Monday, March 5, 2018

පරණ කාර් සමග කුරුලු පාරාදීසයක ගමනක් - Kalametiya Birds Sanctuary Expedition


කුරුල්ලන් නැරඹීම සඳහා ලංකාවේ බොහෝ ප්‍රකට තැන් තිබෙනවා. මන්නාරම, ආනවිලුන්දාව, කුමන ආදී ප්‍රසිද්ධ තැන් අතර කළමැටිය කලපුවට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කළමැටිය ලවණ මිශ්‍ර කිවුල් දිය පද්ධතියකින් හා සරු කඩොලාන ප්‍රජාවකින් හෙබි අපූරු පරිසර පද්ධතියක්. පසුගිය පෙබරවාරි විසිඅට වෙනිදා ‘සොබා රූ' කළමැටියේ කළ සංචාරයක සටහන් මේ ලෙස ඔබ වෙත ගෙන එනවා. 
හික්කඩුවෙන් උදෑසන අටට පමණ මම අම්බලන්තොට බලා යන්නට පිටත් වුණේ තනිවමයි. මගේ ගමන් සගයා කසුන් අම්බලන්තොටින් මා සමග එක් වන්නට කතිකා කරගෙන සිටියා. අම්බලන්තොට රෝහලේ පිළිකා ඒකකයේ පුංචි පුස්තකාලයක් හෙවත් බුක් හබ් එකක් අරඹන්නටත් මේ ගමන්ම යොදා ගෙන තිබුණු නිසා මගේ පැරණි මෝටර් රථයේ ඩිකිය පුරවා තිබුණේ පොත් වලින්.
අතරමග විඩා නිවමින්
වාහනේ මටත් වඩා වයසක එකක් වුණත් අධිවේගී මාර්ගයේ මාතරටත් එතැනින් අම්බලන්තොට දක්වා වූ කිලෝමීටර එකසිය පනහකට ආසන්න මුළු දුර එක හුස්මට ගෙවන්නට එයට හැකි වුණා.
අතරමග සොඳුරු දසුන්
මේ සුන්දර වෙරළ තීරය හමුවන්නේ කළමැටියට යන අතරමග තංගල්ලට ආසන්නයේ... ආරක්ෂිතව දිය නෑ හැකි මෙන්ම සමීපව මුහුදු ජීවීන් නිරීක්ෂණය කළ හැකි තැනක් ලෙස මෙය හැඳින්විය හැකියි. අම්බලන්තොට රෝහලේ කටයුත්ත අවසන් වූ පසු අපි අතරමග තැනක නැවතී දිවා ආහාරයත් ගෙන හෙමින් හෙමින් කළමැටිය වෙත ළං වුණා.
යාත්‍රාව

කළමැටිය කළපුවේ සංචරණය සඳහා අප යොදා ගත්තේ මේ ආකාරයේ කුඩා යාත්‍රාවක්. හබල් මගින් පැදගෙන යන එහි එක්වරකට ගමන් කළ හැකි උපරිම සංචාරක පිරිස හතර දෙනෙක්. එහෙයින් එයින් පරිසරයට සිදුවන බලපෑම ඉතාම අවමයි. එන්ජිමක් නැති නිසා තෙල්, දුම හා රැළි නැගීම සිදු වන්නේ නෑ. කුරුල්ලන්ට බාධාවක් නොවන පරිදි උන්ගේ හැසිරීම් නිරීක්ෂණයට මෙය කදිමයි. දක්ෂ තරුණයෙක් වන බුද්ධි ප්‍රියංකර මෙහි හිමිකරුවා මෙන්ම මග පෙන්වන්නා ලෙසද කටයුතු කරනවා. ඉතා මිත්‍රශීලී එමෙන්ම කුරුල්ලන් ගැන විශිෂ්ට දැනුමකින් හෙබි මේ තරුණයා කළමැටියේ සංචාරයක් සඳහා උචිතම තැනැත්තා බව නොබියව කිව හැකියි. kalametiyabirds.lk හරහා ඔහුව සම්බන්ධ කර ගන්නට පුළුවනි.
Indian Darter - පෙරදිගු අහිකාවා Anhinga melanogaster
මේ ඉන්නේ Indian Darter - පෙරදිගු අහිකාවා - Anhinga melanogaster නමින් හැඳින්වෙන ජලචර පක්ෂියෙක්. කළපු ආශ්‍රිත පරිසර පද්ධති වල සුලබව දැක ගත හැකි මේ පක්ෂියා ලංකාව නිවහන කරගත් සුන්දර සත්ත්වයෙක්.
මේ කලපුවේ සංචරණය සඳහා උචිතම වේලාව වන්නේ උදෑසන 6ත් 9ත් අතර සහ හවස 4ත් 6ත් අතර කාලයයි. එවිට බොහෝ පක්ෂීන් ප්‍රමාණයක් දැකගන්නට හැකි වෙනවා.
හැඳි අලවා සමග ලතු වැකියා
මේ කුරුලු රංචුවේ කුරුල්ලන් විශේෂ දෙකක් දැක ගත හැකියි. උස කුරුල්ලන් දෙදෙනා හැඳින්වෙන්නේ ලතු වැකියා (Painted Stork) යන නමින්. සුදු පැහැති පක්ෂියා හැඳි අලවා (Asian Spoon Bill) යනුවෙන් හැඳින්වෙනවා. උගේ හොටය හැන්දක ආකාරයෙන් සකස් වී ඇත්තේ පහසුවෙන් මඩ අවුස්සා ආහාර සොයා ගත හැකිවන පරිද්දෙන්. ලතු වැකියා පාදයෙන් මඩ අවුස්සා ආහාර සොයන අතර හැඳි අලවා තමන්නේ හොට හැන්දක් ලෙස යොදාගෙන මඩ අවුස්සා ආහාර සොයනවා.
බළල් සේරා - Pheasant Tailed Jacana Hydrophasianus chirurgus
මේ ඉන්නේ බළල් සේරා (Pheasant Tailed Jacana) Hydrophasianus chirurgus නමින් හැඳින්වෙන සුන්දර පක්ෂියා. උගේ පෙඳය දිගට විහිදී තිබෙන අයුරු පියා සැරියේදී හොඳින් නිරීක්ෂණය කළ හැකියි. මේ ඉන්නෙත් එයාමයි.
බළල් සේරා

මේ පක්ෂියා ඉතාම කුලෑටි සත්ත්වයෙක්. මිනිස් ඉවක් දැනුණ වහාම මේ ආකාරයට පියාඹා යනවා.
මේ උදවිය නම් හදිසි රැස්වීමකට පාර්ලිමේන්තු යන ගමන් බවයි පෙනුනේ...
කළමැටිය කලපුවේ ධීවර කර්මාන්තයත් ජයටම කෙරෙනවා. බෙහෙවින්ම ඉස්සන් හා කකුළුවන් වෙනුවෙනුයි ඔවුන් දියට බසින්නේ
ධීවරයා
පුංචි තඹ සේරා හෙවත් Lesser Whistling Duck ඉතා සුලබව මෙහි දක්නට ලැබෙනවා.
තඹ සේරා
තඹ සේරා
Grey Heron
මේ ඉන්නේ අළු කොකා - Grey Heron Ardea cinerea තරමක් විශාල පක්ෂියෙක් වන අළු කොකාගේ හිස අසළින් පිටුපසට දිවෙන දිගු පිහාටුවක් දැකගත හැකියි.
මේ පහතින් ඉන්නේ සිලිබිල්ලෙක් (Sand piper) ඌ නිසැකවම කිනම් සිලිබිල්ලා දැයි මට හඳුනාගත නොහැකියි. දැනමුත්තෙකුගේ උපකාර පතනවා.

සිලිබිල්ලා
කළුපිය ඉපල්පාවා
ඉහත සිටින පක්ෂියා හැඳින්වෙන්නේ කළුපිය ඉපල්පාවා යන නමින්. එක කකුලක් නවාගෙන සුවිශේෂ ඉරියව්වකින් සිටින මේ පක්ෂියා ගොදුරක් ලැබෙන තෙක් බොහෝ වේලා මේ ඉරියව්වෙන් සිටිනවා.
දම් කිතලා
මේ ඉන්නේ දම් කිතලා හෙවත් Purple Swamphen. සුන්දර වර්ණ සංකලනයකින් හෙබි වගුරුබිම් ආශ්‍රිත සුලබ පක්ෂියෙක්
අළු කොකා
මේ ඉන්නේ අළු කොකා හෙවත් Grey Heron. (හඳුනා ගැනීමට උදව් කළ ලොකුපුතාට බොහෝම පිං) බොහෝ වේලා නතර වී බලා සිටියත් ඌ තමන් සමවැදී සිටි භාවනාවෙන් මිදුණේ නෑ.
ඉර බැස යන හැන්දෑවක මෙවන් කළපුවක සිටීම අතිශය මනරම් අත්දැකීමක්. කළපුව ආසන්නයේ පිහිටි තාරගල තරණය කළ විට අතිශය මනරම් දර්ශනයක් දැක ගත හැකියි.
තාරගල මත සිට කළමැටිය කළපුව
ඉර බැසයන හැන්දෑ වරුවේ...

විශේෂ ස්තූතිය
කළමැටිය බර්ඩ් වොචින් ආයතනයේ බුද්ධි ප්‍රියංකර
සම්බන්ධීකරණය කළ උළිඳු මිලින්ද හා චාමර මිතුරන්ට