Monday, June 4, 2018

Ohiya to Kalupahana via Devil's Staircase - ඔහිය සිට කළුපහනට යක්ෂයාගේ පඩිපෙළ ඔස්සේ...


මධ්‍යම පළාතේ ඔහිය සිට සබරගමුව පළාතේ කළුපහන දක්වා වැටී ඇති දුෂ්කර මාර්ගය ලංකාවේ සුන්දරතම මාර්ගයන් අතරින් එකක්. එහි මුළු දුර ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝමීටර විසිහතක්. මෙහි ඇති දුෂ්කරතාව නිසාම එය යක්ෂයාගේ පඩිපෙළ නමින්ද හැඳින්වෙනවා. මගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තිබුණු ගමනක් වූ මෙය පසුගිය අප්‍රේල් විසිවැනිදා සපුරා ගන්නට මට හැකි වුණා.
සුපුරුදු ලෙස මෙදා ගමනටත් අපට පිහිටට ආවේ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියම තමයි. සීතල පාන්දර ඔහිය දුම්රිය ස්ථානයෙන් බැසගත් අපි ලංකාවේ සුන්දරතම හා පිරිසිදුම දුම්රිය පොළක අසිරිය වින්දා...
මේ මොන මල්වත්තද? අහා ඔහිය දුම්රිය පොළ...
යාන්තම් එළිය වැටී ගෙන එද්දී විවෘත වුණ පළමුවැනි කඩයෙන්ම පාතරාසය ගත් අපි අපේ දීර්ඝ පා ගමන ආරම්භ කළා... කිලෝමීටර කීපයක් හෝටන් තැන්න දෙසට ඇති මාර්ගයේ ගමන් කළ විට මාර්ගය දෙකට බෙදෙන ස්ථානයක් මුණ ගැහෙනවා. එතැනින් දකුණු පස මාර්ගය හෝටන් තැන්නටත් වම් පස මාර්ගය උඩවේරිය වත්ත හරහා කළුපහනටත් දිව යනවා. එයින් වම්පසට හැරුණු අපි අතිශය සුන්දර වටාපිටාවක මිහිර විඳිමින් ඉදිරියට ගියා.
මීදුමින් වැසී කඳුයාය සලිත වී...
මඳ දුරක් ඉදිරියට යත්ම පහළ ඌව නිම්නයේ උඩවලව, සමනල ආදී ජලාශ සහිත සිහින නිම්නයක මිහිර විඳින්නට අපට හැකි වුණා.

පහළ ඌව නිම්නයේ මිහිර...
පහත ඡායාරූපයේ දැක්වෙන්නේ මම අකමැතිම මල... හෝටන් තැන්න ආශ්‍රිත ගමන් සියල්ලකම වාගේ මා විසින් මේ විනාශකාරී ශාකය නිරීක්ෂණය කළා. ඉතා ඉක්මන් පැතිරීමක් පෙන්වන ආක්‍රමණශීලී ශාකයක් වන මෙය බ්ලූ ස්ටාර් (Aristea acklonii) නමින් හැඳින්වෙනවා. විසිතුරු ශාකයක් ලෙස මෙරටට ගෙන්වූ මෙය මේ වන විට සීමා මායිම් නොතකා සංවේදී පරිසර පද්ධති ආක්‍රමණය කරන බවක් පේනවා.
බ්ලූ ස්ටාර්... ලස්සනයි නමුත් විනාශකාරීයි
මද දුරක් යනවිට මෙතෙක් තිබුණු තාරපාර කටුක රළු මාර්ගයක් බවට පත් වෙනවා. පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයේ බොහෝ තැන් නාය ගොස් තිබුණේ ගමනාගමනය මුළුමනින්ම අඩාල කරමිනුයි.
නාය
ක්‍රමයෙන් අපි උඩවේරිය වතුයාය වෙත ළඟා වුණා... 
හෙල්මළු
මෙවන් චාරිකාවකදී සුන්දර ස්ථානයක් දුටුවිට එතැනට ළඟා වී පින්තූරයක් ගන්නට සිතීම ස්වභාවිකයි. මේ එසේ ගත් පින්තූරයක්
ස්වර්ගයට මදක් ඉහළින්....
නමුත් ඔබ නොදන්නා මෙවන් ස්ථානවලට ළඟා වීමේදී ඔබගේ සුරක්ෂිතතාව ගැන සැලකිලිමත් වීම අතිශයින් වැදගත්. මන්ද යත් මිනිස් වාසයකින් බොහෝ දුරබැහැර හුදකලා ස්ථානයකදී සිදුවන සුළු අනතුරක් පවා මාරාන්තික විය හැකියි. ඔබ ප්‍රතිකාරයක් ලබා ගත හැකි ස්ථානයකට පැමිණෙන්නට බොහෝ දුරක් හා කාලයක් ගතවන නිසා යම් සුළු හෝ අනතුරක් ඇතැම් විට මරණයෙන් කෙළවර වන්නට බැරි නැහැ. එම නිසා අවදානම් ස්ථානවලට ළං වීම, ඒ තැන්වල සිට ඡායාරූප ගැනීම නොකළ යුතු කටයුත්තක්. අප විසින් ගත් මේ ඡායාරූපයත් බොහෝ සිතාමතා හා අපගේ ආරක්ෂාව පිළිබඳ ඉතා සැලකිල්ලෙන් ගන්නා ලද එකක්.
මේ වර්ෂා සමය වීම නිසා මග දෙපස බොහෝ දිය ඇලි සක්‍රීය වී තිබෙනු දක්නට ලැබීම අපේ වාසනාවක්...
සීසනල් ෆෝල්ස්...
වරින් වර මීදුමින් වැහෙමිනුත්, නැවත නිරාවරණය වෙමිනුත් සොබාදහම අපට ඇගේ සැබෑ සුන්දරත්වය නිර්ලෝභීව පෙන්වා සිටියා.
ඇතැම් ස්ථානවල නාය යාම කොයිතරම් දරුණුද කිවහොත් පයින් යාමත් දුෂ්කර කටයුත්තක් වුණා.

දුෂ්කරය කියා හැර යායුතු ද ජීවිතය...
ක්‍රමයෙන් අපි බටහිර හපුතලේ ලයිබන් වතුයාය වෙත පිවිසියා. මේ වතු ආශ්‍රිත වැසියන්ගේ ජීවිත ගැන පුදුමාකාර කණගාටුවක් ඇති කළ මොහොතක්... ඔවුන්ට මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීම අභියෝගයක්ව තිබුණු බවයි පෙනෙන්නේ...
දරු පැටවු....
මේ දරුපැටවුන් ගේ අනාගතය කොයි වගේ වේවිද? ඔවුනුත් තමන්ගේ දෙමව්පියන් වගේම වතුයායක කම්කරුවන් වීමේ ඉරණමටම මුහුණ දේවිද? ඔවුන්ට ඉගෙනීමට තිබුණු එකම ඉස්කෝලෙත් දැන් හැටි බලන්න...
ගරා වැටුණු අනාගතය...
ඔවුන්ට අකුරක් ඉගෙන ගන්නට ළඟපාත පාසලක් නෑ. බේතක් හේතක් ගන්නට වෛද්‍යවරයෙක් නෑ. ජීවිතය විඳින්නට කිසිම ආකාරයක වින්දනීය මාර්ගයක් නෑ... ඔවුන් දන්නා එකම වින්දනීය මග හවසට කටේ හලා ගන්නා අනවසර මත්වතුර පමණයි. එකට ඇහිරුණු ලයින් කාමර වල කිසිම පෞද්ගලිකත්වයක් නැති ඔවුන්ට ලිංගිකත්වය කියන්නෙත් ජීවිතයේ වින්දනීය අංශයක් නොවෙයි. අඩු අධ්‍යාපනය නිසාම එයින් සිද්ද වෙන්නෙත් ඔවුන්ටම බරක් වුණු පඩිපෙළක් බඳු දරු පරපුරක් බිහි වීම පමණයි... 
මේ ජීවිතවල ඛේදනීයත්වය ගැන සිතමින් ගමන් කළ අපට දරුවන්ට දෙන්නටවත් කිසිදෙයක් අතේ නොතිබීම ගැන ඉතා කණගාටුවක් ඇති වුණා. අපි ළඟ තිබුණු බිස්කට්, චොකලට් සහ රටඉඳි ස්වල්පය ඔවුන්ට දී අපි බරවුණු හදවත් වලින් ගමන් ඇරඹුවා.
දිවා කිස
අතරමගක නැවතී සරල දිවා ආහාරයක් පිළියෙළ කර ගත් අපි නැවත හෙමින් ගමන් ආරම්භ කළා. මේ වන විට අපි මධ්‍යම පළාත් මායිම පසුකර සබරගමුව වෙත පිවිසී තිබුණා.
වර්ණ...
අපේ අරමුණ වුණේ ලංකා ඇල්ල නැරඹීමයි... බේස් පූල් එකේ හැඩය ලංකා සිතියමට සමාන නිසා එම ඇල්ල ලංකා ඇල්ල නමින් හැඳින්වෙනවා. අතරමගින් පාරෙන් වෙන් වුණු අපි මානා ගාලක් ඔස්සේ දියඇල්ල සොයා ගමන් ඇරඹුවා.
ඒදණ්ඩක් සකස් කරන ගැමියන්...
බොහෝ කලකින් දියඇල්ලට කිසිවෙක් නොපැමිණි බවක් තමයි පෙනෙන්නට තිබුණේ... යාන්තම් මතුවුණු අඩිපාර මානා වලින් වැසී ගොස් තිබුණා...
ලංකා ඇල්ල ඈතින්...
දිය ඇල්ල ඈතින් දකින විටම එහි සුන්දරත්වයෙන් වශීවුණු අපි එහි පාමුලට යන්නට කඩිනම් වුණා... මේ යන අතරමග ලංකා ඇල්ලට පහළින් දුටු නමක් නැති සුන්දර ඇලි පැංචියෙක්...
ඇලි පැංචී...
ලංකා ඇල්ල පාමුලට පැමිණි අපි එයින් විහිදුණු පිණි වාෂ්පයෙන් නැහැවී ගියා. එය පාමුල සිට මුළු ඇල්ලම එක් රූප රාමුවකට ගොනු කර ගැනීම කළ නොහැකි වැඩක්. වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක් තිබුණා නම් කෙතරම් අගේදැයි හූල්ලමින් යාන්තම් පින්තූරයක් ගන්නට මට හැකි වුණා.
ලංකා ඇල්ල
ජීවිතේට ආදරයක් ඇත්නම් මෙහි දිය නෑමට නොසිතිය යුතුයි. මෙහි පාමුල තටාකය ඉතා ගැඹුරු බව එහි කළු පැහැයෙන්ම සිතා ගත හැකියි. මද වෙලාවකින් ඇද හැළුණු වර්ෂාව නිසා අපට ඉක්මණින් ලංකා ඇල්ලෙන් සමු ගන්නට සිදුවුණා. මම ඔබට ඉහතින් මා අකමැතිම මලේ පින්තූරයක් පෙන්වූවා මතක ඇති. මෙන්න මං කැමතිම මලේ පින්තූරයක් දැන්. මේ අපට ආවේණික අතිශය සුන්දර වනමලක් වන බිනර...
බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද...
ඉන්පසු අපි ෆයිනස් කැලෑව හරහා බඹරකන්ද ඇල්ල වෙත යන්නට පිටත් වුණා.
පයිනස් කැලෑව මැදින්...
පයිනස් කැලෑවක් හරහා වැසි සමයක යද්දී පරිස්සම් විය යුතුයි. මොකද මේ නොදිරන පයිනස් කොළ අතිශයින් ලිස්සන සුළුයි. මෙතැනින් බඹරකන්ද ඇල්ල මුදුනට යන්නට පුළුවන් වුණත් පසුගිය දිනක එහි ගිය සංචාරකයෙක් ඇල්ල මුදුනින් ඇදවැටී මරණයට පත්ව තිබුණු නිසා එහි නොයන ලෙස පුවරු සවි කර තිබුණා. (අපි ගිහින් ආවාට පසුවත් මේ අවවාද නොතකා ගිය අයෙක් ඉහළින් ඇදවැටී මියගොස් තිබුණා)
තහනම්...
අප කණ්ඩායමේ වනජීවී නිලධාරියෙක් සිටියත් මේ තහනම ඉක්මවා ඇල්ල මුදුනට යාමට අප උත්සාහ කළේ නෑ... මෙවන් තහනම් නියෝග පනවන්නේ එක්කෝ ඔබේ එසේත් නැත්නම් පරිසරයේ සුරක්ෂිතතාව උදෙසාමයි. එබැවින් ඔබ සතු යම් සිවිල් හෝ වෙනත් අධිකාරී බලයක් යොදවා ඒවා ඉක්මවා යාම අනුවණ කමක්.
අතිශය වෙහෙසට පත්ව දහදිය පෙරාගෙන සිටි අප බලාපොරොත්තු වුණේ බඹරකන්ද ඇල්ලෙන් නාගෙන ගමන අවසන් කරන්නටයි. නමුත් අධික වර්ෂාව හේතුවෙන් බඹරකන්ද ඇල්ල ප්‍රචණ්ඩ වී තිබුණේ ඒ අදහස ලත් තැනම ලොප් කරමින්.
බඹරකන්ද දිය ඇල්ල
කෙසේ නමුත් නාන ඇඳුමින් සැරසී දිය ඇල්ල ආසන්නයට වී සිටීමෙන් අපට හොඳට නාගන්නට පුළුවන් වුණා. දිය ඇල්ලෙන් විසිරෙන පින්න ඒ තරම් ප්‍රබලයි. ඉතා සුන්දර මතක ගොන්නක් සමග කළුපහන හන්දියෙන් පාගමන නිමා කළ අපි බස් රථයේ නැගී නිවෙස් බලා පැමිණියා.

40 comments:

  1. මගෙත් බාල්දි ලිස්ට් එකේ ඔය පාරෙ කවදාහරි යන්න ඕන කියන බලා‍පොරොත්තුව තියෙනව. :D

    නොදන්නා ස්ථානවල ෆොටෝ අල්ලන්න යන අයට දීල තියෙන උපදෙස හරි වැදගත්. පහුගිය දිනවල දියඇලි අස්සෙ ෆොටෝ ගහන්න ලිහිල්ල කෙලෝගන්න වීඩියෝ කීපයක්ම බුකියෙ ශෙයා වෙලා තිබුණ දැක්ක. අපේ මිනිස්සු අනතුරු ඇඟවීම් කියන ඒව සත පහකට ගණන් නොගන්න අමුතුම ජාතියක්නෙ.

    ReplyDelete
    Replies
    1. //මගෙත් බාල්දි ලිස්ට් එකේ// මොකක්ද බන් ඔය ....

      Delete
    2. ඇයි මූ උඩින් කියල තියෙන්නෙ මුගේ බකට් ලිස්ට් එකේ මේක තිබ්බයි කියල. ඉතිං බකට් කියන්නෙ බාල්දි නෙමෙයිද හිටං.

      Delete
    3. ඔයාගේ බාල්දි ලිස්ට් එක ගැන දන්නවනං මං පහුගිය දොහේ ගියපු වෙලාවේ ඇන්න යනවා නේ මයේ මැණික. හැක්.

      Delete
    4. //බාල්දි ලිස්ට් එක// හුකෑස්... මං පනිනව ළිඳේ...
      දේශෝ උඹ කවද්ද ගියේ?

      Delete
    5. අනෙහ්.. උඹත් එක්ක ගියොත් ජොකත් නැතුව තමයි එන්න වෙන්නෙ.හැක්..

      Delete
    6. னයි කවද්ද බං ජොක්කු ඇන්දෙ?

      Delete
    7. //னයි කවද්ද බං ජොක්කු ඇන්දෙ?// නෙදකින් තොගේ නයා ජෝක්කු අදින්නේ නැද්ද ?

      Delete
    8. @සින්දු, අන්නේකයි.

      Delete
    9. වැඩක් නැහැ ප්‍රසා මු අපිව දාලා ගිහින් අපිට දුක හිතෙන්නෙ පොස්ට් දානවා...

      Delete
  2. පරිසරය සිරිසරය සුවබරය පැහැසරය හා හා
    වන විහඟ ගී සරය නැගෙනා
    මධු ලෝල බිඟුසරය බැඳෙනා
    සිත නිවන පරිසරය හා හා
    ප්‍රිය දසුන සිරිසරය හා හා
    පරිසරය සිරිසරය සුවබරය පැහැසරය හා හා
    වන විහඟ ගී සරය නැගෙනා
    මධු ලෝල බිඟුසරය බැඳෙනා
    තුඟු ගිජිඳුන්ගේ නඳ ඇසෙනා
    මහ වනයෙන් වැසි දිය ගෙනෙනා
    දිය කඳුරු සුනිල ඇළි හැලෙනා
    පියකරුය කඳුකරය සොබනා
    පරිසරය සිරිසරය සුවබරය පැහැසරය හා හා
    ඇල් පවන මල් සුවඳ හමනා
    පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා
    දිවි ගෙවන හද සුසුම හෝ හෝ
    පරිසරයෙ ලද උපත හෝ හෝ
    පරිසරය සිරිසරය සුවබරය පැහැසරය හා හා
    ඇල් පවන මල් සුවඳ හමනා
    පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා
    කම්හලක දුම් කවුළු නැගෙනා
    කම් කටොලු පුර දොරට වඩිනා
    විදු නැණින මැඩ සියලු බාධා
    රැ ක ගනිමු පරිසරය සැමදා

    පබැඳුම - සුනිල් සරත් පෙරේරා
    සංගීතය - ලයනල් අල්ගම
    ගායනය - නීලා වික්‍රමසිංහ
    https://www.youtube.com/watch?v=8OZAii9KdaM

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ... උඹ නං සම්පතක්...

      Delete
    2. මම ඒක සින්දුට කිව්වේ ගොඩක් ඉස්සර...උබත් අපිට සම්පත්ක්...ඩිලා..

      Delete
  3. අපි නං ගියේ බයික් වල. ඒත් කලුපහන ඉදං උඩට. වැස්සට වෙලා තියෙන වින්නැහැය බලන්න ආයි යන්න හිතෙනවා. ඒත් පේන විදියට දැං ෆෝවීල් වෙහිකල් එකකටවත් සමාර තැන් වලින් යන්න අමාරුයි වගේ. දිල්ශාන් ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන් නං හොදයි. කලින් ට්‍රිප් ගියපු අයගේ වාර්තා බලපු නිසා අපි යද්දි පොඩි උන්ට චොකලට් ඒවා මේවා අරගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. අපි ගියේ අප්‍රේල් 20 නෙ මචං... දැන් පාර හදලා ඇත්තෙ ආයෙත්. අපි ගිය දවසෙ කලුපහන පැත්තෙන් පාර හදන්න බැකෝ එකක් ඇවිත් තිබුණා. හැබැයි ඊට පස්සෙ ආයෙත් වැස්ස නිසා දැං මොකක් වෙලාද දන්නෑ...
      මටත් ආයෙ යන්න ඕන බං පොඩි උංට මොනවා හරි අරං

      Delete
    2. මටත් ආයෙ යන්න ඕන බං///
      පල ඉතින් පල...‍තෝ ගියා කියලා අපිට පාන්ද???මේ සැරෙත් මාව දාලා පල..
      පොඩි උංට මොනවා හරි අරං//
      මට වහ එකක් අරන් දිලා පල....උබ ගිහින් ඇවිත් ලියන පොස්ට් බලලා ඉරිසියවෙ පුපුර පුපුර ඉන්නවට වඩා හොදයි වහ එකක් බොනවා...
      මෙවා දුකට කොටන කෙමෙන්ට්..

      Delete
  4. කියන්න තියෙන්නේ පට්ටයි කියලා විතරයි...
    උඹල එක දවසෙන් අර කියපු කිලෝමීටර 27 ඇවිදලා ඉවර කලාද බං. මටනම් දැන් කිලෝමීටරයක් ගියත් හති...

    ReplyDelete
    Replies
    1. ඒහ්... පට්ටයි කියලා විතරක් මදී... උඹ තමයි මගේ ක්‍රිටිකල් කමෙන්ටර්...
      කිලෝමීටර් 27 ට වඩා යන්න වුණා බං... ලංකා ඇල්ලට බහින තැන හොයා ගන්න බැරුව ඇල්ල වටේම කිලෝමීටර් දෙකක් විතර ගියා... ඒ ටික මං ලිව්වෙ නෑ හැක්...

      Delete
    2. වෙලාව නැති කමටත් වැඩිය කමෙන්ට් කරන්න කම්මැලියි බං...
      ෆොටෝ ටිකත් එළ බව කියන්න අමතක උනා...

      Delete
    3. ලොකු උබ මාව නාන්න එක්කරගෙන ගිය එක රා බොන්න දුන්න එක මගේ ජිවිතේ අමතක නොවන අත්දැකිමක්...උබවත් මාව මේ වගේ ගමනක් එකකරගෙන ප්ලයන් ලොකු..

      Delete
    4. මෙන්ඩො, මේකට නං ඇඬුණා බං... අනිවා අපි යමු එකක්. මේක ටෆ් වැඩී බං

      Delete
  5. අපි නොදන්නා කොයි තරම් පිරිසක් මේ රටේ දුක් විදිනවද කියලා හිතුනා.
    බිනර මල් ටික හරිම ලස්සනයි. අර ලංකා ඇල්ල වැටෙන්නේ ගල් වලින් වටවුණු වලකටද? පින්තුරේ පේන්නේ ඒ වගෙයි.
    රොටී පුච්චන්නේ ගලක් උඩ තියලද?

    ReplyDelete
    Replies
    1. පව් ඒ මිනිස්සුන්ගේ ජීවිත හරිම ඛේදනීයයි...
      ලන්කා ඇල්ල වැටෙන්නෙ ලංකාවෙ හැඩය ගත්ත ගල් බේසමකට... හරිම ගැඹුරු තැනක් වගේ පේන්නෙ...
      රොටි පිච්චුවෙ රෙඩ්බුල් කෑන් එකක් දෙකට පලලා ඒක උඩ තියලා

      Delete
  6. මම තනියම ඇවිදින්න ආස සහ එහෙම ඇවිදින කෙනෙක්.. යන්නෙ තනියම නිස ලොකු රිස්ක්1ක් තියන ගමන් යන්නෙ නෑ... උදහරනෙකට කියනවා නම් උඩ පළාත් වල දිය ඇලි වල නාන්න යන්නේ නෑ..
    පරෙස්සමෙන් නමුත් ෆන්1 ඇවිදිනවා දේවල් විදිනවා
    මට දැනගන්න ඕන මේකයි ඔබතුමාගෙන්...
    මේ ගමන තනියම ගියොත් තියන ලොකු රිස්ක් මොනවද ?
    ඔබතුමාලට පැය කීයක් ගියාද ගමනට ?

    මේ බ්ලොග්1 දැක්කේ එළකිරි1න්..
    ඉස්තුතිය්

    ReplyDelete
    Replies
    1. ඇනෝ බ්‍රදර්, මාත් මේ ගමන යන්න හිටියෙ තනියම. අන්තිම මොහොතෙ තුන් දෙනෙක් සෙට් වුනා. මේකෙ කිසිම රිස්ක් එකක් නෑ. ඇතිවෙන්න කෑම අරන් යන්න. ග්ලූකෝස් එහෙම. කෝච්චි ටිකට්, බස් ගාස්තු, කෑමට ගිය සුලු වියදම් ඇරුනම මේක බජට් ට්‍රිප් එකක්. පරිස්සමෙන් ගිහින් එන්න. ජයවේවා

      Delete
    2. අපි උදේ අටට ඔහියෙන් ගමන පටන් අරන් හවස හතරට කලුපහනට ආවා. ඒ අතරමග කෑම හදාගෙන, පොටෝ එහෙම ගහලා, නාලා එහෙම හෙමින් ඇවිත්

      Delete
    3. ඇනෝ..මචෝ....මුට මම කිව්වා මේ වගේ ගමනක් මාවත් එකරගෙන යන්න කියලා...මම මැරිලා හරි ඔකාගේ පස්සෙන් යනවා..

      Delete
  7. මේ ලිපිය කියවන්න ඉස්සර මේ කෙමෙන්ට් එක කොටන්නේ..‍තෝ එක්ක තිබුන සියලු යාලු මිත්ත්‍ර කම් මේතනින් ඉවරයි....‍තෝ මාව දාලා ගියා...

    ReplyDelete
    Replies
    1. මේ ගමන උඹව එක්ක ගියා නම් කොහොමත් උඹ මා එක්ක යාලු මිත්‍රකම් අතඅරිනවා. කිලෝමීටර් 30ක් පයින් ගියා යකෝ... කලුපහනට එද්දි දිව දොට්ට පැනලා හිටියේ....
      අපි යමං මචෝ ටිකක් ස්මූත් ට්‍රිපක්, නාලා කාලා එන්න පුළුවන් තැනක් කන්නෙලියේ වගේ... මං ඩෙෆිනීට්ලි උඹව ගමනක් එක්ක යනවාමයි

      Delete
    2. උම්මා..උම්මා...උම්මා..

      Delete
  8. කිලෝමීටර් තිහක් පයින්.. බුදාම්මෝ.. අර මලිය ගිහිං තිබ්බ බයික් එකක.. එතකොට සිරා කොලුවා ගිහින් තිබ්බේ ස්කුටර් වල.. මේ කියන විදියට දැන් ෆොර් වීල් එහෙකවත් යන්න බෑ වගේනේ.. ඇයි දයිවය අපි වගේ බඩ තඩි ඇවිදින්න අමාරු උන්ට මේ තරම් කූර වෙන්නේ? :/

    ReplyDelete
    Replies
    1. දයිය නං දැං මටත් කූර වී ගෙන එන්නේ මචං... කලුපහනට එද්දී දිව දොට්ට පැනලා දණිස්ගාව විතර තිබුනෙ

      Delete
  9. ජැක්සොන් මහත්තයා කරපු ගග දිගේ වැඩසටහනේ මේ අසිරියයම වින්දා මට ඒක සිහි උනා ඔහෙගෙ ගමන ගැන කියෙව්වම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ගඟදිගේ, සලාංහංතේ එතකොට අවාරේ සිරිපා කියන්නේ ජැක්සන් උන්නැහේගෙ හොඳම වැඩසටහන්... හැබැයි මහා සංචාරේ නං මට එච්චර අල්ලලා ගියේ නෑ

      Delete
  10. නිකන් කම්මැලි කමට මේ පැත්තට ඇවිත් ගියා

    ReplyDelete
  11. මේක හරිම අහම්බයක්, බ්ලොග් වසන්තයෝ දෙන්න වෙච්චි "දුමීගේ කට කහන කතා" ලියන හාදයයි "සැහැල්ලුව"යි එක්ක සෙටමෝල් උනා දැනට දින දෙක තුනකට කලින්.

    ඇඟපත රත් කරගන්න ගමන් මේක තමයි ප්‍රධාන මාතෘකාව :)

    ReplyDelete