බ්ලූබීච් කඳවුරු අත්දැකීමෙන් පස්සෙ සෑහෙන කාලයක් වනගත වෙන්න බැරිවුණා. ඒක නිසාම පහුගිය බදාදා මහ පාන්දර දොළහට බැක්පැක් එකත් එල්ලන් එළියට බැස්සේ තවත් හුදෙකලා සංචරණයක් සඳහා. ඒ වෙනකොටත් යන්නෙ කොහෙද කියන එක ගැන ලොකු ප්ලෑන් එකක් තිබුණේ නෑ.එක්කෝ මඩොල්සිම කෑම්ප් කරනවා නැත්නම් කුරුවිට එරත්න හරහා සිරිපාදෙ යනවා කියන ඔප්ෂන්ස් දෙක තමයි තිබුණේ. අන්තිමට සිරිපාදෙ යන්න හිත හදාගෙන මං බස් එකට නැග්ගා. හුදෙකලා සංචාරකයා කුරුවිට බස් නැවතුම්පොළට ලඟා වෙද්දී පාන්දර පහයි පහයි කාලයි. අඩවිකන්දට බස් එක පිටත් වෙන්නේ උදේ හයට නිසා බස් නැවතුමේ සීතල සිමෙන්ති බංකුවේ ඩිංගක් ඇලවුණා....
බස් නැවතුමේ... |
වංගු ගැහුන පටු කැලෑබද පාරේ රතුපාට සීටීබී බස් එක බෑඟිරි ගාගෙන යන්නෙ හරි අපූරු මිනිස්කම් ස්පර්ශ කරගෙන. බස් එකට නගින හැමෝම රියදුරු කොන්දොස්තර දෙපළ එක්ක සුහදව වචනයක් හරි දොඩනවාමයි. තේ ෆැක්ටරියක් ගාව බැහැපු කාන්තාවක් පුංචි රඹුටන් මල්ලකුත් රියැදුරාට දීලයි බැස්සෙ. මං ළඟ ඉඳපු නාඳුනන තරුණයා උවමනාවෙන් මා දිහා බලලා තනියමද කරුණා කරන්නෙ ඇහුවා. එහෙනම් පරිස්සමෙන් යන්න. වතුර පාරවල නාන්න බහින්න එපා. සමන් දෙවි පිහිටෙන් කරුණා කරන්න..
නාඳුනන මිනිස්සුන්ගෙ හරි අපූරු මිනිස්කම් මගෙ ඇස් බොඳ කලේ ඉබේටම.
සාපේක්ෂව අඩු වන්දනාකරුවන් පිරිසක් ගමන් කරන මේ මං පෙත බොහෝ දුරක් වැටී තිබෙන්නේ සමනල අධි ස්වභාවික රක්ෂිතය මැදින්. මහ හිමයෙ අයිතිකාරයන් වන අලියා සහ කොටියා සැරිසරන බැවින් රාත්රී කාලයේ හා අවාරයේ මේ මංපෙත භාවිත කිරීම අනතුරුදායකයි.
හුදු වන්දනාකරුවකු නොවන හුදෙකලා සංචාරකයාට මේ වන මංපෙත මහා ආස්වාදජනක එකක් වුනු බව කියන්නත් දෙයක්ද... මග දෙපසම දක්නට ලැබෙන වනමල්, සමනලුන්, කුරුල්ලන් මගේ වෙහෙස නිවා සිත චමත්කාරයෙන් පුරවාලූවා...
ගිනිකුරුල්ලා |
හැමදාම වගේම මම මහත්සේ ඇලුම් කරන වනමල - බිනර...
බිනර |
මග කෙළවරක කැලුම් දෙන මේ සොඳුරු වනමල් රැජන මගේ ගමන පමා කර බොහෝ වේලා මා ඈ වෙත රඳවා ගත්තා.
බිනර |
මංපෙතින් බැහැරව මදක් වනය තුළට හිසපොවා බැලූ මා වශී කරන්නට ගල්තලා මතින් සිලිසිලියේ ඇදුණු දියදහරා සමත් වුණා.
දියදහරා |
මේ සියලු රසමදිරා දෑසින් උරා බොමින් මිහිරෙන් මත්වෙමින් මම වර්ණගල අම්බලම වෙත පිවිසියා.
වනමංපෙත් |
එහි ඇති පොලිස් මුරපොළ ලඟින් මදක් පහළට බැස වනය තුළට පිවිසීමෙන් ඉතා සොඳුරු දියඇල්ලක් වෙත ලඟා වන්නට පුළුවනි.
වර්ණගල ඇල්ල |
ගල් දෙබොක්කාවකින් එකවර ප්රචණ්ඩව කඩා හැලෙන මෙය වර්ණගල ඇල්ල නමින් ප්රකටයි. එහි පාමුල තටාකය කොයිතරම් ගැඹුරුද කිවහොත් එය දිස්වුණේ තද කළු වර්ණයෙන්. එම නිසා මේ ඇල්ල අසළ ඉතා පරිස්සමෙන් හැසිරිය යුතුයි... නාන්න බහින්න එපා කියලා කියන්න ඕන නෑනෙ...
ඇල්ලට එපිටින් ශ්රීපා නිම්නයේ අතිශය චමත්කාරජනක දර්ශනයක් කුරුලු ඇසින් නරඹන්නට පුළුවන්.
ශ්‍රීපා නිම්නය කුරලු ඇසින් |
වර්ණගල ඇල්ල අසළින් වනයේ ඉහළට ගමන් කිරීමෙන් තවත් කුඩා නමුත් සුන්දර ඇල්ලක් නරඹන්නටත් හැකියි.
ඇල්ල උඩ ඇල්ල |
මේ සොඳුරු දසුන් නරඹා ආපසු එන්නට සූදානම්ව ගලකට පා තබා ඉහළට නගිද්දී මට බරස් ගා සද්දයක් ඇහුණා. හද්දෙයියනේ... මගේ කැලෑ සගයා වෙච්චි කැමා කලිසම... කලිසමේ යටිපල්ල අතගාල බලාපු මට අහුවුණේ.... නෑ ඒක තොපිට ඕන නෑ...
පොලිස් මුරපොළ ලඟින් නැවත පාරට ආපු මාව පොලිස් නිලධාරියකුගෙ අවධානයට ලක් වුණා... මහත්තයා තනියමද යන්නෙ... බෑග් එකේ අරක්කු සිගරට් එහෙම නෑ නේද...
හනේ ඉතින් ජීවිත කාලෙටම මත්පැන් උගුරක් තොල ගාපු නැති මගෙන්නෙ මෙ අහන්නෙ... ඒත් ඉතින් උන්නැහේ කරන්නෙ රාජකාරිය නොව...
මං බෑග් එක ඇරලා පෙන්නන්න ලෑස්ති වුණෙ... කමක් නෑ මහත්තයා යන්න... පරිස්සමෙන්... බුදුසරණයි
නැවත ගමන් ඇරඹූ මං ඊළඟට නැවතුනේ සීත ගඟුලේ...
සීත සුනිල් දිය දහරා |
සීත ගඟුලෙන් නාගෙන එන්න සූදානම් වෙද්දී මට මුණ ගැහුනා තවත් අපූරු වන්දනා නඩයක්. නඩේටම හිටියේ දෙන්නයි හැබැයි. අවුරුදු පහළොවක පමණ දරුවෙකුයි එයාගෙ අයියයි...
මෙතැනින් එහාට මමත් ඔවුන්ගේ එකෙක් බවට පත් වුණා...
මේ දෙන්නගෙ මම දැකපු හොඳම දේ තමයි පරිසරය ගැන උන්ගෙ තිබ්බ කැක්කුම. පාරෙ ටොෆි කොළයක් වැටිලා තිබ්බත් පොඩි එකා ඒක ඇහිඳගෙන ගිහින් කුණු බක්කියකට දානවා.
අනික මේ අයියා තමන්ගෙ මල්ලි ගැන දක්වපු සැලකිල්ල හා සෙනෙහස... ඒක අපූරු සහෝදර බැඳීමක්.
මේ වගෙ තැන්වල මුණගැහිලා ඇති කර ගන්න බැඳීම් සදාකාලිකයි. මොකද අපි සේරම එකම නහර තියන උණකාරයො නිසා. උන් දෙන්නගෙ බත් එකත් මා එක්ක බෙදාගෙන කාපූ මේ අපූරු සහෝදර දෙපළ එතැන් පටන් මගේ ජීවිතේ කොටස් කාරයො වුනා.
මලට වඩා මිහිරි නොවැ අයියගෙ සපත්තුව |
ගෙත්තම් පාන |
මේ තියෙන්නේ ලයිකනයක් (Lichen)
ලයිකන |
ලයිකන කියන්නේ බැක්ටීරියාවක හා දිලීරයක සහජීවී සංගමයක්. මෙය වායුගෝලීය තත්ත්වය මනින සාධකයක් හැටියටත් ගත හැකියි. මොකද ලයිකන හැදෙන්නේ පිරිසිදු වායුගෝලීය තත්ත්වයන් යටතේ පමණයි.
සමනල සේනා |
මේ අංකටුස්සා හම්බ වුණේ අතරමගදී...
අංකටුස්සා |
නමුත් අහිතකර ආලෝක තත්ත්වයන් හා ඌ ඉඳපු දුර අනුව පැහැදිලි පින්තූරයක් ගන්නට ලැබුණේ නෑ.
සලිත වෙන මීදුම් |
පරිසරයේ වින්දනීය ඉසව් ස්පර්ශ කරමින් ඉතා දීර්ඝ පාගමනකින් පස්සෙ උඩ මලුවට ප්රවිෂ්ට වෙද්දී හැන්දෑවෙ හත පහුවෙලා.
ඈත පෙනේ... |
මල්ලිලා දෙන්නා වන්දනා කටයුතු අවසන් කරලා යන්නයි ලෑස්තිය. එළිවෙද්දී රත්නපුරෙන් බස් එකක් අල්ලා ගැනීමයි ඔවුන්ගෙ අරමුණ...
මම ඉතා උණුසුම් ආදරණීය හැඟීමෙන් උන් වැළඳගෙන සමු දුන්නා.
මේ වන විට උඩමලුව වන්දනාකරුවන්ගෙන් පිරීඉතිරී තිබුණා. මදක් වැතිර විවේකයක් ගැනීමටවත් විශ්රාම ශාලාවල ඉඩ නෑ. බෑග් එකට හේත්තුවෙලා පඩි කෙළවරක පැයක් පමණ ඉඳගෙන හිටි මම ආපසු හැටන් හරහා පහළට එන්නට පටන් ගත්තා...
ඒ පාරේ තත්ත්වය කුරුවිට පාරට හාත්පසින්ම වෙනස්. ඉතා විශාල වශයෙන් වන්දනා නඩ ඉහළට කරුණා කරමින් තිබුණු අතර මග දෙපසම සංගීතය වෑහෙන කඩ තිබුණා.
අවසානයේ වෙහෙසකර ගමනකින් පසුව නල්ලතන්නියෙන් කොළඹ බසයක නැගී මම ගෙදර ආවා...
එරත්න පැත්තෙ වගේම පලාබත්ගල පැත්තෙත් මිනිස්සු වන්දනාවෙ යන මිනිස්සුත් එක්ක එකමුතුයි. නල්ලතන්නි පැත්ත ගැනනං කතා කරල වැඩක් නෑ. ඒක තනිකර බිස්නස් එකක්.
ReplyDeleteඅර පොඩි උං දෙන්නගෙ ෆොටෝ එකක් ගත්තෙ නැද්ද?
ගත්තා ගත්තා... ඒත් ඉතිං මෙතන දාන එක හරි නෑනෙ....
Deleteහැටන් පැත්ත නං කන්දොස්කිරියාවයි... කොල්ලුපිටිය හන්දිය වගෙයි
අපිත් ගියා ඔය රූට් එකේ. අපි බොරැල්ලෙ කොටා රෝඩ් ස්ටේෂන් එකෙන් පටං ගත්තෙ. එතනින් අවිස්සාවේල්ලට, එතනිං හෙමිංෆෝඩ් වතුයායට, එතන ලැයිමක රෑ නතර වෙලා ඉඳලා, පහුවෙනිදා උදේ රැයිං පයිම්ම පටං ගත්තා කුරුවිටට, බෝපත් ඇල්ල දුරින් බලාගෙන... එතනිං ලොරියක නැගලා එරත්නට. එරත්න ඉඳන් පයිං. ආපහු බැස්සෙ උය කියනව වගේම හැටන් පැත්තෙන්. දවස් තුනක් විතර ගියා මට මතක හැටියට.
ReplyDeleteපළමු ප්‍රේමයෙන් පැරදිලා හෙණ අවුලෙන් හිටියෙ ඒ දවස්වල. මාර විිහට රිෆ්‍රෙෂ් වුනා.
අපේ නඩේ ගුරා හැටියට මාලන් හැරමිටිපානෙදි මගෑරුණා. පොර ආපහු බැහැලා තිබුණා උඩට යන්නැතුව...
අපි එක්ක ගියා මහදේවන් ආනන්දරාමන් කියල ඉන්දියන් කෙනෙක්. දකින දකින තැන බෞද්ධයො හින්දු දෙවිවරුන්ට පූජා පවත්වන එක එයාට ප්‍රශ්නයක් වුණා. පොර මගෙ හිත හැදෙන්න මර කතාවක් කිව්වා... පොර අපි එක්ක සිරිපාදෙ නැගලා බැහැලා නුවර ගිහිං, එතනින් අනුරාධපුරේ ගියා. අපි ගෙදර ඇවිත් කකුල් තැව්වා...
මනුත්තයෝ ඒක ලියනෝ තවුසේ
Deleteකාටහරි වැඩක් වෙන දෙයක් එපෑ ලියන්ඩ. ඔය පල්හෑලි කවුද කියවන්නෙ? මට සංචාරක සටහන් ලියන්ඩ බෑ ඩිලාට වගේ රහට.
Deleteපොඩ්ඩක් ඉඳිමු... නෑ හරි හරි ලියමු එහෙනං ඒ ගැනත්...
තවුසෙ ඕක ලිව්වෙ නැත්තං னයා ගහයි.
Deleteඊඊඊක්... මේං මූ මෙතෙන්ටත් ඇවිත්...
Deleteඩ්‍රැකියො ලියාං හත්තිලව්වෙ ඒ කතාව
Deleteමං කවදාවත් එරත්න පැත්තෙන් ගිහිල්ල නැහැ. නල්ලතන්නිය පැත්ත කියන්නේ අමු කඩයක්. අප්පිරියයි. මං කීප වතාවක් ගියා සිරිපාදේ. ඒත් දැන් තමා හිතෙන්නේ ඇත්තටම සිරිපාදේ ගිහිල්ල නෑ කියලා.
ReplyDeleteයමං එරත්න පැත්තෙං... නල්ලතන්නියෙන් සිරිපාදෙ ගිය එකාට එක ගමනින්ම එපා වෙනවා... ඇයි බං මග දිගට සිවුරුකාරයො පිරිත් නූල් දික් කරං ඉන්නවා.. එකක් පණායි
Deleteමාත් ආසාවෙන් හිටිය හැටන් පැත්තෙන් නැතුව පලාබද්දල හරි එරත්න හරි පැත්තෙන් යන්න. සරීර සක්තිය ඇතිවෙයිද ගමනට විස්වාස නෑ :/
ReplyDeleteඌරන්ට මොන සෞඛ්‍යද කලණ... ඔන්නොහෙ නඟිමු!
Deleteමටත් දැං අමාරුයි බොලේ බඩතඩිය උස්සං නගින්න
Deleteඔන්න මේ පහල කෙමෙන්ට් එක පොඩි මෙන්ඩාගේ...ඌ කියනවා මම කොටනවා..
ReplyDeleteඔයාගේ තොරතුරු රැස් කිරිම ඉතා ලස්සනයි...
(කිසිම වෙනස් කිරිමක් නැහැ මේ උගේ වචන)
අප්පට සිරි...
Deleteඌට මං ගොඩාක් ආදරෙයි කිව්වා කියපං
ඔන්න මේ පහල කෙමෙන්ට් එක පොඩි මෙන්ඩාගේ...ඌ කියනවා මම කොටනවා..
ReplyDeleteමට තවම යන්න බැහැනේ...සිස්සත්වේ ඉවර උනාම තාත්තා මාව එක්කරගෙන යනවා කිව්වා...මාමට අපේ තාත්තා ගොඩක් ආදරේයි...අපේ අම්මා ඔයාට බනිනවා..ඔයා තාත්තාව අවුස්සනවලු...(ඔයා ගනන් ගන්න එපා...අපි ඔයාට බන්නිනේ නැහැනේ)
(කිසිම වෙනස් කිරිමක් නැහැ මේ උගේ වචන)
මයෙ පුතේ.... ඉක්මණට ලොකු වෙන්න... හොඳට කෑම කාලා... හොඳට ඉගෙන ගෙන ස්වාධීන මිනිහෙක් වෙන්න.. ඊට පස්සෙ ඕන තරම් රටවටේ ට්‍රැවල් කරන්න පුළුවන්... මාමත් ට්‍රැවලින් පටන් ගත්තේ රස්සාවකුත් කරන කාලේ... පුතාට බුදුසරණයි
Deleteපොඩ්ඩගේ කෙමෙන්ට් එකට උත්තර ඩිපන් නැත්නම් මම ඉදලා ඉවරයි
ReplyDeleteදුන්නා දුන්නා
Deleteඌ රත්තරං කොලු පැටියෙක්