Tuesday, July 26, 2016

Rail Hike from Nanuoya to Ambewela in search of Elgin Falls - එල්ජින් ඇල්ල සොයා රේල්පාර දිගේ...

බදුල්ල දුම්රියේ යන වාරයක් පාසා නානුඔය පහුවෙච්චි හැටියෙම මම ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන්. පැරකුම්පුර පුංචි ස්ටේෂන් එක පහුවුණු හැටියෙම ධර්ම යුද්ධයට මහෞෂධ පණ්ඩිතයන් එනකම් බලං හිටපු කේවට්ටයා වගේ කොක් කරක් වගේ බෙල්ල දික්කරං දකුණු පැත්තෙ බෑවුම දිහා මං බලන්නෙ ඈ ඉන්නවද කියලා.. 
මීදුම ගලපු නැති දවසක් නං අනිවාර්යයෙන් ඈ දුහුල් සළුපොටින් යාන්තම් වැසුණු තුනුරූ සපුවෙන් ශෝභමානව ගනව වැඩුණු වනාන්තරය අතරින් විළියෙන් හිනාවෙනවා බලන්නට පුළුවනි.
ඒ හැම වෙලාවකමත් ලොකු හුස්මකින් පපුව පුරවගෙන කවදාහරි මං ඔයාව බලන්න එනවා කියලා මං හිතින් පොරොන්දු වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි නොඉඳුල් ගන වනාන්තරයක හැංගිලා යාන්තමට සුදු සේල පොටක් විතරක් අපට පෙන්වන මීටර් විසිපහක පමණ උසක් තියෙන එල්ජින් ඇල්ල.
මේ ආසාව තිබුණෙ මට විතරක් නෙවෙයි කියලා මට තේරුණේ මේ ගමන යන්න ලෑස්ති වෙද්දි. කොහොමින් හරි මගේ සුපුරුදු ගමන් සගයින් කිහිප දෙනෙකුත් එක්ක පහුගිය දොහක අපි එල්ජින් සොයාගෙන ගියා. ගමන සැලසුම් කරද්දි අපට ආපු ලොකුම අභියෝගය වුණේ මේ ඇල්ල පිළිබඳ හරිහමන් විස්තරයක් හොයාගන්න බැරි වුණ එක. ඇල්ල ළඟට යන්න පුළුවන් නිශ්චිත පාරක් ගැන අපට විස්තරයක් හොයා ගන්න බැරිවුණා. එන හැටියකට මුහුණ දෙන්න හිතාගෙන අපි සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රියෙන් නානුඔය බලා පිටත්ව ගියා.
ලේකැටි මිදෙන හීතලේ පාන්දර දෙකට පමණ නානුඔයෙන් බැහැගත්තු අපි එළිය වැටෙන කම් දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ ගතකළා. යාන්තම් බිමට එළිය වැටෙද්දීම නගරයේ විවෘත කරපු පළවෙනි අවන්හලෙන්ම උදේ ආහාරය ගත් අපි දුම්රිය මාර්ගය දිගේ ඇවිද යාම ඇරඹුවා.
මිදුමෙන් වැසී...
උඩරට දුම්රිය මාර්ගය රේල් හයික් එකකට කියාපු පාරක්. නමුත් මා දන්නා තරමින් දැන් දුම්රිය මාර්ගය දිගේ රේල් හයික් කරන්නට අවසර නෑ. විශේෂයෙන්ම බිංගෙවල් ආශ්‍රිතව සිදුවන වැහිලිහිණි කූඩු ජාවාරම නිසා රේල්පාරේ පයින් යන්නන් කෙරෙහි බලධාරීන් සිටින්නේ අවධානයෙන්.
නිරන්තරයෙන් මීදුමෙන් වැසී යන දුම්රිය මාර්ගය අතිශයින් මනරම් පාරිසරික කලාපයක් හරහා දිවයනවා. නානුඔය සිට අඹේවෙලට දුර කිලෝමීටර දහහතරක්. එයින් කිලෝමීටර දහයක් පමණ නානුඔය සිට ගිය විටදීයි එල්ජින් ඇල්ල මුණ ගැසෙන්නේ..
ස්වර්ග රාජ්‍යයට යන පාරද මේ...
පරිස්සමෙන් හා අවධානයෙන් සංචාරය කරන්නෙකුට මේ මාර්ගය දෙපස දක්නට හැකි දේ බොහොමයි. මේ තියෙන්නේ මාර්ගය අද්දර සරුවට වැඩී තිබුණු මල් පඳූරක්...
බ්ලූ ස්ටාර් - ඡායාරූපය - තාරුක චමල්
බැලූ බැල්මට ඉතා සුන්දර වුවත් මෙහි පිටුපස කතාව අමිහිරි එකක්. මේ තිබෙන්නේ 'බ්ලූ ස්ටාර්' - Blue star (Aristea acklonii නමින් හඳුන්වනු ලබන ආක්‍රමණික ලක්ෂණ දක්වන ශාකයක්. මා වරක් පට්ටිපොළ සිට හෝටන් තැන්න පිවිසුම දක්වාම මේ ශාකයේ පැතිරුණු ගහනයක් නිරීක්ෂණය කළා. ඒ සටහන මෙතැනින් CLICK බැලිය හැකියි.  විසිතුරු පැළෑටියක් ලෙස රටට ආනයනය කළ මෙය දැන් සීමා ඉක්මවා ස්වභාවික පරිසරයේ පැතිරෙන්නට පටන් අරන්. 
මල් යායක මිහිර...
මේ රේල්පාර අද්දර වැඩී තිබුණු සුන්දර කුඩා මල් ගොන්නක්.
පොද වැස්සත්, සිහින් සීතල සුළඟත්, ගන මීදුමත් මැද්දෙන් හීනයක් මැදින් ඇවිද යන්නාක් වගේ අපි ඉදිරියට ඇවිද ගියා.
මෙසේ ගමන් කරද්දී ඉදිරියෙන් හෝ පසුපසින් පැමිණිය හැකි දුම්රියන් කෙරෙහි අවධානයෙන් ගමන් කිරීම ඉතා වැදගත්. ‍මොකද මේ මීදුම් ප්‍රවාහය මැද්දේ දුම්රියක් ළඟටම එනකම් පේන්නෙ නැති නිසා.
මීදුම මැද්දෙන් උඩරට මැණිකේ - සේයාරුව - තාරුක චමල්
කෙසේ නමුත් කඳු හිස් මත රාව ප්‍රතිරාව නංවන හඬින් දුම්රියක පැමිණීම ඈත පටන්ම හඳුනාගත හැකියි.
මේ විදියට පරිසරයේ සුන්දරත්වය දෙනෙතින් උරාබොමින්, රසමිහිරෙන් මන්මත්ව කිලෝමීටර් දහයක් පමණ ඉදිරියට ආපු අපට ඈතින් කඳු හිස් මත්තෙන් ගලා හැලෙන මේ සුන්දර දියඇල්ලේ පළමු දර්ශනය නෙත ගැටුණා.
ඈතින් අෑ...
මේ දීර්ඝ පා ගමනින් අප ලත් වෙහෙසක් තිබුණා නම් එය වහා සිඳ මිහිරියාවෙන් සිත පුරවාලන්නට මේ යාන්තම් ලද දසුනද සමත් වුණා.
එතැනම රේල් පාරේ වාඩි වී අප බොහෝ වෙලා මේ සොඳුරු දසුන රසවින්දා. වරින් වර මීදුම් සළුව ලිහිල් කරමින් ඇගේ මනරංජනීය රූ සපුව යාන්තමට අපට පෙන්වූ ඈ වහා විළි වැද නැවතත් මීදුම් සළුවෙන් සෙළුව වසා ගත්තා.
සළු ගිලිහුණු නිමේෂයක...
ඇල්ලේ පාමුලට ළංවිය හැකි මගක් සොයා ගැනීම අපේ ඊළඟ අභියෝගය වුණා. ඇල්ල වෙත බැසිය හැකි කිසිදු මගක් පෙනෙන්නට නොතිබුණු නිසා අප තීරණය කළේ මදක් ඉදිරියෙන් තිබුණු කළු පාලමේ බෑවුම බැස දියපහර දිගේ ඇල්ල පාමුලට ළඟා වීමටයි.
කළු පාලමෙන් පහළට...
ඊතලයෙන් පෙන්වා ඇත්තේ අප පහළට බැස්ස ස්ථානයයි. බෑවුම තරමක් තියුණු එකක් වීම නිසා එය අභියෝගාත්මක එකක් වුණා. කෙසේ නමුත් නිරුපද්‍රිතව දියපහර වෙත ළඟා වුණු අපි එය දිගේ ගමන් ආරම්භ කළා.
මෙවන් කඳුකර වනාන්තරයක දියදහරක් දිගේ ගමන් කිරීම අපූරු අත්දැකීමක්. තුරු වියනෙන් හෙවණ වූ නොගැඹුරු දියදහර මද බෑවුම ඔස්සේ වේගයෙන් ඉදිරියට ගලා ගියා. අතරින් පතර හමු වූ කුඩා දිය ඇලි (Rapids) මේ සුන්දරත්වය වඩාත් ඔප් නැංවූවා.
සීත සුනිල් දිය දහරා...
සුන්දරත්වයෙන් අනූන වුවත් පහතරට කලාපයේ මෙන් දියදහරා වල සරු ජෛව විවිධත්වයක් මෙහි දක්නට නැහැ. 
දිය යට සුන්දරත්වය
මේ දියයට ඡායාරූපය පහත රට දියදහරකදී ගත්තා නම් මෙය පිරෙන්නට ජලජ ජීවීන් දක්නට ලැබෙනවා නිසැකයි.
මේ තිබෙන්නේ ගස් කඳක වැවුණු ලයිකනයක බීජාණුධානි.
බීජාණුධානි...
මේවා සුළඟ මගින් ව්‍යාප්ත වී තවත් තැනක ජීවය පතුරවනවා.
දියපහර දිගේ කිලෝමීටර එකහමාරක් පමණ යද්දී අපි දැඩි වර්ෂාපතනයකට මුහුණ දුන්නා. වර්ෂාව එන්න එන්නම දැඩි වෙද්දී ඉතා අකමැත්තෙන් වුණත් අපට සිදුවුණේ අාපසු හැරෙන්නටයි. මන්ද එන්න එන්නම වේගවත් වන දියපහරක වර්ෂාව මධ්‍යයේ ඉදිරියට යාම නිසැක අනතුරකට හේතුවක් බව පැහැදිලිව පෙනුන බැවින්. අතරමග කුඩා දියඇලිද චණ්ඩ, ප්‍රචණ්ඩ වී තිබුණේ ඒවා තරණය කිරීම සිහිනයක්ම බවට පත් කරමිනුයි. මීදුම හා මුසුව ගලා හැලෙන අන්ධකාරයද ආපසු හැරෙන්නට අපට අණ දුන්නා.
ප්‍රචණ්ඩ දිය දහරා හා ලිස්සන ගල්...
අරමුණට ළඟාවන්නට නොහැකි වුණු පළමුවැනි චාරිකාව ලෙස මගේ චාරිකා සටහන් පෙළට එක් වෙමින් මේ ගමන නිමා වුණා. නමුත් එල්ජින්...... මතක තබා ගන්න. මා නිසැකවම අාපසු එනවා.. එවර නම් මගදී ආපසු හැරෙන්නට නෙවෙයි...

37 comments:

  1. අපූරු සටහනක්.. සැබෑවූ සිහිනය සමගින් ැවත හමුවෙතියි බාලොරොත්තු වෙනව

    ReplyDelete
    Replies
    1. ඉක්මණින්ම... ඉක්මණින්ම

      Delete
  2. Ada thama mulinma me paththata awe. Niyamai bro. Baida aimath mehema gamanak yaddi matath set wenna ?

    ReplyDelete
    Replies
    1. සතුටුයි මේ පැත්තේ ආවාට... යමු යමු... මං හරිම කැමතියි පරිසරයට ආදරය කරන මිනිස්සු එක්ක ගමන් යන්න

      Delete
    2. ඊළඟ ගමන යද්දී අනිවාර්යයෙන්ම කතා කරනවා මිත්‍රයා

      Delete
  3. අපුරුයි මගේ දයාබර මිත්‍රයා....... උඹේ විස්තරය ඉතා වටිනවා.සුන්දර වචන රටාවක්.සිත්ගත්තා.මමත් නුදුරේදීම ඔය ඉලක්කය ජය ගැනීමට අදහස් කරමින් සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරන්ත... පරිස්සමෙන් කල්පනාවෙන් පලයං මයෙ මිත්‍රයා... උඹලා වගේ උදවිය මේ වගේ තැන්වල සංචාරය කලාට පරිසරයට කිසිම හානියක් නැති බව මං ඉංතේරුවෙන්ම දන්නවා

      Delete
  4. විශිෂ්ඨයි. ඉහලින් අගය කරනවා. දිගටම මේ වගේ ඉදිරිපත්කිරීම් කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි විචාරක තුමා.... ඇගයීම බොහෝම වටිනවා

      Delete
  5. පට්ටයි. උදේ පාන්දර හීතලේ මේ වගේ ගමනක තියෙන ආතල්එක හිතාගන්නවත් බෑ.

    කොහොම උනත් අායෙ දවසක ඇල්ල ගාවටම ගිහිල්ල විස්තර කියන්න හැකි වෙන්න කියල පතනව.

    ReplyDelete
    Replies
    1. හීතලේ ආතල් එක නං කියලා වැඩක් නෑ ප්‍රසා...
      ස්තූතියි ප්‍රාර්ථනාවට.. අපි ගමන දාගත්තු කාලෙ තමයි අවුල තිබුණෙ. ඊළඟට වැහි කාලෙ මග ඇරල යන්න ඕන

      Delete
  6. ස්තූතියි අජිත්

    ReplyDelete
  7. රසවත් විස්තරයක් .අත්දැකිම් තියන නිසා ඊලග පාර පහසුවෙයි ගමන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්හානි.... ඊළඟ ගමනත් ඉක්මනට යන්න ඕන

      Delete
  8. බහිමු නැවතත් කළු පාලමෙන් පහලට ලඟදිම..

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ.... ඊළඟ පාර නගිමු ඇල්ල මුුදුනටම

      Delete
  9. ආසාවෙ බෑ. මට ඕනෙ මේ පින්තූර මගෙ මෙහෙ ගෝලයන්ට පෙන්නන්න. උන්ට පින්තූර තේරෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි අයියෙ... හිටිං මාත් හෙට අනිද්දම සිමල්බ්ලොගිං පටාං ගන්නවා.

      Delete
  10. බොහොම කාලෙකින් පෝස්ට් එකක් ඇවිත් තියෙන්නේ. අගෙයි. ඊලඟ සැරේ ඇල්ල මුදුනට ම යන්න සුබ පතනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්... සෑහෙන කාලෙකින් යමක් ලිව්වෙ

      Delete
  11. අරමුණට ලගා නොවූ චාරිකාවක් මගේ චාරිකා ලැයිස්තුවේ මුලින් ම තියෙනවා..මාවත් අරගෙන ලොකු ගැනුලමයෙක් සිරිපා ගියා..
    එයාට ඕනිවෙලා අපි දෙන්නා සසරින් සසර එකට ඉන්න කියලා පාර්තනා කරන්න පෝය දවසක් නිසා උඩ තදම ටැපික්..උඩට යන්න බැරිවුනා..

    කදිම සටහනක්..අනතුරුදායක බව නිසා මම පුද්ගලිකව එතරම්ම මනාපයක් නෑ රේල් හයික් වලට..

    ReplyDelete
    Replies
    1. අනූනවයෙන් බේරුණාද අමිල.....

      මං නං රේල් හයික් වලට හරිම කැමතියි

      Delete
  12. පින්තූර ටික හරිම ලස්සනයි..මීදුමේ එතුන පරිසරය දකිනකොට පුංචි දවස් වල වගේ තවමත් අමුතු සුන්දරත්වයක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිරා.... මේ පරිසරය නම් සිරා..

      Delete
  13. මට මේක මිස් උනේ කොහමද ...
    ඉතින් උබ ආයමත් ගිහින් අපිට ලියන්නේ කවදාද

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකට ලියන්න වෙන්නෑ මෙන්ඩයියේ... ගමනක් යන්න සෙට් වුණේ නෑ... ගිය හැටියෙ ලියනවා

      Delete
  14. Replies
    1. අඩේ.. උඹත් එක්ක තරහ වෙන්න.... පිස්සු කතා කරන්න එපා බොලේ.. උඹ අපේ කමෙන්ට් රජ්ජුරුවෝ...

      Delete
  15. මම ඒක දවසකුත් කිව්වා වගේ ලොබ කමෙන් එකම පොස්ට් ඒක දෙපාරක් කියවන්න පුලුවන් හිස් අහසේ සදරුවා ලියන ඒවා..උබගේ පොස්ට් ඒක තුන් පාරක් කියවන්න පුලුවන් ...ඒ තරම් එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. සංජීව අය්යෙ, මේ වගෙ අවංක ප්‍රතිචාර දැක්කම දාහක් වැඩ තිබුණත් මොනව හරි ලියන්න මාර ගටක් එනවා.

      Delete
  16. Replies
    1. ඊයෙත් ආව නේද බොලේ?

      Delete
  17. ආයේ යමුද මේ ගමන? මාත් කාලෙක ඉදන් යන්න හිතන් ඉන්න ගමනක්.. එල්ජින්..

    ReplyDelete
  18. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete