Monday, March 5, 2018

පරණ කාර් සමග කුරුලු පාරාදීසයක ගමනක් - Kalametiya Birds Sanctuary Expedition


කුරුල්ලන් නැරඹීම සඳහා ලංකාවේ බොහෝ ප්‍රකට තැන් තිබෙනවා. මන්නාරම, ආනවිලුන්දාව, කුමන ආදී ප්‍රසිද්ධ තැන් අතර කළමැටිය කලපුවට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කළමැටිය ලවණ මිශ්‍ර කිවුල් දිය පද්ධතියකින් හා සරු කඩොලාන ප්‍රජාවකින් හෙබි අපූරු පරිසර පද්ධතියක්. පසුගිය පෙබරවාරි විසිඅට වෙනිදා ‘සොබා රූ' කළමැටියේ කළ සංචාරයක සටහන් මේ ලෙස ඔබ වෙත ගෙන එනවා. 
හික්කඩුවෙන් උදෑසන අටට පමණ මම අම්බලන්තොට බලා යන්නට පිටත් වුණේ තනිවමයි. මගේ ගමන් සගයා කසුන් අම්බලන්තොටින් මා සමග එක් වන්නට කතිකා කරගෙන සිටියා. අම්බලන්තොට රෝහලේ පිළිකා ඒකකයේ පුංචි පුස්තකාලයක් හෙවත් බුක් හබ් එකක් අරඹන්නටත් මේ ගමන්ම යොදා ගෙන තිබුණු නිසා මගේ පැරණි මෝටර් රථයේ ඩිකිය පුරවා තිබුණේ පොත් වලින්.
අතරමග විඩා නිවමින්
වාහනේ මටත් වඩා වයසක එකක් වුණත් අධිවේගී මාර්ගයේ මාතරටත් එතැනින් අම්බලන්තොට දක්වා වූ කිලෝමීටර එකසිය පනහකට ආසන්න මුළු දුර එක හුස්මට ගෙවන්නට එයට හැකි වුණා.
අතරමග සොඳුරු දසුන්
මේ සුන්දර වෙරළ තීරය හමුවන්නේ කළමැටියට යන අතරමග තංගල්ලට ආසන්නයේ... ආරක්ෂිතව දිය නෑ හැකි මෙන්ම සමීපව මුහුදු ජීවීන් නිරීක්ෂණය කළ හැකි තැනක් ලෙස මෙය හැඳින්විය හැකියි. අම්බලන්තොට රෝහලේ කටයුත්ත අවසන් වූ පසු අපි අතරමග තැනක නැවතී දිවා ආහාරයත් ගෙන හෙමින් හෙමින් කළමැටිය වෙත ළං වුණා.
යාත්‍රාව

කළමැටිය කළපුවේ සංචරණය සඳහා අප යොදා ගත්තේ මේ ආකාරයේ කුඩා යාත්‍රාවක්. හබල් මගින් පැදගෙන යන එහි එක්වරකට ගමන් කළ හැකි උපරිම සංචාරක පිරිස හතර දෙනෙක්. එහෙයින් එයින් පරිසරයට සිදුවන බලපෑම ඉතාම අවමයි. එන්ජිමක් නැති නිසා තෙල්, දුම හා රැළි නැගීම සිදු වන්නේ නෑ. කුරුල්ලන්ට බාධාවක් නොවන පරිදි උන්ගේ හැසිරීම් නිරීක්ෂණයට මෙය කදිමයි. දක්ෂ තරුණයෙක් වන බුද්ධි ප්‍රියංකර මෙහි හිමිකරුවා මෙන්ම මග පෙන්වන්නා ලෙසද කටයුතු කරනවා. ඉතා මිත්‍රශීලී එමෙන්ම කුරුල්ලන් ගැන විශිෂ්ට දැනුමකින් හෙබි මේ තරුණයා කළමැටියේ සංචාරයක් සඳහා උචිතම තැනැත්තා බව නොබියව කිව හැකියි. kalametiyabirds.lk හරහා ඔහුව සම්බන්ධ කර ගන්නට පුළුවනි.
Indian Darter - පෙරදිගු අහිකාවා Anhinga melanogaster
මේ ඉන්නේ Indian Darter - පෙරදිගු අහිකාවා - Anhinga melanogaster නමින් හැඳින්වෙන ජලචර පක්ෂියෙක්. කළපු ආශ්‍රිත පරිසර පද්ධති වල සුලබව දැක ගත හැකි මේ පක්ෂියා ලංකාව නිවහන කරගත් සුන්දර සත්ත්වයෙක්.
මේ කලපුවේ සංචරණය සඳහා උචිතම වේලාව වන්නේ උදෑසන 6ත් 9ත් අතර සහ හවස 4ත් 6ත් අතර කාලයයි. එවිට බොහෝ පක්ෂීන් ප්‍රමාණයක් දැකගන්නට හැකි වෙනවා.
හැඳි අලවා සමග ලතු වැකියා
මේ කුරුලු රංචුවේ කුරුල්ලන් විශේෂ දෙකක් දැක ගත හැකියි. උස කුරුල්ලන් දෙදෙනා හැඳින්වෙන්නේ ලතු වැකියා (Painted Stork) යන නමින්. සුදු පැහැති පක්ෂියා හැඳි අලවා (Asian Spoon Bill) යනුවෙන් හැඳින්වෙනවා. උගේ හොටය හැන්දක ආකාරයෙන් සකස් වී ඇත්තේ පහසුවෙන් මඩ අවුස්සා ආහාර සොයා ගත හැකිවන පරිද්දෙන්. ලතු වැකියා පාදයෙන් මඩ අවුස්සා ආහාර සොයන අතර හැඳි අලවා තමන්නේ හොට හැන්දක් ලෙස යොදාගෙන මඩ අවුස්සා ආහාර සොයනවා.
බළල් සේරා - Pheasant Tailed Jacana Hydrophasianus chirurgus
මේ ඉන්නේ බළල් සේරා (Pheasant Tailed Jacana) Hydrophasianus chirurgus නමින් හැඳින්වෙන සුන්දර පක්ෂියා. උගේ පෙඳය දිගට විහිදී තිබෙන අයුරු පියා සැරියේදී හොඳින් නිරීක්ෂණය කළ හැකියි. මේ ඉන්නෙත් එයාමයි.
බළල් සේරා

මේ පක්ෂියා ඉතාම කුලෑටි සත්ත්වයෙක්. මිනිස් ඉවක් දැනුණ වහාම මේ ආකාරයට පියාඹා යනවා.
මේ උදවිය නම් හදිසි රැස්වීමකට පාර්ලිමේන්තු යන ගමන් බවයි පෙනුනේ...
කළමැටිය කලපුවේ ධීවර කර්මාන්තයත් ජයටම කෙරෙනවා. බෙහෙවින්ම ඉස්සන් හා කකුළුවන් වෙනුවෙනුයි ඔවුන් දියට බසින්නේ
ධීවරයා
පුංචි තඹ සේරා හෙවත් Lesser Whistling Duck ඉතා සුලබව මෙහි දක්නට ලැබෙනවා.
තඹ සේරා
තඹ සේරා
Grey Heron
මේ ඉන්නේ අළු කොකා - Grey Heron Ardea cinerea තරමක් විශාල පක්ෂියෙක් වන අළු කොකාගේ හිස අසළින් පිටුපසට දිවෙන දිගු පිහාටුවක් දැකගත හැකියි.
මේ පහතින් ඉන්නේ සිලිබිල්ලෙක් (Sand piper) ඌ නිසැකවම කිනම් සිලිබිල්ලා දැයි මට හඳුනාගත නොහැකියි. දැනමුත්තෙකුගේ උපකාර පතනවා.

සිලිබිල්ලා
කළුපිය ඉපල්පාවා
ඉහත සිටින පක්ෂියා හැඳින්වෙන්නේ කළුපිය ඉපල්පාවා යන නමින්. එක කකුලක් නවාගෙන සුවිශේෂ ඉරියව්වකින් සිටින මේ පක්ෂියා ගොදුරක් ලැබෙන තෙක් බොහෝ වේලා මේ ඉරියව්වෙන් සිටිනවා.
දම් කිතලා
මේ ඉන්නේ දම් කිතලා හෙවත් Purple Swamphen. සුන්දර වර්ණ සංකලනයකින් හෙබි වගුරුබිම් ආශ්‍රිත සුලබ පක්ෂියෙක්
අළු කොකා
මේ ඉන්නේ අළු කොකා හෙවත් Grey Heron. (හඳුනා ගැනීමට උදව් කළ ලොකුපුතාට බොහෝම පිං) බොහෝ වේලා නතර වී බලා සිටියත් ඌ තමන් සමවැදී සිටි භාවනාවෙන් මිදුණේ නෑ.
ඉර බැස යන හැන්දෑවක මෙවන් කළපුවක සිටීම අතිශය මනරම් අත්දැකීමක්. කළපුව ආසන්නයේ පිහිටි තාරගල තරණය කළ විට අතිශය මනරම් දර්ශනයක් දැක ගත හැකියි.
තාරගල මත සිට කළමැටිය කළපුව
ඉර බැසයන හැන්දෑ වරුවේ...

විශේෂ ස්තූතිය
කළමැටිය බර්ඩ් වොචින් ආයතනයේ බුද්ධි ප්‍රියංකර
සම්බන්ධීකරණය කළ උළිඳු මිලින්ද හා චාමර මිතුරන්ට

Monday, February 5, 2018

කන්නෙලියේ උසම තැනට යමු... - Kabbale Kanda - The Highest Point in Kanneliya Forest Reserve


දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් කන්නෙලිය රක්ෂිත වනාන්තරය අතිශය සුවිශේෂ ජෛව විවිධත්වයක් සහිත වැසි වනාන්තරයක්. පොදුවේ KDN සංකීර්ණය (කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය) ලෙස හඳුන්වන මෙහි ඇති සුවිශේෂ ජෛව විද්‍යාත්මක වැදගත්කම නිසාම එය "මිනිසා හා ජෛවගෝල රක්ෂිතයක්" (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් නම් කර තිබෙනවා. සොබාරූ මීට පෙර කිහිප වතාවක් කන්නෙලිය පිළිබඳ වාර්තා කර තිබෙන නිසාම කන්නෙලියේ වැදගත් කමත් එහි සුවිශේෂ පාරිසරික ලක්ෂණත් මෙම ලිපියෙන් විස්තර කරන්නට අදහස් කරන්නේ නෑ. මේ පහත සබැඳියාවන් ඔස්සේ මීට පෙර කන්නෙලිය පිළිබඳ ලියූ ලිපි බලන්නට පුළුවනි.

අදත් මම ඔබ කැටුව යන්නේ කන්නෙලියේ වන මං පෙත් අතරින් දුෂ්කරම නමුත් සුන්දරම මංපෙත වන කබ්බලේ කන්ද මංපෙත ඔස්සේයි. කන්නෙලිය පිවිසුම ආසන්නයේ ඇති ප්‍රවේශපත්‍ර කවුළුව අසළින් වනාන්තරය තුළට දිවෙන මේ මං පෙත කඳුකර දුෂ්කර ගමන් මගක් ඔස්සේ කඳු මුදුන වෙත යොමු වෙනවා. ඇතැම් විට ලිස්සන ගල්කුළු මතින් අසීරුවෙන් ගමන් කරන්නට සිදු වෙන බැවින් මෙවන් ගමනකට ඔබගේ ශාරීරික යෝග්‍යතාවය ඉතා වැදගත්...
අතරමග සොඳුරු දසුන්
මෙදා ගමනට එකතු වුණේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් මගේ සිසු පිරිසක්. මමත් පළවෙනි වතාවට තමයි දරුවන් පිරිසක් සමග මෙවන් ගමනකට එකතු වුණේ. එම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමු කරන්නටත් මට සිදු වුණා.
ගැට හොඹු කටුස්සා/කරමල් බෝදිලිමා - Hump Nosed Lizard - Lyriocephalus scutatus
විශාල පිරිසක් ගමනට සහභාගි වී සිටියත් නිශ්ශබ්දව වනාන්තරයට අනුගත වෙමින් ගමන් කළ නිසාමයි අපට මේ බිත්තර දමමින් සිටි ගැට හොඹු කටුස්සා/කරමල් බෝදිලිමා - (Hump Nosed Lizard) දැක ගන්නට ලැබුණේ. ඌට බාධාවක් වන පරිදි ළඟට නොයන්නටත්, ෆ්ලෑෂර් භාවිත කරමින් ඡායාරූප නොගන්නටත් අප විශේෂයෙන් පරිස්සම් වුණා. අතරමගදී අපට එල්ලවුණු විශාලම බාධාව වුණේ කෙළවරක් නැතිව එල්ලෙන කූඩැල්ලන්. ජීවිතේ කවදාවත් මෙතරම් දුෂ්කර ගමනක් ගිහින් නැති, කිසි දිනෙක කූඩැල්ලෙක් කා නොමැති යොවුන් දරුවන්ට මෙය අතිශය වෙනස් අත්දැකීමක් බවට පත්වුණා. ලෙයින් පෙඟුණු සපත්තු සහ කලිසම් කකුල් වලින් යුතුව අපි දිගටම ඉදිරියට ගමන් කළා.
කූඩැල්ලන්ගේ ප්‍රහාර
මේ ගමනේ මුණගැහෙන එක් සුවිශේෂී කඩඉමක් වන්නේ ගල්ලෑලි දොළ ඇල්ලයි. වියළි කාලයට දිය බිඳක් වත් නැති මෙහි අපේ වාසනාවට මෙන් එදා හොඳින් ජලය තිබුණා.
ගල් ලෑලි දොළ ඇල්ල
මෙවන් ගමනකදී අවට පරිසරය ගැන දැඩි අවධානයෙන් ගමන් කිරීම ඉතාම වැදගත්. මේ සුන්දර සර්පයා අපට මුණ ගැහුණේ එසේ අවධානයෙන් ගමන් කළ නිසාමයි.
පළා පොළඟා - Green Pit Viper - Trimeresurus trigonosephalus
මේ ඉන්නේ ශ්‍රී ලංකාවට ආවේණික පළා පොළඟෙක් (Green Pit Viper) Vipiridae කුලයට එනම් වල පොළඟුන් (Pit Vipers - මොවුන් වල පොළඟුන් ලෙස හඳුන්වන්නේ ඇසට සමීපව ඇති ලෝරියල් ජිද්‍රය ලෙස හඳුන්වන තාප සංවේදී අවයවය නිසාය) අයත් කුලයට ගැනෙන එකම රුක්වාසී සර්පයා පළා පොළඟාය. සුන්දර පළා පැහැය නිසා පරිසරයෙන් එක්වර වෙන් කර ගත නොහැකි මොහු මද විෂ සර්පයෙක්.
මෙලෙස පරිසරයේ උපරිම වින්දනය ලබමින් ඉහළට ගමන් කළ අපි අවසානයේ කබ්බලේ කන්ද මුදුනට පැමිණියා. එහිදී දක්නට ලැබුණු දර්ශනය වර්ණනා විෂයාතික්‍රාන්තයි. මෙතෙක් දැරූ වෙහෙස එක් සුළං රැල්ලකින් පලවා හරින්නට එ් සුන්දර දර්ශනය සමත් වුණා.
කබ්බලේ මුදුනේ සිට
දෙනියායේ සිංහරාජය දක්වා කුරුළු ඇසින් දකින්නට මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ සුන්දරත්වය වචනයට නැගීම ඉතා අසීරු බවයි මගේ හැඟීම. කබ්බලේ කන්ද මුදුනේදීම ඉතා හුරුපුරුදු ශාකයක් දක්නට ලැබුණා. 
බිනර - Exacum trinerveum
කුඩා භෞමික පැළෑටියක් වන මෙය බිනර Exacum trinerveum නමින් හැඳින්වෙනවා. මෙය ලංකාවට ආවේණික අතිශය සුන්දර මලක් දරන ඖෂධීය වටිනාකමින් ඉහළ පැළෑටියක්. එම නිසා ජාන මංකොල්ලකරුවන්ගේ සෘජු ඉලක්කයක් බවට බිනර පත්වී තිබෙනවා.
කබ්බලේ කන්ද මුදුනේ සිට අනගිමල ඇල්ල දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවත් අපට හිමි වුණා.
අනගිමල ඇල්ල කබ්බලේ කන්ද මුදුනේ සිට


මෙවර චාරිකාව අවසන් වුණේ දරුවන්ගේ සිත් තුළ නොමැකෙන සුන්දර සටහන් ඉතිරි කරමින්. ඉතා දුෂ්කර නමුත් තෘප්තිකර දිනයක වෙහෙස නන්නිකිත දොළේ සෝදා හරිමින් අපි ගමන නිමා කළා.

Friday, July 14, 2017

Waterfall Hunting in Sabaragamuwa - සබරගමුවේ සැඟවුණු දියඇලි සොයා...


සබරගමුව - රටේ සුන්දරතම පළාතක්. ආයෙ ඒකෙ දෙකක් නෑ. මේ සුන්දර සබරගමුවේ හැංගිච්ච සොඳුරු ඉසව් ගණනාවක්ම තියෙනවා. විශේෂයෙන්ම බොහෝ දෙනාගේ ඇසින් වසං වෙච්ච ඉතා සුන්දර දියඇලි ගණනාවක් සබරගමුවේ දක්නට පුළුවනි. රටේ ඉතිහාසයේ පමණක් නොවෙයි මානව ඉතිහාසයේත් සුවිශේෂ මංසලකුණු රාශියක් දක්නට ලැබෙන සොඳුරු සබරගමුවටයි මෙවර සොබාරූ චාරිකාව.
අපේ ප්‍රධානතම අරමුණ වුණේ ‘කැතිගහන ඇල්ල' හෙවත් 'ගලගම ඇල්ල' නැරඹීමයි. මිනිස් ඇසින් වහංව ගන කැලයක් මැද පිහිටි මෙම ඇල්ල ඉතා අප්‍රකට එකක්. තාමත් මිනිස් පහසින් ඉඳුල්ව නැති නිසාම මෙම ඇල්ලට ලඟාවිය හැකි ආකාරය පිළිබඳ මං සලකුණු මම මෙහි සටහන් කරන්නේ නෑ. සැබෑම සංචාරකයෙකුට පමණක් පෞද්ගලිකව මගෙන් එම තොරතුරු ලබා ගත හැකියි.
බෙලිහුල්ඔය
ගමනේ අපගේ පළමු නවාතැන වුණේ සුන්දර බෙලිහුල් ඔයයි. එහිදී උදෑසන ආහාරය ලබාගත් අපි පහන්තුඩාව ඇල්ල නරඹන්නට පිටත් වුණා. සංචාරකයන් අතර ඉතා ප්‍රකට ඇල්ලක් වන පහන්තුඩාව පිහිටා ඇත්තේ බෙලිහුල්ඔය නගරයට ඉතා ආසන්නයෙන්. පහසුවෙන් ළඟාවීමට ඇති හැකියාව නිසාම පහන්තුඩාව ඇල්ල අවට අප ගිය දිනයේත් බොහෝ රසකාමීන් රැඳී සිටියා.
පහන්තුඩාව
බෙලිහුල්ඔයේ නිර්මාණයක් වන පහන්තුඩාව එතරම් විශාල ඇල්ලක් නොවෙයි. නමුත් එහි පාමුල ඇති අඳුරු ඉතා ගැඹුරු තටාකයත්, පහන් දැල්ලක හැඩය ගත් දිය දහරත්, වටේ ඇති විශාල ඛාදිත ගල් පර්වතත් මේ පරිසරයට අපූරු හා ගුප්ත හැඩයක් එකතු කරනවා.
පහන්තුඩාව ඇල්ල අවට පරිස්සමෙන් හැසිරෙන්නට වගබලා ගත යුතුයි. යාන්තම් පය ලිස්සා ගියහොත් ඇද වැටෙන්නේ පතුල සිතා ගන්නටත් නොහැකි ආගාධයකටයි.
අපි ඊළඟට ගමන් කළේ සමනල වැවේ බැම්ම නරඹන්නටයි. රටේ දෙවන විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වන මෙයින් ජාතික විදුලි බල පද්ධතියට එකතු වන ධාරිතාව ගිගාවොට් 450ක්.
සමනල වැව
එහි බැම්මේ ඇති වී තිබෙන කාන්දුවක් නිසා අතිවිශාල ජලකඳක් පිටතට ගලා යනවා. නමුත් එය අපතේ යාමක් නොවන්නේ එමගින් පහළ කෘෂිකාර්මික ප්‍රදේශවලට දියවර සැපයෙන නිසා.
අපේ එදින නවාතැන්පොළ වුණේ හිරිකටුඔය පාරිසරික කඳවුරයි. බොහෝම සුන්දර කඳු නිම්නයක පිහිටා ඇති මෙම කඳවුර අසලින්ම හිරිකටුඔය සිලිසිලියේ ගලා බසිනවා.
කඳවුරේ දොරටුව
සියලු මූලික පහසුකම්වලින් සමන්විත මෙම කඳවුරේ ආහාර පිළියෙළ කර ගැනීම සඳහා සේවක මහතුන් දෙදෙනෙකු සිටිනවා.
කඳවුර
හිරිකටුඔයේ රිද්මික නාදයත්, රෑසියන් හා වෙනත් නිශාචර සතුන්ගේ නාද මැද හඳපානේ ගත කළ එම රාත්‍රිය අතිශයින් සුන්දර එකක්. 
හිරිකටුඔයේ සිලිසිලියේ...
පසුදා පාන්දරම අප ගමන් ආරම්භ කළේ අපේ අරමුණ ඉතා දුෂ්කර හා දුරබැහැරින් පිහිටා තිබුණු නිසා. අතරමග පරිසරයේ සුන්දරත්වය දෑසින් උරා බොමින් අපි හෙමින් හෙමින් ඉදිරියට ගමන් කළා.
සුන්දර දසුන්...
කඳු බෑවුමේ ඉහළට යත්ම අවර පරිසරය වඩාත්ම සුන්දර වෙන්නට පටන් ගත්තා. පහළ බෑවුමේ බොහෝ දුරට යනතුරු විහිදී තිබුණේ සශ්‍රීක සබරගමු නිම්නයයි.
පහළ සබරගමු නිම්නය
සුන්දර සමනල වැව පමණක් නොවෙයි උඩවලවේ ජලාශයත්, හම්බන්තොට තෙක් පැතිරී ගිය තැනිතලාවත් මුහුදු මට්ටමේ සිට අඩි හාරදහසක පමණ ඉහළ සිට දැක ගන්නට අපට පුළුවන් කම ලැබුණා.
සමනළ වැව හා වලවේ නිම්නය
ක්‍රමයෙන් ඉහළ නැගි අප අතරමගදී ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයකට පිවිසියා. Baker's Bend නමින් ප්‍රකට මේ සුවිශේෂ වංගුව ඉතා සුන්දර පිහිටීමක්.
බේකර්ගේ වංගුව
 අතරමගදී දුටු කණගාටුදායක සිදුවීමක් තමයි මේ.
බ්ලූ ස්ටාර්...
මේ සුන්දර පුෂ්පය අමිහිරි එකක් වන්නේ කෙසේදැයි ඔබට ගැටළුවක් ඇති වන්නට ඇති. මෙය පෙනුමෙන් කෙතරම් සුන්දර වුණත් දැඩි ආක්‍රමණශීලී ස්වභාවයක් පෙන්වන විදේශීය ශාකයක්. මා මීට පෙරත් මේ පිළිබඳ බ්ලොග් ලිපිවල සඳහන් කොට තිබෙනවා. මෙය හැඳින්වෙන්නේ Blue Star - (Aristea acklonii) නමින්. විසිතුරු ශාකයක් ලෙස මෙරටට ගෙන්වූ මෙය දැන් මේ වන විට සීමා මායිම් නොතකා සංවේදී පරිසර පද්ධතීන්හි පැතිර යනවා. මීට වසර හතරකට පමණ පෙර පට්ටිපොළ හෝටන් පිවිසුම් මග දෙපස දක්නට ලැබුණු මේ ශාකය දැන් හෝටන් තැන්නෙන් පහළටත් ගමන් අරඹා තිබෙනු දක්නට ලැබුණා.
වනය මැදින් දිගටම
එක්තරා සීමාවකදී මගින් බැහැරව වනාන්තරයට ඇතුළු වූ අපි අපේ ඉලක්කය සොයා ගියා. ඉතා දුෂ්කර ගමනක් අවසානයේ අරමුණට ළඟා වුවත් දිය ඇල්ලේ ජලය තිබුණේ ඉතාම ස්වල්පයයි. 
වැහැරුණු සොඳුරිය
මේ එම ඇල්ලේම දිය පිරුණු සමයක පින්තූරයක්. ඡායාරූපයේ අයිතිය - කසුන් ලක්මාල් ප්‍රේමදාස
පිරුණු සුන්දරත්වය - කසුන් ලක්මාල් ප්‍රේමදාසගේ පින්තූරයක්
කෙසේ නමුත් අතිදුෂ්කර ගමනක් අවසානයේ අපි අපේ අරමුණ ජයගත්තා. මේ ඇල්ල ලොවින් සැඟවී ඇති එකක් නිසාම එහි නොඉඳුල් බව තාමත් සුරක්ෂිතව පවතිනවා. ඒ සුන්දරත්වය හැමකල්හිම රැකී පවතීවා යන්න අපගේ එකම අපේක්ෂාවයි.
(කැමරා උපකරණ සැපයූ සජිත් මධුෂාන් අබේගුණවර්ධන සොයුරාට බෝම පිං...
ගමනේ පුංචි වීඩියෝ එකකුත් තියෙනවා බලන්න.

Friday, June 23, 2017

The Motorcycle Diaries - Sinharaja Visit - සිංහරාජයේ විස්මයන් සොයා ගිය යතුරුපැදි චාරිකාව



යතුරුපැදි චාරිකා සටහන් පෙළක් මා පසුගිය කාලයේ ඉදිරිපත් කළා ඔබට මතක ඇති. මෙතනින් ඒවා නැවත බලන්නටත් ඔබට පුළුවන්

මෙවර යතුරුපැදි චාරිකාව හැමදාමත් මා වශීකළ මිහිබට පාරාදීසය වන සිංහරාජය වෙතට. සිංහරාජය ගැනත් මීට පෙර මා ලියා ඇති සටහන් ඔබට මෙතනින් කියවන්නට පුළුවනි.

මෙදා චාරිකාව ඉතාමත් හදිසියෙන් සූදානම් කර ගත් එකක්. අපි මුලින්ම සූදානම් වුණේ කන්නෙලියේ කබ්බලේ කන්ද තරණය කරන්නට. නමුත් හික්කඩුවෙන් පිටත් වෙද්දීම උදේ නවය පසුවී තිබුණ නිසා සැලසුම් වෙනස් වුණා. 
මගේ යතුරුපැදියේ නැගුණු මමත් මගේ ගමන් සගයා චතුරත් නෙළුව හරහා ලංකාගමට ඇතුළු වන විටත් සවස දෙක පසුවී තිබුණා. අතරමග ගංවතුර නිසා ඇතිවූ අනේක විනාශයන් පසු කරමින් එන්නට සිදුවීම ඛේදයක්. 
ඉතාම පටු හා දුෂ්කර මාර්ගයක් හරහා ලංකාගමට ළඟාවූ අපි අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබාගෙන යුහුව කැලෑවට ඇතුළු වුණා. මෙතනින් එහාට මම අඩුවෙනුත් පින්තූර වැඩියෙනුත් කතා කරනවා ඇති.
බ්‍රාහ්මණ ඇල්ල
මේ ලංකාගම ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළුවන ඔබට මුණගැසෙන පළමුවෙනි දියඇල්ල. ලංකාගම - නෙළුව මාර්ගය ආසන්නයේම පිහිටා ඇති මෙය හැඳින්වෙන්නේ ‘බ්‍රාහ්මණ ඇල්ල' යන නමින්. මෙහි විසූ බ්‍රාහ්මණයෙක් නිසා මෙයට එම නම ලැබුණු බව පැවසෙනවා. තවත් අයෙකුගේ මතය වන්නේ මෙම දියඇල්ල බ්‍රාහ්මණයෙකුගේ සුදෝසුදු රැවුලක් මෙන් ගලා හැලෙන නිසා එම නම ලැබුණු බවයි. දෙවන මතය වඩාත් නිර්මාණාත්මක නිසා මම කැමති එය පිළිගන්නටයි.
උභයජීවීන්
වනාන්තරයේ ගමන් කිරීම සීරුවට කළ යුත්තක්. නැත්නම් ඔබට ක්ෂුද්‍ර නමුත් වටනා බොහෝ දේ මගහැරෙනවා නියතයි.
තනිව....
බ්‍රාහ්මණ ඇල්ලෙන් පසු අපි නික්ම ගියේ ඌරන් වැටුණු ඇල්ල බලන්නටයි. ඒ අතරමගදී එකවර කඩා හැලුණු මහවැස්සකට අපි ගොදුරු වුණා. කොහොමටත් වැසි වනාන්තරයක් තුළදී වැස්සකට හසුවීම අරුමයක් නොවෙයි. නමුත් ගහකොළ අතරින් පෙරී එන අවු රැල්ල අතරින් වැහි බිඳු ගලා හැලෙද්දී මැවුණු චමත්කාරය වචනයට නැගීම නම් ඉතාම අපහසුයි.
වැහැපන් මල් මල් වරුසාවේ....
මල්මොර ඇල්ල හැරුණු විට දුරින්ම පිහිටි ඇල්ල වන උෟරන් වැටුණු ඇල්ල බොහෝ දුරක් ගල්තලාව මතින් ඇදී එන අතිශය මනරම් දිය ඇල්ලක්. 
ඌරන් වැටුණු ඇල්ල
උෟරන් වැටුණු ඇල්ල අබියසදී දිවා ආහාරය ගත් අපි ඉන්පසු තවත් සුවිශේෂී ස්වභාවික පිහිටුමක් සොයා ගියා. ඌරන් වැටුණු ඇල්ලට පහළින් පිහිටි මෙය හඳුන්වන්නේ ‘ගල් ඔරුව / ගල් දොරුව ඇල්ල' නමින්.
ගල් දොරුව ඇල්ල
ඉහළ ඌරන් වැටුණු ඇල්ලේ මුළු ජලස්කන්ධයම ඉතා පටු ගල් විවරයක් ඔස්සේ අධික වේගයෙන් ගලා බැසීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. එය එක රූපරාමුවකට හසු කර ගැනීම ඉතා අසීරු කටයුත්තක්. මෙම ඇල්ල ළඟදී ඔබ ඉතා සුපරීක්ෂාකාරීව හැසිරිය යුතු බව අවධාරණයෙන් සටහන් කර තබමි.
හතු...
වනාන්තරයේ සුන්දරත්වය දෑසින් උරා බොමින් කූඩැල්ලන්ගේ අනේක අතවරයන්ට ලක්වෙමින් අපි ඊළඟ ඇල්ල සොයා ගියා. තට්ටු තුනකට ඇද හැලෙන මේ සුන්දර ඇල්ල ‘තට්ටු ඇල්ල' නමිනුයි හැඳින්වෙන්නේ.
තට්ටු ඇල්ල
තට්ටු ඇල්ලේ දියදහරින් පරිස්සමෙන් එගොඩ වූ විට මේ දිය ඇලි සංකීර්ණයේ අතිශයින්ම සුන්දර දිය ඇල්ලක් වෙත යන්නට ඔබට පුළුවනි. මේ ඇල්ල හැඳින්වෙන්නේ ‘දූවිලි ඇල්ල‘ යන නමිනුයි. 
දූවිලි ඇල්ල
හාත්පස දුහුවිල්ලක්සේ විසිරෙන පිණි පොදින් වැසී ඇති මේ ඇල්ල සිංහරාජය ආශ්‍රිතව දක්නට ලැබෙන තෙවැනි දූවිලි ඇල්ලයි. (කුඩව පිටකැලේ ගමේත්, නෙලුව කොස්මුල්ලේත් අනිත් දූවිලි ඇලි දෙක තියෙනවා)
කෙටි කාලයක් තුළ සුන්දර දියඇලි රාශියක් නැරඹීමට හොඳම ප්‍රදේශයක් ලෙස ලංකාගම නම් කළ හැකියි. එම සංවේදී පරිසර පද්ධතිය තුළ හැසිරිය යුත්තේ කෙසේදැයි පුන පුනා කීම අනවශ්‍යයි. වගකීම ඔබ සතුයි.
කැමරා උපකරණ සැපයූ ආදරණීය සජිත් මධුෂාන් අබේගුණවර්ධන සොයුරාට බොහෝම පිං

Monday, April 3, 2017

Awarded at Nelum Yaya Blog Awarding Ceremony - නෙළුම් යායෙන් සම්මාන ලදිමි

මම බ්ලොග්කරණයට පිවිසෙන්නේ 2012 වර්ෂයේදී. එවක ලක්බිම ඉරිදා සංග්‍රහයේ පළවුණු ‘වියුණු සටහන්‘ තමයි මට බ්ලොග් ලෝකයට පාර කියන්නේ. එවක බ්ලොග් ලෝකයේ පතාක යෝධයන් වුණු සඳරූ, කතන්දර කාරයා, මාරයා, දුමී, අභීත වැනි අය නිසා මටත් බ්ලොග් එකක් ලියන්න මාර ආසාවක් ඇතිවුණා. එතනදි මං තෝර ගන්නේ මං කැමතිම විෂයය වුණු සංචරණය සහ ඡායාරූප.
මං ගිය බොහෝ පාරිසරික චාරිකාවල සටහන් හා ඡායාරූප මගේ බ්ලොග් එකෙන් බලන්න පුළුවන්. හුදෙක් පාරිසරික සෞන්දර්යය ඉදිරිපත් කිරීමට පමණක් සීමා නොවී අදාළ පාරිසරික පද්ධතියේ විද්‍යාත්මක වැදගත් කම, ඒවාට ඇති තර්ජන ආදිය විශ්ලේෂණය කරන්නත් මං මගේ ලිපි අතරේ ඉඩකඩ විවර කර ගත්තා. සංචාරක සටහන්වලට පමණක් සීමා නොවී පරිසරය හා බැඳුණු වෙනත් කරුණු සාකච්ඡා කරන්නටත් මගේ බ්ලොගය නිරතුරුවම ලෑස්තියි. පරිසර හානිය අවම වන පරිදි නිවසක් තනා ගන්නා ආකාරය ගැන මගේ අත්දැකීම් ඇසුරෙන් සකස් කළ ලිපිය ඊට උදාහරණයක්.
විශේෂම දේ මේ බ්ලොග් අඩවියේ මා ඉදිරිපත් කර ඇති ඡායාරූප සියල්ලම පාහේ මගේ කුඩා සංයුක්ත කැමරාවෙන් ගත් ඒවා වීමයි. මිල අධික DSLR වර්ගයේ කැමරාවක් තාමත් මට හීනයක්. නමුත් ඔබට හොඳ ඇහැක් තිබේ නම් කැමරාවේ වර්ගය ඒ තරම් වැදගත් නොවන බවයි මගේ හැඟීම.

බ්ලොග්කරණයේදී මා ලද පළමු ප්‍රතිචාරය ලැබුණේ සඳරූ ගෙන්. එවක බ්ලොග් කරණයේ පතාක යෝධයෙකු වූ සඳරූ මගේ මේ පුංචි අඩවිය වෙනුවෙන් තැබූ සටහන මට මහ මෙරක් වුණා.

මට හිතෙන විදියට අනෙකුත් මාධ්‍යයන් එක්ක සසඳද්දී බ්ලොග් කියන්නේ ඉතාම සජීවී මාධ්‍යයක්. ඔබේ පාඨකයාගේ ප්‍රතිචාර එවෙලේම බලා ගන්නටත් ඔවුන්ට පෙරළා ප්‍රතිචාර දැක්වීමට ලැබීමත් නිසා ඇතැම් විට ඉතා හරබර සංවාද බ්ලොග් අතරේ ඇතිවෙනවා. ඒ වගේම ඉතා අපූරු රසවතුන් පිරිසක් බ්ලොග් අවකාශය හරහා හඳුනාගන්නටත් මට අවස්ථාව උදා වුණා.
මගේ බ්ලොග් ලිපියක් හෝ ඡායාරූපයක් ඇවැසි ඕනෑම අයෙක් ඕනෑම අවශ්‍යතාවයක් උදෙසා උපුටා ගත්තාට මගේ කිසිම අමනාපයක් නෑ. ඇත්තටම එය මගේ අත්‍යන්ත ප්‍රීතියට කාරණයක්.

බ්ලොග්කරණයට පිවිස වසර පහකට පසු 2016 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී පාරිසරික හා සංචාරක අංශයේ හොඳම බ්ලොග් ලිපිය වෙනුවෙන් මා සම්මානයට පාත්‍ර වෙනවා.
ඕනෑම ආකාරයක ලේඛකයෙකුට සම්මානයක් ලැබීම මහත් උත්තේජනයකට හේතුවක්. මේ ප්‍රීතිජනක මොහොතේ මගේ ආදර ගෞරවය නෙළුම්යාය සංවිධායක මණ්ඩලයට හිමිවිය යුතුයි. එසේම මට සංචරණය සඳහා ඉඩහසර විවර කර දෙමින් තනිවම දරු දෙදෙනාගේ කටයුතු කර ගනිමින් අත්‍යන්ත සහයක් දක්වන මගේ ආදරණීය බිරිඳටත් මේ ගෞරවය හිමිවිය යුතුමයි. එමෙන්ම මා සමග සංචාරයේ යෙදෙන දයාබර පරිසර ලෝලී හිතමිතුරන්ටත්, ලිපි කියවමින් නිබඳව දිරි දෙන ඔබ හැමටත් බොහොම පිං.
මෙන්ඩා, ප්‍රසා, ලොකුපුතා ඇතුළු නම කී නොකී මේ සියලුම පාඨකයන් නිසයි බ්ලොග් ඉදිරියට පවතින්නේ. ඒ නිසාම සම්මානය ලද මොහොතේම “මේක මට වගේම උඹටත් අයිතියි අයියණ්ඩි" කියලා මම දෝතින්ම ඒක මෙන්ඩා අතට දුන්නා. එය මගේ බ්ලොග් ජීවිතයේ මා ලද ඉහළම භාග්‍යයක්. නමුත් මම අදටත් බ්ලොග් ජීවිතයේ මම ලද ඉහළම සම්මානය ලෙස සලකන්නේ මගේ නිත්‍ය පාඨකයෙක් වන ‘එළ ද බ්‍රා මෙන්ඩා’ විසින් මගේ ‘චැරියට් පාත්’ චාරිකා සටහනේ අග සටහන් කර තිබුණු මෙන්න මේ ප්‍රතිචාරයයි. මොන මගුලක්ද බන් අද ආය පාරක් ඇවිත් උබගේ පිංතුර ටික බැලුව. ගුරුකමක් වත් කරගන්න ඕනේ උබගේ ලිපි හය හත් සැරේ කියවන ඒක නවතත් ගන්න