Wednesday, September 12, 2018

හුදෙකලාවේ හිතුමතේ - Waterfall Hunting Solo Travel


පහුගිය දොහක ආයෙත් හිතූ මනාපෙ සංචාරයක් යන්න අවස්ථාවක් එළඹුණා. මෙදාපාර තනියම. තනිව සංචාරය හෙවත් සෝලෝ ට්‍රැවලින් කියන්නෙත් හරිම අපූරු අත්දැකීමක්. මං තීරණය කළේ බදුරලිය-කලවාන-රත්නපුර අවට දියඇලි ගවේෂණයකට යන්නයි. මේක ටිකක් අවදානම් ගමනක් නිසාම මං තීරණය කළා කැමරා ආම්පන්න රැගෙන නොයන්න. මොකද වැස්සකට එහෙම අහුවුණොත් ඕවා පරිස්සම් කරන එක අමාරු වැඩක්. ඒ නිසා අද සොබා රූ සේරම පින්තූර මගෙ ෆෝන් එකෙන් ගත්තුවා.
පාන්දර පහට විතර ගෙදරින් ස්කූටරේ නැගලා පිටත් වුණු මං බටපොළ-ඇල්පිටිය-පිටිගල හරහා පැලවත්තට ආවා. පැලවත්තෙන් කළුගල හරහා වැටුණ ලස්සන පාරක් තියෙනවා. ඒක කෙළින්ම කලවාන පාරට බදුරලියෙන් සෙට් වෙන්නෙ. 

පාතරාසයත් මොරපිටිය දිහායින් අරගෙන මං මුල්ම දියඇල්ල බලන්න අත්වැල්තොටදි නතර වුණා. මේක බෝම ප්‍රකට ඇල්ලක් වගෙම ළඟාවෙන්නත් බොහොම පහසු එකක්. අත්වැල්තොට අහස්බෝක්කුව පහුවෙලා කිලෝමීටරයක් විතර යද්දි වම්පැත්තට පාරක් තියෙනවා. ඒකෙ කිලෝමීටරයක් විතර ගියාම මේ ඇල්ලෙ මුදුනට ලඟා වෙන්න පුළුවන්. 
ඇල්ලේ මුදුන
මේක හැඳින්වෙන්නෙ අහස්බෝක්කු ඇල්ල එහෙම නැත්නම් කබරගොයිදොළ ඇල්ල කියලා. ඇල්ල මුදුනින් හෙමිහිට අයින දිගේ පහළට බැස්සම හරිම අපූරු දියඇල්ලක සුන්දරත්වය විඳින්න පුළුවනි. 

කලවාන මතුගම පාරදිගේ යන වාරයක් පාසා මං මේ ඇල්ල ලඟ මිනිත්තු කීපයක් නතර වෙනවාමයි. ඇල්ල ගලන දියදහර දිගේ පහළට සෑහෙන දුරක් ගියාම අතිශය සුන්දර නොගැඹුරු තටාකයක් දක්නට ලැබෙනවා. 
තටාකේ...
නමුත් නාන්න සූදානමකින් ආවෙ නැති නිසා මං වෙන ඇඳුම් ගෙනාවෙත් නෑ. ඒත් ඉතිං මෙච්චර අපූරු දියදහරක් දැක්කම ඒකට නොබැහැ බැරි නිසා මං තීරණය කරා Skinny Dipping කරන්න. (මේක නොදන්න උදවිය ඔය වචන දෙක ගූගල් ඉමේජ් සර්ච් කරලා හෑයි ගාලා ඇවිත් දැං ආයෙ කියවන්න.) ඉතා ජනශූන්‍ය පෙදෙසක් වීමත් උදේ පාන්දර වීමත් නිසා ගැටලුවක් නැතුවම ස්කිනී ඩිපිං කරන්න මට හැකි වුණා. සෝලෝ ට්‍රැවලර් කෙනෙකුට ලැබෙන ඉතා සුන්දර අත්දැකීමක් ඒක. (වරෙව් පොටෝ ඉල්ලගෙන එහෙම... හැක්)
ඊට පස්සෙ මං ගියේ අයගම කලවාන මාර්ගයේ පිහිටි සිපිරි මළ ඇල්ල හොයන්නටයි. 
අයගම පාරේ කොහේ හරි තැනක...
ගමේ උදවිය නම් කියන්නේ මේකට සිසිලි මළ ඇල්ල කියලා. ඒ නම තියන ගෑනු ළමයෙක් ඇල්ලෙන් පැනලා දිවි නසා ගත්ත නිසා මේ ඇල්ලට ඒ නම ලැබුණාලු. මේ ඇල්ලට පිවිසෙන්න තියෙන්නේ පෞද්ගලික ඉඩමක් හරහා. ඒ නිසා ඒ මිනිස්සු දැනුවත් කරලා අවසර අරන් යන එකයි සුදුසු. ඉතා සුහද ගැමියන් වන ඔවුන් නිතරම සංචාරකයන්ට උදව් වෙනවා.
මං යද්දී ඇල්ලේ වතුර තිබුණේ බෝම ටිකයි. නමුත් වැසි සමයට ගෙදර ඉන්න බැරි තරමට ඇල්ලෙ පින්න සැර බවයි ආසන්න නිවැසියන් පැවසුවේ.
සිසිලි/සිපිරි මළ ඇල්ල
කලවාන රත්නපුර පාරේ පෑබොටුව හන්දියෙන් හැරුණාම තවත් සුන්දර ඇල්ලකට යන්නට පුළුවනි. එය හැඳින්වෙන්නේ දෙල්වල ඇල්ල නමින්. මං එතනට යද්දී පොඩි කොල්ලො දෙන්නෙක් ඇල්ල ගාව මොනවාදෝ කරනවා. මං දැක්කම ටිකක් කලබල වෙච්ච පාටකුත් පෙනුනා. ලඟට ගිහින් බැලුවාම එකෙක් මාලු අල්ලනවා. අනිකා අලවංගුවකින් ඇල්ල ලඟ බිම හාරමින් මැණික් හොයනවා. "මැණික් හම්බවුණාද මල්ලි" "දලං කෑලි විතරයි අයියෙ.. යන්තං වේලක් පිරිමහගන්න කීයක් හරි හම්බවෙනවා" 
දෙල්වල ඇල්ල
අනිකා පාසල් වයසෙ විතර එකෙක්. ඌ අල්ලපු ආඳෙක්, කොරළි කීපදෙනෙක් ෂොපිං බෑග් එකක් ඇතුළෙ පණගැහෙනවා. ඒ අතරෙ අරුං දෙන්නාත් ජීවිත ගැටගහගන්න දඟලනවා. මේ ජීවිත සේරම පව්...
දෙල්වල ඇල්ල - සමීපව
ඇල්ල ලඟ ටිකක් වෙලා ඉඳලා එන්න ආවා. ගලකට පය තියලා බඩ ගාගෙන උඩට නගිද්දි බරස් ගාලා කලිසම පැලුණා. ලොකු ගවේෂණයකට ලෑස්ති වෙලා ආවෙ නැති නිසා සාමාන්‍ය කලිසමක් ඇඳං ආවෙ. දැං ඉතිං මොකේදැයි දං වළඳන්නේ කිව්වලු. යාන්තං හෙල්මට් එකෙං ලැජ්ජාව වහං ඇවිත් බයිසිකලේ ඉඳ ගත්තාමයි තරු පෙනුනේ.
හත්තිලව්වයි... පුක නෑ සාන්ත කිව්වලු. ගිනි අව්වට හොඳට රත් වෙලා තිබ්බ සීට් එකේ නිරාවරණ කලවා ගෑවුණාම දැනෙන සනීපෙ කොයි වගේද කියලා දැන ගන්න ඕන නම් අයන් එක රත් කරලා තියාගෙන බලන්නකො... හැක්... වෙනදා සුපුරුදු බොක්සර් බ්‍රීෆ් එක නැතුව වවුල් ජොකෙක් ඇඳං ආවට හොඳවැඩේ කියලා මටම බැණ ගනිමින් පස්ස උස්සං ටිකක් දුර ඇවිත් තමයි ෂේප් එකේ සීට් එකේ පස්ස තියාගත්තෙ...
මගෙ ඊලඟ නැවතුම රත්නපුර නගරයට බොහෝ සමීප තැනක්. මාරපන පාලම අසළින්ම පහළට බැස්සාම බොහොම සුන්දර ඇල්ලක් නරඹන්නට පුළුවන්. උසින් අඩු වුණත් සුන්දරත්වයෙන් අඩුවක් නැති මේ ඇල්ල ගැමියන් රජනාව නමින් හඳුන්වනවා. 

රජනාව ඇල්ල
මං හිත්නනේ රජා නෑව ඇල්ල පස්සේ රජනාව ඇල්ල වුනා වෙන්නටත් පුළුවන්. මං යන වෙලාවේ නම් එතරම් පිරිසක් ඇල්ල අවට සිටියේ නෑ. 
එක දවසක් ඇතුළත කිලෝමීටර් දෙසියයක විතර දුරක් බයිසිකල් පැදලා ඉතාම සුන්දර අත්දැකීම් රාශියක් ලබන්නට මට පුළුවන් වුණා.
හැබැයි ඉතිං තනියම ට්‍රැවල් කරන අයට කියන්න තියෙන්නේ දියඇලි අසළ අවදානම් වැඩ කරන්න යන්න එපා. මොකද පුංචි අනතුරක් වුණත් ඔබ තනියම නිසා ඇති වන්න පුළුවන් අවදානම ඉහළයි...

14 comments:

  1. ෆේස් බුක් එකෙන් යන්න කලින් අන්තිමට බලපු පෝස්ට් එකද කොහෙද මතක විදියට.. ජයවේවා! මේ වගේ එහෙ දාන ඒවා මාසයක් හමාරක් ගිහින් හරි කමක් නෑ මෙහෙත් දාහන්.. නැත්නම් දැන් අපිට මිස් වෙනවා. :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් බං... මේක අතඇරලා බෑ... මේ අපේ තිඹිරිගේ

      Delete
  2. නියම පැත්තක තමයි ඇවිදල තියෙන්නෙ.
    අර ස්කිනි ඩිපිං එකේ ෆොටෝවකුත් දැම්මනං මේක තවත් හැඩ වෙනව. හැක්..

    ReplyDelete
  3. Replies
    1. කාගේ හරි බ්ලොග් රෝලකින් දැකලා මේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලෙත් අලව ගෙන සෑහෙන දවසක් ගියාට පස්සෙයි මේක උඩ මතුවෙනවා දැක්කේ.සංචාරය කියන්නේ මමත් ආසම දෙයක් නිසා පහුගිය පෝස්ට් හරි ආසාවෙන් කියෙව්වා.

      ස්කින්න්ය් ඩිප්පින්ග් කියනකොට මතක් උනේ අපි පහන්තුඩාව ඇල්ල බලන්න ගිය වෙලාවේ එකේ ඔහොම හිටපු අයියලා මල්ලිලා සෙට් එකක් අපි එතනට ගියාම කර කියා ගන්න දෙයක් නැතුව අපහසුතාවයට පත් උන හැටි.

      https://kavisandalla.blogspot.com/2017/08/blog-post_96.html

      Delete
    2. කාලෙකින් ලිව්වෙ නෑ සඳවතී... ඇත්තටම ලියන්න තරම් සංචාරයක් සෙට් වුණේ නෑ පහුගිය ටිකේ
      හැක්... පව් අරුන් ටික.. පට ගාලා බෙල්ල මට්ටමට විතර වතුරට ගියා නං හරි... හැබැයි මේකෙ නං ඒක කරන්නත් බෑ.. වතුර පළිඟු වගේ ක්ලියර්

      Delete
  4. උණු උණුවෙම කලින් බැලුවත් අදත් බැලුවා. මොකද මට පාරවල් මතක හිටින්නැති නිසා.

    ReplyDelete
    Replies
    1. එළ එළ... මටත් ඔය පාරවල් මතක නොහිටන ලෙඩේ නං සැරටම තියනවා

      Delete
  5. උබ්බගේ ලිපි කියවන හැම සැර්යකම සතුටක් එක්ක දුකක් ඉතුරු වෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් පරණ සංචාර බලද්දි දුක හිතෙනවා බං...

      Delete
  6. ඇල්ලේ උඩ ඉදලා පහලට බහිනකොට ලිස්සනවනේ . බය හිතුනේ නැද්ද? රජනාව ඇල්ල නම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඇල්ල ලඟින් කැලේ දිගේ බැස්සේ... ඇල්ල දිගේ බහින්න නම් ආරක්ෂක උපකරණ නැතුව බෑ

      Delete
  7. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete