Thursday, January 12, 2023

සඳගලතැන්න හරහා රාජමලේ පාරෙන් සිරිපා

 

මේ වෙන කොට මම හය වතාවක් සමනල කන්ද තරණය කරල තියෙනව. එයින් තුන් වතාවක් තනියම. සාමාන්‍යයෙන් අවදානම් නැති ගමනක් මම තනියම ගියාට චම්මිගෙන් ප්‍රතිරෝධයක් නෑ. හැබැයි මේ පාර ගමන ලෑස්ති වෙද්දි කිව්ව පහුගිය ටිකේ පොඩි පොඩි අසනීප ගති තිබ්බ නිසා තව කවුරුහරි ගමනට සම්බන්ධ කර ගත්තා නම් හොඳයි නේද කියල. ඒ පාර මම ගමන යන දිනය දාල එන්න කැමති අය ඉන්නවද කියල පෝස්ට් එකක් දැම්ම. ඒකෙත් සුපුරුදු පරිදි මයෙ මිත්‍රප්‍රතිරූ'පකයො' ටික හාන්න ගත්ත පාර මං හෙමීට ඒක අකුළ ගත්ත 🤣

මීට කලින් කුරුවිට එරත්න පාරෙනුත්, පලාබද්දල රජ මාවතෙනුත් තනියම ගිහින් තිබුණු නිසා මට ඕන වුණා වෙනස් පාරකින් යන්න. ඒත් උඩමාලිබොඩ පාරත්, දෙහෙනකන්ද මුක්කුවත්ත පාරත් තනියම යන්න සුදුසු නැති නිසා ඒ දෙකම ලිස්ට් එකෙන් අයින් කලා. ඔය අතරෙ තමා මම දැක්කෙ සඳරුවන්ගෙ වීඩියෝ එකක් සඳගලතැන්න හරහා ගිහිපු. හරි ! මෙන්න මං යායුතුම පාර... 

මං තීරණය කළේ පහසු පාරකින් උඩට ගිහින් බහිද්දි සඳගලතැන්න හරහා රාජමලේ වතුයායට එන්න. මොකද උදේට මස්කෙළියට එන්න මොකක් හරි වාහනයක් හොයා ගන්න පුළුවන් කියලා හිතුණ නිසා. ඉතිං දහවෙනිදා උදේ මම කොළඹින් හැටන් බස් එකක නැගිලා ශ්‍රීපාදය බලා පිටත් වුණා.

නල්ලතන්නිය හරහා කරපු ඇසෙන්ඩින් එකේ විස්තර මම කියන්න යන්නෙ නෑ. මොකද ගොඩක් අය ගිහිපු පාරක් වගේම කියන්න ලොකු විස්තරයක් නෑ ඒ පාරෙ. විශේෂ දෙයක් හැටියට මම දැක්කෙ බොහොම සීමිත පිරිසක් සංචරණයේ යෙදීම. මේ පාරෙ මෙහෙම නම් රත්නපුර කුරුවිට පාරවල් වල කවුරුත් නැතුව ඇති කියල මට හිතුණ. ඒ එක්කම කඩවල් වලින් වෑහුණ කුණුරස සංගීතය ඉතා අඩුයි මේ පාර. ඒ වෙනුවට තැනින් තැන හයි කරපු ලවුඩ්ස්පීකර් වලින් බුදු ගුණ ගී එහෙම ඇහුණ. ඒකත් නොතිබුණා නම් හොඳයි හැබැයි. 

අතරමග

උඩමළුවෙත් වෙනදා තරම් සෙනගක් හිටියෙ නෑ. සැනසිල්ලේ ටික වෙලාවක් ඉඳගෙන ඉන්නත් පුළුවන් වුණා. ගාණ්ඨාරෙත් හය පාරක් ගහලා විශ්‍රාම ශාලාවෙන් ටිකක් හාන්සි වුණා. පාන්දර දෙක තුන වෙද්දි පිරිස ටිකක් වැඩි වුණා. ඒ එක්කම සීතල දරා ගන්න බැරි තරම්.

උදේම ඉර පායන හැටි බැලුවා. ඒ එක්කම අවට කඳු ටික ක්‍රමයෙන් ආලෝකවත් වෙමින් දර්ශනය වෙන්නෙ හීනයක් වාගෙ. 

ඉර සේවය

ඊට පස්සෙ හැටන් පාරෙ මහගිරි දඹය බැහැලා රාජමලේ පාරට හැරෙන තැනට ආවා. මහගිරි දඹයෙ අත්වැට පටන් ගන්න තැනම කැලය ඇතුළට දිවෙන පුංචි අඩි පාරක් ඒක.

මේ අඩි පාරෙ සෑහෙන දුරක් දිවෙන්නෙ කරක් උසට වැවුණ නෙළු ගාලක් මැද්දෙන්.

පාරේ ආරම්භක ස්ථානය 

 ඒ නිසා තරමක අඳුරක් පවතිනවා. තැනක දෙකක නෙළු පඳුරු ඈත් වෙන තැන්වලින් හරි අපූරු දර්ශන මැවෙනවා. ඒක නම් වචනයෙන් කියන්න බැරි තරම් සුන්දරයි. 

නෙළු ගාල මැදින්

අතරමැදින් සොඳුරු දසුන්

ඊට පස්සෙ ඔබ ඇතුළු වෙන්නෙ නොඉඳුල් වලාකුළු වනාන්තරයක් තුළට. තැනින් තැන පෙඳ පාසි හෙවුණ අතු ඉති සහිත නූස් ගස්. සුරංගනා ලෝකයක් වාගෙ දර්ශනයක් මවන්නෙ.අතරමැද පිරිසිදු වතුර සහිත පුංචි දියපාරක් තියනවා. බොන්න සුදුසු වතුර.

මුළු පාරම අපහසුවක් නැතුව සොයා ගන්න පුළුවන්. මෙහෙම ටික දුරක් එද්දි පුංචි තැනිතලාවක් මුණ ගැහෙනවා. ඒ තමයි සුප්‍රකට සඳගලතැන්න 

සඳගලතැන්නට පෙනෙන සමනල පර්වතය 

මේ තැන්නට ශ්‍රීපාදයේ ඉතා මනහර දර්ශනයක් පෙනෙනවා.

අතරමැද මුණ ගැහුණු කොටි වසුරු හිතට ගෙනාවේ මද බියක්. ඒ නිසා මම වැඩිපුර ප්‍රමාද නොවී ඉක්මණටම එතැනින් පිටත් වුණා.

කොන්ක්‍රීට් පාරෙන් හැරෙන තැන

ගමන අවසාන වන්නේ මරේ වතුයායේ රාජමලේ කොටසින්. මගේ වාසනාවට වත්තෙන් මස්කෙළියට යන බස් එක තිබුණා.

වත්තේ බස් එක

 ඒකට ටිකක් වෙලාව තිබුණු නිසා බස් එකේ ඩ්‍රයිවර් රවී මට තේ එකක් බොන්න ගෙදරට කතා කලා. රවීගෙ පුංචි පුත්‍රයා එක්ක සෙල්ෆියක් ගහන්න හම්බ වුණේ ඒ වෙලාවෙ.

බස් එකේ වීදුරුවෙන් පෙනෙන දසුන

රවීලා හරි අව්‍යාජ අහිංසක මිනිස්සු. අතිදුෂ්කර වතුපාරක බම්පි රයිඩ් එකකට පස්සෙ බස් එක නල්ලතන්නිය පාරට ආවෙ. මස්කෙළියෙන් හැටන් වෙතත් එතැනින් කොළඹ බස් එකේ කඩුවෙලටත් ඇවිත්, අධිවේගී මාර්ගයේ බස් එකක මම අන්තිමේ ගෙදර ආව. 

මේ පාරෙ යන්න කවුරුහරි හිතනවා නම් මේ ටික කල්පනා කරන්න.

1. රාත්‍රී ගමන් නුසුදුසුයි. වනගත අප්‍රකට මගක් නිසා විදුලිබලය නෑ.

2. ඔබ සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් සිටිය යුතුයි. උදව්වට කිසිවෙක්ම නෑ. මම පහළට එනතුරුම කිසිම කෙනෙක් මුණ ගැහුණේ නෑ.

3. මස්කෙළියෙන් රාජමලේට එන්න නිතරම බස් නෑ. පුදුකාඩු සිට ත්‍රීවීලර් එකක එන්න පුළුවන්.

4. කොටියා සහ වල් ඌරා ගැවසෙන පෙදෙසක්. කල්පනාවෙන්.. 

5.සඳගලතැන්නෙ කෑම්පින් කරන්න හිතන්න එපා. මේක අධිරක්ෂිතයක්

Wednesday, April 22, 2020

Buddhangala Hermitage - අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම


 අම්පාර සංචාරකයෙකුට නම් පාරාදීසයක්. ඉඟිනියාගල, ගල්ඔය ආදී ස්වභාවික සුන්දර මංපෙත් මෙන්ම පෞරාණික ලාංකීය ශ්‍රී විභූතිය විදහාපාන බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන අම්පාරේ බහුලයි. ඉතින් අද සොබාරූ චාරිකාව නැගෙනහිර පළාතේ මේ අතිශය අපූරු අම්පාර නගරයටයි. අතීතයේ අම්බර පසුව අඹාර වී දැන් අම්පාර ලෙස වැහැරෙන මෙය නැගෙනහිර පළාතේ අගනගරය ලෙස අවිවාදිතයි. 
අම්පාර නගරයෙන් කිලෝමීටර් හයක් තරම් මෑතින් පිහිටි පුරාවිද්‍යාත්මකවත් ආගමිකවත් අතිශය වැදගත් වූත් එමෙන්ම පාරිසරිකව අතිශයින් සෞන්දර්යාත්මක වූත් බිම් කඩක් බුද්ධංගල. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස පමණ අතීත කාලයක ඉතිහාසයක් මෙයට හිමියි.
අග්‍රශ්‍රාවක ධාතූන් නිධන් කළ චෛත්‍යය
ශේෂ කඳු මුදුන් හයකින් පමණ සමන්විත මෙහි එක් කඳු මුදුනක සුවිශේෂ චෛත්‍යයක් පිහිටා තිබෙනවා. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවයකයන් වහන්සේලාගේ ධාතූන් මෙහි නිධන් කොට ඇති බව පැවසෙනවා. එක් අවාසනාවන්ත යුගයක කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව තිබී විනාශ මුඛයට ඇද වැටුණ මෙම ස්ථානය අද බැතිමතුන්ගේ නිබඳ වන්දනාවට පාත්‍ර වෙනවා.
ගල්විහාර අනුරුව
මේ වන විට මෙහි ගල්තලා පුරා නවීන ඉදිකිරීම් රාශියක් දක්නට ලැබෙනවා. මගේ පුද්ගලික හැඟීම නම් මේ සිමෙන්ති කොන්ක්‍රීට් ඉදිකිරීම් වලින් මෙම ස්ථානයේ පෞරාණික අගයත් ස්වභාවික සෞන්දර්යයත් වැනසී යන බවයි. 
මේ උස් කඳුමුදුන පවා අලිඇතුන් නිතර සැරිසරන තැනක් බවට සාධක සාක්ෂි බොහොමයි. ගල් පර්වත බෑවුමක තිබුණ අලි බෙටි කියා පෑවේ ඊයේ රාත්‍රියේත් සද්ධන්තයන් මෙහි වන්දනාවේ පැමිණි බවයි.
සද්ධන්තයාගේ සලකුණු
පෞරාණික අගය සේම ස්වභාව සෞන්දර්යයෙනුත් බුද්ධංගල බොහොම ඉහළ තැනක පිහිටනවා. ගල්තලා පුරා විහිදුණ ස්වභාවික ගල්කෙමි වල පිරුණු දිය පිස එන සුළඟ ගිනියම් හිරු රැස්වල දාහය නිවා දමන්නට සමත්. එමෙන්ම සුන්දර දිගාමඩුල්ල කුරුලු ඇසින් නිරීක්ෂණය කරන්නටත් මෙතැන කදිමයි.
කුරුලු ඇසින් දිගාමඩුල්ල
නොයෙක් වර්ගයේ පක්ෂීන් මෙන්ම රිලවුන් ආදී ක්ෂීරපායීන්ද නිභයව මෙහි සරන්නේ මෙතැන අභය ඇති බව දන්නා නිසාමයි.
දුම් බොන්නා - Indian Roller 
මේ ඉහත ඡායාරූපයේ සිටින්නේ දුම්බොන්නා හෙවත් Indian Roller. ගැමියන් හේන් ගිනි තැබූ පසු නැගෙන දුම හරහා කට ඇර ගෙන පියාඹන නිසා ගැමියන් තැබූ නම තමයි දුම් බොන්නා. ඇත්තටම එයා එහෙම කට ඇර ගෙන පියාඹන්නේ දුමට ඇවිස්සි ඉහළ නගින කෘමි සතුන් ගිල දාන්නටයි.
රිලා ආදරේ
ලංකාවේ හුඟක් පුදබිම් වල සුලබ සත්ත්වයෙක් නේ මේ රිලවා (Toque macaque - Macaca Sinica) මුන්දෑ කොයිතරම් සුලබ වුණත් ලංකාවට ආවේණික විශේෂයක් බවත් නොකියාම බෑ.
අඬනහිරියා - Clotoralia mucronata
බුද්ධංගල ගමනින් පසුව මම හෙමින් මගේ නවාතැනට ගියා. මං නවාතැන් ගත්තේ අම්පාර වැව අසළම පිහිටි පුංචි නවාතැන් පොළක. එදා පසළොස්වක පෝයදාට පසු දා නිසාම රාත්‍රියේ වැව අසළ මැවුණ සෞන්දර්යය නම් මට වචනයෙන් විස්තර කරන්නට බැහැ. නමුත් රාත්‍රී කාලයේ වැව අසළ නිතර වන අලි සරන බැවින් එළිමහනේ ගත කිරීම නුසුදුසු බව නවාතැන භාරකරු පැවසූ නිසා මම ඉක්මණින් ඇතුළට ගියා.
රාත්‍රිය මනරම්
පසුදා උදෑසනම කැමරාවත් රැගෙන මම දිව ගියේ වැව ළඟටයි.
ජීවන සටන
මේ දෙගොල්ලන්ම එක හා සමාන ජීවන සටනක නිරත වෙනවා. ධීවරයන් අසළම මේ සිටින්නේ පැස්තුඩුවන් හෙවත් Spot Billed Pelicans කීපදෙනෙක්.
අම්පාර වාපියට ඉහළින් මේ සුදෝසුදුව දිලෙන්නේ සාම චෛත්‍ය රාජයායි.
සාම චෛත්‍යය
අම්පාරේ තවත් සොඳුරු තැන් ඊළඟ සටහනින් බලමු.

Wednesday, September 18, 2019

Udawalawa National Park - නිල්ගල චාරිකා අංක 02 - උඩවලවේ සිත නැළැවේ

පහුගිය චාරිකා සටහන මම නිමා කළේ ඊළඟට උඩවලවේ විස්තර රැගෙන එන බවට පොරොන්දු වෙලා. ඒ චාරිකා සටහන මග ඇරුණා නම් මෙතනින් බලන්න. http://sobaroo.blogspot.com/2019/08/nilgala-forest-expedition-01.html
නිල්ගල වන උයනට සමුදී අපි ඊළඟට පිටත් වුණේ උඩවලව ජාතික වනෝද්‍යානයට එන්නටයි. ඇත්තටම අපේ ප්ලෑන් එකේ උඩවලව තිබුණේ නෑ. ගමනේ දෙවැනි දවසේ හිතුණ තැනක යනවා කියන අදහසිනුයි අපි පාරට ආවේ. මඳ පොද වැස්සේ ආශිර්වාදයත් ලබමින් බිබිල, වැල්ලවාය හරහා තණමල්විලට ආපු අපි එතැනින් උඩවලව ජාතික වනෝද්‍යානයේ පිිවිසුමට ප්‍රවේශ වුණේ සවස හතරට ආසන්නවයි.
වැව් පිටියේ
දවසේ ඕනෑම වෙලාවක අලිඇතුන් බලන්නට පුළුවන් වන උයනක් ලෙසයි උඩවලව ප්‍රකටව ඇත්තේ. සබරගමුව හා ඌව පළාත්වලට මායිම්ව පිහිටි මෙම ජාතික උද්‍යානය පුරා බහුලව දක්නට ඇත්තේ සැවානා මිශ්‍ර තණබිම් නිසා අලි ඇතුන් හොඳින් දැක ගන්නට පුළුවන්.
මොණරින්දු
දීර්ඝ කාලීන නියඟයක් හමාර කරමින් මඳ වැසි ඇද හැළෙන සමයකයි අපි චාරිකාව ගියේ. ඒ නිසා දූවිල්ල මැකී ගහකොළ ප්‍රාණවත්ව තිබෙනු මනාව දකින්නට ලැබුණා.
කෘතිම පොකුණුවල තුන්පත් රෑන්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තැනින් තැන කෘතිම පොකුණු සකස් කර තිබුණේ අධික නියඟය නිසා පීඩාවට පත් වන වන සතුන් වෙනුවෙනුයි. මේ එවන් පොකුණක් අබියස පවස නිවා ගන්නා තුන්පත් රෑනක්.
වනය පුරා විසිරී තිබෙන ජලාශයන් සිඳී පැළි වළං සේ තිබුණේ නියඟයේ තරම කියාපාමින්.
පැළි වලං පැලුණු පොළව
මෙසේ සිඳීගිය ජලාශයක් අබියස මඳ වේලාවක් රැඳී සිටීමෙන් බොහෝ සුන්දර දසුන් දක්නට හැකියි.
කිඹුල් මොටා
සිඳුණු ජලාශයන් කිඹුලන්ගෙන් අරක්ගෙන තිබුණා. පවසින් පීඩිතව දියට බසින අසරණයන් ඔවුන්ගේ ඉලක්කයයි.
කරවැල් කොකා
මල් පිළිහුඩුවා - Common Kingfisher
පිළිහුඩු වර්ග කිහිපයක්ම මේ අවට දක්නට ලැබුණා. 
ගෝමර පිළිහුඩුවා - Pied Kingfisher - Ceryle rudis
Black winged stilt - කළුපිය ඉපල්පාවා ඉතා ඈතක සිට ගන්නා ලද රූප රාමුවක් බව සලකන්න. කුරුල්ලන්ගේ කූඩු ඡායාරූපයට නැගීම අතිශයින් නරක ක්‍රියාවක්. නමුත් මෙය ජීප් රථයක සිට බොහෝ ඇතින් ගන්නා ලද්දකි.

කෑදැත්තා


දුම් බොන්නා - Indian Roller - Coracias benghalensis

White Bellied Sea Eagle - කුසඇලි සයුරුකුස්සා Haliaeetus leucogaster

ගල්අමුණ වැව
 ගල් අමුණ වැව මේ උයනේ දක්නට ලැබෙන සුන්දරතම ස්ථානයක්. හවස් වරුවේ මේ වැව් පිටිය පුරා අලි රංචු දකින්න පුළුවනි.
භාවනා

පණු දළයෙක්
 මේ අලි පැටවාට පණුදළයක් තියෙනවාද නැත්නම් ඇත් පැටියෙක්ද?

වැව් පිටියේ ගමන් බිමන්

අම්මා පසුපස


මල් පිළිහුඩුවා -Common Kingfisher - Alcedo atthis
චාරිකාවේ ඊළඟ කොටසින් මදුනාගල, සංඛපාල විහාරය හා ඇත්අතුරු සෙවණේ විස්තර කියන්නම්.

Wednesday, August 21, 2019

Nilgala Forest Expedition - බුද්ධදාස රජතුමන්ගේ ඔසු උයන - නිල්ගල චාරිකා අංක 01

ලංකාවේ පිහිටි අතිශය සුවිශේෂ පරිසර පද්ධතියක් ලෙස නිල්ගල රක්ෂිතය හඳුනා ගන්නට පුළුවනි. අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි නිල්ගල වියළි කලාපීය සදාහරිත වනාන්තරයක්. ඒ වගේම සැවානා වර්ගයේ වනාන්තර ලක්ෂණ (එනම් මාන ආදී ළඳු කැලෑවන් සහිත) මෙහි දක්නට පුළුවන්. ප්‍රමුඛතම ශාක දර්ශයන් වන්නේ අරළු, බුළු සහ නෙල්ලි යන ඖෂධීය ශාකයන්.
නිල්ගලට ළඟා වීම සඳහා අප භාවිත කළේ වැල්ලවාය - මොණරාගල හරහා බිබිලට පැමිණ බිබිල ඉඟිනියාගල මාර්ගයේ නිල්ගල පිවිසුමෙන් වනාන්තරයට පිවිසීමයි. ඒ අතරමග තවත් සුන්දර මෙන්ම පෞරාණිකව වැදගත් ස්ථාන කීපයකට යාමටත් අප අමතක කළේ නෑ.
අවලෝකිතේෂ්වර බෝසතුන්/තාරාදේවිය සහ නාඳුනන වෙනත් රුවක්
අපේ මුල්ම ගමනාන්තය වුණේ වැල්ලවායට කිලෝමීටර් කීපයක් මෙපිටින් පිහිටි බුදුරුවගල පුදබිමයි. වැල්ලවායේ සිට බුදුරුවගල හන්දියෙන් හැරී කටුක මගක කිලෝමීටර් හයක් පමණ පැමිණීමෙන් මේ රමණීය පුදබිමට පිවිසිය හැකියි. ගල්කුලක නෙළන ලද විශාලතම බුද්ධ ප්‍රතිමාවක් සහ ඒ දෙපස බෝසත් ප්‍රතිමා කීපයක් මෙහි දක්නට පුළුවනි. මේවා දහවැනි සියවසට පමණ අයත් බවයි සැලකෙන්නේ.
බුදුරුවගල ප්‍රධාන බුදු පිළිමය
මෙහි ප්‍රධාන බුදු රුව ගල් කුළකින් මතු කර හුණු බදාම වලින් පිරියම් කර නිමවා ඇති එකක්. කාලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ගෙන් පිළිමයේ සිවුරට යම් හානි සිදු වී ඇති බවක් නිරීක්ෂණය කරන්නට පුළුවනි. පිළිමයේ වම්පසින් තවත් පිළිම තුනක් දක්නට ලැබෙනවා.
බෝසත් පිළිම
ඒ බෝසත් පිළිම විය හැකියි. නමුත් ඒවා හඳුනා ගන්නට කිසිම පුවරුවක්වත් අහළ පහළක පිහිටුවා නෑ. මැද සිටින්නේ මෛත්‍රී බෝසතාණන් විය හැකි නමුත් මට එය සහතිකව කියන්නට බෑ. දැනුමැත්තෙක් මා නිවැරදි කරත්වා. මේ පිළිමවල යම් මහායානික ලක්ෂණයන් ගැබ්ව තිබෙන බවකුත් හැඟෙනවා. පුදබිමට පහළින් සුන්දර වැවකුත් පිහිටා තිබෙන අතර ඇතැම් කාලවල පුදබිමටම වන අලින් පැමිණෙන බව ආරංචි වුණා.
අපේ ඊළඟ නැවතුම වුණේ ඇල්ලේවල ඇල්ල.
ඇල්ලේවල ඇල්ල
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් කීපයක් ගමන් කිරීමෙන් පසු වමට හැරී තවත් කිලෝමීටර පහක් පමණ ගමන් කිරීමෙන් මේ සුන්දර ඇල්ලට ළඟා වන්නට පුළුවන්. මේ ඇල්ලේ සම්පූර්ණ ඡායාරූපයක් ගැනීමට මට හැකි නොවුණේ මගේ වයිඩ් ඈන්ගල් ලෙන්ස් එක ක්‍රියාවිරහිත වී තිබීම නිසා. මේ ඇල්ලේ ආකර්ෂණීයම අංගය තමයි එහි පහළ තටාකය. ඉතා නොගැඹුරු එකක් නිසා ඇල්ල පාමුලටම යන්න පුළුවන්. නමුත් උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ගල් විදීමක් නිසා ඇල්ලේ වතුර තනිකර කිරිපාටයි. ගල්වල පවා වියළුණු ගල්කුඩු ඇලී තිබුණ නිසා මම නම් ඇල්ලට බැස්සේ නෑ.
ඉන්පසු අපි කෙළින්ම නිල්ගල සොයා ඉගිලී ගියා. බිබිල - ඉඟිනියාගල මාර්ගයෙන් හැරී නිල්ගල වෙත යන මග ඉතාම දුෂ්කර එකක්. ඒ සඳහා ඔබට ජීප් රථයක සහාය ගන්නට සිදු වෙනවා.
නිල්ගල වනජීවී බංගලාව
අපි එදා රෑ නවාතැන් ගත්තේ නිල්ගල වනජීවී සංරක්ෂණ සංචාරක බංගලාවේ. එය ඔබට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා වෙන් කර ගන්නට පුළුවනි. ඉතාම අඩු මුදලකට සීමිත නමුත් තෘප්තිමත් පහසුකම් සලසන්නට එය සමත්.
පසුවදා උදෑසනම අපි වන සංචාරය ඇරඹුවා.
කන්නට දෙයක් සොයන මුවන්
කුඩුම්බේරිය හෙවත් බීඩි කොළ වෙනුවෙන් වනාන්තරය ගිනිතබා තිබුණෙන් හතර අතේම තිබුණේ හරිම ශුෂ්ක බවක්. කොහොමටත් සැවානා වනාන්තරයකට ගින්න නුපුරුදු නෑ. ඊළඟ වැස්සත් එක්ක මේ වන්නාන්තර නැවත දළු ලා වැඩෙනවා. නමුත් නිල්ගලට ආවේණික නිල්ගල සමනලයා වැනි සුවිශේෂ ජීව විශේෂ විනාශ වීම මහත් අභාග්‍යයක්.
නිල්ගල සමනලයා- Baronnet - Symphaedra nais
මේ ඉන්නේ නිල්ගල සමනලයා - Baronnet - Symphaedra nais මෙයා ඉතා සුවිශේෂ සමනලයෙක්. මුළු ලෝකයෙන්ම දක්නට ලැබෙන්නේ නිල්ගල පෙදෙසේදී පමණයි. රුපියල් විස්සේ නෝට්ටුවේ වම්පස දක්නට ලැබෙන්නේත් මෙයාම තමයි. 
ගල්ඔය
අධික පෑවිල්ලෙන් බොහෝ දියදහරා සිඳී ගොස් මේ වගේ දිය කඩිති බවට පත්ව තිබුණා. 
කහට ගෙඩි
මේ තියෙන්නේ කහට ගෙඩියක්. මේවා උණහපුළුවන්ගෙ රස ආහාර. කහට ගහක් යට රැයක් හිටියොත් අනිවාර්යෙන් උණහපුළුවෙක් බලා ගන්නට පුළුවන්.
අලි බෙටි මත ජීවය
ඉන් පසු අපි ළඟා වුණේ නිල්ගල පිහිටි සුවිශේෂතම භූ ලක්ෂණය නැරඹීමටයි. සංචාරකයන් අතර මෙය මකරෙ නමින් ප්‍රකටයි. ගල්ඔය මෙතැනදී අතුරුදහන් වෙනවා එකවරම. නැවත එය මතු වන්නේ සේනානායක සමුද්‍රයෙන් බවයි පැවසෙන්නේ.
මකරේ
මේ සුන්දර වනචාරිකාව නිමවා අපි ඉන්පසු උඩවලව බලා පිටත්ව ගියා. ඒ විස්තර ඊළඟ කොටසින්.