Wednesday, April 25, 2018

පරණ කාර්, රෝදපුටු සමග සඳතැන්නේ චාරිකාව - Old Wagon Tours - Moonplains Expedition

සොබා රූ සාමාන්‍යයෙන් පවුලේ චාරිකා ගැන ලියා නැහැ. නමුත් අද සොබා රූ ලියන්නේ පවුලේ සැමටම යන්නට පුළුවන් සැහැල්ලු චාරිකාවක් ගැනයි. පසුගිය මාර්තු මාසයේ අන්තිම දින දෙකේදී තමයි මම මගේ පවුලේ උදවිය (මමත්, බිරිඳත් අවුරුදු පහක සහ එකක කුඩා පුතුන් දෙදෙනාත්) මේ චාරිකාව ගියේ. සුපුරුදු පරිදි මේ සඳහාත් අපි යොදා ගත්තේ අපේ 1980 වර්ෂයේ නිෂ්පාදිත (මටත් වඩා වයස) ලාන්සර් වැගන් 1400EL මෝටර් රථයයි.
සාමාන්‍යයෙන් නුවරඑළි යන්නට අපි යොදා ගන්නා මාර්ගයන්ගෙන් බැහැරව වඩාත් ග්‍රාමීය පෙදෙස් හරහා යන්නට මෙවර අපි තීරණය කළා. ඒ අනුව හික්කඩුවේ සිට මාතරට අධිවේගී මාර්ගයේ පැමිණි අපි එතැන් සිට තිහගොඩ, වළස්මුල්ල, මිද්දෙනිය හරහා ඇඹිලිපිටියට පැමිණියා. ඇඹිලිපිටියෙන් මොරකැටිය, කිරිඉබ්බන්ආර හරහා අතිශය සුන්දර මාවතක් තණමල්විල දක්වා දිව යනවා. මේ ඒ මාර්ගයේ හමුවුණු සුන්දර ස්ථානයක්.
නෙළුම්වැව
මේ සුන්දරත්වයන් උපරිමයෙන් විඳිමින් තණමල්විලෙන් ඇල්ල-වැල්ලවාය පාර ඔස්සේ අපි වැලිමඩට ආවා. අපේ පළමුවැනි අරමුණ වුණේ මුහුණුපොත ඔස්සේ හඳුනාගත් වැලිමඩ, ලද්දුම පෙදෙසේ වෙසෙන උපතින්ම ආබාධිත පුංචි දරුවෙකුට රෝදපුටුවක් පරිත්‍යාග කිරීම. මා සමග තවත් මිතුරන් දෙදෙනක් ඊට මූල්‍ය දායකත්වය සැපයුවා. මගේ රථයේ ඩිකිය පිරෙන්නට රෝදපුටුවත් තවත් අපේ ලට්ටලොට්ටත් පිරී තිබුණා. ගමනේ පළමුවැනි අභියෝගයට අපි මුහුණ දුන්නේ මෙහිදීයි. ඉතා පටු පාරක් ඔස්සේ කන්දක් මුදුනට විහිදුණු පාරකයි අපට යන්නට සිදුවුණේ. ගම්වාසීන්ට අනුව ඒ පාරේ ලොරිත් යන බව කී නිසා මම දෙවරක් නොහිතා ගමන් කළත් කන්ද මුදුනෙන් පාර අවසන් වුණේ රථය හරවා ගන්නටත් තැනක් ඉතිරි නොකරමින්. වෙනත් විකල්පයක් නැති තැන දරුවන් හා බිරිඳ බස්සවා මුළු කන්දම ආපස්සට එන්නට මට සිද්ද වුණා. ඉන් පසු කන්ද පාමුල සිට ඉතා අසීරුවෙන් රෝද පුටුව ඔසවා ගෙන එම දරුවාගේ නිවසට යන්නටයි අපට සිද්ද වුණේ. කොහොම වුණත් ඒ අසරණ දරුවාට රෝදපුටුව ලබාදුන් පසු මෙතෙක් අප විඳි වෙහෙස සිඳී ගියා.
අහිංසක හීන..
අප ඉන්පසු පිටත් වුණේ කෙළින්ම නුවරඑළියටයි. ග්‍රෙගරි වැව අසබඩ කුඩා හෝටලයක නවාතැන් ගත් අපි ඊට පසුවදා සඳතැන්න බලා පිටත් වුණා.
ග්‍රෙගරි වැවයි හඳපානයි...
සඳතැන්න පාරිසරික කලාපය පිහිටා තියෙන්නේ නුවරඑළියේ සිට ඉතා සුළු දුරකින්. නුවරඑළිය බදුල්ල පාරේ ග්‍රෙගරි වැව උද්‍යානය අවසන් වනවාත් සමගම මහගස්තොට හන්දිය හමු වෙනවා. එතැනින් වමට හැරී කිලෝමීටරයක් පමණ දුර ගමන් කළ විට මේ ඉතා සුන්දර පාරිසරික කලාපයට පිවිසිය හැකියි. 
එවක නුවරඑළියට බීජ අර්තාපල් සැපයූ ගොවිපොළ වන මෙය දැන් පාරිසරික සංචරණ කලාපයක් ලෙස සංවර්ධනය කර තිබෙනවා.
සඳතැන්න
මෙහි ඇතුළත සංචරණය සඳහා ඔබ සෆාරි ජීප් රථයක සේවාව ලබා ගත යුතුයි. පැය දෙකකට ආසන්න සංචරණයක් සඳහා එක් රථයකට රුපියල් දෙදහසක මුදලක් ගෙවන්නට සිදු වෙනවා. මා යන වේලාවේම තවත් දරුවන් තිදෙනෙකු සමග තවත් පවුලක් පැමිණ සිටි නිසා අප දෙගොල්ලනටම එක් ජීප් රථයක ගමන් කර වියදම බෙදා ගන්නට හැකි වුණා.
කුළු මීමුන්
උදෑසනම මේ උද්‍යානයට ඇතුළු වන්නන්ට කුරුලු විශේෂ ගණනාවක් දැක ගන්නට හැකියි. මේ උද්‍යානයේ අතරමග රථයෙන් බහින්නට අවසර නෑ. උද්‍යානයේ ඉහළටම ගමන් කළ විට ඉදිකර ඇති නැරඹුම් ස්ථානයේ ඔබට ජීප් රථයෙන් බසින්නට පුළුවනි. එතැන් සිට මධ්‍යම කඳුකරයේ අතිශය චමත්කාර දර්ශනයක් කුරුලු ඇසින් නරඹන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.
හක්ගල කඳුපන්තිය
අංශක 360ක දර්ශනයක් දක්නට ලැබෙන විරල අවස්ථාවක් මෙතනදී ඔබට අත්දකින්නට පුළුවනි. එමෙන්ම තැන්න කෙළවර මොහොර බෑවුමක් මගින් නිර්මිත පුංචි ලෝකාන්තයකුත් මෙහි තිබෙනවා.
පුංචි ලෝකාන්තයෙන් පහළ..
කඳුකර වළාකුළු වනාන්තර සමීපව නිරීක්ෂණය කරන්නටත් මෙහිදී අවස්ථාව ලැබෙනවා. ජීප් රථයේ රියදුරා පැවසූ පරිදි මෙහි කඳුකර කොටින්, කුළු මීවන්, ගෝනුන්, වළි කුකුළන් පමණක් නොවෙයි මෑතක සිට මොනරුන්ද දක්නට ලැබෙනවා.
කඳුකර වළාකුළු වනාන්තර
දීර්ඝ ගමනක් නිමාකර අපි නැවත හපුතලේ, බොරලන්ද හරහා බෙරගලට පැමිණියා. ඉන්පසුව පඹහින්න හන්දියෙන් හැරී සමනලවැව ජලාශයේ කාන්දුව සිදුවන තැනින් දියනා ගත්තා. මෙය පරිස්සමෙන් කළයුතු දෙයක් වන්නේ ආසන්න දිනකදී මේ තටාකයේ ගිලී තරුණයෙක් මිය ගොස් තිබුණු නිසා. රත්නපුර පානදුර පාරෙන් අධිවේගී මාර්ගයට පිවිස හවස් වෙද්දී ගෙදර එන්නට අපට හැකිවුණා. වයස අවුරුදු 38ක් වුණත් ගමන පුරාම කිසිදු කරදරයක් නැතිව කඳු පල්ලම් දිගේ පරිස්සමට අප රැගෙන යන්නට අපේ පැරණි වැගන් රිය සමත් වුණා.
ප.ලි.
තඩියා මහතාගේ ඉල්ලීම පරිදි ඕං වාහනේ පින්තූර ටිකකුත් ඇලෙව්වා

18 comments:

  1. ඉතිං මනුස්සයො උඩට ගිය කාර් එක ආපහු පහලට ඇවිල්ල රෝද පුටුව උස්සගෙන ගියේ ඇයි. ඒක උඩදිම බාන්න තිබ්බනෙ. මොනව උනත් අලුත් සැමන් ටිං වලට වැඩිය ඔය පරන වංඩි කොහොමත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඒ ගිහිපු පාර වැරදියි බං... ඒ මිනිස්සුන්ගෙ ගෙවල් පාරෙ වාහන යන්න බෑ...

      Delete
    2. මට කතාවේ ඉතුරු ටික කියවන්න බැරි උනා මේ ප්‍රශ්නේ අහන්නේ නැතුව.. හාහ් හාහ් හාහ්.. දැන් ආපහු උඩට ගිහින් නිදහසේ කියෝගෙන එන්න පුළුවන්..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඇඹිලිපිටිය තණමල්විල පාරේ නම් ගිහින් තියෙනවා.. ඒත් කාලේ ගැන හිතල දැන් යන්නේ මත්තල පාරේ.. මේ අවුරුදු නිවාඩුව නම් ෆුල් බිසී උනා.. බදුල්ලට ළඟ වැඩි නිසාද මංදා මං ඔතනට ගිහින් නැත්තේ.. හිහි.. මේ ලඟදි ඉන්දික (සිංහයා) කියපු කතාවක් මතක් උනා.. අපි හරියට සිරිමා බෝධිය පාමුල ඉන්න හිඟන්නෝ වගේලු.. අද කියක් හරි හොයාගෙන හෙටම වඳිනවා කියල අන්තිමේ නිකම්ම මැරිලා යනවා.. හිනා නෙවෙයි ඇඩුනා එකට නම්.. :)

    ReplyDelete
    Replies
    1. හම්මෝ බං මරු කතාව... මටත් ඇඬුණා ඕයි ඒකට නම්

      Delete
    2. /// අපි හරියට සිරිමා බෝධිය පාමුල ඉන්න හිඟන්නෝ වගේලු.. අද කියක් හරි හොයාගෙන හෙටම වඳිනවා කියල අන්තිමේ නිකම්ම මැරිලා යනවා.. හිනා නෙවෙයි ඇඩුනා එකට නම්.. :) ///

      සිරාවටම ඇඬෙන කතාවක් ඒක...
      ඒ එක්කම එහෙම වෙන්න ඉඩ තියෙන තැන් හොයල පිළියම් යෙදිය යුතුයි කියලත් හිතා ගත්තා... ;(

      Delete
    3. අනිවාර්යෙන් බං... මාත් පුළුපුළුවං හැටියට මැරිල යන්න කලින් දෙයක් කරන්න උත්සාහ කරනවා

      Delete
  4. පහුගිය දවසක මට බුත්ට්තල පැට්ටෙරියකට යන්න තිබුනා..කොහෙවත් එක්කරගෙන යන්නෙ නැහැ කියලා අඩන අපෙ ඩබලත් දගෙන ගියා..එනගමන් උඩවලවෙ පොඩි ජොඉය්න්ට් එකක නැවතුනා..අලින්ට කිරි ඩෙනවා බැලුවා..(උබට කතා කරේ)..යාලුවො දෙතුන් ඩෙනෙකුත් බ්ලාගෙන ආවා එනගමන්...මම ආසාවෙන් ඉන්නේ බෙරගල යන්න...ප්ලුවන් උනොත් උබලාගෙ ගෙදර කටියත් එකතු කරගෙන

    ReplyDelete
    Replies
    1. අාහ්... උඩවලවේ ඇත්අතුරු සෙවණට ගියාද? මරු...
      අඩේ අපි යංකෝ බං ට්‍රිප් එකක් කට්ටිය සෙට් වෙලා

      Delete
  5. නියමයි බන්....... කාර් එකේ පින්තූර නොදැමීම ගැන දැඩි විරෝදය...

    ReplyDelete
    Replies
    1. තඩියා මහතා සාදරයෙන් මේ පැත්තට පිළිගන්නවා...
      ඕං පින්තූර ටිකක් ඇලෙව්වා

      Delete
    2. අන්න මරු..... තෑන්ක්ස් ආ....

      Delete
  6. මම ඔය කියන පොට් එකට ගිහිල්ල නැහැනේ බං...
    වහාම එහෙ යන්න ඕනේ කියල හිතා ගත්තා...

    /// සුපුරුදු පරිදි මේ සඳහාත් අපි යොදා ගත්තේ අපේ 1980 වර්ෂයේ නිෂ්පාදිත (මටත් වඩා වයස) ලාන්සර් වැගන් 1400EL මෝටර් රථයයි. ///
    අපේ පංති වල හිටපු කාර් එකක්... ;)

    ReplyDelete
    Replies
    1. අඩේ... වහාම පලයං... යන්න හරිම ලේසියි වගේම හරිම ලස්සන තැනක්
      බොලෑ පන්ති වල හිටපු කාර් එකක් කියන්නේ... බෝ මට වඩා වයසයි නෙව හැක්...

      Delete
  7. ආ ඔයාලා මේ සැරේ ගිහින් තියෙන්නේ අපේ ගම් පැත්තෙන්නේ. ඩිල්ෂාන් උඩවලවේ ඇත් අතුරු සෙවන ගැනත් ලියලා තිබුණ. ඔයාලා උඩවලවේ පාක් එකේ යනවනම් කියන්න. මට උදවු කරන්න පුළුවනි. ඇත්තම කියනවනම් මට ඔයාලා වෙනුවෙන් සෆාරි ජීප් රථයක් ලබා දෙන්න පුළුවනි. මම නම් විසි සැරයකට වඩා උඩවලවේ පාක් ඒකේ ගිහින් තියනවා. මම හිතනවා ඔබ ගියොත් ලස්සන බ්ලොග් එකකුත් ලියයි කියලා. එමනිසා ඔබට මම උදවු කරන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි... අනිවාර්යයෙන්ම එනදාක කියන්නම්

      Delete