Tuesday, February 23, 2016

Seven Falls - Uda Maliboda - ඇලි හත සොයා...... - Part II

දෙවන කොටස...
වනය තුළින් ගමන්කිරීම අපූරු අත්දැකීමක්.. මේ සමනලයා නම් ඔබ නිතර දැක ඇති සුපුරුදු එක්කෙනෙක්...

Common Sailor - Neptis hylas

තෙවන ඇල්ලට පිවිසීම අපට දැඩි අභියෝගයක් බවට පත්වුණා. කඹය ආධාර කර ගනිමින් ඉතා දුෂ්කර ගමනක් අවසානයේ අපි ඇලිහත පද්ධතියේ තුන්වන ඇල්ල පාමුලට ළඟා වුණා.


Ceylon Tree Nymph - Idea iasonia

මේ සුන්දර සමනලයා අපට හමුවුණේ තෙවන දියඇල්ල පාමුලදීයි. මේ ලංකාවෙ හමුවන විශාලම සමනලයන්ගෙන් කෙනෙක්වන ‘පාවෙන්නා‘ හෙවත් Ceylon Tree Nymph - මේ සමනලයාගේ සුවිශේෂි සංචරණ ස්වරූපය නිසා මෙයා පාවෙන්නා නමින් හඳුන්වනවා. මෙයා ලංකාවට ආවේණික සමනල විශේෂයක්.
තෙවන ඇල්ල

මේ තියෙන්නේ ඇලිහත පද්ධතියේ තුන්වන දිය ඇල්ල. උසින් අඩි හතළිහකට ආසන්නව ගල්තලාව දිගේ ලාලිත්‍යව ගලාබසින මේ සුන්දර නමක් නැති දියඇල්ල මෙතෙක් එය සොයා එන්නට අප දැරූ අනන්ත වෙහෙස ක්ෂණයෙන් පහකර දැමුවා.
Low shutter click
මේ තුන්වන ඇල්ලේ පහත කොටස සහ මා විසින් ගත් එකම ලෝ ෂටර් ඡායාරූපය. බොහෝ අය දියඇලි ඡායාරූපගත කිරීමේදී අඩු ෂටර් වේගයක් සහිතව ඡායාරූප ගත්තත් මං කැමති දිය ඇල්ලේ ස්වභාවික ස්වරූපය දැක්වෙන අන්දමින් එය ඡායාරූපයට නගන්නටයි. ඒ නිසා මා අතින් ලෝෂටර් ඡායාරූප ගැනෙන්නේම නැති තරම්. මේක මගේ පෞද්ගලික අදහසක් පමණයි. දියඇලි වල ගත්ත ඉතා මනරම් ලෝ ෂටර් ඡායාරූප මම අනන්ත දැක තිබෙනවා.
ඇලි... නිම්නැති ඇලි...
තෙවන ඇල්ලේ සිට හතරවැනි ඇල්ලට යාම එතරම් විශාල අභියෝගයක් වුණේ නෑ. මේ වන විට වටින් ගොඩින් කළුවර වැටීගෙන ආ නිසා නවාතැන් ගත හැකි තැනක් සොයා ගත යුතු බව අපේ අදහස වුණා. කෙසේ නමුත් අවසානයේ අප තීරණය කළේ පස්වැනි ඇල්ල පාමුල ගල්තලාවේ රාත්‍රිය ගත කරන්නටයි.  
කූඩාරම් පොජ්ජ..
දියඇල්ල පාමුල ගල්තලාවේ ගත කළ රාත්‍රිය මගේ ජීවිතයේ අමතක නොවන රැයක්. සෙමෙන් ගන කලුවර වනපෙත වෙලා ගනිද්දී දිය දහරේ සිලිසිලි නාදයෙන් සිත සුවපත් වෙද්දී, සිතල සුළං රැළි හමාගියේ ගතේ හිරිගඩු නංවමින්. මේ සමන් දෙවියන්ගේ අඩවිය වූ බැවින් කිසිවෙක් මත්පැනක් පානය කරන්නට තබා මසක් මාළුවක් අනුභව කරන්නටවත් අදහස් කළේ නෑ. එය අප ගමනේ මුලදීම ඇති කර ගත් එකතාවයක්. අනිත් අතට අපගෙන් වනයේ පාරිශුද්ධභාවයට කිසිදු හානියක් නොවිය යුතු බවත් අප අතර තිබුණු නිහ එකතාවයක්. කිසිදු සත්ත්වයෙකුගේ ඡායාරූපයක් වෙනුවෙන් සැනෙළි (ෆ්ලෑෂ්) භාවිත නොකිරීමටත්, සත්ත්වයන් පසුපස හඹා යමින් ඡායාරූප නොගැනීමටත් අප විශේෂයෙන් පරෙස්සම් වුණා. ගමනේ නඩේගුරා වුණු සුමුදු අයියා එය විශේෂයෙන් අවධාරණය කළ කාරණයක්.. 
රාත්‍රිය ගත කළ තැන ඉහළ...
ඇටමිදුලු පවා ගල් වෙන සීත රාත්‍රියකට පසු උදෑසනම අවදි වූ අපි ගමනේ ඊළඟ අදියරට සූදානම් වුණා. 
මගේ සැහැල්ලුව...
අපගේ ඉතා බරැති 'සැහැල්ලු' උරලා ගත් අපි නැවතත් ගස්, ගල් උඩින් පනිමින් අපේ දුෂ්කර ගමන පටන් ගත්තා. හයවැනි ඇල්ලෙන් පසු නැවතත් අපට වනයට ඇතුළු වන්නට සිදුවුණේ ගල්කුළු මතින් යන ගමන එන්න එන්නම අසීරු වූ නිසායි. 
නම් නැති ඇලි...
වනය තුළින් කළ දුෂ්කර ගමනකින් පසු නැවත දියපහර වෙත පිවිසි අපි මෙතෙක් අප දුටු අයස්කාන්තම දර්ශනයෙන් මන්මත් වූවා. ඇත්තමයි මේ දියඇලි පද්ධතියේ අති අලංකාරම දිය ඇල්ල හත්වැනි ඇල්ල එහෙමත් නැත්නම් හරියටම කිව්වොත් ඇලිහත පද්ධතියේ මුල්ම ඇල්ල යයි කීම අතිශයෝක්තියක් නෙවෙයි. දියඇලි අංක හය හා හත දෙකම එක හා ආසන්නවමයි ඇද හැලෙන්නේ... බොහෝ වේලාවක් මේ සුන්දරත්වය දෑසින් උරා බිව් අපි අවසාන ඇල්ලත් තරණය කරන්නට පටන් ගත්තා...
මේ සුන්දරත්වය වදන්වලට හරවන්න පුළුවන්ද?

තරණය
අවසාන ඇල්ලත් තරණය කර ඉහළට පැමිණි අප දුටුවේ ජීවිතයේ කිසිදිනක අමතක නොවන ආකාරයේ සුන්දර දසුනක්.. සිරිපා රක්ෂිතයේ නීල කඳු පෙළත්, පහතින් දිස්වන නොඉඳුල් වනාන්තරයත් මැවූ සුන්දරත්වය කියන්නට තරම් මගේ වාක්කෝෂය පොහොසත් නැහැ..

මනස්කාන්ත...

ඇලි හතකට මුදුනෙන් නාගන්නට ලැබීමත් අපූරු අත්දැකීමක්. සුමුදු අයියා ඇතුළු පිරිස දිවා ආහාරය සූදානම් කරද්දී මා ඒ අවට වනගහනයේ මදක් ඇවිද ගියා... ‍මේ බලන්න මා නෙළා ගත් අස්වැන්න...

කොක්මොට - Eriocaulon ceylanicum
මේ කොක්මොට - Eriocaulon ceylanicum ශාකය... දියසීරාවට ආසන්නව වර්ධනය වන මෙය කුඩා පඳුරුමය ශාකයක්.. සිංහල වෙදකමේ දද, කුෂ්ට ආදී සමේ රෝග වලට ප්‍රතිකාර කිරීමේදී බහුලව භාවිත කෙරෙන ඖෂධීය ශාකයක්..


බිනර - Exacum trinerveum
මේ තියෙන්නේ බිනර මලක්..Exacum trinerveum ලංකාවට ආවේණික අතිශයින්ම සුන්දර මලක් වන බිනර මල මීට කලින් දෙවතාවක් මට ලංකාගමදීත්, හෝර්ටන් තැන්නේදීත් මුණගැසී තිබෙනවා. ඒ හැම මලකටම වඩා මෙයා සුවිශේෂී කෙනෙක්.. මෙයා ශ්‍රීපාද රක්ෂිතයට ආවේණික උප විශේෂයක් බවයි විශේෂඥයන්ගේ අදහස..

ගල්පර මැඩියා - Nannophrys ceylonensis
මේ ඉන්නේ ගල්පර මැඩියා.. Nannophrys ceylonensis මෙයා ලංකාවට ආවේණික සත්ත්ව විශේෂයක්.. නිතරම දියසීරාව සහිත ගල්පර ආශ්‍රිතව සිටින මොහු අවට පරිසරයෙන් වෙන්කර හඳුනාගැනීම ඉතා අසීරුයි...
මේත් එයාම තමයි...
මේ ඉන්නෙත් එයාම තමයි.. බලන්න ඉන්න පරිසරය අනුරූපව ඔහු හැඩගැසී සිටින ආකාරය..

ලයිකන

මේ වගේ ලයිකන වලින් පිරුණු ශාක මේ අවට සෑම තැනම දක්නට ලැබුණා. ඇලිහත පද්ධතියේ ඉහළම ඇල්ලටත් ඉහළින් සිට දිවා ආහාරය ලබාගත් අපි මේ සුන්දර පරිසරයට සමුදී ආපසු එන්නට පිටත් වුණා.
ඉහළට යද්දී දියපාර ඔස්සේ ඇලි තරණය කළත්, ආපසු එනවිට ඒවා හරහා පහතට බැසීම කළ හැකි කාර්යයක් නො‍වන නිසා මුළු ආපසු ගමනම සිදුවුණේ වනාන්තරය හරහායි.
වන රජදහන
වනය හරහා එද්දී අප දුටු හද කම්පා කරවන දසුන වුණේ මුළු වනාන්තරයම වල්ලපට්ට හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබීමයි. බැලූ බැලූ හැම අතම කපා දැමූ විවිධ ප්‍රමාණයේ වල්ලපට්ට ශාක දක්නට ලැබුණා.
පුවක්මල් ඇල්ල...
ඉතාම දුෂ්කර ගමනක් අවසානයේ හවස් වේගෙන එද්දී අපි මාල‍ිබොඩට පැමිණියා. මේ ඔබ දකින්නේ මාලිබොඩට පෙනෙන තවත් සුන්දර ඇල්ලක් වන පුවක්මල් ඇල්ල.. කුඩා ජලවිදුලි බලාගාරයක ග්‍රහණයට හසුවී ඇයත් දැන් සිඳී ගිහින්...
ඇලිහත දුරින් දුරට...
ගමනේ අවසාන ඡායාරූපය... මේ ඇලිහත පද්ධතිය ඈතට පෙනෙන හැටි. විපරමෙන් බැලුවොත් දියඇලි තුනක් හඳුනාගන්නට පුළුවනි...


මෙවන් ගමනක් යන්නට ඔබට අදහසක් ඇත්නම් මේ කරුණු ගැන දැඩි අවධානය යොමු  කළ යුතුමයි.

අංක 01 - ඔබ මනා ශාරීරික යෝග්‍යතාවයකින් සිටීම අත්‍යවශ්‍ය කරුණක්. මෙය ඉතා දුෂ්කර ගමනක් නිසාම දරාගැනීමේ හැකියාව ඔබට ඉහළින්ම තිබිය යුතුයි.

අංක 02 - ඔබ සමග ඉතා හොඳ සහායශීලී කණ්ඩායමක් හා පළපුරුදු මගපෙන්වන්නෙක් සිටිය යුතුයි. අපට මග පෙන්වූ රොෂාන් පරිසරය ගැන හැබෑ කැක්කුමක් ඇති ඉතා අපූරු, දැරණියගල ගම්වාසී තරුණයෙක්...

අංක 03 - වැසි සමය මගහැර ගමන යොදා ගැනීම වඩාත්ම උචිතයි.

අංක 04 - ඔබ වනයට ආගන්තුක බවත් වනය අයිති වන සතුනට බවත් නිරන්තරයෙන් සිහි තබා ගන්න. ලංකාවෙ හමුවන විශාලතම කොටින් සහ කුරු අලින්ගේ නිජභූමියට ඔබ පිවිසෙන බවත් අමතක කරන්න එපා.

විශේෂ ස්තූතිය - දිය අැලි මිතුරු සංසදයේ සුමුදු මහේ්ෂ් ඇතුළු පිරිස හා ගමනට සහභාගී වුණු ඉතාම සහෘද හිතකාමී මිතුරු පිරිසට....
ඒ වගේම මේ වගේ අවදානම් ගමන් වලදී මට නිරතුරු ආශිර්වාදයක් වන මාගේ දයාබර බිරින්දෑට...

21 comments:

  1. ලස්සන ෆොටෝ සහ අගනා විස්තරය. ඒත් එක්කම හිතට දැනෙන දුක තමයි මේවා අපේ අය විසින්ම විනාශ කරන එක සහ ඒවා දැක දැකත් පුටු රත් කරමින් පඩි ගන්න බළධාරීන් පිරිසක් සිටීම.

    කුරු අලි තවම ඉන්නව ද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා දිරිගැන්වීමට. කැලේ පුරාම කපලා දාල තිබ්බ වල්ලපට්ට ගස් දැක්කම හරිම දුකක් ඇති වුණා.
      බොහොම කාලෙකට ඉහත මරාදාපු කුරු ඇතෙකුගෙ සිරුරක් සමනල අඩවියෙන් හමුවුණා. දැනටත් අලි ඉන්න බවට සාධක තියෙනවා. නමුත් සිරිපා අඩවියේ අලියෙක් ඡායාරූපගත කල බවක් නම් වාර්තා වෙලා නෑ. වරක් මා අවාරයේ සිරිපා ගිය වෙලාවේ අලුත් අලි වසුරු දුටුවා. මේ ඒ ගැන විස්තරයක් http://sobaroo.blogspot.com/2015/05/blog-post.html

      Delete
  2. අගනා විස්තරයක් වගෙම හොඳ පින්තූර ටිකක්.
    අර කියල තියෙනව වගේ මේවන් ගමනකදි අපි යන්නෙ අපිට අයිති නැති පරිසරයකටය, එහි හැසිරෙන්න ඕන ඒ පරිසරය අයිතිකාරයන්ට කරදරයක් නොවෙන්නටය කියල හිතන එක ලොකු දෙයක්.
    නමුත් අපේ ගොඩක් මිනිස්සු සල්ලි වෙනුවෙන් තමංගෙ අනාගත පරම්පරාවට තියෙන දායාද විනාශ කරන එකනං කවදාවත් සමාවක් නොලැබෙන වරදක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසා... //මේවන් ගමනකදි අපි යන්නෙ අපිට අයිති නැති පරිසරයකටය, එහි හැසිරෙන්න ඕන ඒ පරිසරය අයිතිකාරයන්ට කරදරයක් නොවෙන්නටය කියල හිතන එක ලොකු දෙයක්// උඹේ කමෙන්ට් එකේ මේ ටිකට තමයි මම කැමතිම

      Delete
  3. අදද කොහෙද මේ පැත්තට ආවේ..
    ගොඩක් ලස්සන ෆොටෝ ටිකක් මචන්.
    විස්තරයත් නියාමයි.

    ReplyDelete
    Replies
    1. අම්මෙහ්...මෙන්න යකෝ සිංහයෙක්...
      උඹව ආදරෙන් පිළිගන්නවා මිත්‍රයා.. කාලයක් ලිවිල්ල නැවතිලා තිබිලා දැනුයි ආයෙ ලියන්නේ... පරණ ඒවත් බලන්නකො

      Delete
    2. ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට අනිත් එව්වත් බලන්න නම් කෝ........

      Delete
  4. දිග කොම්මේන්ටුවක් දන්නා ආයමත් එන්නම් උබ ආයමත් ලියන ඒක වටිනවා

    ReplyDelete
    Replies
    1. මගේ දයාබර මිත්‍රයා කමෙන්ටුවක් නොදැම්මත් උඹේ උණුසුම් මිත්‍රත්වය මට අමතක නෑ. ලිවිල්ල අතඇරලම උන්නු කාලෙ ලියන්න... ලියපං.. ලියපං යකෝ... කියමින් මට ධෛර්යය දුන්නෙ උඹ... උඹේ ඔය කැහැටු සරීර කූඩුව ඇතුළෙ ඉන්න දයාබර මිත්‍රයාට මං හැමදාම ආදරෙයි.. උඹට ජයවේවා මචං

      Delete
  5. සුපිරියි. ඉහලින්ම සැලකියහැකි පරිසර චාරිකාවක්. පින්තූර ටිකත් වටිනවා. මේ ප්‍රදේශයට ආසන්නව අවුරුදු 10 ක් පමණ පදිංචිව හිටියත් යන්නට නොහැකිවීම ගැන දුකයි.

    ආමි කාරයෙකුත් ගිහින් වගේ. බූට්ස් ජෝඩුවක් පෙනෙන්න තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරකතුමා... අපරාදෙ ආසන්නවම හිටියත් යන්න බැරිවීම අවාසනාවක්
      බූට්ස් ජෝඩුව මගේ... හමුදාවෙ මිත්‍රයෙක්ගෙන් තමයි ඉල්ල ගත්තෙ.. කැලේ ඇවිදින්න නම් කියාපු භාණ්ඩෙ.. හැබැයි තෙමිච්ච ගල් උඩ යන්න නං බෑ. ලිස්සනවා හොදටම

      Delete
    2. ඇත්තටම ගැලපෙන්නේ ඔය බූට්ස් නෙවෙයි. රළු මතුපිට සංධා ඔරොත්තුදෙන ඈන්කල් බූට්ස්.

      https://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&ved=0ahUKEwiWi8Op9pDLAhUEGI4KHYs0CEsQjBwIBA&url=http%3A%2F%2Fg02.a.alicdn.com%2Fkf%2FHTB19r.pIVXXXXcDXXXXq6xXFXXXp%2FMERRTO-2015-Women-s-Genuine-Cow-Leather-Outdoor-Hiking-Shoes-Waterproof-Ankle-Boots-Mountain-Climbing-Leisure.jpg&psig=AFQjCNGiA9ZUA50ki5E7p68GMrcoTWOnXw&ust=1456421301433845

      Delete
    3. ස්තූතියි විචාරකතුමා... මේ ජාතියේ බූට්ස් ජෝඩුවක් මට හීනයක්... මිල සෑහෙන්න වැඩියි. මුදලක් ලැබුණොත් වඩා හොද මට්ටමේ කැමරාවකට මිසක් මේවගෙ දේකට වියදම් කරන්න බැරිවෙයි.

      Delete
  6. උබනම් මාර වසනාවන්තයෙක් මචෝ මේ වගේ තැනක රැයක් ගතකරන්න ලැබෙනවා කියන්නේ කියන්න වදන් නැහැ..
    අපිට නොලේබෙන දෙයක් උබට ආදේශ වෙලා අපි විදිනවා

    ReplyDelete
    Replies
    1. මාත් මේ වගේ තැනක රැයක් ගත කරපු පළවෙනි පාර මචං. ඒක නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ.

      Delete
  7. පොඩි මෙන්ඩ පොටෝ ටික බැලුවා..උට විස්තරය දැන ගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩට කියල දියං මචං පරිසරයේ වටිනාකම.. පුංචි කාලෙ ඉදලම ගහට ‍‍කොළට සතා සීපාවට ආදරේ කරන, වේලිච්ච නැති ආදරෙන් තෙමිච්ච කොල්ලෙක් හදපං...
      (‍බොට ෆේස්බුක් රික්වෙස්ට් එකක් දැම්මා ගනිං මාව)

      Delete
  8. එළ අත්දැකීමක් මචං...
    ලස්සන ෆොටෝ ටිකක්...
    කාලෙකින් ඔය වගේ ගමනක් යන්න බැරි උනා, දැන් නම් මම ඉන්න ශරීර යෝග්‍යතා මට්ටම අනුව මේ වගේ ගමන් යන්න ටිකක් අමාරු වෙයි...
    හැබැයි ඉතින් දරා ගැනීම ඉස්සර උපරිම ප්‍රගුණ කරලා තියෙන නිසා බැරි වෙන එකකුත් නැහැ කියල හිතෙනවා...
    කොහොමත් ඇඟ අඩු කරගෙන ආපහු මේ වගේ ගමනක් දෙකක් යන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ, අඩු ගානේ පොඩි එකාව අරගෙන සිරීපාදේ වත් යන්න බැරි නම් වැඩක් නැහැ කියල හිතිලා තියෙන්නේ...

    පරිසර පද්ධතියකට අපි ඇතුළු වෙනවා කියන්නෙම එතන ආගන්තුක දෑ පරිසරයට මුසු වෙනවා, මිනිසා කියන්නේ පරිසරයේ කොටසක්...
    එතැනදී සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකම් හරහා සිදුවෙන දේ මමනම් ඒ තරම් තකන්නේ නැහැ...
    අපි දවසක් දෙකක් කැලේ ඉන්නකොට අපිට බොග දාන්න වෙන්නේ කැලේ. කලින් අපි කාපු මොනවා හරි වර්ගයක ජීර්ණය නොවූ ඇට ඒ එක්ක ගිහින් පැළවෙන්න පුළුවන්...
    අපි කන්න ගෙනියන කෑම වල තියෙන්න ඉඩ තියෙන තෙල් වර්ග සහිත භාජන සේදීමක් හරහා තෙල් පසට හෝ ජලයට වක්‍රාකාරව හෝ මුසු වෙන්න පුළුවන්...

    අකුණු ආලෝකය එළිමහනේ ඉඳගෙනම දකින වන සතුන් ෆ්ලෑෂ් එළියට බය වීමක් මම අත්දැකලා නැහැ...

    නමුත් කිසිම හානියක් නොකරමි යන ස්වයං වාරණයක් තබා ගැනීමේ වරදක් තියෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ කුඩා මට්ටම ස්වභාවධර්මයට ඔරොත්තු දෙනවා මිනිසා කියන්නෙත් පරිසරයේ කොටසක්ම නිසා...
    මේ වගේ මයික්‍රෝ මට්ටමේ දේවල් නෙමෙයි මචං අපි වලක්වගන්න ඕනේ, ඊට වඩා වැඩි වශයෙන් හිතා මතා කරන හානි...
    ඒ මට හිතෙන හැටි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකුපුතා දීර්ඝ විස්තරාත්මක කමෙන්ටුවට.
      //අකුණු ආලෝකය එළිමහනේ ඉඳගෙනම දකින වන සතුන් ෆ්ලෑෂ් එළියට බය වීමක් මම අත්දැකලා නැහැ...// මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ගෙම්බන් වගේ සතුන් ආසන්න ෆ්ලෑෂ් දැල්වීමක් සහිතව ෆොටෝ ගත්තම උන්ම හමේ තෙතමනය ක්ෂණිකව වියළෙනවා. ළග ෆ්ලෑෂ් කරලා හතරවතාවක් ෆොටෝ ගත්තොත් පුංචි ගෙම්බන් මැරෙනවා කියලයි අපි එක්ක හිටපු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන සුමුදු මහේෂ් කිව්වේ. අකුණු ආලෝකයෙන් එහෙම දෙයක් වෙන්නෙ නෑ..
      අපි මයික්‍රො දේවල් වලින් පටන් ගමු. එතකොට මෙගා දේවල් ඉබේම පාලනය වෙයි

      Delete
  9. Machan umba koheda? hiking yadi apiwath danuwath krfanko.pageek patang gannko...apith asi set wnnna the thing is e pilibada set ek ne danna .umbalge group ek set krngna puluwan podk repond krfan
    #Facebook-Roshen costa
    #Costa.roshen@gmail.com

    ReplyDelete