Saturday, June 9, 2012

සිංහරාජය රස වින්දෙමි... Part II



කලින් වතාවේ පෝස්ට් එකෙන් මම කිව්වේ සිංහරාජයට මීට මද කලකට පෙර ගිහිපු චාරිකාවක තොරතුරු. අද ලියන්නේ ඒ සටහනේම ඉතිරි කොටස. කලින් කොටස බලාගන්න බැරි වුනු උදවිය මෙතනින් ගිහිල්ලා එකත් බලලම එන්න. 
ඉතින් බඩුමලුත් කරතියාගෙන කිලෝමීටර් ගණනක් පයින් ආපු නිසා අපිට ටිකක් මහන්සියි. ඒත් ඉතින් මහන්සියි කියලා මේ වගේ තැනකට ඇවිත් බුදියගන්ට පුළුවන්ය?. එතකොට වෙලාවත් හවස හතරට විතර ඇති. එක නිසා අපි තීරණය කළා නවාතැනට ලඟින්ම පිහිටි දියඇලි දෙක (පතන ඔය ඇල්ල සහ කැකුණ ඇල්ල) බලන්න යන්න. වන සංරක්ෂණ කාර්යාලයෙන් ලබාදුන්නු ගයිඩ් මහත්තයත් එක්ක අපි කැලේට ඇතුළු වුනා.  ගඟෙන් එගොඩ වුනු හැටියේම අපි ඇතුළු වුනේ නා ගස් වලින් පිරුණු ගන කැලයකට. මේ හරිය හැඳින්වෙන්නේ නාගස් මණ්ඩිය කියලයි අපේ මගපෙන්වන්නා කිව්වේ. එම ප්‍රදේශය නා (Mesua nagassarium) සහ දියනා (Mesua ferrea) කියන ශාක වලින් ගැවසුණු තරමක් අඳුරු පෙදෙසක්. මේ ප්‍රදේශය හරහා යද්දී අපි සුවිශේෂ ශාක වර්ග කීපයක්ම දුටුවා. වනාන්තරයක ගමන් කරන විට විමසිල්ලෙන් සහ අවධානයෙන් ගමන් කලොත් මේ වගේ දේවල් දකින්න අමාරු නෑ. මේ පළමු ශාකය හැඳින්වෙන්නේ "ගොන්දිව" යන නමින්.
ගොන්දිව ශාකය
Acranthera zeylanica යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය බිම්ස්තරයේ වැඩෙන කුඩා, බිමටම ඇලුණු පඳුරක්. මෙය ගොන්දිව යන නමින් හැඳින්වෙන්නේ හරකෙකුගේ දිවක් වැනි රළු පත්‍රයන් පිහිටා තිබෙන නිසයි. මෙය ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් බවත් නොකියාම බැහැ.
ඊළඟට මා දුටුවේ කිරිබදු වැලක් (Ipomoea littoralis). සමහරු මෙය කිරිවැල් කියාද හඳුන්වනවා.
කිරිබදු
බතල, කන්කුන් ආදිය අයත් Convolvulacea පවුලට අයිති මෙම ශාකය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වටිනා ඖෂධයක් ලෙසද සැලකෙනවා. 
ඉතින් මේ වගේ වටිනා පරිසර පද්ධතියක් රසවිඳිමින්, වරින් වර වැටුණු පොද වැස්සට තෙමෙමින්, කූඩැල්ලන්ගේ අනෙක විධ අතවර විඳිමින්, ගල් මුල් උඩින් පනිමින් අපි හෙමින් හෙමින් ඉදිරියට ගියා. ඇතැම් ස්ථාන පොද වැස්ස නිසා තදින්ම ලිස්සනවා. කොහොමින් හරි මේ විදියට කිලෝමීටර් දෙකක් විතර ගිහිපු අපිට පතන්ඔය ඇල්ලට ළඟා වෙන්න පුළුවන් උනා. එතනට ආපු හැටියේම මෙතෙක් වෙලා විඳපු හිරිහැර අමතක වෙලා ගියේ ඉබේමයි. මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව නිසා ඇල්ලේ වතුර හොඳටම බොර වෙලා තිබුනත් එහි සුන්දරත්වයටනම් එයින් කිසිදු බාධාවක් වෙලා තිබුනේ නෑ. ඔබම බලලා එය තීරණය කරන්න. 
පතන්ඔය ඇල්ල
පතන්ඔය ඇල්ල තවත් කෝණයකින්...
පතන්ඔය ඇල්ලේ හැඩ බලන්න මේ වීඩියෝ එකෙන්.
video
පතන් ඔය ඇල්ලේ මද වෙලාවක් රසවිඳපු අපි ඉන්පසු පිටත් වුනේ කැකුණ ඇල්ල නැරඹීම සඳහා. ඒ ගමන නම් කලින් තරම් දුෂ්කර එකක් වුනේ නැහැ. අරණුව දොලෙන් උපත ලබන කැකුණ ඇල්ල අසලටම යාම ටිකක් අපහසු කටයුත්තක්. අධික වර්ෂාව නිසා ජලමට්ටම ඉහල ගොස් තිබීම නිසා අවදානමක් ගන්නට අපි සූදානම් වුනේ නැහැ. ඒ නිසා අපි ඇල්ල නැරඹුවේ ටිකක් දුරින් ඉඳන්. බලන්න ලස්සනද කියලා.
කැකුණ ඇල්ල....
මේතියෙන්නේ මේ ඇල්ලම වතුර අඩු කාලෙක (කලින් වතාවේ ට්‍රිප් එකේදී) ගත්තු පින්තූරයක්.
කැකුණ ඇල්ල කෙට්ටු වෙලා...
මේ දියඇල්ල දිගේ මදක් පහලට ආපු අපි ඉන්පසු අරණුව දොලේ සිහිල් දිය දහරෙන් නා කියා ගත්තා. මේ වගේ පරිසරයක දියනාන ඔබට කිව යුතු කාරණයක් තියනවා. එනම් දියනෑවට කමක් නෑ. නමුත් සබන් ෂැම්පු ආදිය පාවිච්චි කරන්න එපා. ඒවා මේවගේ දියපහර වල ජීවත් වෙන ජීවීන්ට අතිශයින්ම හානිකරයි. එකදවසක් සබන් නොගා නෑවට මක් වෙනවද? නේද? 
ඉන්පසු අපි නැවතත් අපේ නවාතැනට ආවා. අපිට පස්සේ ආපු සංචාරක පිරිසක් ගඟෙන් එගොඩ වෙන හැටි තමයි මේ. 
ඇදපන් පුතා...
මහකැලයෙන් ඇසෙන විවිධාකාර සතුන්ගේ සංගීත රටා වලට කන්දෙමින් එදා ගතකරපු රාත්‍රිය මගේ ජීවිතයේ අමරණීය මතකයක්. ඊට පසුවදා දියඇලි පහක් සොයාගිය චාරිකා සටහන ඊළඟට බලාපොරොත්තු වන්න.

7 comments:

  1. පට්ට පොටෝ ටික අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එක පැත්තටත් ගොඩ වුනා. හරිම වටින වැඩක්. දිගටම ලියපන් මල්ලියෝ..

      Delete
  2. මේ trip එකට මමත් ආවා.මතකද රෑ වෙලා bike එකෙන් ආවෙ. අප්පට සිරි ඒක නම් නියම ගමනක්. මම ගියපු ලස්සනම ට්‍රිප් එකක්. මතක විදියට ඔය profile picture එක ගත්තෙත් ඒ ගමනෙදි.

    ReplyDelete
    Replies
    1. කොහොමද මචන් අමතක වෙන්නේ? මමත් ජීවිතේ ගියපු හොඳම ට්‍රිප් වලින් එකක් මේක. මතකද අපි තට්ටු ඇල්ලේ නෑවා. ඇත්ත මේ profile picture එක ගත්තේ පතන්ඔය ඇල්ල පාමුලදී

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අපි ඔය පැත්තට ගියෙ නෑ...අපි ගියේ වෙනත් ඒරියා එකකට බ්‍රාහ්මන ඇල්ල පැත්තට...

    ReplyDelete
    Replies
    1. ආයේ දවසක මේ පැත්තටත් යන්න. අර උඹලට ගන්න බැරි වුනු පලා පොළඟා තමයි ඔය උඩ ඉන්නේ.

      Delete