Friday, December 12, 2014

ග්‍රේට් වෙස්ටර්න්...... The most strenuous hike ever... Part II

පසුගිය චාරිකා සටහන මම හමාර කළේ කන්ද පාමුලින්... එ් සටහන කියවන්න බැරිවුණා නම් මෙතනින් බලන්න.
කන්ද නැගීම ආරම්භ කළ ස්ථානයේ සිට මීටර් දෙසීයක් පමණ ඉහළින් කුඩා කෝවිලක් පිහිටා තිබුණා. දුම්රිය මාර්ගය ආසන්නයේ සිට කෝවිල දක්වා පඩි පේළියක් බැඳ තිබුණු අතර එය අපට සිහි කළේ සිරිපාදයේ මහගිරි දඹයයි...
මහගිරි දඹය....
මේ මහගිරි දඹය අසීරුවෙන් තරණය කළ අපි කෝවිල වෙත ළඟා වුණා.  මද වෙලාවක් කෝවිල අසල ගිමන් නිවූ අපි නැවත ගමන පිටත් වුණා.

 
කෝවිල.....

  මෙතනින් එහාට නිශ්චිතව සලකුණු වුණු මාර්ගයක් නෑ. ගනව වැඩුණු කැලය ඔස්සේ යන්තමට සලකුණු වුණු අඩි පාර දිගේ අපි හෙමිහිට පියවර මැන්නා.
යාන්තම් සළකුණු වුණු අඩිපාර...

බ‍ොහෝ අවස්ථාවල අපිට සිදු වුණේ දෙපයින් යනවාට වඩා අත් පා හතරම භාවිත කරමින්, ගස්, පඳුරු ආ‍දියේ එල්ලෙමින් බඩ ගා ගෙන යන්නටයි. පසුගිය රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව නිසා මාර්ගය බෙහෙවින්ම ලිස්සන සුලු වුණා.
ඔන්න ගොරබිරම් රකුසෝ.. අමු කැලෑ බිඳං එනවෝ...

කෙසේ වුණත් ගමනේ පළමු කොටසේ නැග්ම ඒතරම්ම අසීරු වුණේ නෑ.
පළමු නැග්ම අවසානයේ අපි තරමක් තැනිතලා බිමකට පිවිසුණා... මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වාගේ "නෙලු" මලින් ගැවසී තිබුණා...
මිහිබට දෙව්ලොව....
සුදු සහ දම් වර්ග දෙකටම අයත් මලින් පිරුණු මේ පෙදෙස දෙව්ලොව සිරි මවමින්, මිහිරි සුවඳින් සිත් සනහාලමින් අපේ වෙහෙස දුරු කළා...
සුදුමල් සුගන්ධිනී.... (මේ මල් වර්ගය වඩාත් ඉමිහිරි සුවඳින් යුක්තයි)
කොයිතරම් සුන්දර පරිසරයක් වුණත් විනාශ කොට දැමීම දෙපා සතාගේ සිරිත බව ඔප්පු වෙන සාධක අපි මේ නොඉඳුල් වනාන්තරයේදීත් දැක්කා.. මේ තියෙන්නේ කපා දැමූ ගසක්... 
???

මේ වගේ තවත් ගස් කපා දමා තිබුණු බවට සාධක අවට විසිරී තිබුණා...මේ චාරිකාව තුළ අප අත්දුටු වේදනාකාරීම දර්ශනය එයයි..
බැලූ බැලූ හැම තැනම දිස්වුණේ හරිත පැහැයෙන් දිදුලන ගන වනාන්තරයයි.
මහ ගන වනන්තරේ...

ගස්මත වැවුණු ලයිකන හා අපිශාක පරිසරයට ගුප්ත සුන්දරත්වයක් එකතු කළා.
අපිශාක හා ලයිකන...

(ලයිකන යනු ඇල්ගී හා සයිනොබැක්ටීරියාවක සහජීවී සංගමයක්. මේවා වායු දූෂණය මැනීමේ දර්ශකයක් ලෙසත් යොදා ගන්නවා. එනම් දූෂිත වායු තත්ත්වයන් යටතේ ලයිකන නොවැඩීමයි - ටවුන් එකක අපි ලයිකන නොදකින්නේ මේ හේතුව නිසයි) 
මෙන්න තවත් ලයිකනයක්...

ක්‍රමයෙන් මාර්ගයේ දෙවන කොටසේ නැග්ම ඇරඹුණා. එය පළමු කොටසට වඩා ඉතා අසීරු අභියෝගයක්. ඇතැම් අවස්ථාවල ගසක ගැටගැසූ කඹයක් ආධාරයෙන් ඉහළට නගින්නට අපට සිදුවුණා.
ඳු මුදුනේ සොඳුරු දසුන් සමග ඊළඟ කොටසින් හමුවෙමු...

4 comments:

  1. මග බලාගෙන හිටියා..ඉතුරැ කොටසත් එනකන් මග බලාගෙන ඉන්නවා..
    එල ද බ්‍රා
    නවතින්න ලගපාත තැනක් තියනවද?

    ReplyDelete
  2. මේ අවට නම් නවාතැන් පහසුකම් නෑ. නානුඔයට හරි තලවකැලේට හරි යන්න වෙනවා. සුලු පිරිසකට නම් මෝගන් ගේ ගෙදරත් නවාතැන් ගන්නට පුලුවන් වෙයි. හැබැයි පහසුකම් නම් ඉතා සීමිතයි. ඒ පිළිබද තව තොරතුරු ඉදිරි ලිපියෙන් කියන්නම්

    ReplyDelete
  3. ගොඩක් වටිනවා. මේ වගේ ඉඳ හිට වත් යන්න නොලැබෙන තැන් මේ වගේ මාධ්‍යයකින් වත් දකින්න, කියවන්න ලැබෙන එක. පෝස්ට් එක තව ටිකක් දිග වුණානම් හොඳයි. ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුර... පෝස්ට් දිග ව‍ැඩි වුණහම කියවන්න කම්මැලි වෙයි කියලයි කඩලා දැම්මේ..

      Delete