Friday, May 18, 2012

අපේ වත්තට එන කුරුලු අමුත්තෝ...



මම ජීවත් වෙන්නේ නගරයට තරමක් සමීපව. කොයිතරම්  ඝෝෂාකාරී පරිසරයක් වුනත් වත්තේ ඉඩ තියෙන ඩිංගේ ගහක් කොලක් වවා ගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒක කොයිතරම් ආශිර්වාදයක්ද කියලා දැනෙන්නේ ඒ ගහකොළ අතරේ සැරිසරන පුංචි පුංචි කුරුළු වර්ග, සමනල් වර්ග දැක්කමයි. ඉතින් අද මම post කරන්නේ අපේ වත්තේ මම නිතර දකින කුරුළු විශේෂ කීපයක  පින්තූර  ටිකක්.  ආපෝ මේ පින්තූර ටික ගන්න  මම කාපු කට්ටක්. 
ආ.. ෆොටෝ ටික දාන්න කලින් වත්තට කුරුල්ලන් ගෙන්වා ගන්න කරන්න පුළුවන් පොඩි උපක්‍රම කීපයකුත් කියන්නම්. මේවා මම අත්හදා බලලා ටක්කෙටම හරිගිහිපුවා. ප්‍රධාන දේ තමයි කුරුල්ලන්ට වතුර බොන්න, නාන්න පොඩි වතුර භාජනයක් තියන්න. පූසෝ වගේ සත්තුන්ට ලං වෙන්න බැරි තරම් උඩකින් තියන්න මතක තියාගන්න. අපේ ගෙදර තියෙන වතුර භාජනේ නිසා මට ලැබිච්ච ප්‍රයෝජන අනන්තයි. මේ ඉන්නේ ඒ වතුර එකේ නාන කුරුල්ලෙක්.




ඒ වගේම වත්තේ පලතුරු ගහක් දෙකක් වවා ගන්න පුළුවන් නම් සැහෙන වටිනවා. මේ දවස් වල අපේ අඹ ගහේ කුරුල්ලෝ පිරිලා. ගිරව්, ගිරා මලිත්තෝ, කොන්ඩ කුරුල්ලෝ සහ තව නම නොදන්නා කුරුල්ලෝ හරියට ඉන්නවා. අපේ පළාත සුනාමියට අහුවුනා. ඉතින් කාලයක් යනකම් ඒ පැත්තේ බෝවිටියා ගහක් දකින්නවත් තිබුනේ නෑ. මම ටිකක් ඈත පළාතකින් පැළයක් ගෙනෙල්ලා බොහොම අමාරුවෙන් පැල කර ගත්තා. දැන් ඒකෙ ගෙඩි කන්නත් හරියට කුරුල්ලෝ එනවා. එහෙනම් බලමු පින්තූර ටික.


මේ ඉන්නේ දම් සූටික්කාගේ ගෑනු සතා. (දම් සූටික්කි).  (Purple Sunbird)
Purple sunbird - (female) Nectarinia asiatica
මෙයාගේ පිරිමි සතා දිලිසෙන දම් පාටකින් යුක්තයි. කෙමිය සහිත මල් වලින් පැණි උරා බොන්න පුළුවන් විදිහේ හොටක් මෙයාට තියෙනවා. මේ ගොල්ලෝ ප්‍රධාන වශයෙන් යැපෙන්නේ මල්පැණි මත. නමුත් කෘමි සත්තුත් ආහාරයට නොගන්නවාම නෙවෙයි. විශේෂයෙන්ම පුංචි පැටවුන්ට කවන්නේ කෘමීන්. 


මේ ඉන්නේ ලෝටෙන්ගේ සූටික්කා. (Loten's Sunbird)
Loten's Subbird - Nectarina lotenia
(මේ ඉන්නේ පිරිමි සතෙක්) මෙයා දකින්නට ලැබෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි. දම් සූටික්කාගෙන් මෙයා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් හොටෙන්. මේ සූටික්කගේ හොට දම් සූටික්කාට වඩා ටිකක් දිගයි. ලන්දේසි කාලේ ලංකාවේ ආණ්ඩුකාරයෙක් වෙච්ච  Joan Gideon Loten ගේ නමිනුයි මෙයාව නම් කරලා තියෙන්නේ.


මේ ඉන්නේ අවිච්චියා. (Indian Pitta)
Indian pitta - Pitta brachyura
 මෙයා ගැන මම කලින් post එකක් දාල තියෙනවා. මෙතන කොටලා ඒ විස්තරේ බලන්න.



මෙයා තමයි පෙරදිගු සිතැසියා (Oriental White-Eye)
Oriental White-Eye (Zosterops palpebrosus)
පුංචි කණ්ඩායම් හැටියට හැසිරෙන සුන්දර කුඩා කුරුල්ලෙක්. මෙයා ලංකාවට ආවේනික නම් නැහැ. නමුත් ලංකා සිතැසියා - Sri Lanka White-Eye - Zosterops ceylonensis (කඳුකර සිතැසියා) කියන කුරුල්ලා නම් ආවේනිකයි. එයා මෙයාට වඩා ටිකක් ලොකුයි. කහපාට මීට වඩා අඩුයි. ටිකක් ගොම පාටක් වගේ. මෙයාගේ ඇහැ වටේ තියෙන සුදු පාට රවුම නිසාත් ලස්සන කහපාට නිසාත් වහාම හඳුනාගන්න පුළුවන්. 

ඔන්න එයාගේ තව එකක් දැම්මා.


මේ ඉන්නේ ජෙර්දන්ගේ කොළ රිසියා - Jerdon's LeafBird (Female)
Jerdon's LeafBird - Chloropsis jerdoni
මෙයා නම් අපේ වත්තේ මම මීට කලින් වැඩිය දැකලා නෑ. ඊයේ පෙරේදා ඉඳලා තමයි මෙයා අඹ ගහේ කොළ අස්සේ ඉඳල මම දැක්කේ. කොළ වල පාටම නිසා එකපාරට අඳුන ගන්න අමාරුයි. මේ ඉන්නේ ගෑනු සතෙක්. පිරිමි සතාගේ බෙල්ල යට කලුපාටක් දකින්න ලැබෙනවා. මෙයා නිල්පිය කොලරිසියගේ (Blue-Winged LeafBird) Chloropsis cochinensis උපවිශේෂයක් විදියට සලකන්න පුළුවන්. ලංකාවේ කුරුළු නාමවලියේත් මෙයාව නම් දැක්කේ නෑ. නිල්පිය කොලරිසියා විතරයි දැක්කේ. ඉන්දියාවේ පක්ෂි විද්‍යාවට විශාල සේවයක් කල බ්‍රිතාන්‍ය ජාතික Thomas C. Jerdonගේ නමින් තමයි මේ කුරුල්ලව නම් කරලා තියෙන්නේ. මෙයාගේ ශරීර වර්ණය නිසා අනිත් කුරුළු රංචු (විශේෂයෙන්ම ගිරව්) අතරෙත් සැඟවී සිටින්නට මෙයාට පුළුවනි. 


වත්තේ දකින්න ලැබෙන අනිත් කුරුළු විශේෂ වලත් පින්තූර ඉස්සරහට දාන්නම්. මේ පින්තූර ටික ගන්නත් සෑහෙන ඉවසීමකින් බලා ඉන්න සිද්ධ වුණා. මොකද මෙහෙම හිටියට මේ කුරුල්ලෝ හරිම ආඩම්බරයි. අපේ වත්තේ ඉන්න සමනල් විශේෂ ගැන ඊළඟ ලිපිය ලියන්නත් අදහසක් තියනවා. එහෙනම් ඊළග ලිපියෙන් හමුවෙමු. 

22 comments:

  1. අපේ ගෙදර ඉන්න බිලාලයා එක්ක ඉතින් මෙලෝ දෙයක් කරන්න බෑ වත්තට එන බටු ගිරවා පවා ඌ අල්ලාගන්නවානේ .. ලේනෙක් බත් කටක් කන්න බිමට බැස්සොත් ඌ කපෝතියි . උඹලෑ වත්තෙ බලලෙක් නෑ මයෙ හිතේ

    ReplyDelete
  2. අපේ වත්තේ බලලෙකුට ඉන්නේ මම විතරයි මචං.

    ReplyDelete
  3. nice blog :))) Good luck..!!!

    ReplyDelete
  4. ලස්සන බ්ලොග් එක යාළුවා...
    කුරුල්ලෝ ගැන ගොඩක් සරලව ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹට ස්තුතියි ලොකු පුතා. මේ වගේ දිරිය දෙන එක සෑහෙන්න වටිනවා.

      Delete
  5. හ්ම්ම්... ඔය තියෙන්නෙ නියමෙටම "Bird Watching" | කුරුළු දනව්ව" නියමයි...අගනා කර්තව්‍යයක්‌

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වරුණ. දිගටම එන්න. දිගටම ලියන්නයි මගේ අදහස.

      Delete
  6. ඉවසීමෙන් වැඩේ කරපු බව පේනවා :)

    ReplyDelete
    Replies
    1. ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය කියනවනේ...Lol!

      Delete
  7. ලස්සන ෆොටෝ ටික මල්ලි, කුරුල්ලන් ඡායාරුප ගැනීම ගැන පොස්ට් එකෙක් දන්නා හිතුවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා. ඉක්මනට පෝස්ට් එක දාන්න. බලන්න නොඉවසිල්ලෙන් ඉන්නේ.

      Delete
  8. මේ කුරුල්ලෝ දිහා බලා ඉන්න එක සුන්දර වැඩක්. මේ කුරුල්ලෝ සහ නම් නොදන්නා තවත් බොහෝ කුරුල්ලෝ අපේ ගෙවත්තෙත් ඉන්නවා. අර සිතැසියා නම් මට අඳුන ගන්න බෑ දැකල තියනවා ද කියල.
    ලස්සනයි ෆොටෝ ටික.. ඒ වගේම ඔබේ වින්දනය ගැන මට සතුටුයි.. මමත් ඒ වර්ගයේ කෙනෙක් නිසා. :)

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ පෙරදිගු සිතැසියා. මෙයා ආවේනික එක්කෙනෙක් නෙවෙයි. ඉතාම බහුලව අපේ ගෙවත්තේ දකින්න ඉන්නවා. ඔයා වගේ රුචිකත්වයක් තියෙන කෙනෙක් අඳුනා ගන්න ලැබීම සතුටක්.

      Delete
  9. godaak hodai lassanai. mama asa subject ekak. puluwan deyak kiyanna mama udaw karannam.... all the best

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. Good job dilshan (Y) Keep it up!!

    ReplyDelete
  12. ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  13. ගොඩාක් හොඳ වැඩක් බලන්න late උනා. ගොඩාක් ලස්සනයි.

    ReplyDelete
  14. ඉතාමත් වටිනා ලිපියක් ඔබට බොහෝම ස්තුති ..!!!

    ReplyDelete