Monday, November 26, 2018

Lonely Traveller's Waterfall Expedition & Wheelchair - හුදෙකලා සංචාරකයාගේ දියඇලි සවාරි සහ රෝදපුටු

නැවතත් හුදෙකලාවේ සංචාරයක යෙදෙන්නට අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ සංචාරයේ මූලික අරමුණ වුණේ ඉතා අසරණ අාබාධිත දරු පැටියෙකුට රෝද පුටුවක් ලබා දීම. මීට කලින් රෝදපුටුවක් දෙන්නට ගිය පරණ කාර් චාරිකාව මෙතනින් බලන්නට පුළුවන්. http://sobaroo.blogspot.com/2018/04/old-wagon-tours-moonplains-expedition.html
මේ දරුවා සිටින්නේ මස්කෙළිය ප්‍රදේශයේ ඉතා දුෂ්කර වතුයායක. Mocha Estate නමින් හැඳින්වෙන එය මස්කෙළියේ සිට කිලෝමීටර් නවයක් පමණ ඈතින් මාඋස්සාකැලේ ජලාශයේ ඉහළ පිහිටා තියෙනවා. රෝද පුටුව මිලදී ගත් සමාගම එය හැටන් දුම්රිය ස්ථානය තෙක් ප්‍රවාහනය කර දුන් නිසා මට තිබුණේ හැටන් සිට එය මොකා වත්තට රැගෙන යාමයි. එය කිලෝමීටර් 38 ක පමණ ගමනක්.
වෙනදා සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රිය මෙවර වෙන්කර ගත හැකි වුණේ නැත්තේ පසුදා පෝය දිනය වීම නිසායි. එබැවින සවස තුනට පමණ කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළෙන් බස් රියක නැගුණු මම හැටන් බලා පිටත් වුණා. ඒ බස්රථ ගමන අමතක නොවන එකක් බවට පත්වුණේ එහි වටේම දමා තිබුණු එල්ඊඩී ස්ට්‍රිප් ලයිට්ස්, මහ විශාල රූපවාහිනී තිරයෙන් වෑහුණු කුණු රහ ගීත හා අසංවර රියදුරාගේ මහහඬ නංවන මියුසික් නලාව නිසායි. සේනානායක වේරලියද්ද බොඩි ෆිට් රතු ටීෂර්ට් එකක් ඇඳ ජොල් බඩ හොල්ලමින් විවෘත දුම්රිය මැදිරියක නැගී "පුක තද කරං - මහමෙර තරං" කියද්දි මට වමනය නෑවිත් බේරුණේ යන්තමින්. පැය පහක පමණ භයංකර ගමනක් අවසානයේ මං රෑ අටට පමණ හැටන් වලින් බැස ගත්තේ පූර්ණ මාඤ්ඤමිකතාවයට (Total eccentricity) පත්වෙලයි. එදින හැටන් නගරයේ පුංචි නවාතැනක රාත්‍රිය ගත කළ මං පහුවදා උදේම රෝදපුටුවත් අරං මොකාවත්තට පිටත් වුණා.
මා උස්සාකැලේ ජලාශය
මොකා වත්ත බෝම සුන්දර වතු යායක්... නමුත් මේ සුන්දරත්වය යට හැංගුණු කඳුළු කතා නම් බෝමයි.
කිරිසිනා
අතිශය දුෂ්කර ජීවිත ගෙවන වතු කම්කරුවකුගේ පුත්‍රයෙක් වන මේ ආබාධිත දරුවා රෝදපුටුවෙන් එහාමෙහා යමින් සිනා සලද්දී මෙතෙක් මා ඒ වෙනුවෙන් ලද වෙහෙස හිරු දුටු පිණි සේ වියැකී ගියා. මා සමග ගමනට සහභාගි වුණු, දැඩි සිත් ඇත්තන් ලෙස ප්‍රකට විශේෂ බලකා නිලධාරීනුත් රහසින් කඳුළු පිසදමනු මා බලා සිටියා. 
හුදෙකලා සංචාරකයා
ඉන් පසු විශේෂ බලකා නිලධාරීන්ට සමුදුන් මම හුදෙකලා සංචාරය ඇරඹුවා.
මම මුලින්ම නැරඹුවේ මොකා වත්තට ඉහළින් ඇති මොකා ඇල්ල ලෙස හැඳින්වෙන මේ සුන්දර ඇල්ලයි.
බැලූ බැල්මට අඩි දෙසියයකට ආසන්න උසක් පෙන්නුම් කරන එය මොකාවත්ත වාසීන්ට පානීය ජලය සපයන එකම ප්‍රභවයයි.
ඉන්පසුව මාඋස්සාකැලේ හන්දියෙන් ත්‍රිරෝද රථයක නැගුණු මම ඇබර්ඩීන් ඇලි සොයා ගියා. මේ මාර්ගය දිව යන්නේ සප්තකන්‍යා කඳුපාමුලින්.
කලවැල්දෙණිය ගම්මානයට ආසන්න වන විට ඇබර්ඩීන් දියඇල්ල වෙත පිවිසෙන පඩිපෙළ දක්නට ලැබෙනවා. ඊට මදක් ඉහළට ගමන් කළ විට ඇබර්ඩීන් ඇල්ල ඉහළ පිහිටි තවත් ඉතා සුන්දර ඇලි කිහිපයක් දකින්නට පුළුවනි.
ඇබර්ඩීන් ඇල්ලේ මුදුන
ඇබර්ඩීන් ඇල්ල මුදුනේ සිට මදක් ඉහළට ගමන් කිරීමෙන් මේ සොඳුරු ඇලි දැක ගන්නට පුළුවන්.
ඉහළ ඇබර්ඩීන් ඇල්ල අංක 01
මේ දියඇල්ල පාමුල ඇති තටාකය ඉතාම සුන්දර එකක්. එමෙන්ම ආරක්ෂාකාරීව දිය නෑමට සුදුසු බවත් පැහැදිලිව පෙනුනා. දිය නෑමේ සූදානමකින් නොපැමිණියත් මේ සුන්දර ජලාශය මගහැර යාම කිසිසේත් කළ හැක්කක් නොවුණ නිසාත්, කිසිම මිනිස් ප්‍රාණියෙක් නොගැවසෙන අතිශය හුදෙකලා පෙදෙසක් වීම නිසාත් මෙහි ස්කිනී ඩිපිං කරන්නට මං තීරණය කළා.
තටාකය
මෙවන් සුන්දර හුදෙකලා පරිසරයක, දියදහරාවල සිලිසිලියත්, කුරුලු කූජනයත් විඳිමින්, පූර්ණ නිර්වස්ත්‍රව ගෙලවටක් දියේ බැස සිටීම කොයිතරම් මිහිරි අත්දැකීමක්දැයි එය විඳ නැත්තෙකුට තේරුම් කිරීම පහසු නැහැ.
බිම වැඩියා වූ උඩවැඩියා
පරිස්සමෙන් වටාපිටාව නිරීක්ෂණය කිරීමෙන් මේ වගේ සුන්දර වනමල් රාශියක් දක්නට පුළුවන් වෙනවා.
වනමල්
වනමල්
එම දිය ඇල්ල අසළින් හෙමිහිට පරිස්සමෙන් උඩට නැගීමෙන් තවත් ඉතා සුන්දර කුඩා දියඇල්ලක් සමීපයට එන්නට පුළුවන්. 
ඉහළ ඇබර්ඩීන් ඇල්ල අංක 02
හැඩයෙන් තරමක් පහන්තුඩාව ඇල්ලට සමීප මේ පුංචි ඇල්ල පාමුල තටාකය නම් ගැඹුරු බව පෙනුනා. ඉන්පසු නැවත ප්‍රධාන පාරට පිවිසි මම ප්‍රධාන ඇබර්ඩීන් දියඇල්ල සොයා ගියා.
ඇබර්ඩීන් ඇල්ල
කෙහෙල්ගමු ඔයේ නිර්මාණයක් වන ඇබර්ඩීන් ඇල්ල අතිශය සුන්දර දිය ඇල්ලක්. එහි පාමුල තටාකය නම් ගැඹුරු බව නොකියාම බැහැ. 
පාමුල තටාකය - Base Pool
ආරක්ෂාකාරීව දියඇල්ල නැරඹීම සඳහා නැරඹුම් පීඨිකාවක් අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් සකසා තිබෙනවා. එහි සිට ඇල්ල නැරඹීම ඉතාම ආරක්ෂාකාරීයි.
හුදෙකලා සංචාරකයාගේ තවත් දියඇලි දඩයමක් අවසන් වුණේ එහෙමයි. ඉතා වෙහෙසකාරී දිනයක් වුණත් ආත්ම තෘප්තිය අතින් ඉහළ සංචාරයක් ලෙස එය මගේ මතක පොතට එකතු වුණා.


Tuesday, November 13, 2018

Kethigahana Ella Revisited - කැතිගහන ඇල්ල සොයා නැවතත්


මේ ගෙවී යන්නේ සංචාරකයන්ට යහපත් කාලසීමාවක් නොවෙයි. එක දිගට මේ සතිය තුළ වාර්තා වුණු සංචාරක මරණ සංඛ්‍යාව හතරක්. එයින් තිදෙනෙක් පහන්තුඩාව ඇල්ලෙන් පහළට වැටී මිය ගිය අතර තවත් එක් විදේශික කතක් ලෝකාන්තයෙන් පහළට ඇදවැටී මිය ගියා. ඒ නිසා මේ සංචාරක සටහන අරඹන්නට පෙරාතුව මට ඔබට කියන්නට දෙයක් තිබෙනවා. එනම්, ෆේස්බුක් එකේ වැටෙන ලයික් එකකට, හාට් රියැක්ට් එකකට, සාවෑව් වගේ කමෙන්ට් එකකට තමන්ගේ ජීවිතය පරදුවට තැබීම තරම් අමු අනුවණ කමක් තවත් නැති බව. නියම සංචාරකයා කිසිදිනෙක පින්තූරයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අවදානමේ හෙළා ගන්නේ නැති බව... 
මෙවර මගේ සංචාරක ගමනාන්තය කැතිගහන ඇල්ල හෙවත් ගලගම ඇල්ල. මිනිස් ඇසින් වහං වුණු ඉතා දුෂ්කර මේ දියඇල්ල බලන්නට මීට පෙරත් මා ගියත් එවක තිබුණු නියං සමය නිසා ඇල්ලේ නියම සුන්දරත්වය විඳින්නට බැරි වුනා. ඒ සටහන මෙතැනින් බලන්න පුළුවන්...
http://sobaroo.blogspot.com/2017/07/waterfall-hunting-in-sabaragamuwa.html
ඒනිසා නැවතත් එම ඇල්ල සොයා යන්නට මා තීරණය කළා. මෙවර ගමන හුදෙකලා හෙවත් සෝලෝ එකක්.
පුංචි ඇල්ලක්
මේ ගමන අතරමග මා දුටු පුංචි ඇලි කුමරියක්. වස්සාන සමය එළඹ තිබීම නිසා මග දිගට සීසනල් ෆෝල්ස් හෙවත් වැසි සමයට පමණක් සක්‍රිය වන දියඇලි රාශියක් නරඹන්නට හැකි වුණා.
මේ මාර්ගය දිව යන්නේ රටේ අතිශය සුන්දරතම පළාත හරහා... මගේ මගදිගට අභිරමණීය දර්ශන රාශියක් මෙහිදී ඔබට නරඹන්නට පුළුවනි.
සබරගමු නිම්නය
මේ සුන්දරත්වය දෑසින් උරා බොනවා විනා වචනයෙන් විස්තර කිරීම අතිශය දුෂ්කර කටයුත්තක්...
දඩයම්...
දුෂ්කර ගමනකින් පසු වනයට ඇතුළු වූ මම පෙර මතකයෙන් ඇල්ල සොයා යෑම ඇරඹුවා. ගස් කඩා වැටී මං සළකුණු වෙනස් වී තිබුණත් වැඩි අමාරුවක් නැතිවම ඇල්ල සොයා ගන්නට මා සමත් වුණා.
ගුප්ත වනය
ගිය වතාවේ යාන්තම් සලකුණක් ලෙස දිස් වූ ඇල්ල මෙවර ගුම් නද දෙමින් හාත්පස පිනි පොදින් නහවාලමින් ගලා හැලුණේ මගේ හිත සතුටින් පුරවමින්. කොටින්ම කැමරාව එළියට ගැනීමත් අභියෝගයක් වුණේ විසිරෙන පිණි කැට නිසාමයි. මගේ මුලු සිරුරම දියේ ඔබා ගත් කලෙක මෙන් තෙත් වෙන්නට ගත වුණේ මොහොතයි.
පිණි විසුළ මොහොතක
විසිරෙන පිණි පොද මත වැටුණු හිරු එළිය දේදුණු වර්ණ මවාලමින් මා චමත්කාරයෙන් පුරවාලන්නට සමත් වුණා.
දේදුණු
දියඇල්ල අසළ බොහෝ වේලාවක් ගත කර තෙමුණු ගතිනුත් පිරුණු සිතිනුත් යුතුව මා ආපසු හැරුණා. චමත්කාරජනක සංචාරයක් නිමවමින් ඉතා තෘප්තිකර මනසිනුයි මා නැවත නිවසට පැමිණියේ..