Saturday, May 12, 2012

සොඳුරු කොග්ගල නුදුටු ලස්සන...



කොග්ගල ප්‍රධාන වශයෙන්ම ධීවර හා සංචාරක ව්‍යාපාර මත යැපෙන ආර්ථිකයකින් සමන්විත නගරයක්. ඛාදනය වුනු ගල්පර සහිත නොගැඹුරු මුහුදු තීරයෙන් යුතු වෙරළ අතිශයින් සජීවීයි. නමුත් මෙම සජීවිත්වය අත්දකින්න නම් සංචාරකයා ඉතා ඉවසිලිමත් හා සංවේදී අයෙකු වීම ඉතා වැදගත්.
ඔබ විමසිල්ලෙන් වෙරළට ලං වෙලා බැලුවොත් වෙරළේ තියෙන පුංචි පුංචි බෙලිකටු එහෙ මෙහෙ දුවන ආකාරයක් දකින්න පුළුවන් වේවි. ඊට හේතුව කුමක්ද? හේතුව ඉතා සිත් ගන්නා සුළුයි. වෙරළේ දක්නට ලැබෙන මියගිය මුහුදු ගොළුබෙල්ලන් හා අනෙකුත් කවචධාරි මොලස්කාවන්ගේ හිස් කටු තුලට රිංගා ගත් තාපස  කකුළුවා (Hermit Crab) තමයි මේ විදිහට වෙරළ පුරා දුවන්නේ. 


අනුන්ගේ කටුවක් තුලට රිංගා ගත් තාපස කකුළුවෙක් 


තමන්ගේ ආරක්ෂාව සඳහා අනුන්ගේ කටුවක් ඇතුලට රිංගන මේ කකුළුවා ක්‍රමයෙන් වැඩෙන කොට පරණ කටුව ඉවතලා අලුත් එකක් හොයා ගන්නවා. 


තාපස කකුළුවා මගේ අතේ


කොග්ගල වෙරල තීරය ඛාදනය වුනු ගල්පර වලින් පිරිලයි තියෙන්නේ. මෙම ගල් වසා ගෙන රතු, දුඹුරු, සහ කොළ පාට ඇල්ගී වර්ග වැඩී තිබෙනු දකින්නට පුළුවන්. 


ඇල්ගී ගහන ඛාදනය වුනු ගල්පර 


මෙම ගල්කුහර අතර ජීවත් වන ජීවීන් ගණන අති විශාලයි.  මුහුදු ඇනමෝන (Sea Anemone), විවිධ වර්ග වල කකුළු විශේෂ, ඉකිරි වර්ග හා කුඩා විසිතුරු වර්ණ සහිත මත්ස්‍ය විශේෂ ඒ අතර බහුලව දකින්නට පුළුවන්.  


ගල්පර නිවහන කරගත් කකුළු විශේෂයක් 


රිටි පන්න ධීවර කර්මාන්තය මෙම ප්‍රදේශයට ආවේනික කර්මාන්තයක්. නොගැඹුරු මුහුදු තීරයේ සිටවූ රිටක් මත නැගී කරන මෙම රස්සාව ඉතා ඉවසීමෙන් කලයුතු එකක්. මම මේ ප්‍රදේශයට ගිය වෙලාවේ නම් ඔවුන් දක්නට සිටියේ නෑ.


තනිවුනු රිටිපන්නය 


අවධාරණයෙන්ම ලියා තැබිය යුතු කරුණක් තියෙනවා.  එනම් මේ පරිසර පද්ධතිය ඉතාම සංවේදී එකක් බව. මත්පැන් බී කැලිකසල දමා පිස්සු කෙලීමේ පරමාර්ථයෙන් නම් කවදාවත් මේ වගේ පරිසර පද්ධතියකට යන්න එපා. මේ වගේ තැනක පය තියනකොට පවා කල්පනාකාරී විය යුතුයි. මොකද සමහරවිට ඔබේ පයට පෑගිලා මිය යන්නේ ඉතා දුර්ලභ ජීව විශේෂයක් වෙන්නට පුළුවන් නිසයි.

6 comments:

  1. ගොඩක් හොද ලිපියක්

    ReplyDelete
  2. හොඳ ඇහැක් තියෙන බව පේනවා

    ReplyDelete
  3. ලස්සන ෆොටෝ ටික. නියමයි.

    ReplyDelete
  4. ඇත්තටම අපූරු ලිපියක්... පින්තුර ටිකත් කදිමයි... වැඩි දෙනෙක් සොබාදහමේ වටිනාකම නොදන්න අවසා‍නයේ කර ඇති ඉල්ලීමත් ඉතාම වටිනවා.

    ReplyDelete
  5. ඇත්තටම ගොඩාක් වටිනව. නියමයි සහොදරය.දිගටම කරගෙන යන්න.මගේ සුබපැතුම්..........

    ReplyDelete