කන්නෙලියත් එක්ක මගේ තියෙන්නෙ ආත්මගත බැඳීමක්. මේ වෙන කොට කන්නෙලිය රක්ෂිතයේ වනමං අතරින් මං පියමං නොකළ වනමගක් නැති තරම්. පසුගිය බදාදා තුන්වැනි වතාවටත් කන්නෙලියේ දිග හා දුෂ්කරම වනමං පෙත වන කබ්බලේ කන්ද වනමං පෙත ඔස්සේ අතිශය සොඳුරු කබ්බලේ කන්ද තරණය කරන්නට මට හැකි වුණා.
මෙවර ගමනට එක් වුණේ මගේ වනචාරී (වනයේ හැසිරෙන) දයාර්ද්‍ර මිත්‍රයෙක්. අපි දෙදෙනා හික්කඩුවෙන් පිටත්ව යටලමත්ත කිට්ටුවට එද්දී මහ වැස්සකටත් අහු වුණා. බයිසිකලයක සංචාරය කරන්නෙකුට ලැබෙන එක් දුලබ අවස්ථාවක් තමයි අවට පරිසරයේ වඩා සමීප වින්දනීය අත්දැකීමක් ලබන්නට හැකිවීම. ඒ එක්කම ජන ජීවිතය හා හොඳින් මුහු වෙන්නටත් බයිසිකල් සංචාරකයාටත් පොදු ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ සංචරණය කරන්නාටත් ලැබෙනවා.
ඉතින් අපි වැස්සට නැවතී හිඳපු යටලමත්තේ පුංචි ගෙදර මාමාත් හරි අපූරු චරිතයක්. ජැකට් හෙල්මට් දාගෙන ඒලියන්ස්ලා වාගෙ පෙනුන අපි පවා සාදරයෙන් පිළි අරං බොහොම සුහදව සැලකූ ඒ වයසක ගැමියා අපේ හදවත් වල උණුසුම් තැනක ලැගුම් ගත්තා.
කන්නෙලියේ පිවිසුම් දොරටුවට අපි පිවිසියේ මද පොද වැස්සේමයි. ටිකට් කවුන්ටරය ඉදිරියෙන් ඇති වනමග ඔස්සේ කැලෑවට ඇතුළු වූ අපි තෙත් කලාපීය සදාහරිත වැසි වනාන්තරයක අරුමය විඳිමින් හෙමින් ඉදිරියට ගියා.
|
කරඳ |
මේ එසේ ගමන් කරද්දී අපට හමුවුණ කරඳ ශාකයක්. එහි කඳේ කළු කූඹි ගුල් ජනපද දක්නට පුළුවන්. උන් කඳ විදගෙන ඇතුළු වුණේ කෙසේදැයි මට හිතා ගන්නට බැරි වුණා.
|
විවේකස්ථාන |
මෙලෙස ඉදිරියටම යද්දී ගමනේ පළමු විවේක ස්ථානය මුණ ගැහෙනවා. ඉදිරියට නෙරූ විසල් ගල් පතුරක් යට මදක් හිඳගෙන විවේක ගන්නට ඔබට පුළුවන්. මේ ගල් පොත්ත මට සිංහරාජයේ සිංහගල මං පෙතේදී මුණ ගැහෙන ගල් පොත්ත සිහි කළා.
|
වැරණිය |
|
බ්ලූබොට්ල් සමනලයා - Graphium sarpedon |
පෝෂක ශාකය ලෙස වැරණිය භාවිත කරන සමනලුන් බොහෝ ප්‍රමාණයක් අපට දක්නට ලැබුණා.
|
Rustic - Cupha erymanthis |
අවට සියලු සුන්දරත්වයන් උරා බොමින් කඳු මුදුනට පිවිසෙන්නට අපට ආසන්න වශයෙන් පැය දෙකක් පමණ ගත වුණා. ඒ අතර තුර අනවරත කූඩලු ප්‍රහාරයන්ට ලක් වූ බව නොකියාම බෑ. මීට පෙර දෙවතාවක් ඇවිත් තිබුණත් කබ්බලේ කඳු මුදුන හැමදාමත් නැවුම්...
|
කඳු මුදුනේ සිට |
කඳු මුදුනේ සිට කුරුලු ඇසින් අවට බලන විට දක්නට ලැබෙන දර්ශනය අතිශයින් මනහරයි. නොඉඳුල් වන පියස සිප හමන සීත සුළං පහස විඳිමින් ගල් තලාව මත වැතිරී පැයකට ආසන්න කාලයක් ගත කළ අපි ආපසු එන්නට හැරුණා.
|
කටු කිතුල් - Oncosperma fasciculatum |
මේ කටුකිතුල් ශාකය දක්නට ලැබුණේ කඳු මුදුනට ආසන්නවයි. මෙය ලංකාවට ආවේණික ශාකයක්. කඳ පුරාම දක්නට ලැබෙන කටු නිසා මෙය කටු කිතුල් ලෙස හඳුන්වනවා.
|
ස්ථරීභවණය |
සදාහරිත වනාන්තරයක ස්ථරීභවනය හොඳින්ම නිරීක්ෂණය කළ හැක්කේ කඳු මුදුනක සිටයි. බලන්න වියන් ස්ථරයේ හොර, බූහොර, මිල්ල, හැඩවක, හල් ආදී ශාක මතු වී පෙනන හැටි
කඳු මුදුනේ සිට පහතට බහින්නට මංපෙත වැටී තිබෙන්නේ මළ දොළක් හරහායි. මේ අතර දුටු බාඳුරා ගොටුවක් හා මලක් තමයි මේ. ඇත්තටම කෘමි සතුන් බාඳුරා මල විසින් ගොදුරු කර ගන්නවා යැයි කීම ව්‍යාජයක්.
|
බාඳුරා ගොටුව |
කෘමීන් ගොදුරු වන්නේ බාඳුරා ගොටුවටයි. එය පත්‍රයේම විකරණයක්. බාඳුරා මල කෘමීන් ආකර්ෂණය කර ගත්තත් ගොදුරු කර ගන්නට බැහැ.
|
නිකරුණේ චෝදනාවට ලක් වෙන මල |
මෙලෙස හෙමින් පහළට ආපු අපට මගදී මේ විශාල බිම්මල දක්නට ලැබුණා.
|
ඌරු හතු |
ඌරු හතු යනුවෙන් හැඳින්වෙන මෙය ආහාරයට ගන්නා විශේෂයක් බවයි සඳහන් වුණේ.
කන්නෙලිය වනයේ සුලබව දක්නට ලැබෙන පිනුම් කටුස්සෙකුගේ ගැහැණු සතෙක් මේ.
ලංකාවට ආවේණික විශේෂයක් වන පිනුම් කටුස්සාගේ පිරිමි සතා මීට වඩා විචිත්‍ර සුන්දර සතෙක්.
හැම තැනම දක්නට ලැබෙන දියදහරා ආවේණික මත්ස්‍ය විශේෂයන්ගෙන් ගහණයි.
|
තල්කොස්සා - Belontia signata |
මේ තල්කොස්සා නමින් හැඳින්වෙන අතිශය සුන්දර මත්ස්‍යයෙක්.
|
අනගිමල ඇල්ල |
අති සුන්දර අනගිමල ඇල්ලේ දර්ශනයෙන් පසු අපි කබ්බලේ කන්ද ගමන අවසන් කළා.
ඉන්පසු අපි කන්නෙලිය රක්ෂිතයෙන් පිටත්ව ආසන්න සුන්දර දියදහරක් වෙත ගියේ ස්නානය පිණිසයි.
|
උඩවැඩියා |
දැනටමත් ඒ පරිසර පද්ධතිය විනාසකාරයන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනු දුටු බැවින් ඒ ගැන වැඩිය මුකුත් නොකියා ඉන්නම්...
|
හැංගුණු සුන්දරත්වය |
දියට බට වහාම ගල් පාඬියා ලෙස හැඳින්වෙන මත්ස්‍ය රංචු විසින් දෙපා වසා ගන්නවා. එය අපූරු අත්දැකීමක්.
|
නීල පළිඟු දිය |
මුළු ගමනේම වෙහෙස නීල පළිඟු දියේ සෝදා හරිමින් අපි ගමන නිමා කළා.