Thursday, February 19, 2015

බල්ලා මළ ඇල්ල - උඩ කරවිට (යතුරුපැදි චාරිකා)

වනගත සොඳුරිය
අදත් ඔන්න මම යතුරුපැදි චාරිකා සටහනක් අරගෙන ආවා. ඇත්තටම යතුරුපැදිය තරම් පරිසරය විඳිමින් පරිසරයට සමීපව ගමන් යන්න සුදුසු වෙනත් වාහනයක් නැති තරම්. නමුත් වෙනත් රථයකට සාපේක්ෂව ජීවිත අවදානම ඉහළ වාහනයක් බවත් මතක තියාගෙනම පරෙස්සමෙන් චාරිකා කළ යුතුයි.
ඉතින් මගේ මෙවර ගමනාන්තය බොහෝ දෙනෙක් අසාවත් නැතුවා නිසැකයි. කොටින්ම මේ දිය ඇල්ල අවට ගම්වාසීන් පවා මේ ගැන එතරම් දැනුවත් නෑ. මේ වනගත අති සුන්දර දියඇල්ල හැඳින්වෙන්නේ 'බල්ලා මළ ඇල්ල' නමින්. පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ උඩකරවිට ගම් ප්‍රදේශයේ...මම මේ චාරිකාව ගියේ 2011 අවුරුද්දේ... මේ සටහන ලියන්න බොහෝ කාලයක් පෙරුම් පුරා ගෙන හ‍ිටියත් ඡායාරූප ටික අස්ථාන ගත වෙලා තිබුණු නිසා වැඩේ කෙරුණෙ නෑ. අන්තිමට යාන්තම් ලක්දසුන් වෙබ් එකට යවපු ට්‍රිප් රිපොර්ට් එකක් ඊමේල් අවුට්බොක්ස් එකේ තිබිල හම්බ වුණා. 
සුපුරුදු පරිදි අනිත් යතුරුපැදි චාරිකා වගේම මේ චාරිකාවත් ගියේ මගේ පාදපරිචාරිකාව එක්කමයි. සාමාන්‍යයෙන් අපි රත්නපුරේ යන්නේ කළුතරින් හැරිලා බණ්ඩාරගම හරහා. නමුත් බයික් එකේ යන නිසා අතුරු පාරවල් ඔස්සේ වඩාත් ගම්බද ප්‍රදේශ හරහා යන්න අපි තීරණය කළා.
ඒ අනුව හික්කඩුවෙන් ගමන් ආරම්භ කළ අපි කහව, මීටියාගොඩ හරහා ඇල්පිටියට ආවා. ඇල්පිටියෙන් පිටිගලටත් එතැනින් පැලවත්තටත් ආපු අපි පහළ හෙවෙස්ස හරහා බදුරලිය දක්වා දිවෙන මාර්ගයට ප්‍රවිෂ්ට වුණා.
නිසංසල මංපෙත...
කළුගල ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් දිවෙන මේ මාර්ගය අතිශය නිසංසල ඒවගේම සුන්දරත්වයෙන් අනූන එකක්. බයිසිකලයේ රිද්මික නාදය හැරුණාම අවටින් ඇසෙන්නේ කුරුලු කූජනයත් පාර අසලින්ම ගලා හැලෙන දියදහරා වල සිලිසිලියත් පමණයි. ගෙවල් දොරවල් අඩුවෙන් හා ඈතින් පිහිටා තිබුණු මේ මාර්ගයේ වාහනයක් මුණ ගැහුණෙත් ඉඳහිටයි. 
මේ සුන්දරත්වය උපරිමයෙන්ම විඳිමින් ඉතා සෙමින් ධාවනය කළ අපි කුඩා දියදහරක් අසල නැවතී විඩා නිවා ගන්නටත් අමතක කළේ නෑ.
සීත දියදහරා....
මෙසේ ගමන් කළ අපි කඹුරාවල හන්දියෙන් කලවාන මාර්ගයට ප්‍රවේශ වුණා. බදුරලිය නගරය ආසන්නයේ මදක් නතරවුණ අපි මගුරු ග‍ං ඉවුරේ හිඳ උදෑසන ආහාරය සප්පායම් වුණා....
මගුරු ගං ඉවුර....
උදෑසන ආහාරයෙන් පසු දිගටම ගමන් කළ අපි කලවාන හරහා කරවිට නගරයට පැමිණියා. මෙවිට යාන්තම් පොද වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත් නිසා කරවිට නගරයේ කඩපිලක මදක් රැඳී සිටින්නටත් අපට සිදු වුණා. කෙසේ නමුත් සොබාදම් මාතාව අපට කාරුණිකව සැලකූ නිසා මද වර්ෂාව වැඩි වෙලාවක් පැවතියේ නෑ. මෙදා ගමනේ අපේ මාර්ගෝපදේශකයා වුණේ මගේ කාර්යාල මිතුරෙක්. ඔහු ‍නිවිතිගල ගම්වැසියෙක් වුණත් මේ දිය ඇල්ල ගැන එතරම් අසා තිබුණේ නෑ. ඒ නිසා කරවිට කඩපොළේ උදවියගෙනුත් පාර අසා ගෙන අපි ගමන පිටත් වුණා.
කරවිට හන්දියෙන් පරණවත්ත පාරට හැරී මීටර් කීපයක් ගම මැදින් යන විට කුඩා පාලමක් හමු වුණා. ඉන් එගොඩ වී කිලෝමීටරයක් පමණ ගමන් කරද්දී ඈත වනාන්තරය අතරින් රිදී ඉරක් සේ  මේ සුන්දර දිය දහර පළමුවරට අපේ නෙත ගැටුණා.
රිදී දිය දහර...(බොහෝ ඈතින්)
පාර අයිනේ කඩපිලක බයිසිකල් නතර කල අපි ගන කැලෑව මැදින් යාන්තම් මතු වී ‍පෙනුන අඩිපාරක් දිගේ දියඇල්ල සොයා යන ගමන ඇරඹුවා. ගස් ගල් උඩින් පනිමින්, දියපාරවල් වලින් එතෙර වෙමින් ගිය මේ ගමන ඇත්තටම තරමක් දුෂ්කර එකක්. 
මග කටුකයි...
මග දිගට එල්ලෙන්නට බලා සිටින දහස් සංඛ්‍යාත කූඩැල්ලන් අපේ ගමන වඩාත් දුෂ්කර කළා. නමුත් අවට පරිසරයේ සුන්දරත්වයත්, ළඟ ළඟම  ඇහෙන දිය දහරේ හෝ හෝ නාදයත් අපේ වෙහෙස පළවා හැරියා. මගදිගට දක්නට ලැබුණු නොඉඳුල් දියදහරා වල සුන්දර මත්ස්‍ය වර්ග පිරී සිටියා. ඒ අතර බුලත් හපයා, හීත මස්සා, ගල් පාඬියා වැනි බහුතරයක් ආවේණික මත්ස්‍ය වර්ගයන්. රතු වල්ගයක් ඇති සුන්දර මත්ස්‍යයෙක් වන තල් කොස්සා ද මේ දිය දහරා වල දුටු සුවිශේෂ මත්ස්‍යයෙක්.
දියඇල්ල ආරම්භ වන ස්ථානයට පිවිසීම අපේ අරමුණ වූ නිසා අපි දිය ඇල්ලට වටෙන් ඉහළ නැගීම ආරම්භ කලා. ගල් මුල් වල එල්ලෙමින් යන්නට සිදුවූ ඒ ගමන ඉතාම දුෂ්කර එකක්. කෙසේ නමුත් අතිදුෂ්කර ව්‍යායාමයක් අවසානයේ අපි මේ දිය ඇල්ලේ මුදුනට පිවිසියා.
ඇල්ල මුදුනේ සිට
මීටර් 32ක් උස මේ දිය ඇල්ල මුදුනේ සිට අවට බලන විට පහත වනාන්තරය ඉතා සුන්දරව දිස් වෙනවා.
ඇල්ල මුදුනේ සිට
මේ අවට තේ වගාවන් රාශියක් දක්නට ලැබෙනවා. මේ වතුයායන් හිමිව සිටි සුදු ජාතිකයාගේ බල්ලා මේ දියඇල්ල මුදුනින් වැටී මිය ගිය නිසා මේ දිය ඇල්ල "බල්ලා මළ ඇල්ල" නම් වූ බව ප්‍රදේශ වාසියෙක් පැවසුවා.
දිය ඇල්ල මුදුනේ මද වේලාවක් රැඳී සිටි අපි ඉන් අනතුරුව දිය දහරාව ඔස්සේ පහතට බැසීම ආරම්භ කලා. මෙය ඉතා අසීරු මෙන්ම පරෙස්සමෙන් කළ යුතු දෙයක්. මදක් පය වැරදී ගියොත් බල්ලාට වෙච්චි දේම තමයි වෙන්නේ...
දියඇල්ලේ මැද කොටස
බල්ලා මළ ඇල්ල - In it's all glory...

දිය ඇල්ලේ පහළ කොටසට පැමිණ පරිස්සම් ඇති තැනකින් නාගත් අපි බොහෝ සුන්දර මතක හද රඳවා ගෙන ආපසු එන්නට ආවා.
බොහෝ දෙනාගේ ඇහැට වහංව වනගතව පිහිටා තිබීම නිසා මේ ඇල්ල අවට පරිසරය තවමත් විනාශ වී නැහැ. තවමත් එය එසේම පවතිනවා ඇතැයි මා විශ්වාස මෙන්ම ප්‍රාර්ථනාද කරනවා...


මේ දිය ඇල්ලේ වීඩියෝ එකක් හම්බවුණා යූ ටියුබ් එකෙන් ඒකත් බලන්න එහෙනම්...

තවත් යතුරු පැදි චාරිකා සටහන් මෙතැනින්.. http://sobaroo.blogspot.com/2013/01/1.html

13 comments:

  1. එහෙනම් ඉතින් බල්ලා මල ඇල්ලටත් දෙයියන්ගෙ පිහිටයි...
    තොරතුරුවලට ගොඩාක් ස්තූතියි. ඒ වගේ සුන්දර තැන් විනාශ කරන්න එපා කියල අපිත් සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමු

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... වගකිව යුතු සංචරණය (Responsible Traveling) කියන දේ අපේ අය දන්නෙම නෑ. ඒකනෙ පහුගිය දෙ‍ාහක අක්ක කෙනෙක් අලුත් සීගිරි කුරුටු ගීයක් ලියන්න ගිහින් මාට්ටු වුණේ...

      Delete
  2. meewa prasidhdha karanna epaa ban...winaasa wenawa.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒත් මගේ බ්ලොග් එකට ඉන්නේ සීමිත පාඨක පිරිසක්. උන්ගෙන් පරිසරයට අබමල් රේණුවකින්වත් හානියක් නෑ.

      Delete
  3. යතුරු පැදි චාරිකා කියන්න‍ෙ මගෙත් ප්‍රියතම එක නොවැ...විස්තර ටික බොහොම අගේට ඉදිරිපත් වෙලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. ඔයා ගිහිපු බයික් ට්‍රිප් වල විස්තර ටිකකුත් දාන්න. ට්‍රිපක් යන්න නං ඉතින් බයික් එකට වඩා වාහනයක් නෑ.

      Delete
  4. ලස්සන සටහනක්.
    උඹ ගිහින් තියෙන්නේ අපේ ගම හරහා. බදුරලිය. හැබැයි මම දැන් එහෙ යන්නේ නිවාඩුවට විතරයි.
    මේ වගේ හැංගිච්ච දිය ඇලි සෑහෙන ප්‍රමාණයක් මේ පැත්තේ තියෙනවා.
    ලඟකදී මම අපේ ඔෆිස් එකේ සෙට් එකක් එක්ක නාන්න ගියා. මමත් එදාමයි එතනට ගියේ.
    කෙළින්කන්ද කිට්ටුව තියෙනවා හරි අපුරු නම් තියෙන දියඇලි දෙකක්.
    කුරුපොඩි ඇල්ල සහ කහබත් ඇල්ල කියලා.
    ඒ පරිසරයත් මිනිස්සුන්ට යන්න බැරි නිසාම හොඳට ආරක්ෂා වෙලා තියෙනවා.

    මමත් කලින් බයික් පිස්සෙක්. ඒත් එක වතාවක් විශේෂ කුරුල්ලෙක් හොයාගෙන ෆොටෝ ගහන්න අත්වැල්තොට පැත්තේ ගිහින් සිද්ධ වෙච්ච අනතුරක් නිසා බයික් පැදීම නතර කරලම දැම්මා.
    මාස ගානක් දුක් වින්දා.
    වැරැද්ද මගේ නොවුනත් දුක් විඳින්න උනේ මට

    ReplyDelete
    Replies
    1. උඹ කියපු දියඇලි දෙක ගැන ඇහුවෙත් අදමයි. කවදම හරි ඒවත් බලන්න යන්න ඕන. හැබැයි රජෝ දැං ඉස්සර වගේ හිතුණ හැටියෙ බයික් එක අරං ට්‍රිප් යන්න බෑ. බයිසිකලේ එළියට ගත්ත ගමන් මාත් එනවා කියලා ටැංකිය උඩ නගින එකෙක් දැං ඉන්නවා.
      බයික් ගමන් සුන්දරයි වගේම පට්ට බයානකයි. ඔය නුවරඑළි ට්‍රිප් එක ගිහිපු වෙලේ දෙපාරක් ජීවිතේ බේර ගත්තෙ අනූ නමයෙන්.
      උඹේ බ්ලොග් එකේ පරණ ලිපිත් එක එක කියවනවා. උඹව මුරුංග අත්තෙ තියන්න කියනවා නෙවෙයි. උඹ ලියන ස්ටයිල් එකටයි ලියවෙන තීම් එකටයි මං පට්ට ආසයි. මටම පුදුමයි මෙච්චර කල් මේ බ්ලොග් එක මිස් වෙලා තිබිච්ච එක.

      Delete
    2. ඒ දියඇලි බලන්න යනවනම් කියපන්. මම පාර කියන්නම්. හැබැයි ප්‍රසිද්ධියේ නෙමෙයි.
      ඒ වගේ තැන්වලට විනාශකාරී ජහමනයෝ යන එක ඒ තරම් සුභ නැහැ

      පොඩි එව්වෝ ඉන්න නිසා බයික් ගමන් පුළුවන් තරමට අඩු කරන්න පුළුවන්නම් හොඳයි.
      ලිවිල්ල ගැන කියපු දේ වලට තෑන්ක්ස් මචං.
      මගේ කළින් පෝස්ට් වලට වඩා දැන් ලියන රටාව ටිකක් වෙනස්. ඒකට හේතුව ටික කාලයක් ලියන්නේ නැතුව හිටපු නිසාද දන්නේ නැහැ.
      මම නකස්ල් දෙවෙනි කොටසත් දැම්මා ඇවිත් බලපන්.
      ජය වේවා...!

      Delete
  5. මැප් එහෙකුත් දාමුද දිල්? වටිනාකම වැඩිවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට. ඊළග පෝස්ට් එකේ ඉඳලා දාන්නම්.

      Delete
  6. අපූරු චාරිකා සටහනක්
    ඒත් ඔයි පැත්තෙ බයික් එකෙන් එන්න නං මට කොන්දක් පංචිකාවත්තෙන් අරං එන්ට වෙයි හිහි
    අර මදාවිය කියල තියෙනව වගේ මැප් පොඩිත්තකුත් එල්ලුව නං මත් හැත්තැහතයි ඈ

    ආයෙත් එඥ්ඥංකො අායිබංඩ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මහේෂ්. බයික් ගමන කොන්දට නං ටිකක් අමාරුයි තමා. ඒත් ආතල් එක කෝටියයි. මැප් එකක් දාන එක වටිනවා තමා. ස්තූතියි දෙන්නගෙම අදහස් වලට.

      Delete