Sunday, June 17, 2012

සිංහරාජය රස වින්දෙමි (අවසන් කොටස)



පසුගිය ලිපි පෙළින් මම කිව්වේ පිටදෙනිය හරහා සිංහරාජයට ගිය චාරිකාවක තොරතුරු. අද කියන්න යන්නේ සිංහරාජ වනාන්තරයේ සැඟවුණු දියඇලි පහක් සොයා ගිය ගමනේ විස්තර. පහුගිය ලිපි බැලුවේ නැත්නම් මෙතනින් බලලා ඉන්න. 
සිංහරාජය රස වින්දෙමි Part I
සිංහරාජය රස වින්දෙමි Part ii
අපි පහුවෙනිදා ඇහැරුනේ හතරවටින්ම ඇහුනු කුරුළු කූජනයන් රසවිඳිමින්. මීට කලින් කවදාවත් අහපු නැති තරම් කුරුළු හඬවල් රාශියක් අවටින් ඇසුනා. නැගිට්ට හැටියේම මම කලේ ගිං ගඟ ළඟට දුවපු එක. උදේ පාන්දර මීදුමත් එක්ක බොරපාට ගං දිය පෙනුනේ බොඳ වෙලා වගේ. ගඟ ළඟ ඉඳන් කුරුල්ලන්ගේ මිහිරි නාද වලට කන් දුන්නත් එකෙකුගේවත් ෆොටෝ එකක් නම් ගන්න බැරි උනා. මොකද ඒ වෙනකොටත් හරිහැටි එළිය වැටිලා තිබුනේ නෑ. කෝකියා සකස් කරපු බොහොම රස (මතක් වෙනකොටත්  ඇඩෙනවා) උදේ ආහාරය යන්තම් ගිලදාපු අපි අපේ මගපෙන්වන්නාත් එක්ක වනගත වුනා.


දියඇලි අංක එක - ඌරන්වැටුණු ඇල්ල
අපේ දවසේ මුල්ම ඉලක්කය වුනේ ඌරන්වැටුණු ඇල්ල සොයා යාම. ලංකාගම හරහා ගොස් හැරියාව දොළ අසල පාලමෙන් ඉහලට නැගුනු මාර්ගය ඔස්සේ අපි කිලෝමීටර් හතරක් විතර ගමන් කළා. මම හිතන්නේ මේ දියඇලි සංකීර්ණයේ දුෂ්කරම ගමන් මාර්ගය වැටී තිබෙන්නේ ඌරන් වැටුණු ඇල්ලට. (මල්මොර ඇල්ල හැරුණු කොට - අපට මල්මොර ඇල්ල නැරඹීමේ අවස්ථාව ලැබුනේ නෑ) කූඩැල්ලන්ගේ අනෙක අතවර විඳිමින් ගල්මුල් වල එල්ලෙමින් ගිය මේ ගමන කොයිතරම් දුෂ්කර වුනත් හරිම සුන්දර එකක්. 

ඌරන්වැටුණු ඇල්ල

දිය ඇලි අංක දෙක - ගල්දොරුව/ගල්ඔරුව ඇල්ල
ගල්ඔරුව ඇල්ල 
ඌරන්වැටුණු ඇල්ලෙන් නික්මුණු අපි ඊළඟට ගමන් කලේ තරමක් සුවිශේෂී දිය ඇල්ලක් සොයාගෙන.  ඌරන්වැටුණු ඇල්ලට මදක් පහලින් පිහිටි ආදී 30ක් පමණ උස මේ ඇල්ල හැඳින්වෙන්නේ ගල්දොරුව/ගල්ඔරුව ඇල්ල නමින්. මෙහි විශේෂත්වය වන්නේ ඉහලින් පිහිටි ඌරන් වැටුණු ඇල්ලෙන් ගලා එන අතිවිශාල දියකඳ අඩි දෙකක් පමණ පළලින් යුතු ඉතා ගැඹුරු ගල් පැල්මක් ඔස්සේ අධික වේගයෙන් ගලා ගෙන යාමයි.
ආරක්ෂිතව මෙම දියදහර නැරඹීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂක වැටක් ඉදිකර තිබෙනවා. එම වැටට මෙපිටින් හිඳ මෙය නැරඹීම කලයුතුයි. වෙනත් දිය ඇලිවල මෙන් පහතට බැසීමට උත්සාහ කිරීම අතිශයින් භයානක කටයුත්තක් බවත් සිහිතබා ගන්න. මෙම ඇල්ලේ චමත්කාරය මේ වීඩියෝ දසුනෙන් නරඹන්න.

දිය ඇලි අංක තුන - තට්ටු ඇල්ල 
තට්ටු ඇල්ල 
 ගල් ඔරුව ඇල්ලෙන් නික්මුණු අපි ඊළඟට ගමන් කලේ තවත් සුන්දර දිය ඇල්ලක් සොයාගෙන. මේ ඇල්ලට යාම සඳහා නිශ්චිත ගමන් මාර්ගයක් තිබුනේ නෑ. සුපුරුදු පරිදි ගස් ගල්වල එල්ලෙමින් ගමන් කල අපිට මෙන්න මේ දියපාරෙනුත් එගොඩ වෙන්න සිද්ද වුනා.
තරමක් සැඩ දිය දහරක් වූ නිසා ආරක්ෂිතව එයින් එගොඩ වීමට තරමක් දියදහරේ ඉහලට ගමන් කරන්නට අපිට සිද්ද වුනා. වැසි අධික සමයක නම් මෙය තරණය කිරීම තරමක් අපහසු කාරණයක් වනවා නොඅනුමානයි. මාල හෙවත් තට්ටු තුනකට ඇදහැලෙන තට්ටු ඇල්ල අතියශයින්ම සුන්දර දිය ඇල්ලක්.
තට්ටු ඇල්ල 
දිය ඇලි අංක හතර - දූවිලි ඇල්ල 
දූවිලි ඇල්ල 
තට්ටු ඇල්ලේ දිය පහර තරමක් අසීරුවෙන් තරණය කර එගොඩට ගිය විට තවත් සුන්දර දිය ඇල්ලකට ගමන් කල හැකියි. අඩි හතළිහක් පමණ උසින් යුතු මෙම දිය ඇල්ල හැඳින්වෙන්නේ දූවිලි ඇල්ල නමින්. සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව දූවිලි ඇලි තුනක් දකින්නට ලැබෙනවා. එකක් කුඩව ගමේ පිහිටි දූවිලි ඇල්ල,  අනික වඩාත් ප්‍රකට නෙළුව කොස්මුල්ල ගමේ පිහිටි ඇල්ල. මේ දූවිලි ඇල්ල ඒ තරම් ප්‍රකට එකක් නොවුනත් සුන්දරත්වයෙන් නම් අනික් ඇලි දෙකටම වඩා ඉදිරියෙන් සිටිනවා.
දූවිලි ඇල්ලේ ඉහල කොටස 
දිය ඇලි අංක පහ - බ්‍රාහ්මණ ඇල්ල 

සාපේක්ෂව නැරඹීම පහසු දිය ඇල්ලක්. මෙය පිහිටා තිබෙන්නේ ලංකාගම ගමේ හැරියාව දොළ මතින් වැටුණු පාලම අසලමයි. මාර්ගයේ සිටම නැරඹිය හැකි දිය ඇල්ලක්. වනගත දිය ඇලි නරඹා එන ගමනුයි අපි මෙම දිය ඇල්ල අසල නතර වුනේ.
එක්දිනක් තුල දිය ඇලි පහක් නැරඹු අපි නැවත අපේ නවාතැන වෙත ආවේ ඉතාම තෘප්තියෙන්. ඒ එන අතරේ අඩි පාර අසල දුටු බිනර මලක් තමයි මේ. 
Exacum pallidum යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙම කුඩා ශාකය ශ්‍රී ලංකාවට ආවේනික එකක්. තෙත් කලාපයේ දක්නට ලැබෙන තරමක් දුර්ලභ ශාකයක් වන බිනර, මම මීට පෙර වතාවකදී හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේදීත් ඡායාරූපයට නැගුවා. 
මෙසේ අමතක නොවෙන චාරිකාවක සුන්දරත්වය විඳගත් අපි නැවතත් අපේ බඩුමලු ඔසවා ගෙන ආපසු එන්නට ආවා.  ඒ එන අතරමග කුඩා දියවලක තමයි මේ දියබරියාව (Xenochrophis asperrimus) දැක්කේ.

දියබරියා
දින දෙකක චාරිකාවදී නැරඹිය හැකි උපරිම දිය ඇලි සංඛ්‍යාව අපි මෙම චාරිකාවේදී නැරඹුවා. ගණනින් බැලුවොත් නවයක්. 
1. ඇතාමල ඇල්ල
2. හත්මාලේ ඇල්ල
3. පතන්ඔය ඇල්ල 
4. කැකුණ ඇල්ල
5. ඌරන් වැටුණු ඇල්ල
6. ගල් ඔරුව ඇල්ල
7. තට්ටු ඇල්ල
8. දූවිලි ඇල්ල
9. බ්‍රාහ්මණ ඇල්ල 
කාලය හරස් නොවුනා නම් අපිට මල්මොර ඇල්ලත් නරඹන්න තිබුනා. එහෙනම් අපේ දිය ඇලි සංඛ්‍යාව දහය දක්වා ඉහල යනවා. මම හිතන්නේ ලංකාව තුල කෙටි කාලයකින් නැරඹිය හැකි වැඩිම දිය ඇලි සංඛ්‍යාව පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ. මෙම දිය ඇලි නරඹන්නට යන ඔබට කිව යුතු කරුණු කීපයක් තිබෙනවා. සිහි තබා ගත යුතු ප්‍රධානම කාරණය වන්නේ මෙම ප්‍රදේශය අතිශයින් සංවේදී පරිසර කලාපයක් බවයි. ඔබේ නොසැලකිල්ල නිසා ඇතැම් විට අතිශයින් දුර්ලභ ජීවියෙකුට හානියක් වියහැකියි. එමනිසා මෙම ප්‍රදේශයට චාරිකාවකට යන ඔබ ගෙනයන හැමදෙයක්ම අමතක නොකර රැගෙන ආ යුතුමයි. අඩුම වශයෙන් කොළ කැබැල්ලක්වත්  දමා එන්නට එපා. දිය දහරා වලින් නානවා නම් සබන්, ෂැම්පු ආදිය භාවිතා කරන්නට එපා. කෑකෝ ගැසීම්, ගීත ගායනා කිරීම් ආදිය මෙවන් චාරිකාවකට ගැලපෙන්නේ නෑ. ඒ වගේම බහුතරයක් දිය ඇලි ඉතාම සැඩ පරුෂයි. ඒවා අසලට ලංවෙන්න, දියට බහින්න එහෙම උත්සාහ කරන්න එපා. ඒවා සැබෑ වීරකම් නොවෙයි. මේ සුන්දරත්වය දෑස පුරා හිත පුරා විඳින්න. අපි නොදන්නවාට අපේ මේ පුංචි රට කොයිතරම් නම් ලස්සනද? 

Saturday, June 9, 2012

සිංහරාජය රස වින්දෙමි... Part II



කලින් වතාවේ පෝස්ට් එකෙන් මම කිව්වේ සිංහරාජයට මීට මද කලකට පෙර ගිහිපු චාරිකාවක තොරතුරු. අද ලියන්නේ ඒ සටහනේම ඉතිරි කොටස. කලින් කොටස බලාගන්න බැරි වුනු උදවිය මෙතනින් ගිහිල්ලා එකත් බලලම එන්න. 
ඉතින් බඩුමලුත් කරතියාගෙන කිලෝමීටර් ගණනක් පයින් ආපු නිසා අපිට ටිකක් මහන්සියි. ඒත් ඉතින් මහන්සියි කියලා මේ වගේ තැනකට ඇවිත් බුදියගන්ට පුළුවන්ය?. එතකොට වෙලාවත් හවස හතරට විතර ඇති. එක නිසා අපි තීරණය කළා නවාතැනට ලඟින්ම පිහිටි දියඇලි දෙක (පතන ඔය ඇල්ල සහ කැකුණ ඇල්ල) බලන්න යන්න. වන සංරක්ෂණ කාර්යාලයෙන් ලබාදුන්නු ගයිඩ් මහත්තයත් එක්ක අපි කැලේට ඇතුළු වුනා.  ගඟෙන් එගොඩ වුනු හැටියේම අපි ඇතුළු වුනේ නා ගස් වලින් පිරුණු ගන කැලයකට. මේ හරිය හැඳින්වෙන්නේ නාගස් මණ්ඩිය කියලයි අපේ මගපෙන්වන්නා කිව්වේ. එම ප්‍රදේශය නා (Mesua nagassarium) සහ දියනා (Mesua ferrea) කියන ශාක වලින් ගැවසුණු තරමක් අඳුරු පෙදෙසක්. මේ ප්‍රදේශය හරහා යද්දී අපි සුවිශේෂ ශාක වර්ග කීපයක්ම දුටුවා. වනාන්තරයක ගමන් කරන විට විමසිල්ලෙන් සහ අවධානයෙන් ගමන් කලොත් මේ වගේ දේවල් දකින්න අමාරු නෑ. මේ පළමු ශාකය හැඳින්වෙන්නේ "ගොන්දිව" යන නමින්.
ගොන්දිව ශාකය
Acranthera zeylanica යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය බිම්ස්තරයේ වැඩෙන කුඩා, බිමටම ඇලුණු පඳුරක්. මෙය ගොන්දිව යන නමින් හැඳින්වෙන්නේ හරකෙකුගේ දිවක් වැනි රළු පත්‍රයන් පිහිටා තිබෙන නිසයි. මෙය ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් බවත් නොකියාම බැහැ.
ඊළඟට මා දුටුවේ කිරිබදු වැලක් (Ipomoea littoralis). සමහරු මෙය කිරිවැල් කියාද හඳුන්වනවා.
කිරිබදු
බතල, කන්කුන් ආදිය අයත් Convolvulacea පවුලට අයිති මෙම ශාකය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වටිනා ඖෂධයක් ලෙසද සැලකෙනවා. 
ඉතින් මේ වගේ වටිනා පරිසර පද්ධතියක් රසවිඳිමින්, වරින් වර වැටුණු පොද වැස්සට තෙමෙමින්, කූඩැල්ලන්ගේ අනෙක විධ අතවර විඳිමින්, ගල් මුල් උඩින් පනිමින් අපි හෙමින් හෙමින් ඉදිරියට ගියා. ඇතැම් ස්ථාන පොද වැස්ස නිසා තදින්ම ලිස්සනවා. කොහොමින් හරි මේ විදියට කිලෝමීටර් දෙකක් විතර ගිහිපු අපිට පතන්ඔය ඇල්ලට ළඟා වෙන්න පුළුවන් උනා. එතනට ආපු හැටියේම මෙතෙක් වෙලා විඳපු හිරිහැර අමතක වෙලා ගියේ ඉබේමයි. මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව නිසා ඇල්ලේ වතුර හොඳටම බොර වෙලා තිබුනත් එහි සුන්දරත්වයටනම් එයින් කිසිදු බාධාවක් වෙලා තිබුනේ නෑ. ඔබම බලලා එය තීරණය කරන්න. 
පතන්ඔය ඇල්ල
පතන්ඔය ඇල්ල තවත් කෝණයකින්...
පතන්ඔය ඇල්ලේ හැඩ බලන්න මේ වීඩියෝ එකෙන්.
පතන් ඔය ඇල්ලේ මද වෙලාවක් රසවිඳපු අපි ඉන්පසු පිටත් වුනේ කැකුණ ඇල්ල නැරඹීම සඳහා. ඒ ගමන නම් කලින් තරම් දුෂ්කර එකක් වුනේ නැහැ. අරණුව දොලෙන් උපත ලබන කැකුණ ඇල්ල අසලටම යාම ටිකක් අපහසු කටයුත්තක්. අධික වර්ෂාව නිසා ජලමට්ටම ඉහල ගොස් තිබීම නිසා අවදානමක් ගන්නට අපි සූදානම් වුනේ නැහැ. ඒ නිසා අපි ඇල්ල නැරඹුවේ ටිකක් දුරින් ඉඳන්. බලන්න ලස්සනද කියලා.
කැකුණ ඇල්ල....
මේතියෙන්නේ මේ ඇල්ලම වතුර අඩු කාලෙක (කලින් වතාවේ ට්‍රිප් එකේදී) ගත්තු පින්තූරයක්.
කැකුණ ඇල්ල කෙට්ටු වෙලා...
මේ දියඇල්ල දිගේ මදක් පහලට ආපු අපි ඉන්පසු අරණුව දොලේ සිහිල් දිය දහරෙන් නා කියා ගත්තා. මේ වගේ පරිසරයක දියනාන ඔබට කිව යුතු කාරණයක් තියනවා. එනම් දියනෑවට කමක් නෑ. නමුත් සබන් ෂැම්පු ආදිය පාවිච්චි කරන්න එපා. ඒවා මේවගේ දියපහර වල ජීවත් වෙන ජීවීන්ට අතිශයින්ම හානිකරයි. එකදවසක් සබන් නොගා නෑවට මක් වෙනවද? නේද? 
ඉන්පසු අපි නැවතත් අපේ නවාතැනට ආවා. අපිට පස්සේ ආපු සංචාරක පිරිසක් ගඟෙන් එගොඩ වෙන හැටි තමයි මේ. 
ඇදපන් පුතා...
මහකැලයෙන් ඇසෙන විවිධාකාර සතුන්ගේ සංගීත රටා වලට කන්දෙමින් එදා ගතකරපු රාත්‍රිය මගේ ජීවිතයේ අමරණීය මතකයක්. ඊට පසුවදා දියඇලි පහක් සොයාගිය චාරිකා සටහන ඊළඟට බලාපොරොත්තු වන්න.

Friday, June 1, 2012

සිංහරාජය රස වින්දෙමි... Part I


සිංහරාජය කියන්නේ ලංකාවේ අපිට උරුම වෙච්ච අපූරු සම්පතක්. නමුත් ඒ ගැන මම වැඩිදුර විස්තර කරන්න යන්නේ නෑ. මොකද බොහෝ දෙනෙක් සිංහරාජය ගැන අහලා, දැකලා, කියවලා තියෙන නිසා. මම ඒ වෙනුවට කරන්න යන්නේ පසුගිය දවසක මම සිංහරාජයේ කරපු සංචාරයකින් ලබපු අත්දැකීම් ටිකක් සහ මගේ තෙවන ඇස දැකපු සොඳුරු දසුන් කිහිපයක් ඔබත් එක්ක බෙදා ගන්න. අඩුපාඩු එහෙම තිබුනොතින් කියන්න ඕන ඕං...
සිංහරාජයට ඇතුළු වියහැකි නිලලත් මාර්ග තුනක් තියෙනවා. ප්‍රකටම මාර්ගය තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, වැද්දාගල හරහා කුඩව පිවිසුමෙන් සිංහරාජයට ප්‍රවිෂ්ට වීම. මේ මාර්ගය සාපේක්ෂව පහසු එකක්. අනිත් මාර්ගය  තමයි දෙනියාය මෙදේරිපිටිය හරහා පිටදෙනිය පිවිසුම. මේක තරමක් දුෂ්කර මාර්ගයක්. දෙනියාය එන්සල්වත්ත හරහා මෝනින්සයිඩ් මාර්ගයත් ඉතා සුන්දර නමුත් අතිදුෂ්කර මාර්ගයක්. මේ මාර්ග තුන අතරින් මගේ වඩාත්ම සිත්ගත් මාර්ගය තමයි දෙනියාය-පිටදෙනිය මාර්ගය. මේ මාර්ගය හරහා මම දෙවරක් සිංහරාජය තරණය කර තිබෙනවා. අද ලියන්නේ ඉන් එක අත්දැකීමක්. සෙස්ස පස්සට...
මේ මාර්ගය හරහා යනවා නම් නවාතැන් සඳහා පිටදෙනිය වන නිවහන තෝරාගත යුතු වෙනවා. මහා කැලේ මැද ගිං ගං කොමලියගේ ඉවුරේ පිහිටි මේ සුන්දර නවාතැනේ දිනයක් ගත කිරීමත් ජීවිතයේ අමතක නොවන මිහිරි අත්දැකීමක්. 


පිටදෙනිය වන නිවහන
මේ තියෙන්නේ පිටදෙනිය වන නිවහන. (මේක කල් ඇතුවම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් හෝ මාතර වන සංරක්ෂණ කාර්යාලයෙන් වෙන් කරව ගත යුතුයි. කාට හරි මේ ගැන උදව්වක් ඕන නම් මට ඊයක් එවන්න.) එහෙනම්... බලමු චාරිකාවේ විස්තර...


අපි ගමන පටන් ගත්තේ උදේ 5.00 ට විතර ගාල්ලෙන්. මේ ගමනට මාත් එක්ක හැමදාමත් කන්කෙඳිරි නොගා ඕනෑම කැලෑවක, කටු අකුලක යන්න එන මගේ ආදරණීය හාමිනේත්, තව මේ වගේ ගමන් වලට කැමති මිතුරන් කීප දෙනෙකුත් එක් වුණා. මේ ගමන යන අතරමග දකින්නට ලැබෙන දිය ඇලි කීපයකුත් නැරඹීම අපේ එක අරමුණක් වුනා. බොහෝ දෙනෙක් නොදන්නවාට දකුණු පළාතේ බොහොම සුන්දර දිය ඇලි කීපයක්ම තියනවා. ඒවා අතරින් 10 කට ආසන්න ප්‍රමාණයක් මේ ගමනේදී දැක ගන්න තරම් අපි වාසනාවන්ත උනා. මේ පලවෙනි එක. මේක දකින්න ලැබුනේ අකුරැස්ස පහු කරලා ටිකක් දුර යන කොට.  තේ වතු යායක් මැදින් වැටුණු දුෂ්කර පාරක කිලෝ මීටර් තුනක් විතර ගියාම මේ සුන්දර ඇල්ල දැක ගන්න ලැබුණා. අපි මේක බලන්න ගියේ වැහි කාලෙක. එක නිසා මේ ඇල්ලේ වතුර හොඳටම බොර වෙලා තිබුනේ. ඒ වගේම මේ ඇල්ල අසල ජලවිදුලි බලාගාරයක් ඉදිවෙමින් තිබුනා. වතුර බොර වෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇතී. එහෙනම් කතා ඇතී ඔන්න බලන්න මේ ඇල්ලේ ලස්සන. ආ... මේ ඇල්ලේ නම කියන්න අමතක උනා නේ. මේ තමයි "ඇතාමල ඇල්ල" 


ඇතාමල ඇල්ල
මේ ඇල්ලේ සුන්දරත්වය විඳිමින් අපි බොහෝ වෙලාවක් ඒ අසල ගත කළා. ඇල්ල වගේම ඇල්ලේ පහල කොටසත් බොහොම චණ්ඩ ස්වරූපයක් තමයි දකින්නට තිබුනේ. මේ බලන්න....
ඇතාමල ඇල්ලේ සැඩවර (rapids)
පේනවා නේද? මේ ඇල්ල නම් දියනෑම සඳහා කොහොමටවත් සුදුසු තැනක් නෙවෙයි. ඒක නිසා පරිස්සම් වෙන්න. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ දෙනියාය නගරයට. වන නිවහනේ නවාතැන් ගන්න ඔබ ඔබගේ ආහාරය සඳහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය රැගෙන යායුතු වෙනවා. එහෙ ඉන්න අරක්කැමියා බොහොම අපූරුවට ඒවා උයලා දෙනවා. (Haffoi... මතක් වෙද්දීත් බඩ දනවා...ඒවගේම මතක ඇතුව දෙනියායෙන් ඩීසල් ලීටර් කීපයකුත් ගන්න. නවාතැනේදී විදුලිය ලැබෙන්නේ අපි දෙන ඩීසල් ප්‍රමාණය අනුව. ඒ කියන්නේ ලීටර් එකක් දුන්නොත් විනාඩි හතළිස්පහක් විදුලිය ලැබෙනවා. තඩි ඉටිපන්දම් දෙක තුනකුත් ගන්ට මතක ඇතුවම. මේ වගේ අවශ්‍ය දේවල් ගන්න ලැබෙන හොඳම තැන තමයි දෙනියාය. මෙදෙරිපිටියෙත් කඩමන්ඩියක් තියෙනවා. හැබැයි කොයි එකටත් සූදානම් සරීරෙ කියලා ඕන කරන සේරම දේවල් දෙනියායෙන්ම ගන්න.
ඉතින් මේ කියපු සේරම දේවලුත් අරගෙන අපි දෙනියායෙන් පල්ලේගම බලා පිටත් උනා. පල්ලේගම හන්දියෙන් මෙදෙරිපිටියට හරවන්නේ නැතුව කොලවෙනිගම පාරේ ටික දුරක් යන්නට අපි තීරණය කළේ ලෝක ප්‍රකට හත්මාලේ ඇල්ලත් බලාගෙනම යන්න ඕන නිසයි. ගිං ගඟේ ඉහල කොටසේ දකින්නට ලැබෙන මේ අතිසුන්දර දිය ඇල්ල, මාල හෙවත් තට්ටු හතකට ඇද හැලුණු බව කියවෙනවා. දෙනියායේ ගංවතුර පාලනය කිරීම සඳහා ඒ කාලේ මේ ප්‍රදේශ පාලනය කරපු සුද්දන් විසින් දිය ඇල්ලේ මාල කීපයක් බෝර දමා කඩා දැමූ බවයි මෙහෙ ගම්වැසියන්ගේ අදහස. මේවා අපිට කිව්වේ අපිත් එක්ක මේ ඇල්ල බලන්න ආපු කොලවෙනිගම දීපාල් මල්ලි. 


හත්මාලේ ඇල්ලේ ලස්සන...
ඉතින් හත්මාලේ ඇල්ලත් රසවිඳලා අපි නැවත මෙදෙරිපිටියට ආව. දැන් තමයි ගමනේ හොඳම හරිය තියෙන්නේ. මෙදේරිපිටියේ ඉඳල පිටදෙනියට යනකම් තියෙන්නේ අඩිපාරක් වගේ පොඩි පාරක්. සාමාන්‍යයෙන් ඔය පාරේ යන්නේ මෝටර් බයිසිකල් විතරයි. මෙදෙරිපිටියෙන් පිටදෙනියට ඇතුළු වෙන පාලම බොහොම පටු එකක්. හැබැයි අමාරුවෙන් හරි පාලමෙන් වාහනේ එගොඩ කරගත්තොත් තව කිලෝ මීටර් එකහමාරක් විතර වාහනෙන් යන්න පුළුවන්. නැතිනම් වාහනේ මෙදේරිපිටියේ නවත්තල පයින් තමයි යන්න වෙන්නේ. මේ තියෙන්නේ අපි වාහනේ එගොඩ කරගත්තු හැටි.
දුෂ්කරක්‍රියාව
මෙහෙම අමාරුවෙන් වාහනේ එගොඩ කරගත්තත් යන්න පුළුවන් බොහොම ටික දුරයි. ඊට පස්සේ ළඟ ගෙදරක වාහනේ දාලා බඩු මුට්ටු ටිකත් අතින් කටින් එල්ල ගෙන අපි පාද යාත්‍රාව පටන් ගත්තා. මේ පාර තියෙන්නෙත් ඇත්තටම සිංහරාජ රක්ෂිතය හරහාම තමයි. ඉතින් කොච්චර දුෂ්කර වුනත් මේ ගමන හරිම සුන්දරයි. මේ තියෙන්නේ යන අතරමගදී දැකපුවා...


මග දිගට දුටු සුන්දරත්වය...
මේ විදියට කිලෝ මීටර් තුනක් විතර ආවම පිටදෙනිය වන නිවහනේ පිවිසුමට එන්නට අපිට හැකි උනා. එය පිහිටා තිබෙන්නේ ගිං ගඟේ අනෙක් ඉවුරේ. ඒ සඳහා ගිං ගඟ තරණය කල යුතු වෙනවා. මීට පෙර මම මෙහි එනවිට ඒ සඳහා තිබුනේ හිස් බැරල් යොදා සකස් කල මෙම පාලම් පාරුවයි. නමුත් දැන් නම් ගඟ හරහා අති සුන්දර එල්ලෙන පාලමක් සකස් කර තිබෙනවා. 
පාරුවේ පුවක්...
මගදිගටම මේ ගොල්ලන්ගෙන් නං අඩුවක් තිබ්බෙ නෑ...
ඉතින් මේ වගේ අමු කට්ටක් කාලා අපි අපේ සොඳුරු නවාතැනට ආවා. ඊට පස්සේ තමයි හොඳම හරිය... ඒ ටික මම ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම්. අපි දැකපු, විඳපු සුන්දරත්වය නම් මෙහෙම අකුරු කරන ඒක ලේසි නෑ. නමුත් මට පුළුවන් හැටියට ලියන්නම්. ජීවිතේ ඒක දවසක් හරි මේ වගේ තැනකට යා යුතුයි කියල මම හිතනවා. හැබැයි තරයේම මතක තියාගන්න. මේක බොහොම සංවේදී පරිසර පද්ධතියක්. අඩුම ගානේ ටොපි කොළයක්වත් දාලා එන්න එපා. ඒ වගේම බීලා, සින්දු කියලා ආතල් එකක් ගන්න ඕන නම් කවදාවත් මේ වගේ තැනකට එන්න එපා. මේ වගේ තැන් තියෙන්නේ බොහොම නිහඬව පරිසරය වින්දනය කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි.

Friday, May 18, 2012

අපේ වත්තට එන කුරුලු අමුත්තෝ...



මම ජීවත් වෙන්නේ නගරයට තරමක් සමීපව. කොයිතරම්  ඝෝෂාකාරී පරිසරයක් වුනත් වත්තේ ඉඩ තියෙන ඩිංගේ ගහක් කොලක් වවා ගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒක කොයිතරම් ආශිර්වාදයක්ද කියලා දැනෙන්නේ ඒ ගහකොළ අතරේ සැරිසරන පුංචි පුංචි කුරුළු වර්ග, සමනල් වර්ග දැක්කමයි. ඉතින් අද මම post කරන්නේ අපේ වත්තේ මම නිතර දකින කුරුළු විශේෂ කීපයක  පින්තූර  ටිකක්.  ආපෝ මේ පින්තූර ටික ගන්න  මම කාපු කට්ටක්. 
ආ.. ෆොටෝ ටික දාන්න කලින් වත්තට කුරුල්ලන් ගෙන්වා ගන්න කරන්න පුළුවන් පොඩි උපක්‍රම කීපයකුත් කියන්නම්. මේවා මම අත්හදා බලලා ටක්කෙටම හරිගිහිපුවා. ප්‍රධාන දේ තමයි කුරුල්ලන්ට වතුර බොන්න, නාන්න පොඩි වතුර භාජනයක් තියන්න. පූසෝ වගේ සත්තුන්ට ලං වෙන්න බැරි තරම් උඩකින් තියන්න මතක තියාගන්න. අපේ ගෙදර තියෙන වතුර භාජනේ නිසා මට ලැබිච්ච ප්‍රයෝජන අනන්තයි. මේ ඉන්නේ ඒ වතුර එකේ නාන කුරුල්ලෙක්.




ඒ වගේම වත්තේ පලතුරු ගහක් දෙකක් වවා ගන්න පුළුවන් නම් සැහෙන වටිනවා. මේ දවස් වල අපේ අඹ ගහේ කුරුල්ලෝ පිරිලා. ගිරව්, ගිරා මලිත්තෝ, කොන්ඩ කුරුල්ලෝ සහ තව නම නොදන්නා කුරුල්ලෝ හරියට ඉන්නවා. අපේ පළාත සුනාමියට අහුවුනා. ඉතින් කාලයක් යනකම් ඒ පැත්තේ බෝවිටියා ගහක් දකින්නවත් තිබුනේ නෑ. මම ටිකක් ඈත පළාතකින් පැළයක් ගෙනෙල්ලා බොහොම අමාරුවෙන් පැල කර ගත්තා. දැන් ඒකෙ ගෙඩි කන්නත් හරියට කුරුල්ලෝ එනවා. එහෙනම් බලමු පින්තූර ටික.


මේ ඉන්නේ දම් සූටික්කාගේ ගෑනු සතා. (දම් සූටික්කි).  (Purple Sunbird)
Purple sunbird - (female) Nectarinia asiatica
මෙයාගේ පිරිමි සතා දිලිසෙන දම් පාටකින් යුක්තයි. කෙමිය සහිත මල් වලින් පැණි උරා බොන්න පුළුවන් විදිහේ හොටක් මෙයාට තියෙනවා. මේ ගොල්ලෝ ප්‍රධාන වශයෙන් යැපෙන්නේ මල්පැණි මත. නමුත් කෘමි සත්තුත් ආහාරයට නොගන්නවාම නෙවෙයි. විශේෂයෙන්ම පුංචි පැටවුන්ට කවන්නේ කෘමීන්. 


මේ ඉන්නේ ලෝටෙන්ගේ සූටික්කා. (Loten's Sunbird)
Loten's Subbird - Nectarina lotenia
(මේ ඉන්නේ පිරිමි සතෙක්) මෙයා දකින්නට ලැබෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි. දම් සූටික්කාගෙන් මෙයා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් හොටෙන්. මේ සූටික්කගේ හොට දම් සූටික්කාට වඩා ටිකක් දිගයි. ලන්දේසි කාලේ ලංකාවේ ආණ්ඩුකාරයෙක් වෙච්ච  Joan Gideon Loten ගේ නමිනුයි මෙයාව නම් කරලා තියෙන්නේ.


මේ ඉන්නේ අවිච්චියා. (Indian Pitta)
Indian pitta - Pitta brachyura
 මෙයා ගැන මම කලින් post එකක් දාල තියෙනවා. මෙතන කොටලා ඒ විස්තරේ බලන්න.



මෙයා තමයි පෙරදිගු සිතැසියා (Oriental White-Eye)
Oriental White-Eye (Zosterops palpebrosus)
පුංචි කණ්ඩායම් හැටියට හැසිරෙන සුන්දර කුඩා කුරුල්ලෙක්. මෙයා ලංකාවට ආවේනික නම් නැහැ. නමුත් ලංකා සිතැසියා - Sri Lanka White-Eye - Zosterops ceylonensis (කඳුකර සිතැසියා) කියන කුරුල්ලා නම් ආවේනිකයි. එයා මෙයාට වඩා ටිකක් ලොකුයි. කහපාට මීට වඩා අඩුයි. ටිකක් ගොම පාටක් වගේ. මෙයාගේ ඇහැ වටේ තියෙන සුදු පාට රවුම නිසාත් ලස්සන කහපාට නිසාත් වහාම හඳුනාගන්න පුළුවන්. 

ඔන්න එයාගේ තව එකක් දැම්මා.


මේ ඉන්නේ ජෙර්දන්ගේ කොළ රිසියා - Jerdon's LeafBird (Female)
Jerdon's LeafBird - Chloropsis jerdoni
මෙයා නම් අපේ වත්තේ මම මීට කලින් වැඩිය දැකලා නෑ. ඊයේ පෙරේදා ඉඳලා තමයි මෙයා අඹ ගහේ කොළ අස්සේ ඉඳල මම දැක්කේ. කොළ වල පාටම නිසා එකපාරට අඳුන ගන්න අමාරුයි. මේ ඉන්නේ ගෑනු සතෙක්. පිරිමි සතාගේ බෙල්ල යට කලුපාටක් දකින්න ලැබෙනවා. මෙයා නිල්පිය කොලරිසියගේ (Blue-Winged LeafBird) Chloropsis cochinensis උපවිශේෂයක් විදියට සලකන්න පුළුවන්. ලංකාවේ කුරුළු නාමවලියේත් මෙයාව නම් දැක්කේ නෑ. නිල්පිය කොලරිසියා විතරයි දැක්කේ. ඉන්දියාවේ පක්ෂි විද්‍යාවට විශාල සේවයක් කල බ්‍රිතාන්‍ය ජාතික Thomas C. Jerdonගේ නමින් තමයි මේ කුරුල්ලව නම් කරලා තියෙන්නේ. මෙයාගේ ශරීර වර්ණය නිසා අනිත් කුරුළු රංචු (විශේෂයෙන්ම ගිරව්) අතරෙත් සැඟවී සිටින්නට මෙයාට පුළුවනි. 


වත්තේ දකින්න ලැබෙන අනිත් කුරුළු විශේෂ වලත් පින්තූර ඉස්සරහට දාන්නම්. මේ පින්තූර ටික ගන්නත් සෑහෙන ඉවසීමකින් බලා ඉන්න සිද්ධ වුණා. මොකද මෙහෙම හිටියට මේ කුරුල්ලෝ හරිම ආඩම්බරයි. අපේ වත්තේ ඉන්න සමනල් විශේෂ ගැන ඊළඟ ලිපිය ලියන්නත් අදහසක් තියනවා. එහෙනම් ඊළග ලිපියෙන් හමුවෙමු. 

Saturday, May 12, 2012

සොඳුරු කොග්ගල නුදුටු ලස්සන...



කොග්ගල ප්‍රධාන වශයෙන්ම ධීවර හා සංචාරක ව්‍යාපාර මත යැපෙන ආර්ථිකයකින් සමන්විත නගරයක්. ඛාදනය වුනු ගල්පර සහිත නොගැඹුරු මුහුදු තීරයෙන් යුතු වෙරළ අතිශයින් සජීවීයි. නමුත් මෙම සජීවිත්වය අත්දකින්න නම් සංචාරකයා ඉතා ඉවසිලිමත් හා සංවේදී අයෙකු වීම ඉතා වැදගත්.
ඔබ විමසිල්ලෙන් වෙරළට ලං වෙලා බැලුවොත් වෙරළේ තියෙන පුංචි පුංචි බෙලිකටු එහෙ මෙහෙ දුවන ආකාරයක් දකින්න පුළුවන් වේවි. ඊට හේතුව කුමක්ද? හේතුව ඉතා සිත් ගන්නා සුළුයි. වෙරළේ දක්නට ලැබෙන මියගිය මුහුදු ගොළුබෙල්ලන් හා අනෙකුත් කවචධාරි මොලස්කාවන්ගේ හිස් කටු තුලට රිංගා ගත් තාපස  කකුළුවා (Hermit Crab) තමයි මේ විදිහට වෙරළ පුරා දුවන්නේ. 


අනුන්ගේ කටුවක් තුලට රිංගා ගත් තාපස කකුළුවෙක් 


තමන්ගේ ආරක්ෂාව සඳහා අනුන්ගේ කටුවක් ඇතුලට රිංගන මේ කකුළුවා ක්‍රමයෙන් වැඩෙන කොට පරණ කටුව ඉවතලා අලුත් එකක් හොයා ගන්නවා. 


තාපස කකුළුවා මගේ අතේ


කොග්ගල වෙරල තීරය ඛාදනය වුනු ගල්පර වලින් පිරිලයි තියෙන්නේ. මෙම ගල් වසා ගෙන රතු, දුඹුරු, සහ කොළ පාට ඇල්ගී වර්ග වැඩී තිබෙනු දකින්නට පුළුවන්. 


ඇල්ගී ගහන ඛාදනය වුනු ගල්පර 


මෙම ගල්කුහර අතර ජීවත් වන ජීවීන් ගණන අති විශාලයි.  මුහුදු ඇනමෝන (Sea Anemone), විවිධ වර්ග වල කකුළු විශේෂ, ඉකිරි වර්ග හා කුඩා විසිතුරු වර්ණ සහිත මත්ස්‍ය විශේෂ ඒ අතර බහුලව දකින්නට පුළුවන්.  


ගල්පර නිවහන කරගත් කකුළු විශේෂයක් 


රිටි පන්න ධීවර කර්මාන්තය මෙම ප්‍රදේශයට ආවේනික කර්මාන්තයක්. නොගැඹුරු මුහුදු තීරයේ සිටවූ රිටක් මත නැගී කරන මෙම රස්සාව ඉතා ඉවසීමෙන් කලයුතු එකක්. මම මේ ප්‍රදේශයට ගිය වෙලාවේ නම් ඔවුන් දක්නට සිටියේ නෑ.


තනිවුනු රිටිපන්නය 


අවධාරණයෙන්ම ලියා තැබිය යුතු කරුණක් තියෙනවා.  එනම් මේ පරිසර පද්ධතිය ඉතාම සංවේදී එකක් බව. මත්පැන් බී කැලිකසල දමා පිස්සු කෙලීමේ පරමාර්ථයෙන් නම් කවදාවත් මේ වගේ පරිසර පද්ධතියකට යන්න එපා. මේ වගේ තැනක පය තියනකොට පවා කල්පනාකාරී විය යුතුයි. මොකද සමහරවිට ඔබේ පයට පෑගිලා මිය යන්නේ ඉතා දුර්ලභ ජීව විශේෂයක් වෙන්නට පුළුවන් නිසයි.

Thursday, May 10, 2012

වීසා නැතුවම ලංකාවට ආ ඉන්දියන් අමුත්තා - Indian Pitta - The uninvited guest




අවුරුද්දකට මාස කීපයක් පමණක් අපේ වත්තේ දක්නට ලැබෙන සුන්දර පක්ෂියෙක් ගැනයි අද මම ලියන්නේ. Pitta brachyura යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ අපූරු කුරුල්ලා සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ අවිච්චියා යන නමින්. ඉන්දියාව නිවහන කරගත් මේ අපූරු කුරුල්ලා හිමාලය ආශ්‍රිත ප්‍රදේශ වල බහුලව වාර්තා වෙනවා. ඒ වගේම නේපාලය, පාකිස්ථානය වැනි රට වලිනුත් අවිච්චියා වාර්තා වෙනවා. හිමාලය ආශ්‍රිත ප්‍රදේශ වලට ශීත ඍතුව උදා වන විට මොහු ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ දකුණු ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයෙන් අවිච්චියා වාර්තා වන අතර වියළි කලාපයෙන් වාර්තා වී නැහැ.


අවිච්චියාගේ අභිජනන සමය උදා වන්නේ ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළයි. ශ්‍රී ලංකාව තුළ අභිජනනයේ යෙදෙන බවක් නම් මෙතෙක් වාර්තා වී නෑ.



කෙසේ නමුත් අවිච්චියා පිළිබඳව අපූරු ජනකතාවක් ලක්වාසීන් අතර තිබෙනවා. මම ඒකත් කියල ඉන්නම්. ඔන්න ඉස්සර කාලෙ මොණරාට දැන් තරම් ලස්සන පිල් කළඹක් තිබුනේ නැතිලු. එක තිබිල තියෙන්නේ අවිච්චියාට. ඉතින් දවසක් මොණරා ඇවිල්ලා මගුල් ගෙදරක යන්න තියෙනවා කියලා අවිච්චියාගෙන් ඇඳුම ටිකකට ඉල්ලුවලු. අවිච්චියත් ඉතින් ඔන්න ඔහේ කමක් නෑ කියලා අරූට කිට් එක දුන්නලු. මුගේ තියන බලුකම කියන්නේ මූ මගුල් ගෙදර ගිහින් ඇවිත් කිට් එක ආපහු නොදී මග ඇරියාලු. ඉතින් එදා ඉඳල අවිච්චියා "ආයෙත් දියාන්-ආයෙත් දියාන්" කියා කියා කෑගහනවලු. ඇත්තටම උගේ සද්දේ නම් ඒ වගේ තමයි ටිකක්. මූට අවිච්චියා කියලා නම වැටුනෙත් මේ සීන් එකෙන් පස්සේ කියලයි මම අහල තියෙන්නේ. දැනටත් මෙයා ඉගිල්ලෙන කොට පියාපත් අස්සෙන් ලස්සන මොනර නිල් පාටක් දකින්න ලැබෙනවා. මෙයා පියාඹන පින්තූරයක් නම් මට ගන්න බැරි උණා.


මෙයා වැඩිපුරම හැසිරෙන්නේ බිම කොලරොඩු අවුස්සමින් කෑම සොයමින්. බිම් ස්ථරයට ගොඩක් සමීපව හැසිරෙන නිසා මෙයා පූසන් වැනි විලෝපිකයන්ට හසුවීමේ අවදානම ටිකක් වැඩියි. කොහොම උනත් මූ බොහොම විමසිලිමත් සතෙක්. ලඟට කිට්ටු කරන එක ලේසි නෑ. ඔය මම දාල තියෙන ෆොටෝ දෙක ගත්තෙත් සෑහෙන අමාරුවෙන්.
   

Tuesday, May 1, 2012

විල්මුව සරණ - Injured Hog Deer rescued at Hiyare Conservation Centre



විල්මුවා (Hog Deer - Hyelaphus porcinus) යනු ශ්‍රී ලංකාවේ පහතරට තෙත්බිම් ආශ්‍රිතව කලාතුරකින් දක්නට ලැබෙන කුඩා මුව වර්ගයක්. විශේෂයෙන් බලපිටිය මාදු ග ආශ්‍රිත තෙත්බිමෙන් හා අම්බලන්ගොඩ මාදම්පාග තෙත්බිමෙන් විල්මුවන් බහුලව වාර්තා වෙනවා. බල්ලෙකුට වඩා මදක් විශාල මේ පුංචි මුවා දකුණු ආසියාවේ රටවල් කීපයකින්ම වාර්තා වෙනවා.


The Hog Deer - Hyelaphus porcinus is a small deer who is recorded in the lowland wetlands in Sri Lanka. This one is specially recorded in Balapitiya Maduganga and Ambalangoda Madampaganga swamps. This one is also found in some other South Asian countries such as Pakistan, India, Nepal and Bangladesh. 


ශ්‍රීලංකාවේදී දුර්ලභව දකින්නට ලැබෙන මේ වර්ගයේ සතුන් කිහිප දෙනෙක්ම එකවර දැක ගැනීමේ වාසනාව පසුගිය දොහක මට ලැබුණා. ඒ ගාල්ල - හියාරේ ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේදීයි. බල්ලන්ගේ සපාකෑම් වලට ලක්ව අසරණව සිටි මොවුන් හික්කඩුව වනජීවී කාර්යාලය මගින් ප්‍රතිකාර සහා මෙම මධ්‍යස්ථානයට එවා තිබුණා. 


This one is little bit rare to see in Sri Lanka. However I was fortunate enough to see these chaps at Hiyare Wildlife Conservation Centre. They were bitten by dogs and handed over to this rescue centre by the wildlife office of Hikkaduwa.


හියාරේ සුන්දරත්වය...

හියාරේ ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානය ගැන යමක් කියලාම හිටින්නම්.  මෙම ස්ථානය පාලනය වන්නේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මගින්. තුවාල ලත් වනසතුන්ට ප්‍රතිකාර කර ඔවුන් නැවත වාසස්ථාන කරා යොමු කෙරෙන ලංකාවේ පිහිටි එකම තැන මෙතැනයි. මේ වන විටත් එම ස්ථානයේ රෝගී ක්ෂීරපායීන්, උරගයන්, පක්ෂීන් ආදී සතුන් ප්‍රතිකාර ලබනවා.


Hiyare wildlife conservation centre is controlled by Wildlife Conservation Society-Galle. This is the only place where the injured wild animals are being treated and released to their natural habitats. So many mammals, reptiles and birds are being treated even now.
තුවාලවුණු අං...


මේ අහිංසකයාට වැඩිම තර්ජන එල්ල වෙන්නේ ගෘහාශ්‍රිත බල්ලන්ගෙන්. මසට ලොල් අධම මිනිස්සුන්ගෙන් ගැලවිලා ඉන්න එකත් සෑහෙන අභියෝගයක් මං හිතන්නේ...


බෙදාගෙන කෑම....


අපිට වගේම මේ අහිංසකයන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය රැකදුන් ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ ස්වේච්ඡා නිලධාරීන්ට පිං!


Looking at infinity...


ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ නිල වෙබ් අඩවිය : මෙතැන කොටන්න.


CLICK HERE : For the official website of Wildlife Conservation Society-Galle.


විශේෂ ස්තූතිය: ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා සහෝදරයාට