Monday, November 28, 2016

Sinhagala Expedition - Sinharaja Rain Forest, Sri Lanka - සිංහගලේ සිංහයා සොයා...


කොයිතරම් වතාවක් ගියත් එපා නොවෙන ආයෙමත් යන්න හිතෙන ලංකාවේ සුන්දරතම වැසි වනාන්තර පද්ධතිය තමයි සිංහරාජය. ඒකෙ ආයෙ දෙකක් නෑ. තරමක් පැරණි චාරිකාවක් වුණත් තාමත් හිතේ සක්මන් කරන සිංහරාජයේ ‘සිංහගල‘ සොයා ගිය චාරිකා සටහනයි මේ...
මෙවන් චාරිකා සඳහා සැදී පැහැදී සිටින තවත් මිතුරන් තිදෙනෙකුත් සමග මගේ පරණ මෝටර් රථයේ නැගී අපි පාන්දරම හික්කඩුවෙන් පිටත් වුණා. ගමනේ පළමු ඉලක්කය අත්වැල්තොට ‘අහස් බෝක්කු ඇල්ල'...
අපේ ගමන් සගයා - අහස් බෝක්කුව අසල
මතුගම - බදුරලිය පාරේ අත්වැල්තොට පසුකර මදක් ගිය පසු මේ අහස් බෝක්කුව නමින් හැඳින්වෙන පුංචි පාලම හමු වෙනවා. එය අසලින් ඇති කුඩා අඩිපාරේ මදක් දුර ගිය විට ඔබට අහස්බෝක්කු ඇල්ල වෙත පැමිණිය හැකියි. නමුත් අපි අනුගමනය කළේ ඊට මදක් වෙනස් මගක්. අහස්බෝක්කුව පසුකර මීටර් සියයක් පමණ ඉදිරියට ගිය විට දක්නට ලැබෙන මාර්ගය ඔස්සේ යාමෙන් ඇල්ලේ මුදුනට ඔබට ළඟා විය හැකියි.
අහස් බෝක්කු ඇල්ලේ මුදුන
ඇල්ලේ මුදුන අසලින් වනතීරය ඔස්සේ පහළට බැසීමෙන් ඇල්ල පාමුලට එන්නට අපට හැකිවුණා. එය තරමක් අසීරු කටයුත්තක් නිසා පරිස්සමෙන් බැස ගැනීම සුදුසුයි.
අහස් බෝක්කු ඇල්ල
එතරම් අවධානයට ලක් නොවුණු ඇල්ලක් වුණත් මීටර් 30ක් පමණ උසින් යුත් මේ දිය ඇල්ල ඉතාම සුන්දර එකක්.
අහස්බෝක්කු ඇල්ල නැරඹීමෙන් පසු අපි කෙළින්ම ගියේ කලවානේ කුඩව සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය වෙතටයි. කල් ඇතුවම අපි එහි නවාතැන් වෙන් කරගෙන තිබීම අපට මහත් අස්වැසිල්ලක් වුණා. කොස්ගුලන ගඟට ඉහළින් ඉදි කෙරුණු, සරල, අවම නමුත් ප්‍රමාණවත් පහසුකම් වලින් හෙබි නවාතැනේ අපේ ගමන්මලු ආදිය දමා තවත් සුන්දර ඇල්ලක් සොයා යන්නට අපි සූදානම් වුණා.
කුඩව සිංහරාජ පිවිසුමට යන මාර්ගයේ මදක් දුර ගොස් කුඩව පාලම පසුකර දකුණු අත පැත්තට ඇති පාර වැටී ඇත්තේ පිටකැලේ ගම්මානයටයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්කර ග්‍රාමීය පෙදෙසක් වන මෙහි ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ තේ වගාවයි. මේ දුෂ්කර මාර්ගයේ මදක් තැන් ගිය පසු අපි සොයා ආ සොඳුරු දියඇල්ල දක්නට ලැබෙනවා. මෙය හඳුන්වන්නේ පිටකැලේ දූවිලි ඇල්ල නමින්. උසින් අඩු වුණත් ඈ කොතරම් සුන්දර දැයි බලන්න.
පිටකැලේ දූවිලි ඇල්ල
දූවිලි ඇල්ල නරඹා නැවත නවාතැනට පැමිණි අපි පසුදා සිංහගල චාරිකාවට සූදානම් වුණා. සිංහරාජ වනාන්තරයේ වනමං පෙත් අතරින් දුෂ්කරම මංපෙත වැටී ඇත්තේ සිංහගල වෙතටයි. කුඩව පිවිසුමේ සිට කිලෝමීටර 14ක පමණ දුරකින් පිහිටා ඇති සිංහගල මීටර් 500ක පමණ උසින් යුතු කඳුමුදුනක්.
නෙලු විශේෂයක්...
ගමන අතරතුරදී ඝාතනයක සාක්ෂි දක්නට ලැබුණා...
ඝාතනයක සාක්ෂි
මෙහිදී ඝාතනයට ලක්ව තිබුණේ වත නිල් මල්කොහෙක්... Phaenicophaevs viridirostris ඝාතකයා බොහෝවිට කුරුළුගොයෙක් (Shikra) විය හැකියි.
කුරුලු නාද හා දියදහරා වල සිලිසිලිය හැරෙන්නට වනය අතිශයින්ම නිසංසලයි. වන නදී දහරා පිරී පැවතුනේ ආවේණික මත්ස්‍ය විශේෂයන්ගෙනුයි. මේ වීඩියෝ දර්ශනය බලන්න. https://www.youtube.com/watch?v=wePegSavMog
අවධානයෙන් සංචාරය කරන්නෙකුට වනාන්තරය අවට දැකිය හැකි සුන්දර දර්ශන බොහෝමයි. 
සුන්දර සමනල විශේෂයක්...
ගැටහොඹු කටුස්සා නැත්නම් කරමල් බෝදිලිමා යනුවෙන් හැඳින්වෙන කටුසු විශේෂය අපට දක්නට ලැබුණේ එසේ අවධානයෙන් ගමන් කළ නිසාමයි.
ගැටහොඹු කටුස්සා
ක්‍රමයෙන් කඳු බෑවුමේ ඉහළට පැමිණි අපි සිංහයෙකුගේ කටක් බඳු හැඩයක් සහිත ගල්පොත්තක් කරා පැමිණියා. මේ කන්ද සිංහගල ලෙස හැඳින්වෙන්නට මේ ගල්පොත්ත හේතුවක් වෙන්නට ඇති බව මට නිකමට හිතුණා.
සිංහකට
කිලෝමීටර 14ක පමණ දුෂ්කර පාගමනකට පසු අපි සිංහගල මුදුනට පැමිණියා. කඳු මුදුනේ සිට අවට අති මනරම් දර්ශනයක් දක්නට ලැබුණා. බැලූ බැලූ අත දිස්වුණේ හරිත සාගරයම පමණයි.
කඳු මුදුනේ සිට...
මේ සුන්දරත්වය දෑසින් උරාබොමින් බොහෝ වේලාවක් කඳු මුදුනේ ගත කළ අපි ආපසු එන්නට හැරුණා. මේ බිම්ගත ඕකිඩ් වර්ගය අපට හමුවුණේ සිංහගල මුදුන ආසන්නයේදීමයි.
බිම් ඕකිඩ්
මේ නම් හොඳට දන්න අඳුනන කෙනෙක්.. මේ ලංකාවට ආවේණික සුන්දර මල් විශේෂයක් වන බිනර...
බිනරමලී...
තරමක් කල්ගත වී හෝ මේ චාරිකා සටහන ලියවුණේ හැමදාම බ්ලොග් එකට ගොඩවැදී අලුතෙන් යමක් ලියන්නේ නැද්දැයි නිතරම ආඩපාලි කියන එලද බ්‍රා මෙන්ඩා හෙවත් දයාබර සංජීව මෙන්ඩිස් සහෝදරයා නිසයි. උඹට බොහොම ස්තූතියි.


Tuesday, July 26, 2016

Rail Hike from Nanuoya to Ambewela in search of Elgin Falls - එල්ජින් ඇල්ල සොයා රේල්පාර දිගේ...

බදුල්ල දුම්රියේ යන වාරයක් පාසා නානුඔය පහුවෙච්චි හැටියෙම මම ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන්. පැරකුම්පුර පුංචි ස්ටේෂන් එක පහුවුණු හැටියෙම ධර්ම යුද්ධයට මහෞෂධ පණ්ඩිතයන් එනකම් බලං හිටපු කේවට්ටයා වගේ කොක් කරක් වගේ බෙල්ල දික්කරං දකුණු පැත්තෙ බෑවුම දිහා මං බලන්නෙ ඈ ඉන්නවද කියලා.. 
මීදුම ගලපු නැති දවසක් නං අනිවාර්යයෙන් ඈ දුහුල් සළුපොටින් යාන්තම් වැසුණු තුනුරූ සපුවෙන් ශෝභමානව ගනව වැඩුණු වනාන්තරය අතරින් විළියෙන් හිනාවෙනවා බලන්නට පුළුවනි.
ඒ හැම වෙලාවකමත් ලොකු හුස්මකින් පපුව පුරවගෙන කවදාහරි මං ඔයාව බලන්න එනවා කියලා මං හිතින් පොරොන්දු වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි නොඉඳුල් ගන වනාන්තරයක හැංගිලා යාන්තමට සුදු සේල පොටක් විතරක් අපට පෙන්වන මීටර් විසිපහක පමණ උසක් තියෙන එල්ජින් ඇල්ල.
මේ ආසාව තිබුණෙ මට විතරක් නෙවෙයි කියලා මට තේරුණේ මේ ගමන යන්න ලෑස්ති වෙද්දි. කොහොමින් හරි මගේ සුපුරුදු ගමන් සගයින් කිහිප දෙනෙකුත් එක්ක පහුගිය දොහක අපි එල්ජින් සොයාගෙන ගියා. ගමන සැලසුම් කරද්දි අපට ආපු ලොකුම අභියෝගය වුණේ මේ ඇල්ල පිළිබඳ හරිහමන් විස්තරයක් හොයාගන්න බැරි වුණ එක. ඇල්ල ළඟට යන්න පුළුවන් නිශ්චිත පාරක් ගැන අපට විස්තරයක් හොයා ගන්න බැරිවුණා. එන හැටියකට මුහුණ දෙන්න හිතාගෙන අපි සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රියෙන් නානුඔය බලා පිටත්ව ගියා.
ලේකැටි මිදෙන හීතලේ පාන්දර දෙකට පමණ නානුඔයෙන් බැහැගත්තු අපි එළිය වැටෙන කම් දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ ගතකළා. යාන්තම් බිමට එළිය වැටෙද්දීම නගරයේ විවෘත කරපු පළවෙනි අවන්හලෙන්ම උදේ ආහාරය ගත් අපි දුම්රිය මාර්ගය දිගේ ඇවිද යාම ඇරඹුවා.
මිදුමෙන් වැසී...
උඩරට දුම්රිය මාර්ගය රේල් හයික් එකකට කියාපු පාරක්. නමුත් මා දන්නා තරමින් දැන් දුම්රිය මාර්ගය දිගේ රේල් හයික් කරන්නට අවසර නෑ. විශේෂයෙන්ම බිංගෙවල් ආශ්‍රිතව සිදුවන වැහිලිහිණි කූඩු ජාවාරම නිසා රේල්පාරේ පයින් යන්නන් කෙරෙහි බලධාරීන් සිටින්නේ අවධානයෙන්.
නිරන්තරයෙන් මීදුමෙන් වැසී යන දුම්රිය මාර්ගය අතිශයින් මනරම් පාරිසරික කලාපයක් හරහා දිවයනවා. නානුඔය සිට අඹේවෙලට දුර කිලෝමීටර දහහතරක්. එයින් කිලෝමීටර දහයක් පමණ නානුඔය සිට ගිය විටදීයි එල්ජින් ඇල්ල මුණ ගැසෙන්නේ..
ස්වර්ග රාජ්‍යයට යන පාරද මේ...
පරිස්සමෙන් හා අවධානයෙන් සංචාරය කරන්නෙකුට මේ මාර්ගය දෙපස දක්නට හැකි දේ බොහොමයි. මේ තියෙන්නේ මාර්ගය අද්දර සරුවට වැඩී තිබුණු මල් පඳූරක්...
බ්ලූ ස්ටාර් - ඡායාරූපය - තාරුක චමල්
බැලූ බැල්මට ඉතා සුන්දර වුවත් මෙහි පිටුපස කතාව අමිහිරි එකක්. මේ තිබෙන්නේ 'බ්ලූ ස්ටාර්' - Blue star (Aristea acklonii නමින් හඳුන්වනු ලබන ආක්‍රමණික ලක්ෂණ දක්වන ශාකයක්. මා වරක් පට්ටිපොළ සිට හෝටන් තැන්න පිවිසුම දක්වාම මේ ශාකයේ පැතිරුණු ගහනයක් නිරීක්ෂණය කළා. ඒ සටහන මෙතැනින් CLICK බැලිය හැකියි.  විසිතුරු පැළෑටියක් ලෙස රටට ආනයනය කළ මෙය දැන් සීමා ඉක්මවා ස්වභාවික පරිසරයේ පැතිරෙන්නට පටන් අරන්. 
මල් යායක මිහිර...
මේ රේල්පාර අද්දර වැඩී තිබුණු සුන්දර කුඩා මල් ගොන්නක්.
පොද වැස්සත්, සිහින් සීතල සුළඟත්, ගන මීදුමත් මැද්දෙන් හීනයක් මැදින් ඇවිද යන්නාක් වගේ අපි ඉදිරියට ඇවිද ගියා.
මෙසේ ගමන් කරද්දී ඉදිරියෙන් හෝ පසුපසින් පැමිණිය හැකි දුම්රියන් කෙරෙහි අවධානයෙන් ගමන් කිරීම ඉතා වැදගත්. ‍මොකද මේ මීදුම් ප්‍රවාහය මැද්දේ දුම්රියක් ළඟටම එනකම් පේන්නෙ නැති නිසා.
මීදුම මැද්දෙන් උඩරට මැණිකේ - සේයාරුව - තාරුක චමල්
කෙසේ නමුත් කඳු හිස් මත රාව ප්‍රතිරාව නංවන හඬින් දුම්රියක පැමිණීම ඈත පටන්ම හඳුනාගත හැකියි.
මේ විදියට පරිසරයේ සුන්දරත්වය දෙනෙතින් උරාබොමින්, රසමිහිරෙන් මන්මත්ව කිලෝමීටර් දහයක් පමණ ඉදිරියට ආපු අපට ඈතින් කඳු හිස් මත්තෙන් ගලා හැලෙන මේ සුන්දර දියඇල්ලේ පළමු දර්ශනය නෙත ගැටුණා.
ඈතින් අෑ...
මේ දීර්ඝ පා ගමනින් අප ලත් වෙහෙසක් තිබුණා නම් එය වහා සිඳ මිහිරියාවෙන් සිත පුරවාලන්නට මේ යාන්තම් ලද දසුනද සමත් වුණා.
එතැනම රේල් පාරේ වාඩි වී අප බොහෝ වෙලා මේ සොඳුරු දසුන රසවින්දා. වරින් වර මීදුම් සළුව ලිහිල් කරමින් ඇගේ මනරංජනීය රූ සපුව යාන්තමට අපට පෙන්වූ ඈ වහා විළි වැද නැවතත් මීදුම් සළුවෙන් සෙළුව වසා ගත්තා.
සළු ගිලිහුණු නිමේෂයක...
ඇල්ලේ පාමුලට ළංවිය හැකි මගක් සොයා ගැනීම අපේ ඊළඟ අභියෝගය වුණා. ඇල්ල වෙත බැසිය හැකි කිසිදු මගක් පෙනෙන්නට නොතිබුණු නිසා අප තීරණය කළේ මදක් ඉදිරියෙන් තිබුණු කළු පාලමේ බෑවුම බැස දියපහර දිගේ ඇල්ල පාමුලට ළඟා වීමටයි.
කළු පාලමෙන් පහළට...
ඊතලයෙන් පෙන්වා ඇත්තේ අප පහළට බැස්ස ස්ථානයයි. බෑවුම තරමක් තියුණු එකක් වීම නිසා එය අභියෝගාත්මක එකක් වුණා. කෙසේ නමුත් නිරුපද්‍රිතව දියපහර වෙත ළඟා වුණු අපි එය දිගේ ගමන් ආරම්භ කළා.
මෙවන් කඳුකර වනාන්තරයක දියදහරක් දිගේ ගමන් කිරීම අපූරු අත්දැකීමක්. තුරු වියනෙන් හෙවණ වූ නොගැඹුරු දියදහර මද බෑවුම ඔස්සේ වේගයෙන් ඉදිරියට ගලා ගියා. අතරින් පතර හමු වූ කුඩා දිය ඇලි (Rapids) මේ සුන්දරත්වය වඩාත් ඔප් නැංවූවා.
සීත සුනිල් දිය දහරා...
සුන්දරත්වයෙන් අනූන වුවත් පහතරට කලාපයේ මෙන් දියදහරා වල සරු ජෛව විවිධත්වයක් මෙහි දක්නට නැහැ. 
දිය යට සුන්දරත්වය
මේ දියයට ඡායාරූපය පහත රට දියදහරකදී ගත්තා නම් මෙය පිරෙන්නට ජලජ ජීවීන් දක්නට ලැබෙනවා නිසැකයි.
මේ තිබෙන්නේ ගස් කඳක වැවුණු ලයිකනයක බීජාණුධානි.
බීජාණුධානි...
මේවා සුළඟ මගින් ව්‍යාප්ත වී තවත් තැනක ජීවය පතුරවනවා.
දියපහර දිගේ කිලෝමීටර එකහමාරක් පමණ යද්දී අපි දැඩි වර්ෂාපතනයකට මුහුණ දුන්නා. වර්ෂාව එන්න එන්නම දැඩි වෙද්දී ඉතා අකමැත්තෙන් වුණත් අපට සිදුවුණේ අාපසු හැරෙන්නටයි. මන්ද එන්න එන්නම වේගවත් වන දියපහරක වර්ෂාව මධ්‍යයේ ඉදිරියට යාම නිසැක අනතුරකට හේතුවක් බව පැහැදිලිව පෙනුන බැවින්. අතරමග කුඩා දියඇලිද චණ්ඩ, ප්‍රචණ්ඩ වී තිබුණේ ඒවා තරණය කිරීම සිහිනයක්ම බවට පත් කරමිනුයි. මීදුම හා මුසුව ගලා හැලෙන අන්ධකාරයද ආපසු හැරෙන්නට අපට අණ දුන්නා.
ප්‍රචණ්ඩ දිය දහරා හා ලිස්සන ගල්...
අරමුණට ළඟාවන්නට නොහැකි වුණු පළමුවැනි චාරිකාව ලෙස මගේ චාරිකා සටහන් පෙළට එක් වෙමින් මේ ගමන නිමා වුණා. නමුත් එල්ජින්...... මතක තබා ගන්න. මා නිසැකවම අාපසු එනවා.. එවර නම් මගදී ආපසු හැරෙන්නට නෙවෙයි...

Monday, June 6, 2016

Ravana's Chariot Path - රාවණා සමග ඇවිද ගි‍යෙමි....


රාවණා හා ඔහුගේ පුරාවෘත්තයන් හා බැඳුණු ස්ථාන ලංකාවේ කොතෙකුත් ඇත. ඒ අතුරෙන් වඩාත්ම ස්වභාව සෞන්දර්ය‍යෙන් අනූන පෙදෙසක් පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ අන්තයේ පිහිටා තිබේ. රාවණාගේ කරත්තය ගමන් කළ මාර්ගය යන අර්ථයෙන් මෙය 'චැරියට් පාත්' යන නමින් හැඳින්වෙන අතර ගම්වැස්සන් මෙය හඳුන්වන්නේ 'පිට්ටනි' යන නමිනි.
මෙම සුන්දර බිම්කඩ සොයා අපි ගමන් ඇරඹුවේ පුස්සැල්ලාව ‍'ෆ්‍රොටොෆ්ට් ' වතුයායෙනි. වතුයාය මැදින් දිවෙන ජීප්රථ පාරේ කඳු ඉහත්තාව දෙසට ගමන් කළ විට ‍'චැරියට් පාත්' කරා දිවෙන යාන්තමට සළකුණු වූ අඩිපාර දැකිය හැක.
වතුයාය මැදින් - ඈතින් අ‍පේ ඉලක්කය
එම අඩිපාර දිවයන්නේ කඳුකර වනාන්තරයක් මැදිනි. ඉතා අසීරු ගමනක් වූ මෙය අපට අමතක නොවන අත්දැකීමක් වන්නේ මද දුරක් ඉහළට ආ අපට මග වැරදීම හේතුවෙනි.
වැරදුණු මග - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු
මේ රූපයේ සුදු පැහැ ඊතලයෙන් අප යායුතුව තිබුණු නිසි මගත්, රතුපැහැ ඊතලයෙන් මග වරද්දාගත් අප ගමන් කළ තියුණු බෑවුම් සහිත මගත් දිස්වේ. 
වැරදුණු මග අතිශය කටුක එකක් වීය. දළ බෑවුමේ ඉහළ නැගීම එන්න එන්නම අභියෝගාත්මක විය. දෙපයින් යාමට වඩා බොහෝවිට කළේ බෑවුමේ වැඩුණු නූස් පඳුරු වල එල්ලී සතරපයින් යාමය. කූඩාරම, ජලය, උයන පිහන බඩු, කැමරා උපකරණ ආදිය සමග ඉතා බරැති මල්ලක් එල්ලාගෙන මොහොර බෑවුමක ඉහළට නැගීම කිසිසේත් පහසු එකක් වූයේ නම් නැත.

බඩගෑම - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු
ගමන කෙතරම් දුෂ්කර වුවත් බෑවුමේ සිට බලන කල අවට දර්ශනය අතිශයින්ම මනරම් එකක් විණ. බැලූ මානයේ දිස්වූයේ හරිත සාගරයකි.
රාස්සිගේ අවුව වැටී දිලිසෙන කඳු...
අපේ එකම අරමුණ වූයේ රෑබෝ වන්නට ප්‍රථම කඳවුරු භූමිය වෙත ළඟාවීමය. මේ කඳුකර කොටියාගේ (Panthera paradus kotiya) අඩවියයි. වනයේ රජතුමා ළඟම සිටින බව සාක්ෂි වශයෙන් ඉතා මෑතක තැබූ නිය සටහනක් ගසක තිබී අපට හමුවිය.
කොටි නිය පඳුරු - ඡායාරූපය - සජිත් මධුෂාන් අබේගුණවර්ධන
කොටින් මෙසේ ගස්මත තම සලකුණු තබන්නේ එය තමාගේ වසම (Territory) බව අනෙකුත් කොටියන්ට දන්වා සිටීමටය. මේ සඳහා බොහෝවිට උන්ගේ මුත්‍රාද යොදා ගැනේ. කොටියා තදින්ම වසම් චර්යාව දක්වන සත්ත්වයෙකි. තමා වෙන් කරගෙන සිටින සීමාව‍ට වෙනත් පිරිමි කොටියෙකු ඇතුළු වුවහොත් අනෙකාගේ මරණය සිදුවන තුරුම උන් එකිනෙකා හා සටන් කරති. ජයග්‍රාහකයාට වසමේ අයිතිය තහවුරු වෙයි.
කෙසේ වෙතත් රෑ බොහෝ වන්නට පෙර කඳු මුදුනට ළඟා වීමට අපට හැකිවිය. මෙය සැබවින්ම කඳු මුදුනත පිහිටි තැනිතලා භූමියකි. බොහෝදුරට හෝර්ටන් තැන්නේ පරිසරයට සමාන ලක්ෂණ දරයි.
ඉර බැස යන හැන්දෑවේ...
වේගයෙන් කළුවර ගලාහැලෙන්නට වූ නිසා අප කළේ වහවහා කූඩාරම අටවා කෑමට යමක් සූදානම් කර ගැනීමය. ස‍‍ඳ පහනින් එළිය වූ ඇටමිදුළු පවා ගල්ගැසෙන තරම් සීතල එදා රෑ..... සමාවෙන්න මිතුරනි.. එය විස්තර කරන්නට මගේ වාග්කෝෂය පොහොසත් නැත. ගිරි බැබළෙන සඳපහනක් මා පියවි ඇසින් දුටුවේ එදාය. කඳු මුදුනක තැනිතලාවක හඳපාන හා තරුරෑන යට මා ගෙව්වේ මගේ ජීවිතයේ සුන්දරතම රාත්‍රිය බවට නම් සැක නැත.
හඳයි, තරුයි, අපේ කූඩාරමයි, ලන්තෑරුමයි - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු
කොටියා පෙනෙන්නට සිටියේ නැත. නමුත් එදා රෑ කන ළඟම කොටියා ගොරවන හඬ ඇසුණු බව සජිත් හා චතුර දිවුරා කීහ.
පසුදා උදෑසන අපේ ඇස් ඉදිරිපිට තිබුණේ මිහිබට පාරාදීසය බවට නම් සැකයක් නැත. රාවණා ගමන් කළ කරත්ත පාර තණ ගොල්ලේ අපූරුවට සිත්තම්ව තිබුණ අතර දළ බෑවුම කෙළවර එක එල්ලේ පෙනුනේ සමනල සිරසය.
කරත්ත පාර - කෙළවර නිවන
තැන්නේ කෙළවරක කුඩා දියපොකුණක් වූ අතර එය සීතා පොකුණ ලෙස හැඳින්වේ. සීතාගේ කඳුළින් නිර්මිත බව කියන එය අප යන කාලයේ පැවති අධික නියඟය නිසාවත් සිඳී තිබුණේ නැත.
කඳුළින් නිර්මිත පොකුණ
බෑවුමේ නැගෙනහිර දෙසින් දක්නට ලැබුණේ වර්ණනා විෂයාතික්‍රාන්ත ‍සොඳුරු දසුනකි. මීදුම් සළු පොරවා ගත් නීල කඳු පෙළ අපේ රසකාමී නෙත් සිත් සනහාලමින් ප්‍රතාපවත් ලෙසින් නැගී සිටියේය.
නීල කඳුගැටේ...
බැලූ බැල්මට නිහඬ වුවත් වනබිම ජීවයෙන් පිරී පැවතුණි. පයට පෑගෙන තණ බිස්ස පවා සජීවී සුන්දරතාවයෙන් යුතු බව පෙන්වන්නට මේ තණ මල් පියලි සාධක නොවේද?
තණමල්....
ආපසු ගමනද පහසු එකක් වූයේ නැත. නමුත් අප අත්විඳි  ජීවන මිහිර හා සසඳද්දී එය අබැටක් තරම්වත් නොසැලකිය යුතු බව මගේ හැඟීමයි.
අාපසු ගමන....


Friday, March 11, 2016

Madampa Ganga - River Expedition - මාදම්පා ගං තරණය....

සංචාරකයන් අතර ප්‍රකටම ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ගංගාව කුමක්දැයි ඇසුවහොත් ලැබෙන නිසැක පිළිතුර වන්නේ 'මාදු ග' යන්නයි. මාදු ගඟ ගැන අසා නැති හෝ එක්වරක් ‍හෝ එහි සංචාරය කර නැති අය ඇත්නම් ඒ බොහොම අතළොස්සක් දෙනෙක් පමණයි. නමුත් 'මාදු ග' ආසන්නයේම ඊට ඉතා සමීප පාරිසරික ලක්ෂණ රැගත් ඇතැම් විට ඊටත් වඩා ජෛව විවිධත්වයෙන් ඉහළ තවත් වටිනා පාරිසරික පද්ධතියක් ඇති බව දන්නේ බොහෝම ස්වල්ප දෙනෙක් පමණයි. අද 'සොබාරූ' චාරිකාව ඒ සුන්දර තෙත්බිම වෙතටයි.
මෙය පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, කරන්දෙණිය හා හික්කඩුව ප්‍රදේශවලට මැදිවයි. අම්බලන්ගොඩ හිරේවත්ත පාලම අසලින් මුහුද හා එක්වන මේ අතිවිශාල ජලස්කන්ධය අක්කර 35,000ක පමණ වපසරියක පැතිරී තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් මෙය 'මාදම්පා ග' ලෙස හඳුන්වනු ලැබුවත් ඇත්තටම මෙය කිවුල් දිය මිශ්‍ර විල් පද්ධතියක් එසේත් නැත්නම් කලපුවක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි බවයි ම‍ගේ අදහස.
පිහිටීම
මා මුලින්ම පැවසූ ආකාරයට මෙහි දක්නට ලැබෙන පාරිසරික ලක්ෂණ සපුරා මාදු ගට සමානයි. නමුත් කුරුල්ලන් හා අනෙකුත් වනජීවීන්ගේ ගැවසීම මාදුට වඩා ඉහළ අගයකින්නිරීක්ෂණය කරන්නට අපට හැකිවුණා. ඊ‍ට හේතුව වන්නට ඇත්තේ මාදු ඟ මෙන් මේ කලපුව නිරන්තරව ධාවනය වන බෝට්ටු වලින් දූෂණය වී නොතිබීම වන්නට ඇති.
පුංචි දියකාවා
මේ පරිසර පද්ධතිය මේ වන විට අභයභූමියක් ලෙස නම් කර ආරක්ෂිත කර තිබෙනවා. මෙහි දැකිය හැකි ඉතා සුලබතම පක්ෂියා වන්නේ 'පුංචි දියකාවායි - Little Cormorant - Microcarbo niger '. ඊට අමතරව අතිවිශාල පක්ෂි ගහණයක් නරඹන්නට මේ අවට අවස්ථාව තිබෙනවා.
පළා කොකා

මෙයා තරමක් විශේෂ පක්ෂියෙක්. අප දැක පුරුදු කණකොකා - Indian Pond Heron - ගේ බාහිර ස්වරූපයට ඉතා සමාන වුවත් වර්ණයෙන් ඊට වඩා බෙහෙවින් වෙනස් හා ආකර්ෂණීයයි. මේ සුන්දර පක්ෂියා හඳුන්වන්නේ 'පළා කොකා' -Striated Heron (Butorides striata) යන නමින්. ක‍ඩොල් කොකා යන නමිනුත් ඇතැම් විට හැඳින්වෙන මේ සුන්දර පක්ෂියා ම‍ාළුන් ගොදුරු කර ගන්නට ඇමක් යොදන පක්ෂි විශේෂයක් ලෙසත් හැඳින්වෙනවා.
ස්වර්ගය...
මේ ප්‍රධාන විලෙන් ඉවතට ගලන ඇල මාර්ගයක්. මෙවන් ඇල මාර්ග බොහෝ ගණනක් මේ අවට තිබෙනවා. තද කොළ පැහැ ගසින් වටවුණු ඇල ඉවුර බොහෝ පක්ෂීන්ට මෙන්ම දකුණේ මෙම ප්‍රදේශයටම ආවේණික 'විල් මුවන්'ටත් අපූරු නිවහන් සපයනවා. විල් මුවන් ගැන දැන ගන්නට මගේ පෙර ලිපි හා මෙතනින් සම්බන්ධ වෙන්න.
විල් මුවා - http://sobaroo.blogspot.com/2012/05/injured-hog-deer-rescued-at-hiyare.html
සුදු මැදි කොකා

මේ ඉතින් බක තපස් රකින්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ. මේ සුදු මැදි කොකා...Intermediate EgretMesophoyx intermedia අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන ගව කොකාට -Cattle Egret -  වඩා තරමක් විශාල විශේෂයක්. මෙයාටත් වඩා තරමින් විශාල මහ සුදු කොකාත් - Great Egret දැක ගන්නට ලැබුණත් යහපත් ඡායාරූපයක් ගන්නට අවස්ථාවක් උදා වුණේ නෑ.
ගිංපොල් ශාකය
ඉහත රූපයේ පෙනෙන්නේ රෙඩ් පාම් ශාකයක් යැයි බැලූ බැල්මට සිතුණත් මෙය ලංකාවේ දුර්ලභව දක්නට ලැබෙන ශාක විශේෂයක්. කඩොලාන අතර දක්නට ලැබෙන එකම තාල වර්ගයේ ශාකය වන මෙය ගිංපොල් Nypa Fruticans නමිනුයි හැඳින්වෙන්නේ. ගිංපොල් ශාකයේ ඉතා සරු ගහණයක් මාදම්පා විල අවට දක්නට පුළුවන්. මෙම ශාක ගහණයන් දියබල්ලන්, පක්ෂි විශේෂ ආදීන්ට අපූරු අාරක්ෂිත නිවහන් සපයනවා.
කබරගොයා
මෙයා නම් අමුතුවෙන් හඳුන්වාදෙන්නට අවශ්‍ය නෑ නොවැ. මේ වගේ කබරගොයින්Varanus salvator  විශාල ප්‍රමාණයක් මේ අවට බහුලව දක්නට ලැබෙනවා.
කුසඇලි සයුරුකුස්සා
මේ ඉන්නේ මේ පරිසර පද්ධතියේ බහුලව දක්නට ලැබෙන තවත් සුවිශේෂ දැවැන්ත පක්ෂියෙක්. මේ 'කුස ඇලි සයුරුකුස්සා' හෙවත් White Bellied Sea Eagle - Haliaeetus leucogaster
අහස අපට....
පසුගිය දා සමාජ ජාල ඔස්සේ විශාල ආන්දෝලනයකට තුඩුදුන් උකුස්සා හම ගැසීමේ සිද්ධියට අදාළ පක්ෂියා වූයේත් මේ සයුරුකුස්සාම බවයි ඒ ඡායාරූප දුටු මට සිතුණේ. මා වැරදි නම් කරුණාකර නිවැරදි කරනු ඇතැයි බලාපොරොත්තු වනවා.
අළු කොකා

මේ ඉන්නේ අළු කොකා හෙවත් Grey Heron. ඔහුගේ පසුබිමින් දක්නට ලැබෙන්නේ සරුවට වැඩුණු ගිංපොල් ගහණයක්.
වචනයට නැගිය නොහැකි සුන්දරත්වය....

මෙම පරිසර පද්ධතිය සංචාරකයන්ගේ ඇසින් වහංවී තිබීම නිසා මෙය දූෂණය වී ඇති ප්‍රමාණය තරමක් අවම වී තිබෙනවා. මාදම්පා විල අවට විල් ඉවුරු ගොඩ කරමින් ඉදි වන සංචාරක හෝටල් තමයි දැනට මෙහි පැවැත්මට එරෙහි ප්‍රධානතම තර්ජනය වී තිබෙන්නේ. කෙසේ නමුත් මේ සුවිශේෂ තෙත්බිම් පරිසරය අනාගතය වෙනුවෙන් සුරැකී පවතිනු ඇතැයි මා පරිසර ලෝලියෙකු වශයෙන් මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා.