Sunday, June 17, 2012

සිංහරාජය රස වින්දෙමි (අවසන් කොටස)



පසුගිය ලිපි පෙළින් මම කිව්වේ පිටදෙනිය හරහා සිංහරාජයට ගිය චාරිකාවක තොරතුරු. අද කියන්න යන්නේ සිංහරාජ වනාන්තරයේ සැඟවුණු දියඇලි පහක් සොයා ගිය ගමනේ විස්තර. පහුගිය ලිපි බැලුවේ නැත්නම් මෙතනින් බලලා ඉන්න. 
සිංහරාජය රස වින්දෙමි Part I
සිංහරාජය රස වින්දෙමි Part ii
අපි පහුවෙනිදා ඇහැරුනේ හතරවටින්ම ඇහුනු කුරුළු කූජනයන් රසවිඳිමින්. මීට කලින් කවදාවත් අහපු නැති තරම් කුරුළු හඬවල් රාශියක් අවටින් ඇසුනා. නැගිට්ට හැටියේම මම කලේ ගිං ගඟ ළඟට දුවපු එක. උදේ පාන්දර මීදුමත් එක්ක බොරපාට ගං දිය පෙනුනේ බොඳ වෙලා වගේ. ගඟ ළඟ ඉඳන් කුරුල්ලන්ගේ මිහිරි නාද වලට කන් දුන්නත් එකෙකුගේවත් ෆොටෝ එකක් නම් ගන්න බැරි උනා. මොකද ඒ වෙනකොටත් හරිහැටි එළිය වැටිලා තිබුනේ නෑ. කෝකියා සකස් කරපු බොහොම රස (මතක් වෙනකොටත්  ඇඩෙනවා) උදේ ආහාරය යන්තම් ගිලදාපු අපි අපේ මගපෙන්වන්නාත් එක්ක වනගත වුනා.


දියඇලි අංක එක - ඌරන්වැටුණු ඇල්ල
අපේ දවසේ මුල්ම ඉලක්කය වුනේ ඌරන්වැටුණු ඇල්ල සොයා යාම. ලංකාගම හරහා ගොස් හැරියාව දොළ අසල පාලමෙන් ඉහලට නැගුනු මාර්ගය ඔස්සේ අපි කිලෝමීටර් හතරක් විතර ගමන් කළා. මම හිතන්නේ මේ දියඇලි සංකීර්ණයේ දුෂ්කරම ගමන් මාර්ගය වැටී තිබෙන්නේ ඌරන් වැටුණු ඇල්ලට. (මල්මොර ඇල්ල හැරුණු කොට - අපට මල්මොර ඇල්ල නැරඹීමේ අවස්ථාව ලැබුනේ නෑ) කූඩැල්ලන්ගේ අනෙක අතවර විඳිමින් ගල්මුල් වල එල්ලෙමින් ගිය මේ ගමන කොයිතරම් දුෂ්කර වුනත් හරිම සුන්දර එකක්. 

ඌරන්වැටුණු ඇල්ල

දිය ඇලි අංක දෙක - ගල්දොරුව/ගල්ඔරුව ඇල්ල
ගල්ඔරුව ඇල්ල 
ඌරන්වැටුණු ඇල්ලෙන් නික්මුණු අපි ඊළඟට ගමන් කලේ තරමක් සුවිශේෂී දිය ඇල්ලක් සොයාගෙන.  ඌරන්වැටුණු ඇල්ලට මදක් පහලින් පිහිටි ආදී 30ක් පමණ උස මේ ඇල්ල හැඳින්වෙන්නේ ගල්දොරුව/ගල්ඔරුව ඇල්ල නමින්. මෙහි විශේෂත්වය වන්නේ ඉහලින් පිහිටි ඌරන් වැටුණු ඇල්ලෙන් ගලා එන අතිවිශාල දියකඳ අඩි දෙකක් පමණ පළලින් යුතු ඉතා ගැඹුරු ගල් පැල්මක් ඔස්සේ අධික වේගයෙන් ගලා ගෙන යාමයි.
ආරක්ෂිතව මෙම දියදහර නැරඹීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂක වැටක් ඉදිකර තිබෙනවා. එම වැටට මෙපිටින් හිඳ මෙය නැරඹීම කලයුතුයි. වෙනත් දිය ඇලිවල මෙන් පහතට බැසීමට උත්සාහ කිරීම අතිශයින් භයානක කටයුත්තක් බවත් සිහිතබා ගන්න. මෙම ඇල්ලේ චමත්කාරය මේ වීඩියෝ දසුනෙන් නරඹන්න.

දිය ඇලි අංක තුන - තට්ටු ඇල්ල 
තට්ටු ඇල්ල 
 ගල් ඔරුව ඇල්ලෙන් නික්මුණු අපි ඊළඟට ගමන් කලේ තවත් සුන්දර දිය ඇල්ලක් සොයාගෙන. මේ ඇල්ලට යාම සඳහා නිශ්චිත ගමන් මාර්ගයක් තිබුනේ නෑ. සුපුරුදු පරිදි ගස් ගල්වල එල්ලෙමින් ගමන් කල අපිට මෙන්න මේ දියපාරෙනුත් එගොඩ වෙන්න සිද්ද වුනා.
තරමක් සැඩ දිය දහරක් වූ නිසා ආරක්ෂිතව එයින් එගොඩ වීමට තරමක් දියදහරේ ඉහලට ගමන් කරන්නට අපිට සිද්ද වුනා. වැසි අධික සමයක නම් මෙය තරණය කිරීම තරමක් අපහසු කාරණයක් වනවා නොඅනුමානයි. මාල හෙවත් තට්ටු තුනකට ඇදහැලෙන තට්ටු ඇල්ල අතියශයින්ම සුන්දර දිය ඇල්ලක්.
තට්ටු ඇල්ල 
දිය ඇලි අංක හතර - දූවිලි ඇල්ල 
දූවිලි ඇල්ල 
තට්ටු ඇල්ලේ දිය පහර තරමක් අසීරුවෙන් තරණය කර එගොඩට ගිය විට තවත් සුන්දර දිය ඇල්ලකට ගමන් කල හැකියි. අඩි හතළිහක් පමණ උසින් යුතු මෙම දිය ඇල්ල හැඳින්වෙන්නේ දූවිලි ඇල්ල නමින්. සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව දූවිලි ඇලි තුනක් දකින්නට ලැබෙනවා. එකක් කුඩව ගමේ පිහිටි දූවිලි ඇල්ල,  අනික වඩාත් ප්‍රකට නෙළුව කොස්මුල්ල ගමේ පිහිටි ඇල්ල. මේ දූවිලි ඇල්ල ඒ තරම් ප්‍රකට එකක් නොවුනත් සුන්දරත්වයෙන් නම් අනික් ඇලි දෙකටම වඩා ඉදිරියෙන් සිටිනවා.
දූවිලි ඇල්ලේ ඉහල කොටස 
දිය ඇලි අංක පහ - බ්‍රාහ්මණ ඇල්ල 

සාපේක්ෂව නැරඹීම පහසු දිය ඇල්ලක්. මෙය පිහිටා තිබෙන්නේ ලංකාගම ගමේ හැරියාව දොළ මතින් වැටුණු පාලම අසලමයි. මාර්ගයේ සිටම නැරඹිය හැකි දිය ඇල්ලක්. වනගත දිය ඇලි නරඹා එන ගමනුයි අපි මෙම දිය ඇල්ල අසල නතර වුනේ.
එක්දිනක් තුල දිය ඇලි පහක් නැරඹු අපි නැවත අපේ නවාතැන වෙත ආවේ ඉතාම තෘප්තියෙන්. ඒ එන අතරේ අඩි පාර අසල දුටු බිනර මලක් තමයි මේ. 
Exacum pallidum යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙම කුඩා ශාකය ශ්‍රී ලංකාවට ආවේනික එකක්. තෙත් කලාපයේ දක්නට ලැබෙන තරමක් දුර්ලභ ශාකයක් වන බිනර, මම මීට පෙර වතාවකදී හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේදීත් ඡායාරූපයට නැගුවා. 
මෙසේ අමතක නොවෙන චාරිකාවක සුන්දරත්වය විඳගත් අපි නැවතත් අපේ බඩුමලු ඔසවා ගෙන ආපසු එන්නට ආවා.  ඒ එන අතරමග කුඩා දියවලක තමයි මේ දියබරියාව (Xenochrophis asperrimus) දැක්කේ.

දියබරියා
දින දෙකක චාරිකාවදී නැරඹිය හැකි උපරිම දිය ඇලි සංඛ්‍යාව අපි මෙම චාරිකාවේදී නැරඹුවා. ගණනින් බැලුවොත් නවයක්. 
1. ඇතාමල ඇල්ල
2. හත්මාලේ ඇල්ල
3. පතන්ඔය ඇල්ල 
4. කැකුණ ඇල්ල
5. ඌරන් වැටුණු ඇල්ල
6. ගල් ඔරුව ඇල්ල
7. තට්ටු ඇල්ල
8. දූවිලි ඇල්ල
9. බ්‍රාහ්මණ ඇල්ල 
කාලය හරස් නොවුනා නම් අපිට මල්මොර ඇල්ලත් නරඹන්න තිබුනා. එහෙනම් අපේ දිය ඇලි සංඛ්‍යාව දහය දක්වා ඉහල යනවා. මම හිතන්නේ ලංකාව තුල කෙටි කාලයකින් නැරඹිය හැකි වැඩිම දිය ඇලි සංඛ්‍යාව පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ. මෙම දිය ඇලි නරඹන්නට යන ඔබට කිව යුතු කරුණු කීපයක් තිබෙනවා. සිහි තබා ගත යුතු ප්‍රධානම කාරණය වන්නේ මෙම ප්‍රදේශය අතිශයින් සංවේදී පරිසර කලාපයක් බවයි. ඔබේ නොසැලකිල්ල නිසා ඇතැම් විට අතිශයින් දුර්ලභ ජීවියෙකුට හානියක් වියහැකියි. එමනිසා මෙම ප්‍රදේශයට චාරිකාවකට යන ඔබ ගෙනයන හැමදෙයක්ම අමතක නොකර රැගෙන ආ යුතුමයි. අඩුම වශයෙන් කොළ කැබැල්ලක්වත්  දමා එන්නට එපා. දිය දහරා වලින් නානවා නම් සබන්, ෂැම්පු ආදිය භාවිතා කරන්නට එපා. කෑකෝ ගැසීම්, ගීත ගායනා කිරීම් ආදිය මෙවන් චාරිකාවකට ගැලපෙන්නේ නෑ. ඒ වගේම බහුතරයක් දිය ඇලි ඉතාම සැඩ පරුෂයි. ඒවා අසලට ලංවෙන්න, දියට බහින්න එහෙම උත්සාහ කරන්න එපා. ඒවා සැබෑ වීරකම් නොවෙයි. මේ සුන්දරත්වය දෑස පුරා හිත පුරා විඳින්න. අපි නොදන්නවාට අපේ මේ පුංචි රට කොයිතරම් නම් ලස්සනද? 

6 comments:

  1. ලංකාවේ වැඩියෙන්ම එකම නම තියෙන දිය ඇළි තියෙන්නේ දූවිලි ඇළි කියල තමයි. සිංහරාජයේ morning side පැත්තේ තව දූවිලි ඇළ්ලක් තියෙනවා අවුරුදු 2කට කලින් විතර ඒකට යන පාර වැහිලා කියලා තමයි ආරංචිය දැන් කොහොමද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මාත් හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම දියඇලි වලට තියන නම තමයි දූවිලි ඇල්ල. බලන්ගොඩ කල්තොට පැත්තෙත් දූවිලි ඇල්ලක් තියෙනවා. මෝනින්සයිඩ් පැත්තේ නම් ළඟකදී ගියේ නෑ.

      Delete
  2. අදමයි මේ පැත්තට ආවේ සිංහරාජේ ගැන පෝස්ට් 3 ම එක හුස්මට කියවල රස වින්දා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කාව්‍යා. දිගටම එන්න තව සෑහෙන දේවල් ලියන්න තියෙනවා.

      Delete
  3. බලංගොඩ තිබෙන දුවිලි ඇල්ල ගැන සටහනක් මෙන්න

    http://www.kedapatha.info/2011/09/2011_24.html

    ReplyDelete
  4. හරිම ලස්සනයි....ගොඩක් රසවින්දා.....ගොඩක් ස්තුතියි...තවත් පරිසරය පිලිබදව විස්තර දාන්න...

    ReplyDelete