Monday, December 17, 2012

ඒකදන්තයා....

මින්නේරියේ තනි දළයා....
බොහොම කාලෙකින් තමයි බ්ලොග් අඩවිය පැත්තට එන්න වෙලාවක් ලැබුනේ. මේ දවස් වල තියෙන රාජකාරි වල ස්වභාවය අනුව ලිපියක් ලියන්න කාලය හොයා ගන්න එක බොහොම අමාරු වැඩක්. කොහොම නමුත් පසුගිය සෙනසුරාදා රාජකාරි ගමනක් යන අතරතුරදී දුටුව සුන්දර දර්ශනයක් මට මේ ලිපියට නිමිත්ත සැපයුවා. 
කාර්යාලයේ සගයන් කීප දෙනෙක් එක්ක පසුගිය සෙනසුරාදා පාන්දර 2.00ට පමණ මම කොළඹින් පිටත් වුනේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තකට පොළොන්නරුවට යාමටයි. උදෑසන 6.30ට පමණ මින්නේරියට ළඟා වූ අපි මද ඉසිඹුවක් ලබනු සඳහා මින්නේරි වැව් ඉස්මත්තේ මදකට නතර වුනා.
සොඳුරු මින්නේරි වැව...
ඒ මොහොතේ තමයි මේ එක දළයක් සහිත තේජාන්විත ඇතා තවත් පරිවාර අලින් දෙදෙනෙකුත් සමග වැව් පිටියේ පාතරාසය භුක්ති විඳිනු අපිට දැකගන්නට හැකි වුනේ. දළ සහිත ඇතුන් අපට අරුමයක් නොවුනත් එක දළයක්  පමණක් ඇති ඇතෙකු  දක්නට ලැබෙන්නේ කලාතුරකින්...
මින්නේරියේ තනි දළයා....
මේ සොඳුරු රුව මගේ බ්ලොග් පාඨකයන් වෙනුවෙන් සටහන් කර ගන්නට මට හැකි වුනේ ඒ මොහොතේ මගේ අතේ කැමරාව රැදී තිබුණු නිසයි. (රාජකාරි ගමනක් ගියත් මගේ අතේ කැමරාව නම් වරදින්නේ නෑ) මම මේ ඇතා ගැන ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගාමිණී විජිත් සමරකෝන් මහතාගෙන් විමසීමක් කළා. (මට මේ බ්ලොග් අවකාශේ හම්බවෙච්ච වටිනාම මිනිස්සු දෙන්නගෙන් එකෙක් ගාමිණි අය්යා. අනිකා සඳරු) එතුමා කිව්ව විදිහට මින්නේරියේ තනිදල ඇතුන් දෙදෙනෙක් දකින්න ලැබී තිබෙනවා. වනජීවී නිලධාරින් මේ ඇතා හඳුන්වන්නේ තනිදලයා කියලලු. අනිත් දලයාට තිබිලා තියෙන්නේ වම් දළය විතරයි. (මෙයාට තියෙන්නේ දකුණු දළය) මේක ජාන විකෘතියක ප්‍රතිඵලයක් වියහැකි බවයි එතුමාගේ අදහස. මට හිතෙන්නේ ඒ විකෘති ජානය මින්නේරිය ආශ්‍රිත අලි රංචුවල දකින්න ලැබෙන බවයි. (හරියට දල පූට්ටු ජානය යාල ආශ්‍රිතව තියෙනවා වගේ.) මොකද මේ වගේ තනි දල අලි දෙන්නෙක්ම මෙහෙන් වාර්තා වෙන නිසා. මේ ඇතා වැඩිපුරම කවුඩුල්ල වනෝද්‍යානයේ දකින්න ලැබෙන බවත් ගාමිණි මහත්තයා කිව්වා.
කොහොම නමුත් මේ දුලබ සත්ත්වයා රැක ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව ඉතා පැහැදිලියි. දැනටමත් උගේ ඉදිරි වම් පාදයේ වෙඩි උණ්ඩයක සලකුණක් දකින්නට  ලැබෙනවා.
වෙඩි සලකුණ 

වෙඩි සලකුණ 
මේ ඇතා ගැන තව විස්තර දන්නා අය ඉන්නවා නම් ඒ තොරතුරු අපි එක්ක බෙදා ගන්න.
මින්නේරි වැවේ තවත් සොඳුරු දසුනක්...

10 comments:

  1. මේව මිනිස්සුන්ට පේන්න දාන්නත් එපා බං. මේව දකිද්දි සමහර කාලකන්නින්ට මේ අහිංසකයගෙ දලේ ගලවගන්නෙ කොහොමද කියල හිතෙන්නෙ.(බ්ලොග් අවකාශෙ නං එහෙම එවනු නැතුව ඇති.) අපිට තව ටික කාලෙකින් දකින් ලැබේවිද දන්නෙ නෑ. ඒක දලයගෙ දලය රහිත කුණුවෙච්ච සිරුර කැලේ තිබිල හමු උනා කියල. එහෙම නොවේවා.
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත මචං. නමුත් මගේ බ්ලොග් එකට ඉන්නේ සීමිත පාඨක පිරිසක්. උන් ගෙන් පරිසරයට උදව්වක් මිසක් හානියක් නෑ. මහකනදරාවේ අන්ධ ඇතාට වෙච්ච දේ මේ අහිංසකයාට නොවේවා කියලා මම මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා.

      Delete
  2. සොබාදහම ගැන ලියවෙන ලිපි අඩුයි බ්ලොග් ලෝකෙ... ඒ නිසා මාසයකට වරක්වත් ලිපියක් පළ වෙනව නම් හොදයි. මේ ලිපියත්, පින්තූර ටිකත් අපූරුයි. නිල්ල පිරුණු පරිසරය කොයි තරම් හිතට නෙතට සුවයක්ද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. මේ වගේ ප්‍රතිචාර දකිද්දී දාහක් වැඩ තිබ්බත් ලිපියක් ලියන්න පුදුම ගටක් එනවා.

      Delete
  3. මලේ මම මින්නේරියේ උද්‍යාන භාරකරු බුද්ධික එක්ක කතා කළා. ඇතා මේ වෙනකොට පාර පැනලා කවුඩුල්ල පැත්තට ගිහිල්ලා. ඒ අය දිගටම අවධානයෙන් ඉන්නවා.

    මේ වගෙ දේවල් ගැන තොරතුරු හොයලා අවධානය යොමු කරන එක ගැන ස්තුතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මේ ඇතා පරිස්සම් කරගනින් බුදු අයියේ.... කොහොමත් බහුතරයක් වනජීවී නිලධාරින් දාහක් අඩුලුහුඬුකම් දුක් ගැහැට විඳගෙන තමන්ගේ රාජකාරිය දේවකාරිය වගේ ඉටු කරන බව මං දන්නවා. උන්ට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ලැබෙන්න ඕන.
      බොහොම පිං තොරතුරු හොයාගන්න උදව් කළාට

      Delete
  4. උඹ වාසනාවන්ත කොල්ලෙක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අටම්. උඹ මේ පැත්තේ ආපු එක මට ලොකු සතුටක්.

      Delete
  5. අපිව මේ හතරැස් ලෝකයෙන් මඳකට හෝ එලියට ගන්න දරන උත්සාහයට ස්තුතියි මචං..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං... මේ දෙන දිරිය සෑහෙන්න වටිනවා.

      Delete