Monday, August 10, 2015

Safe foods for a healthy lifestyle - සුව දිවියකට වසවිස නැති ආහාර

වම්බටු - Brinjal - Solanum melongena
අදත් තරමක් වෙනස් මාතෘකාවක් සාකච්ඡා කරන්නටයි ‍'සොබාරූ' අදහස් කර‍න්නේ. වෙළඳපොළේ දක්නට ලැබෙන බහුතරයක් එළවුළු, පළතුරු ආදියට විෂ රසායන ද්‍රව්‍යයන් ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් යොදන බව නිරන්තරයෙන් අසන්නට ලැබෙන කාරණයක්. නිකමට හිතා බලන්න දීර්ඝ කාලීනව එම රසායන ද්‍රව්‍යයන් යෙදූ ආහාර පරිභෝජනය නිසා ඇති වීමට ඉඩ ඇති රෝගාබාධ පිළිබඳව.

මේ තත්ත්වයන් මගහරවා ගැනීමට හොඳම විසඳුම ලෙස මා දුටුවේ ගෙවත්තේ ඉඩ තිබෙන තැන් වල තමන්ට හැකි ආකාරයට යමක් වගා කර ගැනීමයි. වාණිජ වගාවකදී මෙන් ඉතා සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වුණත් අවම වශයෙන් මාගේ දරුවාගේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම්වත් යමක් වගා කර ගන්නට මා සමත් වුණා.

ගෝවා කොළ යනු මා ඉතාම ප්‍රිය කරන ආහාරයක්. නමුත් නුවරඑළි ගිය වතාවකදී ගෝවා පාත්ති වලට රසායන ද්‍රව්‍ය යොදන අයුරු ඇස්දෙකින්ම දුටු දා පටන් මම ගෝවා කෑම අතහැරියා. ගෝවා ගෙඩියට යොදන රසායනයන් ඉවත් නොවී බොහෝ කාලයක් රැඳී තිබෙන බව නිරීක්ෂණය වුණු කාරණයක්. නමුත් ගෝවා කෑමට මගේ ඇති පෙරේත කමත්, ගෝවා ඉතා හොඳ ‍පොටෑසියම් ප්‍රභවයක් වීමත් නිසා මා ඊට විකල්පයක් සොයා ගත්තා. එනම් කුඩා බඳුන් කීපයක ගෙවත්තේ ගෝවා පැළ කීපයක් වවා ගැනීමයි. නුවරඑළියේ ගෝවා තරම් රවුමට ලොකුවට නොවැඩුණත් මැල්ලුමකට ගෝවා කොළ කීපයක් කඩා ගන්නට එය ප්‍රමාණවත්.

ගෝවා - Cabbage - Brassica oleracea
මේ තියෙන්නේ කුඩා බඳුන් කීපයක වවා ගත් තක්කාලි ගස් කීපයක්. පළතුරක් හැටියට වුණත් හිතේ බයක් නැතිව කඩාගෙන කන්නට පුළුවනි.

තක්කාලි - Solanum lycopersicum
තක්කාලි ගස අවට බිම කල්පනාවෙන් බැලුවොත් වගා කර ඇති ගොටුකොළ සහ අනෙකුත් පළා වර්ග දකින්නට පුළුවනි. ඇත්තටම දැන්නම් පළා වර්ග වෙළඳ පොළෙන් මිලදී නොගන්නා තරම්. මේ තියෙන්නෙ තවත් මා ප්‍රිය කරන පළා වර්ගයක් වන කතුරු මුරුංගා..

කතුරුමුරුංගා - Sesbania grandiflora
කොයිතරම් පරිස්සමෙන් සාත්තු සප්පායම් කරත් අසාර්ථක වෙච්චි බෝගයක් තමයි රාබු. කොළ ලස්සනට හැදුනට අලය එතරම් විශාලව වැඩුණේ නෑ. ඒත් ඉතින් කමක් නෑ. අපිම පැළ කරගත්තුවා නිසා බොහොම ආඩම්බරෙන් තමයි ආහාරයට ගත්තේ...

රාබු - Raphanus sativus
වියළි කලාපයේ සාර්ථකව හැදෙන තුඹ කරිවිල විශාල වැලක් අපේ වත්තේ සාර්ථකව හැදුණා. කොළයක් ගානෙ මල් පිපිලා පුංචි පුංචි ගෙඩි ආවත් ඒ එකක්වත් සාර්ථක වුණේ නෑ. කෘෂිකර්ම උපදේශක තුමාටවත් ඒකට විසඳුමක් දෙන්නට බැරි වුණා.
තුඹ කරවිල - Momordica cochinchinensis
ගෙවත්තේ තියෙන පුංචි ඉඩකඩ කළමනාකරණය කරගෙන මේ දේවල් කරන්නට වෙන නිසා බොහෝ පැළ වගා කළේ බඳුුන් තුළයි. මේ තියෙන්නේ එහෙම බඳුන්ගත කළ මාළුමිරිස් වගාවක්.

මාළුමිරිස් - Capsicum annuum 
මේ තියෙන්නෙ අපේ නිවිති මැස්ස. පරිප්පු හොද්දකට නිවිති කොළ දෙක තුනක් දාල ගත්තම හරිම රසයි. මගේ පුංචි දරුවාගේ ආහාර වේලට හැමදාම මොනයම් ආකා‍රයේ හෝ පළා වර්ගයක් එකතු කරන්නට මගේ පුංචි ගෙවත්ත සෑහෙන්න උපකාර කරනවා.

නිවිති - Talinum paniculatum
එළවුළු, පළා වර්ග වලට අමතරව අපි පළතුරු හා ඖෂධීය වටිනාකමින් යුතු පැළ වර්ග කීපයක්ම වගා කර ගෙන තියෙනවා. මේ තියෙන්නෙ නමිනං (නංනං) ගහක්. හැබැයි ඉතින් වැඩිපුරම මේක පරි‍භෝජනය කරන්නෙ අපේ වත්තට එන කුරුල්ලෝ තමා...
නමිනං - Cynometra cauliflora
දැන් මේ සටහන දැක්කම හිතන්න එපා මට අක්කර ගණනක ගෙවත්තක් තිබෙනවා කියා. ඇත්තටම පර්චස් කීපයක ඉඩක් වුණත් ඉඩකඩ කළමනාකරණය කර ගත්තොත් මේ වගේ යමක් වගා කර ගැනීම අසීරු නෑ. ආහාරවලට වස විස කවලම් කරනවා කියමින් කෑගහමින් සිටීම පලදායක නෑ. අඩුම වශයෙන් දරුවන් වෙනුවෙන් වත් යමක් සිටුවා ගැනීමයි වැදගත්. 

‍මගේ ගෙවත්ත ගැන පෙර ලිපි :






Saturday, July 25, 2015

For a nature friendly shelter - පරිසර හිතකාමී නිවහනක් උදෙසා...


'සොබාරූ' අද වෙනදාට වඩා ටිකක් වෙනස් මානයකට ඔබ කැන්දා ගෙන යන්නටයි සූදානම. පහුගිය ටිකේ එක දිගටම චාරිකා සටහන්ම ලියැවුණු නිසා මෙය චාරිකා සටහන් පමණක් ලියැවෙන බ්ලොග් අඩවියක් ලෙස ඔබ සිතුවා නම් එය වැරදියි. මගේ පරණ ලිපි කියවා බැලුවොත් ස්වභාව ධර්මය හා බැඳුණු බොහෝ කාරණා සාකච්ඡා කොට තිබෙන බව ඔබට පෙනෙයි. අද අපි හැමෝටම වැදගත් අලුත්ම කරුණක් සාකච්ඡාවට ගනිමු.
හිසට සෙවණක් ගොඩනගා ගැනීම අපි හැමෝටම තියෙන හීනයක්. නමුත් පවතින ආර්ථික තත්ත්වයන් මැද්දේ එය හැබෑ කරගැනීම තරමක් අසීරු කාරණයක්. මා අද සාකච්ඡා කරන්නේ පසුම්බියට වගේම පරිසරයටත් ඉත‍ා හිතකර විසඳුමක් පිළිබඳවයි.
නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය පිළිබඳ කරන ලද අනේක විධ සොයාබැලීම් වලින් අනතුරුව පරිසර ලෝලියෙක් හැටියටත්, මගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙසත් හොඳම විසඳුම හැටියට මා දුටුවේ සම්පීඩිත පස් ගල් භාවිත කරමින් නිවස ඉදි කිරීමටයි.  මෙහිලා මා දුටු ආර්ථික හා පාරිසරික වාසි මෙසේ ගොනු කළ හැකියි.

1. ග‍ඩොල ඉතා ශක්තිමත් වීම - සිමෙන්ති බ්ලොක් ගල් හා පිළිස්සූ මැටි ගඩොලට සාපේක්ෂව මෙම ගඩොල ඉතා ශක්තිමත්ය. 
අගුළු යතුරු යාන්ත්‍රණය සහිත ගඩොල්...
2. ගඩොල් එකිනෙක අගුළු වැටීම නිසා බිත්ති බැඳීමට වැයවන සිමෙන්ති ප්‍රමාණය ඉතා අවම වීම - මෙය ආර්ථික හා පාරිසරික දෙඅංශයෙන්ම වැදගත් වේ.

3. කපරාරු කිරීම අනවශ්‍ය වීම නිසා විශාල ආර්ථික වාසියක් හිමිවීම. - ගංගා වැලි පරිභෝජනය අවම වීම නිසා පාරිසරිකව ඉතා යහපත් වීම.

4. මනා තාප පරිවාරක ගුණාංග හා සවිවර වීම නිසා නිවස අභ්‍යන්තරය ඉතා සිසිල් වීම. මෙය බලශක්ති සංරක්ෂණයේ ලා මහත් පිටුවහලක් වේ.

මේ අදාළ ගඩොල නිර්මාණය කරගත්තේ මා විසින්මයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් මෙන්ම ගඩොල් නිෂ්පාදන යන්ත්‍රයත් මා වෙත ලබා දුන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල ශාඛාව විසින්. එහිදී ඉංජිනේරු සේනානායක මහතා පෞද්ගලිකව මැදිහත් වෙමින් දෙතුන්වතාවක්ම ම‍ාගේ නිවසට පැමිණ අඩුපාඩු පෙන්වා දෙමින් දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කළ යුතුයි.
නමුත් අවාසනාවකට ඔවුන් සතුව තිබූ යන්ත්‍රය ඉතා පැරණි එකක්. බොහෝ වතාවක් භාවිත කර තිබීම නිසා ගෙවී තිබුණු එය මගින් නිර්මාණය කරන ලද ග‍ඩොල් වල අගුළු යතුරු යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා මට මේ ගඩොල් බැඳීමේදී ගඩොල් පේළි දෙක මැද කුස්තූරයට සිමෙන්ති දමන්නට සිදු වුණා.
බිත්ති බඳිමින්...
මේ ගඩොල් නිෂ්පාදනය සඳහා යෝග්‍ය වන්නේ ඇලෙන සුළු බව අඩු රතුපසයි. ඊට සිමෙන්ති 15:1 අනුපාතයට මිශ්‍ර කොට යන්ත්‍රය හරහා ගඩොල් නිෂ්පාදනය කරගත හැකියි.
ගඩොල් නිෂ්පාදනය...
මේ ගඩොල් භාවිතයෙන් බිත්ති බැඳීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයැයි කීම මිත්‍යාවක් බවයි මගේ අත්දැකීම. බාස් උන්නැහේට යමක් තේරුම් ගත හැකි බුද්ධියක් තිබේ නම් මෙය භාවිතයෙන් බිත්ති ගොඩනැගීම ඉතා පහසුයි. ගතවන කාලයත් අවම නිසා ආර්ථිකයටත් වාසියි. 
මගේ ආර්ථික තත්ත්වය අනුව මට තාම ගොඩනගා ගත හැකි වුණේ යන්තම් කාමර දෙකක් පමණයි. නිවසේ වැඩකටයුතු සම්පූර්ණ වූ විට නැවත පින්තූර සමග ලිපියක් ලියන්නම්. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට උදව් කරන්නට මා සූදානම්. ඒවගේම පරිසර හිතකාමීව ‍නිවස ගොඩනංවා ගැනීමට ඔබේ යෝජනා තිබේ නම් මහත් සේ අගය කරනවා. විශේෂයෙන්ම ලී භාවිතය අවම කිරීමට සාධනීය යෝජනා අවශ්‍යයි. (කොන්ක්‍රීට් ජනේල උළුවහු උත්සාහ කර බැලුවා. නිසි ප්‍රමිතිය නොතිබූ නිසා අත්හැර දමන්නට සිදුවුණා) ඒ වගේම වහලය සඳහා ලී වෙනුවට යොදා ගත හැකි විකල්ප ගැන දන්නා උදවිය අදහස් පළ කරාවියැයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා. 


Monday, July 6, 2015

අවාරේ සිරිපා - අවසාන කොටස


අවාරෙ සිරිපා චාරිකාවේ දෙවන කොටස අරගෙන එන්න සෑහෙන්න පරක්කු වුණා. ඡායාරූප ටික ගබඩා කරල තිබුණු පරිගණක යන්ත්‍රයේ ඇති වෙච්ච කාර්මික දෝෂයක් තමයි ප්‍රමාදයට හේතු වුණේ. ඉතිං තරහ අවසරයි...! ඕං ඉතිරි ටික...

එදා රාත්‍රිය අපි ගත කළේ උඩ මළුවට පඩි කීපයක් පහතින් තියෙන කුස්සියේ. ඇත්තටම ඊට පෙර දවසේ රාත්‍රී හරිහැටි නින්දක් නොතිබීමත්, ගමන් මහන්සියත්, පරිසරයේ සුවදායී සිසිලසත් නිසා අපි හැන්දෑවේ හයහමාර හත වෙද්දිම නින්දට ගියා.

නමුත් මහරාත්‍රියේ හදිසියේම අප ඇහැරුණේ හුස්ම ගැනීමේ අපහසුවකින්. මුළු කුස්සියම දුමෙන් පිරිලා. දුම පිටවෙන්නට තැනක් නැති කමෙන් අපට හුස්මක් අරගෙන එහි ඉන්නට පුළුවන් කමක් තිබුණෙ නෑ. ඒ උදවිය උදේ බුද්ධ පූජාවට ආහාර සකස් කරනවා. වෙලාව බැලින්නම් පාන්දර 2.30යි. ඉන්පසු අපි හෙමින් උඩමළුවට ගියා. අධික සැඩ සුළං ධාරා හා දරාගත නොහැකි සීතල නිසා එහි රැඳී සිටීම ඉතාම අසීරු කරුණක් වුණා. 
පාන්දර තුන‍ට පමණ මරහීතලේ උඩ මළුවේ...

සීතලේ ගුලිවෙමින් අප නැගෙනහිර අහස දෙසම බලා සිටියේ කොයි වෙලේ ඉර සේවය දකින්නට හැකි වේදැයි සිතමිනුයි.

ඉර උදාව...
අවාසනාවකට වගේ අහස වළාකුලින් බරව තිබීම නිසා ඉර සේවයේ පැහැදිලි දසුනක් නැරඹීමේ භාග්‍යය අපට අහිමිව ගියා. මා සතුව තිබූ කැමරාවේ දුර්වල තත්ත්වයත් මනා ඡායාරූපයක් ලබා ගැනීමේ අවස්ථාව මට අහිමි කළා.

කෙසේ නමුත් ඉර උදාවෙන් පසුව අවට පරිසරය නම් වර්ණනා විෂයාතික්‍රාන්තයි මිත්‍රවරුනි. මම කියනවාට වඩා හොයි ඡායාරූප වලට කතා කරන්නට ඉඩදෙන එක.
අරුණැල්ලේ නැහැවෙන කඳු වළල්ල...

සිරිපාදයේ සෙවණැල්ල (නිල් පැහැයෙන් ත්‍රිකෝණාකාරව)
යන්තම් එළිය වැටෙද්දී අපි රත්නපුර පාරෙන් පහළට කරුණා කිරීම ආරම්භ කළා.
කුණුදිය පර්වතය
අවාර සමයේ රත්නපුර පාරෙන් ගමන්කිරීම තරමක් අනතුරුදායකයි. වනයෙන් වැසී ඇති පඩිපෙල, ඇතැම් විට ලිස්සායන සුළු බෑවුම් නිසාත්, නිරන්තරයෙන් සරන වනසතුන් නිසාත් මේ මග ගමන් කිරීම කල්පනාකාරීව කළ යුත්තක්. දින කිහිපයක් පැරණි අලි වසුරු අප කිසිසේත් බලාපොරොත්තු නොවුණු බෑවුම් ප්‍රදේශයකදී අපට හමුවුනේ සිතට‍ යම් බියක් ගෙනදෙමින්.
අලි වසුරු
එතැන පසුකර මද දුරක් යද්දී මේ දැන් බිඳ දැමුණු කුරුබට ගහණයක් දක්නට ලැබුණා. මහඇත්තන් මේ අවටම සිටින බවට එය නිසැක සාක්ෂියක් වූයෙන් අපි එතැන් පටන් ඉදිරියට ගියේ ඉතාම විමසිල්ලෙන්...
මල්බර වන‍ මං පෙත...

ස්නානය සහා සුදුසු දියපහරවල් රත්නපුර මංපෙතේ ඕනෑතරම් තියෙනවා. නමුත් මේවායෙන් දියනෑම ඉතා කල්පනාකාරීව කළ යුත්තක්. මොකද කන්ද ඉහළට ඇදහැළෙන මහවැසි නිසා කිසිදු අනතුරු ඇවීමක් නොමැතිව මේවායේ සැඩපහර ක්ෂණිකව ඉහළ යන නිසා.
සුන්දර චාරිකාවක් අවසානයේ අපි සිරිපාගමට පැමිණියේ මහවැසි මධ්‍යයේ. එතැනින් රත්නපුරයටත්, රත්නපුරයෙන් පානදුරත් පැමිණි මම ගෙදර ගියේ පහුවදා පාන්දර යාමයේ...

Wednesday, May 20, 2015

අවාරේ සිරිපා...



‍බොහෝ කලකට පෙර ගියා වුණත් අද ඊයෙ ගියා වගේ හිතේ රැඳිච්චි 
අපූරු චාරිකාවක විස්තර ටිකක් අරගෙනයි මං අද ආවෙ.

ශ්‍රීපාද අඩවිය, එහෙමත් නැත්නම් සමනල අඩවිය කියන්නේ පාරිසරික, ආගමික හා සංස්කෘතිකමය අතින් ලංකාවෙ ඉතා වැදගත් ප්‍රදේශයක්. කවුරුත් දන්න පරිදි ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මාසෙ පෝය දවසින් ආරම්භ වෙලා මැයි මාසෙ වෙසක් පෝය දවසින් අවසන් වෙනවා. නිරන්තර තද වැසි සහිත කාලගුණ තත්ත්වය මදක් වෙනස් වෙලා මේ කන්ද තරණයට සුදුසු යහපත් කාලගුණික තත්ත්වයක් තියෙන්නෙ මේ කාලසීමාව තුළදී පමණයි. ඉතින් මේ කියන කාලසීමාව තුළ මේ සුවිශේෂ පරිසර පද්ධතිය ලක්විය යුතු සියලුම ආකාරයේ අතවරයන්ට ලක්වෙනවා. සෑම සිරිපා වාරයක්ම අවසා‍නයේ එහි පවිත්‍රතා කටයුතුවල නියැලෙන තරුණ සත්වවේදීන්ගේ සංගමය ඇතුළු සෙසු ස්වේච්ඡා සංවිධාන මේ පිළිබඳ සාක්ෂි දරයි.

ඉතින් මේ සියලු අතවර වලින් මිදිලා මේ වනපෙතත් එහි වෙසෙන සත්ව ප්‍රජාවත් නිදහසේ හුස්මක් ගන්නේ මැයි සිට දෙසැම්බර් දක්වා වන කෙටි අවාර කාල සීමාවේ පමණයි. ඒ නිසා මගේ මේ උත්සාහය අවාරෙ කාලෙටත් සිරිපා යන්නට ඔබ පොළඹවලා උන්ට ඒ නිදහසත් අහිමි කරවන්නට නම් නෙවෙයි.

අවාරෙ සිරිපා යන්නට හිතන්ට කලින් ඔබ ‍බොහෝ කරුණු සලකා බැලිය යුතුයි. ඒ සඳහා මස්කෙළිය පොලිස් ස්ථානයෙන් අවසර ලබා ගත යුතු බවත් මා මෑතක පුවත්පතක දැක්කා. ඒ කරුණ ස්ථිර කරගත යුතුයි. ඒ වගේම මේ කාලසීමාව මේ ප්‍රදේශයට අධික වැසි පතිත වන සමයක්. එවිට පඩිපෙළ ඔස්සේ දියදහරා ගලා එන්නේ විශාල දියඇල්ලක් වගේ අධික ජවයකින්. ඇතැම් විට ඊට හසුවුවහොත් ඔබ ප්‍රපාතයට ඇදවැටීමට වුවත් බැරිකමක් නෑ. ඒවගේම මේ කාලය වනසතුන් නිදහසේ සැරිසරන සමයයි. අමතක කරන්න එපා සිරිපා අඩවිය කුරු ඇතුන්ගේ නිදහස් නිවහනක් බව. එසේම මේ කාලයට පාරදිගේ ඇති විදුලිබුබුළු ක්‍රියාත්මක වන්නේ නෑ. විදුලිබලය ඇත්තේ මළුවට පමණයි. ඒනිසා රාත්‍රී ගමන් නුසුදුසු බව තරයේ හිතට ගන්න. පරිසරයටත් එහි සතා සීපාවාටත් කිසිදු බාධාවක් නොවන පරිදි පරිස්සමින් යන්නට හැකි බවට විශ්වාස නම් පමණක් අපි සමන් දෙවි කරුණාවයි කියලා ඕං පිටත්‍ වෙමු.

මේ ගමන අපි ගියේ 2008 අවුරුද්දේ නොවැම්බර් මාසෙ. සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රිය තමයි එදත් අපට පිහිට වුනේ. පාන්දර ජාමේ හැටන් දුම්රිය පොළෙන් බැහැගත්තු අපි එළිය වැටෙන තුරු දුම්රිය පොළේ බංකුවක් උඩ මරහීතලේ ගුලි වෙලා උන්නා. යාන්තම් එළිය වැටෙද්දි නගරයේ විවෘත කරලා තිබුණු එකම හෝටලේට ගොඩවැදිලා සරල ආහාරයක් ලබා ගත් අපි එකාට එක බැගින් ලොකු පාන් ගෙඩි මිලදී ගත්තා. (දින 02ක් අපි කෑවේ පාන්ම තමයි) ඉන්පසු හැටන් වලින් පිටත්වන මුල්ම බස්රියෙන් අපි නල්ලතන්නිය බලා පිටත්වුණා.
සිරිපා සමයේ අතිශය ජනාකීර්ණ කාර්යබහුල නගරයක් වන නල්ලතන්නිය පාළු කතරක් වගෙයි අපට දිස්වුණේ. වෙනදා සිරිපා ගමන්මග ආරම්භ වන ස්ථානයේ සිට දක්නට ලැබෙන තාවකාලික කඩ සාප්පු එකක් වත් ති‍බුණේ නෑ. දිරාගිය ඇටසැකිලි වගේ ඉතිරි වුණු කණු දෙක තුනක් විතරයි දකින්ට තිබුණේ.

මකර තොරණ අබියස - ඔය විසිරී සිටින සියලු දෙනා අපේ නඩේ ඇත්තෝ
මේ කාලයේ මා සතුව තිබුණේ ඉතා ප්‍රාථමික මට්ට‍මේ ඩිජිටල් කැමරාවක්. ඒනිසා ඡායාරූපවල ගුණාත්මක භාවය පිළිබඳව මා දයාබර රසිකයෝ කමත්වා...!
මකර තොරණ පසුකර මදක් ඉදිරියට යන විට දක්නට ලැබෙන රතුපාලම ඔබ කාටත් හුරුපුරුදු එකක් වනවා නිසැකයි. එහි කෙළවරින් පහතට විහිදුණු ඉතා කුඩා අඩිපාර දිගේ මදක් පහතට බසින්නට ඔබට අවස්ථාවක් ලැබුණොත් සුන්දර කුඩා දිය ඇල්ලක් දැක ගන්නට හැකියි. 

නමක් නැති ‍සුන්දරිය..
මෙම ඡායාරූපයේ ඉහළින් ඔබ දකින්නේ සුප්‍රකට රතු පාලමයි. වෙනදාට වටපිටාව ආවරණය කෙරෙන කඩසාප්පු දක්නට නොලැබුණු නිසා අවට පරිසරය නිරීක්ෂණයට අපට අපූරු නිදහසක් හිමිව තිබුණා.
පාළුවට ගියා සිරිපා මග...

අවට සුන්දරත්වය

ජපන් සාම චෛත්‍යයත් පසු කර ඉහළට ගමන්කළ අපි සීතගඟුලේ නාන තොටුපොළ වෙත පැමිණියා. මෙහිදී තොටුපොළෙන් ස්නානය කරනු වෙනුවට ගඟ දිගෙ තරමක් ඉහළට ගමන් කළ අපි කුඩා දියඇල්ලක් අසළ ස්නානය කළා. මෙය ඉතා කල්පනාකාරීව කළ යුතු කටයුත්තක්. මොකද ඉහළට ඇද හැලෙන මහවැසි නිසා මේ කාලයේ ගංගා ඇළ දොළ වල දියපහර ක්ෂණිකව වේගවත් වන නිසා.
දියනෑ තැන..
දියනෑමෙන් පසු අප ගෙනා සීනිසම්බල් සමග පාන් අනුභව කොට නැවතත් ගිරිතරණය ඇරඹුවා. මේ වන විට ක්‍රමයෙන් කාලගුණ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තා. තද සුළං සමග පොද වැහි ඇදහැලුණත් වාසනාවකට වගේ තද වැස්සකට ලක් නොවීමට තරම් අප වාසනාවන්ත වුණා. වරින් වර වැස්සෙන් සුළ‍ඟින් බාධා වුණත් අවට සුන්දරත්වය වින්දනය කරන්න‍ට අපට හැකි වුණා.
නොඉඳුල් වනගහනය..
ක්‍රමයෙන් ඉහළට යත්ම සදාහරිත තෙත් කඳුකර කලාපීය වනාන්තරයක අනන්‍ය ලක්ෂණ අපට දක්නට ලැබුණා. දැඩි සුළං ප්‍රවාහය නිසා ඇද වූ හා කුරුවූ ගස් ඒ අතරින් ප්‍රධානයි.
කුරුශාක...
කුරු ශාක...
මේ විදියට අවට සුන්දරත්වය උපරිමයෙන් විඳිමින් මහගිරි දඹය හරියේදී මහවරුසාවකටත් ලක්වෙමින් අපි මළුවට පැමිණියා. 
මාවුස්සාකැලේ ජලාශය..
මේ දවසේ අවසාන ඡායාරූපය... සවස පහට පමණ උඩ මළුවේ සිට මාවුස්සාකැලේ ජලාශය...
එදින රාත්‍රිය අමතක නොවන එකක්. ලේ කැටි ගැහෙන හීතලේ අධික සුළං ධාරා මැද රාත්‍රිය ගත කළ අපි පසුවදා රත්නපුර පාරෙන් පල්ලම් බැස්සා. ඔහොම මෙහෙම අලි මුණ නොගැසී කැලේ මැදින් පල්ලම් බැහැපු හැටි බලාපොරොත්තු වන්න...

Wednesday, March 18, 2015

හික්කඩුවේ මුදු වෙරළේ - Fascinating Hikkaduwa Beach....


ලංකාවේ හතරදිග් බාගයේම ඇති සුන්දර ස්ථාන ගැන ලිපි ගණනාවක් ලියූ මම, මා උපන් හික්කඩුවේ රන් වෙරළත් එහි සොබා සුන්දරත්වයත් ගැන මෙතෙක් කිසිවක් නොලීවේ මන්දැයි මටම ගැටලුවකි. සමහර විට නිතර දකින කුකුළාගේ කරමලය සුදු නිසා වන්නට පුළුවන. 
හික්කඩුව මුහුදු තීරයේ පිහිටි සුවිශේෂ කොරල් පද්ධතියත්, ඒ ආශ්‍රිතව වාර්තා වන දුර්ලභ ජීව ‍විශේෂ සංඛ්‍යාව හේතුවෙනුත් 1979 වර්ෂයේ මෙම ප්‍රදේශය සාමුද්‍රික අභය භූමියක් ලෙස නම් කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ නම් කෙරුණු ප්‍රථම සාමුද්‍රික අභය භූමියයි. ඉන් අනතුරුව 2002 වර්ෂයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද්දේ ලංකාවේ දෙවන සාගරික ජාතික උද්‍යානය‍ වශයෙනි.

මුදු රළ සහිත වෙරළ
එදා පටන්ම හික්කඩුව ප්‍රකට එහි අනගිභවනීය කොරල් පද්ධතිය නිසාය. කොරල් වර්ධනයට ඉතා හිතකර නොගැඹුරු, රළ අඩු, ප්‍රශස්ත උෂ්ණත්වයක් සහිත මුහුදු තීරයක් පිහිටා තිබීමත් කොරල් බුහුබාවන්ට අවශ්‍ය ආහාර නොඅඩුව තිබීමත් නිසා (කොරල් පර නිර්මාණය වන්නේ කොරල් බුහුබාවා (Polyp) නම් ජීවියාගේ විශාල එකතුවකිනි. උන්ගේ කැල්සියම් කාබනේට් වලින් නිර්මිත බාහිර කවචය මගින් කොරල් පර නිර්මාණය වේ. මෙය වසර දහස් ගණනක ක්‍රියාවලියක ප්‍රතිඵලයකි) හික්කඩුව අවට මුහුදු තීරයේ අපූරු කොරල් පද්ධතියක් බිහිව තිබුණි.
කොරල්...

1997-98 වර්ෂ වල බලපෑ එල්-නිනෝ සංසිද්ධියත්, 2004 සුනාමි ව්‍යසනයත්, තවත් බොහෝ මිනිස් ක්‍රියාකාරකම් නිසාත් දැන් හික්කඩුවේ කොරල් පර වෙනදා තරම් සුන්දර නැත. තිබෙන ඒවා මියගොස් තිබෙන නිසා සුදු පැහැයට හැරී ඇත. නමුත් අදටත් හික්කඩුවේ ජීවනාලිය මේ සුන්දර වෙරළ තීරයයි.
එහි උණුසුම් සුව විඳින්නට ලෝකයේ හතරදිග් බාගයෙන්ම සංචාරකයෝ ඇදී එති. මේ දින වල පැමි‍ණෙන සංචාරකයන්ගේ ප්‍රධානතම ආකර්ෂණයක් වන්නේ හික්කඩුව 'ඡායා ට්‍රාන්ස්' හෝටලය පිටුපස වෙරළට ඇදී එන කැස්බෑවුන්ය. මුලදී දක්නට හිටියේ විශාල වැඩිහිටි කැස්බෑවුන් දෙදෙනෙක් පමණක් වුවත් දැන් පැටවුන්ද සමග එතැන කැස්බෑවුන් පස්දෙනෙකු දක්නට ඇත. 
කැස්බෑවුන් වට කර....
උන් එතන රැඳී සිටින්නේ සංචාරකයන් අතින් දෙන මුහුදු පැළෑටි කන්නටය. මුහුදු පැළෑටි ගලවා ෂොපිං බෑග් වලට දමා කැස්බෑවුන්ට කවන්නට විකුණන උදවියද දැන් ඒ අවට දක්නට ලැබේ. 

කැස්බෑවා සමග විනෝද වන විදේශීය දරුවන්..

කැස්බෑවුන්...

මුහුදු පැළෑටි කවමින්...

මුදු වෙරළේ සුන්දරත්වය විඳින විදෙස් නෙත්..

තවමත් සජීවි වෙරළ...

කකුළුවා...
කවචධාරීන්..

කවචධාරීන්...

රතු, දුඹුරු ඇල්ගී හා තවත් මුහුදු පැළෑටි
සංචාරක ව්‍යාපාරය මෙහි ආර්ථිකයට පණ පොවන මූලික සංරචකය වුවත් ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික ගැටළු වලින්ද හික්කඩුවට අඩුවක් නැත. මත් ද්‍රව්‍ය, ගණිකා ව්‍යාපාරය වැනි සමාජ පිළිල (Social Stigma) අද‍ටත් හික්කඩුවට වද දෙන ගැටළුය.
කෙසේ නමුත් වාර්ෂිකව හික්කඩුව වෙරළේ සංවිධානය වන 'හික්කා' ප්‍රසංගය වරක් ආන්දෝලනයකට තුඩු දුන්නේය. කුප්‍රකට 'දිවයින' පුවත්පතෙහි 'ජඩ මාධ්‍යවේදියෙක්' ඩුබායි හි පැවති වෙරළ සාදයක නිරුවත් ඡායාරූප හික්කා 2009 සැණකෙළියේ ඡායාරූප බව දක්වමින් ලියූ පුවත් පත් වාර්තාවක් නිසා අපටද රෙද්දක් ඇඳ ගෙන කාර්යාලයට යන්නට බැරි තත්ත්වයක් උදා විය. වාසනාවකට පසුව සත්‍යය හෙළිදරව් වුණේය.
හික්කඩුවේ සොබා සුන්දරත්වය තව වැඩි කලක් මේ විදියටවත් පවතින එකක් නැත. දැනටත් හික්කඩුව වෙරළේ දියනෑම කටුක අත්දැකීමකි. ඒ මුුහුදු ජලයෙන් හමන අධික ඉන්ධන ගන්ධය නිසාය. වෙරළ තීරය ආසන්නයේම ධාවනය වන වීදුරු පතුල් බෝට්ටුවලින් නික්මෙන ඉන්ධන ඊට හේතුවය. ඊට අමතරව අසංවර සංචාරකයන්, ඇතැම් හෝටල් හිමියන් බැහැර ලන අපද්‍රව්‍යද වෙරළට වින කටියි.
වෙනදා වගේ 'සුද්දන්' ද දැන් හික්කඩුවට එන්නේ අඩුවෙනි. බහුතරයක් එන්නේ ආතක් පාතක් නැති හිඟන සංචාරකයන්ය. හික්කඩුව නගරය ආසන්නයේම දූවිලි වැකුණු කුණු කාණුවක් අසබඩ කුඩා දරුවෙක් හිඳුවා පත්තර කොළයක එතූ ආප්ප ඔහුට කවමින් තමන් ද කන සංචාරක යුවළක් දෑසින් දුටුවෙමි. හික්කඩුව පොළ සංචාරකයන්ගෙන් පිරී පවතී. වෙනදාට ඔවුන් එන්නේ පොළේ රවුමක් ඇවිද ඡායාරූපයක් දෙකක් අරං යන්නටය. දැන් නම් එන්නේ තක්කාලි දෙසිය පනහක්, ගෝවා ගෙඩියක් අර ගෙන ගොස් නවාතැන් ගෙන සිටින තැනක උයාගෙන කන්නටය. ඔවුන් අවන්හල් වලින් ආහාර නොගන්නා තරම්ය.  මාළු වෙළඳසැලේ අඩුවට මාළු ඉල්ලා බහින්බස් වුණු 'සුද්දෙක්' හට කරුණු පැහැදිලි කර දෙන්නට මටද මැදිහත් වන්නට සිද්දවිය. වෙළෙන්දා ඔහුටත් මටත් දෙදෙනාටම මාළු දුන්නේ එකම මිළට බව මා කියන තෙක් ඔහු වෙළෙන්දාට බැණ වැදුණේය. මේවා අපේ උන්ගෙත් වැරදිය. බොහෝ උන් සුද්දෙක් දැක්කොත් උත්සාහ කරන්නේ උගේ රීරි මාංස හූරා ගෙන කන්නටය. මේවා ගැන අත්දැකීම් ඇති සුද්දෝ දැන් නියම ගණන කිව්වද පිළිගන්න‍ේ නැත. 
මේ මොන ගැටළු මැද වුවත් හික්කඩුව වෙරළ වයසට ගියත් තවම රූ සිරියෙන් බබළන පරණ නිළියක් මෙන් සුන්දරත්වය යම්තාක් දුරට රැක‍ගෙන සිටී. ඒ නිසාම සංචාරකයන් තාමත් ඇයට ආදරේය.

Thursday, February 19, 2015

බල්ලා මළ ඇල්ල - උඩ කරවිට (යතුරුපැදි චාරිකා)

වනගත සොඳුරිය
අදත් ඔන්න මම යතුරුපැදි චාරිකා සටහනක් අරගෙන ආවා. ඇත්තටම යතුරුපැදිය තරම් පරිසරය විඳිමින් පරිසරයට සමීපව ගමන් යන්න සුදුසු වෙනත් වාහනයක් නැති තරම්. නමුත් වෙනත් රථයකට සාපේක්ෂව ජීවිත අවදානම ඉහළ වාහනයක් බවත් මතක තියාගෙනම පරෙස්සමෙන් චාරිකා කළ යුතුයි.
ඉතින් මගේ මෙවර ගමනාන්තය බොහෝ දෙනෙක් අසාවත් නැතුවා නිසැකයි. කොටින්ම මේ දිය ඇල්ල අවට ගම්වාසීන් පවා මේ ගැන එතරම් දැනුවත් නෑ. මේ වනගත අති සුන්දර දියඇල්ල හැඳින්වෙන්නේ 'බල්ලා මළ ඇල්ල' නමින්. පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ උඩකරවිට ගම් ප්‍රදේශයේ...මම මේ චාරිකාව ගියේ 2011 අවුරුද්දේ... මේ සටහන ලියන්න බොහෝ කාලයක් පෙරුම් පුරා ගෙන හ‍ිටියත් ඡායාරූප ටික අස්ථාන ගත වෙලා තිබුණු නිසා වැඩේ කෙරුණෙ නෑ. අන්තිමට යාන්තම් ලක්දසුන් වෙබ් එකට යවපු ට්‍රිප් රිපොර්ට් එකක් ඊමේල් අවුට්බොක්ස් එකේ තිබිල හම්බ වුණා. 
සුපුරුදු පරිදි අනිත් යතුරුපැදි චාරිකා වගේම මේ චාරිකාවත් ගියේ මගේ පාදපරිචාරිකාව එක්කමයි. සාමාන්‍යයෙන් අපි රත්නපුරේ යන්නේ කළුතරින් හැරිලා බණ්ඩාරගම හරහා. නමුත් බයික් එකේ යන නිසා අතුරු පාරවල් ඔස්සේ වඩාත් ගම්බද ප්‍රදේශ හරහා යන්න අපි තීරණය කළා.
ඒ අනුව හික්කඩුවෙන් ගමන් ආරම්භ කළ අපි කහව, මීටියාගොඩ හරහා ඇල්පිටියට ආවා. ඇල්පිටියෙන් පිටිගලටත් එතැනින් පැලවත්තටත් ආපු අපි පහළ හෙවෙස්ස හරහා බදුරලිය දක්වා දිවෙන මාර්ගයට ප්‍රවිෂ්ට වුණා.
නිසංසල මංපෙත...
කළුගල ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් දිවෙන මේ මාර්ගය අතිශය නිසංසල ඒවගේම සුන්දරත්වයෙන් අනූන එකක්. බයිසිකලයේ රිද්මික නාදය හැරුණාම අවටින් ඇසෙන්නේ කුරුලු කූජනයත් පාර අසලින්ම ගලා හැලෙන දියදහරා වල සිලිසිලියත් පමණයි. ගෙවල් දොරවල් අඩුවෙන් හා ඈතින් පිහිටා තිබුණු මේ මාර්ගයේ වාහනයක් මුණ ගැහුණෙත් ඉඳහිටයි. 
මේ සුන්දරත්වය උපරිමයෙන්ම විඳිමින් ඉතා සෙමින් ධාවනය කළ අපි කුඩා දියදහරක් අසල නැවතී විඩා නිවා ගන්නටත් අමතක කළේ නෑ.
සීත දියදහරා....
මෙසේ ගමන් කළ අපි කඹුරාවල හන්දියෙන් කලවාන මාර්ගයට ප්‍රවේශ වුණා. බදුරලිය නගරය ආසන්නයේ මදක් නතරවුණ අපි මගුරු ග‍ං ඉවුරේ හිඳ උදෑසන ආහාරය සප්පායම් වුණා....
මගුරු ගං ඉවුර....
උදෑසන ආහාරයෙන් පසු දිගටම ගමන් කළ අපි කලවාන හරහා කරවිට නගරයට පැමිණියා. මෙවිට යාන්තම් පොද වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත් නිසා කරවිට නගරයේ කඩපිලක මදක් රැඳී සිටින්නටත් අපට සිදු වුණා. කෙසේ නමුත් සොබාදම් මාතාව අපට කාරුණිකව සැලකූ නිසා මද වර්ෂාව වැඩි වෙලාවක් පැවතියේ නෑ. මෙදා ගමනේ අපේ මාර්ගෝපදේශකයා වුණේ මගේ කාර්යාල මිතුරෙක්. ඔහු ‍නිවිතිගල ගම්වැසියෙක් වුණත් මේ දිය ඇල්ල ගැන එතරම් අසා තිබුණේ නෑ. ඒ නිසා කරවිට කඩපොළේ උදවියගෙනුත් පාර අසා ගෙන අපි ගමන පිටත් වුණා.
කරවිට හන්දියෙන් පරණවත්ත පාරට හැරී මීටර් කීපයක් ගම මැදින් යන විට කුඩා පාලමක් හමු වුණා. ඉන් එගොඩ වී කිලෝමීටරයක් පමණ ගමන් කරද්දී ඈත වනාන්තරය අතරින් රිදී ඉරක් සේ  මේ සුන්දර දිය දහර පළමුවරට අපේ නෙත ගැටුණා.
රිදී දිය දහර...(බොහෝ ඈතින්)
පාර අයිනේ කඩපිලක බයිසිකල් නතර කල අපි ගන කැලෑව මැදින් යාන්තම් මතු වී ‍පෙනුන අඩිපාරක් දිගේ දියඇල්ල සොයා යන ගමන ඇරඹුවා. ගස් ගල් උඩින් පනිමින්, දියපාරවල් වලින් එතෙර වෙමින් ගිය මේ ගමන ඇත්තටම තරමක් දුෂ්කර එකක්. 
මග කටුකයි...
මග දිගට එල්ලෙන්නට බලා සිටින දහස් සංඛ්‍යාත කූඩැල්ලන් අපේ ගමන වඩාත් දුෂ්කර කළා. නමුත් අවට පරිසරයේ සුන්දරත්වයත්, ළඟ ළඟම  ඇහෙන දිය දහරේ හෝ හෝ නාදයත් අපේ වෙහෙස පළවා හැරියා. මගදිගට දක්නට ලැබුණු නොඉඳුල් දියදහරා වල සුන්දර මත්ස්‍ය වර්ග පිරී සිටියා. ඒ අතර බුලත් හපයා, හීත මස්සා, ගල් පාඬියා වැනි බහුතරයක් ආවේණික මත්ස්‍ය වර්ගයන්. රතු වල්ගයක් ඇති සුන්දර මත්ස්‍යයෙක් වන තල් කොස්සා ද මේ දිය දහරා වල දුටු සුවිශේෂ මත්ස්‍යයෙක්.
දියඇල්ල ආරම්භ වන ස්ථානයට පිවිසීම අපේ අරමුණ වූ නිසා අපි දිය ඇල්ලට වටෙන් ඉහළ නැගීම ආරම්භ කලා. ගල් මුල් වල එල්ලෙමින් යන්නට සිදුවූ ඒ ගමන ඉතාම දුෂ්කර එකක්. කෙසේ නමුත් අතිදුෂ්කර ව්‍යායාමයක් අවසානයේ අපි මේ දිය ඇල්ලේ මුදුනට පිවිසියා.
ඇල්ල මුදුනේ සිට
මීටර් 32ක් උස මේ දිය ඇල්ල මුදුනේ සිට අවට බලන විට පහත වනාන්තරය ඉතා සුන්දරව දිස් වෙනවා.
ඇල්ල මුදුනේ සිට
මේ අවට තේ වගාවන් රාශියක් දක්නට ලැබෙනවා. මේ වතුයායන් හිමිව සිටි සුදු ජාතිකයාගේ බල්ලා මේ දියඇල්ල මුදුනින් වැටී මිය ගිය නිසා මේ දිය ඇල්ල "බල්ලා මළ ඇල්ල" නම් වූ බව ප්‍රදේශ වාසියෙක් පැවසුවා.
දිය ඇල්ල මුදුනේ මද වේලාවක් රැඳී සිටි අපි ඉන් අනතුරුව දිය දහරාව ඔස්සේ පහතට බැසීම ආරම්භ කලා. මෙය ඉතා අසීරු මෙන්ම පරෙස්සමෙන් කළ යුතු දෙයක්. මදක් පය වැරදී ගියොත් බල්ලාට වෙච්චි දේම තමයි වෙන්නේ...
දියඇල්ලේ මැද කොටස
බල්ලා මළ ඇල්ල - In it's all glory...

දිය ඇල්ලේ පහළ කොටසට පැමිණ පරිස්සම් ඇති තැනකින් නාගත් අපි බොහෝ සුන්දර මතක හද රඳවා ගෙන ආපසු එන්නට ආවා.
බොහෝ දෙනාගේ ඇහැට වහංව වනගතව පිහිටා තිබීම නිසා මේ ඇල්ල අවට පරිසරය තවමත් විනාශ වී නැහැ. තවමත් එය එසේම පවතිනවා ඇතැයි මා විශ්වාස මෙන්ම ප්‍රාර්ථනාද කරනවා...


මේ දිය ඇල්ලේ වීඩියෝ එකක් හම්බවුණා යූ ටියුබ් එකෙන් ඒකත් බලන්න එහෙනම්...

තවත් යතුරු පැදි චාරිකා සටහන් මෙතැනින්.. http://sobaroo.blogspot.com/2013/01/1.html