Monday, July 16, 2012

දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස

සමනළයා යනු අපූර්වතම ජීවියෙක්. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ සමනළයා සුවිශේෂ චරිතයක්.බොහෝ කවීන්ට වස්තු බීජ සැපයූ අපූර්වතම විචිත්‍ර ජීවියා වන්නේත් සමනළයායි. දිවාචර සත්ත්ව විශේෂයක් වන සමනලුන් අයත් වන්නේ සියලු කෘමීන් අයත්වන ඉන්සෙක්ටා (Class: Insecta) වර්ගයයේ ලෙපිඩෝප්ටෙරා (Order: Lepidoptera)ගෝත්‍රයටයි. ශ්‍රීලංකාව නිවහන කරගත් සමනළ විශේෂ ගණන 245 ක්. ඒ අතරින් විශේෂ 23 ක් අපේ රටට ආවේනිකයි. මේ සමනළ විශේෂ අතරින් 76 ක්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. මා මෙහිලා පළ කරන බොහෝ ඡායාරූප (සියයට අසූවක් පමණ) අපේ වත්ත පිටිය අවට සැරිසරන සමනළ විශේෂයන්. කැමරාව සමග වත්තේ කරන ලද චාරිකා වලදී තමයි මම මේ පල නෙලා ගත්තේ. (වෙනත් වනගත ප්‍රදේශවලදී ගත් ඡායාරූප කීපයකුත් තියෙනවා) බොහෝ සමනළ විශේෂ හඳුන්වන නිශ්චිත සිංහල නම් නැහැ. අපි ඕනෑම සමනයෙක් හඳුන්වන්නේ නිකම්ම සමනළයා නමින්. ඒ නිසා මම මේ සමනලුන් හඳුන්වන විද්‍යාත්මක නම් සහ ඉංග්‍රීසි නම් පමණක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. එහෙනම් බලමු ෆොටෝ ටික...


1. Gray Pansy - (Junonia atlites)
Gray Pansy - Junonia atlites
Nymphalidae කුලයට අයත් මෙම සමනළයා දකුණු ආසියානු රටවල දක්නට ලැබෙන සුලබ සමනයෙක්. විශේෂයෙන්ම පහතරට තෙත් කලාපයේ ගෙවතු ආශ්‍රිතව නිතර දක්නට ලැබෙනවා. මේ සුන්දර සමනළයා මගේ කැමරාවට හසු වුනේ අපේ ගෙවත්තෙදියි. මේ එයාගේ තවත් ඡායාරූපයක්.
Gray Pansy - Junonia atlites
මේ ඉන්නෙත් Gray Pansyමයි.
Gray Pansy - Junonia atlites

2. Psyche - (Leptosia nina)
Psyche - Leptosia nina
 තරමක් කුඩා සමනලයෙකු වන Psyche බොහෝ ගෙවතුවල දක්නට ලැබෙන සුලබම සමනළ සාමාජිකයෙක්. මෙයා අයත් වන්නේ Pieridae කුලයටයි. ගිනිකොන දිග ආසියානු රටවල් හා ඉන්දියානු උපමහද්වීපයේත් මෙයා සුලබව හමුවෙනවා. නිතර තණකොළ ආශ්‍රිතව බිම්ස්තරයට සමීපව හැසිරෙන සමනළයෙක්. 

තරමක් අසංවිධිත පියාසර රටාවකින් යුක්ත නිසා එකවර ඡායාරූපයකට ග්‍රහණය කරගැනීම අසීරුයි. බොහෝවේලා ඉවසිල්ලෙන් බලාසිටීමෙන් ලද ප්‍රතිඵලය තමයි මේ.
Psyche - Leptosia nina


3. Grass yellow - Eurema blanda
Grass Yellow - Eurema blanda
Pieridae කුලයටම අයත් තවත් කුඩා සමනල් විශේෂයක්. ඉන්දියාව හා ලංකාව ආශ්‍රිතව හමුවන සුලබ සමනළ විශේෂයක්. විශේෂයෙන්ම තෙත් කලාපයේ රේල් පාරවල් අද්දර වැවුණු කුඩා කහපාට tridax මල් යායවල් අතරේ මේ සමනළයා ඉතාම සුලබව දකින්නට පුළුවනි. මේ ඡායාරූපය ගත්තෙත් එසේ මලක වසා සිටියදීයි.
Grass Yellow - Eurema blanda
තවත් සමනළ ඡායාරූප රාශියක් මා සතුව පවතිනවා. ඉදිරි ලිපි වලින් සෙසු ඡායාරූපත් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. සමනළයෙකු ඡායාරූප ගත කිරීම තරමක් අසීරු කටයුත්තක්. ඒ සඳහා හොඳ ඉවසීමක් අවශ්‍ය කරනවා. ඒ වගේම යහපත් කැමරා උපකරණ (මැක්‍රෝ ලෙන්ස් ආදී) තිබීමත් අවශ්‍යයි. නමුත් මම මේ සියලු ඡායාරූප ගත්තේ Nikon P60 සහ Canon SX10IS යන සංයුක්ත කැමරා දෙකෙන්. සමනලුන්ට අවශ්‍ය පරිසරය ඔබේ ගෙවත්තේ ඇති කරන්නට පුලුවන්නම් ඔවුන් ආකර්ෂණය කර ගන්නට පුළුවන්. බොහෝ සමනලුන් තරමක් සෙවන සහිත තෙත් පරිසරයන් ප්‍රිය කරනවා. ඒ වගේම වරා, බලුනකුට, සප්සඳ ආදී ශාක වලට ඔවුන් ආකර්ෂණය වන බව මා අත්දැකීමෙන් දන්නා කාරණයක්. ඉතින් ඔබත් අත්හදා බලන්න. වඩා සමීපව බැලු විට සමනළ ලෝකය කොයිතරම් විචිත්‍ර දැයි ඔබට දැනේවි. හමුවෙමු නැවතත් තවත් සමනළ ඡායාරූප පෙළක් සමග... 

8 comments:

  1. අනාගතයට ගොඩාක් වැදගත් වෙනවා.

    ස්තුතියි මේ ලිපියට.

    ReplyDelete
  2. අනාගතේට සමනල්ලු මොකටද? කොහොම උනත් ඕනෑම අවශ්‍යතාවයකට මෙතනින් පින්තූර සහ තොරතුරු ගත්තට මගේ අමනාපයක් නෑ. හැබැයි ඉතින් ගත්තේ මෙතනින් කියලා කියනවනම් ඇති. ස්තූතියි මේ පැත්තේ ආවට.

    ReplyDelete
    Replies
    1. අනාගතේට කිවුවේ කුඩා ළමයෙක ඉල්ලුවොත් හා විස්තර ඇහුවොත්.

      Delete
    2. එහෙම මිසක්! මං බැලුවා අනාගතේට සමනල්ලු මොකටද කියලා? LOL!

      Delete
  3. විස්තරය සහ පින්තූර ටික අපූරුයි .. ඔහොම යං ...!

    ReplyDelete
    Replies
    1. බොහොම පිං ගාමිණි අයියා. ඔයා දෙන support එක සැහෙන වටිනවා.

      Delete
  4. ඔබේ ගෙවත්තටත් ලස්සන පාට පාට සමනලයින් ගෙන්වා ගන්න අවශ්‍ය නම් පහත සඳහන් මල් පැල ඔබේ ගෙවත්තේ සිටුවා ගන්න. සමනලයින්ගේ ජීවන චක්‍රය සඳහා අත්යාවශ්යම පැල ගැන ඔබව දැනුවත් කිරීම අපගේ බලාපොරොත්තුවයි. එසේම අප පරිසර පද්ධතියයෙන් වඳවි යන සත්ව කොට්ටාශය ක් වන සමනලුන් රැක ගැනීමට දරන උත්සහායක්.
    සති කිහිපයක් ඇතුළත ආකර්ෂණීය හා විචිත්‍රවත් සමනලුන් පිරි ගෙමිදුලක් ලබාගැනීම සඳහා ඉතා පහසුවෙන් පැල කරගත හැකිය. සමනලයින් ආකර්ෂණය කරන Plants මිලදි ගැනීම සඳහා අපව අමතන්න 0 723 723 888
    https://www.facebook.com/smanalaplantshop.lk

    ReplyDelete
    Replies
    1. මේ මල් වල නම් ටිකක් දාන්න පුලුවන්ද

      Delete