Sunday, January 10, 2016

Kanneliya Forest - Kabbale Kanda Hike... කබ්බලේ කන්ද තරණය


කන්නෙලිය රක්ෂිතය සුන්දර දසුන් වලින් පිරිච්ච අපූරු වැසි වනාන්තරයක්. මීට කලින් කන්නෙලිය ගැන ලිපි කිහිපයක්ම මගේ අතින් ලියවිලා තියෙනවා. ඒක නිසා කන්නෙලිය ගැනත් එහි වැදගත්කම ගැනත් පුන පුනා ලියන්නට අදහස් කරන්නේ නෑ. කන්නෙලිය ගැන මම කලින් ලියපුවා මෙතනින් බලන්න.

කන්නෙලියේ මංපෙත් අතරින් වඩාත්ම දුෂ්කර හා සුන්දර මංපෙත වන්නේ කබ්බලේ කන්ද මංපෙතයි. යාමට ඒමට කිලෝමීටර 11.5ක් වගේ තිබෙන නිසා බොහෝ දෙනෙක් මේ මංපෙත ඔස්සේ ගමන් කරන්නට උත්සාහ කරන්නේ නෑ.පසුගිය දිනෙක මමත් මගේ හිතාදර මිත්‍රයෙක් වුණු සජිත් මල්ලීත් මේ මංපෙත ඔස්සේ කබ්බලේ කන්ද තරණය කළා.
අපි පාන්දර හික්කඩුවෙන් පිටත් වී උදෑසන 07 පමණ වන විට කන්නෙලිය පිවිසුමට පැමිණියත් මග‍ පෙන්වන්නෙක් එතෙක් පැමිණ නොසිටි නිසා මද වෙලාවක් කල්මරන්නට සිදුවුණා. කෙසේ නමුත් උදෑසන අටට පමණ අප ගමන් අරඹන විට ඉතා යහපත් කාලගුණ තත්ත්වයක් තමයි කන්නෙලිය අවට දක්නට ලැබුණේ. ප්‍රධාන පිවිසුම ආසන්නයෙන්ම විහිදුණු මංපෙත ඔස්සේ අපි හෙමින් ඉහළට ඇදුණා. මුළු ගමනම යෙදී තිබෙන්නේ ගනව වැඩුණු වනාන්තරය ඔස්සේ...
ගණ වනය මැදින්...
මේ දිනවල පවතින තෙත්බර කාලගුණික තත්ත්වය කූඩැල්ලන්ට ඉතා හිතකර එකක්. අඩිය තබන සෑම තැනකම සිය ගණනින් කූඩැල්ලන් රැස් කමින් සිටියා. 
ප්‍රහාර...
අවට පරිසරයේ සුන්දරත්වය උපරිම ලෙස විඳිමින්, තැන තැන නතර වී ඡායාරූප ගනිමින් අපි හෙමින් ඉහළට ගමන් කළා.

කැලෑ ජෝන්...
මෙසේ මද දුරක් ගමන් කළ අපි 'ගල්ලෑලි දොළ' වෙත පැමිණියා. මෙම දොළ ඉහත්තාවේ තිබෙන ගල්ලෑලි දොළ ඇල්ල මේ වන විට සිඳී ගොස් තිබුණු නිසා අපි දොළ දිගේ ඉහළට නගින්නට තීරණය කළා. එය සැබවින්ම අභියෝගයක් වුණේ ලිස්සන ගල් මත හතරගාතයෙන්ම යන්නට සිදුවුණු නිසා.
ගල්ලෑලි දොළ - වර්ෂා කාලයේ ස්වරූපය කඩා වැටිච්ච ගස්වලින් හිතා ගත හැක
මේ මිරිදිය කකුළුව‍‍ා අපට හමුවුණේ ගල්ලෑලි දොළේදී. 

මිරිදිය කකුළු විශේෂයක්
කූඩැල්ලන්ගෙන් නම් අඩුවක් නෑ දෙයියනේ කියලා... මම බූට්ස් පැළඳගෙන සිටි නිසා පාද බේරා ගත්තත්, කලිසම දිගේ ඉහළට නැගපු කූඩැල්ලන් මගේ ඉණ වටේම හිටියා. කොටින්ම නාභියේ ඉඳලාත් එකෙක් අරන් දැම්මා...

මැනීම
මෙහෙම ඉහළ නැගපු අපි ගමනේ පළමු වීව් පොයින්ට් එක වන පුංචි කබ්බලේ මුදුනට පැමිණියා. එතැන් පටන් අවට බලන විට දක්නට ලැබෙන දර්ශනය නම් වචනයට නැගීම ඉතා අපහසුයි. ඒ නිසා ඒක පින්තූරයෙන්ම බලන්න.

ආහ්......
පුංචි කබ්බලේ මුදුනේ සිට...
එතැන මදක් ගිමන් හැරපු අපි ඉන්පසු මහ කබ්බලේ නගින්න පටන් ගත්තා.
මහ කබ්බලේ...
මේ කටුකිතුල් - Oncosperma fasciculatum ශාකයක්. හම්බවුණේ මහකබ්බලේ මුදුනේදී. මෙයා ලංකාවට ආ‍වේණික එකක්.

කටුකිතුල් - Oncosperma fasciculatum
පුංචි බිම්මලක් වුණත් කොයිතරම් නම් ලස්සනද?

වර්ණ...
ආපසු එන ගමනත් එතරම්ම සුවපහසු වුණේ නෑ. කැලෑ පාළුවන්ගෙන් මේ වනාන්තරයට එල්ල වෙලා තියෙන අවදානම බලන්න. මේ තියෙන්නෙ කපා දමපු වල්ලපට්ට ගහක්.

වල්ලපට්ට කපපු එකා පට්ට ගැසිය යුතුයි...
ගහක අත්තක උන්නු මේ පළා පොළඟව - Trimeresurus trigonocephalus දැක්කෙ පහළටම ආවට පස්සෙ. මෙයා මද විෂ සහිත ලංකාවට ආවේණික රුක් වාසී සර්පයෙක්. 

පළා පොළගා -Trimeresurus trigonocephalus
දීර්ඝ පාගමන අවසා‍නයේ අපේ වෙහෙස නිව්වේ නන්නිකිත දොළේ ගලා යන සීතල දිය පහර විසින්. මහ වැස්සේ සීතලේ නාපු ඒ නෑමත් අමතක නොවන අත්දැකීමක්... 
ඔය දොළේ බැහැගෙන ඉන්නෙ මං තුමා තමා... මේ පින්තූරේ ගෞරවය සජිත් මධු්ෂාන් මල්ලිට...

බැහැගෙන නෑම
තවත් සුන්දර චාරිකා අත්දැකීමක් අවසන් වුණේ ඔය විදියටයි. ඉතින් මේ වනාන්තර පද්ධතිය තුළ හැසිරිය යුතු ආකාරය ගැන ලියා මගේ දයාබර පාඨකයන්ට අපහාස කරන්නට මං සූදානම් නෑ. මොකද මං දන්නවා මගේ බ්ලොග් එක වටා බැඳුණු ඔබ පරිසරයට ආදරය කරන සුන්දර මිනිසුන් බව...

සැ.යු. - කබ්බලේ යනවා නම් වර්ෂාව අඩු සමයක යායුතුයි. 

පරණ කතාවක් ආයෙත් - මගේ බ්ලොගයේ පළවන ඡායාරූප හා විස්තර තමන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ඕනෑම අයෙකු යොදා ගත්තාට මගේ අමනාපයක් නැත. ඇත්තටම එය මට මහත් සතුටකි. පින්තූර හා විස්තර ගත්තු තැනත් සඳහන් කරන්නට කාරුණික වන්නේ නම් එය ඊටත්වඩා සතුටකි.

22 comments:

  1. නියමයි දිලෝ... හදිස්සියට වැඩි දෙයක් කියන්න වෙලා නෑ.. ආයෙ එන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කැමා. ආයෙ වරෙන්කො එහෙනම්...

      Delete
    2. අර පිස්සු කැමරා කටා දාන ජරා පිංතූර වලට වඩා මේවා බොහොම අගෙයිනෙ බං :D

      Delete
    3. කැ කා පොටෝ දානවද බන්

      Delete
  2. 8 වෙනි පින්තූරෙ 'ආහ්' උනේ ෆොටෝ එක ගන්නකොට මොකක් හරි උනාද?
    නාභියෙ විතරද කූඩැල්ලො හිටියෙ?

    නියම ගමනක් සහ පින්තූර ටිකක්.

    ReplyDelete
    Replies
    1. 'ආහ්' වුණේ බං කූඩැල්ලෙක් කාලා...
      නාභියට පහළිනුත් ලොකූ කූඩැල්ලෙක්.... එක්කො ඕන නෑ...

      Delete
  3. ජීවිතය විඳින කොල්ලෝ සෙට් එකක් කියලා කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඩූඩයියෙ....
      මෙහෙමවත් ආතල් එකක් නැති ජීවිතේ මක්කටෙයි?

      Delete
  4. Replies
    1. ස්තූතියි කුරුටු...

      Delete
  5. මීට අවුරුදු හය හතකට ඉස්සර නම් නිවාඩුයක් ලැබුණු ගමන් කොට්ටව , කන්නෙලිය කෑලෑ ඇතුලෙම තමා :D ඔබේ මේ ලිපියෙන් ඒ ලද සිසිලස , සතුට ආයෙත් විඳගත්තා . ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. බෑ මමත් ඉස්සර හිතුණ ගමන් බයික් එකේ තනියමත් කන්නෙලි යනවා. දැන් නම් එහෙම බෑ. දැන් ලැබෙන නිදහස බොහොම සීමිතයි

      Delete
  6. ආ...................උඹ ආවද? කොහේද යකෝ මක බෑ විලා හිටි යේ? කැමරා එල්ලගත්තු හැම එකාටම ඔහොමද මංදා.

    පොටෝ ටික අම්මපා ඇස්වහක් කටවහක් නෑ.

    ReplyDelete
    Replies
    1. සංක්‍රාන්ති සමයක් බං පහුගිය ටිකේ ගෙව්වේ දැන් නම් ටිකක් නිදහස්.
      ස්තූතියි ඇගයුමට. මං දන්නවා උඹ යමක් කියන්නේ හදවතින් බව

      Delete
  7. මේ පින්තූර වල තියෙන කොළපාට දැක්කම ඇස් වලට මොන තරම් සනීපයිද ? කන්නෙලිය ගැන අහලා තිබුනට බලන්න ගිහින් නෑ කවදාවත්..මෙහෙම ගමනක් යන්න ආසයි...ඒත් කාලය තමයි දැන් බොහොම මඳි....මම හිතාන හිටියෙ පලා පොළඟා උග්‍ර‍ විෂ සහිත ඇති කියලා...වතාවක් ඇළි හතේදි කැලෑවෙ නැවතුන වෙලාවක පළා පොළගෙකුගෙන් යන්තමින් මම බේරුනේ...

    ReplyDelete
    Replies
    1. පලා පොළඟා උග්‍ර‍ විෂ නෑ. හැබැයි බඩුව ලේසිත් නෑ. කුණකටුවා වගේම විෂක් තියෙනවා. දෙන්නම Vipiridie කුලයේ Pit Vipersලා නෙ.
      මාත් ළගදී ඇලි හත යනවා. විස්තරේ කියන්නම් ඉක්මණට

      Delete
    2. අපි ඇලි හත යන කාලෙ එකම එක කැමරා ෆෝන් එකයි අපේ නඩේටම තිබුනෙ...ඒ ගමන් ගිහින් ඇවිත් ඒ පින්තූර කම්පියුටර් එකට කොපි කරන්න කලින් ෆෝන් එක හොරකම් කලා දෙමටගොඩදි කෝච්චියෙ අයිතිකාරයා හිටිය වෙලාවක...ඒ නිසා ඒ සුන්දර ගමනේ කිසිම රූපමය මතක සටහනක් අපිට දැන් නෑ...

      Delete
  8. ටික කාලෙකට කලින් කන්නේලියේ ගියත් කබ්බලේ නගින්න බැරිඋනා.. අපහු පාරක් යන්න ආසාවක් ආවා.. මේ සතියේ පිටදෙනිය පැත්තෙන් සිංහරාජේ යන්න ඉන්නේ.. උනන්දුවක් අවේ මේ බ්ලොග් එකේ පරණ පොස්ට් එකක් දැකලා.. වැඩේ නියමයි..

    ReplyDelete
    Replies
    1. කබ්බලේ මටත් හීනයක් වෙලා තිබුණෙ. පිටදෙනිය තමයි මං හිතන විදියට සිංහරාජෙ යන්න හොදම විදිය. ගිහිං ඇවිත් විස්තරේ කියන්නකො. (කූඩැල්ලො තමයි එකම ප්‍රශ්නෙ. ලෑස්ති වෙලා යන්න) ජය වේවා

      Delete