 |
Hawks bill Turtle |
ජෛව විවිධත්වයෙන් අනූන රටක් වන ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයද ජෛව සම්පතින් පොහොසත්. එවන් සජීවී වෙරළ තීරයක් ගැන මම මීට කලින් පළකරපු ලිපිය මෙතනින් බලන්න.
සාගර ජෛව විවිධත්වය ඔප කරන ජීවියෙක් හැටියට කැස්බෑවා හඳුන්වා දෙන්නට පුළුවනි. වසර ලක්ෂ ගණනක පටන් මිහිමත වෙසෙන සත්ත්ව කොට්ඨාසයක් ලෙසයි කැස්බෑවුන් සැලකෙන්නේ. පෙනහළු මගින් ශ්වසනය කරන ජීවින් නිසා මොවුන්ට බොහෝ වෙලාවක් දිය යට ගත කරන්නට බෑ. එමෙන්ම චලතාපි (පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස්වන) ජීවින් නිසා මොවුන් වරින් වර ජල පෘෂ්ඨය මතට පැමිණෙනවා.
ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ කැස්බෑ විශේෂ පහක් වාර්තා වෙනවා. ඔවුන් නම්,
1. ඔලුගෙඩි කැස්බෑවා (Logger Head Turtle - Cretta craetta)
2.ගල් කැස්බෑවා (Green Turtle - Chelonia mydas)
3.දාර කැස්බෑවා (Leathery Turtle - Dermochelys coriacea)
4.බටු කැස්බෑවා (Kemp's Ridley Turtle - Lepidochelys kempi )
5.පොතු/ ලෙලි කැස්බෑවා (Hawksbill Turtle - Eretmochelys imbricata)
මේ අතරින් වඩාත් විසිතුරු සත්ත්වයා වන්නේ පොතු/ලෙලි කැස්බෑවායි. මම ඉහත දක්වා ඇත්තේ පොතු කැස්බෑවගේ රූපයක්. විසිතුරු භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් මේ සතාගේ කටුවට ඇත්තේ විශාල ඉල්ලුමක්. ඒ හේතුවෙන්ම අද මෙයා බොහෝ දුර්ලභ දර්ශනයක් බවට පත්ව තිබෙනවා.
කැස්බෑවාට ප්‍රධානතම තර්ජනය එල්ල වී ඇත්තේ මිනිසාගෙන්. මසට මැරීම, බිත්තර එකතු කිරීම විසිතුරු භාණ්ඩ සැදීම සඳහා මරා දැමීම නිසා මේවන විට ලංකාවෙන් කැස්බෑවා වඳවී යාමට ඉතාම ආසන්නයි.
කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන කියන සංකල්පය කරළියට එන්නේ මෙවන් සන්දර්භයක් තුළයි. මේවන විට දකුණු මුහුදු තීරය පුරා එවන් සංරක්ෂණ මධ්‍යස්ථාන බොහොමයක් දක්නට ලැබෙනවා. නමුත් ඒවායින් සාධනීය කාර්යභාරයක් ඉටුවෙනවාද යන්න වෙනම සාකච්ඡා කල යුතු මාතෘකාවක්. ඒ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී පළකරන්නට මම බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් මම අද මගේ සොබාදම් මිතුරන්ට ඉදිරිපත් කරන්නේ එවන් එක් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකදී මා දුටු සංවේදී දර්ශනයක්. බලන්න මේ ගල් කැස්බෑවා දිහා.
 |
Green Turtle |
ඔබ දුටුවාද ඔහුගේ යම් වෙනසක්. ඔහු සමබරව නෑ වගේ දුටුවා නම් ඔබ හරි. ඔහුගේ එක් අවල පතක් ඔහුට අහිමි වෙලා. ධීවරයෙකුගේ දැලකට හසුවීම නිසා තමයි ඔහුට මේ ඉරණම අත්වුනේ.
 |
Green Turtle |
අවල්පත් තුනකින් පිහිනන්නට මේ සත්ත්වයා දරන උත්සාහය ඇත්තටම අනුවේදනීය දර්ශනයක්.
මේ වීඩියෝ දසුන නරඹා ඒ බව හොඳින් අවබෝධ කරගත හැකියි.
මේ දසුන් නරඹා ඔබ තුළ අසරණ ජීවින් කෙරෙහි සංවේදනාවක් ඇති වූවා යයි මම විශ්වාස කරනවා. අපි මේ මිහිතලයේ කොටසක් විනා එහි අයිතිකරුවන් නොවන බව මිනිසා අවබෝධ කරගත්දාට මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් වේවි.