුණා. දැඩි ලිස්සන සුලු ස්වභාවය නිසා ඇද නොවැටුණු කෙනෙක් නැති තරම්.
‍තවත් සුන්දර පාරිසරික චාරිකාවක් මේ විදියට නිම වුණේ සුන්දර මතකයන් රැසක් අපේ සිත් තුළ ඉතිරි කරමින්.
අවසන් වශයෙන් මෙවන් ගමනක් යන්නට ඔබත් අදහස් කරනවා නම් සැලකිය යුතු කරුණු කිහිපයක් ලියා තබන්නම්.

1. සුදුසු මාර්ගෝපදේශකයෙක් ලබා ගන්න. මෙය ඉතා වැදගත් කරුණක්. මෙවන් හුදෙකලා ප්‍රදේශයක අතරමං වුණොත් සිදු වෙන දේ අමුතුවෙන් කිව යුතු නෑ. අපේ මාර්ගෝපදේශකය‍ා වුණේ ග්‍රේට් වෙස්ටර්න් වල වෙසෙන අපූරු ගැමියෙක් වුණු මෝගන්... ඔහුගේ සේවය විශිෂ්ටයි... සුහදශීලීයි.. සම්බන්ධ කර ගන්න අවශ්‍ය නම් මෙන්න දුරකථන අංකය  - 0770791002

2. සුදුසුම ප්‍රවාහන මාධ්‍යය දුම්රියයි. අපි යොදා ගත්තේ රාත්‍රී තැපැල් දුම්රිය.

3. නවාතැන් පහසුකම් ලබා ගන්න අවශ්‍ය නම් තලවාකැලේ හෝ නානුඔයට යායුතුයි. නැත්නම් සුලු පිරිසක‍ට සීමිත පහසුකම් යටතේ මෝගන්ගේ නිවසේ නවාතැන් ගන්නටත් පුලුවන්.

4. ගමනේ යෙදෙන විට හොඳින් දෙපා ආවරණය වන දිගු කලිසමක් හා නොලිස්සන සුලු පාවහන් පළඳින්න. 

5. වර්ෂාව නිතර බලාපොරොත්තු විය හැක. සුදුසු වැසි ආවරණ රැගෙන යන්න.

6. වනාන්තරය තුළ ගමන් කරද්දී නිශ්ශබ්ද වීම ඉතා වැදගත්ය. නැත්නම් හොඳ බඹර ප්‍රහාරයක් රසාස්වාදනය කළ හැක. මෙන්න සාක්ෂි..,

මෙවන් පරිසර පද්ධතියක හැසිරිය යුතු ආකාරය ගැන ලියා මගේ බ්ලොග් පාඨකයන්ට අපහාස කිරීමට මා සූදානම් නැත. මන්ද යත් ඔබ සියලු දෙනා පරිසරය කෙරෙහි සබුද්ධික බව මා හොඳාකාරව දන්නා බැවිනි.

තවත් චාරිකාවක් සමග ඉක්මනින්ම හමු වෙමු.....

Friday, December 12, 2014

ග්‍රේට් වෙස්ටර්න්...... The most strenuous hike ever... Part II

පසුගිය චාරිකා සටහන මම හමාර කළේ කන්ද පාමුලින්... එ් සටහන කියවන්න බැරිවුණා නම් මෙතනින් බලන්න.
කන්ද නැගීම ආරම්භ කළ ස්ථානයේ සිට මීටර් දෙසීයක් පමණ ඉහළින් කුඩා කෝවිලක් පිහිටා තිබුණා. දුම්රිය මාර්ගය ආසන්නයේ සිට කෝවිල දක්වා පඩි පේළියක් බැඳ තිබුණු අතර එය අපට සිහි කළේ සිරිපාදයේ මහගිරි දඹයයි...
මහගිරි දඹය....
මේ මහගිරි දඹය අසීරුවෙන් තරණය කළ අපි කෝවිල වෙත ළඟා වුණා.  මද වෙලාවක් කෝවිල අසල ගිමන් නිවූ අපි නැවත ගමන පිටත් වුණා.

 
කෝවිල.....

  මෙතනින් එහාට නිශ්චිතව සලකුණු වුණු මාර්ගයක් නෑ. ගනව වැඩුණු කැලය ඔස්සේ යන්තමට සලකුණු වුණු අඩි පාර දිගේ අපි හෙමිහිට පියවර මැන්නා.
යාන්තම් සළකුණු වුණු අඩිපාර...

බ‍ොහෝ අවස්ථාවල අපිට සිදු වුණේ දෙපයින් යනවාට වඩා අත් පා හතරම භාවිත කරමින්, ගස්, පඳුරු ආ‍දියේ එල්ලෙමින් බඩ ගා ගෙන යන්නටයි. පසුගිය රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව නිසා මාර්ගය බෙහෙවින්ම ලිස්සන සුලු වුණා.
ඔන්න ගොරබිරම් රකුසෝ.. අමු කැලෑ බිඳං එනවෝ...

කෙසේ වුණත් ගමනේ පළමු කොටසේ නැග්ම ඒතරම්ම අසීරු වුණේ නෑ.
පළමු නැග්ම අවසානයේ අපි තරමක් තැනිතලා බිමකට පිවිසුණා... මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වාගේ "නෙලු" මලින් ගැවසී තිබුණා...
මිහිබට දෙව්ලොව....
සුදු සහ දම් වර්ග දෙකටම අයත් මලින් පිරුණු මේ පෙදෙස දෙව්ලොව සිරි මවමින්, මිහිරි සුවඳින් සිත් සනහාලමින් අපේ වෙහෙස දුරු කළා...
සුදුමල් සුගන්ධිනී.... (මේ මල් වර්ගය වඩාත් ඉමිහිරි සුවඳින් යුක්තයි)
කොයිතරම් සුන්දර පරිසරයක් වුණත් විනාශ කොට දැමීම දෙපා සතාගේ සිරිත බව ඔප්පු වෙන සාධක අපි මේ නොඉඳුල් වනාන්තරයේදීත් දැක්කා.. මේ තියෙන්නේ කපා දැමූ ගසක්... 
???

මේ වගේ තවත් ගස් කපා දමා තිබුණු බවට සාධක අවට විසිරී තිබුණා...මේ චාරිකාව තුළ අප අත්දුටු වේදනාකාරීම දර්ශනය එයයි..
බැලූ බැලූ හැම තැනම දිස්වුණේ හරිත පැහැයෙන් දිදුලන ගන වනාන්තරයයි.
මහ ගන වනන්තරේ...

ගස්මත වැවුණු ලයිකන හා අපිශාක පරිසරයට ගුප්ත සුන්දරත්වයක් එකතු කළා.
අපිශාක හා ලයිකන...

(ලයිකන යනු ඇල්ගී හා සයිනොබැක්ටීරියාවක සහජීවී සංගමයක්. මේවා වායු දූෂණය මැනීමේ දර්ශකයක් ලෙසත් යොදා ගන්නවා. එනම් දූෂිත වායු තත්ත්වයන් යටතේ ලයිකන නොවැඩීමයි - ටවුන් එකක අපි ලයිකන නොදකින්නේ මේ හේතුව නිසයි) 
මෙන්න තවත් ලයිකනයක්...

ක්‍රමයෙන් මාර්ගයේ දෙවන කොටසේ නැග්ම ඇරඹුණා. එය පළමු කොටසට වඩා ඉතා අසීරු අභියෝගයක්. ඇතැම් අවස්ථාවල ගසක ගැටගැසූ කඹයක් ආධාරයෙන් ඉහළට නගින්නට අපට සිදුවුණා.
ඳු මුදුනේ සොඳුරු දසුන් සමග ඊළඟ කොටසින් හමුවෙමු...

Monday, December 8, 2014

ග්‍රේට් වෙස්ටර්න්...... The most strenuous hike ever... Part I


ජීවිතයේ තවත් එක හීනයක් පහුගියදා හැබෑ කරගත්තා. බදුලු දුම්රියේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පොළ පහු කරගෙන යන වාරයක් පාසා දුම්රිය ස්ථානයට ඉහළින් පෙනෙන මේ උත්තුංග කඳු වැටිය තරණය කරන්න හීනයක් මගේ හිතේ තිබුණා. ඒ හැබෑ වු හීනයේ කතාවයි මේ....
ඒතරම් ප්‍රසිද්දියක් නැති උනත් ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ ලංකාවේ කඳු අතර උසින් හය වෙනියා... හරියටම කිව්වොත් මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර් 2216ක්. සුප්‍රකට බදුල්ල දුම්රිය මාර්ගයේ වටගොඩ හා රදැල්ල දුම්රිය ස්ථාන අතර ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පොළ පිහිටා තිබෙනවා. නොඉඳුල් වනගහනයකින් හෙබි මෙම කඳු වැටිය ප්‍රදේශයේ ප්‍රධානතම ජල මූලාශ්‍රයද වනවා.
පුරුදු පරිදි මෙම චාරිකාවටත් අපි යොදා ගත්තේ කොළඹ කොටුවෙන් රාත්‍රී 8ට පිටත් වන තැපැල් දුම්රියයි. මෙවර ගමනට පරිසර ලෝලීන්  අට දෙනෙක් එකතු වී සිටියා. ගී රසෙන් පිරුණු දුම්රිය ගමන අපූරු අත්දැකීමක්. අපි එක තැනකට එකතු වී සිහින් සරෙන් ගී ගැයූ නිසා නිදන මැදිරියේ නිදා උන් අයට එය බාධාවක් වුණේ නෑ. නැළවිල්ලේ ගමන් කල දුම්රිය ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පොළට ළඟා වෙද්දී පාන්දර තුනට ආසන්න වුණා. පසුගිය චාරිකාවේදී පට්ටිපොළ දුම්රිය ස්ථානයේදී තරම් නොවුණත් දුම්රියෙන් බැස්ස වහාම දැනුනු සීතල තරමක් කටුක බව නොකියාම බැහැ.
මදක් එළිය වැටෙන තුරු දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ රැඳෙන්න අපි තීරණය කළා. හිරු එළිය වැටෙද්දීම අපි එළියට බැස්සේ උදෑසන හිරු කිරණින් බැබළෙන පරිසරයේ සුන්දරත්වය විඳ ගන්නටයි. දුම්රිය වේදිකාවේ හිඳ  බලන විට පෙනෙන දර්ශනයේ සුන්දරත්වය වචනයට නගන්නට නොහැකි වීම ගැන මට සමා වන්න...
උදෑසන අසිරිය...
 මිහිදුම් පටලයෙන් යාන්තම් වැසුණු කඳු පන්තියක් අප ඉදිරියේ විහිදී තිබුණා. රටේ මුදුන් මල් කඩ වුණු ශ්‍රී පාද කන්ද, හැටන් සානුව, සිංගිමලේ කඳු පන්තිය, කිරිගල්පොත්ත, තොටුපොළ කන්ද මනාව දර්ශනය වෙමින් රස කාමීන්ගේ මනදොල පිනවුවා .
සිරිපාදේ සමනල කන්ද පෙනේ...
 අපේ මගපෙන්වන්නා වුණු  මෝගන් ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පොළ අසළම ජීවත්වන සරල සුහදශීලී ගැමියෙක්. ඔහු විසින් ගෙන අා උණු වඩේ සමග තේ පානය කල අපි උදෑසන 07ට පමණ දුම්රිය ස්ථානයෙන් ගමන් අාරම්භ කලා...
දුම්රිය ස්ථානයට හරි කෙළින් කඳු වැටිය පැතිරී තිබුණත් ඒහි සෘජු නැග්ම නිසා ඒතැනින් නැගීම කල නොහැකි වැඩක්. ඒ නිසා අපට කන්ද වටේ දුම්රිය මාර්ගය දිගේ කිලෝමීටර 2ක් පමණ යන්නට සිදු වුණා.
කන්ද වටේ...

හිමිදිරි උදෑසන මෙවන් සොඳුරු පරිසර පද්ධතියක් හරහා වැටුණු දුම්රිය මගක ගමන් කිරීම ඉතා අපූරු අත්දැකීමක්..
ටර්පන්ටයින්...

පරිසරයේ සුන්දරත්වය උපරිමව විඳිමින්, තැන තැන නතරවී ඡායාරූප ගනිමින් අපි හෙමින් හෙමින් අපේ ගමනේ අාරම්භක ස්ථානයට අාවා...
ගල් මුල් වල පය පැකිළී වැටි වැටි... හතර ගාතෙන් කන්ද නැග්ග හැටි ඊළ‍ග කොටසින්.... 
ඔන්න දෙවනි කොටස දැම්මා... මෙතන කොටන්න