Thursday, February 7, 2013

යතුරුපැදි චාරිකා - නුවරඑළිය අංක 3

මේ ලිපි මාලාවේ පළමු කොටස මෙතනිනුත්,
දෙවැනි කොටස මෙතනිනුත් බලන්න.
පසුදා උදෑසනින්ම අවදි වුණු අපි දෙන්නා මුලින්ම ගියේ නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි අපේ ප්‍රියතම වෙජිටේරියන් හෝටලය වන ශ්‍රී අම්බාල්ස් එකට. බඩ පිරෙන්න තෝසේ, වඩේ වලින් සප්පායම් වුණු අපි  වඩේ කීපයක් පාර්සල් කරගත්තා. අපි ළඟ තිබුණු පුංචි උණුවතුර බෝතලේ වේටර්ට දුන්නු මම "මල්ලි තේ හතරක් දාන්න හැබැයි අඩු සීනි" කියලා කිව්වා. මේකා කැඩිච්ච සිංහලෙන් මගෙන් අහනවා "අයියේ තේ හතරම අඩු සීනිද කියලා" හයියෝ සල්ලි..
මහගස්තොට, බ්ලැක්පූල්, මීපිලිමාන හරහා අපි කන්දේ ඇලට ලඟා වුණා. කන්දේ ඇල ජලාශයේ ඒ වන විට ඉතිරි වෙලා තිබුණේ බොහොම අඩු ජල ප්‍රමාණයක්. ඒ වන විට මාස ගණනකින් නුවරඑළියට වැහි පොදක් වැටිල තිබුනේ නෑ.
දිය සිඳුණු ජලාශය 
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය අපේ ප්‍රමුඛ අරමුණ වෙලා තිබුණු නිසා අපි කන්දේ ඇල නවතින්න අදහස් කලේ නෑ. එනගමන් කාලවේලාව ඉතිරි වෙලා තිබුනොත් එමු කියලා හිතා ගෙන අපි දිගටම ගමන් කළා. මේ විදිහට කිලෝමීටර් කීපයක් ආපු අපි මද විවේකයක් සඳහා අඹේවෙල ප්‍රදේශයේ මදකට නතර වුණා.
සුන්දර අඹේවෙල.....
මේත් අඹේවෙලමයි...
අඹේවෙල පසුකරගෙන පට්ටිපොළ හරහා අපි හෝර්ටන් තැන්නට ඇතුළු වුණා. ඒ යන අතරමග මාර්ගයේ සුන්දරත්වය තමයි මේ.
ස්වර්ගයට යන මාර්ගය...
මේ සුන්දරත්වය විඳිමින් අපි ගමන් කලේ ඉතාම අඩු වේගයකින්. (බලන්න මගේ මීටරේ දිහා...) මේ මාර්ගයේ ගමන් කරද්දී අපි බොහොම සිත් කම්පා කරවන දසුනක් දැක්කා. එනම්, Blue star (Aristea acklonii) නමින් හැඳින්වෙන ඉතා ඉක්මනින් පැතිරී යන ආක්‍රමණික ශාකයක් මේ ප්‍රදේශයේ ව්‍යාප්තව තිබෙනු දැකීමයි. අඹේවෙල ප්‍රදේශයේ සිට හෝර්ටන් තැන්න දක්වාම මග දෙපස දිගටම මෙම ශාකය අප විසින් නිරීක්ෂණය කළා.
Blue star - විනාශකාරී සුන්දරත්වය  
දීප්තිමත් සුන්දර මල් වලින් ගැවසුණු මෙම ශාකය විසිතුරු ශාකයක් ලෙසට ගෙවතු සඳහා හඳුන්වාදුන් එකක්. ස්වභාවික පරිසරයට නිදහස් වූ මේ ශාකය දැන් ඉහළ කඳුකරයේ ඉතා විනාශකාරී ලෙස පැතිරෙමින් පවතිනවා. මෙය දකුණු හා නැගෙනහිර අප්‍රිකානු රටවලින් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ශාකයක් බව පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා එතුමාගේ ෆේස්බුක් අඩවියේ සටහන් කොට තිබුණා.
මේ විදිහට අවට පරිසරය ගැන විමසිලිමත් වෙමින් හෙමින් හෙමින් අපි හෝර්ටන් තැන්නට ළඟා වුණා.
තව ටිකයි.....
වනෝද්‍යානයට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ගයේ මද දුරක් යද්දී ඈතින් සමනළ කන්ද දැක ගැනීමට අපි පිං කර තිබුණා.
සිරිපාදේ සමනොළ කන්ද පෙනේ...
වනෝද්‍යාන පිවිසුම් මාර්ගයේ තවත් සුන්දර දර්ශනයක්...
 අනන්තයට යන පාර දිගේ...
හෝර්ටන් තැන්නට ඇතුළු වුණු හැටියෙමත් අපි දුටුවේ සුබදායක දසුනක් නම් නෙවෙයි. යුලෙක්ස් හෙවත් යුරෝපීය කටුපඳුරු (Ulex europeous)ලෙස හැඳින්වෙන ආක්‍රමණික ශාකයක් මේ වටිනා ජෛව සම්පත ගිලගනිමින් සිටිනා ආකාරයයි. අඩිපාර දෙපස ඝනව වැඩුණු යුලෙක්ස් පඳුරු...
ඝනව වැඩුණු ulex පඳුරු  
කහ පැහැ මලින් පිරුණු මෙම ශාකයත් විසිතුරු ශාකයක් ලෙස මෙරටට ගෙන්වූවක් ලෙසටයි සැලකෙන්නේ. හෝර්ටන් තැන්නේදී අපි විඳපු සුන්දරත්වයත් ලබාගත් සුවිශේෂ ඡායාරූපත් ඊළඟ ලිපියෙන් ගෙන එන්නම්. 

Friday, February 1, 2013

යතුරුපැදි චාරිකා: නුවරඑළිය - අංක 2


ගියවර මම සටහන අවසාන කලේ නොර්ටන් බ්‍රිජ් නගරයෙන්. ඒ සටහන් කියවන්න බැරි වුණා නම් මෙතනින් ගිහින් ඒක බලලා එන්න.
නොර්ටන් බ්‍රිජ්හි සුප්‍රකට මං සලකුණ - සප්ත කන්‍යා කඳුවැටියේ හැපී විනාශ වුණු මාර්ටින් එයාර් ගුවන් යානයේ ටයරය 
නොර්ටන් බ්‍රිජ් නගරයේ මදක් නතර වුණු අපි අසල තිබුණු තේ කඩයකට ගොඩ වුණේ ඒ වන විට අපට තරමක් වෙහෙස දැනුණ නිසාවෙන්. අතින් කටින් බඩු එල්ලගෙන, කන්නාඩි, ජැකට් දාගෙන අඟහරු ලෝකෙන් ආපු අමුතු ජීවීන් දෙන්නෙක් වගේ අපි දෙන්නව කඩේ හිටපු උදවියට පේන්න ඇති. ඔයගොල්ලෝ කොහේ ඉඳන්ද? කියලා අහපු වයසක මනුස්සයෙකුට "හික්කඩුවේ ඉඳන්" කියලා මම උත්තර දුන්නම ඒ මනුස්සයාගේ ඇස් දෙක නළලට ගියා. 
උණුසුම් තේ කෝප්පයකින් සප්පායම් වූ අපි නැවත ගමන් අරඹා හැටන් නගරයට පිවිසුණා. හැටන් නුවරඑළිය මාර්ගය ඒ වන විට පිළිසකර කෙරෙමින් පැවතුණ නිසා අවට පැවතුණේ අධික දුහුවිල්ලක්. මෙසේ මද දුරක් පැමිණි අපි ශ්‍රී ලංකාවේ පිහිටි අතිශය සොඳුරු දිය ඇල්ලක් වන "ඩෙවොන් ඇල්ල" සමීපයට එළඹියා. 
ඩෙවොන් ඇල්ල
 මහා මාර්ගයේ සිට හොඳින් නැරඹිය හැකි මේ දිය ඇල්ල උසින් අඩි 281ක්.
ඩෙවොන් ඇල්ල වඩා සමීපව
ඩෙවොන් ඇල්ල පසුකර මීටර කිහිපයක් ඉදිරියට ගමන් කරන විට "ලංකාවේ නයගරාව" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන "ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල මුණ ගැහෙනවා.  
"ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල
ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නිසා දැන් නම් මේ ඇල්ල මෙතරම් සුන්දරව දකින්නට ලැබෙන්නේ නෑ.
"ශාන්ත ක්ලෙයාර්" දිය ඇල්ල සහ පහත නිම්නය
මේ තියෙන්නේ එන අතරමග දැකපු තවත් කුඩා දියපහරක්. මේක ඇත්තටම දිය ඇල්ලක් නෙවෙයි. මේ දියපහරට ඉහළින් ඇති මාර්ගය හරහා දාපු බටයක් තුළින් තමයි මේ දියපහර මතුවෙන්නේ. ඒ නිසා මම ඒකට නම දැම්මා "බට ඇල්ල" කියලා..... 
"බට ඇල්ල"
මේ විදිහට පරිසරයේ සුන්දරත්වය උපරිමයෙන් විඳිමින් අපි නුවරඑළිය නගරයට ළඟා වුණා. අපේ නවාතැන්පොළ වුණේ රජයේ සංචාරක බංගලාව. දුප්පත් රාජ්‍ය සේවකයන් වන අපිට ඒකෙ තියෙන පහසුකම් ඉහටත් උඩින්.
මේ තියෙන්නේ නුවරඑළියේ රජයේ සංචාරක බංගලාව
එදා හවස අපි ගත කලේ ග්‍රෙගරි වැව් ඉවුරේ ඇවිදිමින් සහ බයිසිකල් පදිමින්. මේ තියෙන්නේ ග්‍රෙගරි වැව් ඉස්මත්තේ සොඳුරු දසුන් කීපයක්. 
ග්‍රෙගරි වැව
ග්‍රෙගරි වැව
ග්‍රෙගරි වැවට ඉහළින් හිරු බැසයන අයුරු...
හෝටන් තැන්නේ හා අඹේවෙල තොරතුරු ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.
තවත් අපූරු බයිසිකල් චාරිකාවක විස්තර මෙතනින් බලන්න. http://ekicks.blogspot.com/2013/02/01.html

Friday, January 25, 2013

යතුරුපැදි චාරිකා.. අංක 1: නුවරඑළිය

අද මම ලියන්නේ මීට අවුරුද්දකට පමණ පෙර ගිහිපු මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන විදිහේ සොඳුරු චාරිකාවක් ගැන. මම මගේ බොහෝ  බිමන් වලට යොදා ගන්නේ මෝටර් බයිසිකලය. එකෙන් ගමන් බිමන් යද්දී දැනෙන අපූරු නිදහස වෙන කිසිම වාහනයකින් ලබන්න බෑ. හැමදාම  ළඟ පාත ගමන් බිමන් යන එකේ මට හිතුනා දවසක බයිසිකලෙන් දුර ගමනක් යන්න. ඉතින් අපි ගමනාන්තය හැටියට තෝර ගත්තේ නුවරඑළිය. හැමදාමත් මගේ ජීවන ගමනේ සහකාරිය වෙච්චි මගේ ආදරණීය බිරින්දෑත් මාත් එක්ක මේ ගමනට එකතු වුණා. අපි හික්කඩුවෙන් ගමන පටන් ගත්තේ හවස දෙකට විතර. හවස පහමාරට විතර කඩුවෙල අපේ ඥාතියෙකුගේ නිවසට ළඟා වූ අපි එදින රාත්‍රිය එහි ගතකලේ පසුදා උදෑසනින්ම ගමන පිටත් වීමට අදිටන් කරගෙනයි.
සැලසුම පරිදිම එදින උදෑසන 4.30ට පමණ කඩුවෙලින් පිටත් වුනු අපි අවිස්සාවේල්ල හරහා කිතුල්ගලට ළඟා වුණා.
කිතුල්ගලට ඉහළින් හිරු උදාව.
කිතුල්ගලට ඉහළින් හිරු උදාවන දර්ශනය නම් අමතක නොවන තරම් සුන්දර දර්ශනයක්. ඒ මිහිරියාව විඳිමින් කැළණි ගං ඉවුරේ ඉදිවුණු පුංචි හෝටලයකින් අපි උදෑසන ආහාරය ලබා ගත්තා.
උදේ කෑම හරී වැදගත්!
ඊට පස්සේ බයිසිකලේ එහෙමම තියෙද්දී ගං ඉවුරට ගිහින් පොඩ්ඩක් ඒ සුන්දරත්වය විඳ ගන්නත් අපි අමතක කලේ නෑ.
කැළණි ගං කොමළිය 
මේ අපූරු සලබයා මුණගැහුනේ ගං ඉවුරේ පොඩි ගහක වහලා ඉන්දැද්දි. එයාගේ තටුවකට යම් විලොපිතයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන බව පේන්න තිබුණා.
තටු බිඳුණු සලබයා...
එතනින් පිටත් වුනු අපි නැවතත් අපේ චාරිකාව පටන් ගත්තා. අපිට ඇත්තටම කිසිම හදිස්සියක් තිබුනේ නෑ. ඒකනිසා අවට සුන්දරත්වය නරඹමින් අපි හෙමින් හැටන් පාර දිගේ ඉදිරියට ආවා. කිතුල්ගල පහුකරලා කිලෝමීටර් හතරක් විතර එනකොට හඟරාපිටිය හරහා නොර්ටන් බ්‍රිජ් වලට යාහැකි අතුරු පාරක් අපිට හමුවුණා. මේ හන්දිය හැඳින්වෙන්නේ කළුගල හන්දිය කියලා.(තොරතුරු සැපයූ චම්ලි කරුණාසේකර සහෝදරයාට ස්තූතියි.) මම වහාම සිතියම ඇදලා බැලුවා. මේ පාර තරමක් දුෂ්කර දිගු මාර්ගයක් වුණත් අතිශය සොඳුරු සප්තකන්‍යා කඳු පාමුල හරහා දිවෙන්නක් නිසා දෙවරක් නොසිතාම අපි ඒ පාරට හැරුණා.
දුෂ්කර නමුත් මා මෙතෙක් ධාවනය කළ සොඳුරුම මාර්ගය  
මම කලිනුත් කිව්වා වගේ මේ පාර දිවෙන්නේ සප්ත කන්‍යා කඳු පාමුලින්. මේ තියෙන්නේ කොත්තැල්ලෙන කියන සුන්දර ගම. 
කොත්තැල්ලෙන ගමේදී. පසුබිමින් පෙනෙන්නේ සප්තකන්‍යා කඳු වැටියේ කොටසක්.
මේත් කොත්තැල්ලෙන ප්‍රදෙශයමයි. 
මේ විදිහට වටරවුම් ගහමින් හිතූ හිතූ තැන් වල නතර වෙමින් ආපු අපි අන්තිමට නොර්ටන් බ්‍රිජ් නගරයට ආවා. සෙස්ස ඊළඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න.

දෙවැනි කොටස මෙතනින්.

Saturday, January 19, 2013

හොඳටම වැඩිවුණ ලේනා....

ලේනා..Indian Palm Squirrel (Funambulus palmarum)

අපේ මිදුලේ කුරුල්ලන් වෙනුවෙන් කෑම, වතුර සපයන ලැල්ලක් සවි කරලා තියෙන බව මම කලින් පෝස්ට් එකක කියලා ඇති. මෙතනින් බලන්න ඒක. අපි පසුගියදා කුරුලු ලෑල්ලට පොඩි ස්ථාන මාරුවක් දුන්නා. කලින් තිබ්බ තැන චුට්ටක් පාත වැඩියි. ඉතින් පූසෝ වගේ විලෝපිතයන්ගෙන් කුරුල්ලන්ට ඇතිවන අවදානම සලකලා අපි කුරුලු ලෑල්ල ඇඹරැල්ල ගහේ ටිකක් උඩින් හයි කළා.
මේ වෙනස කල දවසේ වෙනදා එන කුරුල්ලෝ වැඩිය ආවේ නෑ. උන්ට තැන නුහුරු නිසා වෙන්න ඇති. හෙට අනිද්දා වෙනකොට ඒක හරියයි. එදා මුලින්ම කෑමට ආපු මේ තුන් ඉරි අප්පු මූණ දීපු අබග්ගය තමයි මේ.

ආ... මේ තියෙන්නේ රස කෑමක්.... කිට්ටු කරලා බලමු....

ලෝකෙ තියෙන අන්තිම කෑම මේක වෙන්න බැරි නෑ ඒක හින්දා හොඳට කන්න ඕන.  
තවත් කාගන්නත් බෑ ඒත් බෑ කියලත් බෑ.....
අන්තිමේදී....
කන්න දීපු එවුන් මාව නැගිට්ටවපල්ලා....

Thursday, January 17, 2013

නෑසූ නුදුටු සුන්දරත්වය - හක්ගෙඩි ඇල්ල, ගාල්ල



දියඇල්ලක සුන්දරත්වය නොවිඳි කෙනෙක් හෝ එහි විචිත්‍රත්වය විඳින්න අකමැති කෙනෙක් අප අතර නැතුව ඇති මම හිතන්නේ. දියදහරක් යනු එතරම්ම සිත නිවන සොඳුරු ආරම්මණයක් වීම ඊට හේතුවයි. අපේ වාසනාවට අප දිනු දේශය එවන් අපූරු දියඇලි වලින් ගහණ අතිශය මනරම් දිවයිනක්. නමුත් ශ්‍රී ලංකාවේ දියඇලි ගැන කියද්දී හැමෝටම මතක් වෙන්නේ දුන්හිඳ, දියලුම, රාවණා, බඹරකන්ද වැනි ප්‍රචලිත ඇලි කිහිපයක් පමණයි. ඒ නමුත් සංචාරකයන්ගේ ඇසෙන් වසන් වුනු සරා සොඳුරු දියඇලි කීයක් නම් මේ පුංචි රටේ තියෙනවද? අද මම ඔබ කැටුව යන්නේ එවන් සැඟවුණු ඉතා සොඳුරු කුඩා දියඇල්ලක් වෙතටයි. බොහෝවිට ඔබ මේ ඇල්ල ගැන මේ අසන්නේත් පළමු වතාවට වෙන්නට ඇති.
මෙම ඇල්ල පිහිටා තිබෙන්නේ ගාල්ල නගරයේ සිට කිලෝමීටර් විසිපහක් පමණ දුරින් පිහිටි කනංකේ නම් කුඩා ග්‍රාමයේයි. ගාල්ල සිට අකුරැස්ස හරහා දෙනියාය - මාදම්පේ තෙක් දිවෙන A17 ප්‍රධාන මාර්ගයේ පිහිටි නිසංසල කුඩා ගම් පියසක් වන කනංකේ හන්දිය පසුකර කිලෝමීටරයක් පමණ අකුරැස්ස දෙසට පැමිණෙන විට මාර්ගයේ වම්පස හක්ගෙඩි ඇල්ල වෙත දිවෙන මග සඳහන් නාම පුවරුව දකින්නට පුළුවන්. එම දුෂ්කර මාර්ගයේ කිලෝමීටරයක් පමණ මග ගෙවා මේ අපූරු සුන්දර දියදහර වෙත ළඟා විය හැකියි. 

අතරමග නැරඹිය යුතු තැනක් - පිලාන රජමහා විහාරය.


මා මුලදීම පැවසූ ආකාරයට මෙය විශාල දියඇල්ලක් නම් නෙවෙයි. හක්ගෙඩි දොළෙන් උපත ලබන මේ ඇල්ල උසින් අඩි දහයකට වැඩි නෑ. 

හක්ගෙඩි ඇල්ල 

හක්ගෙඩි ඇල්ල පහළ කොටස

හක්ගෙඩි දොළ අවට පිහිටි නොඉඳුල් වනාන්තරය රටට ආවේනික ජීව විශේෂයන්ට නිවහන සපයනවා. සමනල් විශේෂ ඒ අතරින්  ප්‍රධානයි. විවේකශීලීව අවට පරිසරයට නෙත් යොමන්නෙකුට මේ සුවිශේෂතා හඳුනා ගැනීම මහදෙයක් නෙවෙයි.

ඇල්ල අවට නොඉඳුල් වනය...
පුංචි දියකාවා....Little Cormorant - (Microcarbo niger)


බොහෝ සංචාරකයන්ගෙන් සැඟවී  තිබීම නිසාම මේ ඇල්ල අවට පරිසරය තාමත් නොඉඳුල්ව පවතිනවා. ඉතින් මේ ඇල්ල නරඹන්නට යම් දිනක ඔබත් යනවානම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න. ප්‍රධාන වශයෙන්ම මෙය ඉතා සංවේදී පරිසර පද්ධතියක් බව සිහිතබා ගන්න. මේ පරිසරයට ආගන්තුක කිසිවක් එහි තබා නොඑන්නටත් එම පරිසරයට අයත් කිසිවක් රැගෙන නොඑන්නටත් තරයේම වග බලා ගන්න. එසේ වුවහොත් පමණක් ඔබේ අනාගත පරම්පරාවටත් මේ සුන්දරත්වය මෙලෙසින්ම ඉතිරිවී පවතීවි.

Wednesday, January 16, 2013

ශෝකයෙන්, ක්‍රෝධයෙන් හා වෛරයෙන් දැනුම් දෙමි.....

තනි දළයා මරා දමා තිබේ. ඒ දළයා මේ දළයාමදැයි තවමත් හරිහැටි නිච්චි නැති නමුත් පසුගියදා හබරණදී දුර්ලභ තනි දළ හස්තියෙකු වෙඩි තබා මරා දමා තිබේ. තොපට ශාප වේවා!  

Monday, December 17, 2012

ඒකදන්තයා....

මින්නේරියේ තනි දළයා....
බොහොම කාලෙකින් තමයි බ්ලොග් අඩවිය පැත්තට එන්න වෙලාවක් ලැබුනේ. මේ දවස් වල තියෙන රාජකාරි වල ස්වභාවය අනුව ලිපියක් ලියන්න කාලය හොයා ගන්න එක බොහොම අමාරු වැඩක්. කොහොම නමුත් පසුගිය සෙනසුරාදා රාජකාරි ගමනක් යන අතරතුරදී දුටුව සුන්දර දර්ශනයක් මට මේ ලිපියට නිමිත්ත සැපයුවා. 
කාර්යාලයේ සගයන් කීප දෙනෙක් එක්ක පසුගිය සෙනසුරාදා පාන්දර 2.00ට පමණ මම කොළඹින් පිටත් වුනේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තකට පොළොන්නරුවට යාමටයි. උදෑසන 6.30ට පමණ මින්නේරියට ළඟා වූ අපි මද ඉසිඹුවක් ලබනු සඳහා මින්නේරි වැව් ඉස්මත්තේ මදකට නතර වුනා.
සොඳුරු මින්නේරි වැව...
ඒ මොහොතේ තමයි මේ එක දළයක් සහිත තේජාන්විත ඇතා තවත් පරිවාර අලින් දෙදෙනෙකුත් සමග වැව් පිටියේ පාතරාසය භුක්ති විඳිනු අපිට දැකගන්නට හැකි වුනේ. දළ සහිත ඇතුන් අපට අරුමයක් නොවුනත් එක දළයක්  පමණක් ඇති ඇතෙකු  දක්නට ලැබෙන්නේ කලාතුරකින්...
මින්නේරියේ තනි දළයා....
මේ සොඳුරු රුව මගේ බ්ලොග් පාඨකයන් වෙනුවෙන් සටහන් කර ගන්නට මට හැකි වුනේ ඒ මොහොතේ මගේ අතේ කැමරාව රැදී තිබුණු නිසයි. (රාජකාරි ගමනක් ගියත් මගේ අතේ කැමරාව නම් වරදින්නේ නෑ) මම මේ ඇතා ගැන ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගාමිණී විජිත් සමරකෝන් මහතාගෙන් විමසීමක් කළා. (මට මේ බ්ලොග් අවකාශේ හම්බවෙච්ච වටිනාම මිනිස්සු දෙන්නගෙන් එකෙක් ගාමිණි අය්යා. අනිකා සඳරු) එතුමා කිව්ව විදිහට මින්නේරියේ තනිදල ඇතුන් දෙදෙනෙක් දකින්න ලැබී තිබෙනවා. වනජීවී නිලධාරින් මේ ඇතා හඳුන්වන්නේ තනිදලයා කියලලු. අනිත් දලයාට තිබිලා තියෙන්නේ වම් දළය විතරයි. (මෙයාට තියෙන්නේ දකුණු දළය) මේක ජාන විකෘතියක ප්‍රතිඵලයක් වියහැකි බවයි එතුමාගේ අදහස. මට හිතෙන්නේ ඒ විකෘති ජානය මින්නේරිය ආශ්‍රිත අලි රංචුවල දකින්න ලැබෙන බවයි. (හරියට දල පූට්ටු ජානය යාල ආශ්‍රිතව තියෙනවා වගේ.) මොකද මේ වගේ තනි දල අලි දෙන්නෙක්ම මෙහෙන් වාර්තා වෙන නිසා. මේ ඇතා වැඩිපුරම කවුඩුල්ල වනෝද්‍යානයේ දකින්න ලැබෙන බවත් ගාමිණි මහත්තයා කිව්වා.
කොහොම නමුත් මේ දුලබ සත්ත්වයා රැක ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව ඉතා පැහැදිලියි. දැනටමත් උගේ ඉදිරි වම් පාදයේ වෙඩි උණ්ඩයක සලකුණක් දකින්නට  ලැබෙනවා.
වෙඩි සලකුණ 

වෙඩි සලකුණ 
මේ ඇතා ගැන තව විස්තර දන්නා අය ඉන්නවා නම් ඒ තොරතුරු අපි එක්ක බෙදා ගන්න.
මින්නේරි වැවේ තවත් සොඳුරු දසුනක්...