දියඇල්ලක සුන්දරත්වය නොවිඳි කෙනෙක් හෝ එහි විචිත්රත්වය විඳින්න අකමැති කෙනෙක් අප අතර නැතුව ඇති මම හිතන්නේ. දියදහරක් යනු එතරම්ම සිත නිවන සොඳුරු ආරම්මණයක් වීම ඊට හේතුවයි. අපේ වාසනාවට අප දිනු දේශය එවන් අපූරු දියඇලි වලින් ගහණ අතිශය මනරම් දිවයිනක්. නමුත් ශ්රී ලංකාවේ දියඇලි ගැන කියද්දී හැමෝටම මතක් වෙන්නේ දුන්හිඳ, දියලුම, රාවණා, බඹරකන්ද වැනි ප්රචලිත ඇලි කිහිපයක් පමණයි. ඒ නමුත් සංචාරකයන්ගේ ඇසෙන් වසන් වුනු සරා සොඳුරු දියඇලි කීයක් නම් මේ පුංචි රටේ තියෙනවද? අද මම ඔබ කැටුව යන්නේ එවන් සැඟවුණු ඉතා සොඳුරු කුඩා දියඇල්ලක් වෙතටයි. බොහෝවිට ඔබ මේ ඇල්ල ගැන මේ අසන්නේත් පළමු වතාවට වෙන්නට ඇති.
මෙම ඇල්ල පිහිටා තිබෙන්නේ ගාල්ල නගරයේ සිට කිලෝමීටර් විසිපහක් පමණ දුරින් පිහිටි කනංකේ නම් කුඩා ග්රාමයේයි. ගාල්ල සිට අකුරැස්ස හරහා දෙනියාය - මාදම්පේ තෙක් දිවෙන A17 ප්රධාන මාර්ගයේ පිහිටි නිසංසල කුඩා ගම් පියසක් වන කනංකේ හන්දිය පසුකර කිලෝමීටරයක් පමණ අකුරැස්ස දෙසට පැමිණෙන විට මාර්ගයේ වම්පස හක්ගෙඩි ඇල්ල වෙත දිවෙන මග සඳහන් නාම පුවරුව දකින්නට පුළුවන්. එම දුෂ්කර මාර්ගයේ කිලෝමීටරයක් පමණ මග ගෙවා මේ අපූරු සුන්දර දියදහර වෙත ළඟා විය හැකියි.
 |
අතරමග නැරඹිය යුතු තැනක් - පිලාන රජමහා විහාරය. |
මා මුලදීම පැවසූ ආකාරයට මෙය විශාල දියඇල්ලක් නම් නෙවෙයි. හක්ගෙඩි දොළෙන් උපත ලබන මේ ඇල්ල උසින් අඩි දහයකට වැඩි නෑ.
 |
හක්ගෙඩි ඇල්ල |
 |
හක්ගෙඩි ඇල්ල පහළ කොටස
|
හක්ගෙඩි දොළ අවට පිහිටි නොඉඳුල් වනාන්තරය රටට ආවේනික ජීව විශේෂයන්ට නිවහන සපයනවා. සමනල් විශේෂ ඒ අතරින් ප්රධානයි. විවේකශීලීව අවට පරිසරයට නෙත් යොමන්නෙකුට මේ සුවිශේෂතා හඳුනා ගැනීම මහදෙයක් නෙවෙයි.
 |
ඇල්ල අවට නොඉඳුල් වනය... |
 |
පුංචි දියකාවා....Little Cormorant - (Microcarbo niger)
|
බොහෝ සංචාරකයන්ගෙන් සැඟවී තිබීම නිසාම මේ ඇල්ල අවට පරිසරය තාමත් නොඉඳුල්ව පවතිනවා. ඉතින් මේ ඇල්ල නරඹන්නට යම් දිනක ඔබත් යනවානම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න. ප්රධාන වශයෙන්ම මෙය ඉතා සංවේදී පරිසර පද්ධතියක් බව සිහිතබා ගන්න. මේ පරිසරයට ආගන්තුක කිසිවක් එහි තබා නොඑන්නටත් එම පරිසරයට අයත් කිසිවක් රැගෙන නොඑන්නටත් තරයේම වග බලා ගන්න. එසේ වුවහොත් පමණක් ඔබේ අනාගත පරම්පරාවටත් මේ සුන්දරත්වය මෙලෙසින්ම ඉතිරිවී පවතීවි.