ගිලන් වූ මිනිස් අපටත්, සුරතල් සතුන්ටත් ප්‍රතිකාර කෙරෙන වෛද්‍ය මධ්‍යස්ථාන අප ඕනෑතරම් දැක ඇත. එහෙත් හදිසි අනතුරු වලට භාජන වූ, රෝගීවූ, මව්ගෙන් මගහැරී අතරමං වූ අසරණ වනජීවීන්ට ප්‍රතිකාර කොට සුවපත් වූ පසු නැවත උන්ගේ සුපුරුදු වාසස්ථාන වෙත මුදාහරින "වනසත්ත්ව රෝහලක්" ගැන ඔබ අසා තිබේද? මේ අපූරු රෝහල පිහිටා ඇත්තේ ගාල්ල, හියාරේ "කොට්ටව කෝඹල" වන රක්ෂිතය ආශ්‍රිතවය. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මගින් පාලනය කෙරෙන මෙය ලංකාවේ ඇති ප්‍රථම හා එකම වනජීවී රෝහලයි. මෙම අපූරු රෝහල ගැන මගේ පළමු ලිපිය මෙතනින්.
|
ගාලු වනජීවී සංරක්ෂණ සංගම් මුලස්ථානය |
සර්පයන්, උකුස්සන්, බකමූණන්, විල්මුවන්, ඉත්තෑවන් ආදී සත්ත්ව විශේෂ ගණනාවක් මේ වන විට මෙම රෝහලින් ප්‍රතිකාර ලබන අතර මෙහි ප්‍රතිකාර ලබා සුවපත් වී ස්වභාවික පරිසරයට මුදාහැරුණු සත්ත්ව සංඛ්‍යාව ඉතා විශාලය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පූර්ණ මූල්‍ය සහයෝගය මත පවත්වා ගෙන යන මෙම රෝහල ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මුලිකත්වයෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.
|
ආදරය...රැකවරණය... |
"Back to wild" හෙවත් නැවත වනයට මුදාහැරිම මුලික පරමාර්ථ කොට ගෙන මෙහි වන සතුනට ප්‍රතිකාර කෙරේ. බල්ලන්ගේ ප්‍රහාරයන්ට ලක්වුණු විල්මුවන්, විදුලිසැර වැදුණු සර්ප උකුස්සන්, රිය අනතුරු වලට ලක්වුණු කොළ දිවියන් හා හඳුන් දිවියන්, නිවෙස් අසළ හමුවන පිඹුරන් හා වෙනත් සර්ප විශේෂ මෙම රෝහල වෙත බහුලව යොමුකෙරේ.
|
බ්‍රාහ්මණ උකුසු පැටියෙක්... |
වනජීවී රෝහල වෙත රෝගීන් ලැබෙන ප්‍රධාන ක්‍රම තුනකි. බෙහෙවින්ම හික්කඩුව වනජීවී කාර්යාලය හරහා මෙම රෝහලට සතුන් යොමුකෙරේ. ඇතැම් විට මහජනයා විසින් ලබාදෙන තොරතුරු අනුව වනජීවී සංරක්ෂණ සංගමයේ ස්වේච්ඡා නිලධාරීන් අදාළ ක්ෂේත්‍රයට ගොස් සතුන් රැගෙන එති. ඇතැම් විට මහජනයා විසින් සෘජුවම රෝහල වෙත සතුන් ලබාදෙති.
ප්‍රතිකාර ලබා සුවය ලබන සත්ත්වයෝ උන් අල්ලාගත් ප්‍රදේශයට වඩාත්ම ආසන්න ආරක්ෂිතම ප්‍රදේශයට (Closest and Safest)නැවත මුදා හැරෙති. ඉතා කුඩා පැටවුන් වශයෙන් ලැබෙන රෝගීන් එක්වරම මුදා නොහැරේ. මන්ද යත්, ළඟට ලැබෙන ආහාර පරිභෝජනයට විනා ආහාර සොයාගෙන කෑමට උන් හුරුවී නැති බැවිනි. එවිට උන් මුදාහැරීමට පෙර විශේෂ පුහුණුවක් ලබාදීම සිදුවේ.
|
පුහුණුව ලබන බ්‍රාහ්මණ උකුස්සෙක්... |
උදාහරණයක් ලෙස මුදාහැරීමට නියමිත ඉත්තෑවෙකු පළමුව විශාල කොටුවක් තුළ දමා ඌ කෑමට ප්‍රියකරන අල වර්ගයක් එහි කෙළවරක සඟවා තබනු ලැබේ. මෙසේ ක්‍රමයෙන් සඟවා ඇති ආහාර සොයාගෙන කෑහැකි ලෙස පුහුණුව ලද ඉත්තෑවා ඉන්පසු වඩාත් විශාල ප්‍රදේශයක කොටුකර එහි ඇති ස්වභාවික ආහාර සොයාගෙන ආහාරයට ගන්නා අයුරු නිරීක්ෂණය කෙරේ. මෙසේ පශු වෛද්‍යවරුන්ගේ හා සංගමයේ ස්වේච්ඡා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබන සත්ත්වයා ඉන්පසු පෙර සඳහන් පරිදි ආරක්‍ෂිත පරිසරයකට මුදා හැරේ.
|
ප්‍රවීණ පශු වෛද්‍යවරුන්ගේ සේවය... |
මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන දත් නැති රිළවාගේ කතාව සුවිශේෂ එකකි. කාගේ හෝ නිවසක හැදී වැඩුණු ඌ ක්‍රමයෙන් වැඩෙත්ම ප්‍රචණ්ඩකාරී වුයෙන් කොට්ටව ආශ්‍රිත කැලයට මුදාහැර තිබිණ. මිනිස් ඇසුරේ හැදී වැඩුණු එකෙකු වූ බැවින් මිනිසුන්ට කිසිදු බියක් නොදැක්වූ ඌ නිවාස වලට පනිමින්, මිනිසුන් සපාකමින් ඉතා ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත. වනජීවී සංරක්ෂණ සංගමයේ නිලධාරීන් විසින් අල්ලාගෙන එනවිටත් මැහුම් හතරක් දැමිය යුතු තුවාලයක් උගේ හිසේ තිබිණ. ඉදිරිපස දත්ද අහිමිව තිබුණේ මිනිස් ප්‍රහාරයක් නිසා වියයුතුය.
|
නොදනිමි කාගේ දෝසා...? |
මේ වනවිට තුවාල සුවපත්ව ඇතත් ප්‍රචණ්ඩකාරී හැසිරීමත්, ඉදිරිපස දත් නොමැතිව ආහාර ගැනීමේ අපහසුතා නිසාත් ඌ මුදාහැරීම කළ නොහැක්කකි. කාගේ හෝ වරදකින් අවසානයේ ඌට උරුමව ඇත්තේ සෙසු ජීවිත කාලය කූඩුවකට වී සිටින්නටය.
|
අම්මා නැති වුණාට අඩුවක් නෑ... |
වනජීවී රෝහලට ලැබෙන බොහෝ සතුන් ලැබෙන්නේ ඉතා අසාධ්‍ය තත්වයෙනි. බොහෝවිට රිය අනතුරු වලට භාජනය වුණු, විදුලි සැර වැදුණු සතුන් බේරාගැනීම ඉතා අසීරුය. කෙසේ නමුත් සත්ත්ව මරණ සංඛ්‍යාව අවම කරගනිමින් උන් බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දැරීමට මෙහි නිලධාරීහු වෙහෙසෙති.
|
තුවාල ලත් බකමූණෙක්... |
1993 වසරේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු එක්වී ඇරඹු ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මේවන විට වසර විස්සක් පුරා වනජීවී ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටුකොට ඇත. මෙම වනජීවී රෝහලට අමතරව ඔවුන් විසින් ඉටුකරනු ලබන සේවාවන් රාශියකි. නවීන පහසුකම් හා පුහුණු නිලධාරීන් සහිත ඔවුන්ගේ පර්යේෂණාගාරය මෙම ක්ෂේත්‍රය පිළිබඳව හදාරන ඕනෑම අයෙකු වෙනුවෙන් විවරව ඇත. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හා පර්යේෂකයන්ට අවශ්‍ය සියලු පහසුකම් මෙම සංගමය විසින් නොමිලේ සපයනු ලබයි. වනජීවී ක්ෂේත්‍රයට අදාළ වටිනා පොතපත සහිත ඉතා අනර්ඝ පුස්තකාලයක්ද ඔවුන් සතුව ඇත. එසේම පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට තම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ඉතා වටිනා අවස්ථාවක් මෙම සංගමය විසින් සපයා දී ඇත.
|
සැත්කමක් කරමින්.... |
රටේ ජෛවීය පද්ධතියේ අනාගතය වෙනුවෙන් දිවා රෑ නොබලා සතුන්ගේ කැත කුණු අතගාමින්, ඇතැම් විට උන්ගේ ප්‍රහාරයන්ට පවා ලක්වෙමින් අතිශය කැපවීමෙන් කටයුතු කරන ගාලු වනජීවී සංරක්ෂණ සංගමයේ නිලධාරීන් වෙත ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය.
දිල්ශාන් දිසානායක
ඡායාරූප: ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය
මිහිතුරු පාරිසරික සඟරාවේ 2013 අගෝස්තු කලාපයට මවිසින් යොමුකළ ලිපියක් ඇසුරෙනි.
මෙතන ගැන අහල තිබ්බත් වන සත්ව රෝහලක් තියනව කියල දැනගෙන හිටියෙ නැහැ....
ReplyDeleteවන සත්ත්ව රෝහල පටන් අරං තවම ලොකු කාලයක් නැහැ. පුළුවන් වෙලාවක ගිහින් බලන්න.
Deleteවැදගත් තැනක් වගේ... නියම රූප රාමු ටික... බොහොම ස්තූතියි ඔබට....
ReplyDeleteරූපරාමු නම් මගේ නෙවෙයි. සොබාරූ හංවඩුව ගහපු දෙක විතරයි මගේ.
Deleteඒක නම් බොහොම හොඳ වැඩක්. නැත්නම් ඉතින් උන් නිකම්ම මැරිල යන එකනෙ වෙන්නෙ. ඉත්තෑවො කොහොමද අල්ලන්නෙ. බෙහෙත් කරද්දි උනත් හරි අමාරු ඇති නෙ.
ReplyDeleteදුෂ්කරතා විඳගෙන මේ අය කරන මෙහෙවර නම් ප්‍රසංසනීයයි..
අර මුල් පෝස්ට් එකේ ඉන්න 'විල්මුවා' කියන්නෙ ඕලු මුවාම ද ?
Deleteඕලු මුවා(Barking deer) විල්මුවාට(Hog deer) වඩා වෙනස්. විල්මුවා ඉන්නේ දකුණු පළාතේ සීමිත ප්‍රදේශයක විතරයි.
Deleteවැදගත් කරුණු ගොඩාක්.
ReplyDeleteස්තූතියි අයියේ...
Deleteඅපූරු විස්තරයක්....
ReplyDeleteස්තූතියි තරු.
Deleteමලේ, මම මෙතනට දෙතුන් වරක් ගිහින් තියෙනවා. අනතුරට පත්වුනු වන සතුන් පුනරුත්ථාපනයට වගෙම වන සතුන් පිලිබඳ විද්‍යාත්මක තොරතුරු රැස් කරන්නත් එතනින් ලොකු මෙහෙයක් කෙරෙනවා.
ReplyDeleteඇත්තටම් ගාමිණි අයියේ, මධුරලා කරන්නේ ලොකු සේවයක්.
Deleteමේ වැඩ හැමෝටම කරන්න බෑ. මේවට පෙර පින් තියෙන්න ඕන. මේ නලධාරී මහත්වරු පෙර පින් කරපු අය දැන් කරන්නෙත් ඒකමයි. බලවතුන්ගෙ කාගෙවත් සහයෝගයක් උදව්වක් නම් නැතුව ඇති. උන්ට සත්තු කොහේ වටිනවද මිනිස්සුත් නොවටින කොට. කවුරු නැතත් එපි ඔබට හයියක් වෙන්නම් මෙහෙම හරි.
ReplyDeleteජයවේවා
ඇත්ත. සතුන්ගේ කැත කුණු ඇද ඇද මේවගේ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් ඇත්තටම සතුන්ට ආදරේ කරන අයට විතරයි.
Deleteවටිනා සද්කාර්යයක්... රජයෙන් අනුග්‍රහය ලැබිය යුතු තැනක්. සැමට පින් !!!
ReplyDeleteරජයෙන් නම් ලොකු අනුග්‍රහයක් ලැබෙන්නේ නෑ මං දන්නා තරමට. ස්තූතියි මේ පැත්තේ ඇවිත් දිරිමත් කළාට.
Deleteමේ ස්ථානයට සාමාන්‍ය ජනතාවට යන්න පුලුවන්ද?
ReplyDeleteපුළුවන්. නමුත් ඔවුනට බාධා නොවන ලෙස හැසිරිය යුතුයි.
Delete