Monday, July 6, 2015

අවාරේ සිරිපා - අවසාන කොටස


අවාරෙ සිරිපා චාරිකාවේ දෙවන කොටස අරගෙන එන්න සෑහෙන්න පරක්කු වුණා. ඡායාරූප ටික ගබඩා කරල තිබුණු පරිගණක යන්ත්‍රයේ ඇති වෙච්ච කාර්මික දෝෂයක් තමයි ප්‍රමාදයට හේතු වුණේ. ඉතිං තරහ අවසරයි...! ඕං ඉතිරි ටික...

එදා රාත්‍රිය අපි ගත කළේ උඩ මළුවට පඩි කීපයක් පහතින් තියෙන කුස්සියේ. ඇත්තටම ඊට පෙර දවසේ රාත්‍රී හරිහැටි නින්දක් නොතිබීමත්, ගමන් මහන්සියත්, පරිසරයේ සුවදායී සිසිලසත් නිසා අපි හැන්දෑවේ හයහමාර හත වෙද්දිම නින්දට ගියා.

නමුත් මහරාත්‍රියේ හදිසියේම අප ඇහැරුණේ හුස්ම ගැනීමේ අපහසුවකින්. මුළු කුස්සියම දුමෙන් පිරිලා. දුම පිටවෙන්නට තැනක් නැති කමෙන් අපට හුස්මක් අරගෙන එහි ඉන්නට පුළුවන් කමක් තිබුණෙ නෑ. ඒ උදවිය උදේ බුද්ධ පූජාවට ආහාර සකස් කරනවා. වෙලාව බැලින්නම් පාන්දර 2.30යි. ඉන්පසු අපි හෙමින් උඩමළුවට ගියා. අධික සැඩ සුළං ධාරා හා දරාගත නොහැකි සීතල නිසා එහි රැඳී සිටීම ඉතාම අසීරු කරුණක් වුණා. 
පාන්දර තුන‍ට පමණ මරහීතලේ උඩ මළුවේ...

සීතලේ ගුලිවෙමින් අප නැගෙනහිර අහස දෙසම බලා සිටියේ කොයි වෙලේ ඉර සේවය දකින්නට හැකි වේදැයි සිතමිනුයි.

ඉර උදාව...
අවාසනාවකට වගේ අහස වළාකුලින් බරව තිබීම නිසා ඉර සේවයේ පැහැදිලි දසුනක් නැරඹීමේ භාග්‍යය අපට අහිමිව ගියා. මා සතුව තිබූ කැමරාවේ දුර්වල තත්ත්වයත් මනා ඡායාරූපයක් ලබා ගැනීමේ අවස්ථාව මට අහිමි කළා.

කෙසේ නමුත් ඉර උදාවෙන් පසුව අවට පරිසරය නම් වර්ණනා විෂයාතික්‍රාන්තයි මිත්‍රවරුනි. මම කියනවාට වඩා හොයි ඡායාරූප වලට කතා කරන්නට ඉඩදෙන එක.
අරුණැල්ලේ නැහැවෙන කඳු වළල්ල...

සිරිපාදයේ සෙවණැල්ල (නිල් පැහැයෙන් ත්‍රිකෝණාකාරව)
යන්තම් එළිය වැටෙද්දී අපි රත්නපුර පාරෙන් පහළට කරුණා කිරීම ආරම්භ කළා.
කුණුදිය පර්වතය
අවාර සමයේ රත්නපුර පාරෙන් ගමන්කිරීම තරමක් අනතුරුදායකයි. වනයෙන් වැසී ඇති පඩිපෙල, ඇතැම් විට ලිස්සායන සුළු බෑවුම් නිසාත්, නිරන්තරයෙන් සරන වනසතුන් නිසාත් මේ මග ගමන් කිරීම කල්පනාකාරීව කළ යුත්තක්. දින කිහිපයක් පැරණි අලි වසුරු අප කිසිසේත් බලාපොරොත්තු නොවුණු බෑවුම් ප්‍රදේශයකදී අපට හමුවුනේ සිතට‍ යම් බියක් ගෙනදෙමින්.
අලි වසුරු
එතැන පසුකර මද දුරක් යද්දී මේ දැන් බිඳ දැමුණු කුරුබට ගහණයක් දක්නට ලැබුණා. මහඇත්තන් මේ අවටම සිටින බවට එය නිසැක සාක්ෂියක් වූයෙන් අපි එතැන් පටන් ඉදිරියට ගියේ ඉතාම විමසිල්ලෙන්...
මල්බර වන‍ මං පෙත...

ස්නානය සහා සුදුසු දියපහරවල් රත්නපුර මංපෙතේ ඕනෑතරම් තියෙනවා. නමුත් මේවායෙන් දියනෑම ඉතා කල්පනාකාරීව කළ යුත්තක්. මොකද කන්ද ඉහළට ඇදහැළෙන මහවැසි නිසා කිසිදු අනතුරු ඇවීමක් නොමැතිව මේවායේ සැඩපහර ක්ෂණිකව ඉහළ යන නිසා.
සුන්දර චාරිකාවක් අවසානයේ අපි සිරිපාගමට පැමිණියේ මහවැසි මධ්‍යයේ. එතැනින් රත්නපුරයටත්, රත්නපුරයෙන් පානදුරත් පැමිණි මම ගෙදර ගියේ පහුවදා පාන්දර යාමයේ...

Wednesday, May 20, 2015

අවාරේ සිරිපා...



‍බොහෝ කලකට පෙර ගියා වුණත් අද ඊයෙ ගියා වගේ හිතේ රැඳිච්චි 
අපූරු චාරිකාවක විස්තර ටිකක් අරගෙනයි මං අද ආවෙ.

ශ්‍රීපාද අඩවිය, එහෙමත් නැත්නම් සමනල අඩවිය කියන්නේ පාරිසරික, ආගමික හා සංස්කෘතිකමය අතින් ලංකාවෙ ඉතා වැදගත් ප්‍රදේශයක්. කවුරුත් දන්න පරිදි ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මාසෙ පෝය දවසින් ආරම්භ වෙලා මැයි මාසෙ වෙසක් පෝය දවසින් අවසන් වෙනවා. නිරන්තර තද වැසි සහිත කාලගුණ තත්ත්වය මදක් වෙනස් වෙලා මේ කන්ද තරණයට සුදුසු යහපත් කාලගුණික තත්ත්වයක් තියෙන්නෙ මේ කාලසීමාව තුළදී පමණයි. ඉතින් මේ කියන කාලසීමාව තුළ මේ සුවිශේෂ පරිසර පද්ධතිය ලක්විය යුතු සියලුම ආකාරයේ අතවරයන්ට ලක්වෙනවා. සෑම සිරිපා වාරයක්ම අවසා‍නයේ එහි පවිත්‍රතා කටයුතුවල නියැලෙන තරුණ සත්වවේදීන්ගේ සංගමය ඇතුළු සෙසු ස්වේච්ඡා සංවිධාන මේ පිළිබඳ සාක්ෂි දරයි.

ඉතින් මේ සියලු අතවර වලින් මිදිලා මේ වනපෙතත් එහි වෙසෙන සත්ව ප්‍රජාවත් නිදහසේ හුස්මක් ගන්නේ මැයි සිට දෙසැම්බර් දක්වා වන කෙටි අවාර කාල සීමාවේ පමණයි. ඒ නිසා මගේ මේ උත්සාහය අවාරෙ කාලෙටත් සිරිපා යන්නට ඔබ පොළඹවලා උන්ට ඒ නිදහසත් අහිමි කරවන්නට නම් නෙවෙයි.

අවාරෙ සිරිපා යන්නට හිතන්ට කලින් ඔබ ‍බොහෝ කරුණු සලකා බැලිය යුතුයි. ඒ සඳහා මස්කෙළිය පොලිස් ස්ථානයෙන් අවසර ලබා ගත යුතු බවත් මා මෑතක පුවත්පතක දැක්කා. ඒ කරුණ ස්ථිර කරගත යුතුයි. ඒ වගේම මේ කාලසීමාව මේ ප්‍රදේශයට අධික වැසි පතිත වන සමයක්. එවිට පඩිපෙළ ඔස්සේ දියදහරා ගලා එන්නේ විශාල දියඇල්ලක් වගේ අධික ජවයකින්. ඇතැම් විට ඊට හසුවුවහොත් ඔබ ප්‍රපාතයට ඇදවැටීමට වුවත් බැරිකමක් නෑ. ඒවගේම මේ කාලය වනසතුන් නිදහසේ සැරිසරන සමයයි. අමතක කරන්න එපා සිරිපා අඩවිය කුරු ඇතුන්ගේ නිදහස් නිවහනක් බව. එසේම මේ කාලයට පාරදිගේ ඇති විදුලිබුබුළු ක්‍රියාත්මක වන්නේ නෑ. විදුලිබලය ඇත්තේ මළුවට පමණයි. ඒනිසා රාත්‍රී ගමන් නුසුදුසු බව තරයේ හිතට ගන්න. පරිසරයටත් එහි සතා සීපාවාටත් කිසිදු බාධාවක් නොවන පරිදි පරිස්සමින් යන්නට හැකි බවට විශ්වාස නම් පමණක් අපි සමන් දෙවි කරුණාවයි කියලා ඕං පිටත්‍ වෙමු.

මේ ගමන අපි ගියේ 2008 අවුරුද්දේ නොවැම්බර් මාසෙ. සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රිය තමයි එදත් අපට පිහිට වුනේ. පාන්දර ජාමේ හැටන් දුම්රිය පොළෙන් බැහැගත්තු අපි එළිය වැටෙන තුරු දුම්රිය පොළේ බංකුවක් උඩ මරහීතලේ ගුලි වෙලා උන්නා. යාන්තම් එළිය වැටෙද්දි නගරයේ විවෘත කරලා තිබුණු එකම හෝටලේට ගොඩවැදිලා සරල ආහාරයක් ලබා ගත් අපි එකාට එක බැගින් ලොකු පාන් ගෙඩි මිලදී ගත්තා. (දින 02ක් අපි කෑවේ පාන්ම තමයි) ඉන්පසු හැටන් වලින් පිටත්වන මුල්ම බස්රියෙන් අපි නල්ලතන්නිය බලා පිටත්වුණා.
සිරිපා සමයේ අතිශය ජනාකීර්ණ කාර්යබහුල නගරයක් වන නල්ලතන්නිය පාළු කතරක් වගෙයි අපට දිස්වුණේ. වෙනදා සිරිපා ගමන්මග ආරම්භ වන ස්ථානයේ සිට දක්නට ලැබෙන තාවකාලික කඩ සාප්පු එකක් වත් ති‍බුණේ නෑ. දිරාගිය ඇටසැකිලි වගේ ඉතිරි වුණු කණු දෙක තුනක් විතරයි දකින්ට තිබුණේ.

මකර තොරණ අබියස - ඔය විසිරී සිටින සියලු දෙනා අපේ නඩේ ඇත්තෝ
මේ කාලයේ මා සතුව තිබුණේ ඉතා ප්‍රාථමික මට්ට‍මේ ඩිජිටල් කැමරාවක්. ඒනිසා ඡායාරූපවල ගුණාත්මක භාවය පිළිබඳව මා දයාබර රසිකයෝ කමත්වා...!
මකර තොරණ පසුකර මදක් ඉදිරියට යන විට දක්නට ලැබෙන රතුපාලම ඔබ කාටත් හුරුපුරුදු එකක් වනවා නිසැකයි. එහි කෙළවරින් පහතට විහිදුණු ඉතා කුඩා අඩිපාර දිගේ මදක් පහතට බසින්නට ඔබට අවස්ථාවක් ලැබුණොත් සුන්දර කුඩා දිය ඇල්ලක් දැක ගන්නට හැකියි. 

නමක් නැති ‍සුන්දරිය..
මෙම ඡායාරූපයේ ඉහළින් ඔබ දකින්නේ සුප්‍රකට රතු පාලමයි. වෙනදාට වටපිටාව ආවරණය කෙරෙන කඩසාප්පු දක්නට නොලැබුණු නිසා අවට පරිසරය නිරීක්ෂණයට අපට අපූරු නිදහසක් හිමිව තිබුණා.
පාළුවට ගියා සිරිපා මග...

අවට සුන්දරත්වය

ජපන් සාම චෛත්‍යයත් පසු කර ඉහළට ගමන්කළ අපි සීතගඟුලේ නාන තොටුපොළ වෙත පැමිණියා. මෙහිදී තොටුපොළෙන් ස්නානය කරනු වෙනුවට ගඟ දිගෙ තරමක් ඉහළට ගමන් කළ අපි කුඩා දියඇල්ලක් අසළ ස්නානය කළා. මෙය ඉතා කල්පනාකාරීව කළ යුතු කටයුත්තක්. මොකද ඉහළට ඇද හැලෙන මහවැසි නිසා මේ කාලයේ ගංගා ඇළ දොළ වල දියපහර ක්ෂණිකව වේගවත් වන නිසා.
දියනෑ තැන..
දියනෑමෙන් පසු අප ගෙනා සීනිසම්බල් සමග පාන් අනුභව කොට නැවතත් ගිරිතරණය ඇරඹුවා. මේ වන විට ක්‍රමයෙන් කාලගුණ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තා. තද සුළං සමග පොද වැහි ඇදහැලුණත් වාසනාවකට වගේ තද වැස්සකට ලක් නොවීමට තරම් අප වාසනාවන්ත වුණා. වරින් වර වැස්සෙන් සුළ‍ඟින් බාධා වුණත් අවට සුන්දරත්වය වින්දනය කරන්න‍ට අපට හැකි වුණා.
නොඉඳුල් වනගහනය..
ක්‍රමයෙන් ඉහළට යත්ම සදාහරිත තෙත් කඳුකර කලාපීය වනාන්තරයක අනන්‍ය ලක්ෂණ අපට දක්නට ලැබුණා. දැඩි සුළං ප්‍රවාහය නිසා ඇද වූ හා කුරුවූ ගස් ඒ අතරින් ප්‍රධානයි.
කුරුශාක...
කුරු ශාක...
මේ විදියට අවට සුන්දරත්වය උපරිමයෙන් විඳිමින් මහගිරි දඹය හරියේදී මහවරුසාවකටත් ලක්වෙමින් අපි මළුවට පැමිණියා. 
මාවුස්සාකැලේ ජලාශය..
මේ දවසේ අවසාන ඡායාරූපය... සවස පහට පමණ උඩ මළුවේ සිට මාවුස්සාකැලේ ජලාශය...
එදින රාත්‍රිය අමතක නොවන එකක්. ලේ කැටි ගැහෙන හීතලේ අධික සුළං ධාරා මැද රාත්‍රිය ගත කළ අපි පසුවදා රත්නපුර පාරෙන් පල්ලම් බැස්සා. ඔහොම මෙහෙම අලි මුණ නොගැසී කැලේ මැදින් පල්ලම් බැහැපු හැටි බලාපොරොත්තු වන්න...

Wednesday, March 18, 2015

හික්කඩුවේ මුදු වෙරළේ - Fascinating Hikkaduwa Beach....


ලංකාවේ හතරදිග් බාගයේම ඇති සුන්දර ස්ථාන ගැන ලිපි ගණනාවක් ලියූ මම, මා උපන් හික්කඩුවේ රන් වෙරළත් එහි සොබා සුන්දරත්වයත් ගැන මෙතෙක් කිසිවක් නොලීවේ මන්දැයි මටම ගැටලුවකි. සමහර විට නිතර දකින කුකුළාගේ කරමලය සුදු නිසා වන්නට පුළුවන. 
හික්කඩුව මුහුදු තීරයේ පිහිටි සුවිශේෂ කොරල් පද්ධතියත්, ඒ ආශ්‍රිතව වාර්තා වන දුර්ලභ ජීව ‍විශේෂ සංඛ්‍යාව හේතුවෙනුත් 1979 වර්ෂයේ මෙම ප්‍රදේශය සාමුද්‍රික අභය භූමියක් ලෙස නම් කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ නම් කෙරුණු ප්‍රථම සාමුද්‍රික අභය භූමියයි. ඉන් අනතුරුව 2002 වර්ෂයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද්දේ ලංකාවේ දෙවන සාගරික ජාතික උද්‍යානය‍ වශයෙනි.

මුදු රළ සහිත වෙරළ
එදා පටන්ම හික්කඩුව ප්‍රකට එහි අනගිභවනීය කොරල් පද්ධතිය නිසාය. කොරල් වර්ධනයට ඉතා හිතකර නොගැඹුරු, රළ අඩු, ප්‍රශස්ත උෂ්ණත්වයක් සහිත මුහුදු තීරයක් පිහිටා තිබීමත් කොරල් බුහුබාවන්ට අවශ්‍ය ආහාර නොඅඩුව තිබීමත් නිසා (කොරල් පර නිර්මාණය වන්නේ කොරල් බුහුබාවා (Polyp) නම් ජීවියාගේ විශාල එකතුවකිනි. උන්ගේ කැල්සියම් කාබනේට් වලින් නිර්මිත බාහිර කවචය මගින් කොරල් පර නිර්මාණය වේ. මෙය වසර දහස් ගණනක ක්‍රියාවලියක ප්‍රතිඵලයකි) හික්කඩුව අවට මුහුදු තීරයේ අපූරු කොරල් පද්ධතියක් බිහිව තිබුණි.
කොරල්...

1997-98 වර්ෂ වල බලපෑ එල්-නිනෝ සංසිද්ධියත්, 2004 සුනාමි ව්‍යසනයත්, තවත් බොහෝ මිනිස් ක්‍රියාකාරකම් නිසාත් දැන් හික්කඩුවේ කොරල් පර වෙනදා තරම් සුන්දර නැත. තිබෙන ඒවා මියගොස් තිබෙන නිසා සුදු පැහැයට හැරී ඇත. නමුත් අදටත් හික්කඩුවේ ජීවනාලිය මේ සුන්දර වෙරළ තීරයයි.
එහි උණුසුම් සුව විඳින්නට ලෝකයේ හතරදිග් බාගයෙන්ම සංචාරකයෝ ඇදී එති. මේ දින වල පැමි‍ණෙන සංචාරකයන්ගේ ප්‍රධානතම ආකර්ෂණයක් වන්නේ හික්කඩුව 'ඡායා ට්‍රාන්ස්' හෝටලය පිටුපස වෙරළට ඇදී එන කැස්බෑවුන්ය. මුලදී දක්නට හිටියේ විශාල වැඩිහිටි කැස්බෑවුන් දෙදෙනෙක් පමණක් වුවත් දැන් පැටවුන්ද සමග එතැන කැස්බෑවුන් පස්දෙනෙකු දක්නට ඇත. 
කැස්බෑවුන් වට කර....
උන් එතන රැඳී සිටින්නේ සංචාරකයන් අතින් දෙන මුහුදු පැළෑටි කන්නටය. මුහුදු පැළෑටි ගලවා ෂොපිං බෑග් වලට දමා කැස්බෑවුන්ට කවන්නට විකුණන උදවියද දැන් ඒ අවට දක්නට ලැබේ. 

කැස්බෑවා සමග විනෝද වන විදේශීය දරුවන්..

කැස්බෑවුන්...

මුහුදු පැළෑටි කවමින්...

මුදු වෙරළේ සුන්දරත්වය විඳින විදෙස් නෙත්..

තවමත් සජීවි වෙරළ...

කකුළුවා...
කවචධාරීන්..

කවචධාරීන්...

රතු, දුඹුරු ඇල්ගී හා තවත් මුහුදු පැළෑටි
සංචාරක ව්‍යාපාරය මෙහි ආර්ථිකයට පණ පොවන මූලික සංරචකය වුවත් ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික ගැටළු වලින්ද හික්කඩුවට අඩුවක් නැත. මත් ද්‍රව්‍ය, ගණිකා ව්‍යාපාරය වැනි සමාජ පිළිල (Social Stigma) අද‍ටත් හික්කඩුවට වද දෙන ගැටළුය.
කෙසේ නමුත් වාර්ෂිකව හික්කඩුව වෙරළේ සංවිධානය වන 'හික්කා' ප්‍රසංගය වරක් ආන්දෝලනයකට තුඩු දුන්නේය. කුප්‍රකට 'දිවයින' පුවත්පතෙහි 'ජඩ මාධ්‍යවේදියෙක්' ඩුබායි හි පැවති වෙරළ සාදයක නිරුවත් ඡායාරූප හික්කා 2009 සැණකෙළියේ ඡායාරූප බව දක්වමින් ලියූ පුවත් පත් වාර්තාවක් නිසා අපටද රෙද්දක් ඇඳ ගෙන කාර්යාලයට යන්නට බැරි තත්ත්වයක් උදා විය. වාසනාවකට පසුව සත්‍යය හෙළිදරව් වුණේය.
හික්කඩුවේ සොබා සුන්දරත්වය තව වැඩි කලක් මේ විදියටවත් පවතින එකක් නැත. දැනටත් හික්කඩුව වෙරළේ දියනෑම කටුක අත්දැකීමකි. ඒ මුුහුදු ජලයෙන් හමන අධික ඉන්ධන ගන්ධය නිසාය. වෙරළ තීරය ආසන්නයේම ධාවනය වන වීදුරු පතුල් බෝට්ටුවලින් නික්මෙන ඉන්ධන ඊට හේතුවය. ඊට අමතරව අසංවර සංචාරකයන්, ඇතැම් හෝටල් හිමියන් බැහැර ලන අපද්‍රව්‍යද වෙරළට වින කටියි.
වෙනදා වගේ 'සුද්දන්' ද දැන් හික්කඩුවට එන්නේ අඩුවෙනි. බහුතරයක් එන්නේ ආතක් පාතක් නැති හිඟන සංචාරකයන්ය. හික්කඩුව නගරය ආසන්නයේම දූවිලි වැකුණු කුණු කාණුවක් අසබඩ කුඩා දරුවෙක් හිඳුවා පත්තර කොළයක එතූ ආප්ප ඔහුට කවමින් තමන් ද කන සංචාරක යුවළක් දෑසින් දුටුවෙමි. හික්කඩුව පොළ සංචාරකයන්ගෙන් පිරී පවතී. වෙනදාට ඔවුන් එන්නේ පොළේ රවුමක් ඇවිද ඡායාරූපයක් දෙකක් අරං යන්නටය. දැන් නම් එන්නේ තක්කාලි දෙසිය පනහක්, ගෝවා ගෙඩියක් අර ගෙන ගොස් නවාතැන් ගෙන සිටින තැනක උයාගෙන කන්නටය. ඔවුන් අවන්හල් වලින් ආහාර නොගන්නා තරම්ය.  මාළු වෙළඳසැලේ අඩුවට මාළු ඉල්ලා බහින්බස් වුණු 'සුද්දෙක්' හට කරුණු පැහැදිලි කර දෙන්නට මටද මැදිහත් වන්නට සිද්දවිය. වෙළෙන්දා ඔහුටත් මටත් දෙදෙනාටම මාළු දුන්නේ එකම මිළට බව මා කියන තෙක් ඔහු වෙළෙන්දාට බැණ වැදුණේය. මේවා අපේ උන්ගෙත් වැරදිය. බොහෝ උන් සුද්දෙක් දැක්කොත් උත්සාහ කරන්නේ උගේ රීරි මාංස හූරා ගෙන කන්නටය. මේවා ගැන අත්දැකීම් ඇති සුද්දෝ දැන් නියම ගණන කිව්වද පිළිගන්න‍ේ නැත. 
මේ මොන ගැටළු මැද වුවත් හික්කඩුව වෙරළ වයසට ගියත් තවම රූ සිරියෙන් බබළන පරණ නිළියක් මෙන් සුන්දරත්වය යම්තාක් දුරට රැක‍ගෙන සිටී. ඒ නිසාම සංචාරකයන් තාමත් ඇයට ආදරේය.

Thursday, February 19, 2015

බල්ලා මළ ඇල්ල - උඩ කරවිට (යතුරුපැදි චාරිකා)

වනගත සොඳුරිය
අදත් ඔන්න මම යතුරුපැදි චාරිකා සටහනක් අරගෙන ආවා. ඇත්තටම යතුරුපැදිය තරම් පරිසරය විඳිමින් පරිසරයට සමීපව ගමන් යන්න සුදුසු වෙනත් වාහනයක් නැති තරම්. නමුත් වෙනත් රථයකට සාපේක්ෂව ජීවිත අවදානම ඉහළ වාහනයක් බවත් මතක තියාගෙනම පරෙස්සමෙන් චාරිකා කළ යුතුයි.
ඉතින් මගේ මෙවර ගමනාන්තය බොහෝ දෙනෙක් අසාවත් නැතුවා නිසැකයි. කොටින්ම මේ දිය ඇල්ල අවට ගම්වාසීන් පවා මේ ගැන එතරම් දැනුවත් නෑ. මේ වනගත අති සුන්දර දියඇල්ල හැඳින්වෙන්නේ 'බල්ලා මළ ඇල්ල' නමින්. පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ උඩකරවිට ගම් ප්‍රදේශයේ...මම මේ චාරිකාව ගියේ 2011 අවුරුද්දේ... මේ සටහන ලියන්න බොහෝ කාලයක් පෙරුම් පුරා ගෙන හ‍ිටියත් ඡායාරූප ටික අස්ථාන ගත වෙලා තිබුණු නිසා වැඩේ කෙරුණෙ නෑ. අන්තිමට යාන්තම් ලක්දසුන් වෙබ් එකට යවපු ට්‍රිප් රිපොර්ට් එකක් ඊමේල් අවුට්බොක්ස් එකේ තිබිල හම්බ වුණා. 
සුපුරුදු පරිදි අනිත් යතුරුපැදි චාරිකා වගේම මේ චාරිකාවත් ගියේ මගේ පාදපරිචාරිකාව එක්කමයි. සාමාන්‍යයෙන් අපි රත්නපුරේ යන්නේ කළුතරින් හැරිලා බණ්ඩාරගම හරහා. නමුත් බයික් එකේ යන නිසා අතුරු පාරවල් ඔස්සේ වඩාත් ගම්බද ප්‍රදේශ හරහා යන්න අපි තීරණය කළා.
ඒ අනුව හික්කඩුවෙන් ගමන් ආරම්භ කළ අපි කහව, මීටියාගොඩ හරහා ඇල්පිටියට ආවා. ඇල්පිටියෙන් පිටිගලටත් එතැනින් පැලවත්තටත් ආපු අපි පහළ හෙවෙස්ස හරහා බදුරලිය දක්වා දිවෙන මාර්ගයට ප්‍රවිෂ්ට වුණා.
නිසංසල මංපෙත...
කළුගල ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් දිවෙන මේ මාර්ගය අතිශය නිසංසල ඒවගේම සුන්දරත්වයෙන් අනූන එකක්. බයිසිකලයේ රිද්මික නාදය හැරුණාම අවටින් ඇසෙන්නේ කුරුලු කූජනයත් පාර අසලින්ම ගලා හැලෙන දියදහරා වල සිලිසිලියත් පමණයි. ගෙවල් දොරවල් අඩුවෙන් හා ඈතින් පිහිටා තිබුණු මේ මාර්ගයේ වාහනයක් මුණ ගැහුණෙත් ඉඳහිටයි. 
මේ සුන්දරත්වය උපරිමයෙන්ම විඳිමින් ඉතා සෙමින් ධාවනය කළ අපි කුඩා දියදහරක් අසල නැවතී විඩා නිවා ගන්නටත් අමතක කළේ නෑ.
සීත දියදහරා....
මෙසේ ගමන් කළ අපි කඹුරාවල හන්දියෙන් කලවාන මාර්ගයට ප්‍රවේශ වුණා. බදුරලිය නගරය ආසන්නයේ මදක් නතරවුණ අපි මගුරු ග‍ං ඉවුරේ හිඳ උදෑසන ආහාරය සප්පායම් වුණා....
මගුරු ගං ඉවුර....
උදෑසන ආහාරයෙන් පසු දිගටම ගමන් කළ අපි කලවාන හරහා කරවිට නගරයට පැමිණියා. මෙවිට යාන්තම් පොද වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත් නිසා කරවිට නගරයේ කඩපිලක මදක් රැඳී සිටින්නටත් අපට සිදු වුණා. කෙසේ නමුත් සොබාදම් මාතාව අපට කාරුණිකව සැලකූ නිසා මද වර්ෂාව වැඩි වෙලාවක් පැවතියේ නෑ. මෙදා ගමනේ අපේ මාර්ගෝපදේශකයා වුණේ මගේ කාර්යාල මිතුරෙක්. ඔහු ‍නිවිතිගල ගම්වැසියෙක් වුණත් මේ දිය ඇල්ල ගැන එතරම් අසා තිබුණේ නෑ. ඒ නිසා කරවිට කඩපොළේ උදවියගෙනුත් පාර අසා ගෙන අපි ගමන පිටත් වුණා.
කරවිට හන්දියෙන් පරණවත්ත පාරට හැරී මීටර් කීපයක් ගම මැදින් යන විට කුඩා පාලමක් හමු වුණා. ඉන් එගොඩ වී කිලෝමීටරයක් පමණ ගමන් කරද්දී ඈත වනාන්තරය අතරින් රිදී ඉරක් සේ  මේ සුන්දර දිය දහර පළමුවරට අපේ නෙත ගැටුණා.
රිදී දිය දහර...(බොහෝ ඈතින්)
පාර අයිනේ කඩපිලක බයිසිකල් නතර කල අපි ගන කැලෑව මැදින් යාන්තම් මතු වී ‍පෙනුන අඩිපාරක් දිගේ දියඇල්ල සොයා යන ගමන ඇරඹුවා. ගස් ගල් උඩින් පනිමින්, දියපාරවල් වලින් එතෙර වෙමින් ගිය මේ ගමන ඇත්තටම තරමක් දුෂ්කර එකක්. 
මග කටුකයි...
මග දිගට එල්ලෙන්නට බලා සිටින දහස් සංඛ්‍යාත කූඩැල්ලන් අපේ ගමන වඩාත් දුෂ්කර කළා. නමුත් අවට පරිසරයේ සුන්දරත්වයත්, ළඟ ළඟම  ඇහෙන දිය දහරේ හෝ හෝ නාදයත් අපේ වෙහෙස පළවා හැරියා. මගදිගට දක්නට ලැබුණු නොඉඳුල් දියදහරා වල සුන්දර මත්ස්‍ය වර්ග පිරී සිටියා. ඒ අතර බුලත් හපයා, හීත මස්සා, ගල් පාඬියා වැනි බහුතරයක් ආවේණික මත්ස්‍ය වර්ගයන්. රතු වල්ගයක් ඇති සුන්දර මත්ස්‍යයෙක් වන තල් කොස්සා ද මේ දිය දහරා වල දුටු සුවිශේෂ මත්ස්‍යයෙක්.
දියඇල්ල ආරම්භ වන ස්ථානයට පිවිසීම අපේ අරමුණ වූ නිසා අපි දිය ඇල්ලට වටෙන් ඉහළ නැගීම ආරම්භ කලා. ගල් මුල් වල එල්ලෙමින් යන්නට සිදුවූ ඒ ගමන ඉතාම දුෂ්කර එකක්. කෙසේ නමුත් අතිදුෂ්කර ව්‍යායාමයක් අවසානයේ අපි මේ දිය ඇල්ලේ මුදුනට පිවිසියා.
ඇල්ල මුදුනේ සිට
මීටර් 32ක් උස මේ දිය ඇල්ල මුදුනේ සිට අවට බලන විට පහත වනාන්තරය ඉතා සුන්දරව දිස් වෙනවා.
ඇල්ල මුදුනේ සිට
මේ අවට තේ වගාවන් රාශියක් දක්නට ලැබෙනවා. මේ වතුයායන් හිමිව සිටි සුදු ජාතිකයාගේ බල්ලා මේ දියඇල්ල මුදුනින් වැටී මිය ගිය නිසා මේ දිය ඇල්ල "බල්ලා මළ ඇල්ල" නම් වූ බව ප්‍රදේශ වාසියෙක් පැවසුවා.
දිය ඇල්ල මුදුනේ මද වේලාවක් රැඳී සිටි අපි ඉන් අනතුරුව දිය දහරාව ඔස්සේ පහතට බැසීම ආරම්භ කලා. මෙය ඉතා අසීරු මෙන්ම පරෙස්සමෙන් කළ යුතු දෙයක්. මදක් පය වැරදී ගියොත් බල්ලාට වෙච්චි දේම තමයි වෙන්නේ...
දියඇල්ලේ මැද කොටස
බල්ලා මළ ඇල්ල - In it's all glory...

දිය ඇල්ලේ පහළ කොටසට පැමිණ පරිස්සම් ඇති තැනකින් නාගත් අපි බොහෝ සුන්දර මතක හද රඳවා ගෙන ආපසු එන්නට ආවා.
බොහෝ දෙනාගේ ඇහැට වහංව වනගතව පිහිටා තිබීම නිසා මේ ඇල්ල අවට පරිසරය තවමත් විනාශ වී නැහැ. තවමත් එය එසේම පවතිනවා ඇතැයි මා විශ්වාස මෙන්ම ප්‍රාර්ථනාද කරනවා...


මේ දිය ඇල්ලේ වීඩියෝ එකක් හම්බවුණා යූ ටියුබ් එකෙන් ඒකත් බලන්න එහෙනම්...

තවත් යතුරු පැදි චාරිකා සටහන් මෙතැනින්.. http://sobaroo.blogspot.com/2013/01/1.html

Thursday, February 12, 2015

වල් අලි, හීලෑ අලි සහ හොර අලි


මෙතක් කල් ලංකාවේ හිටියේ අලි වර්ග දෙකකි. එනම්, වන (වල්) අලි සහ හීලෑ අලි වශයෙනි. නමුත් මෑතක සිට මේ අලි වර්ග දෙකට අමතරව 'හොර අලි' නම් වර්ගයක් ගැනද ජනමාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබෙන්නේය. මුන් ඉන්නේද එසේ මෙසේ තැන් වල නොවේය. එක්කෝ දේශපාලුවන් ළඟය. නැත්නම් දේශපාලන හයි හත්තිය ඇති හොඳ දළ කාරයන් ළඟය. එසේත් නැත්නම් පන්සල් වලය. නිකම් ආවාට ගියාට පන්සල්වලත් නොවේය. රට ප්‍රකට යතිවරු වැඩසිටින ටොප් ක්ලාස් පන්සල් වලය.
ආසන්නතතම සිද්ධිය වාර්තා වන්නේ රටේ නමගිය යතිවරයාණන් වහන්සේ නමක් වන 'උඩුවේ ධම්මාලෝක' හිමියන් වැඩ සිටින ඇලන් මැතිනියාරමයෙනි.

මෙහි සිට සොයාගනු ලබන අලි පැටියාගේ වයස අවුරුදු දෙකහමාරකි. මේ තරම් කුඩා අලි පැටියෙකු විහාරයට ලැබෙන්නට ඇත්තේ එකම ක්‍රමයකි. එනම් කැලයේ සිටින මව් ඇතින්න මරා දමා හෝ වෙන යම් ක්‍රමයකින් පැටියා සොරකම් කිරීමෙනි. බොහෝ විට වෙන්නට ඇත්තේ මා මුලින් සඳහන් කල දේය. මන්ද, ඉතා බුද්ධිමත් හා විශාල සමාජානුයෝජනයක් සහිත සත්ත්වයෙකු වන අලියා කිසිවිටෙක තම පැටියා හැර නොයන බැවිනි. වනෝද්‍යාන වල පාරිසරික සංචාර වල යෙදෙන සංචාරකයන් මේ පිළිබඳව සාක්ෂි දරනවා ඇත. පැටියෙකු සිටින රංචුවක් වෙතට සෆාරි ජීප් රථයක් ළං වෙන ඕනෑම අවස්ථාවක මුළු රංචුවම එක් වී පැටියා ආවරණය කර ගනිති. එබැවින් කැලයකින් අලි පැටවකු සොරකම් කිරීම ලෙහෙසි නැත. ඒ හැර මෙතරම් කුඩා අලි පැටවකු ගෘහාශ්‍රිතව සිටින්නට වෙනත් කිසිදු ක්‍රමයක් නැත. ලංකාවේ සිටින හීලෑ අලින්ගෙන් පැටවුන් බෝ කිරීමක් සිදු නොවන තරම්ය. යම් හෙයකින් හීලෑ ඇතින්නක් ගැබ් ගත්තේ නම් ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කල යුතුය. අලුත උපන් අලි පැටවාට නිත්‍යානුකුල බලපත්‍රය සකස් කරන්නේ එවිටය. ධම්මාලෝක හිමියන්ගේ අලි පැටියා ගැන මේ වාර්තා කිසිවක් නැත. උන් වහන්සේ කියන්නේ (හුටා.. වැරදුනා- දෙසා වදාරන්නේ) මේ අලි පැටියා තමන්ගේ දායකයෙකුගෙන් ලැබුණු බවය. අලි පැටවුන් වදන්නට පුළුවන් දායකයන් සිටීම සුළුපටු වාසනාවක් නොවේය. මේ ඉතා හුරතල් අලි පැටවා රැගෙන යාම නිසා තමන් වහන්සේත් තම දායකයිනුත් ඉතා කම්පාවට පත්ව සිටින බවද උන්වහන්සේ දෙසා වදාරන සේක. එතකොට මව් ඇතින්නගෙන් දරුවා උදුරාගෙන එනකොට ඒ ඇතින්නටත් අලි රැලේ සෙසු සාමාජිකයන්ටත් දැනෙන්නට ඇත්තේ කම්පාවක් නොවන්නට පුළුවන. ඇතැම් විට පට්ටම ආතල් එකක් වෙන්නටත් බැරි නැත.  
අපට ඇති ලොකුම කණගාටුව වන්නේ මේ සියලු විගඩම් සිද්ද වෙන්නේ 'බෞද්ධ' ලේබලයට මුවා වී වීම නිසාය. ලෝකයේ මෙතෙක් පහළ වූ ඉතාම ප්‍රායෝගික අවිහිංසාවාදී දර්ශනය වන්නේ බෞද්ධ දර්ශනය බව අවිවාදිතය. එකල්හි අලි ඇතුන් යොදා ගත්තේ ප්‍රායෝගික ප්‍රවාහන දුෂ්කරතා විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙනි. ඒ හැර සෝබනේට අලි ඇතුන් පන්සල්වල ගැට ගහගෙන සිටීමක් සිදු නොවීය.
පෙරහැර කිරීම සඳහා අලි ඇතුන් අවශ්‍ය බවත්, එය සිංහල බෞද්ධ සංස්කෘතිය බවත් මේ උන්නැහේලාගේ තර්කයයි. 'සිංහල' කෙසේ වෙතත් කැලයේ සිටින අහිංසක පැටවුන් මව් මරා සොරකම් කරගෙන ඒම 'බෞද්ධ' සංස්කෘතිය අනුගත වන්නේ කෙසේදැයි මට තේරෙන්නේ නැත.

මීට වසර කීපයකට පෙර බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ සිදු වූ අකටයුත්තක් ද මාධ්‍ය හරහා හෙළිදරව් විය. පින්නවල අලි අනාථාගාරයෙන් ලබා ගත් (බලෙන්) කිරිබොන වයසේ ඇත් පැටවුන් දෙදෙනෙක්  දියවඩන නිලමේ වරයාගේ නිල නිවාස පරිශ්‍රයේ ගැටගසා පහරදෙන අයුරු ඡායාරූප සහිතව රිවිර ඉරිදා සංග්‍රහය හා 'තම්බපන්නි' සඟරාව වාර්තා කළේය. එසේම දිවා කාලයේ පෙරහැර වලට යොදා ගන්නා අලි ඇතුන් විඳින දුක අප බොහෝ දෙන දෑසින් දැක ඇත්තෙමු. අලින් සාමාන්‍යයෙන් ආහාර සොයා සංචාරයේ යෙදෙන්නේ සවස් වරුවේ සහ රාත්‍රී කාලයේය. ඒ දිවා අව් රශ්මිය උන්ට දරාගන්නට අසීරු නිසාය. දිවා කාලය උන් ගත කරන්නේ බොහෝ විට රුක් සෙවණක විවේකීවය. නමුත් පෙරහැරේ යන අලින්ට සිද්ද වෙන්නේ උඩිනුත් යටිනුත් දෙකෙන්ම රත් වී ඇති ගිනිගහන තාර පාරේ කකුලුත් ගැටගසා ගෙන ඒ මදිවාට ඇඟ පුරාම රෙදිත් එල්ලා ගෙන ගමන් කරන්නටය. 
අලියාගේ දේහ උෂ්ණත්ව යාමනය සඳහා උගේ කන් වලින් විශාල කාර්ය භාරයක් ඉටුවේ. ඒවා පුරාම සිහින් රුධිර නාල විසිරී ඇති අතර සිරුරේ අධික උෂ්ණත්වය නිතර කන් සැලීම මගින් සමනය වේ. නමුත් අලින්ට ඇඳුම් අන්දන විට මේවා වැසී යන බැවින් ඌ පත් වන්නේ මහත් අසීරු තත්ත්වයකටය. උඩින් යටින් හා හතරවටින්ම තැම්බෙමින් හරියට අඩිය තියාගන්නට බැරිව උඩපනිමින් පෙරහැරේ යන අලින් දකින අපි ඌ මහත් ශ්‍රද්ධාවෙන් බෙරපද තාලයට නටමින් යන්නේ යයි හුරේ දමන්නෙමු.
අවසාන වශයෙන් මේ ගැටලුව සම්බන්ධයෙන් මල්වතු මහනායක හිමියන් පැවසූ අදහසක් පවසමි. උන්වහන්සේ පවසන්නේ අලි ඇතුන් ගැන කතාකරන උදවිය දිනපතා මරාදමන කුකුලන්, ඌරන්, එළුවන් ගැන කතා නොකරන බවය. බුද්ධාගමේ නාමයෙන් එළුවන් කුකුළන් මරාදමන තැනක් ගැන මා නම් අසා නැත.

Saturday, December 20, 2014

ග්‍රේට් වෙස්ටර්න්... අවසාන කොටස

කන්දේ දෙවන නැග්ම පළමු කොටසට වඩා සෑහෙන අභියෝගයක් වුණා. ගස්, පඳුරු, මුල් ආදියේ එල්ලී ගෙන, ඇතැම් විට බඩ ගා ගෙන හෙමින් සීරුවේ ඉහළ නැගපු අපි ගමනේ පළමු View Point එකට ආවා.
පළමු View Point එකේ සිට... ඊතලයෙන් දැක්වෙන්නේ දුම්රිය මාර්ගයයි..


පළමු View Point එකේ සිට..
ඳුමුදුනට ළං වෙන්නට අපට යායුතුව තිබුණේ තවත් කෙටි දුරක් විතරයි. කඳුමුදුනට අප ළං වෙත්ම දැඩි මීදුම් ප්‍රවාහයකින් අවට වැසී ගියා..
මීදුමෙන් වැසී....
 
මීදුමෙන් වැසෙමින්...
මේ වන විට ලංක‍ාවේ හයවෙනියට උසින් හිට ගෙන හිටි අපිට බැලූ බැලූ අතින් පෙනු‍නේ ගන මීදුම් සේලය පමණයි. ඉ
ඳහිට යාන්තම් මීදුම් සේලය මෑත් වන අවස්ථාවන් වලදී අපි අවට සුන්දරත්වය විඳ ගත්තා.


ආපසු බැස්ම ඉහළ නගිනවාට වඩා අමාරු වුණා. දැඩි ලිස්සන සුලු ස්වභාවය නිසා ඇද නොවැටුණු කෙනෙක් නැති තරම්.
‍තවත් සුන්දර පාරිසරික චාරිකාවක් මේ විදියට නිම වුණේ සුන්දර මතකයන් රැසක් අපේ සිත් තුළ ඉතිරි කරමින්.
අවසන් වශයෙන් මෙවන් ගමනක් යන්නට ඔබත් අදහස් කරනවා නම් සැලකිය යුතු කරුණු කිහිපයක් ලියා තබන්නම්.

1. සුදුසු මාර්ගෝපදේශකයෙක් ලබා ගන්න. මෙය ඉතා වැදගත් කරුණක්. මෙවන් හුදෙකලා ප්‍රදේශයක අතරමං වුණොත් සිදු වෙන දේ අමුතුවෙන් කිව යුතු නෑ. අපේ මාර්ගෝපදේශකය‍ා වුණේ ග්‍රේට් වෙස්ටර්න් වල වෙසෙන අපූරු ගැමියෙක් වුණු මෝගන්... ඔහුගේ සේවය විශිෂ්ටයි... සුහදශීලීයි.. සම්බන්ධ කර ගන්න අවශ්‍ය නම් මෙන්න දුරකථන අංකය  - 0770791002

2. සුදුසුම ප්‍රවාහන මාධ්‍යය දුම්රියයි. අපි යොදා ගත්තේ රාත්‍රී තැපැල් දුම්රිය.

3. නවාතැන් පහසුකම් ලබා ගන්න අවශ්‍ය නම් තලවාකැලේ හෝ නානුඔයට යායුතුයි. නැත්නම් සුලු පිරිසක‍ට සීමිත පහසුකම් යටතේ මෝගන්ගේ නිවසේ නවාතැන් ගන්නටත් පුලුවන්.

4. ගමනේ යෙදෙන විට හොඳින් දෙපා ආවරණය වන දිගු කලිසමක් හා නොලිස්සන සුලු පාවහන් පළඳින්න. 

5. වර්ෂාව නිතර බලාපොරොත්තු විය හැක. සුදුසු වැසි ආවරණ රැගෙන යන්න.

6. වනාන්තරය තුළ ගමන් කරද්දී නිශ්ශබ්ද වීම ඉතා වැදගත්ය. නැත්නම් හොඳ බඹර ප්‍රහාරයක් රසාස්වාදනය කළ හැක. මෙන්න සාක්ෂි..,

මෙවන් පරිසර පද්ධතියක හැසිරිය යුතු ආකාරය ගැන ලියා මගේ බ්ලොග් පාඨකයන්ට අපහාස කිරීමට මා සූදානම් නැත. මන්ද යත් ඔබ සියලු දෙනා පරිසරය කෙරෙහි සබුද්ධික බව මා හොඳාකාරව දන්නා බැවිනි.

තවත් චාරිකාවක් සමග ඉක්මනින්ම හමු වෙමු.....