Wednesday, August 21, 2019

Nilgala Forest Expedition - බුද්ධදාස රජතුමන්ගේ ඔසු උයන - නිල්ගල චාරිකා අංක 01

ලංකාවේ පිහිටි අතිශය සුවිශේෂ පරිසර පද්ධතියක් ලෙස නිල්ගල රක්ෂිතය හඳුනා ගන්නට පුළුවනි. අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි නිල්ගල වියළි කලාපීය සදාහරිත වනාන්තරයක්. ඒ වගේම සැවානා වර්ගයේ වනාන්තර ලක්ෂණ (එනම් මාන ආදී ළඳු කැලෑවන් සහිත) මෙහි දක්නට පුළුවන්. ප්‍රමුඛතම ශාක දර්ශයන් වන්නේ අරළු, බුළු සහ නෙල්ලි යන ඖෂධීය ශාකයන්.
නිල්ගලට ළඟා වීම සඳහා අප භාවිත කළේ වැල්ලවාය - මොණරාගල හරහා බිබිලට පැමිණ බිබිල ඉඟිනියාගල මාර්ගයේ නිල්ගල පිවිසුමෙන් වනාන්තරයට පිවිසීමයි. ඒ අතරමග තවත් සුන්දර මෙන්ම පෞරාණිකව වැදගත් ස්ථාන කීපයකට යාමටත් අප අමතක කළේ නෑ.
අවලෝකිතේෂ්වර බෝසතුන්/තාරාදේවිය සහ නාඳුනන වෙනත් රුවක්
අපේ මුල්ම ගමනාන්තය වුණේ වැල්ලවායට කිලෝමීටර් කීපයක් මෙපිටින් පිහිටි බුදුරුවගල පුදබිමයි. වැල්ලවායේ සිට බුදුරුවගල හන්දියෙන් හැරී කටුක මගක කිලෝමීටර් හයක් පමණ පැමිණීමෙන් මේ රමණීය පුදබිමට පිවිසිය හැකියි. ගල්කුලක නෙළන ලද විශාලතම බුද්ධ ප්‍රතිමාවක් සහ ඒ දෙපස බෝසත් ප්‍රතිමා කීපයක් මෙහි දක්නට පුළුවනි. මේවා දහවැනි සියවසට පමණ අයත් බවයි සැලකෙන්නේ.
බුදුරුවගල ප්‍රධාන බුදු පිළිමය
මෙහි ප්‍රධාන බුදු රුව ගල් කුළකින් මතු කර හුණු බදාම වලින් පිරියම් කර නිමවා ඇති එකක්. කාලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ගෙන් පිළිමයේ සිවුරට යම් හානි සිදු වී ඇති බවක් නිරීක්ෂණය කරන්නට පුළුවනි. පිළිමයේ වම්පසින් තවත් පිළිම තුනක් දක්නට ලැබෙනවා.
බෝසත් පිළිම
ඒ බෝසත් පිළිම විය හැකියි. නමුත් ඒවා හඳුනා ගන්නට කිසිම පුවරුවක්වත් අහළ පහළක පිහිටුවා නෑ. මැද සිටින්නේ මෛත්‍රී බෝසතාණන් විය හැකි නමුත් මට එය සහතිකව කියන්නට බෑ. දැනුමැත්තෙක් මා නිවැරදි කරත්වා. මේ පිළිමවල යම් මහායානික ලක්ෂණයන් ගැබ්ව තිබෙන බවකුත් හැඟෙනවා. පුදබිමට පහළින් සුන්දර වැවකුත් පිහිටා තිබෙන අතර ඇතැම් කාලවල පුදබිමටම වන අලින් පැමිණෙන බව ආරංචි වුණා.
අපේ ඊළඟ නැවතුම වුණේ ඇල්ලේවල ඇල්ල.
ඇල්ලේවල ඇල්ල
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් කීපයක් ගමන් කිරීමෙන් පසු වමට හැරී තවත් කිලෝමීටර පහක් පමණ ගමන් කිරීමෙන් මේ සුන්දර ඇල්ලට ළඟා වන්නට පුළුවන්. මේ ඇල්ලේ සම්පූර්ණ ඡායාරූපයක් ගැනීමට මට හැකි නොවුණේ මගේ වයිඩ් ඈන්ගල් ලෙන්ස් එක ක්‍රියාවිරහිත වී තිබීම නිසා. මේ ඇල්ලේ ආකර්ෂණීයම අංගය තමයි එහි පහළ තටාකය. ඉතා නොගැඹුරු එකක් නිසා ඇල්ල පාමුලටම යන්න පුළුවන්. නමුත් උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ගල් විදීමක් නිසා ඇල්ලේ වතුර තනිකර කිරිපාටයි. ගල්වල පවා වියළුණු ගල්කුඩු ඇලී තිබුණ නිසා මම නම් ඇල්ලට බැස්සේ නෑ.
ඉන්පසු අපි කෙළින්ම නිල්ගල සොයා ඉගිලී ගියා. බිබිල - ඉඟිනියාගල මාර්ගයෙන් හැරී නිල්ගල වෙත යන මග ඉතාම දුෂ්කර එකක්. ඒ සඳහා ඔබට ජීප් රථයක සහාය ගන්නට සිදු වෙනවා.
නිල්ගල වනජීවී බංගලාව
අපි එදා රෑ නවාතැන් ගත්තේ නිල්ගල වනජීවී සංරක්ෂණ සංචාරක බංගලාවේ. එය ඔබට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා වෙන් කර ගන්නට පුළුවනි. ඉතාම අඩු මුදලකට සීමිත නමුත් තෘප්තිමත් පහසුකම් සලසන්නට එය සමත්.
පසුවදා උදෑසනම අපි වන සංචාරය ඇරඹුවා.
කන්නට දෙයක් සොයන මුවන්
කුඩුම්බේරිය හෙවත් බීඩි කොළ වෙනුවෙන් වනාන්තරය ගිනිතබා තිබුණෙන් හතර අතේම තිබුණේ හරිම ශුෂ්ක බවක්. කොහොමටත් සැවානා වනාන්තරයකට ගින්න නුපුරුදු නෑ. ඊළඟ වැස්සත් එක්ක මේ වන්නාන්තර නැවත දළු ලා වැඩෙනවා. නමුත් නිල්ගලට ආවේණික නිල්ගල සමනලයා වැනි සුවිශේෂ ජීව විශේෂ විනාශ වීම මහත් අභාග්‍යයක්.
නිල්ගල සමනලයා- Baronnet - Symphaedra nais
මේ ඉන්නේ නිල්ගල සමනලයා - Baronnet - Symphaedra nais මෙයා ඉතා සුවිශේෂ සමනලයෙක්. මුළු ලෝකයෙන්ම දක්නට ලැබෙන්නේ නිල්ගල පෙදෙසේදී පමණයි. රුපියල් විස්සේ නෝට්ටුවේ වම්පස දක්නට ලැබෙන්නේත් මෙයාම තමයි. 
ගල්ඔය
අධික පෑවිල්ලෙන් බොහෝ දියදහරා සිඳී ගොස් මේ වගේ දිය කඩිති බවට පත්ව තිබුණා. 
කහට ගෙඩි
මේ තියෙන්නේ කහට ගෙඩියක්. මේවා උණහපුළුවන්ගෙ රස ආහාර. කහට ගහක් යට රැයක් හිටියොත් අනිවාර්යෙන් උණහපුළුවෙක් බලා ගන්නට පුළුවන්.
අලි බෙටි මත ජීවය
ඉන් පසු අපි ළඟා වුණේ නිල්ගල පිහිටි සුවිශේෂතම භූ ලක්ෂණය නැරඹීමටයි. සංචාරකයන් අතර මෙය මකරෙ නමින් ප්‍රකටයි. ගල්ඔය මෙතැනදී අතුරුදහන් වෙනවා එකවරම. නැවත එය මතු වන්නේ සේනානායක සමුද්‍රයෙන් බවයි පැවසෙන්නේ.
මකරේ
මේ සුන්දර වනචාරිකාව නිමවා අපි ඉන්පසු උඩවලව බලා පිටත්ව ගියා. ඒ විස්තර ඊළඟ කොටසින්.