නම් නොලද ඇල්ලක්... |
ජීවිතයේ සහභාගි වන්නට ලැබුණු දුෂ්කරතම සහ සුන්දරතම චාරිකාවකට පසුගිය ජනවාරි මාසයේ එක්වන්නට ලැබුණා. ශ්‍රීලංකා දියඇලි මිතුරු සංසදය මගින් සංවිධානය කල මේ ගමන යෙදී තිබුණේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ඇස නොගැසුණු අතිශය සුන්දර පෙදෙසක් වන සිරිපා රක්ෂිතයේ ඇලි හත සොයා යන්නටයි.
ඇලිහත නමින් නම් කෙරුණත් මේ දියඇලි පද්ධතිය තුළ ඊට වඩා ඇලි සංඛ්‍යාවක් පිහිටන බවයි අපේ අත්දැකීම වුණේ. ඇතැම් දියඇලි මේ වන තෙක් වාර්තා නොවී පැවතීම විශේෂයක්. මේ අපූර්ව දියඇලි පද්ධතියට ජීවය දෙන්නේ සීතාවක ගඟ එසේත් නැතිනම් නයා ගඟ විසින්. මේ ගංගාව කැළණි ගඟ පෝෂණය කරන ප්‍රධානතම ජල පෝෂකයක්.
ඇලිහත පිහිටා තිබෙන්නේ දැරණියගල නගරයේ සිට අතිදුෂ්කර ගමන් මගක කිලෝමීටර 18ක් පමණ ගමන්කළ පසු හමුවන උඩමාලිබොඩ ප්‍රදේශයේයි.
උඩ මාලිබොඩ.... |
මේ ගම්වැසියන් මුහුණ පාන ප්‍රවාහන දුෂ්කරතා හා සසඳා බලද්දී අප කෙතරම් වාසනාවන්තදැයි සිතුණු වාර අනන්තයි.
ගමන දුරයි මග කටුකයි.. |
මේ ආකරයට වාහනයෙන් බසිමින් එය තල්ලු කරමින් සෑහෙන දුරක් ගිය අපි අවසානයේ සිරිපා රක්ෂිතයේ මායිමට පැමිණියා. ඈතින් යාන්තමින් දිස්වුණු ඇලිහත දියඇලි පද්ධතියේ පළමු ඇල්ල අපේ මහන්සිය සෝදා හැරියේ ක්ෂණයකින්.
ඇලිහත ඉතා අෑතින්.. |
මේ සුන්දර දියඇලි පද්ධතියේ අනාගතය එතරම් හිතකර නොවන බව අපට මනාව පසක් වුණේ එහි ඉදිකර ඇති කුඩා ජලවිදුලි බලාගාරය දැකීමෙන්. රටට පිළිලයක් වී ඇති මේ කුඩා ජලවිදුලි බලාගාර නිසා වැනසෙන පාරිසරික වටිනාකම් මෙතකැයි කියන්නට බැහැ. දෙවන ඇල්ලට ඉහළින් ඉදිකර ඇති බැම්මක් මගින් දියපහර හරස්කර වනය තුළින් එළන ලද විශාල බටයක් ඔස්සේ මේ විදුලි බලාගාරයට ජලය ලබා ගන්නවා. බටය දෙපස අඩි දහයක් පමණ කිලෝමීටර් එකහමාරක් තරම් දුරකට වනය එළිපෙහෙළි කර තිබුණා. දැඩි ස්වභාවික රක්ෂිතයක මේ තරම් දේවල් කරන්නට අවසර දුන්නේ කවුද?
රටට හෙණයක් වූ කුඩා බලාගාර... |
මේ ඔබ දකින්නේ ඇලිහත දියඇලි පද්ධතියේ අපට මුලින්ම මුණගැහෙන ඇල්ල. ඇත්තටම කිව්වොත් ඇලිහත පද්ධතියේ අවසාන ඇල්ල. මේ ඇල්ල දෝතළු ඇල්ල වශයෙනුත් හැඳින්වෙනවා. මේ ඇලි පද්ධතියේ නමකින් හඳුන්වන එකම ඇල්ල මේකයි.
දෝතළු ඇල්ල... අකාලයේ මරා දැමූ සුන්දරිය... |
දිය ඇල්ල ඔස්සේ ඉහළට... |
ඇල්ලේ ජලය අඩුවී තිබීම නිසා ඇල්ල ඔස්සේ ඉහළට නගින්නට අප තීරණය කළා. වනය තුළින් ගමන්කරනවාට වඩා අඩු කාලයකින් ඉහළ නගින්නට එමගින් අපට අවස්ථාව සැලසුනා. නමුත් එය ඉතාම කල්පනාවෙන් කළ යුතු කටයුත්තක්. බලන්න මේ පින්තූරයේ ඉදිරියෙන්ම සිටින මමත්, රතු ඊතලයෙන් පෙන්වා ඇති මගේ සගයනුත් සිටින ස්ථාන දෙස. මේ රළු බෑවුමේ කෙතරම් ඉහළින් මා සිටිනවාදැයි ඔබට වටහා ගත හැකියි. අප මේ නගින්නේ දිය ඇල්ලට සමාන්තරවයි. ඉතා ලිස්සන සුළු ගල්පර්වතය ඇතැම් විට අත්පා හතරෙන්ම තරණය කරන්නටත් අපට සිදු වුණා. එහිදී කණ්ඩායම් සගයන් දැක්වූ සහයෝගය වචනයෙන් විස්තර කරන්නට අපහසු තරම් අපූරුයි. මීට පෙර කවදාවත් මුණ ගැසී නැති, මුහුණු පොතෙන් පමණක් යන්තම් හඳුනාගෙන සිටි ඔවුන් ඉතා මිත්‍රශීලී උණුසුම් හදවත් ඇති පරිසර ලෝලීන් බව කිව යුතුමයි. ගමනේ අසීරු අවස්ථාවලදී එකිනෙකාට දැක්වූ සහයෝගය නොවන්නට මේ ගමන යතාර්ථයක් නොවන්නට තිබුණා....
පළමු ඇල්ලේ මුදුන... |
දෙවන ඇල්ල... |
දෙවන ඇල්ලේ මුදුනේ සිට.... |
මේ තිබෙන්නේ දෙවන ඇල්ලේ මුදුන... බල්ලා මළ ඇල්ල තරණය කළාට පසු දිය අැල්ලක මුදුනට යන්නට ලැබුණු දෙවන අවස්ථාවයි මේ... එකවර දියඇලි හතකම මුදුන් තරණය කරන්නට ලැබීම ජීවිතයේ මා ලද භාග්‍යයක්...
දෙවන ඇල්ලේ සිට තෙවන ඇල්ල වෙත යාම ප්‍රබල අභියෝගයක් වුණා. දියපහර ඔස්සේ ඉතා අසීරුවෙන් ඉහළට ආ අපට කිසිසේත් තරණය කළ නොහැකි විශාල බාධාවක් මුණ ගැසුණා. ඒ සෘජුව ඉහළට නැගුණ ගල් බිත්තියක්. ආරක්ෂක බඳපටි, හිස්වැසුම් ආදිය නැතිව එය තරණය කිරීම කිසිසේත් නොකළ යුත්තක් බව අප සමග සිටි පළපුරුදු කඳු නගින්නන් වන දිලුම් හා තිමිර තරයේ කියා සිටි බැවින් එය මගහැර යාම සඳහා අප වනයට ඇතුළු වුණා.
වනරාජ |
මේ අලංකෘත කුඩා ශාකය අපට මුණ ගැහුණේ වනාන්තරයේ දියපහරට ආසන්න සෙවණ ඇති තැනකදී. මේ තමා සුප්‍රකට වනරාජ ශාකය.
Anoectochilus regalis යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙය ලංකාවට ආවේණික දුර්ලභ ඖෂධ පැළෑටියක්. සර්ප විෂට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත වන දිව්‍ය ඖෂධයක් ලෙසයි වනරාජ සැලකෙන්නේ...
ගල්පර්වතය මගහැර යාම සඳහා වනය තුළින් බොහෝ දුරක් ගමන්කළ අපි නැවත දියපහර වෙත පිවිසුණා.
ගමනේ දුෂ්කර අවස්ථාවක්... |
ඩ්‍රෝනය.... |
අප සමග පැමිණි දිනුෂ අයියා ඇතුළු කණ්ඩායම රූගත කිරීම සඳහා ඩ්‍රෝන යානයක් ගෙනවිත් තිබුණා. අපට ළඟා විය නොහැකි මානයන්ට ළඟා වෙමින් සුන්දර දර්ශන රූගත කරන්නට එයට හැකි වුණා.
මෙසේ ඉතා අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දෙමින් අපි ඉදිරියටම ගමන් කළා....
ගමනේ තවත් සුන්දර අවස්ථා ඉදිරි ලිපි මගින්....
මරු ගමනක්නේ උඹල ගිහින් තියෙන්නේ, තව විස්තර කලානම් වටිනවා...
ReplyDeleteමගේ ශරීර තත්ත්වය දැන් ඔය තරම් රළු ගමනකට ඔරොත්තු දෙන්නේ නැහැ, ඒත් ආපහු කොහොමහරි මේ ලයිෆ් එකට පණ දෙන්න ඕනේ...
///රටට පිළිලයක් වී ඇති මේ කුඩා ජලවිදුලි බලාගාර නිසා වැනසෙන පාරිසරික වටිනාකම් මෙතකැයි කියන්නට බැහැ.///
ඔය ඕනේ දෙයක් පරිසරයට අවම හානියක් වෙන විදිහට කරන්න පුළුවන්, ඒ වගේම රටේ අවශ්‍යතාව සළකලා රක්ෂිත තුළත් කුඩා ජලවිදුලි බලාගාර අනුමැතිය ලබා දෙනවා...
පරිසරයට තරමක හෝ හානියක් වෙන්නේ ඒවා ඉදි කිරීමේදී තමයි, අන්න ඒ කාල සීමාවේ ඔය ව්‍යාපෘති අධීක්ෂණයට නිලධාරින් යොමු වෙනවා නම් මේ ගැටළු අවමත් කර ගන්න පුළුවන්...
කුඩා බලාගාර කියන්නේ රටේ අවශ්‍යතාවයක්, එතැනදී රජයට කිසිදු මුලික මුදලක් වැය නොකර මිළදී ගන්න විදුලියට පමණක් මුදල් ගෙවමින් ජනතාවට විදුලිය සපයන්න පුළුවන්...
ඒ ගෙවන මුදලත් ජනතාවගෙන් සෘජුවම අය කර ගන්න හැකි නිසා විදුලිබල මණ්ඩලය ලාභයකුත් ලබනවා...
මිනිසා සහ ඔහුගේ ක්‍රියාකාරකම් කියන්නේ පරිසරයට කොහොමත් තර්ජනයක්, කළ හැක්කේ ඒවා අවම කිරීම පමණයි...
ඉක්මණට අනිත් විස්තර ටිකත් දාපන්...
මෙතන ක්‍රියාත්මක වන්නේ මාෆියාවක් ලොකුපුතා. කුඩා විදුලි බලාගාර වලින් විදුලිය නිපදවන්න පුළුවන් වර්ෂා කාලයට පමණයි. ඒ කාලයට විශාල විදුලිබලාගාර වලිනුත් උපරිම ධාරිතාව විදුලි බල පද්ධතියට ලැබෙනවා. අපට අවශ්‍ය වැසි නැති කාලයට විදුලිය ලබා ගත හැකි ක්‍රමයක්. මේ බලාගාරයකින් නිපදවන විදුලිය ජාතික විදුලි පද්ධතියට මිලදී ගන්නේ විශාල මුදලකට. අපේ රටේම ජලයෙන් නිපදවන විදුලිය අප විශාල මුදලකට මිලදී ගන්නවා.
Deleteමේකෙ මාෆියාවක් තියෙන්නේ මේ බිස්නස් එක කාගේ අතටද යන්නේ කියන එකට තමයි...
Deleteඒ කියන්නේ බලය තියෙන උන් තමයි ගොඩ වෙලාවට මේවා හදන්නේ. දැනට පොදුවේ ගෙවන්නේ යුනිට් එකට රු.14~15/- වගේ ගණන්...
පාරිභෝගිකයෝ විදිහට අපිට මුල් යුනිට් කීපය රු.7.85/- ට ලැබුනත් එතනින් පස්සේ පිළිවෙලට රු.10/-, 27.75/- සහ 32/- දක්වා වැඩිවෙන නිසා විදුලි බල මණ්ඩලයට මෙය පාඩුවක් විය නොහැකියි...
අපේ රටේ ජලය උනාට ඒ බලාගාරයක් හදන්න යන මිලියන සිය ගණනක පමණ මුදල යොදවන්නේ යම්කිසි පුද්ගලයෙක් හෝ සමාගමක්...
එතැනදී ඔහු ලාභයක් ලබන්නේ නැත්නම් ඒවා රජයෙන් කරන්න වෙනවා.
එවිට සියලු වියදම රජය දැරිය යුතු වෙනවා සහ නඩත්තු කටයුතු සේවක පඩිනඩි සඳහා ඉදිරියටත් වැයකළ යුතු වෙනවා...
නමුත් දැන් ඒ සියල්ල අර පුද්ගලයා හෝ ආයතනය විසින් කලයුතු අතර ඒකකයේ මිළ රජයට තීරණය කළ හැකියි...
ඩිසල් විදුලි බලාගාර වලින් විදුලිය ගන්නේ සාපේක්ෂව ඉතා වැඩි ගණන් වලට, රු.40~50/- වගේ ගණන් වලට, අන්න ඒකනම් මාෆියා එකක් කියලයි ආරංචිය...
නොරොච්චෝලේ හැමදාම කැඩෙන්න ඒ මාෆියාව හේතු උනා කියල ඉස්සර කතාවක් තිබුනා...
මිනි හයිඩ්‍රො බහුතරයක් තියෙන්නේ හොඳට වැසි ලැබෙන ප්‍රදේශ වල. ජලපහරේ ධාරිතාව අධ්‍යනය කරලා මේවා කරන නිසා වැසි නොමැති කාල වලදීත් විදුලිය නිපදවෙනවා. පොඩි අඩුවීමක් වෙන්න පුළුවන්...
නමුත් ප්‍රධාන බලාගාර ඇති ප්‍රදේශ හෝ පෝෂක ප්‍රදේශ වලට වැසි නොමැති කාල වලදීත් වෙනත් ප්‍රදේශ වල ඇති කුඩා බලාගාර වලින් විදුලිය නිපදවන්න හැකි නිසා ප්‍රධාන බලාගාර වල ජලය යම්කිසි ප්‍රමාණයක් හෝ ඉතිරි කර ගැනීමට හැකිවීම වාසියක්...
චන්ද්‍රිකා යුගයෙන් පස්සේ රටේ විදුලිය කැපීම් නැති වෙන්න සහ විදුලිය නැති අයට විදුලිය ලබා දෙන්න මේවත් යම් පමණකින් හෝ දායක උනා කියන එක අමතක කරන්න හොඳ නැහැ...
මේ කුඩා බලාගාරයක ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක්, මුන් ඉදිරිපත් කරන ගණන් නම් ගිනි ගණන්...
http://www.jcied.com/report_pdf/Maguru_ganga_report.pdf
නියමයි මල්ලියා
ReplyDeleteස්තූතියි සුමුදු අයියා... ඔබ නැත්නම් මේ ගමන සිහිනයක් වන්නට තිබුණා
Deleteදුෂ්කර ගමනකින් ලැබුණු රසවත් අත්දැකීම් බෙදාගත්තට ස්තුතියි.
ReplyDeleteස්තූතියි විචාරකතුමා. ඔබ දෙන ධෛර්යය සෑහෙන්න වටිනවා
Deleteඉතා වටිනා චාරිකාවක්. මේ වගේ දේකදි ටීම් වර්ක් කියන එක උපරිමයෙන්ම නැත්තං වැඩේ සාර්ථක වෙන්නෙ නෑ.
ReplyDeleteඉතුරු විස්තර ටිකත් දාන්න.
අනිවාර්යයෙන් ප්‍රසා...
Deleteසේරම එකා වගේ එකට නොහිටියොත් කෙළ වෙනවා. ඇතැම් විට ජීවිත අවදානමක් පවා ඇති වෙන්න පුළුවනි.
අපරාදෙ කියන්න බෑ එළ කොල්ලො ටිකක් ගියේ. උංව දැක්කෙත් එදාමයි. ඒත් ඒ ඇති වෙච්ච සහෝදර බැම්ම දිගටම තියේවි
උස් තැනක ඉදං පහල බලන්න අමාරු ලෙඩක් මට තියනව, අර ඇල්ලට නගින ෆොටෝ එක බලද්දි ඒ බය දැනුන.
ReplyDeleteනියම චාරිකාව මචං, ඉස්සර වටේ තියන හැම කන්දකම කැලෑවකම කරක් ගැහුව. දැන් පයින් 1km යාගන්න බෑ.
මට නං ඒවෙලේ බයක් දැනුනෙ නෑ මචං. හැබැයි දැං බලද්දි නං බය හිතෙනවා. අපි මේ ට්‍රිප් එකේ කිලෝමීටර් 12ක් විතර පයිං ගියා...
Deleteමටත් බං දැං මේ බයිසිකල් මගුල නිසා ටික දුරක්වත් පයිං යැවෙන්නෙ නෑ.
This comment has been removed by the author.
ReplyDeleteniyamai..
ReplyDeleteThanks Buddhika
Deleteමතකද ජාතික රූපවාහිණියෙ මේ මෑතක සංචාරක වැඩසටහනක් ගියා ඒ උපරිම අවුරුද්දකට උඩදි. මට නම නං මතක නෑ. එ වැඩසටහනේ තමයි මං ඉස්සරෝම ඇලි හත දැක්කෙ එතකොට ඔය බලාගාර සීන් එක තිබ්බෙ නෑ...
ReplyDeleteඅපරාදයක්. අපේ මිනිසසුන්ට කෝමත් ඕවැයි අගයක් නෑ ඒකයි කණගාටු
ඇමති ල කියන වේසාවන්ට චන්දෙ දෙන හැතිකරේට ගහන්න ඕන. උංට ගහල වැඩක් නෑ.. මොකද උංට ඡන්ද හම්බෙන හිංද නෙ උං හැම දේම විනාස කරන්නෙ
හරියටම අපි ඇලිහත තරණය කරපු දවසෙ රෑ සිරස නාලිකාවෙ මේ බලාගාරෙ ගැන වැඩසටහනක් ගිහිං තියෙනවා.
Deleteඋඹ කිව්වත් වගෙ මහේෂ් මේක පිටිපස්සෙත් දැවැන්ත දේශපාලන හස්තයන් තියෙනවා. මේ මුල කපා දාන්නෙ නැතුව මොකක් කරත් වැඩක් නෑ
නියමයි... ඇලි හත ගැන කලින් දැනගෙන හිටියේ නැහැ.. ඉතුරු විස්තර ටිකත් ඉක්මනට දාන්න..
ReplyDeleteඇලි හත ගොඩක් හැංගිලා තියෙන තැනක්. මේව ප්‍රසිද්ධ කරන එකත් ඒතරම් හොද වැඩක් නෙවෙයි. නමුත් මගේ බ්ලොග් එකේ සීමිත පාඨක ප්‍රජාව පරිසරයට හානි කරන අය නොවන බව මට විශ්වාසයි
Deleteඇලි හත මම ගිය කාලෙ ඔය විදුලි බලාගාරය හදන්න පටන් ගත්තා විතරයි...අද මුල්ම හරියෙ දියඇළි වලට මේ ව්‍යාපෘතිය නිසා ජලය ලැබෙන්නෙ නෑ කියලා මම ලගදි ඇහුවා..මගේ ඇලිහත අත්දැකීම් නුදුරු අනාගතයේ දවසක ලියන්නම්...
ReplyDeleteThanks a lot Dilshan me wisthara share karata. matath yanna ona wela thiyenawa mewa balanna September wala wage. e kale yanna hondada? Accommodation hoyaganne kohomada?
ReplyDeleteSorry uttara denna parakku vunata. Me thiyenne diya ali mithuru sansadaye number eka. eyata katha karanna wisthara dei. 0716306005
Delete