Tuesday, April 30, 2019

Camping on a Dream Paradise - සිහින පාරාදීසයක කඳවුරු බැඳීමු

දීර්ඝ කාලයකට පස්සේ ජීවිතේ ඉතා සමීප මිත්‍රයන් දෙදෙනෙක් සමග වනගත වෙන්නට අවස්ථාව උදා වුණා. ඇත්තටම මේ දෙන්නා මුණ ගැහුණේත් මේ වගේම සුන්දර 'දාම ඇලි' ගවේෂණයකදීමයි. බොහෝ කාලයක් මුළුල්ලේ කෙරුණු සාකච්ඡා අවසානයේ පහුගිය දොහක අපි මේ හීනය හැබෑ කරගත්තා. 
අපි මෙවර චාරිකා කළේ දිවයිනේ අතිශය සුන්දරම පෙදෙසක් වන නකල්ස් රක්ෂිතයේ පිහිටි දිය ඇලි දාමයක් නැරඹීම සඳහායි. සුප්‍රකට කෝබට්ස් ගැප් ප්‍රදේශය නැරඹීම ගමනේ එක් අරමුණක් වූ නිසාවෙන් අපි ගමන් ආරම්භ කළේ හුන්නස්ගිරියෙන්. එහි සිට ඩීන්ස්ටන් හරහා මීමුරේ දක්වා දිවෙන මාර්ගය අතිශය අබලන්. ලංගම බස්රියක උඩ විසිවෙමින් අතිශය සුන්දර පාරිසරික කලාපයක් හරහා ගමන් කළ අපි පුංචි කඩමණ්ඩියක් ලඟින් බැහැගත්තා. එතැන් පටන් කෝබට්ස් ගැප් දක්වා කිලෝමීටර හයක පමණ දුරක් ත්‍රීරෝද රථයකින් ගමන් කළ අපි ලංකාවේ සුන්දරතම භූ ලක්ෂණ පෙන්නුම් කරන පෙදෙසකින් බැස ගත්තා. 
ලකේගල කෝබට්ස් ගැප් සිට
පසෙකින් ලකේගලද, තවත් පසෙකින් කෙහෙල්පත් දෝරුව, යහන්ගල වැනි කඳුද, කෙළින්ම ඉදිරිපසින් ස්ෆින්ක්ස් 1, 2 යනුවෙන් නම් ලද ඉතා වෙනස් පෙනුමක් ගන්නා කඳුද, තවත් පසෙකින් මීමුරේ දක්වා දිවෙන සුන්දර මගද කුරුලු ඇහැකින් බලන්නට කෝබට්ස් ගැප් සිට පුළුවනි.
නකල්ස් හිස් පහ සමග අළුගල්කන්ද
මෙම පෙදෙසට නකල්ස් යන නම දෙන්නට හේතු වුණු මිටි කළ අතක ඇඟිලි ඇට මෙන් පෙනෙන හිස් පහකින් යුතු කඳු වැටියත් ඊට මෙහායින් අළුගල්කන්දත් මනාව දකින්නට මෙහි සිට පුළුවනි.
මෙතැන් සිට තංගප්පුව තෙක් ඇති ජීප් ට්‍රැක් එක දිගේ අපි පාගමන පටන් ගත්තා. වනයෙන් වැසුණු මාවත රසකාමීන්ට නම් ඉතා සුන්දර අත්දැකීමක්. මගදිගට පුංචි සමනලුන් හා වෙනත් කෘමීන්ද නයනරංජනීය භූදර්ශනද අපේ ගමන පමා කළා.
සමනලුන්
පළගැටියා
නම නොදන්නා කෘමියෙක්
මේ වන මග ඔස්සේ කිලෝමීටර් කීපයක් ඉදිරියට ගිය අපි අපේ ට්‍රේල් හෙඩ් එක හෙවත් වනමංපෙත ආරම්භයට පැමිණියා. 
 මග දිගටම අතිශය සුන්දර දසුන් වලින් නම් අඩුවක් තිබුණේ නෑ.
බිනර

නම නොදන්නා වනමල්

මුඩ මහණ
 වනමල් වල මිහිර විඳිමින් අපි අවසානයේ දියඇලි දාමයේ මුදුන් ඇල්ල වෙත පැමිණියා. එහි කඳවුරු බැඳීමයි අපේ අරමුණ වුණේ. 
පළමු ඇල්ලේ මුදුන
මෙතැන සිට අපට දක්නට ලැබුණේ අතිශයින්ම රමණීය දර්ශනයක්. 
ඇල්ල මුදුනේ මම
 අද රෑ ගත කරන්නේ මෙතැන බව සිතීම පවා හිත චමත්කාරයෙන් පුරවාලූ බව නොකියාම බෑ. අප කඳවුර සකස් කර මොහොතක් ගත වෙත්ම මහා වර්ෂාවක් කඩා හැලුණා. රාත්‍රී සුන්දර දර්ශන සිහිනයක්ම කරමින් වර්ෂාව බොහෝ රෑ බෝ වන තුරුම පැවතියා.
නමුත් පසුදා උදෑසන දක්නට ලැබුණේ වචනයෙන් විස්තර කළ නොහැකි සුන්දරත්වයක්.
උදේ...

වලා වියනට ඉහළින්

ඇල්ල වැටෙන තැන

මිහිර
 ඇල්ලට ඉහළින් තිබුණේ විසල් තැනිතලාවක්... මේ තැනිතලාවේ සිට නකල්ස් කඳුවැටිය ඉතා සමීපව හා සුන්දරව දක්නට හැකියි.
වන පෙතට ඉහළින් පායන හිරු

තැනිතලාව

තැනිතලාවට පහළින් වලාකුළු

නකල්ස්

නොඉඳුල් වලාකුළු වනාන්නතරය
කූඩාරම් ඉදි කළ ස්ථානය ඉතා හොඳින් පිරිසිදු කර, ගෙනා සියලුම දෑ එකතු කර ගැනීමෙන් පසු අපි එන්නට පිටත් වුණා. එතැන් සිට දියඇලි දාමයක් පහළට බසින්නටයි අපට සිදු වුණේ. ගණනින් දියඇලි හතක් නිරීක්ෂණය කරන්නට අපට හැකි වුණා. 
පළමු ඇල්ල






ගමන පුරාවටම මට භාවිත කරන්න වුණේ 70-300 කාචය. මගේ සුපුරුදු 18-55 කාචය දෝෂයකට ලක්ව තිබීම නිසා භූ දර්ශන රූගත කිරීමේදී මා පත් වූ අපහසුතාවය කියා නිම කරන්නට බැහැ.
කෙසේ නමුත් ඉතාම සුන්දර චාරිකාවක් අතුරු ආන්තරාවකින් තොරව නිම කරන්නට අපට හැකි වුණා.

 

Monday, March 11, 2019

Sri Pada via Kuruwita-Erathna Trail - කුරුවිට එරත්න හරහා බුද්ධ පාදස්පර්ශය


බ්ලූබීච් කඳවුරු අත්දැකීමෙන් පස්සෙ සෑහෙන කාලයක් වනගත වෙන්න බැරිවුණා. ඒක නිසාම පහුගිය බදාදා මහ පාන්දර දොළහට බැක්පැක් එකත් එල්ලන් එළියට බැස්සේ තවත් හුදෙකලා සංචරණයක් සඳහා. ඒ වෙනකොටත් යන්නෙ කොහෙද කියන එක ගැන ලොකු ප්ලෑන් එකක් තිබුණේ නෑ.එක්කෝ මඩොල්සිම කෑම්ප් කරනවා නැත්නම් කුරුවිට එරත්න හරහා සිරිපාදෙ යනවා කියන ඔප්ෂන්ස් දෙක තමයි තිබුණේ. අන්තිමට සිරිපාදෙ යන්න හිත හදාගෙන මං බස් එකට නැග්ගා. හුදෙකලා සංචාරකයා කුරුවිට බස් නැවතුම්පොළට ලඟා වෙද්දී පාන්දර පහයි පහයි කාලයි. අඩවිකන්දට බස් එක පිටත් වෙන්නේ උදේ හයට නිසා බස් නැවතුමේ සීතල සිමෙන්ති බංකුවේ ඩිංගක් ඇලවුණා....
බස් නැවතුමේ...
වංගු ගැහුන පටු කැලෑබද පාරේ රතුපාට සීටීබී බස් එක බෑඟිරි ගාගෙන යන්නෙ හරි අපූරු මිනිස්කම් ස්පර්ශ කරගෙන. බස් එකට නගින හැමෝම රියදුරු කොන්දොස්තර දෙපළ එක්ක සුහදව වචනයක් හරි දොඩනවාමයි. තේ ෆැක්ටරියක් ගාව බැහැපු කාන්තාවක් පුංචි රඹුටන් මල්ලකුත් රියැදුරාට දීලයි බැස්සෙ. මං ළඟ ඉඳපු නාඳුනන තරුණයා උවමනාවෙන් මා දිහා බලලා තනියමද කරුණා කරන්නෙ ඇහුවා. එහෙනම් පරිස්සමෙන් යන්න. වතුර පාරවල නාන්න බහින්න එපා. සමන් දෙවි පිහිටෙන් කරුණා කරන්න..
නාඳුනන මිනිස්සුන්ගෙ හරි අපූරු මිනිස්කම් මගෙ ඇස් බොඳ කලේ ඉබේටම.
ශ්රීපාද වාරය නිසා බස් එක අඩවිකන්දටම යනවා.. නැත්නම් ඔබට එරත්න නගරයෙන් බැහැලා කිලෝමීටර් තුනක පමණ දුරක් ත්රීරෝද රියක හෝ පයින් එන්නටයි සිදුවෙන්නෙ. උර රිදුම් දෙන සැහැල්ලුවත් කර ලා ගෙන අඩවිකන්දෙන් සමන් දෙවි අඩවියට පා තියද්දි වෙලාව උදේ හතට විතර ඇති.
රටා....
සාපේක්ෂව අඩු වන්දනාකරුවන් පිරිසක් ගමන් කරන මේ මං පෙත බොහෝ දුරක් වැටී තිබෙන්නේ සමනල අධි ස්වභාවික රක්ෂිතය මැදින්. මහ හිමයෙ අයිතිකාරයන් වන අලියා සහ කොටියා සැරිසරන බැවින් රාත්රී කාලයේ හා අවාරයේ මේ මංපෙත භාවිත කිරීම අනතුරුදායකයි.
හුදු වන්දනාකරුවකු නොවන හුදෙකලා සංචාරකයාට මේ වන මංපෙත මහා ආස්වාදජනක එකක් වුනු බව කියන්නත් දෙයක්ද... මග දෙපසම දක්නට ලැබෙන වනමල්, සමනලුන්, කුරුල්ලන් මගේ වෙහෙස නිවා සිත චමත්කාරයෙන් පුරවාලූවා...
ගිනිකුරුල්ලා
හැමදාම වගේම මම මහත්සේ ඇලුම් කරන වනමල - බිනර...
බිනර
මග කෙළවරක කැලුම් දෙන මේ සොඳුරු වනමල් රැජන මගේ ගමන පමා කර බොහෝ වේලා මා ඈ වෙත රඳවා ගත්තා.
බිනර
මංපෙතින් බැහැරව මදක් වනය තුළට හිසපොවා බැලූ මා වශී කරන්නට ගල්තලා මතින් සිලිසිලියේ ඇදුණු දියදහරා සමත් වුණා.
දියදහරා
මේ සියලු රසමදිරා දෑසින් උරා බොමින් මිහිරෙන් මත්වෙමින් මම වර්ණගල අම්බලම වෙත පිවිසියා.
වනමංපෙත්
එහි ඇති පොලිස් මුරපොළ ලඟින් මදක් පහළට බැස වනය තුළට පිවිසීමෙන් ඉතා සොඳුරු දියඇල්ලක් වෙත ලඟා වන්නට පුළුවනි.
වර්ණගල ඇල්ල
ගල් දෙබොක්කාවකින් එකවර ප්රචණ්ඩව කඩා හැලෙන මෙය වර්ණගල ඇල්ල නමින් ප්රකටයි. එහි පාමුල තටාකය කොයිතරම් ගැඹුරුද කිවහොත් එය දිස්වුණේ තද කළු වර්ණයෙන්. එම නිසා මේ ඇල්ල අසළ ඉතා පරිස්සමෙන් හැසිරිය යුතුයි... නාන්න බහින්න එපා කියලා කියන්න ඕන නෑනෙ...
ඇල්ලට එපිටින් ශ්රීපා නිම්නයේ අතිශය චමත්කාරජනක දර්ශනයක් කුරුලු ඇසින් නරඹන්නට පුළුවන්.

ශ්‍රීපා නිම්නය කුරලු ඇසින්
වර්ණගල ඇල්ල අසළින් වනයේ ඉහළට ගමන් කිරීමෙන් තවත් කුඩා නමුත් සුන්දර ඇල්ලක් නරඹන්නටත් හැකියි.
ඇල්ල උඩ ඇල්ල
මේ සොඳුරු දසුන් නරඹා ආපසු එන්නට සූදානම්ව ගලකට පා තබා ඉහළට නගිද්දී මට බරස් ගා සද්දයක් ඇහුණා. හද්දෙයියනේ... මගේ කැලෑ සගයා වෙච්චි කැමා කලිසම... කලිසමේ යටිපල්ල අතගාල බලාපු මට අහුවුණේ.... නෑ ඒක තොපිට ඕන නෑ...
පොලිස් මුරපොළ ලඟින් නැවත පාරට ආපු මාව පොලිස් නිලධාරියකුගෙ අවධානයට ලක් වුණා... මහත්තයා තනියමද යන්නෙ... බෑග් එකේ අරක්කු සිගරට් එහෙම නෑ නේද...
හනේ ඉතින් ජීවිත කාලෙටම මත්පැන් උගුරක් තොල ගාපු නැති මගෙන්නෙ මෙ අහන්නෙ... ඒත් ඉතින් උන්නැහේ කරන්නෙ රාජකාරිය නොව...
මං බෑග් එක ඇරලා පෙන්නන්න ලෑස්ති වුණෙ... කමක් නෑ මහත්තයා යන්න... පරිස්සමෙන්... බුදුසරණයි
නැවත ගමන් ඇරඹූ මං ඊළඟට නැවතුනේ සීත ගඟුලේ...
සීත සුනිල් දිය දහරා
සීත ගඟුලෙන් නාගෙන එන්න සූදානම් වෙද්දී මට මුණ ගැහුනා තවත් අපූරු වන්දනා නඩයක්. නඩේටම හිටියේ දෙන්නයි හැබැයි. අවුරුදු පහළොවක පමණ දරුවෙකුයි එයාගෙ අයියයි...
මෙතැනින් එහාට මමත් ඔවුන්ගේ එකෙක් බවට පත් වුණා...
මේ දෙන්නගෙ මම දැකපු හොඳම දේ තමයි පරිසරය ගැන උන්ගෙ තිබ්බ කැක්කුම. පාරෙ ටොෆි කොළයක් වැටිලා තිබ්බත් පොඩි එකා ඒක ඇහිඳගෙන ගිහින් කුණු බක්කියකට දානවා.
අනික මේ අයියා තමන්ගෙ මල්ලි ගැන දක්වපු සැලකිල්ල හා සෙනෙහස... ඒක අපූරු සහෝදර බැඳීමක්.
මේ වගෙ තැන්වල මුණගැහිලා ඇති කර ගන්න බැඳීම් සදාකාලිකයි. මොකද අපි සේරම එකම නහර තියන උණකාරයො නිසා. උන් දෙන්නගෙ බත් එකත් මා එක්ක බෙදාගෙන කාපූ මේ අපූරු සහෝදර දෙපළ එතැන් පටන් මගේ ජීවිතේ කොටස් කාරයො වුනා.
මලට වඩා මිහිරි නොවැ අයියගෙ සපත්තුව
ගෙත්තම් පාන
මේ තියෙන්නේ ලයිකනයක් (Lichen)
ලයිකන
ලයිකන කියන්නේ බැක්ටීරියාවක හා දිලීරයක සහජීවී සංගමයක්. මෙය වායුගෝලීය තත්ත්වය මනින සාධකයක් හැටියටත් ගත හැකියි. මොකද ලයිකන හැදෙන්නේ පිරිසිදු වායුගෝලීය තත්ත්වයන් යටතේ පමණයි.
සමනල සේනා
මේ අංකටුස්සා හම්බ වුණේ අතරමගදී...
අංකටුස්සා
නමුත් අහිතකර ආලෝක තත්ත්වයන් හා ඌ ඉඳපු දුර අනුව පැහැදිලි පින්තූරයක් ගන්නට ලැබුණේ නෑ.
සලිත වෙන මීදුම්
පරිසරයේ වින්දනීය ඉසව් ස්පර්ශ කරමින් ඉතා දීර්ඝ පාගමනකින් පස්සෙ උඩ මලුවට ප්රවිෂ්ට වෙද්දී හැන්දෑවෙ හත පහුවෙලා.
ඈත පෙනේ... 
මල්ලිලා දෙන්නා වන්දනා කටයුතු අවසන් කරලා යන්නයි ලෑස්තිය. එළිවෙද්දී රත්නපුරෙන් බස් එකක් අල්ලා ගැනීමයි ඔවුන්ගෙ අරමුණ...
මම ඉතා උණුසුම් ආදරණීය හැඟීමෙන් උන් වැළඳගෙන සමු දුන්නා.
මේ වන විට උඩමලුව වන්දනාකරුවන්ගෙන් පිරීඉතිරී තිබුණා. මදක් වැතිර විවේකයක් ගැනීමටවත් විශ්රාම ශාලාවල ඉඩ නෑ. බෑග් එකට හේත්තුවෙලා පඩි කෙළවරක පැයක් පමණ ඉඳගෙන හිටි මම ආපසු හැටන් හරහා පහළට එන්නට පටන් ගත්තා...
ඒ පාරේ තත්ත්වය කුරුවිට පාරට හාත්පසින්ම වෙනස්. ඉතා විශාල වශයෙන් වන්දනා නඩ ඉහළට කරුණා කරමින් තිබුණු අතර මග දෙපසම සංගීතය වෑහෙන කඩ තිබුණා.
අවසානයේ වෙහෙසකර ගමනකින් පසුව නල්ලතන්නියෙන් කොළඹ බසයක නැගී මම ගෙදර ආවා...

Monday, December 31, 2018

Night Camping at Blue Beach - නිල්වැල්ලේ නීලදියේ....

නිල්වැල්ල දූව එහෙමත් නැත්නම් Blue Beach Isle පිහිටලා තියෙන්නේ දික්වැල්ල නගරයේ ඉඳන් කිලෝමීටර් දෙකක් පමණ දුරින්. ඇත්තටම මේක දූවක් (Isle) නමින් හැඳින්වූවාට මෙය සම්පූර්ණයෙන්ම ජලයෙන් වට වී නැහැ. තුනී වැලි තීරුවකින් ගොඩබිම හා සම්බන්ධ වී ඇති එය Tombola නමින් හැඳින්වෙන විශේෂ භූ පිහිටීමක්. අක්කර 17ක පමණ භූමි ප්‍රදේශයක් වන මෙය මේ වන විට විදේශිකයෙකුටයි අයිති.
මේ අපූරු භූමිය පිහිට තිබෙන්නේ නිල්වැල්ල ධීවර වරායට ඉතා ආසන්නයෙන්.
බරට බරේ අස්වනු
මෙහි කඳවුරු බැඳීම සඳහා ඔබ කල් වේලා ඇතිව එය වෙන් කර ගත යුතුයි. එමෙන්ම වසරේ එක් කාලයකදී මේ දිවයින ගොඩබිම හා සම්බන්ධ කරන වැලි තීරුව වැසී යන බැවින් මුහුද ඉතා රළු සමයේ මෙහි කඳවුරු බඳින්නට හැකියාවක් නැහැ.
කඳවුරු
මෙහි කඳවුරු බඳින්නන් වෙනුවෙන් සියලු පහසුකම් එහි භාරකරුවන් විසින් සපයනු ලබනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ඉතා ප්‍රණීත නැවුම් මුහුදු ආහාර ගැනයි.
සීත මුහුදු සුළඟින් නැළැවෙන නෙරළු තුරු අතරින් සඳ රැස් පෙරී එන හෝරාව වර්ණනා විෂයාතික්‍රාන්ත එකක්. එය අත්විඳීමෙන්ම අවබෝධ කර ගත යුතුයි.
සුදු සඳරැස්....
එමෙන්ම පොල් රුප්පාවෙන් පෙරී එන සඳරැස් මුහුදු දියට වැටීමෙන් ඇඳෙන සිතුවම හරිම විචිත්‍ර එකක්.
සඳරැස්
මේ සියලු සුන්දරත්වයන් දෙනෙතින් උරා බොමින්, ගිනිමැලය වටා හිඳ ගෙන මිහිරි ස්වරයෙන් වැයෙන ගිටාර් තත් අතරේ සිහින් ගීත රාවයකට සවන් දීම ස්වර්ගය මහ පොළවට රැගෙන එන අත්දැකීමක්.
දූපතක රැය ගෙවන්නෙකුට ලැබෙන අමිල ත්‍යාගයක් වන්නේ පසුදා උදෑසන මුහුදට ඉහළින් හිරු නැගෙන අතිශය සුන්දර දසුන දැක ගන්නට ලැබීමයි.
ඒ අතරේ මදක් පමා වූ ධීවරයෙක් හනි හනිකට වරායට ඇදෙන මෙවන් දසුනකුත් ඇතැම් විට ඔබට දකින්නට ලැබේවි.
මේ දිවයිනේ ඉතා බහුලව දක්නට ලැබෙන ජීවියෙක් තමයි තාපස කකුළුවා - Hermit Crab. මේ මගේ අතේ ඉන්නේ කුඩා තාපස කකුළුවෙක්.
තාපස කකුළුවා
මෙයාගේ මේ බාහිර ආවරණය එයාගෙ කවචයක් නම් නෙවෙයි. මිය ගිය බෙල්ලෙකුගේ හෝ යම් කිසි කවචධාරී සතෙකුගේ කටුවක් තමයි තාපස කකුළුවා තමන්ගේ නිවහන කර ගන්නේ. ඌ ක්‍රමයෙන් වැඩෙත්ම පැරණි කටුව ඉවත හෙළා වඩා ඉඩ කඩ ඇති එකක් සොයා ගන්නවා.
වැඩුණු තාපස කකුළුවෙක්
පසුවදා උදෑසන නිල්වැල්ල ආශ්‍රිත මුහුදු තීරයේ මාළුන් නැරඹීම සඳහා අපූරු ස්නෝකලින් වැඩසටහනකුත් ඔබට අත් විඳින්නට පුළුවනි. ඒ සඳහා කිසිදු අය කිරීමක් නැහැ.

මෙහි භාරකරුවන් ගැනත් වචනයක් කිව යුතුමයි. ඉතා අපූරු වෘත්තීමය සේවාවක් ඔවුන් වෙතින් අත් විඳින්නට අපට පුළුවන් වුණා. විශේෂයෙන්ම අපේ කණ්ඩායමේ කුඩා දරුවන් සිටිය නිසා  ඔවුන් අපේ ආරක්ෂාව ගැන බෙහෙවින් සැලකිලිමත් වුණා. කාට හෝ මේ දිවයිනෙහි කඳවුරු බඳින්නට අවශ්‍ය නම් මේ අංකයෙන් චානකව සම්බන්ධ කර ගන්න 0712958558