Tuesday, February 23, 2016

Seven Falls - Uda Maliboda - ඇලි හත සොයා...... - Part II

දෙවන කොටස...
වනය තුළින් ගමන්කිරීම අපූරු අත්දැකීමක්.. මේ සමනලයා නම් ඔබ නිතර දැක ඇති සුපුරුදු එක්කෙනෙක්...

Common Sailor - Neptis hylas

තෙවන ඇල්ලට පිවිසීම අපට දැඩි අභියෝගයක් බවට පත්වුණා. කඹය ආධාර කර ගනිමින් ඉතා දුෂ්කර ගමනක් අවසානයේ අපි ඇලිහත පද්ධතියේ තුන්වන ඇල්ල පාමුලට ළඟා වුණා.


Ceylon Tree Nymph - Idea iasonia

මේ සුන්දර සමනලයා අපට හමුවුණේ තෙවන දියඇල්ල පාමුලදීයි. මේ ලංකාවෙ හමුවන විශාලම සමනලයන්ගෙන් කෙනෙක්වන ‘පාවෙන්නා‘ හෙවත් Ceylon Tree Nymph - මේ සමනලයාගේ සුවිශේෂි සංචරණ ස්වරූපය නිසා මෙයා පාවෙන්නා නමින් හඳුන්වනවා. මෙයා ලංකාවට ආවේණික සමනල විශේෂයක්.
තෙවන ඇල්ල

මේ තියෙන්නේ ඇලිහත පද්ධතියේ තුන්වන දිය ඇල්ල. උසින් අඩි හතළිහකට ආසන්නව ගල්තලාව දිගේ ලාලිත්‍යව ගලාබසින මේ සුන්දර නමක් නැති දියඇල්ල මෙතෙක් එය සොයා එන්නට අප දැරූ අනන්ත වෙහෙස ක්ෂණයෙන් පහකර දැමුවා.
Low shutter click
මේ තුන්වන ඇල්ලේ පහත කොටස සහ මා විසින් ගත් එකම ලෝ ෂටර් ඡායාරූපය. බොහෝ අය දියඇලි ඡායාරූපගත කිරීමේදී අඩු ෂටර් වේගයක් සහිතව ඡායාරූප ගත්තත් මං කැමති දිය ඇල්ලේ ස්වභාවික ස්වරූපය දැක්වෙන අන්දමින් එය ඡායාරූපයට නගන්නටයි. ඒ නිසා මා අතින් ලෝෂටර් ඡායාරූප ගැනෙන්නේම නැති තරම්. මේක මගේ පෞද්ගලික අදහසක් පමණයි. දියඇලි වල ගත්ත ඉතා මනරම් ලෝ ෂටර් ඡායාරූප මම අනන්ත දැක තිබෙනවා.
ඇලි... නිම්නැති ඇලි...
තෙවන ඇල්ලේ සිට හතරවැනි ඇල්ලට යාම එතරම් විශාල අභියෝගයක් වුණේ නෑ. මේ වන විට වටින් ගොඩින් කළුවර වැටීගෙන ආ නිසා නවාතැන් ගත හැකි තැනක් සොයා ගත යුතු බව අපේ අදහස වුණා. කෙසේ නමුත් අවසානයේ අප තීරණය කළේ පස්වැනි ඇල්ල පාමුල ගල්තලාවේ රාත්‍රිය ගත කරන්නටයි.  
කූඩාරම් පොජ්ජ..
දියඇල්ල පාමුල ගල්තලාවේ ගත කළ රාත්‍රිය මගේ ජීවිතයේ අමතක නොවන රැයක්. සෙමෙන් ගන කලුවර වනපෙත වෙලා ගනිද්දී දිය දහරේ සිලිසිලි නාදයෙන් සිත සුවපත් වෙද්දී, සිතල සුළං රැළි හමාගියේ ගතේ හිරිගඩු නංවමින්. මේ සමන් දෙවියන්ගේ අඩවිය වූ බැවින් කිසිවෙක් මත්පැනක් පානය කරන්නට තබා මසක් මාළුවක් අනුභව කරන්නටවත් අදහස් කළේ නෑ. එය අප ගමනේ මුලදීම ඇති කර ගත් එකතාවයක්. අනිත් අතට අපගෙන් වනයේ පාරිශුද්ධභාවයට කිසිදු හානියක් නොවිය යුතු බවත් අප අතර තිබුණු නිහ එකතාවයක්. කිසිදු සත්ත්වයෙකුගේ ඡායාරූපයක් වෙනුවෙන් සැනෙළි (ෆ්ලෑෂ්) භාවිත නොකිරීමටත්, සත්ත්වයන් පසුපස හඹා යමින් ඡායාරූප නොගැනීමටත් අප විශේෂයෙන් පරෙස්සම් වුණා. ගමනේ නඩේගුරා වුණු සුමුදු අයියා එය විශේෂයෙන් අවධාරණය කළ කාරණයක්.. 
රාත්‍රිය ගත කළ තැන ඉහළ...
ඇටමිදුලු පවා ගල් වෙන සීත රාත්‍රියකට පසු උදෑසනම අවදි වූ අපි ගමනේ ඊළඟ අදියරට සූදානම් වුණා. 
මගේ සැහැල්ලුව...
අපගේ ඉතා බරැති 'සැහැල්ලු' උරලා ගත් අපි නැවතත් ගස්, ගල් උඩින් පනිමින් අපේ දුෂ්කර ගමන පටන් ගත්තා. හයවැනි ඇල්ලෙන් පසු නැවතත් අපට වනයට ඇතුළු වන්නට සිදුවුණේ ගල්කුළු මතින් යන ගමන එන්න එන්නම අසීරු වූ නිසායි. 
නම් නැති ඇලි...
වනය තුළින් කළ දුෂ්කර ගමනකින් පසු නැවත දියපහර වෙත පිවිසි අපි මෙතෙක් අප දුටු අයස්කාන්තම දර්ශනයෙන් මන්මත් වූවා. ඇත්තමයි මේ දියඇලි පද්ධතියේ අති අලංකාරම දිය ඇල්ල හත්වැනි ඇල්ල එහෙමත් නැත්නම් හරියටම කිව්වොත් ඇලිහත පද්ධතියේ මුල්ම ඇල්ල යයි කීම අතිශයෝක්තියක් නෙවෙයි. දියඇලි අංක හය හා හත දෙකම එක හා ආසන්නවමයි ඇද හැලෙන්නේ... බොහෝ වේලාවක් මේ සුන්දරත්වය දෑසින් උරා බිව් අපි අවසාන ඇල්ලත් තරණය කරන්නට පටන් ගත්තා...
මේ සුන්දරත්වය වදන්වලට හරවන්න පුළුවන්ද?

තරණය
අවසාන ඇල්ලත් තරණය කර ඉහළට පැමිණි අප දුටුවේ ජීවිතයේ කිසිදිනක අමතක නොවන ආකාරයේ සුන්දර දසුනක්.. සිරිපා රක්ෂිතයේ නීල කඳු පෙළත්, පහතින් දිස්වන නොඉඳුල් වනාන්තරයත් මැවූ සුන්දරත්වය කියන්නට තරම් මගේ වාක්කෝෂය පොහොසත් නැහැ..

මනස්කාන්ත...

ඇලි හතකට මුදුනෙන් නාගන්නට ලැබීමත් අපූරු අත්දැකීමක්. සුමුදු අයියා ඇතුළු පිරිස දිවා ආහාරය සූදානම් කරද්දී මා ඒ අවට වනගහනයේ මදක් ඇවිද ගියා... ‍මේ බලන්න මා නෙළා ගත් අස්වැන්න...

කොක්මොට - Eriocaulon ceylanicum
මේ කොක්මොට - Eriocaulon ceylanicum ශාකය... දියසීරාවට ආසන්නව වර්ධනය වන මෙය කුඩා පඳුරුමය ශාකයක්.. සිංහල වෙදකමේ දද, කුෂ්ට ආදී සමේ රෝග වලට ප්‍රතිකාර කිරීමේදී බහුලව භාවිත කෙරෙන ඖෂධීය ශාකයක්..


බිනර - Exacum trinerveum
මේ තියෙන්නේ බිනර මලක්..Exacum trinerveum ලංකාවට ආවේණික අතිශයින්ම සුන්දර මලක් වන බිනර මල මීට කලින් දෙවතාවක් මට ලංකාගමදීත්, හෝර්ටන් තැන්නේදීත් මුණගැසී තිබෙනවා. ඒ හැම මලකටම වඩා මෙයා සුවිශේෂී කෙනෙක්.. මෙයා ශ්‍රීපාද රක්ෂිතයට ආවේණික උප විශේෂයක් බවයි විශේෂඥයන්ගේ අදහස..

ගල්පර මැඩියා - Nannophrys ceylonensis
මේ ඉන්නේ ගල්පර මැඩියා.. Nannophrys ceylonensis මෙයා ලංකාවට ආවේණික සත්ත්ව විශේෂයක්.. නිතරම දියසීරාව සහිත ගල්පර ආශ්‍රිතව සිටින මොහු අවට පරිසරයෙන් වෙන්කර හඳුනාගැනීම ඉතා අසීරුයි...
මේත් එයාම තමයි...
මේ ඉන්නෙත් එයාම තමයි.. බලන්න ඉන්න පරිසරය අනුරූපව ඔහු හැඩගැසී සිටින ආකාරය..

ලයිකන

මේ වගේ ලයිකන වලින් පිරුණු ශාක මේ අවට සෑම තැනම දක්නට ලැබුණා. ඇලිහත පද්ධතියේ ඉහළම ඇල්ලටත් ඉහළින් සිට දිවා ආහාරය ලබාගත් අපි මේ සුන්දර පරිසරයට සමුදී ආපසු එන්නට පිටත් වුණා.
ඉහළට යද්දී දියපාර ඔස්සේ ඇලි තරණය කළත්, ආපසු එනවිට ඒවා හරහා පහතට බැසීම කළ හැකි කාර්යයක් නො‍වන නිසා මුළු ආපසු ගමනම සිදුවුණේ වනාන්තරය හරහායි.
වන රජදහන
වනය හරහා එද්දී අප දුටු හද කම්පා කරවන දසුන වුණේ මුළු වනාන්තරයම වල්ලපට්ට හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබීමයි. බැලූ බැලූ හැම අතම කපා දැමූ විවිධ ප්‍රමාණයේ වල්ලපට්ට ශාක දක්නට ලැබුණා.
පුවක්මල් ඇල්ල...
ඉතාම දුෂ්කර ගමනක් අවසානයේ හවස් වේගෙන එද්දී අපි මාල‍ිබොඩට පැමිණියා. මේ ඔබ දකින්නේ මාලිබොඩට පෙනෙන තවත් සුන්දර ඇල්ලක් වන පුවක්මල් ඇල්ල.. කුඩා ජලවිදුලි බලාගාරයක ග්‍රහණයට හසුවී ඇයත් දැන් සිඳී ගිහින්...
ඇලිහත දුරින් දුරට...
ගමනේ අවසාන ඡායාරූපය... මේ ඇලිහත පද්ධතිය ඈතට පෙනෙන හැටි. විපරමෙන් බැලුවොත් දියඇලි තුනක් හඳුනාගන්නට පුළුවනි...


මෙවන් ගමනක් යන්නට ඔබට අදහසක් ඇත්නම් මේ කරුණු ගැන දැඩි අවධානය යොමු  කළ යුතුමයි.

අංක 01 - ඔබ මනා ශාරීරික යෝග්‍යතාවයකින් සිටීම අත්‍යවශ්‍ය කරුණක්. මෙය ඉතා දුෂ්කර ගමනක් නිසාම දරාගැනීමේ හැකියාව ඔබට ඉහළින්ම තිබිය යුතුයි.

අංක 02 - ඔබ සමග ඉතා හොඳ සහායශීලී කණ්ඩායමක් හා පළපුරුදු මගපෙන්වන්නෙක් සිටිය යුතුයි. අපට මග පෙන්වූ රොෂාන් පරිසරය ගැන හැබෑ කැක්කුමක් ඇති ඉතා අපූරු, දැරණියගල ගම්වාසී තරුණයෙක්...

අංක 03 - වැසි සමය මගහැර ගමන යොදා ගැනීම වඩාත්ම උචිතයි.

අංක 04 - ඔබ වනයට ආගන්තුක බවත් වනය අයිති වන සතුනට බවත් නිරන්තරයෙන් සිහි තබා ගන්න. ලංකාවෙ හමුවන විශාලතම කොටින් සහ කුරු අලින්ගේ නිජභූමියට ඔබ පිවිසෙන බවත් අමතක කරන්න එපා.

විශේෂ ස්තූතිය - දිය අැලි මිතුරු සංසදයේ සුමුදු මහේ්ෂ් ඇතුළු පිරිස හා ගමනට සහභාගී වුණු ඉතාම සහෘද හිතකාමී මිතුරු පිරිසට....
ඒ වගේම මේ වගේ අවදානම් ගමන් වලදී මට නිරතුරු ආශිර්වාදයක් වන මාගේ දයාබර බිරින්දෑට...

Tuesday, February 2, 2016

Seven Falls - Uda Maliboda - ඇලි හත සොයා......

නම් නොලද ඇල්ලක්...
ජීවිතයේ සහභාගි වන්නට ලැබුණු දුෂ්කරතම සහ සුන්දරතම චාරිකාවකට පසුගිය ජනවාරි මාසයේ එක්වන්නට ලැබුණා. ශ්‍රීලංකා දියඇලි මිතුරු සංසදය මගින් සංවිධානය කල මේ ගමන යෙදී තිබුණේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ඇස නොගැසුණු අතිශය සුන්දර පෙදෙසක් වන සිරිපා රක්ෂිතයේ ඇලි හත සොයා යන්නටයි.
ඇලිහත නමින් නම් කෙරුණත් මේ දියඇලි පද්ධතිය තුළ ඊට වඩා ඇලි සංඛ්‍යාවක් පිහිටන බවයි අපේ අත්දැකීම වුණේ. ඇතැම් දියඇලි මේ වන තෙක් වාර්තා නොවී පැවතීම විශේෂයක්. මේ අපූර්ව දියඇලි පද්ධතියට ජීවය දෙන්නේ සීතාවක ගඟ එසේත් නැතිනම් නයා ගඟ විසින්. මේ ගංගාව කැළණි ගඟ පෝෂණය කරන ප්‍රධානතම ජල පෝෂකයක්.

ඇලිහත පිහිටා තිබෙන්නේ දැරණියගල නගරයේ සිට අතිදුෂ්කර ගමන් මගක කිලෝමීටර 18ක් පමණ ගමන්කළ පසු හමුවන උඩමාලිබොඩ ප්‍රදේශයේයි. 


උඩ මාලිබොඩ....
මේ ගම්වැසියන් මුහුණ පාන ප්‍රවාහන දුෂ්කරතා හා සසඳා  බලද්දී අප කෙතරම් වාසනාවන්තදැයි සිතුණු වාර අනන්තයි.


ගමන දුරයි මග කටුකයි..
මේ ආකරයට වාහනයෙන් බසිමින් එය තල්ලු කරමින් සෑහෙන දුරක් ගිය අපි අවසානයේ සිරිපා රක්ෂිතයේ මායිමට පැමිණියා. ඈතින් යාන්තමින් දිස්වුණු ඇලිහත දියඇලි පද්ධතියේ පළමු ඇල්ල අපේ මහන්සිය සෝදා හැරියේ ක්ෂණයකින්.


ඇලිහත ඉතා අෑතින්..
මේ සුන්දර දියඇලි පද්ධතියේ අනාගතය එතරම් හිතකර නොවන බව අපට මනාව පසක් වුණේ එහි ඉදිකර ඇති කුඩා ජලවිදුලි බලාගාරය දැකීමෙන්. ර‍ටට පිළිලයක් වී ඇති මේ කුඩා ජලවිදුලි බලාගාර නිසා වැනසෙන පාරිසරික වටිනාකම් මෙතකැයි කියන්නට බැහැ.  දෙවන ඇල්ලට ඉහළින් ඉදිකර ඇති බැම්මක් මගින් දියපහර හරස්කර වනය තුළින් එළන ලද විශාල බටයක් ඔස්සේ මේ විදුලි බලාගාරයට ජලය ලබා ගන්නවා. බටය දෙපස අඩි දහයක් පමණ කිලෝමීටර් එකහමාරක් තරම් දුරකට වනය එළිපෙහෙළි කර තිබුණා. දැඩි ස්වභාවික රක්ෂිතයක මේ තරම් දේවල් කරන්නට අවසර දුන්නේ කවුද?
රටට හෙණයක් වූ කුඩා බලාගාර...
මේ ඔබ දකින්නේ ඇලිහත දියඇලි පද්ධතියේ අපට මුලින්ම මුණගැහෙන ඇල්ල. ඇත්තටම කිව්වොත් ඇලිහත පද්ධතියේ අවසාන ඇල්ල. මේ ඇල්ල දෝතළු ඇල්ල වශයෙනුත් හැඳින්වෙනවා. මේ ඇලි පද්ධතියේ නමකින් හඳුන්වන එකම ඇල්ල මේකයි.
දෝතළු ඇල්ල... අකාලයේ මරා දැමූ සුන්දරිය...
සාමාන්‍යයෙන් ඇලි පද්ධතියක පහළම ඇල්ල විශාල ජල ධාරිතාවක් දැරීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ ඇලි පද්ධතියේ අවසාන ඇල්ල දෙස බලන්න. ඉහළින් ජලය සූරා කෑම නිසා දෝතළු ඇල්ල මන්ද පෝෂණයෙන් පෙළෙන රූප සුන්දරියක් වගෙයි.
දිය ඇල්ල ඔස්සේ ඉහළට...
ඇල්ලේ ජලය අඩුවී තිබීම නිසා ඇල්ල ඔස්සේ ඉහළට නගින්නට අප තීරණය කළා. වනය තුළින් ගමන්කරනවාට වඩා අඩු කාලයකින් ඉහළ නගින්නට එමගින් අපට අවස්ථාව සැලසුනා. නමුත් එය ඉතාම කල්පනාවෙන් කළ යුතු කටයුත්තක්. බලන්න මේ පින්තූරයේ ඉදිරියෙන්ම සිටින මමත්, රතු ඊතලයෙන් පෙන්වා ඇති මගේ සගයනුත් සිටින ස්ථාන දෙස. මේ රළු බෑවුමේ කෙතරම් ඉහළින් මා සිටිනවාදැයි ඔබට වටහා ගත හැකියි. අප මේ නගින්නේ දිය ඇල්ලට සමාන්තරවයි. ඉතා ලිස්සන සුළු ගල්පර්වතය ඇතැම් විට අත්පා හතරෙන්ම තරණය කරන්නටත් අපට සිදු වුණා. එහිදී කණ්ඩායම් සගයන් දැක්වූ සහයෝගය වචනයෙන් විස්තර කරන්නට අපහසු තරම් අපූරුයි. මීට පෙර කවදාවත් මුණ ගැසී නැති, මුහුණු පොතෙන් පමණක් යන්තම් හඳුනාගෙන සිටි ඔවුන් ඉතා මිත්‍රශීලී උණුසුම් හදවත් ඇති පරිසර ලෝලීන් බව කිව යුතුමයි. ගමනේ අසීරු අවස්ථාවලදී එකිනෙකාට දැක්වූ සහයෝගය නොවන්නට මේ ගමන යතාර්ථයක් නොවන්නට තිබුණා....
පළමු ඇල්ලේ මුදුන...
මේ දෝතළු ඇල්ලේ ඉහළ කොටස... ඈතින් යාන්තමට පෙනෙන්නේ ජල විදුලි බලාගාරයයි.
දෙවන ඇල්ල...
දෝතළු ඇල්ලේ මුදුනට නැංග විට දෙවන ඇල්ලේ පැහැදිලි දර්ශනයක් දැක ගත හැකියි. පළමු ඇල්ල හා දෙවන ඇල්ල පිහිටා ඇත්තේ එකිනෙකට ඉතා සමීපවයි.
දෙවන ඇල්ලේ මුදුනේ සිට....
මේ තිබෙන්නේ දෙවන ඇල්ලේ මුදුන... බල්ලා මළ ඇල්ල තරණය කළාට පසු දිය අැල්ලක මුදුනට යන්නට ලැබුණු දෙවන අවස්ථාවයි මේ... එකවර දියඇලි හතකම මුදුන් තරණය කරන්නට ලැබීම ජීවිතයේ මා ලද භාග්‍යයක්...
දෙවන ඇල්ලේ සිට තෙවන ඇල්ල වෙත යාම ප්‍රබල අභියෝගයක් වුණා. දියපහර ඔස්සේ ඉතා අසීරුවෙන් ඉහළට ආ අපට කිසිසේත් තරණය කළ නොහැකි විශාල බාධාවක් මුණ ගැසුණා. ඒ සෘජුව ඉහළට නැගුණ ගල් බිත්තියක්. ආරක්ෂක බඳපටි, හිස්වැසුම් ආදිය නැතිව එය තරණය කිරීම කිසිසේත් නොකළ යුත්තක් බව අප සමග සිටි පළපුරුදු කඳු නගින්නන් වන දිලුම් හා තිමිර තරයේ කියා සිටි බැවින් එය මගහැර යාම සඳහා අප වනයට ඇතුළු වුණා.
වනරාජ
මේ අලංකෘත කුඩා ශාකය අපට මුණ ගැහුණේ වනාන්තරයේ දියපහරට ආසන්න සෙවණ ඇති තැනකදී. මේ තමා සුප්‍රකට වනරාජ ශාකය.

Anoectochilus regalis යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙය ලංකාවට ආ‍වේණික දුර්ලභ ඖෂධ පැළෑටියක්. සර්ප විෂට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත වන දිව්‍ය ඖෂධයක් ලෙසයි වනරාජ සැලකෙන්නේ...

ගල්පර්වතය මගහැර යාම සඳහා වනය තුළින් බොහෝ දුරක් ගමන්කළ අපි නැවත දියපහර වෙත පිවිසුණා.

ගමනේ දුෂ්කර අවස්ථාවක්...
ගමනේ අභියෝගාත්මක අවස්ථාවක්.... කණ්ඩායම් හැඟීම උපරිමයෙන්ම දැනුන අවස්ථාවක්...
ඩ්‍රෝනය....
අප සමග පැමිණි දිනුෂ අයියා ඇතුළු කණ්ඩායම රූගත කිරීම සඳහා ඩ්‍රෝන යානයක් ගෙනවිත් තිබුණා. අපට ළඟා විය නොහැකි මානයන්ට ළඟා වෙමින් සුන්දර දර්ශන රූගත කරන්නට එයට හැකි වුණා.
මෙසේ ඉතා අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දෙමින් අපි ඉදිරියටම ගමන් කළා.... 
ගමනේ තවත් සුන්දර අවස්ථා ඉදිරි ලිපි මගින්....