Monday, June 6, 2016

Ravana's Chariot Path - රාවණා සමග ඇවිද ගි‍යෙමි....


රාවණා හා ඔහුගේ පුරාවෘත්තයන් හා බැඳුණු ස්ථාන ලංකාවේ කොතෙකුත් ඇත. ඒ අතුරෙන් වඩාත්ම ස්වභාව සෞන්දර්ය‍යෙන් අනූන පෙදෙසක් පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ අන්තයේ පිහිටා තිබේ. රාවණාගේ කරත්තය ගමන් කළ මාර්ගය යන අර්ථයෙන් මෙය 'චැරියට් පාත්' යන නමින් හැඳින්වෙන අතර ගම්වැස්සන් මෙය හඳුන්වන්නේ 'පිට්ටනි' යන නමිනි.
මෙම සුන්දර බිම්කඩ සොයා අපි ගමන් ඇරඹුවේ පුස්සැල්ලාව ‍'ෆ්‍රොටොෆ්ට් ' වතුයායෙනි. වතුයාය මැදින් දිවෙන ජීප්රථ පාරේ කඳු ඉහත්තාව දෙසට ගමන් කළ විට ‍'චැරියට් පාත්' කරා දිවෙන යාන්තමට සළකුණු වූ අඩිපාර දැකිය හැක.
වතුයාය මැදින් - ඈතින් අ‍පේ ඉලක්කය
එම අඩිපාර දිවයන්නේ කඳුකර වනාන්තරයක් මැදිනි. ඉතා අසීරු ගමනක් වූ මෙය අපට අමතක නොවන අත්දැකීමක් වන්නේ මද දුරක් ඉහළට ආ අපට මග වැරදීම හේතුවෙනි.
වැරදුණු මග - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු
මේ රූපයේ සුදු පැහැ ඊතලයෙන් අප යායුතුව තිබුණු නිසි මගත්, රතුපැහැ ඊතලයෙන් මග වරද්දාගත් අප ගමන් කළ තියුණු බෑවුම් සහිත මගත් දිස්වේ. 
වැරදුණු මග අතිශය කටුක එකක් වීය. දළ බෑවුමේ ඉහළ නැගීම එන්න එන්නම අභියෝගාත්මක විය. දෙපයින් යාමට වඩා බොහෝවිට කළේ බෑවුමේ වැඩුණු නූස් පඳුරු වල එල්ලී සතරපයින් යාමය. කූඩාරම, ජලය, උයන පිහන බඩු, කැමරා උපකරණ ආදිය සමග ඉතා බරැති මල්ලක් එල්ලාගෙන මොහොර බෑවුමක ඉහළට නැගීම කිසිසේත් පහසු එකක් වූයේ නම් නැත.

බඩගෑම - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු
ගමන කෙතරම් දුෂ්කර වුවත් බෑවුමේ සිට බලන කල අවට දර්ශනය අතිශයින්ම මනරම් එකක් විණ. බැලූ මානයේ දිස්වූයේ හරිත සාගරයකි.
රාස්සිගේ අවුව වැටී දිලිසෙන කඳු...
අපේ එකම අරමුණ වූයේ රෑබෝ වන්නට ප්‍රථම කඳවුරු භූමිය වෙත ළඟාවීමය. මේ කඳුකර කොටියාගේ (Panthera paradus kotiya) අඩවියයි. වනයේ රජතුමා ළඟම සිටින බව සාක්ෂි වශයෙන් ඉතා මෑතක තැබූ නිය සටහනක් ගසක තිබී අපට හමුවිය.
කොටි නිය පඳුරු - ඡායාරූපය - සජිත් මධුෂාන් අබේගුණවර්ධන
කොටින් මෙසේ ගස්මත තම සලකුණු තබන්නේ එය තමාගේ වසම (Territory) බව අනෙකුත් කොටියන්ට දන්වා සිටීමටය. මේ සඳහා බොහෝවිට උන්ගේ මුත්‍රාද යොදා ගැනේ. කොටියා තදින්ම වසම් චර්යාව දක්වන සත්ත්වයෙකි. තමා වෙන් කරගෙන සිටින සීමාව‍ට වෙනත් පිරිමි කොටියෙකු ඇතුළු වුවහොත් අනෙකාගේ මරණය සිදුවන තුරුම උන් එකිනෙකා හා සටන් කරති. ජයග්‍රාහකයාට වසමේ අයිතිය තහවුරු වෙයි.
කෙසේ වෙතත් රෑ බොහෝ වන්නට පෙර කඳු මුදුනට ළඟා වීමට අපට හැකිවිය. මෙය සැබවින්ම කඳු මුදුනත පිහිටි තැනිතලා භූමියකි. බොහෝදුරට හෝර්ටන් තැන්නේ පරිසරයට සමාන ලක්ෂණ දරයි.
ඉර බැස යන හැන්දෑවේ...
වේගයෙන් කළුවර ගලාහැලෙන්නට වූ නිසා අප කළේ වහවහා කූඩාරම අටවා කෑමට යමක් සූදානම් කර ගැනීමය. ස‍‍ඳ පහනින් එළිය වූ ඇටමිදුළු පවා ගල්ගැසෙන තරම් සීතල එදා රෑ..... සමාවෙන්න මිතුරනි.. එය විස්තර කරන්නට මගේ වාග්කෝෂය පොහොසත් නැත. ගිරි බැබළෙන සඳපහනක් මා පියවි ඇසින් දුටුවේ එදාය. කඳු මුදුනක තැනිතලාවක හඳපාන හා තරුරෑන යට මා ගෙව්වේ මගේ ජීවිතයේ සුන්දරතම රාත්‍රිය බවට නම් සැක නැත.
හඳයි, තරුයි, අපේ කූඩාරමයි, ලන්තෑරුමයි - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු
කොටියා පෙනෙන්නට සිටියේ නැත. නමුත් එදා රෑ කන ළඟම කොටියා ගොරවන හඬ ඇසුණු බව සජිත් හා චතුර දිවුරා කීහ.
පසුදා උදෑසන අපේ ඇස් ඉදිරිපිට තිබුණේ මිහිබට පාරාදීසය බවට නම් සැකයක් නැත. රාවණා ගමන් කළ කරත්ත පාර තණ ගොල්ලේ අපූරුවට සිත්තම්ව තිබුණ අතර දළ බෑවුම කෙළවර එක එල්ලේ පෙනුනේ සමනල සිරසය.
කරත්ත පාර - කෙළවර නිවන
තැන්නේ කෙළවරක කුඩා දියපොකුණක් වූ අතර එය සීතා පොකුණ ලෙස හැඳින්වේ. සීතාගේ කඳුළින් නිර්මිත බව කියන එය අප යන කාලයේ පැවති අධික නියඟය නිසාවත් සිඳී තිබුණේ නැත.
කඳුළින් නිර්මිත පොකුණ
බෑවුමේ නැගෙනහිර දෙසින් දක්නට ලැබුණේ වර්ණනා විෂයාතික්‍රාන්ත ‍සොඳුරු දසුනකි. මීදුම් සළු පොරවා ගත් නීල කඳු පෙළ අපේ රසකාමී නෙත් සිත් සනහාලමින් ප්‍රතාපවත් ලෙසින් නැගී සිටියේය.
නීල කඳුගැටේ...
බැලූ බැල්මට නිහඬ වුවත් වනබිම ජීවයෙන් පිරී පැවතුණි. පයට පෑගෙන තණ බිස්ස පවා සජීවී සුන්දරතාවයෙන් යුතු බව පෙන්වන්නට මේ තණ මල් පියලි සාධක නොවේද?
තණමල්....
ආපසු ගමනද පහසු එකක් වූයේ නැත. නමුත් අප අත්විඳි  ජීවන මිහිර හා සසඳද්දී එය අබැටක් තරම්වත් නොසැලකිය යුතු බව මගේ හැඟීමයි.
අාපසු ගමන....


38 comments:

  1. ෆොටෝස් ටික ගොඩක් ලස්සණයි, ඒ වගේම විස්තරයත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හසිත...

      Delete
  2. හේවාහැට මුල්ඔය ස්ටේට් එක පැත්තෙනුත් අඩි පාරක් තියනවද? ගූගල් මැප් එකේ එහෙම එකක් තියනවා වගේ පේනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. අපි බැස්සේ ඒ පැත්තෙන්

      Delete
  3. අර වත්තේ නම ෆ්‍රොටොෆ්ට් වියයුතුයි. http://lk.geoview.info/frotoft,1246668

    ඔය වතුයායේ යුද හමුදා කඳවුරක් පිහිටුවා තිබුණා 1988 - 89 කාලයේ. මා කීපවරක් එහි ගොස් ඇති නමුත්, ස්වභාව සෞන්දර්යය විඳින්න ඉඩ ලැබුනේ නැහැ.

    ඔබේ මේ විස්තරය ඉතා අගනා සංචාරක සටහනක් ලෙස මා සිත් ගත්තා.

    වාක්කෝෂය යන වචනය වාග්කෝෂය ලෙසත්, ගිරි බැබලෙන යන වචනය කිරි බැබලෙන ලෙසත්, නිවැරදි කරන මෙන්, කාරුණිකව ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරකතුමා...
      වාග්කෝෂයත්, ෆ්‍රොටොෆ්ට් වත්තත් නිවැරදි කළා.
      ‘ගිරි බැබළෙන‘ යන්න මා යෙදුවේ එහි වචනාර්ථයෙන් (Literal Meaning) එදා ඇත්තටම තිබුණේ ගිරි බැබළෙන හඳපානක්. අවට සියලු ගිරි ශිඛර ඒ හඳපානෙන් බැබලුණා.....

      Delete
    2. අහ වලා 88/89 එතනදී සැකකරුවන්ව මැරුවේ නැද්ද කියලා හොයලා බලන්න

      Delete
    3. ඩේවිඩ් කරුණාරත්න 1955 රචිත එම් ඩී ගුණසේන සමාගමේ ලිහිණි පොත් පෙළට අයත් “සරස්වතී දුප්පත්වීම” නම් රස කතා සංග්‍රහයේ “වෙසක් වෙසක්” නැමති කතාවේ “මාගේ පියාණෙනි, ගිරි බැබළෙන හඳපානේ පවා දහසක් වියදම් කොට අසූහාර දහසේ පහන් පින්කමකින් ඔබ පුදන්නට මට පුළුවන”. යනුවෙන් සටහන් වෙනවා. මා දකින විදියට මුල් ව්‍යවහාරය ගිරි බැබලෙන වෙන්න ඕන. ඩී. ටී. ප්‍රනාන්දු විසින් රචිත අමරදේව ගායනා කරන “පීනමුකෝ කළු ගඟේ” ගීතය නිසා මෙම වහර “කිරි බැබලෙන” ලෙස වෙනස් වූවාද කියලත් සැකයක් එනවා. පද රචකයා කෙසේ ලිවුවත් අමරදේව මඩවල එස් රත්නායක ගේ ගීත ප්‍රබන්ධ පවා තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගත්ත නිසා මේ යෙදීම ප්‍රනාන්දුගේ ද අමරදේවගේ ද කියලත් සැකයක් මතු වෙනවා.

      Delete
    4. බොහොම ස්තූතියි... අනර්ග විවරණයක්... මම හිතන්නෙත් ගිරි බැබළෙන යන්න වඩා තාර්කික බවයි

      Delete
    5. මම අද ෆේස් බුක් එකේ මේ ප්‍රශ්නේ දැම්මම ඉසුරු උදයංග කාරියවසම් කිව්වේ “පීනමුකෝ කළු ගඟේ” ගීතයේ ඔරිජිනල් සින්දුව රෙකෝඩ් කලේ 1952 HMV තැටියට කියන එකත් සහ එකේ තියෙන්නේ ගිරි බැබලෙන හඳපානේ කියලාත් බව. ඒ වගේම 1951 ලතා වල්පොළ ගයපු ගීතයක් පටන් ගන්නේ “ගිරි බැබළෙන හඳ දිළිසෙනවා” කියලා. මේ මුල් ගීත දෙකම මම අද ඇහුවා. දෙකේම පැහැදිලිව “ගිරි බැබළෙන” තියෙන්නේ.

      Delete
  4. මට මේක කියෙව්වම අපි නකල්ස් ගිය ගමන මතක් උනා...

    කාලෙකින් මේ වගේ ගමනක් යන්න ලැබුනේ නැහැ බං... ;(
    ෆොටෝ ටික නියමයි මචං, සෙන්සර් එකේ දුවිලි කැටයක් තියෙනවා නේද. මමනම් අර ලෙන්ස් පිහින රබර් අයිටම් එකෙන් සෙන්සර් එක පිහිදානවා ශේප් එකේ මිරර් එක උස්සලා...
    එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් එකෙනුත් අහක් කරන්න පුළුවන් නේද...

    ReplyDelete
    Replies
    1. ලෙන්ස් එකේ තියෙන්නෙ පුස් පොකුරක් ලොකූ... ඒක අයිං කරන්න බෑ බං. මගේ තියෙන්නෙ DSLR එකක් නෙවෙයි. බ්‍රිජ් කැමරාවක්. ඕකෙ ලෙන්ස් එක ගලවන්න බෑ. පුස් කෑල්ල සුද්ද කරන්න සෑහෙන වියදමක් යයි. දැං කැමරාව මාරු කරන්න කාලෙ ඇවිත් තියෙන්නෙ...
      හෙට අනිද්දා තව සුපිරි ගමනක් යනවා... කැලේ මැදින් එල්ජින් සොයා....

      Delete
    2. අඩේ දවසක මාවත් එක්කරගෙන පලයන්කෝ

      Delete
  5. හරිම සුන්දරයි දිල්ෂාන් ආස හිතෙනවා මෙවැනි අත්දැකීමක් ගන්න. මම හිතන්නෙ දිවියා වෙන්න ඕනෙ ඔය කියන්නෙ. මම කැලෑවල කූඩාරම් ගහලා තිබුනට, කදු මුදුනක නැවතිලා නෑ.

    ReplyDelete
    Replies
    1. කඳු මුදුනක කූඩාරම් ගහන එකේ පොඩි අවදානමක් තියෙනවා අකුණු ගහන වහින කාලෙට නම්... නැත්නම් කඳු මුදුනක කූඩාරමක් ගහගෙන රැයක් ඉන්නවා කියන්නේ ස්වර්ගයට සමීපව ඉන්නවා කියන එකම තමයි.
      කොටියා සම්බන්ධයෙන් අපි ඓතිහාසික වැරැද්දක් කරලා තියෙනවා මචං. ලංකාවේ ඉන්නේ දිවි වර්ග දෙකයි. ඒ කොළ දිවියා (Rusty Spotted Cat) සහ අඳුන් දිවියා (Fishing Cat) පමණයි. ලොකු එකා කොටියා (Leopard) උගෙ විද්‍යාත්මක නමත් Panthera paradus kotiya කොටියට තියෙන්නෙ තිත්.... Tiger ට තියෙන්නෙ ඉරි උගේ සිංහල නම ව්‍යාඝ්‍රයා... පැහැදිලිවම ටයිගර් කියන්නෙ කොටියා නෙවෙයි.

      Delete
    2. මේ ගැන ගාමිණී සමරකෝන්ගෙනුත් අහපං බලන්න. ඔය කොටි කතාවට මොකක්දෝ වෙනස් අර්තඩහෙක්වීමක් තියෙනවද කොහෙද.

      අර නයිට් ෂොට් එක කොහොමද බං ගත්තේ. ඒක ට්‍රයිපොඩ් පාවිච්චි කරපු ෂටර් ස්පීඩ් අඩු එකක් බව නම් කිව්වෑකි. ISOහෙම කොහොමද?

      Delete
    3. කොටි කතාව ගැන ගාමිණි අයියගෙන් අහන්න ඕන.ඒත් මේ දවස්වල උන්දලට කොටියෙක් දෙපාර්තමේන්තුවට පැන්නත් ගාණක් නැති වෙයි. ඒ තරමට එතන ප්‍රශ්න...
      පින්තූරෙ ගැන කිව්වොත්, අපට කැමර‍ාව මවුන්ට් කරන්න ට්‍රයිපොඩ් එකක් තිබුණෙ නෑ... ලීටර් පහේ වතුර කෑන් එකක් උඩ තමයි ඒක තිබුණෙ... ෂටර් ස්පීඩ් ලෝ ඇන්ඩ් හයි ඇපචර් කැප්චර් එකක්.. ISO Auto විය යුතුයි. ෆොටෝ එකේ අයිතිකාරයා මං නෙවෙයි. චතුර මේක දැක්කොත් හරියටම විස්තරේ කියයි

      Delete
  6. සුන්දර අත්දැකීමක් දිල්ෂාන් කියවන්නත් ආසයි.ඔබ ලිව්වෙ බොහොම කාලෙකිං නේද?

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකින් ලිව්වෙ හැලපයියෙ... මේ ගමන ගිහිල්ලත් දැන් මාස දෙකක් විතර වෙනවා. කම්මැලිකමට නොලියා හිටියා

      Delete
  7. කම්මැලි කමට නොලිය හිටිය වගේ නැතිව තව පොටෝ කීපයක් එක් කලා නං තවත් අගෙයි..
    ඇත්තටම අපූරු සංචාරක සටහනක් දිල්ෂාන් ඒ වගේම අර කූඩාරමයි හඳයි පොටෝ එක පස්ට ගති..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒ රූපයේ පූර්ණ ගෞරවය චතුර ලක්මාල් රතුවඩුට හිමිවිය යුතුයි...

      Delete
  8. හරි සුන්දර අත්දැකීමක්. ආස හිතෙනවා විස්තරයට. මේ වගේ දුෂ්කර ගමන් අපට යන්නට අමාරුයි ආස උනත්. ස්තුතියි ඔබේ අත්දැකීම් අපත් සමග බෙදා ගත්තාට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්හානි... අපට යන්න බැරි වුණත් කියල කියන්න එපා... හිත ඇත්නම් පත කුඩාද කියනවනේ...

      Delete
  9. Replies
    1. උඹල වගේ අය නිසයි මෙන්ඩයිය‍ේ ලියන්නේ...

      Delete
  10. උබ මගේ පරණ කෙමෙන්ට් වලට උත්තර දීලා නැහැ

    ReplyDelete
    Replies
    1. දුන්නා දුන්නා ඕං දුන්නා.....

      Delete
  11. ඔන්න උබගේ අලුත්ම සාමාජිකයා පොඩි මෙන්ඩා . කියවන්න තේරෙන්නේ නැහැ පිංතුර බලනවා

    ReplyDelete
    Replies
    1. නියමයි.... පොඩි මෙන්ඩගෙ පින්තූර මං බුකියේ දැක්කා... ස්වීට් කොලු පැටියා

      Delete
  12. මොන මගුලක්ද බන් අද ආය පාරක් ඇවිත් උබගේ පිංතුර ටික බැලුව. ගුරුකමක් වත් කරගන්න ඕනේ උබගේ ලිපි හය හත් සැරේ කියවන ඒක නවතත් ගන්න

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්ඩයියෙ ඔහොම කියන්න එපා යකූ... ඇඬෙනවා....
      ඉක්මණටම ඊළඟ ලිපිය ලියනවා අම්මපා.....

      Delete
  13. මල්ලි ඊලග ලිපියට කාලේ හරි

    ReplyDelete
    Replies
    1. ගමන් දෙකක විස්තර තියෙනවා මෙන්ඩයියෙ... හිටිං ඉක්මණටම දාන්නං

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මචන් උබලා ගියේ කොයි පෑත්තෙන්ද?

    ReplyDelete
    Replies
    1. පුස්සැල්ලාව පැත්තෙන්

      Delete
    2. පුස්සෑල්ලාව පෑත්තෙන් යන විදිය පොඩ්ඩක් කියපන්කො මචන්

      Delete
  16. අටම්පහියෙන් දැකලයි පාර හොයාගෙන ආවේ. ඉරිසියා හිතෙන තරම්. 'අනේ ඒත් තව මල් පිපියන්!'

    ReplyDelete