මම ජීවත් වෙන්නේ නගරයට තරමක් සමීපව. කොයිතරම් ඝෝෂාකාරී පරිසරයක් වුනත් වත්තේ ඉඩ තියෙන ඩිංගේ ගහක් කොලක් වවා ගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒක කොයිතරම් ආශිර්වාදයක්ද කියලා දැනෙන්නේ ඒ ගහකොළ අතරේ සැරිසරන පුංචි පුංචි කුරුළු වර්ග, සමනල් වර්ග දැක්කමයි. ඉතින් අද මම post කරන්නේ අපේ වත්තේ මම නිතර දකින කුරුළු විශේෂ කීපයක පින්තූර ටිකක්. ආපෝ මේ පින්තූර ටික ගන්න මම කාපු කට්ටක්.
ආ.. ෆොටෝ ටික දාන්න කලින් වත්තට කුරුල්ලන් ගෙන්වා ගන්න කරන්න පුළුවන් පොඩි උපක්රම කීපයකුත් කියන්නම්. මේවා මම අත්හදා බලලා ටක්කෙටම හරිගිහිපුවා. ප්රධාන දේ තමයි කුරුල්ලන්ට වතුර බොන්න, නාන්න පොඩි වතුර භාජනයක් තියන්න. පූසෝ වගේ සත්තුන්ට ලං වෙන්න බැරි තරම් උඩකින් තියන්න මතක තියාගන්න. අපේ ගෙදර තියෙන වතුර භාජනේ නිසා මට ලැබිච්ච ප්රයෝජන අනන්තයි. මේ ඉන්නේ ඒ වතුර එකේ නාන කුරුල්ලෙක්.
ඒ වගේම වත්තේ පලතුරු ගහක් දෙකක් වවා ගන්න පුළුවන් නම් සැහෙන වටිනවා. මේ දවස් වල අපේ අඹ ගහේ කුරුල්ලෝ පිරිලා. ගිරව්, ගිරා මලිත්තෝ, කොන්ඩ කුරුල්ලෝ සහ තව නම නොදන්නා කුරුල්ලෝ හරියට ඉන්නවා. අපේ පළාත සුනාමියට අහුවුනා. ඉතින් කාලයක් යනකම් ඒ පැත්තේ බෝවිටියා ගහක් දකින්නවත් තිබුනේ නෑ. මම ටිකක් ඈත පළාතකින් පැළයක් ගෙනෙල්ලා බොහොම අමාරුවෙන් පැල කර ගත්තා. දැන් ඒකෙ ගෙඩි කන්නත් හරියට කුරුල්ලෝ එනවා. එහෙනම් බලමු පින්තූර ටික.
මේ ඉන්නේ දම් සූටික්කාගේ ගෑනු සතා. (දම් සූටික්කි). (Purple Sunbird)
![]() |
Purple sunbird - (female) Nectarinia asiatica |
මෙයාගේ පිරිමි සතා දිලිසෙන දම් පාටකින් යුක්තයි. කෙමිය සහිත මල් වලින් පැණි උරා බොන්න පුළුවන් විදිහේ හොටක් මෙයාට තියෙනවා. මේ ගොල්ලෝ ප්රධාන වශයෙන් යැපෙන්නේ මල්පැණි මත. නමුත් කෘමි සත්තුත් ආහාරයට නොගන්නවාම නෙවෙයි. විශේෂයෙන්ම පුංචි පැටවුන්ට කවන්නේ කෘමීන්.
මේ ඉන්නේ ලෝටෙන්ගේ සූටික්කා. (Loten's Sunbird)
![]() |
Loten's Subbird - Nectarina lotenia |
මේ ඉන්නේ අවිච්චියා. (Indian Pitta)
![]() |
Indian pitta - Pitta brachyura |
මෙයා තමයි පෙරදිගු සිතැසියා (Oriental White-Eye)
![]() |
Oriental White-Eye (Zosterops palpebrosus) |
මේ ඉන්නේ ජෙර්දන්ගේ කොළ රිසියා - Jerdon's LeafBird (Female)
![]() |
Jerdon's LeafBird - Chloropsis jerdoni |
වත්තේ දකින්න ලැබෙන අනිත් කුරුළු විශේෂ වලත් පින්තූර ඉස්සරහට දාන්නම්. මේ පින්තූර ටික ගන්නත් සෑහෙන ඉවසීමකින් බලා ඉන්න සිද්ධ වුණා. මොකද මෙහෙම හිටියට මේ කුරුල්ලෝ හරිම ආඩම්බරයි. අපේ වත්තේ ඉන්න සමනල් විශේෂ ගැන ඊළඟ ලිපිය ලියන්නත් අදහසක් තියනවා. එහෙනම් ඊළග ලිපියෙන් හමුවෙමු.