Monday, December 31, 2018

Night Camping at Blue Beach - නිල්වැල්ලේ නීලදියේ....

නිල්වැල්ල දූව එහෙමත් නැත්නම් Blue Beach Isle පිහිටලා තියෙන්නේ දික්වැල්ල නගරයේ ඉඳන් කිලෝමීටර් දෙකක් පමණ දුරින්. ඇත්තටම මේක දූවක් (Isle) නමින් හැඳින්වූවාට මෙය සම්පූර්ණයෙන්ම ජලයෙන් වට වී නැහැ. තුනී වැලි තීරුවකින් ගොඩබිම හා සම්බන්ධ වී ඇති එය Tombola නමින් හැඳින්වෙන විශේෂ භූ පිහිටීමක්. අක්කර 17ක පමණ භූමි ප්‍රදේශයක් වන මෙය මේ වන විට විදේශිකයෙකුටයි අයිති.
මේ අපූරු භූමිය පිහිට තිබෙන්නේ නිල්වැල්ල ධීවර වරායට ඉතා ආසන්නයෙන්.
බරට බරේ අස්වනු
මෙහි කඳවුරු බැඳීම සඳහා ඔබ කල් වේලා ඇතිව එය වෙන් කර ගත යුතුයි. එමෙන්ම වසරේ එක් කාලයකදී මේ දිවයින ගොඩබිම හා සම්බන්ධ කරන වැලි තීරුව වැසී යන බැවින් මුහුද ඉතා රළු සමයේ මෙහි කඳවුරු බඳින්නට හැකියාවක් නැහැ.
කඳවුරු
මෙහි කඳවුරු බඳින්නන් වෙනුවෙන් සියලු පහසුකම් එහි භාරකරුවන් විසින් සපයනු ලබනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ඉතා ප්‍රණීත නැවුම් මුහුදු ආහාර ගැනයි.
සීත මුහුදු සුළඟින් නැළැවෙන නෙරළු තුරු අතරින් සඳ රැස් පෙරී එන හෝරාව වර්ණනා විෂයාතික්‍රාන්ත එකක්. එය අත්විඳීමෙන්ම අවබෝධ කර ගත යුතුයි.
සුදු සඳරැස්....
එමෙන්ම පොල් රුප්පාවෙන් පෙරී එන සඳරැස් මුහුදු දියට වැටීමෙන් ඇඳෙන සිතුවම හරිම විචිත්‍ර එකක්.
සඳරැස්
මේ සියලු සුන්දරත්වයන් දෙනෙතින් උරා බොමින්, ගිනිමැලය වටා හිඳ ගෙන මිහිරි ස්වරයෙන් වැයෙන ගිටාර් තත් අතරේ සිහින් ගීත රාවයකට සවන් දීම ස්වර්ගය මහ පොළවට රැගෙන එන අත්දැකීමක්.
දූපතක රැය ගෙවන්නෙකුට ලැබෙන අමිල ත්‍යාගයක් වන්නේ පසුදා උදෑසන මුහුදට ඉහළින් හිරු නැගෙන අතිශය සුන්දර දසුන දැක ගන්නට ලැබීමයි.
ඒ අතරේ මදක් පමා වූ ධීවරයෙක් හනි හනිකට වරායට ඇදෙන මෙවන් දසුනකුත් ඇතැම් විට ඔබට දකින්නට ලැබේවි.
මේ දිවයිනේ ඉතා බහුලව දක්නට ලැබෙන ජීවියෙක් තමයි තාපස කකුළුවා - Hermit Crab. මේ මගේ අතේ ඉන්නේ කුඩා තාපස කකුළුවෙක්.
තාපස කකුළුවා
මෙයාගේ මේ බාහිර ආවරණය එයාගෙ කවචයක් නම් නෙවෙයි. මිය ගිය බෙල්ලෙකුගේ හෝ යම් කිසි කවචධාරී සතෙකුගේ කටුවක් තමයි තාපස කකුළුවා තමන්ගේ නිවහන කර ගන්නේ. ඌ ක්‍රමයෙන් වැඩෙත්ම පැරණි කටුව ඉවත හෙළා වඩා ඉඩ කඩ ඇති එකක් සොයා ගන්නවා.
වැඩුණු තාපස කකුළුවෙක්
පසුවදා උදෑසන නිල්වැල්ල ආශ්‍රිත මුහුදු තීරයේ මාළුන් නැරඹීම සඳහා අපූරු ස්නෝකලින් වැඩසටහනකුත් ඔබට අත් විඳින්නට පුළුවනි. ඒ සඳහා කිසිදු අය කිරීමක් නැහැ.

මෙහි භාරකරුවන් ගැනත් වචනයක් කිව යුතුමයි. ඉතා අපූරු වෘත්තීමය සේවාවක් ඔවුන් වෙතින් අත් විඳින්නට අපට පුළුවන් වුණා. විශේෂයෙන්ම අපේ කණ්ඩායමේ කුඩා දරුවන් සිටිය නිසා  ඔවුන් අපේ ආරක්ෂාව ගැන බෙහෙවින් සැලකිලිමත් වුණා. කාට හෝ මේ දිවයිනෙහි කඳවුරු බඳින්නට අවශ්‍ය නම් මේ අංකයෙන් චානකව සම්බන්ධ කර ගන්න 0712958558

6 comments:

  1. අගෙයි.
    මුහුදෙ තියන කෑලි වලට පෞද්ගලික හිමිකම් කියන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. ඒක නං හැබෑම ප්‍රශ්නයක් ප්‍රසෝ...
      ඒත් ඉතිං ලංකාවෙ ගොඩක් දූපත් අයිති සුද්දන්ට

      Delete
  2. ගණං හිලව් ටිකත් දාහංකෝ ඔය විදියටම

    ReplyDelete
    Replies
    1. ගණං හිලව් වෙනස් වෙනවා මචං... අපි යද්දි එක්කෙනෙකුට 2950/- අවම අට දෙනෙක් ඕන ටීම් එකට
      මේ අවුරුද්දේ ඉඳලා 3950 ලු

      Delete
  3. උබගේ පොස්ට් බලලා හුල්ලනවා ඇරේන්න වෙනමොනවා කරන්නද

    ReplyDelete