Thursday, January 12, 2023

සඳගලතැන්න හරහා රාජමලේ පාරෙන් සිරිපා

 

මේ වෙන කොට මම හය වතාවක් සමනල කන්ද තරණය කරල තියෙනව. එයින් තුන් වතාවක් තනියම. සාමාන්‍යයෙන් අවදානම් නැති ගමනක් මම තනියම ගියාට චම්මිගෙන් ප්‍රතිරෝධයක් නෑ. හැබැයි මේ පාර ගමන ලෑස්ති වෙද්දි කිව්ව පහුගිය ටිකේ පොඩි පොඩි අසනීප ගති තිබ්බ නිසා තව කවුරුහරි ගමනට සම්බන්ධ කර ගත්තා නම් හොඳයි නේද කියල. ඒ පාර මම ගමන යන දිනය දාල එන්න කැමති අය ඉන්නවද කියල පෝස්ට් එකක් දැම්ම. ඒකෙත් සුපුරුදු පරිදි මයෙ මිත්‍රප්‍රතිරූ'පකයො' ටික හාන්න ගත්ත පාර මං හෙමීට ඒක අකුළ ගත්ත 🤣

මීට කලින් කුරුවිට එරත්න පාරෙනුත්, පලාබද්දල රජ මාවතෙනුත් තනියම ගිහින් තිබුණු නිසා මට ඕන වුණා වෙනස් පාරකින් යන්න. ඒත් උඩමාලිබොඩ පාරත්, දෙහෙනකන්ද මුක්කුවත්ත පාරත් තනියම යන්න සුදුසු නැති නිසා ඒ දෙකම ලිස්ට් එකෙන් අයින් කලා. ඔය අතරෙ තමා මම දැක්කෙ සඳරුවන්ගෙ වීඩියෝ එකක් සඳගලතැන්න හරහා ගිහිපු. හරි ! මෙන්න මං යායුතුම පාර... 

මං තීරණය කළේ පහසු පාරකින් උඩට ගිහින් බහිද්දි සඳගලතැන්න හරහා රාජමලේ වතුයායට එන්න. මොකද උදේට මස්කෙළියට එන්න මොකක් හරි වාහනයක් හොයා ගන්න පුළුවන් කියලා හිතුණ නිසා. ඉතිං දහවෙනිදා උදේ මම කොළඹින් හැටන් බස් එකක නැගිලා ශ්‍රීපාදය බලා පිටත් වුණා.

නල්ලතන්නිය හරහා කරපු ඇසෙන්ඩින් එකේ විස්තර මම කියන්න යන්නෙ නෑ. මොකද ගොඩක් අය ගිහිපු පාරක් වගේම කියන්න ලොකු විස්තරයක් නෑ ඒ පාරෙ. විශේෂ දෙයක් හැටියට මම දැක්කෙ බොහොම සීමිත පිරිසක් සංචරණයේ යෙදීම. මේ පාරෙ මෙහෙම නම් රත්නපුර කුරුවිට පාරවල් වල කවුරුත් නැතුව ඇති කියල මට හිතුණ. ඒ එක්කම කඩවල් වලින් වෑහුණ කුණුරස සංගීතය ඉතා අඩුයි මේ පාර. ඒ වෙනුවට තැනින් තැන හයි කරපු ලවුඩ්ස්පීකර් වලින් බුදු ගුණ ගී එහෙම ඇහුණ. ඒකත් නොතිබුණා නම් හොඳයි හැබැයි. 

අතරමග

උඩමළුවෙත් වෙනදා තරම් සෙනගක් හිටියෙ නෑ. සැනසිල්ලේ ටික වෙලාවක් ඉඳගෙන ඉන්නත් පුළුවන් වුණා. ගාණ්ඨාරෙත් හය පාරක් ගහලා විශ්‍රාම ශාලාවෙන් ටිකක් හාන්සි වුණා. පාන්දර දෙක තුන වෙද්දි පිරිස ටිකක් වැඩි වුණා. ඒ එක්කම සීතල දරා ගන්න බැරි තරම්.

උදේම ඉර පායන හැටි බැලුවා. ඒ එක්කම අවට කඳු ටික ක්‍රමයෙන් ආලෝකවත් වෙමින් දර්ශනය වෙන්නෙ හීනයක් වාගෙ. 

ඉර සේවය

ඊට පස්සෙ හැටන් පාරෙ මහගිරි දඹය බැහැලා රාජමලේ පාරට හැරෙන තැනට ආවා. මහගිරි දඹයෙ අත්වැට පටන් ගන්න තැනම කැලය ඇතුළට දිවෙන පුංචි අඩි පාරක් ඒක.

මේ අඩි පාරෙ සෑහෙන දුරක් දිවෙන්නෙ කරක් උසට වැවුණ නෙළු ගාලක් මැද්දෙන්.

පාරේ ආරම්භක ස්ථානය 

 ඒ නිසා තරමක අඳුරක් පවතිනවා. තැනක දෙකක නෙළු පඳුරු ඈත් වෙන තැන්වලින් හරි අපූරු දර්ශන මැවෙනවා. ඒක නම් වචනයෙන් කියන්න බැරි තරම් සුන්දරයි. 

නෙළු ගාල මැදින්

අතරමැදින් සොඳුරු දසුන්

ඊට පස්සෙ ඔබ ඇතුළු වෙන්නෙ නොඉඳුල් වලාකුළු වනාන්තරයක් තුළට. තැනින් තැන පෙඳ පාසි හෙවුණ අතු ඉති සහිත නූස් ගස්. සුරංගනා ලෝකයක් වාගෙ දර්ශනයක් මවන්නෙ.අතරමැද පිරිසිදු වතුර සහිත පුංචි දියපාරක් තියනවා. බොන්න සුදුසු වතුර.

මුළු පාරම අපහසුවක් නැතුව සොයා ගන්න පුළුවන්. මෙහෙම ටික දුරක් එද්දි පුංචි තැනිතලාවක් මුණ ගැහෙනවා. ඒ තමයි සුප්‍රකට සඳගලතැන්න 

සඳගලතැන්නට පෙනෙන සමනල පර්වතය 

මේ තැන්නට ශ්‍රීපාදයේ ඉතා මනහර දර්ශනයක් පෙනෙනවා.

අතරමැද මුණ ගැහුණු කොටි වසුරු හිතට ගෙනාවේ මද බියක්. ඒ නිසා මම වැඩිපුර ප්‍රමාද නොවී ඉක්මණටම එතැනින් පිටත් වුණා.

කොන්ක්‍රීට් පාරෙන් හැරෙන තැන

ගමන අවසාන වන්නේ මරේ වතුයායේ රාජමලේ කොටසින්. මගේ වාසනාවට වත්තෙන් මස්කෙළියට යන බස් එක තිබුණා.

වත්තේ බස් එක

 ඒකට ටිකක් වෙලාව තිබුණු නිසා බස් එකේ ඩ්‍රයිවර් රවී මට තේ එකක් බොන්න ගෙදරට කතා කලා. රවීගෙ පුංචි පුත්‍රයා එක්ක සෙල්ෆියක් ගහන්න හම්බ වුණේ ඒ වෙලාවෙ.

බස් එකේ වීදුරුවෙන් පෙනෙන දසුන

රවීලා හරි අව්‍යාජ අහිංසක මිනිස්සු. අතිදුෂ්කර වතුපාරක බම්පි රයිඩ් එකකට පස්සෙ බස් එක නල්ලතන්නිය පාරට ආවෙ. මස්කෙළියෙන් හැටන් වෙතත් එතැනින් කොළඹ බස් එකේ කඩුවෙලටත් ඇවිත්, අධිවේගී මාර්ගයේ බස් එකක මම අන්තිමේ ගෙදර ආව. 

මේ පාරෙ යන්න කවුරුහරි හිතනවා නම් මේ ටික කල්පනා කරන්න.

1. රාත්‍රී ගමන් නුසුදුසුයි. වනගත අප්‍රකට මගක් නිසා විදුලිබලය නෑ.

2. ඔබ සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් සිටිය යුතුයි. උදව්වට කිසිවෙක්ම නෑ. මම පහළට එනතුරුම කිසිම කෙනෙක් මුණ ගැහුණේ නෑ.

3. මස්කෙළියෙන් රාජමලේට එන්න නිතරම බස් නෑ. පුදුකාඩු සිට ත්‍රීවීලර් එකක එන්න පුළුවන්.

4. කොටියා සහ වල් ඌරා ගැවසෙන පෙදෙසක්. කල්පනාවෙන්.. 

5.සඳගලතැන්නෙ කෑම්පින් කරන්න හිතන්න එපා. මේක අධිරක්ෂිතයක්

16 comments:

  1. විස්තර මදි ඒත් ඉතිං උන්න හැටියට මළා මදැයි කිවුවලු.

    ගිය අවුරුද්දෙ මම අවුරුදු 16 කට විතර පස්සෙ නල්ලතන්නිය පාරෙන් ගියෙ. එදානං මාර සෙනගක් හිටිය. අපි තව පැයක් පරක්කු උනානං උඩට ගිහිල්ල හමාරයි.

    ඔය කැළෑ පාරවල් වලින් යන උං තව එකෙකුට යන්න ඒව ඉතුරු කලොත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. නල්ලතන්නිය පාරෙ සාමාන්‍යයෙන් සෙනග. දැන් දැන් කැලෑ පාරටත් කෙළවී ගෙන ඒන පාටයි. මං දැක්ක තැන්නෙ කෑම්පින් කරපු ලකුණු

      Delete
  2. යන්න හිතෙනවා විස්තර ඇහුවම. ලබන මාසේ හැටං වලින් යන්න ඉන්න එකේ එන ගමන් රාජමලෙන් බහිනවා. තව විස්තර පස්සේ අහන්නං. ජය

    ReplyDelete
    Replies
    1. ‘ රාජමලේදී විය නන්නත්තාර ‘ කියල පෝස්ට් එකක් වැටෙයි නේද ඊට පස්සෙ.

      Delete
    2. @දේශකයා - එළ. ඒ් පාර බහින්න තමා සුදුසු. ස්ටීප් එක වැඩියි නගින්න.
      @ප්‍රසා - රාජමලේදී අහිමි විය ජොකා

      Delete
  3. කලකින් ඔබ ලියන්නට පටන් ගෙන! සතුටුයි!

    ReplyDelete
  4. මේ විස්තරේ නම් වටිනව පොඩි අයියෙ .👌❤️😍 රත්නපුර ඉදලත් යන්න බැරි උන තැනක්.🥺

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි. රත්නපුර පාර ටිකක් දුෂ්කරයි හැබැයි

      Delete
  5. ලියකො දිගට ම බ්ලොග් එක...

    ආාාා වැරදුණා. මාව මෙන්ෂන් කරල තිබ්බෙ නෑ. ඒ හින්දා මං කමෙන්ට් කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව දැන් ලියන්න කරුණු නෑ
      මොකද දැන් ට්‍රැවල් කරන්නෙ නෑ නෙව.
      ආහ්... ඩ්‍රැකී මෙන්ෂන් නොකලාට සමාව බජනය කළ මැනැවි

      Delete
  6. කමෙන්ට් එක ඇනෝ වැටුනට මේ ඔරීම ජිනල් තට්ටයා ලියන්නේ. එදා වගේම අදත් ඉතාම සුන්දර ප්‍රදේශයක් ගැන, ගමන්ක් ගැන ලිපියක්! හැබැයි ටිකක් හදිස්සියෙන් (ඇපෙන් බේරෙන්න ලිව්ව වගක් පේන්නේ මට විතරමද) ලියපු බවක් පේනවා.හැමදාමත් වගේම ඔබේ කාචයේ සටහ්න් හරි ඉහලයි. තව පිංතූරත් ටිකක් තිබ්බානං! කොහොම උනත් ඔබ ගිහිං තියෙන්නේ අපේ teepee the camapsite එක ඉස්සරහින්. කොහොම වෙතත් ආපහු ලියන්න පටන් ගත්තු එක නම් සුපිරි. දැන් නොනවත්වාම ලියන්න. සුභ දවසක්! Thattayagekolama.bkogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියණ්ඩි
      ඇත්තටම කලබලේට ලියාපු එකක් තමා
      හක්බෙල්ලාවක දිහාවෙන් යද්දි බෙල්ල එළියට දාගෙන ගියේ
      වාහනේ දැක්කෙ නෑ නෙව

      Delete
  7. කියවන්න පටන් ගත්තෙ නෑ තවම ..කමෙන්ට් පස්සේ

    ReplyDelete