Wednesday, September 18, 2019

Udawalawa National Park - නිල්ගල චාරිකා අංක 02 - උඩවලවේ සිත නැළැවේ

පහුගිය චාරිකා සටහන මම නිමා කළේ ඊළඟට උඩවලවේ විස්තර රැගෙන එන බවට පොරොන්දු වෙලා. ඒ චාරිකා සටහන මග ඇරුණා නම් මෙතනින් බලන්න. http://sobaroo.blogspot.com/2019/08/nilgala-forest-expedition-01.html
නිල්ගල වන උයනට සමුදී අපි ඊළඟට පිටත් වුණේ උඩවලව ජාතික වනෝද්‍යානයට එන්නටයි. ඇත්තටම අපේ ප්ලෑන් එකේ උඩවලව තිබුණේ නෑ. ගමනේ දෙවැනි දවසේ හිතුණ තැනක යනවා කියන අදහසිනුයි අපි පාරට ආවේ. මඳ පොද වැස්සේ ආශිර්වාදයත් ලබමින් බිබිල, වැල්ලවාය හරහා තණමල්විලට ආපු අපි එතැනින් උඩවලව ජාතික වනෝද්‍යානයේ පිිවිසුමට ප්‍රවේශ වුණේ සවස හතරට ආසන්නවයි.
වැව් පිටියේ
දවසේ ඕනෑම වෙලාවක අලිඇතුන් බලන්නට පුළුවන් වන උයනක් ලෙසයි උඩවලව ප්‍රකටව ඇත්තේ. සබරගමුව හා ඌව පළාත්වලට මායිම්ව පිහිටි මෙම ජාතික උද්‍යානය පුරා බහුලව දක්නට ඇත්තේ සැවානා මිශ්‍ර තණබිම් නිසා අලි ඇතුන් හොඳින් දැක ගන්නට පුළුවන්.
මොණරින්දු
දීර්ඝ කාලීන නියඟයක් හමාර කරමින් මඳ වැසි ඇද හැළෙන සමයකයි අපි චාරිකාව ගියේ. ඒ නිසා දූවිල්ල මැකී ගහකොළ ප්‍රාණවත්ව තිබෙනු මනාව දකින්නට ලැබුණා.
කෘතිම පොකුණුවල තුන්පත් රෑන්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තැනින් තැන කෘතිම පොකුණු සකස් කර තිබුණේ අධික නියඟය නිසා පීඩාවට පත් වන වන සතුන් වෙනුවෙනුයි. මේ එවන් පොකුණක් අබියස පවස නිවා ගන්නා තුන්පත් රෑනක්.
වනය පුරා විසිරී තිබෙන ජලාශයන් සිඳී පැළි වළං සේ තිබුණේ නියඟයේ තරම කියාපාමින්.
පැළි වලං පැලුණු පොළව
මෙසේ සිඳීගිය ජලාශයක් අබියස මඳ වේලාවක් රැඳී සිටීමෙන් බොහෝ සුන්දර දසුන් දක්නට හැකියි.
කිඹුල් මොටා
සිඳුණු ජලාශයන් කිඹුලන්ගෙන් අරක්ගෙන තිබුණා. පවසින් පීඩිතව දියට බසින අසරණයන් ඔවුන්ගේ ඉලක්කයයි.
කරවැල් කොකා
මල් පිළිහුඩුවා - Common Kingfisher
පිළිහුඩු වර්ග කිහිපයක්ම මේ අවට දක්නට ලැබුණා. 
ගෝමර පිළිහුඩුවා - Pied Kingfisher - Ceryle rudis
Black winged stilt - කළුපිය ඉපල්පාවා ඉතා ඈතක සිට ගන්නා ලද රූප රාමුවක් බව සලකන්න. කුරුල්ලන්ගේ කූඩු ඡායාරූපයට නැගීම අතිශයින් නරක ක්‍රියාවක්. නමුත් මෙය ජීප් රථයක සිට බොහෝ ඇතින් ගන්නා ලද්දකි.

කෑදැත්තා


දුම් බොන්නා - Indian Roller - Coracias benghalensis

White Bellied Sea Eagle - කුසඇලි සයුරුකුස්සා Haliaeetus leucogaster

ගල්අමුණ වැව
 ගල් අමුණ වැව මේ උයනේ දක්නට ලැබෙන සුන්දරතම ස්ථානයක්. හවස් වරුවේ මේ වැව් පිටිය පුරා අලි රංචු දකින්න පුළුවනි.
භාවනා

පණු දළයෙක්
 මේ අලි පැටවාට පණුදළයක් තියෙනවාද නැත්නම් ඇත් පැටියෙක්ද?

වැව් පිටියේ ගමන් බිමන්

අම්මා පසුපස


මල් පිළිහුඩුවා -Common Kingfisher - Alcedo atthis
චාරිකාවේ ඊළඟ කොටසින් මදුනාගල, සංඛපාල විහාරය හා ඇත්අතුරු සෙවණේ විස්තර කියන්නම්.

Wednesday, August 21, 2019

Nilgala Forest Expedition - බුද්ධදාස රජතුමන්ගේ ඔසු උයන - නිල්ගල චාරිකා අංක 01

ලංකාවේ පිහිටි අතිශය සුවිශේෂ පරිසර පද්ධතියක් ලෙස නිල්ගල රක්ෂිතය හඳුනා ගන්නට පුළුවනි. අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි නිල්ගල වියළි කලාපීය සදාහරිත වනාන්තරයක්. ඒ වගේම සැවානා වර්ගයේ වනාන්තර ලක්ෂණ (එනම් මාන ආදී ළඳු කැලෑවන් සහිත) මෙහි දක්නට පුළුවන්. ප්‍රමුඛතම ශාක දර්ශයන් වන්නේ අරළු, බුළු සහ නෙල්ලි යන ඖෂධීය ශාකයන්.
නිල්ගලට ළඟා වීම සඳහා අප භාවිත කළේ වැල්ලවාය - මොණරාගල හරහා බිබිලට පැමිණ බිබිල ඉඟිනියාගල මාර්ගයේ නිල්ගල පිවිසුමෙන් වනාන්තරයට පිවිසීමයි. ඒ අතරමග තවත් සුන්දර මෙන්ම පෞරාණිකව වැදගත් ස්ථාන කීපයකට යාමටත් අප අමතක කළේ නෑ.
අවලෝකිතේෂ්වර බෝසතුන්/තාරාදේවිය සහ නාඳුනන වෙනත් රුවක්
අපේ මුල්ම ගමනාන්තය වුණේ වැල්ලවායට කිලෝමීටර් කීපයක් මෙපිටින් පිහිටි බුදුරුවගල පුදබිමයි. වැල්ලවායේ සිට බුදුරුවගල හන්දියෙන් හැරී කටුක මගක කිලෝමීටර් හයක් පමණ පැමිණීමෙන් මේ රමණීය පුදබිමට පිවිසිය හැකියි. ගල්කුලක නෙළන ලද විශාලතම බුද්ධ ප්‍රතිමාවක් සහ ඒ දෙපස බෝසත් ප්‍රතිමා කීපයක් මෙහි දක්නට පුළුවනි. මේවා දහවැනි සියවසට පමණ අයත් බවයි සැලකෙන්නේ.
බුදුරුවගල ප්‍රධාන බුදු පිළිමය
මෙහි ප්‍රධාන බුදු රුව ගල් කුළකින් මතු කර හුණු බදාම වලින් පිරියම් කර නිමවා ඇති එකක්. කාලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ගෙන් පිළිමයේ සිවුරට යම් හානි සිදු වී ඇති බවක් නිරීක්ෂණය කරන්නට පුළුවනි. පිළිමයේ වම්පසින් තවත් පිළිම තුනක් දක්නට ලැබෙනවා.
බෝසත් පිළිම
ඒ බෝසත් පිළිම විය හැකියි. නමුත් ඒවා හඳුනා ගන්නට කිසිම පුවරුවක්වත් අහළ පහළක පිහිටුවා නෑ. මැද සිටින්නේ මෛත්‍රී බෝසතාණන් විය හැකි නමුත් මට එය සහතිකව කියන්නට බෑ. දැනුමැත්තෙක් මා නිවැරදි කරත්වා. මේ පිළිමවල යම් මහායානික ලක්ෂණයන් ගැබ්ව තිබෙන බවකුත් හැඟෙනවා. පුදබිමට පහළින් සුන්දර වැවකුත් පිහිටා තිබෙන අතර ඇතැම් කාලවල පුදබිමටම වන අලින් පැමිණෙන බව ආරංචි වුණා.
අපේ ඊළඟ නැවතුම වුණේ ඇල්ලේවල ඇල්ල.
ඇල්ලේවල ඇල්ල
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් කීපයක් ගමන් කිරීමෙන් පසු වමට හැරී තවත් කිලෝමීටර පහක් පමණ ගමන් කිරීමෙන් මේ සුන්දර ඇල්ලට ළඟා වන්නට පුළුවන්. මේ ඇල්ලේ සම්පූර්ණ ඡායාරූපයක් ගැනීමට මට හැකි නොවුණේ මගේ වයිඩ් ඈන්ගල් ලෙන්ස් එක ක්‍රියාවිරහිත වී තිබීම නිසා. මේ ඇල්ලේ ආකර්ෂණීයම අංගය තමයි එහි පහළ තටාකය. ඉතා නොගැඹුරු එකක් නිසා ඇල්ල පාමුලටම යන්න පුළුවන්. නමුත් උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ගල් විදීමක් නිසා ඇල්ලේ වතුර තනිකර කිරිපාටයි. ගල්වල පවා වියළුණු ගල්කුඩු ඇලී තිබුණ නිසා මම නම් ඇල්ලට බැස්සේ නෑ.
ඉන්පසු අපි කෙළින්ම නිල්ගල සොයා ඉගිලී ගියා. බිබිල - ඉඟිනියාගල මාර්ගයෙන් හැරී නිල්ගල වෙත යන මග ඉතාම දුෂ්කර එකක්. ඒ සඳහා ඔබට ජීප් රථයක සහාය ගන්නට සිදු වෙනවා.
නිල්ගල වනජීවී බංගලාව
අපි එදා රෑ නවාතැන් ගත්තේ නිල්ගල වනජීවී සංරක්ෂණ සංචාරක බංගලාවේ. එය ඔබට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා වෙන් කර ගන්නට පුළුවනි. ඉතාම අඩු මුදලකට සීමිත නමුත් තෘප්තිමත් පහසුකම් සලසන්නට එය සමත්.
පසුවදා උදෑසනම අපි වන සංචාරය ඇරඹුවා.
කන්නට දෙයක් සොයන මුවන්
කුඩුම්බේරිය හෙවත් බීඩි කොළ වෙනුවෙන් වනාන්තරය ගිනිතබා තිබුණෙන් හතර අතේම තිබුණේ හරිම ශුෂ්ක බවක්. කොහොමටත් සැවානා වනාන්තරයකට ගින්න නුපුරුදු නෑ. ඊළඟ වැස්සත් එක්ක මේ වන්නාන්තර නැවත දළු ලා වැඩෙනවා. නමුත් නිල්ගලට ආවේණික නිල්ගල සමනලයා වැනි සුවිශේෂ ජීව විශේෂ විනාශ වීම මහත් අභාග්‍යයක්.
නිල්ගල සමනලයා- Baronnet - Symphaedra nais
මේ ඉන්නේ නිල්ගල සමනලයා - Baronnet - Symphaedra nais මෙයා ඉතා සුවිශේෂ සමනලයෙක්. මුළු ලෝකයෙන්ම දක්නට ලැබෙන්නේ නිල්ගල පෙදෙසේදී පමණයි. රුපියල් විස්සේ නෝට්ටුවේ වම්පස දක්නට ලැබෙන්නේත් මෙයාම තමයි. 
ගල්ඔය
අධික පෑවිල්ලෙන් බොහෝ දියදහරා සිඳී ගොස් මේ වගේ දිය කඩිති බවට පත්ව තිබුණා. 
කහට ගෙඩි
මේ තියෙන්නේ කහට ගෙඩියක්. මේවා උණහපුළුවන්ගෙ රස ආහාර. කහට ගහක් යට රැයක් හිටියොත් අනිවාර්යෙන් උණහපුළුවෙක් බලා ගන්නට පුළුවන්.
අලි බෙටි මත ජීවය
ඉන් පසු අපි ළඟා වුණේ නිල්ගල පිහිටි සුවිශේෂතම භූ ලක්ෂණය නැරඹීමටයි. සංචාරකයන් අතර මෙය මකරෙ නමින් ප්‍රකටයි. ගල්ඔය මෙතැනදී අතුරුදහන් වෙනවා එකවරම. නැවත එය මතු වන්නේ සේනානායක සමුද්‍රයෙන් බවයි පැවසෙන්නේ.
මකරේ
මේ සුන්දර වනචාරිකාව නිමවා අපි ඉන්පසු උඩවලව බලා පිටත්ව ගියා. ඒ විස්තර ඊළඟ කොටසින්.

Monday, June 24, 2019

The Motorcycle Diaries... ස්කූටර් චාරිකා - අයගම දියඇලි දඩයම්


දියඇලි දඩයමක් ආයෙත්....
කොටගඟ දියඇලි දාමයේ චාරිකාවට පස්සෙ කොහෙවත් යන්න බැරි වුණා. රටේ පැවති අයහපත් තත්ත්වය වගේම දරුවන්ගෙ අසනීප තත්ත්වයන් එක්ක ගෙදරින් එළියට බහින්න පුළුවන් කමක් තිබුණේ නෑ. නමුත් ඔය අතරෙ මගේ කාර්යාලයේ නිලධාරිනියකගෙ ඥාතියෙකුගෙ මරණයක් නිසා පසුගිය බ්‍රහස්පතින්දා රත්නපුරේ යන්න සිදුවුණා. ඔන්න මගේ සංචාරක ඉත්තෑවාට අවස්ථාවක් එළඹුණා. සෙසු සගයන් බස් රථයකින් එද්දී මම තීරණය කළා හික්කඩුවේ සිට බයිසිකලයෙන් රත්නපුරේ යන්න.
සුපුරුදු පරිදි මම් ගමන් මාර්ගය තෝරා ගත්තේ බටපොළ, ඇල්පිටිය, පිටිගල, හෙවෙස්ස හරහා බදුරලියට එන්න...
පැලවත්ත - බදුරලිය මාර්ගය
පැලවත්ත හන්දියෙන් කළුගල හරහා බදුරලිය දක්වා දිවෙන මාර්ගය අතිශයින්ම සුන්දර එකක්. දෙපස වැඩුණු වන ගහනය මැදින් දිවෙන පටුපාර එකවර වාහන දෙකකට මාරු වෙන්නට අසීරු එකක්. නමුත් ස්කූටරයේ සිහින් නාදයත්, සුළඟට නැළවෙන ගහකොළවල සිරිසිරියත්, අතුපතර නදදෙන කුරුලු කූජනයත්, ලහිලහියේ ගලාහැලෙන දියදහරා වල සිලිසිලියත් විඳිමින් යන මේ ගමන හරියට භාවනාවක් වගේ. මේ ධ්‍යානය බිඳින්නේ ඉඳහිට මා පසුකර යන හෝ ඉදිරියට එන යම් රියක් පමණයි.
ස්වර්ග මාර්ගය
වැසිසමය නිසා මේ මග දෙපස සියලු දියදහරා සක්‍රීයව තිබුණා. බදුරලියෙන් කලවාන ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ට වුණු මම මොරපිටියේ මට සුපුරුදු කඩ පොඩ්ඩෙන් උදෑසන ආහාරය ගත්තා. ඉන්පසු කෙළින්ම මට හුරුපුරුදු අතිසුන්දර ශ්වේත සළුව සොයන්නට අත්වැල්තොට අහස්බෝක්කුව අසළින් ඉහළට ඇදුණා.
අහස්බෝක්කුව
අහස්බෝක්කු ඇල්ල එහෙම නැත්නම් කබරගොයි දොළ ඇල්ල එතරම් උස නැති නමුත් සුන්දරත්වයෙන් අනූන ඇල්ලක්. වැසිසමය නිසා එහි සුන්දරත්වය දෙගුණ වී පෙනුනා.
අහස්බෝක්කු ඇල්ල/කබරගොයි දොළ ඇල්ල
අතරමග තව බොහෝ දියඇලි තිබුණත් මම ඒවායේ නතර නොවී කෙළින්ම රත්නපුරයට පැමිණියේ ඒ වන විටත් මද වැසි ඇද හැළෙමින් පැවතුණු නිසා. 
වැහි මන්දාරම් අහස
මළ ගෙදරට සහභාගි වී මද වෙලාවක් එහි ගත කර මම නැවත එන්නට පිටත් වුණේ රත්නපුර පානදුර මාර්ගය හරහා. ඉඩන්ගොඩ පාළම ළඟින් වමට හැරවූ මම අයගම දක්වා පැමිණියා. 
චොක්ලට් පාට රත්නපුරයේ ගංගා
රත්නපුරයේ සියලු ගංගා දක්නට ලැබෙන්නේ චොකලට් පැහැයෙන්. ගං ඉහත්තාවේ මැණික් ගැරීමත්, වන සංහාරයත් ඊට හේතු වෙනවා. අයගමින් ඈගල්ඔය පාරට හැරී කිලෝමීටර් කීපටක් ගියවිට ගමික්කන්දට හැරෙන පාර හමු වෙනවා. ඒ පාරේ මද දුරක් ගියවිට මේ අතිශය සුන්දර ඇල්ල මුණ ගැහුණා.
එතරම් උස නැති නමුත් පළලින් වැඩි මෙය හඳුන්වන්නෙ 'මිනී ඇල්ල' නමින්. 
මිනී ඇල්ල
මිනී ඇල්ල මුදුන
ඊට කිලෝමීටර් එකහමාරක් පමණ ඉහළින් රිටිගස් ඇල්ල නමින් තවත් ඇල්ලක් ඇති බව මම දැන හිටියත් වැහි දෙයියා නපුරු වී ගෙන ආ බැවින් අකමැත්තෙන් වුණත් ආපසු හැරෙන්නටයි සිදුවුණේ.
බිනර
අතරමග හමුවුණ බිනර මලක්
පොද වැස්සේම ගවරගිරියට ආපු මම තවත් සුන්දර ඇල්ලක් ගාව මදක් නැවතුනා. 
මියුණු ඇල්ල මුදුන
මෙය හැඳින්වෙන්නෙ 'මියුණු ඇල්ල' නමින්. 
මියුණු ඇල්ල
මීමන ප්‍රේමතිලක කවියා මියුණු ඇල්ල පදනම් කරගෙන නිල්දියේ නළඟන නමින් කවි පංතියක්ද රචනා කර තිබෙනවා.
“අල්ලා අතින් පා වෙන වනමල් කළඹ
නිල් වතුරෙන් නැඟුණු අතිසුන්දර නළඹ
ගල්පර නමැති උස් රඟමඬලට එළඹ
සොල්වාපන්! තවත් දිය සුළි මිණි සලඹ!
(නිල්දියේ නළඟන)
අතරමගදී හමු වුණු ඒ ගමේ ග්‍රාම නිලධාරී මහත්තයා මාව නවතාගෙන හැඳුනුම්පතත් පරීක්ෂා කළා...
අයගම කියන්නෙ දියඇලි පාරාදීසයක්. මීට කලිනුත් මම මේ අවටම දියඇලි කීපයක් නරඹා තිබෙනවා.
නමුත් ඒ වනවිටත් බොහෝ ප්‍රමාද වී තිබුණ නිසා මට ආපසු එන්නට සිදු වුණා.
අද සියලු පින්තූර මගේ ජංගමයෙන්...

Tuesday, June 4, 2019

Kabbalekanda Revisited - යං බොලේ - කබ්බලේ

කන්නෙලියත් එක්ක මගේ තියෙන්නෙ ආත්මගත බැඳීමක්. මේ වෙන කොට කන්නෙලිය රක්ෂිතයේ වනමං අතරින් මං පියමං නොකළ වනමගක් නැති තරම්. පසුගිය බදාදා තුන්වැනි වතාවටත් කන්නෙලියේ දිග හා දුෂ්කරම වනමං පෙත වන කබ්බලේ කන්ද වනමං පෙත ඔස්සේ අතිශය සොඳුරු කබ්බලේ කන්ද තරණය කරන්නට මට හැකි වුණා.
මෙවර ගමනට එක් වුණේ මගේ වනචාරී (වනයේ හැසිරෙන) දයාර්ද්‍ර මිත්‍රයෙක්. අපි දෙදෙනා හික්කඩුවෙන් පිටත්ව යටලමත්ත කිට්ටුවට එද්දී මහ වැස්සකටත් අහු වුණා. බයිසිකලයක සංචාරය කරන්නෙකුට ලැබෙන එක් දුලබ අවස්ථාවක් තමයි අවට පරිසරයේ වඩා සමීප වින්දනීය අත්දැකීමක් ලබන්නට හැකිවීම. ඒ එක්කම ජන ජීවිතය හා හොඳින් මුහු වෙන්නටත් බයිසිකල් සංචාරකයාටත් පොදු ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ සංචරණය කරන්නාටත් ලැබෙනවා.
ඉතින් අපි වැස්සට නැවතී හිඳපු යටලමත්තේ පුංචි ගෙදර මාමාත් හරි අපූරු චරිතයක්. ජැකට් හෙල්මට් දාගෙන ඒලියන්ස්ලා වාගෙ පෙනුන අපි පවා සාදරයෙන් පිළි අරං බොහොම සුහදව සැලකූ ඒ වයසක ගැමියා අපේ හදවත් වල උණුසුම් තැනක ලැගුම් ගත්තා.
කන්නෙලියේ පිවිසුම් දොරටුවට අපි පිවිසියේ මද පොද වැස්සේමයි. ටිකට් කවුන්ටරය ඉදිරියෙන් ඇති වනමග ඔස්සේ කැලෑවට ඇතුළු වූ අපි තෙත් කලාපීය සදාහරිත වැසි වනාන්තරයක අරුමය විඳිමින් හෙමින් ඉදිරියට ගියා.
කරඳ
මේ එසේ ගමන් කරද්දී අපට හමුවුණ කරඳ ශාකයක්. එහි කඳේ කළු කූඹි ගුල් ජනපද දක්නට පුළුවන්. උන් කඳ විදගෙන ඇතුළු වුණේ කෙසේදැයි මට හිතා ගන්නට බැරි වුණා.
විවේකස්ථාන
මෙලෙස ඉදිරියටම යද්දී ගමනේ පළමු විවේක ස්ථානය මුණ ගැහෙනවා. ඉදිරියට නෙරූ විසල් ගල් පතුරක් යට මදක් හිඳගෙන විවේක ගන්නට ඔබට පුළුවන්. මේ ගල් පොත්ත මට සිංහරාජයේ සිංහගල මං පෙතේදී මුණ ගැහෙන ගල් පොත්ත සිහි කළා.
වැරණිය
කඳු මුදුනට ආසන්න වෙත්ම මේ වැරණිය ශාකය බහුලව දක්නට ලැබුණා. මෙය පඳුරක් ලෙස වැඩෙන දේශීය ශාකයක්. සමනලුන්ගේ දැඩි ආකර්ශණයට ලක් වූ ශාකයක් ලෙස නිරීක්ෂණය කළ හැකියි. ශාකය හඳුනාගන්නට භූෂණගේ මෙම බ්ලොග් අඩවිය උපකාර වුණා. https://biodiversityofsrilanka.blogspot.com/2015/11/veraniyahedyotis-fruticosa.html
බ්ලූබොට්ල් සමනලයා - Graphium sarpedon
පෝෂක ශාකය ලෙස වැරණිය භාවිත කරන සමනලුන් බොහෝ ප්‍රමාණයක් අපට දක්නට ලැබුණා.
Rustic - Cupha erymanthis
අවට සියලු සුන්දරත්වයන් උරා බොමින් කඳු මුදුනට පිවිසෙන්නට අපට ආසන්න වශයෙන් පැය දෙකක් පමණ ගත වුණා. ඒ අතර තුර අනවරත කූඩලු ප්‍රහාරයන්ට ලක් වූ බව නොකියාම බෑ. මීට පෙර දෙවතාවක් ඇවිත් තිබුණත් කබ්බලේ කඳු මුදුන හැමදාමත් නැවුම්...
කඳු මුදුනේ සිට
කඳු මුදුනේ සිට කුරුලු ඇසින් අවට බලන විට දක්නට ලැබෙන දර්ශනය අතිශයින් මනහරයි. නොඉඳුල් වන පියස සිප හමන සීත සුළං පහස විඳිමින් ගල් තලාව මත වැතිරී පැයකට ආසන්න කාලයක් ගත කළ අපි ආපසු එන්නට හැරුණා.
කටු කිතුල් - Oncosperma fasciculatum
මේ කටුකිතුල් ශාකය දක්නට ලැබුණේ කඳු මුදුනට ආසන්නවයි. මෙය ලංකාවට ආවේණික ශාකයක්. කඳ පුරාම දක්නට ලැබෙන කටු නිසා මෙය කටු කිතුල් ලෙස හඳුන්වනවා.
ස්ථරීභවණය
සදාහරිත වනාන්තරයක ස්ථරීභවනය හොඳින්ම නිරීක්ෂණය කළ හැක්කේ කඳු මුදුනක සිටයි. බලන්න වියන් ස්ථරයේ හොර, බූහොර, මිල්ල, හැඩවක, හල් ආදී ශාක මතු වී පෙනන හැටි
කඳු මුදුනේ සිට පහතට බහින්නට මංපෙත වැටී තිබෙන්නේ මළ දොළක් හරහායි. මේ අතර දුටු බාඳුරා ගොටුවක් හා මලක් තමයි මේ. ඇත්තටම කෘමි සතුන් බාඳුරා මල විසින් ගොදුරු කර ගන්නවා යැයි කීම ව්‍යාජයක්.
බාඳුරා ගොටුව
කෘමීන් ගොදුරු වන්නේ බාඳුරා ගොටුවටයි. එය පත්‍රයේම විකරණයක්. බාඳුරා මල කෘමීන් ආකර්ෂණය කර ගත්තත් ගොදුරු කර ගන්නට බැහැ.
නිකරුණේ චෝදනාවට ලක් වෙන මල
මෙලෙස හෙමින් පහළට ආපු අපට මගදී මේ විශාල බිම්මල දක්නට ලැබුණා.
ඌරු හතු
ඌරු හතු යනුවෙන් හැඳින්වෙන මෙය ආහාරයට ගන්නා විශේෂයක් බවයි සඳහන් වුණේ.
කන්නෙලිය වනයේ සුලබව දක්නට ලැබෙන පිනුම් කටුස්සෙකුගේ ගැහැණු සතෙක් මේ.
ලංකාවට ආවේණික විශේෂයක් වන පිනුම් කටුස්සාගේ පිරිමි සතා මීට වඩා විචිත්‍ර සුන්දර සතෙක්.
හැම තැනම දක්නට ලැබෙන දියදහරා ආවේණික මත්ස්‍ය විශේෂයන්ගෙන් ගහණයි.
තල්කොස්සා - Belontia signata
මේ තල්කොස්සා නමින් හැඳින්වෙන අතිශය සුන්දර මත්ස්‍යයෙක්.
අනගිමල ඇල්ල
අති සුන්දර අනගිමල ඇල්ලේ දර්ශනයෙන් පසු අපි කබ්බලේ කන්ද ගමන අවසන් කළා.
ඉන්පසු අපි කන්නෙලිය රක්ෂිතයෙන් පිටත්ව ආසන්න සුන්දර දියදහරක් වෙත ගියේ ස්නානය පිණිසයි.
උඩවැඩියා
දැනටමත් ඒ පරිසර පද්ධතිය විනාසකාරයන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනු දුටු බැවින් ඒ ගැන වැඩිය මුකුත් නොකියා ඉන්නම්...
හැංගුණු සුන්දරත්වය
දියට බට වහාම ගල් පාඬියා ලෙස හැඳින්වෙන මත්ස්‍ය රංචු විසින් දෙපා වසා ගන්නවා. එය අපූරු අත්දැකීමක්.
නීල පළිඟු දිය
මුළු ගමනේම වෙහෙස නීල පළිඟු දියේ සෝදා හරිමින් අපි ගමන නිමා කළා.