Sunday, September 1, 2013

අකුරළ-ගල්දූව තෙත්බිම (යෝජිත අභයභූමිය)

සංවේදී පරිසර පද්ධතියක් වෙත ඔබව කැන්දාගෙන යන්නටයි සොබාරූ අද සූදානම් වන්නේ. බොහෝදෙනෙක් අසා නැති, ප්‍රදේශවාසීන් පවා බොහෝවිට එතරම් අවධානයක් යොමු නොකරන මේ සුවිශේෂ ජෛව පද්ධතිය ගැන ලියවුනු ලිපියක් පවා ප්‍රසිද්ධ ජනමාධ්‍යයකින් කියවීමට මටනම් අවස්ථාවක් ලැබී නැහැ.
ගාල්ල කොළඹ A2 ප්‍රධාන මාර්ගයේ 89 වැනි කිලෝමීටර් කණුව අසළ, අකුරළ හා ගල්දුව ප්‍රදේශයට මායිම්ව මේ අපූරු තෙත්බිම පිහිටා තිබෙනවා.
කැටපත....

දුම්රිය මාර්ගය හා සමාන්තරව පැතිරී තිබෙන මෙම තෙත්බිමේ මුළු වර්ග ප්‍රමාණය හෙක්ටයාර 72ක්. මාදම්පා ගඟටත්, තෙල්වත්ත ගඟටත් යාබදව ඒවායින් පෝෂණය ලබන මේ තෙත්බිම ජීව විශේෂ රාශියකට නිවස්නක් සපයා තියෙනවා.
රටාව....
70 සිට 90 දක්වා දශකයන්වල මේ තෙත්බිම හුණුගල් කනින්නන්ගේ දැඩි ග්‍රහණයට ලක්ව තිබුණා. පහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ දූ කුට්ටි සකස් වීමට බලපෑවේ මේ සිදුවුණු හිරිගල් කැණීම.
හිරිගල් කැණීමේ ප්‍රතිඵල...
කෙසේ නමුත් මේ වනවිට හිරිගල් කැණීම සම්පූර්ණයෙන්ම නතර වී තිබෙන අතර හිරිගල් කැණීම නිසා ඇති වුණු වලවල් මේ වනවිට කඩොලාන වලින් වැසී සම්පූර්ණයෙන්ම සජීවී තත්ත්වයට පත්ව තිබෙනවා.
Fatal beauty.....
මෙම තෙත්බිම පිළිබඳව තවමත් හරිහැටි විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකෙරී නැහැ. තෙත්බිම් උරුමය සංවිධානය විසින් කරන ලද නිරීක්ෂණයන්ට අනුව මෙහි ශාක විශේෂ 131ක් වාර්තා වෙනවා. හෙක්ටයාර 72ක් වැනි කුඩා බිම් ප්‍රදේශයක මේ තරම් විශාල ශාක විවිධත්වයක් දක්නට ලැබීම ඉතාම සුවිශේෂ සිද්ධියක්. මේ වැදගත්කම නිසාම මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම ප්‍රදේශය පාරිසරික සංවේදී කලාපයක් ලෙස නම්කර තිබෙනවා.
පුංචි දියකාවා - Little Cormorant - Phalacrocorax niger 
කුරුල්ලන් නැරඹීමටනම් මේ ප්‍රදේශයේ මීට වඩා තැනක් නෑ කියලයි මට හිතෙන්නේ. කුරුලු විශේෂ රාශියක්ම මෙම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ අතර ආවේණික විශේෂ කිහිපයකුත් සිටිනවා. මේ පහත ඡායාරූපයේ සිටින්නේ මල් පිළිහුඩුවා. (Common kingfisher - Alcedo attihis)
මල් පිළිහුඩුවා...
අපි නිතර දැක පුරුදු පිළිහුඩුවාට වඩා තරමින් ඉතා කුඩා මෙයාව ඡායාරූපයට නගන්න මට මාර කට්ටක් කන්න වුණා. ඉතා සංවේදී හා කුලෑටි සතෙක් වන මූ යන්තම් ශබ්දයකින් පවා කලබල වී තියුණු හඬක් නගාගෙන පියාසර කරනවා.
මේ තරම් වටින ජෛව පද්ධතියක් වුණත් මීට එල්ල වී ඇති තර්ජනත් සුළුපටු නැහැ. මෙම හෙක්ටයාර 72ම යොදාගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් ඉදි වන්නට ගිය තරු පන්තියේ හෝටල් සංකීර්ණය නතර වුණේ තෙත්බිම් උරුමය සංවිධානයට පින් සිද්ධ වෙන්නටයි.
මෙම තෙත්බිම පිළිබඳව තවදුරටත් අධ්‍යයන කටයුතු කෙරෙමින් පවතිනවා. එමෙන්ම මෙය අභය භූමියක් බවට ප්‍රකාශ කිරීම සඳහා මූලික කටයුතු කෙරෙමින් පවතින බවද සඳහන්.
මෙම බිමේ තවත් ඡායාරූප ඉදිරි ලිපිවලින් ඉදිරිපත් කරන්නම්.
(මෙම සටහන මිහිතුරු සඟරාවට යැවීම සඳහා මුලදී සකස් කළත් ඊට වඩා පාඨක සමූහයක් වෙත ගෙනයන්නට බ්ලොග් අඩවියට හැකි නිසා මෙහි පළ කෙරුණා.)

15 comments:

  1. වටිනා විස්තරයක්.

    //ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් ඉදි වන්නට ගිය තරු පන්තියේ හෝටල් සංකීර්ණය නතර වුණේ තෙත්බිම් උරුමය සංවිධානයට පින් සිද්ධ වෙන්නටයි.//

    දැන් හමුදාවට තියෙන්නේ හෝටල් හදන එකද?

    ReplyDelete
    Replies
    1. අම්මප අයියේ... ඔව්වා ගැන කතා කරන්න ගිහින් සුදු වෑන් එකක් ගෙවල් පැත්තේ එයිද දන්නෑ... :D

      Delete
  2. Replies
    1. ස්තූතියි පෙදරේරු මහත්තයා...

      Delete
  3. දිගතම මේ ලස්සන තියාගන්න පුලුවන් නම් හොඳයි...
    www.safeyoutubelikes.com

    ReplyDelete
    Replies
    1. ඒක රැඳිලා තියෙන්නේ අපි මේ පරිසර පද්ධතියට කොයිතරම් සංවේදීද කියන කාරණේ උඩයි.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. මෙය කාගෙ හරි භූමියක් නොවී ඉතා ඉක්මනින්ම අභය භූමියක් වේවා කියල ප්‍රාර්ථනා කරනව
    ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයියා... මගෙත් එකම ප්‍රාර්ථනාව ඒකයි.

      Delete
  6. අගනා තොරතුරු හා අගනා සේයා රූ පෙළක්ම නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියේ...

      Delete
  7. කාලෙකට පස්සේ මේපැත්තේ අවේ. මේ පොස්ට් එකෙන් තමා මෙහෙම තැනක් තියනව කියල දැනගත්තෙත්. බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. වටිනා තොරතුරු.....ස්තුතියි...

    ReplyDelete
  9. වටිනා විස්තරයක් වගේම ලස්සන පින්තූර ටිකක්

    ReplyDelete