Saturday, July 25, 2015

For a nature friendly shelter - පරිසර හිතකාමී නිවහනක් උදෙසා...


'සොබාරූ' අද වෙනදාට වඩා ටිකක් වෙනස් මානයකට ඔබ කැන්දා ගෙන යන්නටයි සූදානම. පහුගිය ටිකේ එක දිගටම චාරිකා සටහන්ම ලියැවුණු නිසා මෙය චාරිකා සටහන් පමණක් ලියැවෙන බ්ලොග් අඩවියක් ලෙස ඔබ සිතුවා නම් එය වැරදියි. මගේ පරණ ලිපි කියවා බැලුවොත් ස්වභාව ධර්මය හා බැඳුණු බොහෝ කාරණා සාකච්ඡා කොට තිබෙන බව ඔබට පෙනෙයි. අද අපි හැමෝටම වැදගත් අලුත්ම කරුණක් සාකච්ඡාවට ගනිමු.
හිසට සෙවණක් ගොඩනගා ගැනීම අපි හැමෝටම තියෙන හීනයක්. නමුත් පවතින ආර්ථික තත්ත්වයන් මැද්දේ එය හැබෑ කරගැනීම තරමක් අසීරු කාරණයක්. මා අද සාකච්ඡා කරන්නේ පසුම්බියට වගේම පරිසරයටත් ඉත‍ා හිතකර විසඳුමක් පිළිබඳවයි.
නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය පිළිබඳ කරන ලද අනේක විධ සොයාබැලීම් වලින් අනතුරුව පරිසර ලෝලියෙක් හැටියටත්, මගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙසත් හොඳම විසඳුම හැටියට මා දුටුවේ සම්පීඩිත පස් ගල් භාවිත කරමින් නිවස ඉදි කිරීමටයි.  මෙහිලා මා දුටු ආර්ථික හා පාරිසරික වාසි මෙසේ ගොනු කළ හැකියි.

1. ග‍ඩොල ඉතා ශක්තිමත් වීම - සිමෙන්ති බ්ලොක් ගල් හා පිළිස්සූ මැටි ගඩොලට සාපේක්ෂව මෙම ගඩොල ඉතා ශක්තිමත්ය. 
අගුළු යතුරු යාන්ත්‍රණය සහිත ගඩොල්...
2. ගඩොල් එකිනෙක අගුළු වැටීම නිසා බිත්ති බැඳීමට වැයවන සිමෙන්ති ප්‍රමාණය ඉතා අවම වීම - මෙය ආර්ථික හා පාරිසරික දෙඅංශයෙන්ම වැදගත් වේ.

3. කපරාරු කිරීම අනවශ්‍ය වීම නිසා විශාල ආර්ථික වාසියක් හිමිවීම. - ගංගා වැලි පරිභෝජනය අවම වීම නිසා පාරිසරිකව ඉතා යහපත් වීම.

4. මනා තාප පරිවාරක ගුණාංග හා සවිවර වීම නිසා නිවස අභ්‍යන්තරය ඉතා සිසිල් වීම. මෙය බලශක්ති සංරක්ෂණයේ ලා මහත් පිටුවහලක් වේ.

මේ අදාළ ගඩොල නිර්මාණය කරගත්තේ මා විසින්මයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් මෙන්ම ගඩොල් නිෂ්පාදන යන්ත්‍රයත් මා වෙත ලබා දුන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල ශාඛාව විසින්. එහිදී ඉංජිනේරු සේනානායක මහතා පෞද්ගලිකව මැදිහත් වෙමින් දෙතුන්වතාවක්ම ම‍ාගේ නිවසට පැමිණ අඩුපාඩු පෙන්වා දෙමින් දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කළ යුතුයි.
නමුත් අවාසනාවකට ඔවුන් සතුව තිබූ යන්ත්‍රය ඉතා පැරණි එකක්. බොහෝ වතාවක් භාවිත කර තිබීම නිසා ගෙවී තිබුණු එය මගින් නිර්මාණය කරන ලද ග‍ඩොල් වල අගුළු යතුරු යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා මට මේ ගඩොල් බැඳීමේදී ගඩොල් පේළි දෙක මැද කුස්තූරයට සිමෙන්ති දමන්නට සිදු වුණා.
බිත්ති බඳිමින්...
මේ ගඩොල් නිෂ්පාදනය සඳහා යෝග්‍ය වන්නේ ඇලෙන සුළු බව අඩු රතුපසයි. ඊට සිමෙන්ති 15:1 අනුපාතයට මිශ්‍ර කොට යන්ත්‍රය හරහා ගඩොල් නිෂ්පාදනය කරගත හැකියි.
ගඩොල් නිෂ්පාදනය...
මේ ගඩොල් භාවිතයෙන් බිත්ති බැඳීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයැයි කීම මිත්‍යාවක් බවයි මගේ අත්දැකීම. බාස් උන්නැහේට යමක් තේරුම් ගත හැකි බුද්ධියක් තිබේ නම් මෙය භාවිතයෙන් බිත්ති ගොඩනැගීම ඉතා පහසුයි. ගතවන කාලයත් අවම නිසා ආර්ථිකයටත් වාසියි. 
මගේ ආර්ථික තත්ත්වය අනුව මට තාම ගොඩනගා ගත හැකි වුණේ යන්තම් කාමර දෙකක් පමණයි. නිවසේ වැඩකටයුතු සම්පූර්ණ වූ විට නැවත පින්තූර සමග ලිපියක් ලියන්නම්. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට උදව් කරන්නට මා සූදානම්. ඒවගේම පරිසර හිතකාමීව ‍නිවස ගොඩනංවා ගැනීමට ඔබේ යෝජනා තිබේ නම් මහත් සේ අගය කරනවා. විශේෂයෙන්ම ලී භාවිතය අවම කිරීමට සාධනීය යෝජනා අවශ්‍යයි. (කොන්ක්‍රීට් ජනේල උළුවහු උත්සාහ කර බැලුවා. නිසි ප්‍රමිතිය නොතිබූ නිසා අත්හැර දමන්නට සිදුවුණා) ඒ වගේම වහලය සඳහා ලී වෙනුවට යොදා ගත හැකි විකල්ප ගැන දන්නා උදවිය අදහස් පළ කරාවියැයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා. 


Monday, July 6, 2015

අවාරේ සිරිපා - අවසාන කොටස


අවාරෙ සිරිපා චාරිකාවේ දෙවන කොටස අරගෙන එන්න සෑහෙන්න පරක්කු වුණා. ඡායාරූප ටික ගබඩා කරල තිබුණු පරිගණක යන්ත්‍රයේ ඇති වෙච්ච කාර්මික දෝෂයක් තමයි ප්‍රමාදයට හේතු වුණේ. ඉතිං තරහ අවසරයි...! ඕං ඉතිරි ටික...

එදා රාත්‍රිය අපි ගත කළේ උඩ මළුවට පඩි කීපයක් පහතින් තියෙන කුස්සියේ. ඇත්තටම ඊට පෙර දවසේ රාත්‍රී හරිහැටි නින්දක් නොතිබීමත්, ගමන් මහන්සියත්, පරිසරයේ සුවදායී සිසිලසත් නිසා අපි හැන්දෑවේ හයහමාර හත වෙද්දිම නින්දට ගියා.

නමුත් මහරාත්‍රියේ හදිසියේම අප ඇහැරුණේ හුස්ම ගැනීමේ අපහසුවකින්. මුළු කුස්සියම දුමෙන් පිරිලා. දුම පිටවෙන්නට තැනක් නැති කමෙන් අපට හුස්මක් අරගෙන එහි ඉන්නට පුළුවන් කමක් තිබුණෙ නෑ. ඒ උදවිය උදේ බුද්ධ පූජාවට ආහාර සකස් කරනවා. වෙලාව බැලින්නම් පාන්දර 2.30යි. ඉන්පසු අපි හෙමින් උඩමළුවට ගියා. අධික සැඩ සුළං ධාරා හා දරාගත නොහැකි සීතල නිසා එහි රැඳී සිටීම ඉතාම අසීරු කරුණක් වුණා. 
පාන්දර තුන‍ට පමණ මරහීතලේ උඩ මළුවේ...

සීතලේ ගුලිවෙමින් අප නැගෙනහිර අහස දෙසම බලා සිටියේ කොයි වෙලේ ඉර සේවය දකින්නට හැකි වේදැයි සිතමිනුයි.

ඉර උදාව...
අවාසනාවකට වගේ අහස වළාකුලින් බරව තිබීම නිසා ඉර සේවයේ පැහැදිලි දසුනක් නැරඹීමේ භාග්‍යය අපට අහිමිව ගියා. මා සතුව තිබූ කැමරාවේ දුර්වල තත්ත්වයත් මනා ඡායාරූපයක් ලබා ගැනීමේ අවස්ථාව මට අහිමි කළා.

කෙසේ නමුත් ඉර උදාවෙන් පසුව අවට පරිසරය නම් වර්ණනා විෂයාතික්‍රාන්තයි මිත්‍රවරුනි. මම කියනවාට වඩා හොයි ඡායාරූප වලට කතා කරන්නට ඉඩදෙන එක.
අරුණැල්ලේ නැහැවෙන කඳු වළල්ල...

සිරිපාදයේ සෙවණැල්ල (නිල් පැහැයෙන් ත්‍රිකෝණාකාරව)
යන්තම් එළිය වැටෙද්දී අපි රත්නපුර පාරෙන් පහළට කරුණා කිරීම ආරම්භ කළා.
කුණුදිය පර්වතය
අවාර සමයේ රත්නපුර පාරෙන් ගමන්කිරීම තරමක් අනතුරුදායකයි. වනයෙන් වැසී ඇති පඩිපෙල, ඇතැම් විට ලිස්සායන සුළු බෑවුම් නිසාත්, නිරන්තරයෙන් සරන වනසතුන් නිසාත් මේ මග ගමන් කිරීම කල්පනාකාරීව කළ යුත්තක්. දින කිහිපයක් පැරණි අලි වසුරු අප කිසිසේත් බලාපොරොත්තු නොවුණු බෑවුම් ප්‍රදේශයකදී අපට හමුවුනේ සිතට‍ යම් බියක් ගෙනදෙමින්.
අලි වසුරු
එතැන පසුකර මද දුරක් යද්දී මේ දැන් බිඳ දැමුණු කුරුබට ගහණයක් දක්නට ලැබුණා. මහඇත්තන් මේ අවටම සිටින බවට එය නිසැක සාක්ෂියක් වූයෙන් අපි එතැන් පටන් ඉදිරියට ගියේ ඉතාම විමසිල්ලෙන්...
මල්බර වන‍ මං පෙත...

ස්නානය සහා සුදුසු දියපහරවල් රත්නපුර මංපෙතේ ඕනෑතරම් තියෙනවා. නමුත් මේවායෙන් දියනෑම ඉතා කල්පනාකාරීව කළ යුත්තක්. මොකද කන්ද ඉහළට ඇදහැළෙන මහවැසි නිසා කිසිදු අනතුරු ඇවීමක් නොමැතිව මේවායේ සැඩපහර ක්ෂණිකව ඉහළ යන නිසා.
සුන්දර චාරිකාවක් අවසානයේ අපි සිරිපාගමට පැමිණියේ මහවැසි මධ්‍යයේ. එතැනින් රත්නපුරයටත්, රත්නපුරයෙන් පානදුරත් පැමිණි මම ගෙදර ගියේ පහුවදා පාන්දර යාමයේ...