Friday, July 14, 2017

Waterfall Hunting in Sabaragamuwa - සබරගමුවේ සැඟවුණු දියඇලි සොයා...


සබරගමුව - රටේ සුන්දරතම පළාතක්. ආයෙ ඒකෙ දෙකක් නෑ. මේ සුන්දර සබරගමුවේ හැංගිච්ච සොඳුරු ඉසව් ගණනාවක්ම තියෙනවා. විශේෂයෙන්ම බොහෝ දෙනාගේ ඇසින් වසං වෙච්ච ඉතා සුන්දර දියඇලි ගණනාවක් සබරගමුවේ දක්නට පුළුවනි. රටේ ඉතිහාසයේ පමණක් නොවෙයි මානව ඉතිහාසයේත් සුවිශේෂ මංසලකුණු රාශියක් දක්නට ලැබෙන සොඳුරු සබරගමුවටයි මෙවර සොබාරූ චාරිකාව.
අපේ ප්‍රධානතම අරමුණ වුණේ ‘කැතිගහන ඇල්ල' හෙවත් 'ගලගම ඇල්ල' නැරඹීමයි. මිනිස් ඇසින් වහංව ගන කැලයක් මැද පිහිටි මෙම ඇල්ල ඉතා අප්‍රකට එකක්. තාමත් මිනිස් පහසින් ඉඳුල්ව නැති නිසාම මෙම ඇල්ලට ලඟාවිය හැකි ආකාරය පිළිබඳ මං සලකුණු මම මෙහි සටහන් කරන්නේ නෑ. සැබෑම සංචාරකයෙකුට පමණක් පෞද්ගලිකව මගෙන් එම තොරතුරු ලබා ගත හැකියි.
බෙලිහුල්ඔය
ගමනේ අපගේ පළමු නවාතැන වුණේ සුන්දර බෙලිහුල් ඔයයි. එහිදී උදෑසන ආහාරය ලබාගත් අපි පහන්තුඩාව ඇල්ල නරඹන්නට පිටත් වුණා. සංචාරකයන් අතර ඉතා ප්‍රකට ඇල්ලක් වන පහන්තුඩාව පිහිටා ඇත්තේ බෙලිහුල්ඔය නගරයට ඉතා ආසන්නයෙන්. පහසුවෙන් ළඟාවීමට ඇති හැකියාව නිසාම පහන්තුඩාව ඇල්ල අවට අප ගිය දිනයේත් බොහෝ රසකාමීන් රැඳී සිටියා.
පහන්තුඩාව
බෙලිහුල්ඔයේ නිර්මාණයක් වන පහන්තුඩාව එතරම් විශාල ඇල්ලක් නොවෙයි. නමුත් එහි පාමුල ඇති අඳුරු ඉතා ගැඹුරු තටාකයත්, පහන් දැල්ලක හැඩය ගත් දිය දහරත්, වටේ ඇති විශාල ඛාදිත ගල් පර්වතත් මේ පරිසරයට අපූරු හා ගුප්ත හැඩයක් එකතු කරනවා.
පහන්තුඩාව ඇල්ල අවට පරිස්සමෙන් හැසිරෙන්නට වගබලා ගත යුතුයි. යාන්තම් පය ලිස්සා ගියහොත් ඇද වැටෙන්නේ පතුල සිතා ගන්නටත් නොහැකි ආගාධයකටයි.
අපි ඊළඟට ගමන් කළේ සමනල වැවේ බැම්ම නරඹන්නටයි. රටේ දෙවන විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වන මෙයින් ජාතික විදුලි බල පද්ධතියට එකතු වන ධාරිතාව ගිගාවොට් 450ක්.
සමනල වැව
එහි බැම්මේ ඇති වී තිබෙන කාන්දුවක් නිසා අතිවිශාල ජලකඳක් පිටතට ගලා යනවා. නමුත් එය අපතේ යාමක් නොවන්නේ එමගින් පහළ කෘෂිකාර්මික ප්‍රදේශවලට දියවර සැපයෙන නිසා.
අපේ එදින නවාතැන්පොළ වුණේ හිරිකටුඔය පාරිසරික කඳවුරයි. බොහෝම සුන්දර කඳු නිම්නයක පිහිටා ඇති මෙම කඳවුර අසලින්ම හිරිකටුඔය සිලිසිලියේ ගලා බසිනවා.
කඳවුරේ දොරටුව
සියලු මූලික පහසුකම්වලින් සමන්විත මෙම කඳවුරේ ආහාර පිළියෙළ කර ගැනීම සඳහා සේවක මහතුන් දෙදෙනෙකු සිටිනවා.
කඳවුර
හිරිකටුඔයේ රිද්මික නාදයත්, රෑසියන් හා වෙනත් නිශාචර සතුන්ගේ නාද මැද හඳපානේ ගත කළ එම රාත්‍රිය අතිශයින් සුන්දර එකක්. 
හිරිකටුඔයේ සිලිසිලියේ...
පසුදා පාන්දරම අප ගමන් ආරම්භ කළේ අපේ අරමුණ ඉතා දුෂ්කර හා දුරබැහැරින් පිහිටා තිබුණු නිසා. අතරමග පරිසරයේ සුන්දරත්වය දෑසින් උරා බොමින් අපි හෙමින් හෙමින් ඉදිරියට ගමන් කළා.
සුන්දර දසුන්...
කඳු බෑවුමේ ඉහළට යත්ම අවර පරිසරය වඩාත්ම සුන්දර වෙන්නට පටන් ගත්තා. පහළ බෑවුමේ බොහෝ දුරට යනතුරු විහිදී තිබුණේ සශ්‍රීක සබරගමු නිම්නයයි.
පහළ සබරගමු නිම්නය
සුන්දර සමනල වැව පමණක් නොවෙයි උඩවලවේ ජලාශයත්, හම්බන්තොට තෙක් පැතිරී ගිය තැනිතලාවත් මුහුදු මට්ටමේ සිට අඩි හාරදහසක පමණ ඉහළ සිට දැක ගන්නට අපට පුළුවන් කම ලැබුණා.
සමනළ වැව හා වලවේ නිම්නය
ක්‍රමයෙන් ඉහළ නැගි අප අතරමගදී ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයකට පිවිසියා. Baker's Bend නමින් ප්‍රකට මේ සුවිශේෂ වංගුව ඉතා සුන්දර පිහිටීමක්.
බේකර්ගේ වංගුව
 අතරමගදී දුටු කණගාටුදායක සිදුවීමක් තමයි මේ.
බ්ලූ ස්ටාර්...
මේ සුන්දර පුෂ්පය අමිහිරි එකක් වන්නේ කෙසේදැයි ඔබට ගැටළුවක් ඇති වන්නට ඇති. මෙය පෙනුමෙන් කෙතරම් සුන්දර වුණත් දැඩි ආක්‍රමණශීලී ස්වභාවයක් පෙන්වන විදේශීය ශාකයක්. මා මීට පෙරත් මේ පිළිබඳ බ්ලොග් ලිපිවල සඳහන් කොට තිබෙනවා. මෙය හැඳින්වෙන්නේ Blue Star - (Aristea acklonii) නමින්. විසිතුරු ශාකයක් ලෙස මෙරටට ගෙන්වූ මෙය දැන් මේ වන විට සීමා මායිම් නොතකා සංවේදී පරිසර පද්ධතීන්හි පැතිර යනවා. මීට වසර හතරකට පමණ පෙර පට්ටිපොළ හෝටන් පිවිසුම් මග දෙපස දක්නට ලැබුණු මේ ශාකය දැන් හෝටන් තැන්නෙන් පහළටත් ගමන් අරඹා තිබෙනු දක්නට ලැබුණා.
වනය මැදින් දිගටම
එක්තරා සීමාවකදී මගින් බැහැරව වනාන්තරයට ඇතුළු වූ අපි අපේ ඉලක්කය සොයා ගියා. ඉතා දුෂ්කර ගමනක් අවසානයේ අරමුණට ළඟා වුවත් දිය ඇල්ලේ ජලය තිබුණේ ඉතාම ස්වල්පයයි. 
වැහැරුණු සොඳුරිය
මේ එම ඇල්ලේම දිය පිරුණු සමයක පින්තූරයක්. ඡායාරූපයේ අයිතිය - කසුන් ලක්මාල් ප්‍රේමදාස
පිරුණු සුන්දරත්වය - කසුන් ලක්මාල් ප්‍රේමදාසගේ පින්තූරයක්
කෙසේ නමුත් අතිදුෂ්කර ගමනක් අවසානයේ අපි අපේ අරමුණ ජයගත්තා. මේ ඇල්ල ලොවින් සැඟවී ඇති එකක් නිසාම එහි නොඉඳුල් බව තාමත් සුරක්ෂිතව පවතිනවා. ඒ සුන්දරත්වය හැමකල්හිම රැකී පවතීවා යන්න අපගේ එකම අපේක්ෂාවයි.
(කැමරා උපකරණ සැපයූ සජිත් මධුෂාන් අබේගුණවර්ධන සොයුරාට බෝම පිං...
ගමනේ පුංචි වීඩියෝ එකකුත් තියෙනවා බලන්න.

Friday, June 23, 2017

The Motorcycle Diaries - Sinharaja Visit - සිංහරාජයේ විස්මයන් සොයා ගිය යතුරුපැදි චාරිකාව



යතුරුපැදි චාරිකා සටහන් පෙළක් මා පසුගිය කාලයේ ඉදිරිපත් කළා ඔබට මතක ඇති. මෙතනින් ඒවා නැවත බලන්නටත් ඔබට පුළුවන්

මෙවර යතුරුපැදි චාරිකාව හැමදාමත් මා වශීකළ මිහිබට පාරාදීසය වන සිංහරාජය වෙතට. සිංහරාජය ගැනත් මීට පෙර මා ලියා ඇති සටහන් ඔබට මෙතනින් කියවන්නට පුළුවනි.

මෙදා චාරිකාව ඉතාමත් හදිසියෙන් සූදානම් කර ගත් එකක්. අපි මුලින්ම සූදානම් වුණේ කන්නෙලියේ කබ්බලේ කන්ද තරණය කරන්නට. නමුත් හික්කඩුවෙන් පිටත් වෙද්දීම උදේ නවය පසුවී තිබුණ නිසා සැලසුම් වෙනස් වුණා. 
මගේ යතුරුපැදියේ නැගුණු මමත් මගේ ගමන් සගයා චතුරත් නෙළුව හරහා ලංකාගමට ඇතුළු වන විටත් සවස දෙක පසුවී තිබුණා. අතරමග ගංවතුර නිසා ඇතිවූ අනේක විනාශයන් පසු කරමින් එන්නට සිදුවීම ඛේදයක්. 
ඉතාම පටු හා දුෂ්කර මාර්ගයක් හරහා ලංකාගමට ළඟාවූ අපි අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබාගෙන යුහුව කැලෑවට ඇතුළු වුණා. මෙතනින් එහාට මම අඩුවෙනුත් පින්තූර වැඩියෙනුත් කතා කරනවා ඇති.
බ්‍රාහ්මණ ඇල්ල
මේ ලංකාගම ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළුවන ඔබට මුණගැසෙන පළමුවෙනි දියඇල්ල. ලංකාගම - නෙළුව මාර්ගය ආසන්නයේම පිහිටා ඇති මෙය හැඳින්වෙන්නේ ‘බ්‍රාහ්මණ ඇල්ල' යන නමින්. මෙහි විසූ බ්‍රාහ්මණයෙක් නිසා මෙයට එම නම ලැබුණු බව පැවසෙනවා. තවත් අයෙකුගේ මතය වන්නේ මෙම දියඇල්ල බ්‍රාහ්මණයෙකුගේ සුදෝසුදු රැවුලක් මෙන් ගලා හැලෙන නිසා එම නම ලැබුණු බවයි. දෙවන මතය වඩාත් නිර්මාණාත්මක නිසා මම කැමති එය පිළිගන්නටයි.
උභයජීවීන්
වනාන්තරයේ ගමන් කිරීම සීරුවට කළ යුත්තක්. නැත්නම් ඔබට ක්ෂුද්‍ර නමුත් වටනා බොහෝ දේ මගහැරෙනවා නියතයි.
තනිව....
බ්‍රාහ්මණ ඇල්ලෙන් පසු අපි නික්ම ගියේ ඌරන් වැටුණු ඇල්ල බලන්නටයි. ඒ අතරමගදී එකවර කඩා හැලුණු මහවැස්සකට අපි ගොදුරු වුණා. කොහොමටත් වැසි වනාන්තරයක් තුළදී වැස්සකට හසුවීම අරුමයක් නොවෙයි. නමුත් ගහකොළ අතරින් පෙරී එන අවු රැල්ල අතරින් වැහි බිඳු ගලා හැලෙද්දී මැවුණු චමත්කාරය වචනයට නැගීම නම් ඉතාම අපහසුයි.
වැහැපන් මල් මල් වරුසාවේ....
මල්මොර ඇල්ල හැරුණු විට දුරින්ම පිහිටි ඇල්ල වන උෟරන් වැටුණු ඇල්ල බොහෝ දුරක් ගල්තලාව මතින් ඇදී එන අතිශය මනරම් දිය ඇල්ලක්. 
ඌරන් වැටුණු ඇල්ල
උෟරන් වැටුණු ඇල්ල අබියසදී දිවා ආහාරය ගත් අපි ඉන්පසු තවත් සුවිශේෂී ස්වභාවික පිහිටුමක් සොයා ගියා. ඌරන් වැටුණු ඇල්ලට පහළින් පිහිටි මෙය හඳුන්වන්නේ ‘ගල් ඔරුව / ගල් දොරුව ඇල්ල' නමින්.
ගල් දොරුව ඇල්ල
ඉහළ ඌරන් වැටුණු ඇල්ලේ මුළු ජලස්කන්ධයම ඉතා පටු ගල් විවරයක් ඔස්සේ අධික වේගයෙන් ගලා බැසීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. එය එක රූපරාමුවකට හසු කර ගැනීම ඉතා අසීරු කටයුත්තක්. මෙම ඇල්ල ළඟදී ඔබ ඉතා සුපරීක්ෂාකාරීව හැසිරිය යුතු බව අවධාරණයෙන් සටහන් කර තබමි.
හතු...
වනාන්තරයේ සුන්දරත්වය දෑසින් උරා බොමින් කූඩැල්ලන්ගේ අනේක අතවරයන්ට ලක්වෙමින් අපි ඊළඟ ඇල්ල සොයා ගියා. තට්ටු තුනකට ඇද හැලෙන මේ සුන්දර ඇල්ල ‘තට්ටු ඇල්ල' නමිනුයි හැඳින්වෙන්නේ.
තට්ටු ඇල්ල
තට්ටු ඇල්ලේ දියදහරින් පරිස්සමෙන් එගොඩ වූ විට මේ දිය ඇලි සංකීර්ණයේ අතිශයින්ම සුන්දර දිය ඇල්ලක් වෙත යන්නට ඔබට පුළුවනි. මේ ඇල්ල හැඳින්වෙන්නේ ‘දූවිලි ඇල්ල‘ යන නමිනුයි. 
දූවිලි ඇල්ල
හාත්පස දුහුවිල්ලක්සේ විසිරෙන පිණි පොදින් වැසී ඇති මේ ඇල්ල සිංහරාජය ආශ්‍රිතව දක්නට ලැබෙන තෙවැනි දූවිලි ඇල්ලයි. (කුඩව පිටකැලේ ගමේත්, නෙලුව කොස්මුල්ලේත් අනිත් දූවිලි ඇලි දෙක තියෙනවා)
කෙටි කාලයක් තුළ සුන්දර දියඇලි රාශියක් නැරඹීමට හොඳම ප්‍රදේශයක් ලෙස ලංකාගම නම් කළ හැකියි. එම සංවේදී පරිසර පද්ධතිය තුළ හැසිරිය යුත්තේ කෙසේදැයි පුන පුනා කීම අනවශ්‍යයි. වගකීම ඔබ සතුයි.
කැමරා උපකරණ සැපයූ ආදරණීය සජිත් මධුෂාන් අබේගුණවර්ධන සොයුරාට බොහෝම පිං

Monday, April 3, 2017

Awarded at Nelum Yaya Blog Awarding Ceremony - නෙළුම් යායෙන් සම්මාන ලදිමි

මම බ්ලොග්කරණයට පිවිසෙන්නේ 2012 වර්ෂයේදී. එවක ලක්බිම ඉරිදා සංග්‍රහයේ පළවුණු ‘වියුණු සටහන්‘ තමයි මට බ්ලොග් ලෝකයට පාර කියන්නේ. එවක බ්ලොග් ලෝකයේ පතාක යෝධයන් වුණු සඳරූ, කතන්දර කාරයා, මාරයා, දුමී, අභීත වැනි අය නිසා මටත් බ්ලොග් එකක් ලියන්න මාර ආසාවක් ඇතිවුණා. එතනදි මං තෝර ගන්නේ මං කැමතිම විෂයය වුණු සංචරණය සහ ඡායාරූප.
මං ගිය බොහෝ පාරිසරික චාරිකාවල සටහන් හා ඡායාරූප මගේ බ්ලොග් එකෙන් බලන්න පුළුවන්. හුදෙක් පාරිසරික සෞන්දර්යය ඉදිරිපත් කිරීමට පමණක් සීමා නොවී අදාළ පාරිසරික පද්ධතියේ විද්‍යාත්මක වැදගත් කම, ඒවාට ඇති තර්ජන ආදිය විශ්ලේෂණය කරන්නත් මං මගේ ලිපි අතරේ ඉඩකඩ විවර කර ගත්තා. සංචාරක සටහන්වලට පමණක් සීමා නොවී පරිසරය හා බැඳුණු වෙනත් කරුණු සාකච්ඡා කරන්නටත් මගේ බ්ලොගය නිරතුරුවම ලෑස්තියි. පරිසර හානිය අවම වන පරිදි නිවසක් තනා ගන්නා ආකාරය ගැන මගේ අත්දැකීම් ඇසුරෙන් සකස් කළ ලිපිය ඊට උදාහරණයක්.
විශේෂම දේ මේ බ්ලොග් අඩවියේ මා ඉදිරිපත් කර ඇති ඡායාරූප සියල්ලම පාහේ මගේ කුඩා සංයුක්ත කැමරාවෙන් ගත් ඒවා වීමයි. මිල අධික DSLR වර්ගයේ කැමරාවක් තාමත් මට හීනයක්. නමුත් ඔබට හොඳ ඇහැක් තිබේ නම් කැමරාවේ වර්ගය ඒ තරම් වැදගත් නොවන බවයි මගේ හැඟීම.

බ්ලොග්කරණයේදී මා ලද පළමු ප්‍රතිචාරය ලැබුණේ සඳරූ ගෙන්. එවක බ්ලොග් කරණයේ පතාක යෝධයෙකු වූ සඳරූ මගේ මේ පුංචි අඩවිය වෙනුවෙන් තැබූ සටහන මට මහ මෙරක් වුණා.

මට හිතෙන විදියට අනෙකුත් මාධ්‍යයන් එක්ක සසඳද්දී බ්ලොග් කියන්නේ ඉතාම සජීවී මාධ්‍යයක්. ඔබේ පාඨකයාගේ ප්‍රතිචාර එවෙලේම බලා ගන්නටත් ඔවුන්ට පෙරළා ප්‍රතිචාර දැක්වීමට ලැබීමත් නිසා ඇතැම් විට ඉතා හරබර සංවාද බ්ලොග් අතරේ ඇතිවෙනවා. ඒ වගේම ඉතා අපූරු රසවතුන් පිරිසක් බ්ලොග් අවකාශය හරහා හඳුනාගන්නටත් මට අවස්ථාව උදා වුණා.
මගේ බ්ලොග් ලිපියක් හෝ ඡායාරූපයක් ඇවැසි ඕනෑම අයෙක් ඕනෑම අවශ්‍යතාවයක් උදෙසා උපුටා ගත්තාට මගේ කිසිම අමනාපයක් නෑ. ඇත්තටම එය මගේ අත්‍යන්ත ප්‍රීතියට කාරණයක්.

බ්ලොග්කරණයට පිවිස වසර පහකට පසු 2016 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී පාරිසරික හා සංචාරක අංශයේ හොඳම බ්ලොග් ලිපිය වෙනුවෙන් මා සම්මානයට පාත්‍ර වෙනවා.
ඕනෑම ආකාරයක ලේඛකයෙකුට සම්මානයක් ලැබීම මහත් උත්තේජනයකට හේතුවක්. මේ ප්‍රීතිජනක මොහොතේ මගේ ආදර ගෞරවය නෙළුම්යාය සංවිධායක මණ්ඩලයට හිමිවිය යුතුයි. එසේම මට සංචරණය සඳහා ඉඩහසර විවර කර දෙමින් තනිවම දරු දෙදෙනාගේ කටයුතු කර ගනිමින් අත්‍යන්ත සහයක් දක්වන මගේ ආදරණීය බිරිඳටත් මේ ගෞරවය හිමිවිය යුතුමයි. එමෙන්ම මා සමග සංචාරයේ යෙදෙන දයාබර පරිසර ලෝලී හිතමිතුරන්ටත්, ලිපි කියවමින් නිබඳව දිරි දෙන ඔබ හැමටත් බොහොම පිං.
මෙන්ඩා, ප්‍රසා, ලොකුපුතා ඇතුළු නම කී නොකී මේ සියලුම පාඨකයන් නිසයි බ්ලොග් ඉදිරියට පවතින්නේ. ඒ නිසාම සම්මානය ලද මොහොතේම “මේක මට වගේම උඹටත් අයිතියි අයියණ්ඩි" කියලා මම දෝතින්ම ඒක මෙන්ඩා අතට දුන්නා. එය මගේ බ්ලොග් ජීවිතයේ මා ලද ඉහළම භාග්‍යයක්. නමුත් මම අදටත් බ්ලොග් ජීවිතයේ මම ලද ඉහළම සම්මානය ලෙස සලකන්නේ මගේ නිත්‍ය පාඨකයෙක් වන ‘එළ ද බ්‍රා මෙන්ඩා’ විසින් මගේ ‘චැරියට් පාත්’ චාරිකා සටහනේ අග සටහන් කර තිබුණු මෙන්න මේ ප්‍රතිචාරයයි. මොන මගුලක්ද බන් අද ආය පාරක් ඇවිත් උබගේ පිංතුර ටික බැලුව. ගුරුකමක් වත් කරගන්න ඕනේ උබගේ ලිපි හය හත් සැරේ කියවන ඒක නවතත් ගන්න

Wednesday, March 8, 2017

I won't write further more.... මම තවදුරටත් නොලියම්....


සංචරණය මගේ ජීවිතේ කොටසක්... 2012 අවුරුද්දේ මම මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ සංචරණ අත්දැකීම් පරිසර ලෝලී සහෘදයන් සමග බෙදා ගන්නටත්, එවන් අත්දැකීමක් ලබන්නට වාසනාවන්ත නොවූ උදවිය වර්චුවලි හෝ එවන් තැන් වෙත කැන්දාගෙන යන්නටත්. 
නමුත් මම දැන් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත ළඟා වී ඇති බවකුයි මට හැඟෙන්නේ... තව දුරටත් මා අතින් සංචාරක සටහන් ලියවෙන එකක් නෑ.. ඊට හේතුව බ්ලොග් පාඨක සහෘද ඔබේ වරදක් නොවෙයි. එන්න එන්නම රටේ පාරිසරික සංචරණය ගමන් කරන මග දිහා බලා සිටීමෙන් ඇති වූ තිගැස්ම විසින් ඇති කරන ලද්දක්.
රටේ පාරිසරික වශයෙන් වැදගත් හා සංවේදී ස්ථාන වෙත සංචාර සංවිධාන කරන ෆේස්බුක් පේජ් හා වෙනත් සංවිධාන අද වැහි වැහලා. හැම සති අන්තයකම වගේ ඔවුන් සංවිධානය කරන ඉවෙන්ට්ස් දැන් දැක ගන්නට පුළුවනි. මිනිසුන් පාරිසරික සංවේදී ස්ථාන වෙත සංචාරය කිරීම යහපත් ප්‍රවණතාවයක් ලෙස බැලූ බැල්මට පෙනුනත් එය මහා විනාශයක පෙර නිමිත්තක් බවයි මට පෙනෙන්නේ...
මේ සංවිධානවල මූලික අරමුණ මුදල්... ඒ ගැන කිසිම තර්කයක් නෑ... ඉතින් ඔවුන් උත්සාහ කරන්නේ තම කණ්ඩායමට උපරිම සාමාජික පිරිසක් සහභාගි කර ගන්නටයි. මේ එක කණ්ඩායමක් පසුගිය දා බොගවන්තලාව හරිත කන්ද පරිශ්‍රයේ සංවිධානය කළ චාරිකාවට සහභාගි වූ පිරිස හැට දෙනෙක්.... මෙන්න බලන්න... https://www.facebook.com/SobasiriSL/videos/1322101881148051/
මෙවන් සංවේදී පරිසර පද්ධතියක මෙවන් විශාල පිරිසක් කඳවුරු බැඳීම කෙසේ වෙතත් නිකමට ඇවිද ගියත් ඇතිවන හානිය කොපමණදැයි සිතා බලන්න.
මේ යන හැමදෙනාම පරිසරය කෙරෙහි සංවේදී උදවිය බවට සහතික විය හැක්කේ කාටද? මෙවන් විශාල පිරිසක් පරිසරයට හානියක් නොවන සේ හැසිරීමෙන් වළක්වා ගන්නට එම කණ්ඩායමේ නායකයාට හැකියාවක් තිබේද? 
මා පසුගිය වසරේ චැරියට් පාත් යද්දී එය ඉතා හුදෙකලා සුන්දර පරිසර පද්ධතියක්. නමුත් දැන් හැම සති අන්තයකම පාහේ එය ඉතා කාර්යබහුල ස්ථානයක් බවට පත් වෙලා. හැම සති අන්තයකම පාහේ චැරියට් පාත් හි සංවිධානය වන ඉවෙන්ට්ස් ගැන දැන්වීම් නිරන්තරයෙන් ෆේස්බුක්හි දක්න්නට පුළුවනි.  හුදෙකලා සුන්දර ගම්මානයක් වූ මීමුරේටත්, මන්දාරම් නුවරත් අත් වී තිබෙන ඉරණම මා අමුතුවෙන් විස්තර කළ යුතු නෑ.  මේ අතර ඉතා වගකීමෙන් සීමිත පිරිසක් සමග සැබෑ පරිසර චාරිකා සංවිධානය කරන අතළොස්සක් සංවිධානද තිබෙන බව කිව යුතුමයි. පෙරකී උදවිය නිසා ඔවුනුත් අපහසුතාවයට ලක්වෙලා තියෙනවා.
මේ අකටයුතුකම් නිසාම දැන් කුරුලන්ගල කඳවුරු බැඳීම තහනම්, ඇල්ල, නමුණුකුල කඳවුරු බඳින්නට සැබෑ සංචාරකයෙකුටවත් දැන් අවස්ථාව නෑ... යන තැන අනුන් දමා ආ කුණු ටිකත් එකතු කරගෙන ආ අප වැනි සංචාරකයන්ට අත් වී තිබෙන්නේ කණගාටුදායක ඉරණමක්...
මේ විනාශයට සංචාරක බ්ලොග් කරුවෙකු ලෙස මාද වගකිව යුතු බවයි මට හැඟෙන්නේ... මේ විනාශයට යම් තාක් දුරකට මාද වගකිව යුතු බව මගේ හෘදය සාක්ෂිය නගන චෝදනාවෙන් ගැලවෙන්නට මට ඉඩක් නෑ...
ඒ නිසා මම ලියන්නේ නෑ... ආයෙත් මගේ බ්ලොග් අඩවියේ සංචාරක සටහන් ලියවෙන්නේ නෑ... මා ආගිය සුන්දර තැන්වල මතකයන් මා තුළම තිබුණා වේ... ස්වභාව ධර්මය මේ අඩවිය හරහා වින්ද හැබෑ පරිසර ලෝලීන් මට සමාවෙයල්ලා.... 
නමුත් මා මේ අඩවිය තුළ පරිසරය සම්බන්ධ අනෙකුත් සෙසු කාරණා කතා බහ කරන්නට ඉඩහසර වෙන් කර ගන්නවා. මේ දිනවල අවුරුදු පහක් මගේ ඇඟේම කොටසක් වගේ තිබුණු කැමරාව ක්‍රියාවිරහිත වීම නිසා මම ඉන්නේ අශ්වයා මැරිච්ච කව්බෝයි වගේ... ආර්ථික තත්ත්වය යහපත් වී කැමරාවක් මිලදී ගත් සැණින් මා නැවතත් පරිසරය හා බැඳුණු නොයෙක් කරුණු සමගින් ඔබ හමුවට එන්නම්...

Monday, February 20, 2017

Let's Travel Around Sri Lanka - එන්න.. අපි ඇවිදිමු...


ඇවිදීම... එහෙම නැත්නම් සංචාරය අපි කවුරුත් කැමති විනෝදාංශයක්. නමුත් යන්නන් වාලේ ට්‍රිප් යන්නේ නැතුව අවබෝධයෙන් සහ නිසි අධ්‍යයනයකින් යුතුව ගමනක් සැලසුම් කර ගත්තොත් පමණයි එහි නියම තෘප්තිය විඳින්න පුළුවන්.  නැත්නම් ඉතිං “ට්‍රිප් එකක් ගියා මෙලෝ රහක් නෑ" කියන්න තමයි වෙන්නේ... එහෙනම් අද සොබාරූ තුළින් මාත් එක්ක යමු ට්‍රිප් එකක්... හොඳට ප්ලෑන් කරලා කල්යල් බලලා එහෙම...

01. කොහෙද යන්නේ....

මෙන්න මේක සෑහෙන වැදගත් ප්‍රශ්නයක්. හැමදාම යන කතරගම, නුවරඑළිය වගේ තැනකට යනවද නැත්නම් වැඩිය අහල නැති දුෂ්කර නමුත් සුන්දර පෙදෙසක සංචාරය කරනවද? මේක තීරණය කරන්න කලින් ඔබ එක්ක යන පිරිස ගැන අවධානය යොමු කරන්න. කාන්තාවන්, ළමයින් සමග යන පවුලේ චාරිකාවක් නම් දුෂ්කරතාවයෙන් අඩු සුවපහසු ගමනක් තෝරා ගැනීම යහපත්. නමුත් ඔබ වඩාත් කැමති දුෂ්කරතා විඳිමින් එපමණටම සොබාදහම විඳිමින් සංචාරය කරන්නට නම් මගේ මේ ලිපිය ඔබ වෙනුවෙන්...
ඇතැම් විට එවන් සොඳුරු තැන් ඔබ අවටම සැඟවී තිබෙන්නටත් පුළුවන්. මා ගිය මේ චාරිකාව මගේ නිවසේ සිට කිලෝමීටර දහයකටත් අඩු දුරකිනුයි පිහිටා තිබුණේ...  මාදම්පා ගඟ චාරිකාව
එබැවින් චාරිකාවක් යන්නට සැලසුම් කරද්දී සම්මත රාමුවෙන් බැහැරව මදක් සිතන්න. ඔබ අවටින්ම අපූරු චාරිකා අන්තයන් හමු වේවි.

02. කා එක්කද යන්නේ?

යන්නේ කොහේද වගේම යන්නේ කා එක්කද කියන එකත් සැලකිල්ලට ගත යුතුම කරුණක්... ඔබ සැලසුම් කරන්නේ ඉතා දුෂ්කර චාරිකාවක් නම් ඊට සහභාගි වන්නන් ඒ සඳහා ශාරීරිකව සුදුසු අය විය යුතුයි. අතරමග යා ගන්නට නොහැකිව නතර වන එක් අයෙක් නිසා ඔබේ මුළු චාරිකාවම අසාර්ථක වන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම යන ගමනේ දුෂ්කරතා විඳගන්නට සියල්ලන්ම එකා මෙන් එකඟ විය යුතුයි. රළුව සකස් කරගන්නා ආහාරයකින් තෘප්ත වන්නටත්, ගල් පොත්තක් මත හෝ රාත්‍රිය පහන් කරන්නටත් හැකි අය පමණක් ගමනට සම්බන්ධ කර ගන්න. එමෙන්ම තමන්ගේ මෙන්ම අනුන්ගේත් ජීවිත අවදානමේ හෙළමින් ගොං ආතල් ගන්නට ලෑස්ති වෙන අය එක්ක නම් ගමන් යන්නට එපා... අනතුරුදායක ලෙස ගල්මත නගිමින් බෑවුම් වල සිට ගනිමින්, දියඇලි ආසන්නයට යමින් සෙල්ෆි ගසන්නට දඟලන අඳබාලයන් හලා යෑම ඉතාම ගුණදායක විය හැකියි.

03. කොයි කාලයේද?

ඔබ යන්නට අදහස් කරන ප්‍රදේශය අනුව කිනම් කාලයේ දැයි තීරණය කිරීම වැදගත්. ඇතැම් ප්‍රදේශ වලට වියළි කාලයේ යෑම එතරම් සාර්ථක නොවන්නට පුළුවනි. දියඇලි, දියපහර වල මනා සුන්දරත්වයත් අවට පරිසරයේ හරිතවන් පළා පැහැයත් විඳින්නට නම් වඩාත් සුදුසු වන්නේ වැසිකාලයක් බව අමුතුවෙන් කියන්නට ඇවැසි නෑ..
නමුත් ඇතැම් පෙදෙස්වල වැසි සමයේ චාරිකා කිරීම ඉතා අනතුරුදායක විය හැකියි. එසේම මහවැස්ස නිසා ඔබේ ගමනාන්තයට ළඟාවීම කළ නොහැක්කක් වීමටද ඉඩ තිබෙනවා. මේ බලන්න මහ වැස්සේ එල්ජින් ගිහිං අපට වෙච්චි දේ.. 

04. මොකද කරන්නේ? මොනවද ගෙනියන්නේ?

සංචාරකයන්ට තිබෙන ඊළඟ ගැටලුව තමයි ගෙනියන්නේ මොනවාද? කොහොමද ගෙනියන්නේ කියන එක. දුෂ්කර පෙදෙසක චාරිකා කරන ඔබ ගෙන යා යුතු දෑ ඉතා සැලකිල්ලෙන් සැලසුම් කළ යුතු වෙනවා. හුදෙකලා කැලෑබද පෙදෙසකදී ඔබට අවශ්‍ය කිසිවක් මිලදී ගන්නට පහසුකම් නැති නිසා ඇවැසි සියලුම දේ ගෙන යා යුතුයි. නමුත් කැලෑ අස්සේ ගස්ගල් මැදින් යන ගමනේදී ඔබේ සැහැල්ලුව වචනාර්ථයෙන්ම සැහැල්ලු විය යුතුයි. එබැවින් ඔබේ බැක්පැක් එකේ තිබිය යුත්තේ අත්‍යවශ්‍යම දෑ පමණයි.
1. කූඩාරම - ඔබ කඳවුරු බඳින්නට සූදානම් නම් හොඳ තත්ත්වයේ සැහැල්ලු කූඩාරමක් ගෙනයා යුතුයි. 
2. ජලය - ඔබ යන ප්‍රදේශය අනුව ගෙන යා යුතු ජල ප්‍රමාණය තීරණය වනවා. වියළි පෙදෙසක නම් වැඩි ජල ප්‍රමාණයකුත්, ඔබ චාරිකා කරන පෙදෙසේ ස්වභාවික ජල මූලාශ්‍ර තිබේ නම් අඩු ජල ප්‍රමාණයකුත් ගෙන යන්න. මෙය කලින් සොයා බලා තහවුරු කර ගැනීම අත්‍යවශ්‍යයි.
3. කැමරා උපකරණ - මට නම් ගමනේ වැදගත්ම වන්නේ මේ ටික... මේවා වතුරෙන් පරිස්සම් කර ගැනීම වැදගත්
4. පෞද්ගලික සනීපාරක්ෂක දෑ - ඇඳුම් පැළඳුම් නම් අවම ප්‍රමාණයක් ගෙන යාමයි සුදුසු. නමුත් යට ඇඳුම්, බෙහෙත් ද්‍රව්‍ය ආදිය ප්‍රමාණවත් ලෙස සපයා ගන්න.
5. මේ සියල්ල මනාව අසුරාගෙන දෑත නිදහස්ව ගමන් කළ හැකි විශාල ප්‍රමාණයේ ශක්තිමත් සුවපහසු ගමන්මල්ලක් අත්‍යවශ්‍යයි. මේවා තරමක් මිලෙන් අධික බවත් කිව යුතුයි.

05. ඇඳුම් පැළඳුම් කොයි වගේද?

ඔබ යන්නේ කැළෑ ගමනක් මිසක් මෝස්තර නිරූපණයකට නොවෙයි. එබැවින් කැළයට උචිත ඇඳුමෙන් සැරසෙන්න. තද වර්ණ ඇඳුම් නිසා ඇතැම් විට කැලෑ සතුන් බිය වැදීමෙන් ඔබට වටිනා ඡායාරූපයක් අහිමි වෙන්නටත් ඉඩ තිබෙනවා. නමුත් අනිත් අතට ඔබ කැලයේ අතරමං වුණු අවස්ථාවක ඔබේ තද වර්ණ ඇඳුම් ඉක්මණින් ඔබව සොයා ගන්නට උපකාරී වෙයි.
හොඳින් සිරුර ආවරණය වන සැහැල්ලු ඇඳුමක් අඳින්න. මැනවින් දෙපා ආවරණය වන සහ සුවපහසුව සලසන සපත්තු යුවළක් පැළඳීම අත්‍යවශ්‍යයි. සර්පයන්ගෙන්, කටු අකුල් වලින් ඔබ ආරක්ෂා කර ගමනේ මිහිරි මතක ඉතිරි කරන්නට එය සමත් වෙයි. යා ගන්නට අපහසු සපත්තු යුවළක් නිසා ඇතැම් විට ඔබේ මුළු ගමනම අමිහිරි එකක් වන්නටත් ඉඩ තිබෙනවා.

06. වනයේ හැසිරීම - 

මෙය නම් ඉතාම තදින් සැලකිල්ලට ගත යුතු කාරණයක්... ප්‍රථම කොට ඔබේ ආරක්ෂාව ගැන දැඩිසේ සැලකිල්ලට ගත යුතුයි. අවදානම් අවස්ථාවකදී ඊට උචිත ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. අනවශ්‍ය වීරක්‍රියාවන් සඳහා උත්සාහ දැරීම ඔබේත් අන් අයගේත් ජීවිත අවදානමේ හෙළන්නක් බව තරයේ සිහි තබා ගන්න. ඇතැම් විට අනතුරක් සිදු වුව හොත් මිනිස් වාසයක් කරා ඒමට බොහෝ වේලාවක් ගත වෙන්නට පුළුවන්. එවිට ඔබට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නැහැ.
අනිත් අතින්, වනය ඔබේ නොවන බවත් ඔබ එහි අමුත්තෙකු බවත් හොඳින් සිහියට ගන්න. මත්පැන් බී කලහ කරන්නටත්, කෑකෝ ගසමින් ගී ගයමින් ‘ආතල්' ගන්නටත් උවමනා නම් ඊට සුදුසු තැනකට යන්න. වනගත පෙදෙසක් ඊට උචිත නෑ..
වනසතුන්ගේ ඡායාරූප ගනිද්දී උන්ට හානි නොවනසේ හැසිරෙන්නට වගබලා ගන්න. සතුන් පසුපස පන්නමින් ෆොටෝ ගැසීම ඉතා අනුචිත වැඩක්. ඉතා කුඩා හා සංවේදී සතුන් (ගෙම්බන් වැනි) වෙත බොහෝ සමීපව ෆ්ලෑෂ් දැල්වීම නොකරන්න. ඔබට එය එක ඡායාරූපයක් වුණත් ඒ එම සතාගේ මුළු ජීවිතේ... කුරුළු කැදලි වලට සමීප වෙමින් ඡායාරූප ගැනීම එම සතුන්ගේ ජීවිත අවදානමේ හෙළීමක්... පැළෑටි ආදියේ සේයාරූ ගැනීමේදී ඒවා තිබෙන තැනම තිබියදී පින්තූර ගන්න. දුර්ලභ උඩවැඩියා ශාකයක් නිවැරදි ආලෝකයෙන් ඡායාරූප ගත කිරීම සඳහා එය ලීයකින් ඇන බිම දමා පහසු තැනකින් තබා පින්තූර ගත් ‘ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්‘ ගැන මා අසා තිබෙනවා.
එමෙන්ම ඔබ වනයේ ගමන් කරද්දී පා තබන්නේ කොතනට දැයි ඉතා සැලකිල්ලෙන් පසුවීම වැදගත්. ඇතැම් විට දඩයක්කාරයන් ඇටවූ මරඋගුල් තිබෙන්නට පුළුවනි. 
මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන මිහිරි මතක පමණක් ඉතිරි වෙන චාරිකාවක් සඳහා එහෙනම් පිටත් වෙමු.

(මා මේ කරුණු ලීවේ මගේ අත්දැකීම් ඇසුරෙන්... මට මගහැරුණු දෑ සහ ඔබේ වෙනත් වටිනා යෝජනා පහතින් සටහන් කරන්න)
නැවතත් - ඔබට ඇවැසි ඕනෑම කරුණක් මේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තාට කිසිම අමනාපයක් නැත.