Saturday, February 16, 2013

යතුරුපැදි චාරිකා අංක හතර: හෝර්ටන් තැන්න


මේ චාරිකා සටහනේ සෙසු කොටස් මෙතනින් බලන්න.
1 කොටස 
2 කොටස 
3 කොටස 
හෝර්ටන් තැන්නට ඇතුළු වෙනකොටම අපි දැක්කේ සුබදායක දර්ශන නම් නෙවෙයි. බැලු බැලූ හැම තැනම ආක්‍රමණික ශාක වර්ග පිරිලා. කලින් පෝස්ට් එකේ මම ඒවගේ ශාක වර්ග දෙකක් සඳහන් කළා. මේ තියෙන්නෙත් ඒ වගේ ආක්‍රමණික ශාකයක්.
වරල්ල - Pteridium
මේ ශාකය හැඳින්වෙන්නේ 'වරල්ල' (Pteridium) යන නමින්. අපිට හුරුපුරුදු මීවන ශාකයක් වගේ පෙනුණත් මේක ඊට වඩා හුඟක් ඉක්මණට පැතිරී යන පර්ණාංග විශේෂයක්. වනෝද්‍යානයේ ටිකට් පරීක්ෂා කරන ස්ථානය අවට මේ ශාක විශාල පැතිරීමක් දකින්න තිබුණා. 
මේ අසුබ දර්ශන මැදින් වුණත් හෝර්ටන් තැන්න තමන්ගේ සුන්දර රූපකාය ඇතැම් විට මීදුම් සළුවෙන් වසා ගනිමින්ද ඇතැම් විට යන්තම් නිරාවරණය කරමින්ද අපිට පෙන්නුවා. අඩිපාර දිගේ හෙමින් ඇවිද ගිය අපි රතු පාලම ළඟ මදක් නතර වුණා.
මිරිදිය කකුළු විශේෂයක් 
මේ පුංචි මිරිදිය කකුළු විශේෂය අපිට දකින්න ලැබුනේ රතුපාලම අසල කුඩා දියදහර දෙස විමසිලිමත්ව බැලූ නිසයි.
HSBC බැංකුව විසින් හෝර්ටන් තැන්න පුරාම දැනුවත් කිරීමේ පුවරු සවි කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඒවායේ සඳහන් කරුණු ඉතාමත් ප්‍රයෝජනවත්. හෝර්ටන් තැන්නේ දියදහරා වලට හඳුන්වා දෙනු ලැබූ රේන්බෝ ට්‍රවුට් මත්ස්‍යයා ගැන මා දැන ගත්තේ එවන් පුවරුවකට පින් සිද්ද වෙන්නටයි. ඊට අනුව මේ දියදහරා වලට එම මත්ස්‍යයා හඳුන්වාදෙනු ලැබ ඇත්තේ Ceylon Fishing Club නමැති සංගමය විසින් විනෝදයට මාළු බෑම සඳහායි. නමුත් අද වන විට හෝර්ටන් තැන්නේ දියදහරා පුරා විසිර ගිය ට්‍රවුට් මාළුවා දේශීය කූනිස්සන් විශේෂ හෝර්ටන් තැන්නෙන් අතුගා දමන්නට සමත් වී සිටිනවා. 
ට්‍රවුට් මත්ස්‍යයාගේ විස්තර...
මෙවන් පරිසරයක චාරිකාවක් සිදුකරද්දී ඉතා විමසිලිමත්ව ගමන් කිරීම අත්‍යවශ්‍යයි. නැත්නම් බොහෝ වැදගත් කුඩා දේවල් ඔබ අතින් මග හැරෙන්නට පුළුවනි. මේ බලන්න මේ පින්තූරය...
ලයිකන...
මේ තියෙන්නේ ගලක් මත වැවුණු ලයිකනයක්. ඇල්ගී හා දිලීරයක සහජීවී සංගමයක් ලයිකනයක් ලෙසින් හැඳින්වෙනවා. ලයිකන වල ඇති තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ඒවා පාරිසරික තත්ත්වය මැනීමේ දර්ශකයක් ලෙස යොදා ගැනීමයි.  එනම් යම් පරිසරයක ලයිකන වැඩී නැතිනම් එම පරිසරයේ වායු දූෂණය ඉහළ බවයි සැලකෙන්නේ.
මෙහෙම මදක් ඉදිරියට යද්දී අපි තවත් සුවිශේෂ සත්ත්වයෙක් දැක ගත්තා.
කළු කොපුල් කටුස්සා - Calotes nigrilabris
කළු කොපුල් කටුස්සා - Black-cheek Lizard (Calotes nigrilabris Peters) නමින් හැඳින්වෙන මෙයා අපිටම ආවේණික කටුසු විශේෂයක්. ඉහළ කඳුකරයේ ජීවත් වෙන මෙයා හෝර්ටන් තැන්නේ සුලබව දැකබලා ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවට ආවේනික ශාක වර්ග රාශියක් විමසිල්ලෙන් බැලුවොත් ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නෙත් අපිටම ආවේනික ශාකයක්...
කුරු උණ - Chimonobambusa densifolia
මේ ශාකය හැඳින්වෙන්නේ කුරු උණ-Dwarf bamboo (Chimonobambusa densifolia) යන නමින්. ඉහළ කඳුකර ප්‍රදේශ වල ව්‍යාප්ත වී ඇති මේ ශාකයේ හොඳ ගහනයක් චිමිනි පොකුණ ආශ්‍රිතව අපි නිරීක්ෂණය කළා.
චිමිනි පොකුණ 
මේ තියෙන්නේ චිමිනි පොකුණ. මේක වටේම කුරු උණ ශාක පිරිලා තිබුණා. ඔය ඉදිරිපසින් පෙනෙන්නේ මහා රත්මල් ශාකයක්. මෙන්න මහරත්මල් වල සමීප රූපයක්.
මහරත්මල්-Rhodrodendron arboreum
මධ්‍යම පළාත් පුෂ්පය ලෙසද නම් කර ඇති මහරත්මල (Rhodrodendron arboreum) ඒක දේශීය ශාකයක්. ඉහළ කඳුකර ප්‍රදේශ වල පමණක් දැකගත හැකි මෙම ශාකය මලින් බරවූ විට ඉතාම මනස්කාන්ත දර්ශනයක් මවනවා. 
කුඩා තණ පඳුරු අතර සැඟවී තිබුණු හුරුපුරුදු සුන්දර ශාකයක් දැකලා අපි ටිකක් නතර වුණා. මෙයා මීට කලින් සිංහරාජ අඩවියේ ලංකාගම පාර අයිනක ඉඳලත් මට හම්බ වුණු කෙනෙක්. මේ ඉන්නේ එයා...
නිල්බිනර - Exacum trinervium
මේ නිල්බිනර (Exacum trinervium) ශාකයක්. මල නම් ටිකක් පරවෙලා. ලංකාවට ආවේනික අතිශය සුන්දර පැලෑටියක්. බොහෝ විදේශිකයන්ගේ කෑදර බැල්මට ලක්වුණු මෙම ශාකය ජාන හොරුන්ගෙන් බේරා ගැනීම විශාල අභියෝගයක්.
සුප්‍රකට ලෝකාන්තය දක්වා දිවෙන ඛාදනය වුණු අඩිපාරේදී තමයි මට මේ ඒකදේශීය සමනලයා මුණ ගැහුනේ.
ලංකා කොටිතියා - Ceylon tiger
තරමක් දුර්ලභ විශේෂයක් වන මෙයා ලංකා කොටිතියා - Ceylon tiger (Parantica taprobana) නමින් හැඳින්වෙනවා. මෙයා ගැන මම මීට කලින් ලියූ සටහන මෙතනින් බලන්න. 
මේ විදිහට ඉතා සෙමින් අවට බල බලා ගිය අපි ලෝකාන්තයත් දැක බලා ගත්තා.
මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ වටිනා පරිසර පද්ධතියට එල්ල වුණු තර්ජන ගණනාවක් අපි මේ චාරිකාවේදී නිරීක්ෂණය කළා. ආක්‍රමණික ශාක වලින් හා සත්ත්ව විශේෂ වලින් එල්ල වුණු තර්ජනය ඉන් ප්‍රධානයි. ඒවගේම සංචාරකයන් සිදුකරන නොමනා ක්‍රියා නිසා ඇති වන පාරිසරික ගැටලුත් සුළුපටු නැහැ. තමන්ට නියමිත වනමං(Trails) වල පමණක් ගමන් කරන්න කියලා කොයිතරම් අවවාද කලත් බොහෝ  අය නියමිත මගින් පිට පැන තැන්න හරහා ගමන් කරනවා. මේ බලන්න...
හරිමග...
ඔය පින්තූරේ කහපාටින් පෙනෙන්නේ නියමිත මාර්ගය (ඔය පොඩි දරුවා යනමග නිවැරදියි.) ඊට ඉහළින් දුඹුරු පාටින් පෙනෙන්නේ සංචාරකයන් විසින් බොහෝ වාරයක් තිස්සේ ගමන් කිරීමෙන් සැදුණු පාරවල් තුනක්. ඉතිං අර නිල්බිනර වගේ පුංචි පැළෑටි ඉතිරි වෙයිද?
හෝර්ටන් තැන්නේ සුවිශේෂත්වයත්, එම පරිසර පද්ධතිය තුළ හැසිරිය යුතු ආකාරයත් පුන පුනා කීම අනවශ්‍ය දෙයක්. වගකීමෙන් හා වගවීමෙන් හැසිරීම ඔබට බාරයි.....
මෝටර් සයිකල් චාරිකාවේ අවසාන කොටසින් රක්වාන සූරියකන්ද වංගු දහය පාරේ සුන්දරත්වය බලාපොරොත්තු වන්න.

කාරුණික නිවේදනයයි: මේ සමග පලවන සියලු ඡායාරූප මා හා මගේ බිරිඳ විසින් ගන්නා ලද ඒවාය. කොහෙන්වත් උපුටා ගත් එකදු ඡායාරූපයක් මගේ බ්ලොග් එකේ කිසිදු තැනක නැත. යම් අයෙකු කිසියම් උවමනාවකට ඡායාරූපයක් උපුටා ගත්තාට මගේ කිසිම අමනාපයක්  නැත. ඇත්ත වශයෙන්ම එය මගේ මහත් සතුටටද හේතු වෙයි. නමුත් මේ ඡායාරූප වල මා ගසා ඇති හංවඩුව ඉවත් කිරීමෙන් වලකින්න.

20 comments:

  1. ෆොටෝ ටික වගේම සටහනත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා.. ඔයා ෆොටෝ එකක් හොඳයි කිව්වම මාර ෆිට් එකක් එනවා...

      Delete
  2. චිමිනි පොකුණ, එතැත තමා කෑම්ප් සයිඩ් තියෙන්නෙ. කූඩාරම් වල හිටි හැටි මතක් වෙනවා. ඉමර්ජන්සි ලයිට් වලින්. හරිම සුන්දරයි. ලංකාවේ 2හා 3 වැනියට උසම කදු පිහිටා ඇත්තෙ මෙහි. මම දෙකටම නැග්ගා. මේ කතා මාලාව කරගෙන යන්න මම ඒ වගතුග ඩිල්ශාන්ටම කියන්න ඉඩ හරින්නම්.

    වෙනදා වගේම ලස්සනට ඡායාරූපගත කරලා තියනවා. සුභපැතුම් සහෝ.

    ReplyDelete
    Replies
    1. කෑම්ප් සයිට් එක තියෙන්නේ චිමිනි පොකුණට ටිකක් උඩින්. ඔතන කූඩාරමක් ගහගෙන රැයක් ඉන්න එක මගේ හීනයක්. ඔයාගේ අත්දැකීම ලියන්න. විශේෂයෙන්ම කිරිගල්පොත්ත සහ තොටුපොල නැගපු විස්තර ලියන්න. මම ඔය තැන දෙකටම ගිහින් නෑ. ඒ විස්තර කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

      Delete
  3. එල පින්තූර ටික මලේ... විස්තරයත් ඒ වගේම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගාමිණි අයියේ..

      Delete
  4. මේකනම් අනිත් චාරිකා වලට වඩා වෙනස් එකක්.මමත් කැමතිම තැනක් තමයි හෝර්ටන් තැන්න

    ReplyDelete
    Replies
    1. හෝර්ටන්තැන්න හරි අපූරු ජෛව පාරිසරික පද්ධතියක් මලේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.

      Delete
  5. පින්තූර ටික ගොඩක් ලස්සනයි...විශේෂයෙන්ම අර මුලින්ම තියෙන ෆොටෝ එක. ඒ වගේම ඒත් එක්ක දාල තියෙන් විස්තරත් හරිම වැදගත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මම නිතරම උත්සාහ කරන්නේ පින්තූරයත් එක්ක නිවැරදි විස්තරයත් දෙන්න. දිගටම මේ පැත්තේ එන්න. තව හොඳ හොඳ දේවල් ලියන්න තියෙනවා.

      Delete
  6. නියමයි... ගොඩක් සුන්දරයි... දැනුවත් පැහැදිලි කිරීමත් කිරීමත් විශිෂ්ඨයි. මේ වගේ පාරිසරික චාරිකාවන් වැඩි වැඩියෙන් යන්න ලැබේවා...
    www.visithurumasun.blogspot.com

    ReplyDelete
  7. බොහොම ස්තූතියි මදුර. ඔයාගේ බ්ලොග් එක පැත්තේ ගොඩ වුණා. අපූරු මාතෘකාවක් ගැන ලියවෙන බ්ලොග් එකක්.

    ReplyDelete
  8. ලංකාවේ ඇවිදින්න නියම වාහනේ බයික් එක...ඔය අන්තිමට සඳහන් කරලා තියන සුරිය කන්ද රක්වාන පාර නම් මරු ...ලංකාවේ තියන ලස්සනම පාරවල් වලින් එකක්...
    http://sancharacamerawa.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඇත්ත. බයිසිකලේ යනකොට තියන නිදහස වෙන කිසිම වාහනේක නෑ. හැබැයි රජෝ පරිස්සමෙන් පදින්න වෙයි. රක්වාන සූරියකන්ද පාර දිගේ ආපහු ගාලු ආපු හැටි ඊළඟ ලිපියෙන් ලියන්නම්.

      Delete
  9. ෆොටෝ ටිකයි විස්තර ටිකයි ඔක්කොම නියමයි දිල්ෂාන්. මං කල්පනා කලේ අපේ මිනිස්සු ළඟ හිතල කර දේ වලින් මොන තරම් විනාශයක් කරනවා ද මේ පරිසරයට කියල. "රේන්බෝ ට්‍රවුට් මත්ස්‍යයා" ගෙනත් දැමීම නිසාම ඔය වෙලා තියන විනාශය ආයේ හදන්න පුළුවන් ඒවා නෙවෙයි නේ. ඒවා ගැන නම් කනගාටුවක් තමයි ඇති වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන. රේන්බෝ ට්‍රවුට්ව බෝ කරලා තියෙන්නේ සුදු ජාතිකයෝ. ඔය සැමුවෙල් බේකර් කියන පරසුද්දා හෝටන් තැන්නේ අලි 1500ක් මරලා තියෙනවාලු. එහෙව් වල් පරයෙකුගේ නමක් නොවැ අර හෝටන් තැන්නේ තියන ලස්සනම ඇල්ලට දාල තියෙන්නේ බේකර්ස් ඇල්ල කියලා.

      Delete
  10. කාලෙකින් හෝර්ටන් ගියේ නෑ . .මේ පින්තූර දැක්කාම මෙදා සැරේ නිවාඩුවේදි වත් යන්න තිබ්බා නම් කියලා හිතෙනවා.

    හරිම වටින සටහනක් . .ඒ වගේම මේ බ්ලොග් එකත් ගොඩක් වටින එකක් නිසා මගේ බ්ලොග් රෝලට එකතු කර ගන්නවා ඕන්.

    අනිත් ලිපි ටික හිමීට කියවන්නම් . .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා. දිගටම මේ පැත්තේ එන්න. මේ චාරිකා සටහනේ අන්තිම කොටස පුළුවන් තරම් ඉක්මනට දාන්නම්.

      Delete
  11. මොකද ඉතිරි ටික ප්‍රමාද?

    ReplyDelete
  12. මමත් ගිහින් තියෙනවා ඒත් මේ තරම් දේවල් දැක්කෙ නැහැ thank you

    ReplyDelete